කුසල් පෙරේරා


ගම දුප්පත් නිසා ජීවිතයක් සොයාගෙන මහ නගරයට පැමිණි අහිංසක තරුණයන් මහත්වරුන් සේ අන්දවා ගිනි ගහන මධ්‍යාහ්නේ මදුරුතලා පිති වනන්නට පදිකයේ සිටුවා තිබූ සැටි මම දැක ඇත්තෙමි. තුට්ටු දෙකේ දෛනික වැටුපකට “මෑන් පවර්” රැකියා ඒජන්සි මගින් තැන තැන රැකියාවල යොදවන දිනකට පැය 12 ක් කඹුරන තරුණියන් මට හමුව ඇත. නගරයේ මැද පාන්තිකයින් උදේ හවස සනීපාරාක්ෂාවට ඇවිදින බෙල්ලන්විල මංතීරු අසල පාරේ ත්‍රීරෝද රථයේම රෑ නිදන තරුණයන් සමග මා කතා කර ඇත. වැඩ මුරයට අතිකාලය එකතුව දවසම හිටගෙන සේවය කරන්නට සිදුවන සුපර්මාකට් තරුණ තරුණියන්ගේ දුක මම අසා ඇත්තෙමි. කොරෝනාව හේතුවෙන් ආදායම් සොයා ගත නොහැකිව කහට කෝප්පයකින් දවස ගෙවූ තරුණයන්ද මට හමුව ඇත.

පැය කිහිපයක දැනුම් දීමකින් රටම වසා දැමීමේ ඇඳිරි නීතිය ඉකුත් මාර්තු 20 වන සිකුරාදා පැනවූ පසු මේ අසරණුන් ගම් බිම් බලා යන්නට පොරකන විට, ඔවුන්ට දොස් නැගූ නාගරික මැද පන්තිකයින්ගේ අවලාද මම අසා සිටියෙමි. ඉන්න තැන සිට ආරක්ෂා වන හැටි ඉගැන්වීමට සමාජ මාධ්‍ය ජාලවලට ගොඩ වූ සහතිකධාරීන් දුටුවෙමි. සුව පහසු ඇඳිරි නීති ජීවිත සඳහා බඩු තොග ගසා ගත් නෝනලාගේ මහත්වරුන්ගේ පාණ්ඩිත්‍යයද මට ඇසුණි. ඒවායේ තිබූ ආත්මාර්ථයද මම දුටුවෙමි.


මේ කවිය ලියූවේ ඒ සියල්ල ගැන ඇතිවූ අපුල සමග, ඇඳිරි නීති සමගින් දිග හරින හිතුවක්කාර පිළිවෙත් නිසා මුල් උදුරා දැමෙන නාගරික අවිධිමත් ක්ෂේත්‍රයේ වන මේ අසරණුන් වෙනුවෙනි. කොරෝනා පාලනයට ඔවුන්ද සමගින් සමාජයේ පහළ ස්ථර ඇතුළු කරගත හැකි විසඳුම් නොමැත්තේ නම්, කෝච්චිය යන්නේ වැරදි පීල්ලක, වැරදි තැනකට යැයි කීමටය.


අන්තිම රේල්ලුව
ඇයද යා යුතුය ගම,
අප වැනිම විය යුතුය
ඇවිදින් ඇයද නගරයට,
සොයන්නට බඩ වියත.
ඇයද යා යුතුය දැන්
නොතකා මීටරේ ඉඩ,
තව අයට ගම යන්න.

පොදි බැඳන් අවිනිශ්චිතය,
හිර කරන් බඩු මල්ල,
එල්ල ගෙන කර මතින් ජීවිත,
හිර කෙටුණු දුම්රිය පෙට්ටිවල,
ගම යන්න හදිස්සිය,
ඇඳිරි නීතිය වැටෙන්නට පෙර.

කිරි කහට කෝප්පය
රැය නිදන්නට ඉඩ නොදුන්,
වැඩක් නැති දහවල,
සෝදන්නෙ ගම යන්න දෑතම.
කිම පලය දහවල සේදු අත,
රේල්ලුවෙ ඉඩ නැතිව හිට ගන්න.

