නාලක ගුණවර්ධන – [email protected]

ටී.බී. ඉලංගරත්න සූරීන්ගේ විලම්බීත, තිලක, තිලක හා තිලකා කියන තුන් ඈඳුතු නවකථා මාලාවේ දෙවැනි පොතේ අප කියවන්නේ රජයේ ලිපිකරු තිලකගේ තරුණ විය ගැන.


තිලකගේ බෝඩින් සගයන් අතර පත්තර වාර්තාකරුවකු ද සිටියා. මට මතක ඇති විධියට නම් ඔහුගේ නම මඩගොඩ. සෙස්සෝ කීවේ අනුන්ගේ කුණු කන්දල් සොයා යන නිසා නම අපූරුවට ගැළපෙන බවයි. ඔහුට නිගරු කිරීමට සමහර වෙලාවට අනෙක් අය කීවේ “පත්තර පරයා” කියලයි.


වාර්තාකරුවන් අනුන්ගේ කුණු කන්දල් අවුස්සන බවට පවතින ජනමතය අද ඊයෙ මතු වූවක් නොවෙයි. එයට පදනම් වන සාක්ෂිද එමට තිබෙනවා.


උදාහරණයක්: දශක කිහිපයකට ඉහත මෙරට පුවත්පත්වල දික්කසාද නඩු ගැන අධිකරණ වාර්තා නිතර පළ වුණා. අදාළ දෙපාර්ශ්වය හැරුණු කොට සෙසු සමාජයට කිසිදු අදාළත්වයක් නැතත්, ඒවායෙන් මතුවන කුණු රසය නිසාදෝ මෙවැනි වාර්තාකරණයට එකල සැලකිය යුතු ප්‍රමාණයක පුවත්පත් ඉඩ වෙන් කෙරුණා.


එහෙත් පසු කලෙක එම සම්ප්‍රදාය නතර වුණා. එයට හේතුව පෞද්ගලිකත්වය පිළිබඳ මෙරට මාධ්‍ය යම් තරමකටවත් සංවේදීවීමද? නැතිනම් ඊට වඩා භාවප්‍රකෝපකාරී ලෙස වාර්තා කළ හැකි රිය අනතුරු, අපරාධ, සිවිල් යුද්ධය වැනි ප්‍රවණතා ප්‍රබලව මතුව ඒමද?


මාධ්‍ය විසින් පෞද්ගලිකත්වය ආක්‍රමණය කිරීම වඩාත් උග්‍ර වී ඇත්තේ දේශීය ටෙලිවිෂන් නාලිකා මෙරට වඩාත්ම ප්‍රචලිත ජනමාධ්‍යය බවට පත්වීමෙන් පසුවයි. (මාධ්‍ය සමීක්ෂණ සනාථ කරන පරිදි, මෙරට ජනයාගෙන් 90%කට වඩා පුවත් හා කාලීන තොරතුරු ටෙලිවිෂන් හරහා ලබා ගන්නවා.)


බිහිසුණු රිය අනතුරු, මිනීමැරුම්, ආපදාවන් වැනි අවස්ථාවලදී වින්දිතයන් සහ ඔවුන්ගේ පවුල්වල අය දැඩි කම්පාවට සහ ශෝකයට පත්වනවා. එවැනි ඛේදවාචකයන්ගේ හේතු සාධක ගැන තොරතුරු දැනගැනීම සමාජයට වැදගත් විය හැකි වුවත්, ඒවා ගවේෂණාත්මක සහ සංවේදී ලෙසින් හසුකර ගැනීමේ විශාල වගකීමක් මාධ්‍යවේදීන්ට තිබෙනවා.


නමුත් මෑතකාලීනව අප බොහෝ විට දකින්නේ ඛේදවාචකයක් සිදුවී පැය කිහිපයක් ඇතුළත වාර්තාකරුවන් සහ වීඩියෝ කැමරාකරුවන් එතැනට ඇදී එන සැටියි. හරියට තුවාල ලද වන සත්ත්වයකු අසරණව සිටින විට කෑදරකමින් ළං වන වෘක රැළක් වගේ.


