ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


කුරුණෑගල බුවනෙක හෝටලය පිහිටි පැරණි ගොඩනැගිල්ල සම්බන්ධයෙන් මහත් ආන්දෝලනයක් ඇති වන්නේ එහි විශාල කොටසක් කඩාදැමීමත් සමගය. මෑත ඉතිහාසයේ පෞද්ගලික හෝටලයක්ව පැවති එහි පෞරාණික වටිනාකම පිළිබඳ බොහෝ දෙනාගේ අවධානය යොමුවන්නේ මේ සිදුවීම සමග ය. පෞරාණික ස්මාරකයකට හානි කිරීම සම්බන්ධයෙන් පක්ෂ විපක්ෂ භේදයකින් තොරව බොහෝ පිරිස් මෙන්ම භික්ෂූන්වහන්සේලා ද ඊට විරෝධය දක්වද්දී හා මෙම හානිය සිදුකළ අයට පවතින නීතියට අනුව කටයුතු කරන ලෙස ඉල්ලා සිටිද්දී රටේ වගකිවයුතු පාලකයින්ගෙන් ඒ සම්බන්ධයෙන් ලැබෙන්නේ හාස්‍යජනක පිළිතුරුය. රට, රටේ උරුමයන් පිළිබඳවම මතුරමින් හා ඒවා ආරක්ෂා කර ගැනීම සඳහාම බලය ඉල්ලමින් පත්වූ පාලකයන්ගේ හැසිරීම ද ඒ ආකාරයේ ය.


1940 අංක 09 දරන පුරාවිද්‍යා ආඥා පනත යටතේ පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස ගැනෙන මෙම ගොඩනැගිල්ල 13 වන සියවසට අයත් දෙවන බුවනෙකබාහු රජුගේ රාජ සභා මණ්ඩපය හෙවත් මඟුල් මඩුව ලෙස ද සැක කෙරෙන අතර අතර එය පසුකාලීනව ඉංග්‍රීසි පාලන සමයේ අලුත්වැඩියා කර නව කොටස් එක් කර කච්චේරිය ලෙස භාවිතයට ගෙන තිබූ බවට සාධක තිබේ. එය පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ලේඛනවල නම් කර ඇති කුරුණෑගල ප්‍රධාන පුරාවිද්‍යා ස්ථාන 10 අතුරින් ද එකකි. යුනෙස්කෝ සංවිධානය මෙරට පුරාවිද්‍යා දෙපාර්තමේන්තු සමග එක්ව සම්පාදනය කරන ලද The Heritage of Sri Lanka නම් ග්‍රන්ථයක ද පුරාවිද්‍යා ස්මාරක ලැයිස්තුවේ බුවනෙක හෝටලය ඇතුළත් කර තිබෙන අතර එහි සැලැස්මේ රූපසටහන් ද දක්වා තිබෙන්නේ ය. 1993 දී පමණ එම ගොඩනැගිල්ල පෞද්ගලික හෝටලයක් සඳහා බදු දී තිබී පසුව 2018 දී කුරුණෑගල මහ නගර සභාවට යළි පවරාගෙන තිබුණි.


