නිමල් අබේසිංහ

කොරෝනාවෙන් වැටුන මිනිසුන්ට විදුලිබල මණ්ඩලය සමග ජලසම්පත් මණ්ඩලයද ඇනීම මේ දිනවල රට පුරා කතාබහට ලක් වෙන්නකි. ඒ ආදායම් විරහිතව සිටි මෙන්ම ආදායම කප්පාදු කළ පිරිසකට දැරියනොහැකි මට්ටමේ විදුලි බිල්පත් සහ ජල බිල්පත් ලැබීමය. මේ මත දැඩි ලෙස අසහනයට පත්ව සිටින ජල විදුලි පාරිභෝගිකයින් දැන් සිටිනුයේ අන්ද මන්දවය.
මෙකී පසුබිම තුළ අපේ සිහියට නැගෙනුයේ ජනාධිපතිධුර අපේක්ෂක නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රකාශයය.


එකී ප්‍රකාශයේ පොදු ජන ජීවන සහන නම් උප මාතෘකාව යටතේ මෙසේ සඳහන් වේ.
“පවතින රජය විසින් අධික මිළට විදුලි මිලදී ගැනීම සඳහා අත්සන් තබා ඇති ගිවිසුම් අහෝසිකර එහි වාසිය පාරිභෝගිකයාට ලබා දෙමින් විදුලි බිලට සහනයක් ලබා දෙන අතර ජල බිල පහළ දැමීමටද කටයුතු කෙරේ”.


මේ ප්‍රස්තුත මාතෘකාව වෙනුවෙන් පමණක් නන්දසේන ගෝඨාභය රාජපක්ෂගේ ජනාධිපතිවරණ ප්‍රකාශයෙහි දී ඇති පොරොන්දුවකි.


“බදු බර අඩු කිරීමෙන් අඩුවන අත්‍යාවශ්‍ය බඩුවල මිල අඩුවීමට ස්ථාවරව පවත්වාගෙන යෑමට කටයුතු කෙරේ” එහි සඳහන් තවත් පොරොන්දුවක් සිහිපත් කරනුයේ මාතෘකාවට අදාල නොවුනද අත්‍යාවශ්‍ය ආහාර සඳහාද මේ වනවිට බදු පනවා ඇති බැවිනි.


කොරෝනා හේතුවෙන් ඇඳිරිනීතිය පනවා තිබු අවධියේ විදුලිබිල් වැඩිවීම පිළිබඳව යොමු වෙද්දි එම බිල්පත් වැඩිවීම අසාමාන්‍ය වී තිබේ.


ඒ කාලය තුළ පාරිභෝගිකයකුට එවන ලද බිල්පත් කීපයක් සංසන්දනය කිරීමෙන් මෙය පහදාගත හැකිය. 2020 පෙබරවාරි 20 සිට මාර්තු 20 දක්වා වු විදුලි බිල්පතෙහි පාවිච්චි කළ ඒකක ප්‍රමාණය 154 කි. ඒ සඳහා අය කිරීම රුපියල් 3246 කි. එම පාරිභෝගිකයාගේ විදුලි බිල මාර්තු 20 සිට අප්‍රේල් 20 දක්වා විදුලිය පාවිච්චි කිරීම ඒකක 137 ක් වන අතර බිලෙහි සඳහන් මුදල රුපියල් 2627 කි. ඊළඟට ඔහුට නිකුත් කර ඇත්තේ 2020 අප්‍රේල් 09 සිට මැයි 14 දක්වා විදුලි බිලකි. එහි පාවිච්චි කර ඇති විදුලි ඒකක ප්‍රමාණය 244 ක් වන අතර අයකර ඇති මුදල රුපියල් 6180 කි.