ඒ අවස්ථාවන්හිදී වින්දිතයන්ගේ පෞද්ගලික ඉඩම් හා නිවෙස් තුළට ආරාධනයකින් තොරව ඔවුන් කඩා පනිනවා. ඉන් පසු මාධ්‍ය සඳහා ඡායාරූප, වීඩියෝ රූප සහ වොයිස් කට් එක්රැස් කිරීම කිසිදු සංවරයකින් තොරව සිදු කරනු මා දැක තිබෙනවා.
ඛේදජනක මරණයක් සිදුවූ නිවෙසක සමීපතයන්ගෙන් කඳුළු සහ විලාප සමග වොයිස්කට් ලබාගෙන, එය තලුමරමින් දවසේ ප්‍රධාන ප්‍රවෘත්ති විකාශයේ ප්‍රමුඛ තැනක් දී ඉදිරිපත් කිරීමේ බෙහෙවින් අශිෂ්ට සම්ප්‍රදාය ඇරඹුවේ එක්තරා සරුව පිත්තල ටෙලිවිෂන් නාලිකාවක්. ඒ මීට වසර කිහිපයකට පෙරයි.


එය ඇරඹි මුල් වකවානුවේ ‘ලේ සහ කඳුළු නිර්ලජ්ජිත ලෙස අලෙවි කරන පිත්තල නාලිකාව’ ලෙස මා ප්‍රසිද්ධියේ ඔවුන් විවේචනය කළා. කිසිදු වෙනසක් සිදුවූයේ නැහැ.


එහෙත් එම ප්‍රවෘත්ති විකාශය ටෙලිවිෂන් රේටින් හෙවත් ජනප්‍රිය බවින් ඉහළ යනු දුටු සෙසු සමහර නාලිකා ද, ඒ දක්වා පවත්වා ගත් යම් තරමක සංවරය බිඳ ගනිමින්, ‘මාධ්‍ය අශිෂ්ටත්වයේ අංක එක’ වීමට පොරකෑම ඇරඹුණා.
කොරෝනා වසංගතයේ පැතිරීමත් සමග අප දකින්නේ මෙම මාධ්‍ය අශිෂ්ටත්වයම නව මුහුණුවරකින් තවත් ඉදිරියට (පසුපසට?) යාමයි.


කොරෝනා වෛරසයට මානව අපගේ බෙදීම් කිසිවක් අදාළ නැහැ. ජාති, ආගම් සහ පංති භේදවලින් තොරව අප ඕනෑම කෙනකු ආසාදනයට ලක්විය හැකියි.


ආසාදිතයන් කිසිම ආකාරයකින් වරදකරුවන්, චූදිතයන් හෝ සමාජ විරෝධීන් නොවෙයි. ඇත්තටම ඔවුන් තමයි මේ දිගින් දිගට ඇදී යන ආපදාවේ ප්‍රධාන වින්දිතයන්.


එහෙත් මෑත සතිවලදී මුද්‍රිත මෙන්ම විද්යුත් මාධ්‍යවල අප දකින්නේ කොරෝනා ආසාදිතයන් අපකීර්තියට සහ අවමානයට (stigma) පත්වන ආකාරයෙන් කරන සාහසික වාර්තාකරණයක්.


නිරෝධායනය කරන පුද්ගලයන් ආසාදිතද නැද්ද යන්න තහවුරුවීමටත් කලින්, සමහර ජනමාධ්‍ය විසින් ඔවුන් රෝගීන් ලෙස හැඳින්වීම ද කරනවා.


මාධ්‍ය විසින් ආසාදිතයන් මෙසේ හංවඩු ගැසීම රෝග මර්දන කටයුතුවලට බෙහෙවින් අහිතකරයි. සමාජ අපකීර්තියට බියෙන් සමහර ආසාදිතයන් ප්‍රතිකාර පැතීමට ඉදිරිපත් නොවී සැඟවී සිටින්නට ඉඩ තිබෙනවා. එයින් සිදුවන්නේ වසංගතය තව තවත් පැතිර යාමයි.


දැනටත් සමාජයේ කොන්වීමට ලක්වී සිටින ජන කොටස් අතර ආසාදිතයන් හිටියොත් මේ සාධකය ප්‍රබලව ඔවුන්ට බලපෑ හැකියි.


ජනාධිපති නීතිඥ ජගත් වික්‍රමනායක මෑතදී ලහිරු මුදලිගේ සමග කළ YouTube සම්මුඛ සාකච්ඡාවකදී මේ ගැන හොඳ විග්‍රහයක් කළා.