ඉඩක් නැති කහින්නට,
හෙටක් නැති හිතන්නට,
කණස්සලු හිත් තොග පුරවගෙන,
පීලි මත ගාට ගාට යන රේල්ලුව,
වැරදිලා අවසන් නැවතුම,
පැමිණ ඇත කොරෝනා නගරෙට.
කුසල්
2020 මාර්තු 22

ජැටියේ සිට වරාය දක්වා “මුඩුක්කු” ජනතාව


කොළඹ අවිධිමත් වෙළෙඳපොළ ආර්ථිකයෙහි පොදි ගැසුණු එවන් අසරණුන් බහුතරයක් කොළඹ හැර ගියේ ඔවුන් කොළඹ නිත්‍ය පදිංචිකරුවන් නොවන හෙයිනි. එහෙත් කොළඹ හැර යන්නට නොහැකි නිත්‍ය පදිංචියක් ඇති එවැනිම දිළිඳු ප්‍රජාවක් කොළඹ සිටිති. අතීතයේ දෙමළෙන් “මුටුක්කු” යැයි කියූව සිංහලට පෙරළගෙන “මුඩුක්කු” වැසියන් යැයි හැඳින්වූ පිරිස ඔවුන්ය. කොළඹ නගරයේ මැද පන්තියට වඩා ඔවුන් ඓන්ද්‍රීය පදිංචිකරුවෝ වෙති. කොළඹ “ජැටිය” වටා මීට අවුරුදු සියයකට පෙර සිට පදිංචි වූ ඔවුහු ජැටියේ සහ අනෙක් අවශේෂ දෛනික සේවාවන්හි කුලී කම්කරුවන් වූහ. ජැටිය පසුව කොළඹ “හාබර් එක” වන විට එවැනි පිරිස් පදිංචි වූ මුඩුක්කු, විශේෂයෙන් උතුරු කොළඹ, මැද කොළඹ සහ බොරැල්ල, දෙමටගොඩ ප්‍රදේශවල “මුඩුක්කු වතු” ලෙස ව්‍යාප්ත විය. “හාබර් එක” කොළඹ “වරාය” ලෙස නවීකරණය වන කාලයේ, මේ මුඩුක්කු වතු සඳහා කොළඹ මහ නගර සභාව යම් නම්බුකාර යෙදුමක් ලෙස “ඌන පහසුකම් සමගින් වන වතු” යැයි ඒවා ආමන්ත්‍රණය කරන්නට විය.


එහෙත් කොළඹ යැයි කී විට මැවෙන යෝධ වෙළෙඳ සංකීර්ණ, සුඛෝපභෝගී සුවිසල් නිවාස සංකීර්ණ, මාචුපීචු වල සිට මස්කට්, මහරස්ත්‍රා හරහා මැන්චුරියාව දක්වා කෑම වට්ටෝරු සහිත ඉහළ පෙළ අවහන් හල්, රාත්‍රී සමාජ ශාලා, නිරෝගී ශරීර සඳහා “ස්පා” හල්, ශරීර සෞඛ්‍ය වෙනුවෙන් ඇවිදින්නට ඉදිකෙරුණු මංතීරු සහිත උද්‍යාන, වාහන සඳහා විශාල රථ ගාල් වැනි අවශ්‍යතා සැපිරීමේ පහසුකම් ඇත්තේ මේ “ඌන පහසුකම් සමගින් වන වතු” ප්‍රජාවට නොවේ. ඒ වර්ණවත් සුවපහසු “කොළඹ” ඔවුන්ගේ කොළඹ නොවේ. එය දේශපාලන බලය කේන්ද්‍රගත වූ කොළඹ ය. එය විවෘත වෙළෙඳපොළ ආර්ථිකයෙහි සල්ලිකාර පාරිභෝගිකයින්ගේ කොළඹ ය. එය වෘත්තිකයින්ගේ, විද්වතුන්ගේ, විශේෂඥයින්ගේ, ඉහළ පරිපාලකයින්ගේ කොළඹ ය. එය අත මිට මිල මුදල් ගැවසෙන මැද පන්තික පාරිභෝගිකයින්ගේ කොළඹ ය.


නගර සංවර්ධන අධිකාරයේ නිල වෙබ් අඩවියට අනුව, කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නිත්‍ය පදිංචිකරුවන්ගෙන් සියයට 50 ක් එනමුත් මේ මැද පන්තික පාරිභෝගිකයින් නොවේ. කොළඹ නගරයෙන් සියයට 50 ක් “ඌන පහසුකම් සමගින් වන වතු” ප්‍රජාව වන්නාහ. කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි එවැනි “වතු” 1,499 ක් ඇත. ඒවායේ මනුස්ස පදිංචිය සඳහා නිරෝගී පරිසරයක් නැතැයි එම වෙබ් අඩවියහි සඳහන්කර ඇත. පිරිසිදු ජලය, සනීපාරක්ෂක පහසුකම්ද ඒවායේ අවශ්‍ය පරිදි නැතැයි සඳහන් වන්නේය (https://www.uda.gov.lk/urban-regeneration-programme.html). එයටම අනුව එම වතුවල පවුල් 68,812 ක් වාසය කරති.


