අතුලසිරි සමරකෝන්


මේ ලිපිය ලියන මොහොත වන විට ගම්පහ දිස්ත්‍රික්කයේ ප්‍රදේශ කිහිපයක්ම වසා දමා තිබෙන්නේ කොවිඞ් 19 අසාදිතයන් සිය ගණනක් නැවතත් මෙරටින් වාර්තා වීම නිසාය. මෙය දෙවන රැල්ලක ආරම්භයක් විය හැකි අතර, එය මර්දනය කර ගැනීම යනු සෞඛ්‍ය කාර්යාංශ මුහුණ දෙන වඩාත් බරපතළ ම අභියෝගයක් බවට වාර්තා වෙයි. කොවිඞ් අවදානම නිසා ම මහා මැතිවරණය කල් දමා, පසුව පවත්වා, එයට මුහුණ දීමට සිදුවිය. නමුත් මැතිවරණයෙන් පසු ජනතාව අතර අවදානම පිළිබඳ පැවති බිය හා සූදානම ක්‍රමයෙන් අඩුවිය.


අගමැති, ජනපති හා අනෙකුත් අමාත්‍යවරු රටපුරා මහජන හමු පවත්වමින්, සෞඛ්‍ය පුරුදු නොතකමින් ගමන් කළ ආකාරය අපි දැක ගතිමු. ජනතාව අතර තහවුරු වෙමින් පැවති එම සෞඛ්‍යය පුරුදු ක්‍රමයෙන් අමතක කරවීමට විද්‍යුත් මාධ්‍යය විශාල දායකත්වයක් ලබා දුන්නේය. දේශපාලකයන් වටා රොක්වුණු පීඩිත ජනතාවට දේශපාලකයන් අවධානයම යොමුකරන බව පෙන්වන ප්‍රචාරකවාදී මාධ්‍ය කලාව එවැනි අනාරක්ෂිත තත්ත්වයන් පිළිබඳව ප්‍රශ්න නොකළ අතර, මීටරයක් නොව සෙන්ටිමීටරයක්වත් පරතරය නොමැතිව ජනතාව දේශපාලකයන්ට සිය දුක් ගැනවිලි ප්‍රකාශ කරන ආකාරය පමණක් ප්‍රචාරකවාදී මාධ්‍ය විසින් ප්‍රවෘත්ති බවට හැරවිණ. කොටින්ම ආණ්ඩු පාක්ෂික මාධ්‍ය මගින් මැවූ චිත්‍රය තුළ අපට කොවිඞ් අමතක වී තිබිණි.


හදිසියේම කොවිඞ් මතුවීම


නමුත් දැන් හදිසියේම කර්මාන්තශාලාවක් තුළින් කොවිඞ් මතුවී තිබේ. එතැන් පටන් ප්‍රචාරකවාදී මාධ්‍ය එයට හේතු සොයමින්, සෞඛ්‍ය පුරුදු මතක් කරමින් ජනතාවටම දෝෂරෝපණය එල්ල කරන සෙයක් පෙනෙයි. නමුත් දිගින් දිගටම අනාරක්ෂිත ව ජනතා ඒකරාශිවීම් නොපවත්වන ලෙස සෞඛ්‍ය අංශ ලබා දුන් උපදෙස් කැඩූ ඉහළම සිට පහළම දේශපාලකයන් දෙසට කිසිදු ඇඟිල්ලක් දිගු නොවෙයි.


කෙසේමුත් කොවිඞ් අවදානමට සාමූහිකව අප නැවත මුහුණ දිය යුතු අතර එම පසුබිම තුළ ආණ්ඩුව කොවිඞ් මර්දනයට අමතරව සිය දේශපාලන අරමුණු වෙත ද පාර කපමින් තිබෙන බව නොකිව මනාය. කොවිඞ්වලින් එහා ප්‍රජාතන්ත්‍රවාදය සහ ආර්ථික සංවර්ධනය පිළිබඳව සිතීමකට වඩා දැන් අපට සිදුවී ඇත්තේ කොවිඞ් දෙවන රැල්ල සමග පැමිණි 20 වන සංශෝධනය තුළින් ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරගැනීමට ය. එම නිසා වසංගත සමයේ දේශපාලනය දෙස අපට නැවත වරක් ගැඹුරින් අවධානය යොමුකිරීමට සිදුව තිබේ.


