සුනන්ද දේශප්‍රිය

“කොරෝනා කාලේ ආලේ” කියා ප්‍රබන්ධ දැනටමත් ලියැවෙමින් තිබෙනවා වෙන්නට පුළුවන. අප නොදන්නා රටවල ලේඛක ලේඛිකාවන් විසින් එවැනි කතා දැනටමත් ප්‍රසිද්ධ කර තිබෙනවා වන්නටත් පුළුවන.


කොරෝනා කාලයේ ආලයෙන් බැඳෙන්නට සිත්දෙන චරිත බොහෝ වෙත්. “කොරෝනා පාලනයෙහි නම රැන්දූ නවසීලන්ත අගමැතිනි ඒ අතර උස්ව නැගෙයි. ඇය ජසින්ඩා ආර්ඩන් ය. පසුදාක ඇය සජීවී රූපවාහිනී සාකච්ජාවක යෙදී සිටි අතරතුර ඇය රූපවාහිනී කැමරා ඉදිිරියෙහි සිටි තැනට ද දැනෙන තරමේ භූමි කම්පාවක් එරට ඇති විය. ඇය සිනහසෙමින් “මේ පොඩි භූමි කම්පාවක්. අපව පොඞ්ඩක් හෙළවුණා” යැයි කී ඇය කිසිදු කලබලයකින් තොරව දිගටම සාකච්ඡාවට මුහුණ දුන්නාය. ඊටත් වඩා වැදගත් වූයේ නිවේදකයා දැක්වූ ප්‍රතිචාරයයි. “ අවශ්‍ය වුවහොත් ඕනෑම අවස්ථාවක ඔබට සාකච්ඡාවෙන් නැගිට යන්න පුළුවන්” යැයි ඔහු කීවේ මාධ්‍යවේදයේ ගාම්භීරත්වය පෙන්වමිනි. වෙනත් වචනයකින් ඔහු කීවේ “ඔබට යාමට අවශ්‍ය නම් අපේ අවසරය තිබෙනවා” කියාය. ඇය සිනහවෙමින්ම මාපට ඇඟිල්ල එසවූ අතින් “නියමයි” කීවාය.


කැති ග්රිෆින් පරසිදු උතුරු ඇමෙරිකානු ප්‍රහසනකාරියකි. සිය වේදිකා ප්‍රහසනයන් සහ උපහාසාත්මක ඇල්බමයන් වෙනුවෙන් ත්‍යාගලාභිනියකි. දියවැඩියා රෝගය පිළිබඳ පැවති සමුළුවකදී තමා ඉන්සියුලින් එන්නත් ලබා නොගන්නා බවටත් ජනාධිපති ඩොනල්ඞ් ට්‍රම්ප් කරන ලද තැනට නොහොබිනා ප්‍රකාශයකට ප්‍රතිචාරයක් වශයෙන් ඇය මෙවැනි ට්විටර් පණිවිඩයක් යැව්වාය.
“හුළං මිසක් අනෙකක් නැති සිරින්ජරයකින් විජ්ජාව කැරේවි!

FUCK TRUMP
සිරින්ජරයක් මගින් වා බුබුලු ලේ නහරයකට ඇතුල් කළ විට රුධිර වාහිනී සිරවී මරණය වුව ඇති කළ හැක. ඇය ප්‍රහසනාත්මකව අදහස් තරක ලද්දේ එයයි. ඉංග්‍රීසි බාසාවෙහි බොහෝ විට කේන්තිය දක්වන වචනයක් බවට පත්ව ඇති “FUCK TRUMP” නැත්නම් “ට්‍රම්ප්ට හැමිනියන්” කියා ද ඇය එහිම සඳහන් කළාය.
මේ වනාහි කොරෝනා කාලයේ ආලයෙන් බැඳිය හැකි තවත් අවස්ථාවකි.


කතාව එයම නොවේ. මේ සිදුවීම සිදුවන්නේ මෙරට ජනාධිපති විසින් පුරවැසිකම ලබා දිවිහිමියෙන් රැකගන්නා බවට පොරොන්දු වූ ඇමෙරිකා එක්සත් ජනපදයේය. ඔහුගේ බිරිඳ සහ දරුවන්ද එරට පුරවැසිබව ලැබූවන්ය. එහි වරදක් නැත. ප්‍රශ්නය එයම නොවේ. එවැනි නිදහසක් ඇති රටක ඒ සම්ප්‍රදායන් නිසාම පුරවැසි බව ලබා ජීවනෝපායක් ද ලැබූ ගෝඨාභය රාජපක්ෂ ගැන එහෙම කතාවක් ලියුවොත් මොනවා වෙයිද කියා හිතන්නටවත් බැරිය. අප්‍රේල් 01දා මෝඩයින්ගේ දවසේ “ගෝඨාට පොසිටිව්ලු! පව්” කියා පෝස්ටුවක් දැමූ කාන්තාවකට සිදුවූයේ හිරේ ළගින්නටය.