ඔහු කියන හැටියට: “PHI මහත්තයා කොරෝනා ආසාදිතයි කියා සැක කරන අයකුගේ ගෙදරට එන විට, එන්නේ මාධ්‍ය එක්කර ගෙන. ඒ තමයි පසුගිය දවස්වල අපි දැකපු දේ. මාධ්‍ය ගෙදරට එන පාර පෙන්වනවා. ගේ ඇතුළේ තිබෙන දේ පෙන්වනවා. ගෙදර ඉන්න දරුවො පෙන්වනවා. මේ ආකාරයට පෞද්ගලිකත්වය ගැන කිසිම තැකීමක් නැතිව රටටම පෙන්වනවා.”


එහෙම කරන්න කිසිම සදාචාරමය හෝ නීතිමය අයිතියක් මාධ්‍යවලට නැති බව ඔහු අවධාරණය කරනවා. “මේක රෝගී තත්ත්වයක්. සමාජයේ හැම පුද්ගලයෙක්ටම පෞද්ගලිකත්වය කියා දෙයක් තිබෙනවා. අප අද දකින්නේ මාධ්‍ය පෞද්ගලිකත්වයට උපරිම අන්දමින් හානි කරන ලෙස හැසිරෙන සැටියි.”


ඔහු තවදුරටත් පැහැදිලි කළා: “පෞද්ගලික නිවසකට අනාරාධිතව පිවිසෙන්න මාධ්‍යවලට කිසිම අයිතියක් නැහැ. එසේ කිරීම අපරාධ නීතිය යටතේ අයුතු ඇතුළුවීම ලෙස සැලකෙනවා. ඒ වගේම ඕනම කෙනෙක් ලෝකය ඉදිරියේ පෙනී සිටින්නේ හැකි උපරිම හොඳටයි. යමකු තමන්ගේ ගෙදර සැබැවින්ම ගත කරන ජීවිතය රූපගත කොට රටටම පෙන්වීමෙන් ඒ නිවැසියන්ට තිබෙන පෞද්ගලිකත්වය මුළුමනින්ම නැති කර දමනවා. එසේ පෙන්වන රූපරාමුවලින් නිවැසියන්ට යම් අපහාසයක් සිදුවූවා යයි සිවිල් නීති යටතේ නඩුවක් පැවරීමට ද හැකියාව තිබෙනවා.”


රෝගියෙකු හෝ ආසාදිතයකු ගැන පමණක් නොවෙයි, අපරාධයක් පිළිබඳව සැක කරනු ලබන අයකුගේ පෞද්ගලිකත්වයට හානි කිරීමට මාධ්‍යවලට හෝ වෙන කිසිවකුට අයිතියක් නැති බව නීතිඥ වික්‍රමනායක අවධාරණය කරනවා.
සම්පූර්ණ සාකච්ඡාව මෙතැනින් නරඹන්න.

මාධ්‍යවේදීන් සහ මාධ්‍ය ආයතන මෙහි දී තර්ක කිරීමට ඉඩ ඇත්තේ තමන් මෙසේ ක්‍රියා කරන්නේ “මහජන යහපත හෙවත් පොදු උන්නතිය උදෙසා” බවයි.


“අපි මීඩියා – අපට ඕන තැනක ගිහින් ඕන දෙයක් ෆිල්ම් කරන්න පුළුවනි. අපිව නවත්වන්න කාටවත් බෑ!” යයි තර්ජනාත්මක ස්වරයෙන් කියමින් පෞද්ගලික වාසස්ථානවලට හා කාර්යාලවලට බලහත්කාරයෙන් පිවිසෙන මාධ්‍යවේදීන් මා දැක තිබෙනවා.


සියලුදෙනාගේ ප්‍රකාශන නිදහස සහ එහි දිගුවක් වන මාධ්‍ය නිදහස රැක ගත යුතු බවට විවාදයක් නෑ. ඒත් මා මීට පෙර පහදා දී ඇති පරිදි, තොරතුරු ගවේෂණය කිරීමට මාධ්‍යවේදීන්ට ඇති අයිතිය කිසිසේත්ම සීමාරහිත එකක් නොවෙයි.
මහජන සෞඛ්‍ය පරීක්ෂක හෝ පොලිස් නිලධාරීන් වැනි රාජ්‍ය නිලධාරියකු සමග පෞද්ගලික පරිශ්‍රයකට බලෙන් පිවිසුණා කියා මාධ්‍යවේදීන්ගේ ක්‍රියාකලාපය නීත්‍යානුකූල වන්නේ නැහැ. එසේම එවැනි අවස්ථාවක් රූපගත කරන්නට යයි මාධ්‍යවේදීන්ට යෝජනා කොට පෞද්ගලික පරිශ්‍රයකට ඔවුන් කැඳවා ගෙන යන්නට කිසිදු රාජ්‍ය නිලධාරියකුට අයිතියක් ඇත්තේ ද නැහැ.