ඒකාධිපතිවාදයට පණ දෙන කොරෝනා


කොවිඞ් 19 පසුබිමේ සිට ස්ලාවෝජ් ජිජැක් රචනා කළ (සුමිත් චාමින්ද විසින් ‘වසංගතය’ ලෙස සිංහලට පරිවර්තනය වූ) ‘වසංගතය’ (ඡ්බාැපසජ) කෘතියේ දී ‘කොරෝනා වෛරස් වසංගතය කොමියුනිස්ට්ස් වාදයට නව පණක් ලබාදෙමින් සිටින බවට ජිජැක් සිදු කළ ප්‍රකාශය’ සමච්චලයට ලක්වූ බව ඔහුම පවසයි. නමුත් ඔහු දක්වන්නේ ‘චීනයේ දැඩි ප්‍රවේශය නිසා කොරෝනා තත්ත්වය අනෙක් රටවලට වඩා හොඳින් පාලනය කර ගත හැකිවුවත්, පැරණි කොමියුනිස්ට්වාදීන්ගේ අධිකාරීවාදී ප්‍රවේශය සතු සීමාවන් එතුළින් දිස්වූ බව’ය. උදාහරණයක් ලෙස අරම්භයේ දී අලුත් වෛරසය පිළිබඳව පළමුව වාර්තා කළ යට අත්වූ ඉරණම ඔහු දක්වයි. ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයක් වශයෙන් අප මෙම තත්ත්වයෙන් අප උගත යුත්තේ කුමක්ද? එනම්, අධිකාරීවාදී හෝ ඒකාධිපති පාලනයන් ප්‍රජාතන්ත්‍රවාදයේ පවතින සංකීර්ණත්වයට හෝ ව්‍යාකුලත්වයට වඩා හොඳ යයි අපට යම් විටක දී පෙනී යාහැක, එසේම එවැනි පාලනයක් පවතින ආර්ථික, දේශපාලන කඩා වැටීම් තුළින් ගොඩ ඒමට අපට උදව් විය හැකි බවට ද යමෙක් තර්ක කළ හැක.
නමුත් එය (චීන) කොමියුනිට්ස් පාලනයේ වර්ධනය තුළ ‘කොමියුනිට්ස්වාදය‘ වර්ධනය වියහැකි බවට පළ කළ උපකල්පනය සේම නිවැරදි තත්ත්වයක් නොවිය හැක. ඉඟුරු දී මිරිස් ගැනීමක් බඳු උපහැරණයක් ද එම තත්ත්වය තුළ ඇතිවිය හැකි මානව විරෝධීතාවන් නිවැරදිව ග්‍රහණය නොකර ගනී.


ප්‍රජාතන්ත්‍රවාදයේ නාමයෙන් දැඩි නීති (විධායකයේ නීතිය, එබැවින් ව්‍යතිරේඛයකි) හරහා සිදුකරන පාලනයක් ඇති කරන, පොලීසිය සහ හමුදාව ඇතුළු රාජ්‍යයේ මර්දනකාරී උපකරණ යළි උත්කර්ෂයට පත්කරන, සමස්ත සමාජයම සැක කරන හා සැමවිටම රාජ්‍යයේ ආවේක්ෂණයට නතුවූ සමාජයක් නිර්මාණය කරන, සාමාන්‍ය නීතියට මුළුමනින්ම පටහැනි ක්‍රියාවළියක් බිහිකරන තත්වයක් ඉල්ලා සිටින, පලකයකයකුගේ තනි කැමැත්ත නීතිය බවට පත් කරන 20 වන සංශෝධනයට ප්‍රජාතන්ත්‍රවාදී පාර්ලිමේන්තුවක් ඉඩ දිය යුතුද?


එබැවින්, 20 වන සංශෝධනය පිළිබඳව ව්‍යාජ බුද්ධිමය තර්ක නිර්මාණය කරන සියලුම දෙනා දන්නා පරිදි 19 වන සංශෝධනයෙන් නිර්මාණය වූ ප්‍රජාතන්ත්‍රීය අවකාශයේ අවසානය 20ත් සමග උදාවීමට ඉඩ තිබෙන බවයි. මෙහි දී අපගේ ප්‍රස්තෘත ගැටලුවම වන්නේ අධිකාරීවාදී හෝ ඒකාධිපති වර්ගයේ පාලනයක් සඳහා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කර ගැනීමේ වත්මන් උත්සාහය කොතරම් හේතු විය හැකිද? එය කොරෝනා පරිසරයක් තුළ කොතරම් අන්දමකින් ‘අධිකාරීවාදී ජනප්‍රියවාදයක්’ සමග ජනතාවගේ පිළිගැනීම ලබා ගැනීම හරහා මෙරට ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සාරය සහ ව්‍යුහය වෙනස් කිරීමට හේතු වනු ඇත්ද යන්නයි.