2018 නොවැම්බර් 9 දින ‘පුරපති නිල මෙහෙවර – කුරුණෑගල මහා නගර සභාව’ නම් ෆේස්බුක් පිටුවේ මෙවැන්නක් සටහන්ව තිබුණේ ය. ‘හෝටලයකට ගත් කුරණෑගල රාජ සභා මණ්ඩපය යළි පවරා ගනියි. වසර විස්සකට අධික කාලයක සිට හෝටලයක් ලෙස පවත්වාගෙන ගිය කුරුණෑගල ඓතිහාසික රාජධානියේ රාජ සභා මණ්ඩපයට අයත් ඉපැරණි ගොඩනැගිල්ලක් වහාම ක්‍රියාත්මක වන පරිදි කුරුණෑගල මහ නගර සභාවට පවරා ගැනීමට කුරුණෑගල නගරාධිපති තුෂාර සංජීව විතාරණ මහතා (පො/පෙ) පියවර ගෙන ඇත. ඒ අනුව එම හෝටලය වසා දමා එහි ආරක්ෂාවට නගර සභාවේ ආරක්ෂක නිලධාරීන් යෙදවීමට නගරාධිපතිවරයා පියවරගෙන තිබේ.’ යනුවෙනි. කුරුණෑගල රාජධානියේ ආරම්භකයා ලෙස සැලකෙන දෙවැනි බුවනෙකබාහු රජුගේ පාලන සමයේ දී මෙම ගොඩනැගිල්ල ඉදිකරන්නට ඇති බව සැලකෙන බවත් ආදී වශයෙන් ඉතිහාස තොරතුරු ද එහි සදහන් කර තිබෙන අතර තවදුරටත් එහි සදහන් කරන්නේ මෙම ඓතිහාසික ගොඩනැගිල්ල මත්පැන් අලෙවි සැලක් සහිත හෝටලයකට බදු දී තිබීම සම්බන්ධයෙන් ජනතාව කෙතරම් විරෝධතා එල්ල කළ ද එය බද්දෙන් ඉවත් කරගෙන පවරා ගැනීමට එතෙක් සිටි නගරාධිපතිවරු පියවර ගෙන නොතිබූ බව ය. 2018 දී එලෙස මෙම ගොඩනැගිල්ලෙහි පෞරාණික වටිනාකම් සඳහන් කරන කුරුණෑගල නගර සභාවට දෙවසරක් තුළ එය නොවටිනා ස්ථානයක් වූ හේතුව කුමක්දැයි අප දන්නේ නැත. ගොඩනැගිල්ල කඩා දැමීමේ සිදුවීමෙන් පසු ජූලි 17 දින මේ සම්බන්ධයෙන් කැඳවූ මාධ්‍ය හමුවක දී එම නගරාධිපතිවරයාම ප්‍රකාශ කරන්නේ මෙය පුරාවිද්‍යා ස්ථානයක් ලෙස ගැසට් වී තිබේ නම් හෝටලයකට, ගණිකා නිවාසයකට, ගබ්සා මධ්‍යස්ථායකට, තැබෑරුමකට දී තිබෙන්නේ කෙසේද යන්න ය. එමෙන්ම ගොඩනැගිල්ලේ පිටුපස කොටසෙන් දිවෙන මාර්ගයක් පුළුල් කිරීම සඳහා ගොඩනැගිල්ලේ කොටසක් කඩා ඉවත් කිරීමට මාර්ග සංවර්ධන අධිකාරිය තමන්ට අවසර දුන් බව ද ඔහු එහිදී සදහන් කරන්නේ ය.


සිදුවීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාවේ නගරාධිපතිවරයා වන තුෂාර සංජීව අප සමග පැවසුවේ මෙම ස්ථානය මාර්ග සංවර්ධන කටයුතු සඳහා ලබාදෙන ලෙස 2014 වසරේ සිට මාර්ග සංවර්ධන අධිකාරියෙන් ලිපි ලැබුණු බවත් මෙය පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයක් බැවින් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් විමසන ලෙස ජුනි මස 14 දා සිට ලිපි යැවූ බව ය. ඒ අනුව අවසර ලැබෙන සීමාවල සිට කැඩුවා නම් දැනට ගොඩනැගිල්ලේ ඉතිරිව තිබෙන කොටස ද ඉතිරි නොවන බව ඔහු පවසන්නේ ය. “මම ඒකත් බේරාගෙන 50%යි ගත්තේ. ජුනි 24 අපි මාර්ග සංවර්ධන අධිකාරියේ ඉල්ලීමට කඩලා දෙනවා. පැරණි ගොඩනැගිල්ලක් නිසා බුරුල්වෙලා තිබිලා ජූලි 14 වැනි දා මේක කඩා වැටෙනවා. ඒ කාලපරාසය තුළ පුරාවිද්‍යා එකෙන්වත් කිසිම පැමිණිල්ලක්වත් විමසීමක්වත් කළේ නැහැ. හාමුදුරුවෝත් යූඑන්පී එකේ අයත් මේකට කෑගැහුවේ කඩා වැටුණාට පස්සේ යි, ඒ ඡන්දය කාලය නිසා. එතකන් කිසිම පැමිණිල්ලක්වත් කිසිම දෙයක් තිබුණේ නැහැ.” කුරුණෑගල නගරාධිපතිවරයා පවසයි. එම ගොඩනැගිල්ල පසුගිය කාලයේ සිට නගර සභාවේ ගබඩාව ලෙස භාවිත කළ බවත් එහි තෙල් බැරල්, ලී වැනි දෑ තිබූ බවත් ඔහු පවසන්නේ ය. ජූලි 14 දින රාත්‍රී ගොඩනැගිල්ලේ කොටසක් කඩා වැටුණු බව ආරංචි වූ බවත් එහි ඇති ඉන්ධන බැරල් ගිනි ගැනීමේ අවදානමක් වූ බැවින් ඒවා ඉවත් කර ගැනීමට කටයුතු සිදුවූ බව ය. “අපේ ටිපර් එකයි ජේසීබී එකයි ගිහින් අර බැරල් ටික පටවගන්න යද්දී එක බිත්තියක් ලොකු කණුවකට හේත්තු වෙලා තිබිලා තියනවා. කණුව අයින් කරලා බැරල් ටික ගන්න යද්දී බිත්තියක් කඩා වැටිලා. ඒ අය ඒ ටික අයින් කරලා බැරල් ටිකයි ලී ටිකයි ගබඩාවට භාර දීලා තිබුණා. ඕකට තමයි කැඩුවා කියන්නේ. අයින් කරන්න ඕනෑකමක් තිබුණා නම් මාර්ග සංවර්ධන අධිකාරියෙන් ඉල්ලීම කළ වෙලාවේ ඒක දඩ මීමා කරගෙන අපිට ඒ ඔක්කොම කඩන්න තිබුණා නේ.” නගරාධිපතිවරයා පවසන්නේ ය. 1993 දී එම ගොඩනැගිල්ලේ හිටපු අමාත්‍ය ජයවික්‍රම පෙරේරාගේ හිතවතෙකු හෝටලයක් පවත්වාගෙන ගිය බවත් 1995 සහ 2008 දී එම පුද්ගලයා විසින් ගොඩනැගිල්ලට නව කොටස් ද එකතු කර තිබූ බවත් ඒ අනුව කාමර 15ක්, මුළුතැන් ගෙයක, නාන කාමර ආදිය ද එහි වූ බවත් ඔහු පවසන්නේ ය. පසුව එය නගර සභාවට නැවත පවරා ගත් පසු වාණිජ කටයුත්තක් වෙනුවෙන් එය සංවර්ධනය කිරීමේ අරමුණක් වූ බවත් ඉතිරිවූ කොටස් සංරක්ෂණය කර එය සිදුකිරීම සදහා කුරුණෑගල සංවර්ධන සැලැස්ම 2019-2030ට අනුව බලාපොරොත්තු වූ බවත් ඔහු පවසන්නේ ය.