වාර්තාකරුවන්ට සහ සෙසු මාධ්‍යවේදීන්ට තොරතුරු සොයා යාමේ වෘත්තීය අවශ්‍යතාවක් තිබෙනවා. සමාජය වෙනුවෙන් තොරතුරු ගවේෂණය කරන මාධ්‍යවේදීන් වෙනුවෙන් සමාජය විසින් යම් යම් වරප්‍රසාද ද ලබා දෙනවා.
එසේ වුවත් එම තොරතුරු ගවේෂණය පොදු උන්නතියට (public interest) අදාළ සහ වැදගත් විය යුතුයි. එමෙන්ම එය ආචාර ධර්මීය රාමුවක් තුළ පමණක් සිදු කළ යුතුයි.


ශ්‍රී ලංකාවේ රේඩියෝ සහ ටෙලිවිෂන් මාධ්‍ය ආයතනවලට පොදු මාධ්‍ය ආචාරධර්ම මාලාවක් නැහැ. ඇතැම් විද්්‍යුත් මාධ්‍ය ආයතන තමන්ගේම ආචාරධර්ම පද්ධතියක් ඇතැයි කීවද, ඒවා ප්‍රසිද්ධියට පත් කොට ද නැහැ.


මුද්‍රිත මාධ්‍යවලට නම් පොදු ආචාර ධර්ම මාලාවක් තිබෙනවා. ඒ, ශ්‍රී ලංකා කර්තෘ සංසදය විසින් සම්පාදනය කරනු ලැබ, අවසන් වරට 2015 සංශෝධනයට ලක් වූ මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහයයි. https://bit.ly/3bdJ95z

එහි මහජන යහපත යන්නෙන් ආවරණය වන්නේ කුමක්ද යන්න පිළිබඳව විග්‍රහයක් තිබෙනවා. එක් සාධකයක් වන්නේ “මහජන සෞඛ්‍ය සහ සෞඛ්‍යාරක්ෂාව සහ සමාජ, සංස්කෘතික සහ අධ්‍යාපනික සම්මත ආරක්ෂා කිරීම.”


සමස්ත ආචාරධර්ම මාලාව දෙස බලන විට පෙනී යන්නේ මාධ්‍යවේදීන් මහජනයාගේ තොරතුරු දැනගැනීමේ අයිතිය වෙනුවෙන් පෙනී සිටින විට සැමවිටම ඔවුන් නීත්‍යනුකූලව සහ ආචාර ධර්මීයව ක්‍රියා කිරීමේ වගකීම ද අනිවාර්යයෙන්ම දරන බවයි.

වෘත්තිය ප්‍රතිපත්ති (ආචාර ධර්ම) සංග්‍රහය 2014


එම මාධ්‍ය වෘත්තිය ප්‍රතිපත්ති ලේඛනයේ ම පෞද්ගලිකත්වය පිළිබඳ හොඳ විග්‍රහයක් හමුවනවා. එයින් කොටසක් උපුටා දැක්වුවහොත්:


7.1 පුද්ගලයන්ගේ පෞද්ගලික හා පවුල් ජීවිත ඔවුන්ගේ ගේ-දොර, සෞඛ්‍යය හා සහසම්බන්ධතාද සංඛ්‍යාංක සන්නිවේදනය කෙරෙහි ගෞරවයක් දැක්වීමෙහිලා පුවත්පත් විශේෂ සැලැකිල්ලකින් ක්‍රියා කළ යුත්තේය. පෞද්ගලිකත්වයට ඇති මේ අයිතිය අදාළ පුද්ගලයන්ගේ කැමැත්තෙන් තොරව ආක්‍රමණය කිරීම සාධාරණීකරණය කළ හැක්කේ පොදුජන සුබ සිද්ධිය ඒ සියල්ල ඉක්මවා යන්නේ නම් පමණකි.


