රොෂාන් සල්පගේ

සාර්ථකව ජයගත් පළමු කොරෝනා රැුල්ලට පසු අතිශය ප‍්‍රචණ්ඩ දෙවන රැල්ලකට අප දැන් මුහුණ දෙමින් සිටිමු. මෙහි ඇති භයානකම තත්ත්වය වන්නේ මෙම වසංගතය සමාජයේ පැතිරී යාමට ඉතාම ආසන්නයට ම පැමිණ තිබීමයි. තත්ත්වය එතරම් භයානක හා අවදානම්සහගත වුවද පළමු කොවිඞ් රැුල්ලට මුහුණදීමේදී දැක්වූ පරිස්සම් සහගත බව හා විනය එතරම් හොඳින් මේ අවස්ථාවේ නිරීක්ෂණය නොවේ. කොවිඞ් 19න් මිදීම සඳහා අනුගමනය කළ යුතු සෞඛ්‍ය ප‍්‍රමිතීන් හා නිසි පුරුදු නොතකා නිදහසේ කටයුතු කිරීම තුළ මෙම අවදානම වඩා තීව‍්‍ර වී ඇත. මේ අනාරක්ෂිත බව නිසාම තමන්ටත් කොයි මොහොතේ හෝ කොරෝනා වැළඳෙනු ඇතැයි බොහෝ පිරිස් බියෙන් ජීවත්වන වටපිටාවක් නිරීක්ෂණය වේ. තමාට පාලනය කළ නොහැකි වෙනත් අයකුගේ වැරදි හැසිරීම නිසාම තමන් ද අවදානමට ලක්වනු ඇතැයි ඔවුහු බියපත්ව සිටිති. සෞඛ්‍ය සේවකයන් ද දැන් දැන් ආසාදිතයන් බවට පත්වීමට පටන්ගෙන තිබීම නිසා සෞඛ්‍ය පද්ධතියද බරපතළ අභියෝගයකට මුහුණ දෙමින් සිටී.


