ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

මේ වන විට බස්නාහිර පළාතෙන් පිටත වෙනත් ප‍්‍රදේශවලින් කොවිඞ් ආසාදිතයන් වාර්තා වී තිබෙන්නේය. බස්නාහිර පළාතෙන් පිටතට ගමන් කරන පුද්ගලයන් අහඹු ලෙස පරීක්ෂා කිරීමේ දී පසුගිය කාලයේ රෝගීන් හඳුනාගැනීම් සිදුවූයේය. ඒ අනුව සෞඛ්‍ය අංශයේ බොහෝ දෙනාගේ මතය වූයේ බස්නාහිර පළාතෙන් හමුවන රෝගීන්ගේ යම් අඩුවක් පෙනීමට තිබුණත් දිවයිනේ විවිධ ප‍්‍රදේශවලින් කොවිඞ් ආසාදිතයන්ගේ පොකුරු මතු වීමේ අවදානමක් තිබෙන බවය.

ජනවාරි 21 පෙරවරු කොවිඞ් 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක‍්‍රියාන්විත මධ්‍යස්ථානය විසින් නිකුත් කර තිබූ වාර්තාවට අනුව පසුගිය පැය 24කට අදාළව දිවයිනේ විවිධ දිස්ත‍්‍රික්කවලින් රෝගීන් හමුවීම සම්බන්ධයෙන් වන දත්ත මෙසේය. කොළඹ 270, කළුතර 35, ගම්පහ 80, නුවර 54, ගාල්ල 56, කෑගල්ල 9, රත්නපුර 19, අම්පාර 05, මාතර 56, වවුනියාව 26, නුවරඑළිය 9, හම්බන්තොට 4, කුරුණෑගල 15, අනුරාධපුර 06, මන්නාරම 36, මොනරාගල 5, පොළොන්නරුව 22, මාතලේ 40, ත‍්‍රිකුණාමලය 4, පුත්තලම 13, බදුල්ල 4 ලෙසය. මෙම පිරිස් එම දිස්ත‍්‍රික්කවල විවිධ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කොට්ඨාසවලට අයත්ය.

එම වාර්තාවට අනුව ගත වූ පැය 24ක කාලය තුළ හඳුනාගෙන ඇති කොවිඞ් රෝගීන් සංඛ්‍යාව 770කි. එමෙන්ම ජනවාරි 20 දින සිදුකර ඇති පීසීආර් පරීක්ෂණ ප‍්‍රමාණය 18,072ක් බව ද එම වාර්තාව සඳහන් කරයි. කෙසේ වෙතත් සෞඛ්‍ය අංශයේ විද්වතුන් පවසන්නේ දිනකට වාර්තා වන මෙම සංඛ්‍යාවට වඩා වැඩි සංඛ්‍යාවක් රෝගීන් සමාජය තුළ සිටිය යුතු බවය. අහඹු පරීක්ෂණවලට අමතරව බොහෝ විට මෙම හඳුනා ගැනීම් සිදුවන්නේ ළඟම ආශ‍්‍රිතයන්ගෙනි. එසේ පරීක්ෂාවට ලක්නොවන පිරිස සම්බන්ධයෙන් ඔවුන් කිසිවෙකු ආසාදිත නැතැයි කිව නොහැකිය. කෙසේ වෙතත් දිනකට සිදු කළ යුතු පීසීආර් සංඛ්‍යාව වැඩිකර ගැනීමේ අවශ්‍යතාව සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයේ විද්වතුන් දිගින් දිගට ම මතු කළ ද එය ද සාධනීය ලෙස ක‍්‍රියාත්මක වන බවක් පෙනෙන්නේ නැත. දිනකට පීසීආර් සඳහා සාම්පල ලබා ගැනීම් සිදුවුවත් ඒවා පරීක්ෂා කිරීමට කල් ගත වීම හේතුවෙන් අපේක්ෂිත මට්ටමේ ප‍්‍රතිඵල ලැබෙන්නේ නැත. අවශ්‍ය ප‍්‍රතික‍්‍රියක ආදිය විධිමත් ලෙස සැපයීම නොමැති බැවින් පර්යේෂණාගාර කීපයක්ම මේ වන විට අකර්මණ්‍යය. දැවැන්ත මුදලක් වැය කර ඉදිවූ මුල්ලේරියාව රසායනාගාරය මෙන්ම බණ්ඩාරනායක ගුවන්තොටුපොළ පරිශ‍්‍රයේ රසායනාගාරය ආදී වශයෙන් මුහුණදෙමින් තිබෙන්නේ එවැනි තත්ත්වයකටය. මේ හේතුවෙන් පීසීආර් පරීක්ෂණයකට පසු එහි ප‍්‍රතිඵල ලබා ගැනීමට දින ගණනාවක් ගතවන අවස්ථා බහුලය. එම තත්ත්වය මත දිනකට හඳුනා ගන්නා රෝගීන් සංඛ්‍යාව සම්බන්ධයෙන් වන දත්ත අනුව යම් නිගමනයන්ට ඒම කෙතරම් නිවැරදි ද යන්න සම්බන්ධයෙන් ද සිතා බැලිය යුතු වන්නේය.