7.2 පෞද්ගලිකත්වය පිළිබඳ සාධාරණ අපේක්ෂාවක් පවත්නා පෞද්ගලික හෝ පොදු තැනක සිටින පුද්ගලයන් ඔවුන්ගේ කැමත්ත නැතිව ඡායාරූපගත කරනු සඳහා දිගු කාච සහිත හෝ වෙනත් ආකාරයක කැමරා භාවිතය, පොදු යහපත පිණිස නොවන්නේ නම්, එය පිළිගත නොහැක්කේය.


7.3. ශෝකය හෝ කම්පනය හා සම්බන්ධ සිද්ධි පිළිබඳ කරුණු විමසීමේදීත්, ඒ සඳහා ඒවාට සමීපවීමේදීත් නිසි සංවේදීතාවෙන් හා ස්ථානෝචිත ප්‍රඥාවෙන් කටයුතු කිරීමට පුවත්පත් කලාවේදීහු විශේෂයෙන් සැලකිලිමත් විය යුත්තෝය.

7.5 පෞද්ලිකත්වය ආක්‍රමණය කිරීමට එරෙහි තහංචි: රෝහල්වල හෝ සමාන වෙනත් ආයතනවල හෝ සිටින පුද්ගලයන් පිළිබඳ විමසීම්වලට විශේෂයෙන් අදාළවන්නේ එය පොදුජන සුබ සිද්ධිය පිණිස වන්නේ නම් පමණි.


එම ලේඛනයේ ඊළඟ කොටසෙහි ‘හිරිහැර හා කපටිකම්’ යන මැයෙන් කියන්නේ මෙයයි: “8.1 බිය වැද්දීමෙන් හෝ හිරිහැර කිරීමෙන් හෝ වැරදි කරුණු ඉදිරිපත් කිරීමෙන් හෝ කපටිකමින් හෝ තොරතුරු හෝ ඡායාරූප ලබාගැනීමට ඡායාරූප ශිල්පීහූ ද ඇතුළු පුවත්පත් කලාවේදිහු තැත් නොකළ යුත්තෝය.”


කොරෝනා මුවාවෙන් මේ දිනවල සමහර ප්‍රාදේශීය මාධ්‍යවේදීන් කරන තක්කඩි මාධ්‍යකරණය මෙම ආචාරධර්ම දිනපතාම උල්ලංඝනය කරනවා.


සුනාමි, කොරෝනා, ත්‍රස්ත ප්‍රහාරයන් හෝ වෙනත් හදිසි අවස්ථාවක් ආවරණය කරන විට මේ වගකීම් කිසිම ආකාරයකින් ලිහිල්වන්නේ නැහැ.


ප්‍රාදේශීය මාධ්‍යවේදීන් මේ අමන ආකාරයෙන් හැසිරෙන්නේ ඇයි? ඔවුන් අතිබහුතරයක් මාසික වැටුප් නැති, කිසිදු රැකියා ස්ථිරත්වයක් නොමැති නිදහස් මාධ්‍යවේදීන්. ඇත්තටම ඔවුන්ගේ භූමිකාව අමුද්‍රව්‍ය එකතු කිරීමයි. වීඩියෝ රූප සපයන ටෙලිවිෂන් ආයතන ඔවුන්ට (සුළු පහේ) ගෙවීමක් කරන්නේ ඒවා භාවිත වුවහොත් පමණයි. මේ නිසා හැකි තාක් ආන්දෝලනාත්මක, භාවප්‍රකෝපකාරී සහ ආවේගශීලී ආකාරයෙන් සිදුවීම් හසුකර ගන්නට ප්‍රාදේශීය මාධ්‍යවේදීන් පෙළඹෙනවා.


මේ කටුක යථාර්ථය පැවතියද එය නිදහසට කරුණක් නොවේ. අපේ සමාජයේ අඩු ගෙවීම් ලබන සහ සූරාකෑමට ලක්වන එකම පිරිස ප්‍රාදේශීය මාධ්‍යවේදීන් නොවෙයි.


නම්බුකාර විදියට තමන්ගේ වෘත්තිය කරන්න බැරිනම්, රට ගිනි තබන්නේ නැතුව, අහිංසක පුරවැසියන් තලා පෙළන්නේ නැතිව මේ පිරිසට වෙනත් ජීවිකාවක් සොයා ගන්නට කාලය ඇවිත්. ■