ආසාදිතයන් සැඟවීම හා ජනමාධ්‍ය භාවිතය


බ‍්‍රැන්ඩික්ස් පොකුරට අදාළව දිවුලපිටිය කාන්තාවක් ආසාදිත වී ඇති බව මුලින්ම දැනගැනීමට ලැබෙනුයේ ඔක්තෝබර් මස 04 වන දිනය. ඒ සමග මහත් කලබලයට පත් ජනයා තුළ කොරෝනා දෙවන රැල්ලක් පිළිබඳව ක්ෂණිකව කම්පනයට පත්ව සිටින අතරතුර සමාජ මාධ්‍ය පමණක් නොව ප‍්‍රධාන ධාරාවේ මාධ්‍ය පවා කොරෝනා සෑදීමේ වගකීම, එම හඳුනාගත් දිවුලපිටියේ කාන්තාවටම පවරමින් ප‍්‍රවෘත්ති ඉදිරිපත් කරනු දක්නට ලැබිණි. ලාංකීය ජනයා ප‍්‍රවෘත්තියක ඇති සිද්ධිමය වටිනාකමට හා එයින් උකහා දැනගතයුතු දේට වඩා ඕපාදූප ස්වරයෙන් යුක්ත වින්දනාත්මක රසයට හා චෝදනාත්මක ස්වරයට කැමති බව මාධ්‍යය ද හොඳින් දන්නා නිසා, ලංකාවේ මාධ්‍යය ද දිවුලපිටිය කතට හා ඇගේ පාසල් දියණියට මෙහි වරද වේලාසනින්ම පටවනු ලැබුවේ කිසිදු විද්‍යාත්මක පදනමක් හෝ තහවුරුකර ගැනීමකින් තොරව ය. එහෙත් දැන් තහවුරු වී ඇත්තේ ඇය එම පොකුරේ පළමු ආසාදිතයා නොවන බවත්, පොකුරේ අතරමැදි අසාදිතයකු ලෙස මෙම රෝගයට ගොදුරුව ඇති බවත්ය. ප‍්‍රධාන මාධ්‍යය මෙන්ම සමාජ මාධ්‍යයේ සැරිසරන්නන් විසින් ඇඟලූම් කම්හල් සේවිකාවන් සමච්චලයට හා උපහාසයට ලක් කරමින් පුවත් හා පෝස්ට් තුලින් නොගැළපෙන අදහස් සමාජ ගත කරන ලදි. මේ අතර ඇතැම් මාධ්‍යය ආයතන වගකීමෙන් කටයුතු කරනු ලැබූ බව ද නිරීක්ෂණය විය.
ආසාදිත රෝගීන් ප‍්‍රතිකාර සඳහා ඉදිරිපත්වීමට මැලිකමක් දක්වන බවත් ඇතැම් අය සැඟවීමට උත්සාහ කරන බවට ද පුවත් පළවන්නට පටන් ගන්නේ ද මෙවන් වාතාවරණයක් තුළම ය. මෙසේ සැඟව සිටීමට උත්සාහ ගැනීමට නොගැළපෙන හා අපහාසත්මක මාධ්‍ය භාවිතයද හේතු විය. මෙම වසංගත තත්ත්වය මර්දනය කර ගැනීමට නම් කොරෝනා ආසාදිත වූවකුගේ ප‍්‍රථම, දෙවන හා තෙවන ලෙස ආශ‍්‍රිතයන් හඹා ගොස් පරීක්ෂා කිරීම් කළ යුතු බව පිළිගැනීම වේ. එසේ තිබියදී ආසාදිතයන් සැඟවී සිටින්නේ නම් තත්ත්වය ඉතා භයානක වනු ඇත. මේ නිසාම මාධ්‍යයේ වගකීම වියයුත්තේ ආසාදිතයන් හෙළිදරව් කරගැනීමට සහය වීම හා ආසාදිතයන්ට වහාම රෝහල් කරා යන ලෙස දිරිමත් කිරීම මිස ඔවුන්ට සැඟව සිටීමට හේතුවන බිය ජනනය කිරීම නොවිය යුතු බව මෙම වරද සිදු කළ මාධ්‍ය තේරුම් ගත යුතු ය. පියාසර කරමින් තිබූ ගුවන්යානයක් කඩා වැටුණු ගුවන්යානයක දර්ශන එම ස්ථානයටම ගොස් වීඩියෝ කර පෙන්වීම මගින් එම පුවතට අගයක් එකතු වුවද අසාදිත රෝගියකු රෝහල් ගතවීම භයානක අපරාධකරුවකු අල්ලා ගත් ලෙස රූගත කර පෙන්වීම, අතිශය ජුගුප්සාජනක දෙයක් මිස එම පුවතට අගය එකතු කරන්නක් නොවන බව සමාජයෙන් එල්ල වන විවේචන හමුවේවත් ඔවුන් තේරුම් ගත යුතුය.


ගවීන් විමලසිරි සාධකය හා වගකීම


යම් පිරිසක් වගකීම් විරහිතව හැසිරෙද්දී තම සමාජීය වගකීම අකුරට ම ඉටු කරන පුරවැසියන් ද කලාතුරකින් හෝ දක්නට ලැබීම ද මේ සිදුවීම් ගොන්නේම දක්නට ලැබීම සතුටට කරුණකි. බටපොළ උඩුවිල ග‍්‍රාමයේ ගවීන් විමලසිරි තමා අසාදිත බව දැනගත් වහාම සමාජ මාධ්‍යයට පෝස්ටුවක් මුදාහැර තමා ආසාදිතයකු ලෙස ආ ගිය සියලූ තැන් හෙළිදරව් කරන ලද්දේ ජන සමාජයේ යහපත උදෙසාය. වැරදි ලෙස සාමාජ මාධ්‍ය භාවිත කරන්නන්ට, සමාජයේ යහපතට සමාජ මාධ්‍ය භාවිත කරන්නේ කෙසේදැයි ඔහු ආදර්ශයක් සැපයී ය. ආසාදිතයකු සතු වගකීම කුමක්ද යන්න සැඟව සිටීමට උත්සාහ ගන්නා සියලූදෙනා ඔහු වෙතින් හෝ උගත යුතු ය.