මීට වසර 04 ට පෙර 2016 දී “සෙවනත” රාජ්‍ය නොවන සංවිධානය විසින් කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයෙහි කළ ක්ෂේත්‍ර අධ්‍යනයකට අනුව, “ඌන පහසුකම් සමගින් වන වතු” ජනගහනයෙන් –
■ සියයට 41 ක් පාවිච්චි කරන්නේ පොදු වැසිකිළිය
■ සියයට 08 ට වැසිකිළි නැත
■ සියයට 33 ට නල ජලය නැත
■ සියයට 15 ක ගෘහයන්ගෙන් සියයට 50 ක් තනි දෙමාපිය ගෘහයන්ය
■ සියයට 78 ක ගේ මාසික ආදායම රුපියල් 20,000 ට අඩුය.
පසුගිය වසර 04 ඇතුළත මේ තත්ත්වයන්හි ගණන් හැදිය යුතු වැදගත් වෙනසක් සිදුව නැති බැව් නගර සංවර්ධන අධිකාරියේ විස්තරයෙන් කියවෙන්නකි.


දෙනුවර කොරෝනා අන්දරය


කොවිඞ්-19 වසංගතයේ දෙවන රැල්ල ශීඝ්‍රයෙන් පැතිරීම ගැන කතාව ඒ හා බැඳුණකි. මේ වනවිට එය පාලනය කිරීමේ අසීරුවක් දැකිය හැකි අතර ඉන් වැඩි අවදානමකට පත්ව ඇත්තේ කොළඹ ය. මේ ශීඝ්‍ර පැතිරීම තේරුම් ගැනීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයයෙහි මහාචාර්ය නීලිකා මලවිගේ ප්‍රමුඛ විශේෂඥයින් කණ්ඩායමක් වෛරසයේ පැතිරීම පිළිබඳව සිදු කළ පර්යේෂණයකට අනුව එහි ඇතිව තිබෙන වෙනස්වීම් සමග අලුත් ප්‍රභේදයක් බිහිවීම එයට හේතු වන්නේය. එහෙත් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශ විශේෂයෙන් එයට ගොදුරු වන්නේ ඇයිදැයි පර්යේෂණ මගින් කියවෙන්නේ නැත.

කොළඹ නගරයේ ප්‍රාදේශීය වසංගත රෝග විද්‍යාඥ වෛද්‍ය දිනු ගමගේට අනුව කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ නොවැම්බර 16 වන දින වනවිට සමස්ත ආසාදිත සංඛ්‍යාව 4,500 ට අධික විය. ඒ වනවිට කොළඹ දිස්ත්‍රික්කයෙහි ආසාදනයවීම් 5,366ක් විය. සෞඛ්‍ය අමාත්‍යාංශයේ වසංගත රෝග විද්‍යා අංශයට අනුව ඔක්තෝබර් 04 වන දිනයද ඇතුළුව මෙතෙක් ගතවූ දින 14 තුළ කොළඹ මහ නගර සීමාව ඇතුළත ආසාදිත සංඛ්‍යාව 1,782 කි. මේ සංඛ්‍යාවෙන් බහුතරය ඇත්තේ “ඌන පහසුකම් සමගින් වන වතු” බහුතරයක් පිහිටි උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශවල ය. එය සනාථ වන්නේ හුදකලා ප්‍රදේශ ලෙස වසා දමා ඇති කොළඹ පොලිස් වසම් අනුවය. කොළඹ මහ නගර සභා සීමාව තුළ හුදකලා ප්‍රදේශ ලෙස දෙසතියකට පමණ ඉහතින් පළමුව වසා දමනු ලැබූයේ මට්ටක්කුලිය, මෝදර, බ්ලුමැන්ඩල්, කොටහේන, තොටළඟ, වෙරළාසන්න පොලිස් ප්‍රදේශය, ආදුරුප්පු වීදිය, මාලිගාවත්ත, දෙමටගොඩ, කෙසෙල්වත්ත සහ බොරැල්ල ප්‍රදේශයන් ය. පසුගිය 16 වන සඳුදා අලුයම සිට මරදාන, කොටුව, පිටකොටුව, කොම්පඤ්ඤවීදිය සහ වේල්ල වීදිය ප්‍රදේශ 05 හුදකලා කර වසා දැමුණි. ඒ අනුව කොළඹ මහ නගර සභා සීමාව ඇතුළත වසා දමා ඇත්තේ අධික ජනගහනයක් ඇති “ඌන පහසුකම් සමගින් වන වතු” බහුතරයක් පිහිටි උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශයන් ය.


