රට ඉදිරියේ වැඩ කන්දරාවක් තිබෙන අවස්ථාවක උද්ඝෝෂණ කිරීම හා වැඩ කිරීම පිළිබඳ ප්‍රතිපත්තියක් සෑම දේශපාලන පක්ෂයක් විසින්ම ස්වයංව සකස් කර ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍ය වෙයි. එසේ කීමට සිදුව තිබෙන්නේ පෙරටුගාමී සමාජවාදී පක්ෂය මගින් කොළඹ ඇමරිකානු තානාපති කාර්යාලය ඉදිරිපිට සිදු කළ උද්ඝෝෂණයේදී 42ක් අත්අඩංගුවට ගැනුණු තත්ත්වය තුළය. උසාවි නියෝගයක් තිබියදී උද්ඝෝෂණ කිරිමේදී අත්අඩංගුවට ගැනීම පොලිසිය පැත්තෙන් සිදුවෙයි. එහෙත් අත්අඩංගුවට ගත් පෙරටුගාමී සාමාජිකයන්ට පොලිසිය අමානුෂික ලෙස පහරදීමට උසාවි නියෝගයක් තිබුණේ නැත. පොලිසිය අත්අඩංගුවට ගැනීම කළ යුතුව තිබුණේ පහර නොදී නීතිය ක්‍රියාත්මක කිරීමේ වපසරිය තුළය.


42ක් අත්අඩංගුවට ගත්තේ ප්‍රධාන වශයෙන් නිරෝධායන නීති කැඩීම නිසාය. ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ බොහෝ පිරිස් පසුගිය දිනවල නිරෝධායන නීති කැඩූහ. මීට මාසයකට දෙකකට පෙර රුපියල් පන්දහසේ දීමනාව ගැනීමට පැමිණීමේ සිට පසුගියදා තොණ්ඩමන්ගේ මළගෙදර දක්වාත්, මාලිගාවත්තේදී රු. 1500 ලබාගැනීමට ගොස් පෑගී මියයෑමේ සිට ජුනි 08දා සිරිකොත රැස්වීමකදී රනිල් වික්‍රමසිංහ මහතා සමග එම පක්ෂයේ වෘත්තීය සමිති නියෝජිතයන් ඇති කරගත් මතභේදය දක්වාම සිදුවීම්වලදී නිරෝධායන නීති උල්ලංඝනය කැරෙන අයුරු දක්නට ලැබුණි. සමාජ දුරස්තභාවය ගැන රටට උපදෙස් දුන් යුද හමුදාපතිවරයා, නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ වැනි අය මේ ගැන කතා නොකරන තත්ත්වයට පත්වන අන්දමින් වතුකරයේදී තොණ්ඩමන්ගේ පාක්ෂිකයෝ ආණ්ඩුවේ අනුග්‍රහයෙන් නිරෝධායන නීති කැඩූහ. අගමැති මුහුණු ආවරණ පැලඳගෙනම නිරෝධායන නීති කැඩුවේය. මේවා ගැන දෙපැත්තම මූට්ටු කරගෙන සිටින පොලිසිය පෙරටුගාමීන් අත්අඩංගුවට ගැනීමේදී මේ තරම් ප්‍රචණ්ඩ ක්‍රමයක් භාවිත නොකළා නම් හොඳය.


මේ ගැන පෙරටුගාමී පක්ෂයේ ප්‍රචාරක ලේකම් පොලිස් ජීප් රථය තුළ සිට පුන පුනා කීවේ උසාවි නියෝගයක් තමන්ට නොලැබුණු බවය. එයත් විය හැකි දෙයක් නොවේ. ජෝර්ජ් ෆ්ලොයිඞ් මියගියේ මැයි 25දාය. පෙරටුගාමීන් කුඩා උද්ඝෝෂණයක් සංවිධානය කළේ ෆ්ලොයිඞ් මියගොස් සති දෙකකට පසුවය. 9දා අවමඟුල තිබුණමුත් අවමඟුල යනු මෙම සිද්ධියේ උපරිමය නොවේ. උපරිමය වර්ණභේද ප්‍රශ්නයයි. උද්ඝෝෂණ කළයුත්තේ ඊට එරෙහිවය. ඇතැම් උද්ඝෝෂණ දෙස බලන විට ඒවා ප්‍රශ්න හදා ගැනීමට කරන උද්ඝෝෂණදැයි යන සැකයද පැන නගී.