කොරෝනා කාලයේ මරාල ගැන ඊට දිය හැකි අපූරු උදාහරණයක් නම් “ශ්‍රී ලංකාව පරාදීසයයි.”
පරාදීසයයේ රජ පවුලේ පුත්‍රයකුට අයත්ව තිබූ, නීති විරෝධී යැයි සංඛ්‍යාත තහනම් කර තිබූ රූපවාහිනී නාලිකාව නිකම්ම යළි පවරා දීමට එම නඩු නිමිත්ත ගැන කටයුතු කළ නීතිපති දෙපාර්තමේන්තුවම පියවර ගත්තේ පසුගිය සතියේය. පුදුම නමුත් ඇත්තය. රජ පවුල රජ කළ එකල ගජරාමයට හොද්ද බොර කරගත හැකි ක්‍රීඩා විකාශන භාර දී තිබුණේ ඒ පුත්‍ර රත්නයටය. අයෙකුට ආලයක් ද, තවකෙකුට මරාලයක්ද විය හැකි මේ තීන්දුව හා හූවක් නැතිව සමාජය බාර ගත්තේ කොරෝනා කාලයේ වැඩිය සද්ද බද්ද හොඳ නැති නිසා විය හැකිය.


කොවිඞ් 19 යැයි සැක කළ රෝගියකුට ඇවිදින කොරෝනා මිනිස් බෝම්බයක් යැයි කීවේ ද රජ පවුලට ලැදියාවක් පෙන්වන ලොකු දොස්තර මහත්මයකු විසිනි. ඒ අනුව යමින් රාජපක්ෂ දේශපාලනයේ බලකණුවක් වන ඇමති මහින්දානන්ද අලුත්ගමගේ ක්වේට් රටෙහි කඹුරා රට සල්ලි මෙරටට එවූ, දැන් කොරෝනා වසංගතයට මැදිව සිටින ශ්‍රී ලාංකිකයිනට බෝම්බ යැයි කීවේ රූපවාහිනී නාලිකාවකට මළපහ කරන්නට ආ ගමන්ය. මැදපෙරදිග පමණක් නොව, සිංගප්පූරුව වැනි රටවලද සේවයට ගොස් සිටින ශ්‍රමිකයින් අද ජීවත් වන්නේ අන්ත දුෂ්කර අනතුරුදායක තත්ත්වයකය. නමුත් ජනාධිපති මැතිවරණ සමයෙහි “රට විරුවන්” වූ ඔවුන් දැන් ඒ රාජපක්ෂ දේශපාලනයටම අනුව “රට කන විරුවන්”ය. දේශපාලනයේ හැටි එහෙමය.

කොරෝනා සමයෙහි මෙරටට පහත් වූ ලොකුම මරාලයක් නම් කවර හෝ සැලකීමක් නැතිව පාලකයිනට අවශ්‍ය පරිදි පොලීසිය විසින් නීතියට කැති ග්රිෆින් කී දේ කරමින් සිටීමයි.


නිර්- ප්‍රචණ්ඩ පෝස්ටුවක් දැමීම නිසා රම්සි රසීක් අත්අඩංගුවට ගන්නා පොලීසිය ඔහුට මරණ තර්ජන කරමින් පෝස්ටු දැමූ දාමරිකයින් අත්අඩංගුවට ගන්නේ නැත. මාස එකහමාරක් ගතවීත් අත්අඩංගුවට ගත් නීතිඥ හෙජාස් හිස්බුල්ලා තවමත් අධිකරණයක් ඉදිරියට පමුණුවා නැත. ඔහුට නිසි නීති සහාය ලබාගැනීමට ඉඩ දී නැත. කප්පම් ගැනීම පිණිස නාවික හමුදා පිරිසක් විසින් පැහැරගෙන මරා දමන ලද බවට චෝදනා කැරෙන කිසිදු වරදකට සම්බන්ධ නැති පුද්ගලයින් 11 දෙනා පිළිබඳ කුප්‍රසිද්ධ නඩුවට පෙනී සිටින නීතිඥවරිය වන අචලා සෙනවිරත්නට එරෙහිව කැරෙන මරණ තර්ජන ගැන පොලීසිය සහමුලින්ම වාගේ නිහඬය. වසරකට පෙර ඇය විසින් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට කරන ලද මේ හා සමාන පැමිණිල්ලක් ගැන ද පොලීසිය කිසිදු පියවරක් ගෙන නැත.