එහෙත් මාර්ග සංවර්ධන කටයුතු වෙනුවෙන් ගොඩනැගිල්ලේ ඉතා සුළු කොටසක් පමණක් කඩා තිබුණ ද එය ද පසුගිය කාලයේ අතරමග නතර වී තිබුණේ එතැනින් පෞරාණික ද්‍රව්‍ය හමුවීම සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කුරුණෑගල පොලීසියට පැමිණිලි කිරීමත් සමග ය. මාර්ග සංවර්ධන අධිකාරියේ වයඹ පළාත් වැඩබලන අධ්‍යක්ෂ කුරුණෑගල දිස්ත්‍රික් ප්‍රධාන ඉංජිනේරු අතුල සේනාධීර පවසන්නේ මාර්ග සංවර්ධනයට සුළු කොටසක් පමණක් ඉවත් කර කාණු පද්ධතියේ කටයුතු කරමින් සිටිය දී ප්‍රධාන මාර්ගය හරහා ගල්වලින් තැනූ බෝක්කුවක් හමුවීම නිසා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව, පොලීසිය, මාර්ග සංවර්ධන අධිකාරිය එක්ව ගත් තීරණයකට අනුව එම ඉදිකිරීම තාවකාලිකව නතර කළ බව ය. එසේ තිබිය දී එහි ප්‍රධාන ගොඩනැගිල්ල කඩා ඉවත් කිරීමක් කර තිබෙන බව දුටු බවත් එම ඉවත් කිරීම මාර්ග සංවර්ධන අධිකාරියට මාර්ගය පුළුල් කිරීමට අවශ්‍ය නොවන අතර ඒ සඳහා කිසිදු ආයතනයකින් ඉල්ලීමක් ද කර නොමැති බව ද ඔහු සඳහන් කරන්නේ ය. මේ සමග පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මීට මාස කීපයකට පෙර එය සංරක්ෂණය කළ යුතු ආකාරය සම්බන්ධයෙන් අවධානය යොමු කර තිබූ අතර මෙම හදිසි කඩාදැමීම සිදුවන්නේ කුරුණෑගල නගර සංවර්ධනයට සමගාමීව මේ පෞරාණික ස්ථාන සංරක්ෂණය කර ගනිමින් ඒවා ඵලදායී ලෙස යොදා ගැනීම සම්බන්ධයෙන් කුරුණෑගල මහ නගර සභාව සමග සාකච්ඡාවක ද සිටින අතරතුරය. 2020 මැයි මස 27 වන දින පුරාවිද්‍යා සහකාර අධ්‍යක්ෂ විසින් කුරුණෑගල නගරාධිපති වෙත යවන ලද ලිපියේ ද සඳහන් වන්නේ ‘පැරණි රාජ සභා ගොඩනැගිල්ල (බුවනෙක හෝටලය පැවති) හා තවත් ස්ථාන දෙකක් ද පුරාවිද්‍යා වටිනාකම් සහිත ඒවා ලෙස හඳුනාගෙන ඇති බවත් කුරුණෑගල නගරය ශීඝ්‍ර සංවර්ධනයකට ලක්වන බැවින් හා ඉදිරි සංචාරක සැලැස්ම ක්‍රියාත්මක වන බැවින් එම පැරණි ගොඩනැගිලි සංරක්ෂණය කර ආරක්ෂා කිරීම හා ඒවා ආර්ථික උත්පාදන ක්‍රියාවන් සඳහා භාවිත කිරීම සුදුසු වන බව යෝජනා කරන බවයි.’ ස්මාරකයේ පෞරාණිකභාවය පිළිබඳ සොයා බැලීම සදහා ජූලි 16 වන දින පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් කැණීම් කිරීමට නියමිතව තිබිය දී ජූලි 14 දින රාත්‍රි කුරුණෑගල නගර සභාව විසින් ඉන් විශාල කොටසක් ඩෝසර් කර කඩා දමා තිබුණි.


