සුනන්ද දේශප්‍රිය


“අපේ ගෙදරට අල්ලපු ගෙදර ගාර්මන්ට් ළමයෙක් බ්‍රැන්ඩික්ස් එකේ වැඩ කරමින් උන්නා. එයාට කොවිඞ් පොසිටිව් කියල වාර්තාව ආව. පස්සෙ පොලිසිය වෑන් එකකින් ඇවිත් ඒ ළමයා නිරෝධායනයට අරන් ගියා. ඊට ටිකකට පස්සේ පොලිස් ජීප් එකක් ඇවිත් ඒ ළමයගේ බෝයි ෆ්‍රෙන්ඞ්ව සොයන්න ගත්තා. ඒ තරුණයා ජීප් එකක දාගෙන ගියා. කොහේට ගෙනිච්චද කියල හරියට දන්න කෙනෙක් නැහැ.”
ඒ කතාව කීවේ මීගමුව අසල පදිංචි ක්‍රියාකාරිනියකි.


එම ඇඟලුම් කම්හලේ සේවක සේවිකාවන් නිරෝධායනට යැවීම පිණිස ගෙනයාම සඳහා ස්ථාන 12කට රැස්වන සේ නියෝගය නිකුත් කර තිබුණේ ද පොලිසියෙනි. සෞඛ්‍ය බලධාරීන් විසින් නොවේ.


මේ සම්බන්ධයෙන් රූපවාහිනියේ කතා කරන්නේ ද පොලීසිය සහ යුද හමුදාවයි. කොවිඞ් සටනෙහි පතාක යෝධයකු වූ වෛද්‍ය අනිල් ජාසිංහ කිසිම හේතුවක් නැතිව තනතුරෙන් ඉවත් කොට පරිසර අමාත්‍යාංශයේ ලේකම් ලෙස යවන ලදි. තවමත් සෞඛ්‍ය සේවා අධක්ෂ ජෙනරාල් ධුරය හිස්ය. දැන් හමුදාපති ශවේන්ද්‍ර සිල්වා එකම ප්‍රකාශකයා බවට පත්ව තිබේ. සෞඛ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයාද යුද හමුදා ජෙනරාල්වරයෙකි.


නිීතිඥ ප්‍රබෝධ රත්නායක මුහුණු පොතේ ලියා තිබූ පරිදි “කොවිඞ් මර්දනය සෞඛ්‍ය සේවයක් නොව මිලිටරි මෙහෙයුමක් ලෙස පෙන්වන නිසා රෝගය වරදක් සහ නිරෝධායනය දඬුවමක් ලෙස සමාජ ගතවීම ඛේදවාචකයක්” බවට පත්ව තිබේ.


“ඊර්බාසං අපිව දැන් බස් එකකටවත් ගන්නෙ නැති තරමට අපිව පහත් කරලා. අපේ එවුන්ගෙ හයියෙන්ම ගොඩ ගිය කඩකාරයො දැන් අපිව කඬේකටවත් ගන්නෙ නෑ. අපේ එවුන් මේක හිතල හදාගත්තෙ නෑ. අද මට වෙන්න පුළුවන්. හෙට උඹට වෙන්නත් පුළුවන්. ගොඩක් ස්තුතියි උඹල ගැන තේරුම් කළාට. ආයෙත් දවසක උඹලට අපිව ඕනවෙයි.” යන සටහන මා දුටුවේ මුහුණු පොතෙහිය.


කොවිඞ් පොකුර වර්ධනය වූ කම්හලෙහි සේවය කරන සිය මිතුරියක කොවිඞ් පරීක්ෂණය සඳහා යන විට තමා යන්නේ ලර්නර්ස් එකකට යැයි කියා සිය ගමන වසන් කළ බව වෙනත් මිතුරියකට කියා තිබුණි.


ආණ්ඩුවේ ප්‍රචාරක රූපවාහිනී නාලිකාවක් වන අයිටීඑන් සිය වෙබ් අඩවියේ ලියා තිබුණේ “දිවුලපිටියේ අම්මගෙයි දුවගෙයි කොරෝනා නිසා 2000කට පීආර්සී…” කියාය. එය ආසන්න වෙන්නේ “උඹේ අම්මගේ” වර්ගයේ පජාති කතාවකටය. අයිටීඑන් ලොක්කන්ට අමාරුව තිබුණේ ආණ්ඩුවට පීආර්සී පරීක්ෂණ 2000ක් කරන්නට වීම ගැන මිස වෛරසයට ගොදුරු වන ජනයා ගැන නොවේ.


