ටිරන් කුමාර බංගගමආරච්චි

මේ ආණ්ඩුව පත්වී වසරක් ඉක්මෙන තැන ඇල්ලූ කුඩු ප්‍රමාණය දෙස බලන කල බත් කන තරමට කුඩු කෑ හැකිය. ඇල්ලිල්ලේ ඉවරයක් නැතිවා සේ ම කුඩු ගෙන ඒමේ අවසානයක්ද නැත. මේ පිටුපස ලොකු දේශපාලන සෙල්ලමක් සිදුවන බව පැහැදිලිය.


සුරාබදු දෙපාර්තමේන්තුව ඉතිහාසයේ එතෙක් මෙතෙක් ඇල්ලූ ලොකුම මත්ද්‍රව්‍ය වැටලීම නොබෝදා කළ බවට මාධ්‍ය සංදර්ශන පැවැත්විය. ඇල්ලූ මත්ද්‍රව්‍ය ප්‍රමාණය කිලෝ 200ක් බවත් හෙරොයින් සහ අසිස් කිලෝ 100 බැගින් වූ බව ආඩම්බර වූ කරුණය. එහෙත් සංදර්ශනයේ හඬ බාල වන්නටත් පෙර ඇල්ලූ කුඩුවලින් තොගයක්ම ලී කුඩු සහ වීදුරු කැබලි විය. එයද කිලෝ 100කි. ලංකාවේ කුඩු ඇල්ලූ පසු පාන් පිටි වීම සුලබ දෙයක් වුවත්, ඒවා ලී කුඩු බවට පත්වූයේ මුල් වතාවටය. කුඩු සහ ලී කුඩු අඳුනා ගන්නට බැරි සුරාබදු නිලධාරීන් සිටියේ කුඩු ගහලාද යන්න දැන් ප්‍රශ්නයකි. අසිස්වලට අජිනමොටෝ කවලම් කිරීම අසා ඇතිමුත් වීදුරු කැට කලවම් කළ පළමු අවස්ථාව මෙය විය යුතුය. ලොකුම තොගය ඇල්ලීම සහ ඉන් අඩක් ලී කුඩු සහ වීදුරු කැබලිවීම ගැන පුදුම විය නොහැකි මේ රටේ වන විපර්යාස අනුව එය වුව විය හැකි බැවිනි. කාලි මෑණියෝ පැමිණ පැණි හදන රටක කුඩු ලී කුඩු වීමත් පුදුමවන්නට දෙයක්ද?


ඊට අමතරව පාතාලය සහ කුඩු තුරන් කරනවා කී ආණ්ඩුව අපූරු තීන්දුවකට එන්නේය. ඒ මෙතෙක් තිබූ නීතියක් නවමිනි. හෙරොයින් ශුද්ධ බර ග්‍රෑම් දෙකකට වැඩි ප්‍රමාණයක් ළඟ තබා ගතහොත් මරණීය දණ්ඩනය හිමිය. දැන් එම ප්‍රමාණය ග්‍රෑම් 5ට වඩා වැඩි කර ඇත. මේ දිරිදීම කා වෙනුවෙන්ද? කුඩු බොන අය වෙනුවෙන්ද? නැතහොත් කුඩු විකුණන අය වෙනුවෙන්ද? මෙය මහා පරිමාණ කුඩු මුදලාලිලාගේ යහපත සඳහා කුඩා පරිමාණයේ කුඩු විකුණන්නන් දිරිගන්වන්නට කළ වැඩකි.


හෙරොයින් ග්‍රෑම් එකක ඇති ශුද්ධ හෙරොයින් ප්‍රමාණය මිලි ග්‍රෑම් 300ක් පමණ වන බව පැවසේ. හෙරොයින් ග්‍රෑම් එකකින් සාමාන්‍ය මත්කුඩු උරන්නෙකුට ඔහු වරකට පානය කරන ප්‍රමාණයේ පැකට් හතළිහක් පමණ සාදා ගත හැකි බව පැවසේ. ඒ එක් පැකැට්ටුවක වත්මන් මිල 400ත් 500ත් අතර වේ. රාජපක්ෂ ආණ්ඩුව ආ පසු බඩු මිල ඉහළ ගියද කුඩු මිල පහළ බැස ඇති බවත්, කහ කුඩු ගන්නට නැතත්, කුඩු ගන්නට තැන් ඕනෑතරම් ඇති බවත් පැවසිය යුතුය. අද දවසේ කුඩු අහේනියක් නැත. කුඩු ලී කුඩු වන්නේත් ඒ නිසාය.


එසේ නම් හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබා ගැනීමට අයෙකු අත්අඩංගුවට ගැනීම තුළින් පැහැදිලි වන ප්‍රධාන දේ ඔහු කුඩු උරන්නකුට වඩා විකුණන්නෙක් බවය. ග්‍රෑම් 3ක් තිබුණේ නම් ඒ පුද්ගලයා විකිණීමට පැකට් 120ක් හදන්නෙකි. පන්සියය ගාණේ ගණන් බැලුවහොත් ග්‍රෑම් 30න් ඔහු උපයන මුදල රුපියල් හැට දහසකි. එසේ නම් ග්‍රෑම් දෙකකට වඩා ළග තබා ගැනීම මරණ දණ්ඩනය දක්වා හේතුවූයේ ඇයිද යන්න පැහැදිලිය. එම පැකට් 120න් අඩුම තරමේ අලුත් ඇබ්බැහිවීම් දහසක් සිදුවුවහොත් තත්ත්වය කුමක්ද? එසේ නම් දැනට ඇති ග්‍රෑම් දෙකකට වඩා ළඟ තබා ගැනීම ග්‍රෑම් 5කට වඩා කිරීම තුළ ඇත්තේ ලංකාව කුඩු පුරයක් කිරීම නොවේද?


බන්ධනාගාර ගතවී ඇති සැකකරුවන් අතරින් බහුලවම ඉන්නේ හෙරොයින් ග්‍රෑම් දෙකකට වඩා ළග‘ තබාගෙන සිටි අයය. මේ කුඩු විකුණන අය මිස බොන අය නොවෙති. කුඩු උරන්නකු වරකට භාවිත කරනුයේ මිලිග්‍රෑම් 25ක් පමණය. එමෙන්ම ඒ නිසා කිසිවකු කුඩු ග්‍රෑම් 2, 3 ගෙන ගබඩා කර තබා ගන්නේ නැත. ඒ සඳහා මුදල්ද නැත. එදා වේල කුඩුවලින් පිරිමහ ගන්නට මේ අය ඇඟ වෙහෙසා හම්බ කරන තැන සිට හොරකම දක්වාම යනුයේ කුඩු පැකට් දෙක තුනක් ලබාගැනීමට මිස, ග්‍රෑම් තුන හතරක් ගන්නට නොවේ. ඒ අනුව ඉතා පැහැදිලි කරුණ නම් ග්‍රෑම් දෙකට වඩා ළඟ තබාගෙන සිටිනුයේ කුඩු විකුණන අයය. එය පහට වඩා වැඩි කිරීමෙන් මහා පරිමාණ කුඩු මුදලාලිලා දිරිගැන්වීමක් ආණ්ඩුව කර ඇති බවය. මේ කුඩු නසන්න ආ ආණ්ඩුවකි. ■