මෙම විනාශය සම්න්ධයෙන් කුරුණෑගල දිස්ත්‍රික්කයේ මැතිවරණ අපේක්ෂක සහ කුරුණෑගල දිස්ත්‍රික්කයේ හිටපු මන්ත්‍රීවරයෙකු ද වන වත්මන් අග්‍රාමාත්‍යවරයා මෙන්ම සංස්කෘතික අමාත්‍යවරයා වන මහින්ද රාජපක්ෂගේ කියවීම වූයේ බුවනෙකබාහු රජුට භාර්යාවන් ගණනාවක් සිටි බවත් මුස්ලිම් භාර්යාවක්ද සිටි බව ය. ඉන් අදහස් කරන්නේ මුස්ලිම් භාර්යාවක් සිටි රජ කෙනෙක්ගේ කාලයට අයත් බව සිතන පෞරාණික ගොඩනැගිල්ලක් වුවත් විනාශ කිරීම එතරම් තැකිය යුතු කරුණක් නොවන බව ජනගත කිරීමට උත්සාහ දැරීම ය. ආගම් ජාතිවාදය රෝපණය කිරීම තුළ තමන් කැමති සියල්ල කිරීමට අවස්ථාව උදාකර ගත හැකි යැයි සිතීම දැන් ඔවුන්ට පුරුද්දක් බවට පත්ව තිබෙන්නේ ය. මේ අතර නාරම්මල ප්‍රදේශයෙන් ජනහමුවකට සහභාගි වූ අවස්ථාවේ ඊට සහභාගීවූවන් අතරින් අයෙක් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ එය හාස්‍යයට ලක් කරමින් පවසන්නේ බුවනෙක යනු බුවනෙක හෝටලයේ අයිතිකාරයාගේ පුතා බවත් එය රාජධානියක් නොවන බවත් ය. එමෙන්ම ජොන්ස්ටන් ප්‍රනාන්දු අමාත්‍යවරයා ද පසුගිය දිනක පවසන්නේ මෙම හානිය සිදුකළ බවට චෝදනාවට ලක්වූ කුරුණෑගල නගරාධිපතිවරයාගේ මයිල් ගහකටවත් අත තබන්නට තමන් ඉඩ නොදෙන බව ය. එය ද ඉතා බරපතළ ප්‍රකාශයකි. මේවා හරහා පැහැදිලිවම පෙනී යන්නේ නීතිය ක්‍රියාත්මක වන්නේ බලය ඇති පාර්ශ්වයට අවශ්‍ය පරිදි බව ය. මෙම ස්මාරකය කුමන යුගයකට අයත් වූවක් වුව ද එය පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු ඉපැරණි ගොඩනැගිල්ලක් බවට සනාථ වූවකි. ඊට අවශ්‍ය තරම් සාධක පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතුව ද තිබෙන්නේ ය. එමෙන්ම වඩා බරපතළ තත්ත්වය වන්නේ මෙම ගොඩනැගිල්ල හදිසියේ කඩා දැමීම සිදුකර තිබෙන්නේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව එහි වැඩිදුර කැණීම් කටයුතු කිරීමේ සූදානමක් ද තිබෙන අවස්ථාවක ය.