ඊටත් වඩා ජුගුප්සාජනක මාධ්‍ය වාර්තාකරණයක් තිබී ඇත්තේ ලංකාවටම බිස්නස් උගන්වන, ගෝඨාගේ දකුණු අත යැයි ද කියන දිලිත් ජයවීරගේ දෙරණ රූපවාහිනියේය. එහි උදෑසන “අනුපමා මෝනිං ෂෝ” නම් වැඩසටහනකදී මෙවැනි ප්‍රශ්නයක් ඇසුවේය: “ඇඟලුම් කර්මාන්ත සේවිකාවන් ඉස්සරත් දැනුත් බයෙන් ඉන්නේ කුමක් සම්බන්ධයෙන්ද?”


එයට පිළිතුර වී ඇත්තේ “පොසිට්ව් වීම” කියාය. ඉස්සර පොසිට්ව්වීම යනුවෙන් මේ රූපවාහිනිය අදහස් කරන්නේ අන් කිසිවක් නොව ලිංගික සබඳතාවකින් පසු ගර්භනී වී ඇත්ද යන වෛද්‍ය පරීක්ෂණයෙන් “පොසිටිව්” වී ඇත්ද යන්නයි. ඉන් කියන්නට යන්නේ මේ තරුණියන් වැදගැම්මකට නැති බව නොවේද? මේ තරම් බාල ජඩ ප්‍රකාශයක් අඟලුම් සේවිකාවන් සම්බන්ධයෙන් ප්‍රචාරය කරන්නේ, කොවිඞ් පොසිටිව් වීම සමග සම්බන්ධ කරමිනි. මෙම පිළිතුර ලබාගෙන ඇත්තේද තරුණියකගෙනි!


කොවිඞ් වසංගතය සම්බන්ධයෙන් මුලින්ම දොෂාරෝපණය එල්ල කරන ලද්දේ මුස්ලිම් ජනයාටය. ඉන් පසු නාවික හමුදා සෙබළුන්ටය. අනතුරුව මත්ද්‍රව්‍ය නොහොත් මත් කුඩු පාවිචිච් කරන්නන්ටය.


සෑම විටකම ආණ්ඩුවේ සහ ගැති ජනමාධ්‍යයන්හි ඉලක්කය වූයේ ආසාදිත පිරිස්ය. වරද ඔවුන්ගේය. සාර්ථකත්වය ආණ්ඩුවේය යනාදී ලෙසිනි. වාර්ගික සහ පහළ සමාජීය තීරුවල ජනයා මේ වරද පැටවීමේ දේශපාලනයේ ගොදුරු බවට පත්විය.

කොවිඞ් ආසාදනය වී තිබියදී රෝහලකින් පැන ගිය බවට කියැවුණු වයස්ගත. දුගී පෙනුමැති පුද්ගලයාගේ ඡායාරූප, බලධාරීන් විසින් ඔහු සොයා ගැනීමෙන් පසු පවා ජනමාධ්‍ය විසින් පළ කරන ලද අතර අයෙක් ඔහු පදිංචි බවට කියන නිවසක ලිපිනයක්ද දක්වා තිබුණි.


තවත් වාර්තාවකින් කියැවුණේ කොවිඩි ආසාදනය වූ බවට වාර්තා වූ ඇඟලුම් සේවිකාවන්ගේ නම් ලැයිස්තුවක්ද ප්‍රසිද්ධියට පමුණුවා තිබූ බවයි.


මෙසේ සිදුවන්නේ ඉහළ පැලැන්තියේ බලපුළුවන්කාරයකු බීමතින් සිය රථයේ හප්පා අහිංසකයකු මරා දැමූ කල ඒ පුද්ගලයාගේ නම පවා වසන් කරන රටකය!


දිවුලපිටිය කොවිඞ් පොකුර සම්බන්ධයෙන් මෙතරම් දුෂ්ට ලෙස ඇඟලුම් සේවිකාවන්ට පරිභව කෙරෙන අතරතුර ලාභ ජනප්‍රියත්වය කතා විපක්ෂය ඉන්දියානුවන්ට තඩිබෑමේ දේශපාලනයක ගිලී ගියේය.