”පුංචි පුරුද්දක් ලොකු වෙනසක් කරාවි”


කොරෝනාවලින් ගැලවීමට නම් අත්‍යවශයෙන්ම අනුගමනය කළයුතු වන්නේ පුද්ගල දුරස්ථභාවය පවත්වා ගැනීම, දෑත් සේදීම හා මුඛ ආවරණ පැළඳීම වැනි ඉතාම සරල පුරුදු ය. එසේ ම ඊටම එකතු කළ යුතු වඩා සරල ගති පැවතුම් කිහිපයක්ද අප විසින් වඩවා ගත යුතු බවට හොදම උදාහරණයක් ගාල්ල වටරැක ප‍්‍රදේශයේ කොරෝනා වැළඳුණු කාන්තාව විසින් සමාජයට හදුන්වා දෙන ලදි. ඇය තමා ආසාදිත වී ඇති අවස්ථාවේ පොදු ප‍්‍රවාහන සේවාවන් භාවිත කොට තිබූ අතර ඒ සෑම අවස්ථාවකදී ම ඇය විසින් තමා ගමන්ගත් බස්රථවලින් ලබා ගත් ටිකට්පත් ළඟ තබාගෙන තිබිණි. මේ රෝගයේ අවදානම අවම කරලීමට හැක්කේ ආක‍්‍රමණකාරී ලෙස ආශ‍්‍රිතයන් හඹායෑමෙනි. ගමන් ගත් බස් රථයේ ටිකට්පත් ළඟ තබා ගැනීම ආශ‍්‍රිතයන් සොයා යෑම වඩාත් පහසු විය. සුළු ආයාසයකින් පුරුදු කරගත හැකි ඉතා පුංචි පුරුද්දක් සමාජයට කොතරම් වැඩදායකද යන්න මෙම කාන්තාව විසින් සැපයූ ආදර්ශයයි.


සේවායෝජක වගකීම


බ‍්‍රැන්ඩික්ස් පොකුර නිර්මාණය වීම පිළිබඳවත්, රෝග ලක්ෂණ පෙන්වමින් තිබියදී සාමන්‍ය වෛරස් උණක් ලෙස පවසා නොසලකා සේවකයන්ගෙන් වැඩ ගැනීම පිළිබඳවත් බ‍්‍රැන්ඩික්ස් ආයතනය වෙත බරපතළ චෝදනා එල්ල වෙමින් පවතී. ආසාදිත බවට පළමුව හඳුනා ගත් කාන්තාවද රෝග ලක්ෂණ තිබියදී සේවකයන් වෙතින් සේවය ලබාගත් බව පුවත්පත්වලට ලබා දුන් සංවාද වලදී ප‍්‍රකාශ කොට ඇත. ජාතික හා ජාත්‍යන්තරව ඉහළ ගෞරවයක් අත් කරගෙන සිටින ආයතනයක් එවන් චෝදනා ලබන තැනකට පත්වීම පවා ඉතාම කනගාටුදායකය. රෝගී පොකුරක් මතුවීම නිසාම බ‍්‍රැන්ඩික්ස් වෙත චෝදනා එල්ල වුවද රටේ බොහෝ ආයතන කොරෝනා අරබයා අනුගමනය කළ යුතුව තිබු පූර්ව ආරක්ෂක පිළිවෙත් අත්හැර දමා තිබුණේ කොරෝනා අවදානම සිල්ලරට දමමිනි. සෞඛ්‍ය අමාත්‍යාංශය හා ඒ සබැඳි අනු ආයතනවලටම සියලූ වගකීම් නොපවරා කම්කරු දෙපාර්තමේන්තුව වැනි යාන්ත‍්‍රණයන්ද සේවකයන්ගේ සුරක්ෂිතභාවය පිළිබද තම නියාමයන් සිදු කළ යුතුව තිබිණි. ප‍්‍රමාද නමුත් ඔවුන් දැන්වත් තම නියාමනයන් ආරම්භ කළ යුතුව ඇත. තමන් සතු වටිනාම සම්පත ආරක්ෂා කර ගනිමින් ඔවුන් ආරක්ෂිතව සේවයේ යොදවා ගැනීම පිළිබඳව කිසිවිටක බැහැර කළ නොහැකි වගකීමක් හා සදාචාරාත්මක යුතුකමක් සේවායෝජකයා සතුව ඇත.


