සංවාදය – චාමිනී වික්‍රමසිංහ

මහාචාර්ය සුනිල් විමලවංශ අන්තරාසර්ග විද්‍යාව (Endocrinology) හා පෝෂණය විෂය පිළිබඳ ඇමරිකාවේ නිව්ජර්සි විශ්වවිද්‍යාලයේ සේවය කළ දෙපාර්තමේන්තු ප්‍රධානියෙකි. හෙතෙම විටමින් D ප්‍රතිකාරකය කොවිඞ් 19 මර්දනයට ඖෂධයක් බව ඇමරිකාවට මෙන්ම ලංකාවටද කීවේය. මේ දිනවල ලංකාවේ පදිංචිව සිටින මහැදුරු විමලවංශ කොවිඞ් දෙවැනි මතුවීම හා එය මර්දනය කිරීම කෙසේ කළ යුතුද යන්න පිළිබඳව රාවයට අදහස් දැක්වීය.

කොවිඞ් දෙවන රැල්ලක් නැවත ලංකාවේ මතුවුණේ ඇයි?


ප්‍රධානම කාරණය තමයි අනෙක් රටවලට සාපේක්ෂව අපේ රටේ පී.සී.ආර්. පරීක්ෂණය කරන්නේ 5%ක් පමණයි. ඒ සඳහා චීනයෙන් ගෙන්වන උපකරණ ඉතාමත් බාල ප්‍රමිතියකින් යුක්ත ඒවායි. එතකොට ඒ උපකරණවලින් ලැබෙන ප්‍රතිඵල සියයට සියයක් නිවැරදි නෑ.


අදාළ සෞඛ්‍ය බලධාරීන් මේ උපකරණ ප්‍රමිතියෙන් තොර බව දැන දැනත් ඒවා ගෙන්නනවා.
මේකෙ භයානකම ප්‍රතිඵලය තමයි කොවිඞ් ආසාදනය වුණු අයට රෝගය නෑ කියලත් ආසාදනය නොවුණු අයට රෝගය තියෙනවා කියලත් වැරදි තොරතුරු සම්ප්‍රේෂණය වීම. මේකෙන් රෝගය වැඩි වශයෙන් ව්‍යාප්ත වෙන්න පුළුවන්.


අප්‍රේල් ඉඳන් අගෝස්තු දක්වාම මෙම වෛරසය සමාජයේ පැතිරී තිබිලා තියෙනවා. ඡන්ද කාලේ රෝගීන් ගණන වැඩිවෙයි කියලා නිවැරදිව පරීක්ෂා කළෙත් නෑ. කර්මාන්තශාලාවේ වැඩ කරපු සේවිකාව ගෙදර යැව්ව නිසා තමා මේක ඇත්තටම දෙවැනි රැල්ලක් විදිහට එළියට ආවේ.


මිනිස්සුන්ගෙන් 95%ක්ම රෝගය පරීක්ෂා නොකළ අය. ඒ නිසා මාස තුනක් තිස්සේ මේක පාලනය කළා කියන්නේ බොරුවක්. ඒ වගේම නිරෝධායන මධ්‍යස්ථානවල විශාල පිරිසක් එකට ඉන්නවා. එතකොට ඒ අතරින් එක් රෝග වාහකයෙක් හිටියොත් ඒ ඔස්සේ වෛරසය ශරීරගතවෙලා නැති අයටත් රෝගය වැලඳෙන්න පුළුවන්.


රජයේ අසමත්කම හේතුවෙන් කොවිඞ් වෛරසය ව්‍යාප්තිය වැඩිවුණා මිසක දෙවන රැල්ලක් ඇත්තෙන්ම ආවේ නෑ.
කොවිඞ් මර්දනයේදී ශ්‍රී ලංකාවේ සෞඛ්‍ය අංශ සහ රජය විසින් ගත් පියවරයන් සම්බන්ධයෙන් ඔබගේ නිරීක්ෂණ මොනවාද?


ඇත්තටම සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මගින් ගත්තු පියවර ඉතාමත් හොඳයි. දෑත් සේදීම, මුඛ ආවරණ පැළඳීම සහ සමාජ දුරස්තභාවය වගේ දේවල් ප්‍රතිඵලදායකයි. නමුත් ඇඳිරි නීතිය දැමීමෙන් වුණේ රස්සාවල් නැති වුණු එක, කන්න නැතිවුණු එක සහ විශාල වශයෙන් රටේ ආර්ථිකය බිඳ වැටීම. මොකද වෛරස් එකක් දන්නේ නෑ. මේ ඇඳිරි නීතිය කියන්නේ මොකක්ද කියලා. මේ වෛරස් එක සමග සටන් කළ යුතුව තිබුණේ ඒකෙ විද්‍යාත්මක පැත්ත පිළිබඳ හොඳ අවබෝධයකින්.