වාර්ගික හෝ ආගමික හෝ සමාජීය හෝ සතුරන් පෙන්වා සමාජයක් බියගැන්වූ කල පාලනය ලෙහෙසිය. එවිට සතුරු අනෙකා පසුපස හඹායෑමට සමාජය පෙළඹේ. දැන් එම සතුරා ඇඟලුම් සේවක සේවිකාවන්ය. නිදහස් වෙළෙඳ කලාප ආරම්භ කළ සමයේ සිටම ඇඟලුම් සේවක සේවිකාවන් සලකන ලද්දේ ඉවත දැමිය හැකි රොඩු බොඩු ලෙසය.
මෙම දිවුලපිටිය කොවිඞ් පොකුර විසින් සමාජයෙහි ඇති කරන ලද සාකච්ඡාව තුළ මතුවිය යුතුවම තිබූ අනෙක් කාරණය වූයේ මෙරට නිදහස් වෙළෙඳ කලාපයන්හි සේවය කරන සේවක සේවිකාවන් ජීවත්වන ඇදහිය නොහැකි තරමේ දුක්ඛිත තත්ත්වයයි. එය හුදෙක් ආර්ථික දුක්ඛිත තත්ත්වයක් පමණක් නොව සමාජීය දුක්ඛිත භාවයක් ද වේ.
පොලිස් මාධ්‍ය ප්‍රකාශකයකුම රටටම කී පරිදි මෙම සේවිකාවන් ජීවත්වන්නේ එදිනෙදාට පමණක් කෑම බීම මිලදී ගැනීමෙනි. ලෝක සමාජවාදී වෙබ් අඩවිය වාර්තා මෙසේ වාර්තා කළේය:


“පැමිණීමේ දීමනාව ගණනය කරනුයේ කණ්ඩායමක සමස්ත පැමිණීම සැලකිල්ලට ගනිමිනි. කණ්ඩායමකට නිශ්චිත නිවාඩු සංඛ්‍යාවක් නියම කර ඇති අතර, යම් විටකදී මෙම සංඛ්‍යාව එක් දිනක් හෝ ඉක්මවා ගියහොත් දීමනාව අඩුවේ. මෙය ලබා ගැනීමට කණ්ඩායමේ සියලුදෙනා සෑම දිනකම පාහේ වැඩට යා යුතුය. එක් කණ්ඩායමකට 40-50 ක් අතර කම්කරුවන් සංඛ්‍යාවක් අඩංගු වෙයි. කණ්ඩායම් කිහිපයකින් සමන්විත තම පේළියේ කම්කරුවන් 130ක් පමණ සිටින බවත්, සියල්ලන්ටම හිමි මුළු නිවාඩු ගණන 90ක් පමණක් බවත් කම්කරුවෙක් පැවසීය. කම්කරුවෙකුට ලැබෙන උපරිම දීමනාව රු. 3,000 ක් වන අතර ඉහත දක්වා ඇති නිවාඩු සංඛ්‍යාව ඉක්මවා ගියහොත් ඉන් රු. 2,000ක් කපා දැමේ.”


අසනීප තත්ත්වයන් තිබියදීත් කම්කරු ස්ත්‍රීන් වැඩට කැඳවූ බවට වන වාර්තා මෙම තත්ත්වය සමග ගැළපේ. මෙවැනි සාමූහික දඬුවම් පැවතියේ දකුණු ඉන්දියාවෙහි සිට කඳුරට වතුකරයෙහි වහලුන් ලෙස වැඩ ගැනීම පිණිස ගෙන එන ලද කම්කරු ජනයා සම්බන්ධයෙන් මුල් කාලයේදී පමණි.


එක් අතකට නිදහස් වෙළෙඳ කලාප වනාහී නූතන වතුකරයක් වැන්න. පාලකයින් වෙතින් වරදානයන්ද රැකවරණයද මෙම කම්හල් අධිකාරීන්ට නොමඳව ලැබේ. ඒවායේ සේවය කරන සේවක සේවිකාවන්ට ලැබෙන්නේ සොච්චම් වැටුපකට සිය ශ්‍රමය හෙළීමේ නිදහස පමණි.