කොළඹ මියයෑම් වැඩියෙන් වාර්තා වන්නේද මේ ප්‍රදේශවලින්ය. ප්‍රවෘත්ති දෙපර්තමේන්තුවේ වාර්තා අනුව, මේ වනවිට 61 ක් වන මෙරට සමස්ත මරණ සංඛ්‍යාවෙන් නොවැම්බර් 04 වන දින සිට නොවැම්බර් 16 වන දිනය දක්වා කොළඹ 02, 08, 10, 11, 12, 13, 14 සහ 15 න් වාර්තා වූ මරණ සංඛ්‍යාව 21 කි. එනම් සමස්ත කෝවිඞ්-19 මරණ සංඛ්‍යාවෙන් සියයට 34 ක් උතුරු කොළඹ, මැද කොළඹ, බොරැල්ල හා දෙමටගොඩ ප්‍රදේශයන්හි ය. ඊට අමතරව, බොරැල්ල පොලීසියේ 90 ක්ද කොටුව පොලීසියේ 82 ක්ද ආසාදිතව ඇතැයි වාර්තා විය.


මේ සියල්ලෙන් කියන කතාව වන්නේ වත් පොහොසත් මැද පන්තිකයින්ගේ සුව පහසු කොළඹට වඩා “ඌන පහසුකම් සමගින් වන වතු” වාසීන්ගේ කොළඹ කොවිඞ්-19 ට ශීඝ්‍රයෙන් ගොදුරුවී ඇති බවය.


කොරෝනාවේ පන්ති පරතරය


මේ හිර කෙටුණු “ඌන පහසුකම් සමගින් වන වතු” පිහිටි ප්‍රදේශවල මීටරයක සමාජ දුරස්ථභාවය, නිරතුරුව සනීපාරක්ෂක දියර සමග අත් සෝදා ගැනීම, ස්වයං නිරෝධායන පහසුකම් ක්‍රියාත්මක කළ නොහැකිය. ඔවුන් මුහුණු ආවරණ භාවිත කරන්නේද ඉතා ලාභ, සෞඛ්‍යාරක්ෂණ ප්‍රමිතීන්ට අනුව මසනු ලැබූ මුහුණු ආවරණ නොවේ. ඉතා කෙටියෙන් කියන්නේ නම්, කොළඹ නගරයේ මේ බහුතර පහත සමාජ ස්ථර සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ කොවිඞ්-19 වසංගත ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ අදාළ නැත. එකිනෙකා අතර ඉඩක් තබා ගත නොහැකි ඌන පහසුකම් ඇති පරිසරයක එවැනි පියවර සඳහා ඉඩක් හැකියාවක් නැත.


ඔවුන්ගෙන් ඇතැමුන් කොළඹ වරායේ සේවකයින් වූවත් බහුතරය දෛනික ආදායම් සොයා ගන්නා, විවෘත වෙළෙඳපොළ අවිධිමත් ක්ෂේත්‍රයෙහි යැපෙනවුන්ය. ප්‍රායෝගිකව ඔවුන්ට අනුගමනය කිරීමට නොහැකි කොවිඞ්-19 වසංගත පාලනයට පනවා ඇති ආරක්ෂණ පියවර වෙනුවෙන් දින නියමයක් නැතිව, හුදකලාකර වසා දැමීම අති බහුතරයකට ඔරොත්තු නොදෙන්නකි. එවැනි ආරක්ෂණ පියවර බලහත්කාරයෙන් ඔවුන් මත පටවන්නටද නොහැකිය.
ඇත්තම කතාව නම්, කොවිඞ්-19 වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ සමස්ත ලංකාවම තමන්ගේ මැද පන්තික වුවමනාවන් හා අගයන් සහිත එකම සුවපහසු තැන්නක් යැයි සිතන්නාවූ ඉහළ නිලධර පැලැන්තිය වන්නේය. ඔවුන්ගේ ආත්මාර්ථකාමී පැවැත්මට ගැළපෙන අයුරිණි. එබැවින් එම පියවර පිළිපැදිය හැක්කේ නිවසේ සිට රාජකාරි කටයුතු කළ හැකි ඉහළ වෘත්තිකයින්ටය. මේ විවෘත වෙළෙඳපොළෙහි අන්තර්ජාල පාරිභෝගිකයින් වීමේ හැකියාව ඇත්තවූන්ටය. තම දරුවන්ට අන්තර්ජාලයෙන් පාසල් යා හැකි මැද පන්තිකයින්ටය. මේ වසංගතය පාලනය සඳහා ආරක්ෂණ පියවර හා මාර්ගෝපදේශ සකසා ඇත්තේ ආණ්ඩු පාලනයේ දේශපාලන වුවමනාවන්ටද ගැළපෙන අයුරු නාගරික මැද පන්තියේ නිලධර පිරිස්වල සෘජු දායකත්වය ඇතිවය.