ඒ නිසා මෙම ගැටලුවට කොරෝනා මර්දන කමිටුව, සෞඛ්‍ය අංශය සහ අදාළ බලධාරීන් සියලුදෙනා ඍජුවම වගකිව යුතුයි.


කොරෝනා මේ පාර මතුවුණේ කිසිම මූලාශ්‍රයක් නැතුව පැතිරුණු තැනක් කියලා අපිට කියන්න බෑ. ඒ සම්බන්ධව ඔබගේ අදහස මොකක්ද?


කිසිදු මූලාශ්‍රයක් නැතුව මතුවුණා කියන කාරණය අපිට පිළිගන්න බෑ. මේක වුණේ සෞඛ්‍ය අංශවල අදක්ෂතාව හා දුර්වලතා නිසයි.


මේක මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට භාර දුන්න නම් ඒ අය ග්‍රාම නිලධාරිවරු එක්ක මේ වැඬේ ලස්සනට කරයි. නමුත් රජය විසින් ඒ සඳහා ඔවුන්ට කිසිම අවස්ථාවක් ලබා දුන්නේ නෑ. ඒ නිසා නිවැරදිව රෝග වාහකයන් අඳුන ගන්න අපහසු වුණා.


ඇමරිකාව වගේ සෞඛ්‍ය පහසුකම් හොඳින් තිබුණ රටවල් පවා කොවිඞ් වෛරසය හමුවේ පරාජයට පත් වුණා. ඒ සම්බන්ධව ඔබගේ අදහස මොකක්ද?


මේ කොවිඞ් වසංගතයට අදාළව ශ්‍රී ලංකාව සමග වෙනත් කිසිම රටක් සංසන්දනය කරන එක නිෂ්ඵල වැඩක්. මොකද ඇමරිකාව කියන්නෙ විශාල රටක්. ඒකේ ප්‍රාන්ත 50ක් තියෙනවා. රටේ සමස්තය ගැන ඒකමතික තීරණයකට එන්න ඒ ප්‍රාන්ත 50ම පාලනාධිකාරියේ එකඟතාව තියෙන්නෙ ඕනේ. ඒක අසීරු වැඩක්.


ඒ වගේම මේ වෛරසයෙන් වැඩිම බලපෑමක් ඇතිවුණේ සීතල රටවල්වලට. අප්‍රිකාව, බ්‍රසීලය වගේ රටවල් දරුණු ලෙස මෙම ප්‍රශ්නයට මූණ දුන්නේ නෑ. සාමාන්‍යයෙන් සීතල කාලෙට ඇමෙරිකාව වගේ රටවල්වල විවිධ වෛරස් නිසා ශ්වසන රෝග ඇති වෙනවා. ඒ තත්ත්වයත් එක්ක මේ රටවල්වල වෛරසය ශීඝ්‍රයෙන් පැතිරුණා. ජනවාරි කියන්නේ හිරු එළිය ලැබෙන්නෙම නැති කාලයක්. ඒ කාලේ ශ්වසන පද්ධතිය ආශ්‍රිත ඕනම රෝගයක් ශීඝ්‍රයෙන් පැතිරෙනවා. ඉර එළිය නැතිවීමත් එක්ක ඩී විටමින් ලැබෙන ප්‍රමාණය අඩුවෙනවා. එතකොට ශරීරයේ ප්‍රතිශක්තීකරණය හීන වෙනවා.


පළමු කොරෝනා රැල්ලෙන්ම ඇමරිකාවේ ගොඩාක් ප්‍රාන්ත වැටුණා. ඒ නිසා දෙවැනි රැල්ල හැම ප්‍රාන්තෙටම ආවේ නෑ. කැලිෆෝර්නියා, ෆ්ලොරිඩා වගේ ප්‍රාන්තවල මේ තත්ත්වය ශීඝ්‍රයෙන් වර්ධනය වුණේ කොවිඞ් ආරක්ෂිත ක්‍රමවේද නිසි ලෙස අනුගමනය නොකළ නිසා. ඒ අය මුඛ ආවරණ භාවිතය නතර කළා.


ඒ නිසා කොච්චර වෛද්‍ය පහසුකම් දියුණුද, රට විශාලද කියන එකෙන් කොවිඞ් මර්දනය කරගැනීම තීරණය කරන්න බෑ. ඕනෙම රටක පුද්ගලයන්ගේ ප්‍රතිශක්තිය මත තමයි මේ කොවිඞ් මර්දනය තීරණය වෙන්නේ.


කොවිඞ් මර්දනයට සාර්ථකම විසඳුම විටමින් ෘ කියලා ඔබ එක්තරා අවස්ථාවක යෝජනා කරනවා. ඒ පිළිබඳව රජයේ අවධානය යොමු කළාද?