”පීසීආර් වැඩි කරගැනීම ගැන කතා කළත් දැන් ඒවා තිබෙන්නේත් ඉතා දුර්වල තැනකයි. ඇමරිකානු ඩොලර් මිලියන දෙසිය ගණනක් ලබාගෙන හැදූ මුල්ලේරියාව රසායනාගාරයේ කළ හැකි ධාරිතාවයෙන් සියයට විසිපහක්වත් වැඩ කරන්නේ නැහැ. හැමදාම අකර්මණ්‍යයි. බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ රසායනාගාරයේත් අපේක්ෂිත ධාරිතාවයෙන් 50%ක්වත් වැඩ කරන්නේ නැහැ. සැලැස්මක් තියෙනවා නම් ප‍්‍රතික‍්‍රියක ඉවර වෙනකම් ඉන්නේ නැහැ. ප‍්‍රායෝගිකව යම් යම් ප‍්‍රමාදයන් සිදුවිය හැකි වුවත් මේවා වළක්වා ගැනීමට නිසි සම්බන්ධීකරණයන් තිබිය යුතුයි. වසංගත රෝග විද්‍යා අංශය පැහැදිලිව කියන්නේ මේ තිබෙන තත්ත්වය කළමනාකරණය කරන්න නම් දිනකට අඩුම වශයෙන් පීසීආර් 20000ක් කළ යුතු බවයි. නමුත් ජනවාරි 01 සිට මේ දක්වා කර ඇති පීසීආර් ප‍්‍රතිශතය දිනකට 14000ක් වැනි ප‍්‍රමාණයක්. මේ තත්ත්වය ඒ ප‍්‍රමාණයෙන් කළමනාකරණය කරගන්න බැහැ. දැනටත් රසායනාගාර තුළ පරණ සාම්පල විශාල ප‍්‍රමාණයක් ඉතිරි වී තිබෙනවා. සමහර ප‍්‍රතිඵල දින හතර පහ ප‍්‍රමාදයි. ඒ නිසා පරණ දත්ත එක්ක තීරණ ගනිද්දී ප‍්‍රමාදයි. මේ වන විටත් තුන්දාහක් පමණ එකතු වී තිබෙන බව වාර්තා වුණා. ප‍්‍රතික‍්‍රියක ඉක්මනින් සපයාගෙන මේවා ඉක්මනින් අවසන් නොකළොත් දවස ගණනේ තවත් එකතු වෙනවා.” ඒ රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේය.

වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ් මේ සම්බන්ධයෙන් පැවසුවේ ද නිදර්ශක ලබා ගන්නා මහජනතාවගේ වාර්තා ඔවුන් අතට පත් නොවීම හේතුවෙන් අනවශ්‍ය ගැටලූ රාශියක් ඇතිව තිබෙන බවත් පරීක්ෂණ ප‍්‍රමාණය අඩු වුවත් රෝගීන් සංඛ්‍යාව ඉන් අඩු නොවන බවය. ”මේ වන නිදර්ශක යැවිය යුතු කුමන රසායනාගාරයට ද යන්න සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශයට ගැටලූවක් මතුව තිබෙනවා. ඇතැම් වෛරසවේදීන් හා සෞඛ්‍ය බලධාරීන් මේවා වුවමනාවෙන්ම අඩපණ කරනවා ද යන සැකය තියෙනවා. පීසීආර් මාෆියාව සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ පැවැත්වෙන පරීක්ෂණයට යම් බලපෑමක් කිරීමට මේ අඩපණ කිරීම සිදුවනවා ද යන සැකය දැන් මතුවෙලා තියෙනවා. පරීක්ෂණාගාරවලට අවශ්‍ය යටිතල පහසුකම් සම්බන්ධයෙන් වගකියන අය මේවා පිළිබඳ කෙතරම් දායකත්වයක් දක්වනවා ද කියන ගැටලූව තිබෙනවා. මුල්ලේරියාව රසායනාගරය දෙසැම්බර් සිට මේ දක්වා ප‍්‍රතික‍්‍රියක නොමැති නිසා නිදර්ශක 250කට වැඩි සංඛ්‍යාවක් දිනකට කළ නොහැකියි. ඒ රසායනාගාරය හැදුවේ දිනකට නිදර්ශක 4000ක් කිරීමටයි. ඒ සම්බන්ධයෙන් කිසිදු බලධාරියෙක් අවධානයක් යොමු කර නැහැ. බණ්ඩාරනායක ගුවන්තොටුපොළේ රසායනාගාරයටත් ප‍්‍රතික‍්‍රියක අවශ්‍ය බව දන්වා මාසයකට වැඩි වුවත් ඒවා ලබා නොදීම නිසා එහිත් කටයුතු මේ වන විට අඩපණ වී තිබෙනවා.”

මේ වන විට කොවිඞ් ආසාදිතයන් විවිධ ප‍්‍රදේශවලින් හඳුනා ගනිමින් තිබෙන්නේය. එහෙත් ඒ සංඛ්‍යා අනුව නිවැරදි නිගමනයන්ට එළඹිය නොහැකි තත්ත්වයක් ද ඉහත සඳහන් කරන ලද ගැටලූ අනුව මතු ව තිබෙන්නේය. කොවිඞ් ආසාදිතයන් සඳහා රෝහල් ධාරිතාව 10000ක් පමණ තිබෙන බව පැවසුණ ද කොවිඞ් ප‍්‍රතිකාර මධ්‍යස්ථානවල යම් ඇඳන් ප‍්‍රමාණයක් ඉතිරිව තිබුණත් වකුගඩු රෝග, හෘදය රෝග තිබෙන අය සහ රෝග ලක්ෂණ සහිත කොවිඞ් රෝගීන් ඇතුළත් කිරීමට හැකි ආකාරයේ රෝහල්වල ධාරිතාව මේ වන විටත් ඉක්ම ගොස් ඇති බව රෝහල් ආරංචි මාර්ග සඳහන් කරන්නේය. කොළඹ ජාතික රෝහලට ද වෙනත් රෝග සඳහා ප‍්‍රතිකාර ලබා ගැනීමට පැමිණි අය අතරින් කොවිඞ් බවට සනාථ වූ සංකූලතා සහිත රෝගීන් යැවිය හැකි රෝහල් සොයාගත නොහැකි තත්ත්වයන් මතුව තිබුණේය.

සෞඛ්‍ය අමාත්‍යාංශයේ මෙන්ම විවිධ ප‍්‍රදේශවල සෞඛ්‍ය අංශයේ කටයුතු කරන නිලධාරීන් හා සේවක සේවිකාවන් ආසාදනය වීම් සම්බන්ධයෙන් වාර්තා වෙමින් තිබෙන බව සෞඛ්‍ය අංශවල ආරංචි මාර්ග සඳහන් කරන්නේය. සෞඛ්‍ය අංශයේ කටයුතු කරන පුද්ගලයන් විශාල වශයෙන් ආසාදිත බවට පත් වුවහොත් සහ ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු නිරෝධායනයට යොමු කළ යුතු තත්ත්වයක් මතු වුවහොත් ඊට මුහුණ දීමට මෙරට සූදානම් ද? එසේත් නැති නම් එවැනි තත්ත්වයක් ඇති වීමට ඉඩ නොමැති ලෙස කටයුතු කර තිබේ ද? එසේත් නැති නම් මේ වන විට හෝ ක්ෂණිකව ක‍්‍රියාමාර්ග ගනිමින් තිබෙන්නේ ද? ගුවන්තොටුපොළ සම්පූර්ණයෙන් විවෘත කරමින් සහ අනෙකුත් සංචරණ සීමා ඉවත් කිරීමට ඒ සඳහා සැබෑ සූදානමක් තිබේ ද යන ගැටලූව පමණක් නොව මේ වන විට තිබෙන සැබෑ අවදානම කුමක් ද යන්න සම්බන්ධයෙන් ද මහජනතාවට මෙන්ම බොහෝ දෙනාට තිබෙන්නේ අවිනිශ්චිත බවකි.