සාමාන්‍යයෙන් පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත ස්ථානයකට ඉතා සුළු හානියක් කළ ද පුරාවිද්‍යා ආඥා පනත යටතේ අත්අඩංගුවට ගෙන නඩු පැවරීම සිදුවුවක් මෙම ස්ථානයට අතිවිශාල හානියක් සිදුකර තිබිය දී එම නීතිය ක්‍රියාත්මක වන්නේ නැත. පිදුරංගල පර්වතයට නැග අඩ නිරුවත පෙන්වූ බව පවසමින් තරුණන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් අවස්ථා තිබුණි. තවත් එවැනි උදාහරණ ඉතිහාසය පුරා ඕනෑතරම් තිබුණත් මෙවන් දැවැන්ත හානියක් පුරාවිද්‍යා ස්ථානයකට සිදුකළ අය වෙනුවෙන් ඒ නීතිය සම සේ ක්‍රියාත්මක වූයේ නැත. ඒ වෙනුවට සිදුවන්නේ විරෝධතා මධ්‍යයේ මේ සම්බන්ධයෙන් සොයා බැලීමට යැයි අග්‍රාමාත්‍යවරයා විසින් පංච පුද්ගල කමිටුවක් පත් කිරීමය. කෙසේ වෙතත් එම කමිටුවේ අන්තර් කාලීන වාර්තාවෙන් යෝජනා කර තිබුණේ පුරාවිද්‍යාත්මක වටිනාකමකින් යුතු කුරුණෑගල බුවනෙක ගොඩනැගිල්ල විනාශයට වගකිව යුත්තන්ට එරෙහිව නීතිමය පියවර ගන්නා ලෙස යි. නීතිපතිවරයා කළ ඉල්ලීමකට අනුව කුරුණෑගල පුරාවිද්‍යා ස්ථානයට අදාළ සියලු ලිපිගොනු අධිකරණයට භාර දෙන ලෙස කුරුණෑගල මහේස්ත්‍රාත්වරයාගෙන් නගරාධිපතිට නියෝග කර තිබුණි. එමෙන්ම කුරුණෑගල නගර සංවර්ධන කමිටුවේ සියලු ලිපිගොනු හා සංක්ෂිප්ත වාර්තා අධිකරණය වෙත ලබා දෙන ලෙස වයඹ පළාත් ආණ්ඩුකාරවරයා වෙත ද නියෝග නිකුත් කර තිබුණි.


මෙම සිදුවීම සම්බන්ධනේ සත්කෝරළ උරුමයන් සුරැකීමේ සංවිධානයේ කැඳවුම්කරු වන කුරුණෑගල ප්‍රදේශයේ ප්‍රධාන භික්ෂූන්වහන්සේ නමක් සිදුවීම සම්බන්ධයෙන් රාවයට ප්‍රකාශ කළේ මෙවැන්නකි. “ජූලි 16 වන දා මේකේ කැණීම් වලට සම්බන්ධ වන බව පුරාවිද්‍යා එකෙන් මැයි 27 වනදා නගර සභාවට ලිඛිතව දැනුම් දුන් බව කියනවා. එහෙම තිබිය දී ජූලි 14 රෑ මේක කඩලා තියනවා. 16 කැණීම් කරන්න තිබිය දී 14 රෑ කැඩුවේ ඇයි කියන එකේ ගැටලුවක් තියනවා. මෙතැන පෞරාණික ගොඩනැගිල්ලක් නම් ඒක ආරක්ෂා කළ යුතුයි. වැරදි කවුද කින්ද මන්ද කියන දේ හොයා ගැනීම පුරාවිද්‍යාවට සහ පොලීසියට අයිති කාරණාවක්. හැබැයි ඒ දේවල් ආරක්ෂා කිරීම මේ නගරයේ සිටින ස්වාමීන් වහන්සේලා විදියට අපිටත් වගකීමක් තියනවා. අපිට පක්ෂ දේශපාලනයක් නෑ. කලින් හිටිය පාලකයෝ මේක කඩලා කියලා දැන් චෝදනා කරනවා. ඒ අයගේ කාලයේත් මේවා සංරක්ෂණය කරන්න අවශ්‍ය දේ කළා නම් මේවා වෙන්නේ නැහැ. මේ වෙලාවේ අපි එළියට බැස්සේ මේකේ නිවැරදි පැත්ත එළියට දාන්න මිස දේශපාලන හේතුවක් මත නෙමෙයි. හැබැයි ඒක දේශපාලඥයෝ දඩමීමා කර ගත්තා. ඒක දැන් විතරක් නෙමෙයි හැමදාම වෙන දෙයක්. ආණ්ඩුවෙන් වැරැද්දක් කළාම ඒකෙන් විපක්ෂය ප්‍රයෝජන ගන්නවා.” මේ අතර පාහියංගල ආනන්ද සාගර හිමියන් ද පැවසුවේ තමන් පොලිස් දෙපාර්තමේන්තුවට 2020.07.20 බුවනෙකබාහු රාජ සභා මණ්ඩපය විනාශ කිරීම සම්බන්ධව සීඅයිබී(11)34/31 යටතේ පැමිණිලි කර තිබෙන බව ය. එහෙත් එසේ පැමිණිල්ලක් නොකළ බව පොලිස්පතිවරයා පවසා තිබූ බවත් පොලිස් මූලස්ථානයේම එම පැමිණිල්ල සිදුකළ බව ද එම භික්ෂූන්වහන්සේ ප්‍රකාශ කළේ ය.