මෙහිදි පැන නගින බරපතළ ප්‍රශ්නයක් වේ. ඒ මාර්තු 20 සිට අප්‍රේල් 09 දක්වා බිල්පත් ගණනය කිරීමට මනු කියවන්නා නොපැමිණීමය. එය බිල්පත් නිරීක්ෂණයේදී හොඳින්ම පැහැදිලි වේ. එනම් මේ බිල්පත් වල මනු කියවීම සටහන් කර ඇත්තේ මුද්‍රිත අකුරිනි. සාමාන්‍ය පිළිවෙත අනුව මනුකියවන්නා විසින් මනුව පරික්ෂා කර දාතමද සටහන්කර මනු අංකය බිල්පතේ සටහන් කරනු ලබයි. මාර්තු සිට අප්‍රේල් දක්වා මනුකියවීමට මනු කියවන්නා නොපැමිණ ඇති බැවින් එම කාලය තුළට අදාල මනු කියවීම සටහන් කර ඇත්තේ කාර්යාලය තුළදී බව මින් පැහැදිලිය. මේ අනුව සත්‍ය වශයෙන් මාර්තු අප්‍රේල් මාසයේ මනු කියවීම වැරදිය. අප ඉහත දැක්වු බිල්පත් විස්තරය අනුව මාර්තු අප්‍රේල් මාසය තුළ මනු කියවීම සටහන් කර ඇත්තේ ඒකක 137 ක් ලෙසය. ඊට පෙර මාසයේ එම පාරිභෝගිකයා පාවිච්චි කර ඇති ඒකක ප්‍රමාණය 154 කි. අවසාන මාසයේ එනම් අප්‍රේල් 09 සිට මැයි 14 දක්වා ඔහු භාවිතා කර ඇති ඒකක ප්‍රමාණය 244 කි. මෙය ඔහු ඊට පෙර මාසයේ පාවිච්චි කර තිබු විදුලි ඒකක ප්‍රමාණයට වඩා ඒකක 107කින් වැඩිවීමකි. රට පුරාම පාහේ සිදුව ඇත්තේ මේ සන්තෑසිය බව පැහැදිලිය.
රටපුරා සිටින සමස්ථ විදුලි පාරිභෝගිකයින්ගේ සංඛ්‍යාව මිලියන 6.7 වන අතර මින් ගෘහස්ථ පාරිභෝගිකයන් ප්‍රමාණය මිලියන 6.4 කි. මේ කාලය තුළ බොහෝ ව්‍යාපාර ස්ථාන වසා තැබු බැවින් ඔවුන්ගේ විදුලිබිල්හි වෙනසක් සිදුවන්නට ඉඩක් නැත. එහෙත් විශාල ප්‍රමාණයක් සිටින ගෘහස්ත විදුලි පාරිභෝගිකයන්ගේ විදුලි බිල් ඉහළ ගොස් ඇත. මෙම විදුලි බිල්පත් නිවැරදි ඒවා බවට විදුලි බල මණ්ඩලයට තර්ක කළ හැකි බව ඇත්තකි. ඊට හේතුව විදුලි මීටරයට අනුව අනිවාර්යයෙන්ම එහි සඳහන් ඒකක ප්‍රමාණය පාරිභෝගිකයා පාවිච්චි කර තිබීමය. එහෙත් මෙහිදි බරපතළ ගැටළුවක් පැන නගින බව සඳහන් කළ යුතුය. ඊට පිළිතුර මෙහි සඳහන් බිල්පත්හි අප්‍රේල් මැයි බිල්පත දැක්විය හැක. ඒ අනුව එකී බිල්පතෙහි පෙර මාසයට වඩා විදුලි ඒකක 107 ක් පාවිච්චි කර තිබේ.


සාමාන්‍යයෙන් මසකට විදුලි ඒකක 120 කට අඩුවෙන් භාවිතා කරන විදුලි පාරිභෝගිකයකුට ඉහත සඳහන් ක්‍රමයටම බිල්පත් ලැබුණේ නම් අනිවාර්යයෙන්ම ඔහුගේ විදුලි රු ඒකක ප්‍රමාණය 120 ට වැඩිවේ. එවිට ඔහු 120 ට වැඩියෙන් භාවිතා කළ ඒකකයක් සඳහා ගෙවිය යුතු මිල රුපියල් 32 කි. එවන් විටෙක එකී පුද්ගලයාගේ විදුලි බිල ඉහළ යාම අනිවාර්යයෙන්ම සිදුවේ. විදුලි බිල් ඉහළ යාමට හේතුවී ඇත්තේ මෙම තත්ත්වය විය හැකිය.