නිලධාරීන් දක්වා වර්ධනය වෙන්න පුළුවන්
වෛද්‍ය රසායනාගාර විද්‍යාඥ වෘත්තීයවේදීන්ගේ ආයතනයේ සභාපති රවී කුමුදේශ්


දෙසැම්බර් මාසයේ 13000ක් පමණ ප‍්‍රමාණයක් අහඹු පරීක්ෂා කරද්දී ඒ අතරින් සියයකට අධික ප‍්‍රමාණයක් ආසාදිතයන් හමුවුණා. ඒක විද්‍යාත්මක දත්තයක් ලෙස බැලූවොත් බස්නාහිර පළාතෙන් පිටතට දිනකට 25000ක් පමණ පුද්ගලයන් යන නිසා එයින් 200ක් වැනි ආසාදිතයන් ප‍්‍රමාණයක් බස්නාහිර පළාතෙන් වෙනත් පළාත් වලට ගමන් කරනවා. අහුඹු පරීක්ෂණවලින් බලාපොරොත්තු වෙන්නේ අහඹු පරීක්ෂණ කර හමුවන රෝගීන් ප‍්‍රමාණයට පමණක් ප‍්‍රතිකාර කිරීම නොවෙයි. ඒ මගින් කොපමණ සංඛ්‍යාවක් වෙනත් ප‍්‍රදේශවලට යනවා ද කියන දේ සනාථ කරගැනීමටයි. ඒ වගේම ඒ වන විට අනුගමනය කරමින් තිබෙන ක‍්‍රියාපිළිවෙත අවශ්‍ය පරිදි වෙනස් කරගැනීමටයි. අහුඹු පරීක්ෂණ කළත් ඒ අනුව තීරණ ගැනීම සිදුවෙලා නැහැ. ඒ නිසා මේ වන විට සෑම පළාතකින්ම රෝගීන් හමුවීමට පටන්ගෙන තියෙනවා. මේ තත්ත්වය රෝහල්වල තිබෙන ඇඳන් සංඛ්‍යාව සීමා වෙමින් තිබීම දක්වා වර්ධනය වී තිබෙනවා. දැන් විකල්ප ප‍්‍රතිකාර මධ්‍යස්ථාන, විකල්ප නිරෝධායන ක‍්‍රම පිළිබඳ සැලසුම් කරන්න ඕනෑ. මොකද ඒ අවස්ථාව වන විට සැලසුම් කරන්න අපිට බැහැ. අනිවාර්යයෙන් එවැනි අවස්ථාවක් එයි කියන දේ මේ තත්ත්වයන් එක්ක අපි විශ්වාස කරනවා. නමුත් තවම ඒ සඳහා සූදානමක් නෑ. මේ අවදානම දැන් තීරණාත්මක තැනකට පත්වෙලා තියෙනවා. සෞඛ්‍ය අමාත්‍යාංශයත් මේ වන විට කොරෝනා ආක‍්‍රමණය කර තිබෙනවා. ප‍්‍රධාන අංශ පහක් සම්පූර්ණ අඩපණ වන තත්ත්වයට ඇවිත් තියෙනවා. අසාදිතයන් අටයි කිව්වත් ඊට වඩා වැඩි ප‍්‍රමාණයක් සිටින බව අපි විශ්වාස කරනවා. සියයකට ආසන්න ප‍්‍රමාණයක් නිරෝධායනය වෙනවා. මේක සමස්ත රටේ තීරණ ගන්නා ක‍්‍රියාවලියට බලපෑමක් වෙන්න පුළුවන්. ඒ නිසා අපි කියන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය මේ වෙලාවේ පළමුපෙළ ආශ‍්‍රිතයන් වුවත් සමහරවිට වැඩ කිරීමට සිදුවෙනවා. මේ වෙලාවේ සිදුවෙමින් තිබෙන්නේත් එය විය හැකියි. මේ වෙලාවේ රටේ මහජනතාව විතරක් නෙමෙයි සෞඛ්‍ය අංශවල නිලධාරීන් පවා පීසීආර් පරීක්ෂණ කිරීම මගහරිනවා. ඒක රටටත් වාසියි. මොකද නිරෝධායන නීතිය අනුව ඔවුන් නිරෝධායනය කළොත් මේ ක‍්‍රියාවලියම අඩපණ වෙනවා. මේවා එකකට එකක් සම්බන්ධ දේ නිසා අඩුම තරමේ සැකසහිත කණ්ඩායම එක් තැනකත් අනෙක් කණ්ඩායම තව තැනකත් ක‍්‍රියාත්මක වන විදියේ වැඩපිළිවෙලක් හෝ තිබිය යුතුයි. ආශ‍්‍රිතයන් සහ ආශ‍්‍රිත නොවන අයගෙන් කටයුතු කළ හැකි ක‍්‍රමයක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ඇති නොකළහොත් තීරණ ගැනීමේ ක‍්‍රියාවලියට එය බරපතළ බලපෑමක් ඇති කළ හැකියි. මොකද දැනටමත් එහි ලිපිගොනු ආශ‍්‍රිතව කටයුතු කරන කාර්ය මණ්ඩලයේ වැඩි දෙනෙක් නිරෝධායනය කරන්න සිදුව තිබෙනවා. ඒක නිලධාරීන් දක්වා වර්ධනය වෙන්න පුළුවන් අවදානමක් දැන් තිබෙනවා.