ඔව්. මම මාර්තු 03 වැනිදා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාට කෙටි පණිවුඩයක් යවනවා මම ලංකාවට ඇවිත් ඉන්නේ. මට කොවිඞ් මර්දනය කරන්න රට වෙනුවෙන් උදව් කරන්න පුළුවන් කියලා. එතුමා ඒකට මට පිළිතුරු එව්වා අදාළ සෞඛ්‍ය බලධාරීන්ට මාව සම්බන්ධ කරගන්න උපදෙස් ලබා දුන්නා කියලා. නමුත් කිසිම කෙනෙක් මට කතා කළේ නෑ.


මම ඒ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශයට ලිඛිත ඉල්ලීමක් පවා කළා. අපි ඒ වැඩපිළිවෙළේදී යෝජනා කළේ වයස අවුරුදු 10ට වැඩි පිරිසකට විටමින් ඩී ලබාදීලා ඒ අයගේ ප්‍රතිශක්තිය වැඩිවන ආකාරය නිරීක්ෂණය කරලා මේ විටමින් ඩී ප්‍රතිකාරය ආරම්භ කිරීමටයි. විශේෂයෙන්ම නිරෝධායන මධ්‍යස්ථානවල විශාල පිරිසක් එකට සිටින නිසා ඒ අයටත් මේ ප්‍රතිකාරය ලබාදෙන්න අපි සූදානමින් හිටියේ.


මේකට විශේෂයෙන්ම යුද හමුදාවෙන් ප්‍රබලව විරුද්ධ වුණා. එතැනදි ඔවුන් කියා සිටියා ඔවුන්ට පළමුවෙන් මේක ලබාදෙන්න කියලා. මේක අපේ ව්‍යාපෘතියේ කොටසක් නොවුණත් අපි යුද හමුදාවේ 22,000කට මේක දෙන්න කැමති වුණා. ඒත් මේක අපේ යෝජනාවලියෙන් පරිබාහිර එකක් නිසා අපි එක් පවුලකින් ඩොලර් එකක මිලක් ඉල්ලා සිටියා. මුදල් නිසා නැවත ඔවුන් ඒ යෝජනාවට අකමැති වූ අවස්ථාවෙත් අපි නොමිලේ මේ ප්‍රතිකාරය ලබා දෙන්න සූදානම් වුණා. නමුත් ඔවුන් කැමති වුණේ නෑ.


අපි නැවත මේ පිළිබඳව වාර්තාවක් ශ්‍රී ලංකා වෛද්‍ය සංගමයට භාරදීලා තියනවා. අපි හිතනවා ලබන සතියෙවත් අපිට ඒකට අවසාන අනුමැතිය ලැබෙයි කියලා.


අපි ශ්‍රී ලංකාවට විතරක් නෙමේ රටවල් හතකට උදව් කරන්න බලාපොරොත්තුවෙන් ඉන්නවා. මිනිස්සු 1000ක් හෝ 5000ක් අරන් ඒ අයට විටමින් ඩී දීලා මාස 2ක් 3ක් ඇතුළත ඒ අයගේ ප්‍රතිශක්තිය කොතෙක් දුරට වැඩිවෙලාද කියලා බලනවා. ඊට අමතරව ඉන්දියාව, බ්‍රසීලය වගේ රටවල්වල මුඩුක්කු ආශ්‍රිත ජනතාවට විටමින් ඩී නොමිලේ ලබාදෙන වැඩපිළිවෙළක් හදලා තියෙනවා.


අපි රජයෙන් ඉල්ලුවා මාධ්‍ය හරහා හරි දවසකට විනාඩි 30ක් හරි නිවැරදිව විටමින් ඩී ලැබෙන ආකාරයට හිරු එළියේ ඉන්න හැටි කියලා මිනිස්සු දැනුවත් කරන්න කියලා. ඒත් ඒ කිසිම දෙයක් මේ වෙනකල් වුණේ නෑ.


ඒ නිසා අපි කියන්නේ මේ කොවිඞ් මර්දනයට තියෙන හොඳම විසඳුම විටමින් ඩී. අපේ රටට ස්වාභාවිකව හිරු එළිය ලැබෙනවා. ඒ නිසා උදේ 10-12 අතර අවම වශයෙන් පැය භාගයක් හරි අව්වේ ඉන්නව නම් ඕනම පුද්ගලයකුගේ ප්‍රතිශක්තීකරණය දියුණු වෙනවා. මේ වසංගතයෙන් බේරිලා ඉන්න කරන්න ඕනේ සුදුසුම දේ ඒකයි. මේ පණිවුඬේ කලින්ම ගියා නම් ලංකාවට අමුතුවෙන් කොරෝනා දෙවැනි රැල්ලක් එන්නේ නෑ. ඒ නිසා හොඳම විසඳුම තමයි ස්වාභාවිකව හෝ බාහිරින් විටමින් ඩී ලබා ගැනීම. එසේ නොමැතිව කසාය බිබී තොවිල් නැටීමෙන් හෝ ඇඳිරි නීතිය දැමීමෙන් මේ රෝගයෙන් ගැලවෙන්න බෑ. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here