රට වහමුද?


මේ සඳහා ඇති ඉතාම සරල විසඳුම ලෙස ඇතැම් අය දකින්නේ තාවකාලිකව හෝ රට වසා දැමීමකි. Lockdown කරමු යැයි සරලව ඔවුන්ට පැවසිය හැකි වුව ද ඒ තුළ අවශ්‍යයෙන්ම තේරුම් ගත යුතු වඩා ගැඹුරු කාරණා ඔවුන් තේරුම් නොගනී. ලොව පිළිගත් ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන මූඩි ආයෝජන සේවාව ශ‍්‍රී ලංකාවට ඔවුන් ලබාදී තිබූ ශ්‍රේණිය ස්ථාන දෙකකින් පහත දමමින් මෙරට ණය අවදානම ඉතා ඉහළ රටක් ලෙස වර්ගීකරණය කොට ඇත. ශ‍්‍රී ලංකාවේ ශ්‍රේණිය B1 සිට Caa1 දක්වා ස්ථාන දෙකකින් පහළ දැමීමට එම ආයතනය කටයුතු කොට තිබේ. සහරාන්ගේ ප‍්‍රහාරය මෙන්ම කොරෝනා නිසාද සංචාරක ව්‍යාපාරය නැත්තටම නැති වී ඇත. 50,000 පමණ වූ රැකියා විරහිත උපාධිධාරීන් රාජ්‍ය සේවය සඳහා බඳවාගෙන ඇති බැවින් රජයේ වැය තවත් ඉහළ ගොස් ඇත. මේ සියලූ ආර්ථික කම්පනයන්හි බලපෑම ඉල්ලා සිටින්නේම ආර්ථිකයේ ඉහළ වර්ධනයකි. මේ නිසාම හැකි උපරිම අයුරින් ආදායම් ගෙන නිෂ්පාදන හා සේවා ආයතන පවත්වා ගැනීමට අපට සිදුවනු ඇත. තව වසර 2 ක් වත් කොරෝනා ලොව පැවැතිය හැකි බවට මත පළවෙමින් ඇත. එසේ වන්නේ නම් අපට ඒ වන තෙක් රට වසාගෙන සිටිය හැකිද? පෙනෙන එකම විසඳුම කොරෝනා සමගම පරිස්සමෙන් ඉදිරියට යාම පමණි. •

2 COMMENTS

  1. වර්තමානයේ අපි ලෝකයක් ලෙසින් මූණ දී ඇති අඅර්බුදකාරී වසංගතය හමුවේ අපේ රට තුළ සමාජයක් වශයෙන් හා මාධ්‍යයන්ගේ වගකීම් ගැන සරලව පැහැදිලි කළ ලිපියක්. ඇත්තටම මේ වෙලාවෙ මාධ්‍යයගේ ක්‍රියා කලාපය ඉතා ප්‍රාථමිකයි. මීට වඩා බොහෝ වගකීම් සහගතව ක්‍රියා ක්‍රියා කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

Comments are closed.