අප්‍රේල් මැයි විදුලි මාස දෙක සඳහා එකතුවු බිල් පත් දෙකට අමතරව මාර්තු මාසය සඳහාද බිල්පත් ගෙවීමට නොහැකි වු අය සිටිති. එයට හේතුව මාර්තු 20 දින සිට ඇඳිරි නීතිය පැනවීමය. විශේෂයෙන්ම ගම්පහ, කොළඹ, කළුතර, පුත්තලම දිස්ත්‍රික්ක වල පදිංචිකරුවන් මේ අකරතැබ්බයට දැඩිලෙස මුහුණ දුන් අයය. එවන් තත්ත්වයකදී ඔවුනට මාස තුනක බිල්පත් ගෙවන්නට සිදු වේ.


ජල විදුලි බිල්පත් ගෙවීම හමුවේ පාරිභෝගිකයින් අපහසුතාවයට පත්වෙන තවත් කරුණක් වන්නේ ඔවුන්ගේ ආදායම් අහිමිවීමය. රජයේ සේවකයින්ට වුව මේ කාලය තුළ අතිකාල දීමනා ඇතුළු වෙනත් දීමනා අහිමි විය. පෞද්ගලික අංශයේ සේවකයින්ගේ තත්ත්වය එයටත් වඩා දරුණුය. ඒ අතර ත්‍රීවිල් රියදුරන් එදිනෙදා කුලී වැඩ කරන්නන්, කම්කරුවන්, පෙදරේරුවන්, වඩුකාර්මිකයින්, වෑල්ඩින්කරුවන් වැනි අයගේ ආදායම් මේ වකවානුවේ නැත්තටම නැතිවී ගියේය. සමෘද්ධි ප්‍රතිලාභින්ද මේ පිරිසටම අයත් වේ. මේ පිරිස්වලින් වැඩිදෙනා ජීවිතය ගැටගසාගත්තේ රජයෙන් ලැබුණු රුපියල් පන්දහසෙනි. විදුලි බිල්පත් අරභයා කතා කළහොත් පාරිභෝගිකයාගේ පාර්ශ්වයෙන් අපූරු යෝජනාවක් පැමිණ තිබේ. විදුලිය පාවිච්චි කරන්නන්ගේ සංගමය ගෙනෙන යෝජනාව තාර්කික මෙන්ම සාධාරණය. එම සංගමයේ කැඳවුම්කරු සංජීව ධම්මිකගේ අත්සනින් යුතුව ප්‍රසිද්ධ කර ඇති ලිපියේ මෙසේ සඳහන් වේ.


විදුලි පාරිභෝගික ඇප තැන්පතු වල පොලිය පැහැර හැරීම


2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගින් විදුලි පාරිභෝගික ඇප තැන්පතු සඳහා පොලිය ගෙවීම හඳුන්වාදෙන ලදි. මේ යටතේ පනතේ 28 අනුව විදුලි පාරිභෝගිකයෙකුට විදුලි සම්බන්ධතාවයක් ලබාදෙන අවස්ථාවේදී ලංකා විදුලිබල මණ්ඩලය හෝ ලංකා විදුලි පෞද්ගලික සමාගම විසින් ඇපයක් නියම කරයි. මේ ඇප මුදල නොගෙවුවහොත් සම්බන්ධතාවය ලබා දීම ප්‍රතික්ෂේප කරනු ලැබිය හැකිය. 28(3) උප වගන්තියට අනුව මෙසේ විදුලි පාරිභෝගිකයා විසින් තබන ඇප තැන්පතුවක් සඳහා ලංවීම හෝ ලෙකෝ විසින් පොලියක් ගෙවිය යුතුය. කලින් කලට ගෙවිය යුතු පොලිය කුමක්ද යන්න ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව විසින් අනුමත කර ප්‍රකාශයට පත් කළ යුතුය. මේ වන විට එම කොමිෂන් සභාව විසින් 2018 වසර සඳහා විදුලි පාරිභෝගිකයන්ට ගෙවිය යුතු පොලියද ප්‍රකාශයට පත් කර ඇත. කෙසේ වෙතත් පසුගිය දස වසර තුළදී එකම වසරක් සඳහා හෝ ලංකා විදුලිබල මණ්ඩලය හා ලංකා විදුලි පෞද්ගලික සමාගම ඇප තැන්පතු තැබු විදුලිය පාරිභෝගිකයන්ට පොලී ගෙවා නැත.


