20 වැනි සංශෝධනය මුල සිටම පියා අහිමි තත්ත්වයකට මුහුණපෑම මගින් සමාජයට ශේෂ කරන්නේ ආණ්ඩුව පිළිබඳ යහපත් සංඥාවක් නොවේ. ව්‍යවස්ථා විශාරදයකු වන ජී.එල්. පීරිස් කීවේ එය සාමූහික ප්‍රයත්නයක් බවය. අධිකරණ ඇමති කීවේ දෙපාර්තමේන්තුවේ කෙටුම්පත්කරු සංශෝධනය ලියූ බවය. කෙටුම්පත්කරුවකුට රටකට ව්‍යවස්ථා සංශෝධන ලිවීම කළ නොහැකිය. 20 වැනි සංශෝධනය මේ කාගේවත් නොවේ නම් අප සිතාගත යුත්තේ එය ජනාධිපතිවරයාම ලියූවක් බවය. එසේ කීමට සිදුවන්නේ ජනාධිපති ධුරයට පත්වූදා සිටම ඔහු තමාට 19න් වැඩ කළ නොහැකි බැවින් එය වෙනස් කළ යුතුම බව පැවසූ නිසාය. එනිසා එය ජනාධිපතිවරයාම ලිව්වත් ප්‍රශ්නයක් නැත. වැදගත් වන්නේ යම් දෙයක වගකීම බාර ගැනීමය. එමෙන්ම ව්‍යවස්ථාව වැනි ප්‍රශ්නයක් ප්‍රාථමික පාසලක දෙකේ පන්තියේ ප්‍රශ්නයක් බවට පත්කර නොගැනීමය.


බාහිර සිට බලන කෙනෙකුට පෙනී යන දෙය නම්, 20 වැනි සංශෝධනයට ආණ්ඩුව ඇතුළතින්ම අභියෝගයක් එල්ල වූ බවය. එය වීරවංස හා ගෙවිඳු වැනි අය මගින් එළියට ආවත් එහිද සැබෑ විරෝධකරුවා විය හැක්කේ අගමැති මහින්ද රාජපක්ෂය. ඔහු 20 විමර්ශනයට කමිටුවක් පත් කරන්නේ වීරවංශ වැනි අයගේ කන්කෙඳිරිගෑම්වලින් පසුවය. කෙසේ වෙතත් 20 ගැන සාකච්ඡා කිරීමට ආණ්ඩුව අභ්‍යන්තරයෙන්ම කවුළුවක් විවර කරදීම වැදගත්ය. එසේ වන්නේ විපක්ෂය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් ගත යුතු මග ගැන හරයාත්මක සංවාදයක නොනියැළී වෙන බහුබූත විරෝධතා පවත්වමින් සිටින තත්ත්වය තුළය. විපක්ෂයේ පටු උද්ඝෝෂණය 19 රැක ගැනීම වෙනුවෙනි. එහි ඊට වඩා ගැඹුරක් හෝ හරයක් නැත.


අප කළයුත්තේ 20 වෙනුවට 19 ඉල්ලා සිටීම නොවේ. මෙවැනි පැලැස්තර සංශෝධන මෙන්ම පියා අහිමි සංශෝධන ප්‍රතික්ෂේප කොට රටට ගැළපෙන නව ව්‍යවස්ථාවකට පදනම දමා ගැනීමය. එය හදිසියේ කළ නොහැකි තරමක් දිගුකාලීන ක්‍රියාවලියකි. ජනාධිපතිවරයා දැනට ඒ සඳහා රොමේෂ් ද සිල්වා, මනෝහරද සිල්වා ඇතුළු පිරිසකගෙන් සමන්විත කමිටුවක්ද පත්කර ඇත. ඔවුන් කෙටුම්පත් කරනු ඇත්තේද පරමයක් නොව යළි සාකච්ඡාවට බඳුන් කර තල ගණනාවක සාකච්ඡා ක්‍රියාවලියකට මග පාදන කෙටුම්පතකි. ඒ අර්ථයෙන් නව ව්‍යවස්ථාවක් ගැන සිතුවහොත් සාර්ථක ප්‍රතිඵලයක් ලැබෙන මාවතකට රටට ප්‍රවිෂ්ට විය හැකියි. එම ක්‍රියාවලිය රිද්මයානුකූලව සිදුවන්නට ඉඩදී ජනාධිපතිවරයා හා ආණ්ඩුව ජනතාවගේ දැවෙන ප්‍රශ්න විසඳීම කෙරෙහි සිය පළමු අවධානය යොමු කිරීම වැදගත්ය.