සමස්තයක් වශයෙන් ජනාධිපති ගෝඨාභය ප්‍රමුඛ ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදයේ මූලිකාංග නොසලකා ක්‍රියා කිරීමට පෙළඹීම ගැන පෙරටුගාමීන් මීට පෙර උද්ඝෝෂණ සංවිධානය කළ යුතුව තිබුණි. රටේ සෑම කටයුත්තකටම හමුදාව යොදවා රට විශ්‍රාමික මිලිටරිකරණයකට ලක් කිරීමත්, සංඝ සමාජයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී උපදෙස් මත වැඩ කිරීමට ජනපති ප්‍රමුඛතාවක් ලබාදීමත් ගැන පෙරටුගාමීහු උද්ඝෝෂණ කළ යුත්තෝය.


අනෙක් අතට රට තිබෙන්නේ ගල් උගුලකට හසුව තිබෙන තත්ත්වයකය. ආර්ථිකය බිංදුවේය. රටෙහි නිෂ්පාදනයක් සිදුකර ආර්ථිකයක් උත්පාදනය කරන වැඩසටහනක් නැත. ගෝඨාභය රාජපක්ෂ සමග පෙරටුගාමීන්ට රටේ වැඩ කිරීමට නොහැකි බව සැබෑය. එහෙත් වසංගතයෙන් පසු එළැඹෙන පසුබිම යළිත් උද්ඝෝෂණවලට සින්න කිරීම කළ යුතුද යන ප්‍රශ්නය පැන නැගේ. ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍ර විරෝධී භාවිතයන්ට එරෙහි විය යුතු බවට විවාදයක් නැත. විපක්ෂයේ සෙසු පක්ෂ කනා බල්ලන් ගසන බවත් සැබෑය. එහෙත් ඒ නිසාම අපි අවධානය දිනා ගන්නවා යන ආකල්පයෙන් වැඩ කිරීමෙහි කිසිදු ප්‍රයෝජනයක් නැත. මහජන ප්‍රශ්නවලට අත පොවා ඒවාට දායක වන වෙනත් දියුණු ක්‍රමයක් පෙරටුගාමීන් සොයා ගත යුතුය. පොලිසිය පෙරටුගාමීන්ට පහර දුන්නේ එසේ නොකිරීම නිසා නොව ‘ආණ්ඩු මට්ටු කර’ ගැනීම සඳහාය. කොල්ලුපිටිය පොලිසිය මිනියැපොලිස් පොලිසියටත් වඩා දරුණු විදියට ක්‍රියා කරමින් උද්ඝෝෂකයන්ට පහරදීමේ තේරුමක්ද නැත. උසාවි නියෝගය කියවා අවම බලය යොදවා ඔවුන් පලවා හැරීමට තිබුණි. ඉක්මනින් ඔවුන් නිදහස් කිරීමෙනුත් ඒ අදහස සාධාරණීකරණය කැරෙයි.


මෙම උද්ඝෝෂණයෙනුත් පහරදීමෙනුත් දෙකෙන්ම රටට වැඩක් නැත. ඒ දෙකෙන්ම රට වැටුණු වැටිල්ලෙන් නැගිටවනු නොහැකිය. පෙරටුගාමීන් සේ ම පොලිසියත් ඵලදායී ලෙස රට ගොඩ නැගීමේ ක්‍රියාවලියට යොදවා ගැනීම මේ මොහොතේ අත්‍යවශ්‍යම කාරණාවය. කුමාර් ගුණරත්නම් ඒ අර්ථයෙන් වසංගතයෙන් පසු රට දෙස බැලිය යුතුය. ආණ්ඩුවේ නායකයන් ඒ සඳහා ගුණරත්නම්ටත් මගහැර යා නොහැකි වැඩසටහනක් රට ගොඩ නැගීම සඳහා ඉදිරිපත් කිරීමට වග බලා ගත යුතුය. ජයග්‍රහණය ඇත්තේ ආණ්ඩුවේ හා පෙරටුගාමීන්ගේ පැරණි ගල්ගුහාවල නොව විවෘත භූමියකය බවත් දෙපිරිසටම කිව යුතුය. ■