කොළඹ මහ නගර සභා සීමාව තුළ කොව්ඞ්-19 වසංගතය පැතිරීම පෙන්වන්නේ එවැනි මැද පන්තික විසඳුම් රටේ සියල්ලන්ට අදාළ නොවන බව පමණක් නොව, ඒවා බලහත්කාරයෙන් ක්‍රියාවට දැමීමෙන් වසංගතය පාලනය කිරීමටද නොහැකි බවය. එහි භයානකකම ඇත්තේ මේ නාගරික මැද පන්තික පියවර කටුනායක වෙළෙඳ කලාපයේ හා කම්හල්වල සේවක සේවිකාවන් අතරද සාර්ථකව ක්‍රියාවට නගන්නට නොහැකි වීමෙහිය. එය වඩාත් භයානක වන්නේ සමස්ත තේ වැවිලි ආර්ථිකයම ඇණ හිටුවිය හැකි ලෙස වැවිලිකරයේ ලයින් කාමර වලට පැතිරුණහොත් මේ පියවර කිසිත් විසඳුම් නොවන හෙයින්ය.

සියල්ලන්ට විසඳුම් හැදීම


ආරම්භයක් ලෙස මේ මොහොතේ එනිසා ප්‍රමාදව හෝ කළයුත්තේ කොළඹ මහ නගර සභා බල ප්‍රදේශයේ කොවිඞ්-19 පාලනයේ සියලු වගකීම් එහි ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරීට හා ඔහුගේ සෞඛ්‍ය දෙපාර්තමේන්තුවට බාරදීමය. කොළඹ මහ නගර සභා පොළොව හරි හැටි දන්නේ ඔවුන්ය. එහි ජනතාවගේ විශ්වාසය දිනා ගැනීමට මැදිහත්විය හැක්කේද ප්‍රදේශයේ ජනතාව දන්නා ඔවුන්ටය. ඒ වෙනුවෙන් මහ ආණ්ඩුව කොළඹ මහ නගර සභාවට සහාය දිය යුත්තේ හුදකලා කර වසා දමා ඇති ප්‍රදේශයන්හි ජනතාවට –
■ වැදගත් වියළි ආහාර මල්ලක් දෙසතියකට වරක් ලබා දීමට සහ වෙනත් අත්‍යවශ්‍ය භාණ්ඩ හා අවශ්‍යතා සඳහා රුපියල් 10,000 ක මාසික දීමනාවක් ලබා දීමෙන්ද
■ නගර සංවර්ධන අධිකාරිය ගණන් හදා ඇති “ඌන පහසුකම් සමගින් වන වතු” වල පවුල් 68,000 සේ වැඩිහිටියන් වහා පී.සී.ආර් පරීක්ෂණ සඳහා යොමු කරන්නට හා නැවත දින 10 කින් එම පරීක්ෂණ කිරීමට පහසුකම් ලබා දීමෙන්ද වන්නේය.


කොළඹ මහ නගර සභාව වහා “ඌන පහසුකම් සමගින් වන වතු” ජනතාවගේ විශේෂයෙන් කාන්තා නියෝජනයක්ද සමග ප්‍රායෝගිකව ක්‍රියාත්මක කළ හැකි සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් සැකසීමට පියවර ගත යුතුය.


සෞඛ්‍ය ආරක්ෂණ පියවර සැලසුම් කළයුත්තේ පවතින සමාජ ආර්ථික තත්ත්වයන්ට අනුව මිස මැද පන්තියේ හැකියාවන්ට අනුව නොවන බැව් මේ දෙවන රැල්ලෙහි කොළඹ පැතිරීම ඔප්පු කරන්නකි. එනිසා ප්‍රමාදව හෝ ප්‍රදේශය හා සමාජය අනුව සැලසුම් කිරීමට අප ප්‍රජා සෞඛ්‍ය සේවාවන් මූලික කර ගැනීමට තීන්දු කළයුත්තේ විසඳුම ඇත්තේ එතැන හෙයිනි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here