කෙසේ වෙතත් මේවායින් ද පැහැදිලිව පෙනෙන කාරණය වන්නේ පවතින නීතිය ක්‍රියාත්මක වන්නේ බලයක් නැති හා සාමාන්‍ය ජනයා වෙනුවෙන් පමණක් මිස බලය තිබෙන අය කෙරෙහි නොවන බව ය. රට ජාතිය උරුමය ආරක්ෂා කරගැනීමට යැයි බලය ඉල්ලමින් පැමිණ සිටින පාලකයන්ට ද සැබවින්ම ඒවා ගැන කිසිදු කැක්කුමක් නොමැති බව ජනතාව මේවායින් හෝ තේරුම් ගත යුතු ය.

මේක පුරාවිද්‍යා ස්ථානයක්


කුරුණෑගල පුරාවිද්‍යා පළාත් කාර්යාලයේ ප්‍රධානියෙක්


මෙහි පැරණි රාජ සභා මණ්ඩපය තිබුණා කියන එකට ජනප්‍රවාද තොරතුරු තිබුණත් ස්ථිර වශයෙන්ම කියන්න වෙන්නේ කැණීම් කටයුතු අවසන් වුණාට පසුවයි. කොහොම වුණත් එහි ගොඩනැගිල්ලක ඉතා පැරණි ද්‍රව්‍යමය සාධකත් තියනවා. ඒ නිසා එතැන රාජ සභා මණ්ඩපය හෝ ඉතා පැරණි ගොඩනැගිල්ලක් තිබුණු බවට සාධක හමුවෙනවා. ඉංග්‍රීසි ආණ්ඩු කාලේ හැදුව එකක් කියලා කීවත් ඒක පැරණි ස්මාරකයක්. 1987 පුරාවිද්‍යා සංශෝධන ආඥා පනතේත් කියන්නේ අවුරුදු සියයකට වඩා පැරණි නම් ඒක පැරණි ස්මාරකයක් හෝ පැරණි පුරාවිද්‍යා ස්ථානයක් ලෙස නම් කරන්න පුළුවන් කියලයි. ඒ අනුවත් මේක පුරාවිද්‍යා ස්මාරකයක් කියලා තහවුරු කරගන්න ප්‍රමාණවත් සාධක තියනවා. ග්‍රාම නිලධාරීන්ගේ තොරතුරුවලට අනුවත් පනස් ගණන්වල කළ මිණුමක දීත් මේක පැරණි ගොඩනැගිල්ලක් කියලා වෙන් කරලා තියනවා. අනෙක් දේ නගර සභාවට මේක බදු දුන් බවට සාධක නැහැ. නගර ආශ්‍රිත ගොඩනැගිල්ලක් නිසා ඒ අයගේ පාලනය යටතේ තමයි තිබිලා තියෙන්නෙ. මේ අය දැන් අලුත් උළු, වයරින් කළ ඒවා පෙන්වනවා. ඒවා පසු කාලයේ අලුත්වැඩියා කළ ඒවා වෙන්න පුළුවන්. ගොඩනැගිල්ලේ තිබෙන පාදම් සහ භාවිත කර ඇති ද්‍රව්‍ය පිළිබඳ සලකා බලද්දී ඒක පැරණි ස්මාරකයක් බව පැහැදිලිව පෙනෙනවා. ඒ නිසා මේක පැරණි ස්මාරකයක් බව කියන්න අපිට ඕනෑ තරම් සාධක මූලාශ්‍ර තියනවා.