බැලූ බැල්මට සරලව යැයි සිතෙන ප්‍රශ්න කිහිපයක් සලකා බැලුවත් ඒවා නොවිසඳී තිබීම ගැන ආණ්ඩුවලට වගේ වගක් නැත. අලින්ගෙන් ජන ජීවිතයට සිදුවන හානි, කෘෂිකර්මාන්තයට ප්‍රමාණවත් ලෙස ඉඩම් ජලය හා පොහොර නොමැතිවීම, අස්වැන්නට මිලක් නැතිකම, භෝග නිෂ්පාදන වියදම හා විකුණුම්වල අතර දරාගත නොහැකි පරතරයක් විටින් විට නිෂ්පාදකයාට මෙන්ම පාරිභෝගිකයාට ඇතිවීම, වන සතුන් අස්වැන්නෙන් තුනෙන් එකක් අහිමි කිරීම, අත්‍යවශ්‍ය ඖෂධ හිඟය, කොවිඞ් නිසා වූ සේවා වියුක්තිය, ස්ථිර සේවකයන් මෑන් පවර් තත්ත්වයට ඇද වැටීම වැනි දේවල් සුළුවට පෙනුණත්, රටේ ජන ජීවිතය අකර්මණ්‍ය කර ඇති ප්‍රශ්න වෙයි. ව්‍යවස්ථා සම්පාදනය ගැන මහ ඉහළින් කතා කරන වත්මන් ආණ්ඩුවත් පැවති ආණ්ඩුවලටත් ඉහත ප්‍රශ්නවලට විසඳුම් නැත. වත්මන් රජය මත්ද්‍රව්‍ය මර්දනයට අත ගසා ඇති බව සෑම දිනකම මාධ්‍ය වාර්තාවල වෙයි. ජනාධිපති සිරිසේනත් හෙරොයින් ගිනි තියන හැටි බලන්නට ගියේය. එහෙත් ගෝඨාභයගේ ආණ්ඩුවටත් අල්ලන්නට කුඩු ඕනෑතරම් තිබේ. මේ කුඩු ඇල්ලිල්ල දිගටම සිදුවූවත් ඊළඟට එන ජනාධිපතිටත් අල්ලන්නට තරම් කුඩු රටට නිසැකවම ලැබෙනු ඇත. එසේ බලන විට ලංකාව කුඩුවලින් ස්වයංපෝෂිත රටකි. මත්ද්‍රව්‍ය මාෆියාව තනිකරම පොඩි ලැසීගේ හෝ වෙලේ සුදාගේ වැඩක් නොවේ. රටේ ඉහළම පුද්ගල සබඳතාවලින් තොරව ලැසීලාට, සුදාලාට වැඩ දැමිය නොහැකිය. ඒ තැන්වලට ජනපතිගේ හෝ ආරක්ෂක ලේකම්ගේ අවධානය යොමුවන බවක් නොපෙනේ. ආරක්ෂක ලේකම් පසුගිය දිනක පළාත්බද පොලිස් ප්‍රධානීන්ගෙන් ඇසුවේ කංසා ගස් අඩි 10-12ක් උස යනතුරු ඔබ ඒවා ගැන නොදැනුවත් මන්ද යනුවෙනි. ඒවා ගැන පොලිස් ප්‍රධානීන් නොදන්නවා නොවේ. කවුරුත් කරන්නේ සමහර දේවල් අතහැරීමය. නැතහොත් නොදන්නවා සේ සිටීමය. කසිප්පු ජාවාරමත් එසේමය. අල්ලන්නේ ටිකකි. තව ගොඩක් විකිණෙති. කුඩුත් එහෙමය. මේ යථාර්ථය ජනපතිත් ආරක්ෂක ලේකම්වරයාත් නොදන්නවා නම් ඔවුහු වැඩිහිටියන් නොවෙති. ළදරුවෝය.


නව ව්‍යවස්ථාවක් පසුව හදමු. දැන් මේ කියූ ප්‍රශ්න ටික අවංකව මැදිහත් වී විසඳා දෙන ලෙස රටේ ජනතාව ජනාධිපතිගෙන් ඉල්ලා සිටියහොත් ඔහු කුමක් කියයිද? 20 වැනි සංශෝධනය ගේන්නේ කුඩු අල්ලන්න, අලි මඬින්න, වගා හානි කරන රිලවුන් එලවන්න, ගොවියන්ට වතුර දෙන්න, අත්‍යවශ්‍ය ඖෂධ දෙන්න යැයි කියනු ඇත්ද? නටන්න බැරි නැට්ටුවා නම් පොළොව ඇදයි කියනු ඇත. නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත්පට්ටයක් සහ තවත් චුට්ටක් ඕනෑ යැයි ද කියනු ලැබේ. රටේ ජනාධිපති ධුරය මෙන්ම අගමැති ධුරය නියෝජනය කරන්නේ එකම ගෙදරකින් නම්, පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකේ බහුතරයත් ඇත්නම් හදිසියේ 19 වැනි සංශෝධනය දඩයම් කරන්නට ජනපතිට ඇත්තේ කවර වුවමනාවක්ද? දහනමය නොව අණ්ඩ දැමූ මුළු ව්‍යවස්ථාවම ගලවා දැමීමට අප සහාය දිය යුතුය. එහෙත් ඒ සමස්ත ශ්‍රී ලංකාවම නියෝජනය කරන ව්‍යවස්ථා සම්පාදනයක් වෙනුවෙනි. එතෙක් ජනාධිපතිවරයා සහ ආණ්ඩුව කුඩාවට පෙනෙන එහෙත් ජන ජීවිතය අකර්මණ්‍ය කර ඇති ප්‍රශ්න විසඳීමට පියවර ගැනීම වැදගත්ය. ■