ලංකා විදුලිබල මණ්ඩලය විසින් ලබාගෙන ඇති ඇප තැන්පතු ප්‍රමාණය


සෑම වර්ෂයකදීම ආසන්න වශයෙන් රුපියල් කෝටි 50 ක මුදලක් ඇප තැන්පතු වශයෙන් ලංකා විදුලිබල මණ්ඩලය සිය නව විදුලි පාරිභෝගිකයින්ගෙන් ලබා ගනී. මේ වන විට ලංවීම එක් රැස්කරගෙන ඇති සමස්ත ඇප තැන්පතු ප්‍රමාණය රුපියල් කෝටි 1500 කට අධික වේ. රුපියල් කෝටි 1500 ට මේ වන විට හිමි විය යුතු පොලිය රුපියල් කෝටි 1000 කට ආසන්නවේ. ඒ අනුව ලංකා විදුලිබල මණ්ඩලය සතුව මේ වනවිට ඇති පාරිභෝගික ඇප තැන්පතු හා පොලී ප්‍රමාණය රුපියල් කෝටි 2500 ක් වේ.


ලංකා විදුලි පෞද්ගලික සමාගම සතු ඇප තැන්පතු (ලෙකො)


ලංකා විදුලි පෞද්ගලික සමාගම(ලෙකො) මේ වන විට නව සම්බන්ධතා ලබා දෙන අවස්ථාවේදී ඇප තැන්පතු ලබා නොගනී. එහෙත් විදුලි බිල්පත් ගෙවීම පැහැර හැරීම හේතුවෙන් විසන්ධි කළ සම්බන්ධතා නැවත ලබාදීමේදි ඇප තැන්පතුවක් ලබාගනී. එසේ ලබාගෙන ඇති මුළු ඇප තැන්පතු ප්‍රමාණය රුපියල් කෝටි 50 කට අධිකය. එම තැන්පතු මුදල සඳහා 2009 සිට 2020 දක්වා පාරිභෝගිකයන්ට හිමිවිය යුතු පොලිය රුපියල් කෝටි 15කට අධිකය. ඒ අනුව විදුලි පාරිභෝගිකයින්ට ලෙකො සමාගම ගෙවිය යුතු ඇප තැන්පතු ප්‍රමාණය හා පොලිය රු. කෝටි 100 කට ආසන්නය.


විදුලි පාරිභෝගිකයන්ට හිමි සිය පොලිය කොරෝනා කාලයේ විදුලි බිල්පත් වලට හිලව් කර විදුලි පාරිභෝගිකයන් ලක්ෂ 65 කට සහන සැපයිය හැකි වේ.


සැබැවින්ම රජය ජනතා හිතකාමීනම් මේ මොහොතේ ඔවුනට සාධාරණය ඉටුකිරීමට ඉහත යෝජනාව ක්‍රියාත්මක කළ හැකිය. රජය එයට සුදානම්ද ?


ප්‍රශ්නයක් නම් විදුලි ඉංජිනේරුවරයාට කියන්න

විදුලිබල මණ්ඩලයේ මාධ්‍ය ප්‍රකාශක සුලක්ෂණ ජයවර්ධන


විදුලි බිල්පත් සම්බන්ධයෙන් පාරිභෝගිකයන්ට කිසියම් ගැටළුවක් ඇති වී තිබෙනවානම් ඔහුට තම ප්‍රදේශයේ විදුලි ඉංජිනේරුවරයා මුණගැසී ගැටළුව නිරාකරණය කරගන්න පුළුවන්. විදුලි පාරිභෝගිකයන්ගේ තැන්පතු වෙනුවෙන් පොලීමුදල් ගෙවිය යුතු බවට පනතේ සඳහන් බව ඇත්තක් වුවත් එය වසර ගණනාවක සිට ක්‍රියාත්මක වී නැහැ.