පුරාවිද්‍යා ගොඩනැගිලි විවිධ ආයතනවලට හෝ පුද්ගලයන්ට බදු දෙන්න පුළුවන් වුණත් ඒවා ඒ අයට නඩත්තු කරගෙන පාවිච්චි කරන්න පුළුවන් වුණත් ඒවා වෙනස් කරන්න කාටවත් බෑ. වෙනස් කරනවා නම් ඒවාට දෙපාර්තමේන්තුවෙන් අනිවාර්යෙන්ම අනුමැතියක් ගන්න ඕනෑ. මේකත් ජයවික්‍රම පෙරේරා අමාත්‍යවරයා ඉන්න කාලයේ තිස් අවුරුදු බද්දකට හෝටලයක් සදහා යම් අයෙක් දීලා තියනවා. බුවනෙක හෝටලය කරගෙන ගිහින් තියෙන්නේ එයා යි. එතැන දී පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුදැනුමෙන් තොරව යම් යම් ඉදිකිරීම් කරලාත් තියනවා. ඒ වන විට පුරාවිද්‍යා පළාත් කාර්යාලය තිබුණේ පඬුවස්නුවරයි. කුරුණෑගලට එන්නේ මෑතක දී යි. මේ ගැන ගවේෂණය කර ලේඛන ගතකර තිබුණත් නිරන්තරයෙන් ඇස නොගැටෙන නිසාත් එය වූවා විය හැකියි. එය නගර සභාවේ එකක් නිසාත් නිලධාරීන් නිශ්ශබ්ද වෙලා සිටියා ද කියලාත් අපිට හිතෙනවා. නමුත් පසුව නගර සංවර්ධන ව්‍යාපෘතීන් එක්ක නගරයේ තිබෙන පැරණි ගොඩනැගිලි මොනවා ද කියලා අපි ඒ කමිටු රැස්වීම් වල දී පෙන්වා දී තියනවා. බුවනෙක හෝටල තිබූ ගොඩනැගිල්ලත් ඉන් එකක්. මෑත කාලයේ ආසියානු සංවර්ධන බැංකුවේ ව්‍යාපෘතියක් ආ වෙලාවේත් එවැනි අවස්ථා ගණනකදීත් අපි මේවා දැනුම් දීලා තියනවා. මාර්ගය හදන වෙලාවේත් අපේ යෝජනා නිර්දේශ ලබාගෙන එය කරන ලෙස අපි කිවුවා. නමුත් මාර්ග සංවර්ධන අධිකාරියෙනුත් කාණුව හැදූ වෙලාවේ අවසරයක් ගත්තේ නැහැ. එතකොට එතැන පැරණි කාණුව හමුවෙනවා. කුරුණෑගල යුගයේම සාධක තියෙන්නේ ඒ පැරණි කාණුවේ යි. ඒ නිසා අපේ යෝජනා අනුමැතිය නැතිව කරන්න එපා කියලා ඒකට විරුද්ධව පොලීසියේ පැමිණිල්ලක් දාලා ඒක නතර කළා. පස්සේ අපි ගොඩනැගිල්ලත් කැණීම් කරලා වාර්තාවක් හදන්න ලෑස්තිවෙලා ඉද්දී තමයි එකපාරටම නගර සභාවෙන් මේක කඩලා තිබුණෙ. අපි බ්‍රහස්පතින්දා වැඩ පටන් ගන්න ඉද්දී අඟහරුවාදා මේක කඩලා දානවා. රෑ අට විතර වෙද්දී එතැන කට්ටියක් වට කරගෙන ඉන්නවා කියලාත්, පැය භාගයක් යද්දී කඩන්න පටන් ගත්තා කියලා ආරංචි වුණා. ඊට පස්සේ අපේ නිලධාරියෙක් මැදිහත් වෙලා පොලීසියට කියලා නතර කළා.