මෙම ගැටලු කිසිවකට දේශපාලන විද්‍යාත්මකව ලබා දිය හැකි ස්ථිර පිළිතුරු නොමැත. සෑම පිළිතුරක්ම උපන්‍යාසයක් මිස නිශ්චිතවම සිදුවිය හැකි එකක් නොවෙයි. එබැවින් ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ගෘහ නිර්මාණයට හා එහි සාරධර්ම පද්ධතියට විය හැකි තර්ජනය පිළිබඳව අපට යම් ඉඟි කිරීම ගණනාවක් ඉදිරිපත් කළ හැකිය. අනෙක් අතට 20 වන සංශෝධනය නිසා ඇතිවන්නේ ප්‍රජතන්ත්‍රවාදයට සාකල්‍යයෙන්ම පටහැනි, උක්තව පැහැදිලි කෙරුණු තත්ත්වයක් බව උපකල්පනය සඳහා අප වෙත පවතින මූලික පදනම් නීරීක්ෂණයන් මොනවාද? යන්න නැවත පැහැදිලි කළ යුතුව තිබේ. එය මෙරට බොහෝ විද්වතුන් විසින් නැවත නැවත සිදු කොට ඇති, 1978 සිටම ‘විධායක ජනාධිපති’ බල ව්‍යුහයට එරෙහිව මතුකළ තර්කනයේම දිගුවකි.


නමුත් එම තර්කණය වත්මන් මොහොත තුළ ඉදිරිපත් කරන විට එමඟින් මතු කළ අර්ථ සමූහය (හැඟවූම්කාරකයන්) යනු 1978 දී, 1994 දී හෝ 2015 දී පැවති ඒවාම නොවෙයි. එයට හේතුවන්නේ ව්‍යවස්ථා නිර්මාණය සඳහා පෙළඹවීම් ලබාදෙන තත්ත්වයන් සහ සංදර්භයන් සහ පුද්ගල සාධක යන අංශ ද්වයම වත්මන් මොහොත තුළ විශාල විපරීතකරණයකට ලක්වී තිබීමයි. ඒවා එකින් එක කෙටියෙන් විමසමු.


තත්ත්වයන් සහ සංදර්භය


ව්‍යවස්ථා ආකාස්මිකව පහළ නොවෙයි. ඒවා පංතිමය සමාජයක පවතින බල ව්‍යුහයේ ඇතිවන නිරන්තර ගතිකත්වයන්ට අනුව ප්‍රතිසැකසුමට භාජනය වෙයි (එක්කෝ අර්ථනිරූපණය වෙයි). 1947 දීත්, 1972 දීත් සහ 1978 දීත් මෙරට ව්‍යවස්ථාවන් බිහිවන්නේ එවකට පැවති පන්තිමය, ආර්ථිකමය සහ සමාජීයමය සේ ම අන්තර්ජාතික බලතුලනය ද යන මූලික තත්ත්වයන් විසින් තත්වගත කරනු ලැබූ පරිසරයන්හි දීය. යුද්ධයෙන් පසු සිංහල-බෞද්ධ සමාජයේ ‘අධිශ්‍රේෂ්ඨත්වය‘ නිරූපණය කරමින් 2010 දී ගෙනා 18වන සංශෝධනය ප්‍රජාතන්ත්‍රවාදී කැරැල්ලකින් පරාජය වූ විට (2015 ඇති කළ 19 වන සංශෝධනය) එයට එරෙහිව නිරන්තරයෙන්ම ජාතිකවාදී කඳවුර ක්‍රියාත්මක විය; එම කඳවුරට සහයෝගය දෙන ජාතිවාදී කොටස් මුස්ලිම් ජනයාට එරෙහිව විශාල වශයෙන් ක්‍රියාත්මක වෙමින් අර්බුදකාරීත්වයන් නිර්මාණය කරමින් පැවතිණ; එසේම යුද විරුවන් පිළිබඳ උත්කර්ෂය පසුබාන විට එයට එරෙහිව හමුදාවේ විශ්‍රාමික පිරිස් බලවත් වුහ; සංඝ පිරිස් ගණනාවක් ම නැවත රාජපක්ෂ යුගයට යාමට නිරන්තර අරගලයක් දියත් කළෝය; යහපාලන කඳවුර අභ්‍යන්තරව දෙදරා ගියේය; සහරාන් විශාල ව්‍යසනයක් ඇති කළේය; ගෝඨාභය ජනාධිපති විය; වසංගතය සමග හමුදාකරණය ඉහළ ගියේය; දැවැන්ත බලයක් සහිතව ජාතිකවාදී කඳවුර පාර්ලිමේන්තුව ආක්‍රමණය කර තිබෙන අතර ඔවුන් ප්‍රජාතන්ත්‍රවාදයට ආපස්සට හරවන ව්‍යවස්ථාවක් නිර්මාණය කරමින් සිටී.