දිවුලපිටිය කොවිඞ් ආසාදනය අපට පෙන්වන අනෙක් යථාර්ථය එයයි. දශක ගණනාවක් ඇඟලුම් කම්හලක මහන මැෂිමක සේවය කිරීම නිසා එක් අතක් හිරිවැටී ගිය සිය මව තවමත් එහි සේවය පිණිස යන බවට දරුවකු විසින් ලියා පළ කර තිබූ අනුවේදනීය සටහනක් මගින් පෙන්වූ යථාර්ථයද එයයි.


මෙම කර්මාන්ත ශාලාවන්හි පවත්නා අමානුෂික වැඩ ශෛලීන් ගැන කොපමණ ලියා කියා තිබුණද ඉන් වැඩක් වී ඇති බවක් නොපෙනේ. කොවිඞ් වසංගතය නිසා පාවහන් නැතිව වැඩ කිරීමට නියම කර ඇති සමහර කම්හල්හි සේවිකාවන් වැසිකිළි යා යුත්තේද පාවහන් නැතිව බවට වාර්තා තිබේ. ඔවුන්ට රැකියා සුරක්ෂිත බව කියා දෙයක් නැති තරම්ය.


බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඞ් වසංගත පොකුර ගැන නිකුත් කරන ලද ප්‍රකාශනයෙහිද එහි සේවයට ගන්නා ලද “මෑන් පවර්” සේවිකාවන් ගැන කියන්නේ ඔවුන් අපේ නොවේ කියාය. මේ වනාහී ඉතාම දුෂ්ට ප්‍රකාශයකි. තමන්ගේ ඇඟ බේරා ගැනීම බ්‍රැන්ඩික්ස් ආයතනයේ පිළිවෙත බව එම නිවේදනය කියාපායි. සේවිකාවන්ගේ රෝගී සෞඛ්‍ය තත්ත්වය තිබියදී ඔවුන් වැඩෙහි යෙදවීම ගැන එය වචනයක්වත් කියන්නේ නැත. ඉතාම පැහැදිලිව පෙනෙන කාරණයක් නම් බ්‍රැන්ඩික්ස් ආයතනය කොවිඞ් සෞඛ්‍ය ආරක්ෂණ පිළිවෙත් අනුගමනය කර නැති බවයි.


කොවිඞ් වසංගතය සම්පූර්ණයෙන්ම ලෝකයෙන් දුරු කිරීම දුෂ්කර බව දැන් පොදු පිළිගැනීමක් බවට පත්ව තිබේ. එන්නතක් සොයා ගත්තද එමගින් වෛරසයේ පැවැත්ම අහෝසි නොවනු ඇත. ලෝකයේ කිසිදු රටකට හුදකලා පැවැත්මක් නැති නූතන යුගයෙහි රටින් රටට කොරෝනා වෛරසය සම්ප්‍රේෂණය වීම වැළැක්විය නොහැකිද වනු ඇත. අප කොවිඞ් සෞඛ්‍ය ආරක්ෂණ විධික්‍රම හැකිතාක් පිළිපැදිය යුත්තේ ඒ නිසාය. බ්‍රැන්ඩික්ස් ආයතනය එම විධික්‍රම පිළිපැද්දේ නම් මෙම කොව්ඞ් පොකුර මුල් අවස්ථාවෙහිදීම පාලනය කර ගන්නට තිබුණි.


කොවිඩි වසංගතය වනාහී සෞඛ්‍ය ප්‍රශ්නයක් මිස යුදමය ප්‍රශ්නයක්ද නොවේ. එය පාලනය කර ගැනීමේ ප්‍රමුඛ වගකීම සෞඛ්‍ය අංශ මත පැවරිය යුත්තේ ද එනිසාය. තවද ජනමාධ්‍ය ප්‍රශ්නයේ හවුල්කරුවකු නොව විසඳුමේ හවුල්කරුවකු වීමද අත්‍යවශ්‍ය සාධකයකි.


කනගාටුවකට මෙන් අප තවම ඉන්නේ බොහෝ පසුපසිනි. අප එතැනින් ඉදිරියට ගෙන යාහැකි නායකත්වයක් හෝ බලවේගයක් හෝ නොපෙනේ.


තිත්ත නමුත් ඇත්ත යථාර්ථය එයයි. ■

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here