කැපීම් මගින් තහවුරු කරගත හැකියි


කුරුණෑගල අතිරේක දිස්ත්‍රික් ලේකම් පී.ඒ. කිත්සිරි


මේක දැන් කැඩුව නිසා ඒකේ පාදම බොරදම් සහිත පාදමක් බව හොයා ගන්න පුළුවන් වෙනවා. බි්‍රතාන්‍ය යුගයේ පාවිච්චි කළ ගඩොල්, බි්‍රතාන්‍ය යුගයේ පාවිච්චි කළ බාල්කවලට යෙදූ ඇණ හොයාගෙන තියනවා. ඒ වගේම ගොඩනැගිල්ලේ වාස්තු විද්‍යාත්මක පෙනුම බි්‍රතාන්‍ය යුගයේ විධිය නෙමෙයි, ඊට පෙර කාලයේ පෙනුමක්. මේ කාරණාවලින් මේක පුරාවිද්‍යාත්මක වටිනාකමක් සහිත බවට සාධක තිබෙනවා. පහුගිය ඇඳිරි නීති කාලයේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ නිලධාරීන් මේ ගොඩනැගිල්ලේ මිනුම් ලබාගෙන සංරක්ෂණ සැලැස්මක් හැදුවා. ඒ සංරක්ෂණ සැලැස්ම අතේ තියෙද්දී තමයි මේ ගොඩනැගිල්ල කැඩුවේ. දැන් මේක නැවත සංරක්ෂණය කිරීමේ ගැටලුවක් නැහැ. මොකද ඒකේ සැලැස්ම දැනටමත් තියනවා. ඒ නිසා අමාත්‍යාංශයේ ලේකම්වරයාත් ඇවිත් 24වන දා මේ ගොඩනැගිල්ල සංරක්ෂණය කිරීමේ සාකච්ඡාවක් කළා. අපි තීරණය කළා අපේ තිබෙන හැකියාවන් පාවිච්චි කර මේක සංරක්ෂණය කරන්න එකඟතාවකට ආවා. සංරක්ෂණ සැලැස්ම හදලා තිබුණේ මතුපිට තිබූ තත්ත්වය මතයි. දැන් කැණීමක් හරහා තවදුරටත් තහවුරු කරගන්න පුළුවන් වෙයි.

ඇයි අත්අඩංගුවට නොගත්තෙ


ජාතික කෞතුකාගාර දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ සහ පුරාවිද්‍යා පශ්චාත් උපාධි අධ්‍යයන ආයතනයේ හිටපු අධ්‍යක්ෂ, මහාචාර්ය සිරිනිමල් ලද්දුසිංහ


ආණ්ඩුව හිතාමතාම අධිකරණයේ ආධිපත්‍යය හෑල්ලුවට ලක් කරනවා. මෙහෙම සිද්ධියක දී කරන එකම දේ ළඟම තියන පොලීසියෙන් ගිහින් ඒ දේ කරන අයව අත්අඩංගුවට ගැනීම යි. එහෙම නැතිව කමිටු ද දා වෙන වෙන දේවල් කර කර ඉන්නේ නැහැ. පුරාවස්තුවකට හෝ පුරාවිද්‍යාත්මක ස්ථානයකට හානි කරනවා නම් වහාම පොලීසිය ගිහින් ඒ අයව අත්අඩංගුවට ගන්නවා. එහෙම අත්අඩංගුවට ගත් අයෙකුට උසාවියට දාන තුරු ඇප දෙන්නේත් නෑ. අත්අඩංගුවට ගැනීමත් සමග ම මේක පුරාවස්තු හානි කිරීමක් ද නැද්ද කියන එක පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජෙනරාල්ට දන්වා ඔහුගෙන් වාර්තාවක් ලබා ගන්නවා. ඒ අනුව උසාවි ගෙනිහින් අදාළ පුද්ගලයා සම්බන්ධව කටයුතු කිරීමට පොලීසිය උසාවියෙන් අවසර ඉල්ලනවා. වරදකාරයාගේ මයිලයකටවත් හානියක් වෙන්න දෙන්නේ නැහැ කියලා මේකෙදී හිටපු ඇමතිවරයෙක් කියනවා. රටේ යම් ක්‍රියාපිළිවෙතක් තියෙද්දී එහෙම කියන්නේ කොහොම ද. ඒක භයානක කියමනක්. මේ අය එකතු වෙලා අධිකරණයේ ආධිපත්‍යය හෑල්ලුවට ලක්කරනවා. අනෙක් දේ පුරාවස්තුවකට හානි කරලා තියන අයෙක් අහු වුණාම කමිටු ද දා වාර්තා ගන්නේ මොන සංස්කෘතික ඇමතිවරයා ද. අමාත්‍යවරයාට තිබෙන්නේ පොලීසිය ඒ කටයුතු කරන තුරු බලා සිටීම යි. ඒවා නතර කර කමිටුවක් පත් කරනවා. මේ කරන්නේ තමන්ගේ කෙනාව අනෙක් අයව වගේ උසාවියට සහ කූඩුවට දැමීම වළක්වන්න නම්බුකාර කල් ගැනීමක්. ඒ කමිටුවේ වාර්තාව දුන්නාට පස්සේ නීතිපතිවරයාගෙන් සවිස්තර වාර්තාවක් ඉල්ලනවා. ඒක දෙද්දී ඡන්දය ඉවරයි. මේ අය බොරුවට සංස්කෘතිය ගැනයි ජාතිය ගැනයි කයිවාරු ගැහුවාට ඒ අය ජාතිද්‍රෝහියෝයි. ■