හුදෙකලා කිරීම් ඉතා කාර්යක්ෂමව කළ යුතුයි
රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ සංස්කාරක හරිත අලූත්ගේ


කොළඹින් පිට ප‍්‍රදේශවල සෞඛ්‍ය අංශවල අසාදිතයන් මේ වන විට වාර්තා වෙමින් තිබෙනවා. ඒ සමග විශාල පිරිසක් නිරෝධායනයට යොමු කළොත් රෝහල් පවත්වාගෙන යෑම ගැටලූවක් බවට පත්වෙනවා. රටේම ඉන්නේ වෛද්‍යවරු දහඅටදාහක් සහ හෙද හෙදියන් ප‍්‍රමාණයක්. අයිසීයූ ඇඳන් තියෙන්නේ 600යි. ඒවා තේරුම්ගෙන කටයුතු කරන්න ඕනෑ. නගර අතර සංචරණ සීමා ඇති කිරීම්, බස්නාහිරෙන් පිටතට ගමන් කිරීම සම්බන්ධව සීමා ඇති කිරීම පිළිබඳ දිගින් දිගටම කිව්වත් ඒවා නොකිරීමේ ප‍්‍රතිඵල භුක්ති විඳිමින් තිබෙනවා. දැන් බස්නාහිරෙන් පිටතට අවදානම ගිහින් තියෙනවා. ඒ තත්ත්වය පහසු නැහැ. බස්නාහිරට වඩා ඒ ප‍්‍රදේශවල පහසුකම් අඩුයි. දැඩි සත්කාර ඒකකත් අඩුයි. අඩුම තරමින් දැන්වත් මේ තිබෙන තැන්වලින් එළියට ව්‍යාප්ත වීම අඩු කිරීමට වහා කටයුතු කළ යුතුව තිබෙනවා. මේ වන විටත් ඇතැම් ප‍්‍රදේශවල රෝගීන් වාර්තාවීම් වුණත් හුදෙකලා කිරීම් වී නැහැ. එහෙම නොකිරීම නිසා මිනිස්සු විවිධ තැන්වලට ගමන් කරනවා. හුදෙකලා කිරීම් ඉතා කාර්යක්ෂමව කළ යුතුයි.

ඒ වගේම සෞඛ්‍ය අමාත්‍යාංශයේ රෝගීන් වාර්තාවීම සමග 75ක් පමණ නිරෝධායනයට යොමු කිරීමට සිදුවුණා. ස්වදේශ කටයුතු අමාත්‍යාංශය, පාර්ලිමේන්තුව ආදී තැන් වලිනුත් අසාදිතයන් වාර්තා වුණා. දැන් කරන්න තියෙන්නේ මිනිස්සුන්ට මුලින්ම හරි අවදානම සන්නිවේදනය කිරීමයි. තුන්වන මට්ටමේ අවදානමක් තිබෙන නිසා එක් රැුස්වීම් සාද පැවැත්වීම් කරන්න එපා වැනි දේ පසුගිය කාලයේ කීවත් දැන් කිසිවෙක් අඩුම වශයෙන් ඒවා මතක් කරන්නේත් නැහැ. අවදානම් සන්නිවේදනය සම්බන්ධයෙන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලොකු ගැටලූවක් තිබෙනවා. අපිට වෘත්තිය සමිතියක් ලෙස පණිවුඩයක් ලබාදිය හැකි වුණත් වඩා වැදගත් වෙන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය නිල වශයෙන් මේ අවදානම් තත්ත්වය සන්නිවේදනය කිරීමයි. මිනිස්සු වගකීම් සහගතව කටයුතු කරන්න පෙළඹවීමක් ඇති වෙන්නේ එහෙම සන්නිවේදනයකින්. පොලීසිය, හමුදාව යොදවලා, නීති දාලා ඒවා කරන්න පුළුවන් කෙටි කාලයකටයි. මේක මාසයෙන් දෙකෙන් අවසන් වන ප‍්‍රශ්නයක් නෙමෙයි. මිනිස්සුන්ට ඒක දැනෙන්න නම් මිනිස්සු අවබෝධයෙන් කටයුතු කරන්න ඕනෑ.