ඇඳිරි නීතිය කඩ කරන ලදැයි පොලීසිය විසින් අත්අඩංගුවට ගන්නා ලද පිරිස 60,000 ඉක්මවා තිබේ. දැන් ඇඳිරි නීතිය ඉවත් කිරීමෙන් පසු අත්අඩංගුවට ගැනෙමින් තිබෙන්නේ නිරෝධායන නීති කඩ කිරීමට යැයි වාර්තා වේ. එනම් මුව ආවරණ නොපැළඳීම, සමාජ දුරස්තරභාවය නොපවත්වා ගැනීම යනාදියයි. එසේ නමුත් ආණ්ඩුවේ දේශපාලනඥයෝද යුද්ධ නායකයෝද ප්‍රසිද්ධියේම නිරෝධායන නීති වළපල්ලට යවති. තොණ්ඩමන්ගේ අවමඟුල එක් නිදසුනක් පමණි. රණවිරු සමරුවෙහි ජනාධිපති දෙපසින් සිටින හිටපු ජනාධිපතිවරුන් වන මහින්ද රාජපක්ෂ සහ මෛත්‍රීපාල සිරිසේන මුඛ ආවරණ පැළඳ සිටින නමුත් ගෝඨාභය රාජපක්ෂ මූණ එළියේම තබාගෙන සිටියේ ය. තවත් අවස්ථාවක හමුදාපති කෙනෙකුට අතට අත දුන්නේය. මේ වනාහි ආදර්ශයෙන් පෙන්වන “මං පොර” ජාතකයයි.


මැතිවරණ කොමිසම මාසික රුපියල් 5000 තවදුරටත් දෙන්නේ නම් දේශපාලනඥයින් ඉන් ඉවත්ව සිටිය යුතු බව කී විට ආණ්ඩුවට එය ඇසෙන්නේ 5000 දෙන්න එපා කියූ ලෙසය. සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මැතිවරණ ක්‍රියාදාමය ඉදිරියට ගෙන යාහැකි යැයි කී විට ආණ්ඩුවේ නීතිපති දෙපාර්තමේන්තුවට එය ඇසෙන්නේ මැතිවරණය තියන්න පුළුවන් යැයි ඔහු කී ලෙසය.


ආණ්ඩුව පමණක් ද? කොරෝනා අස්සේ රනිල් වික්‍රමසිංහ සහ අකිල විරාජ් එක්සත් ජාතික පක්ෂයේ ප්‍රධානීන් 100කට වඩා අස්කළ බවට ලියුම් යවයි. එහි දෙවැනි නායකයා වන “සුඛෝපභොගී මන්දිරය මට මතක නැති” රවි කරුණානායක සුළුතරවාදීන් සහ බෞද්ධ විරෝධීන් පැන්නූ නිසා යූඇන්පිය දැන් පිරිසිදුයැයි උම්බෑ කියයි. තමා යූඇන්පීයේ ඊළඟ නායකයා බවද කියයි. යූඇන්පිය බලයේ සිටියේ නම් කොරෝනා අස්සේ බැංකු සියල්ලම කොල්ලකන්නට නොතිබුණේදැයි කරුණානායක දෙස බලන විට නොසිතුණොත් පුදුමය.


කොරෝනා වෛරසයට මුවාවී ආණ්ඩුව දෙමළ ජනයා යුද්ධයෙහිදී මියගිය ඥාතීන් සැමරීමට මැයි 18දා විලංගු දැම්මේය. දේශපාලන කාර්යාල වටා හමුදා බයිසිකල් රේස් පැද්දේය.


ඇමතිවරයෙක් නැති වුවත් ආරක්ෂක අමාත්‍යාංශයට තවත් ආයතන හයක් එක් කැරුණේද කොරෝන වෛරසයේ සෙවණැල්ල යටය. ඒ අතර පාසල් අධ්‍යාපනයක් නැති තරුණ තරුණියන් ලක්ෂයකට රැකියා දීමේ කාර්ය සාධක බලකායද මුදල් අමාත්‍යාංශයේ පර්යේෂණ ආයතනය ද වෙයි. මේ අව් අස්සේම සෞඛ්‍ය අමාත්‍යාංශ ලේකම් ධුරය මේජර් ජෙනරල්වරයකුට පැවරුණි. අද සහල් මිල පාලනයත් හමුදාව යටතේය. රහස් පොලීසිය සහ පොලිස් බුද්ධි අංශයන්ට නව ප්‍රධානීන් පත් කෙරුණි. බලහත්කාරයෙන් රජයේ සේවකයින්ගේ වැටුප් කපා ගැනුණි. සාඩින් සහ පරිප්පු කැවූ කොරෝනාව අන්තිමේදී බඩු මිලට කැති ග්රිෆින් කියු දේ කර සහල් මිලට දෙවියන් සිහි කළේය.


ඇත්තටම මේ ලැයිස්තුව කොතරම් දිගද? අලුතෙන් හනි හනිකේ මැදමූලනට දැමූ අධිවේගී මාර්ගය තරම්?
වෛරසයේ බලපෑම ක්‍රමයෙන් අඩුවනු ඇති නමුත් කොරෝනා කාලයේ මෙරට ජනයා මත කඩා වැටුණු මරාල දිගටම පවතිනවා ඇත. අප ඉදිරියේ ඇත්තේ පෙර දැකිය නොහැකි අඳුරු භයංකාර කාලපරිච්ඡේදයක් විය හැකිය. එබැවින් “කරණීය මෙත්ත සූත්‍රය” කටපාඩම් කර ගැනීම ගැන කල්පනා කිරීමේ වරදක් නැත. ■