මේ සියලු දේශීය තත්ත්වයන් තුළ ඉන්දියාව හා ඇමරිකාව චීනයට එරෙහි බල තරගයේ දී ශ්‍රී ලංකාව කොටස්කරුවකු කරගැනීමට නිරන්තර උත්සාහයක නිරතවී සිටී. එබැවින් ප්‍රජාතන්ත්‍රීකරණය පිළිබඳව අන්තර්ජාතික භූමිකාවට වඩා පවතින ‘ජනප්‍රියවාදී’ පාලනතන්ත්‍ර සිය ගෝලීය හෙජමොනික ක්‍රියාවලියේ කොටසක් කරගැනීමට ඇමරිකාවද ක්‍රියා කරයි. චීනයට මෙරට පවතින ප්‍රජාතන්ත්‍රවාදයට වඩා වැදගත් වන්නේ කිට්ටු සබඳතාවයි. එබැවින් බටහිර සහ ඉන්දියාව ප්‍රජාතන්ත්‍රවාදය ගැන වද නොවන විට, පරිධියේ මුලෝපායිකව වැදගත් රාජ්‍යයක් ඒකාධිපතීත්වයට ගමන් කරමින් තිබේ.


පුද්ගල සාධකය


මේ මොහොතේ අතිශය ජනප්‍රියවාදී නායකත්වයක් රාජ්‍ය නායකත්වය උසුලයි. නමුත් ඔහුගේ නිරන්තර භාවිතාව ප්‍රජාතන්ත්‍රවාදයේ සංකීර්ණත්වය ප්‍රශ්න කරයි. සංවර්ධනයේදීද, ගැටලු විසඳීමේදීද, වසංගතය මැඬ පැවැත්වීමේ දීද, පරිපාලනයේ දී ද ඔහුගේ ප්‍රමුඛත්වය හමුදාව සහ බුද්ධි අංශයයි. ඔහු ද හමුදාවේ සේවය කළ, මෙරට ආරක්ෂක ලේකම් ධුරය හෙබවූ පුද්ගලයෙකි. ඔහුට අවශ්‍යය වන්නේ ලී ක්වාන් යූ හෝ මහතීර් මොහමඞ් ක්‍රියාකළ පරිදි පාලනය කිරීමටය. ‘ඔහුගේ වචනයම නීතිය’ බවට සලකන මෙන් ඔහු ඉල්ලා සිටී. 19 සංශෝධනය ඔහු දකින්නේ හිරගෙයක් මෙනි. නමුත් 20 සමග ඔහු නිදහස් වී රටම හිරගෙයක දමන වගක් අපට දිස්වෙයි. කොවිඞ් සමග පාලනයට ඔහු හොඳ බව ජනතාව ද සිතයි. එය 19ත් සමග කරනවාට අපගේ ද අමනාපයක් නැත.

අපගේ කණස්සල්ල ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික සැකිල්ල, එනම් සංවරණය හා තුළනය නොමැති පරිසරයක ඒකාධිපතිවාදයට තුඩු දෙන දෘඪ බල ව්‍යුහයක් නිර්මාණය වියහැකිය යන භීතිකාවයි. නමුත් ප්‍රජාතන්ත්‍රවාදයට වඩා සංවර්ධනය උත්කෘෂ්ට බව ඔහු සිතයි. ජනතාව සිරගතකොට ලැබිය හැකි සංවර්ධනය ජනතාවට අයත් වන දෙයක් නොවෙයි. කෙසේමුත් අප අවධාරණය කරන්නේ 20ට එරෙහි අපගේ විරෝධය බහුතරයේ ආණ්ඩුවට නොව අපගේ ප්‍රජාතන්ත්‍රීය අයිතීන්! උදෙසා පමණක් බවය. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here