ජනවාරි අවසානය වන විට විශාල ප‍්‍රමාණයක් රෝගීන් වාර්තා විය හැකියි. රෝහල්වල කාර්ය මණ්ඩලයත් නොමැති වුවොත් ඒ කටයුතු කරන්නේ කොහොමද. ඒ හරහා පද්ධතිය බිඳ වැටිය හැකියි. මේක ගෝලීය වසංගතයක් නිසා සම්පූර්ණයෙන් රට විවෘත කර තිබෙන අවස්ථාවක අපිට විතරක් බේරිලා ඉන්න බැහැ. ගුවන්තොටුපොළ විවෘත කිරීම සම්බන්ධයෙන් සැලසුම් තිබුණත් ඒ සැලසුම් නියාමනය වී නිසි ලෙස ක‍්‍රියාත්මක විය යුතුයි. ඒ වගේම අපි රට විවෘත කරන්නේ ලෝකයේම රටවල් සහ ගුවන්තොටුපොළවල් වැසීගෙන යන අතරතුරයි. ඒකෙ තිබෙන අවදානම අපි තේරුම් ගත යුතුයි. තිබෙන තත්ත්වය පිළිබඳ සතුටුවෙමින් අනාගතය පිළිබඳත් මේ තිබෙන සැලසුම් ඔස්සේම යනවා නම් විශාල ගැටලූවකට මුහුණදීමට සිදුවෙනවා. ඒ නිසා දැන්වත් මේ සැලසුම් නැවත සමාලෝචනය කළ යුතුයි.

ඒක අනිවාර්යෙන් ප‍්‍රශ්නයක්
නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත්


සෞඛ්‍ය අමාත්‍යාංශයේත් වරින් වර රෝගීන් වාර්තා වීම සිදුවුණා. ඒ වගේම විවිධ ප‍්‍රදේශවල සෞඛ්‍ය අංශයේ කටයුතු කරන ඇතැම් අයටත් අසාදිත බවට වාර්තා වුණත් ඒ කිසිවෙකු රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම නිසා ආසාදිත වූ අය නොවෙයි. ඒ අය සමාජයේ ජීවත් වන විට මේ රෝගය වැළඳෙනවා. සෞඛ්‍ය අංශයේ එක්ලක්ෂ පනස් දහසක් ඉන්නවා, ඉන් සුළු ප‍්‍රමාණයක් ආසාදිත වෙලා තියනවා. ඒක අපේ ප‍්‍රතිකාර ක‍්‍රියාවලියට කොහෙත්ම බලපෑමක් වෙන්නේ නැහැ. ඒ වගේම කාර්ය මණ්ඩල මාරුවෙන් මාරුවට වැඩ කරන නිසා එක කණ්ඩායමක් ඉවත් කිරීමට සිදුවුවත් අනෙක් කණ්ඩායම ඉන්නවා. සෞඛ්‍ය අංශය ආසාදිත වීම ප‍්‍රශ්නයක් නෙමෙයි කියන්න බැහැ, ඒක අනිවාර්යෙන් ප‍්‍රශ්නයක්. නමුත් සෞඛ්‍ය සේවකයින් රෝගී නොවීමට උපරිම ක‍්‍රියාමාර්ග අපි අරගෙන තියෙනවා. ඒ නිසා රෝගීන්ට ප‍්‍රතිකාර කිරීම නිසා කාර්ය මණ්ඩලය රෝගී බවට පත්වීම 99.9%කින් අඩු කර තිබෙනවා.