මහර බන්ධනාගාරයේදී පැන නැගුණේ ඉතා පැහැදිලිව සිරකරු අයිතිවාසිකම් පිළිබඳ ප්‍රශ්නයකි. සිරිකරුවෝද මනුෂ්‍යයෝය යනුවෙන් බන්ධනාගාර බිත්තියෙහි නොමැකෙන අකුරින් සඳහන් කර තිබීම පමණක් ප්‍රමාණවත් නොවේ. සිරකරුවන් සාමාන්‍ය මනුෂ්‍යයන් සේ සලකා ක්‍රියා කරන සමාජයක් මෙරට නැත. මහර වෙඩි තැබීමෙන් පසුව ඇඳිවත පිටින් එහි පැමිණ පොලිස් නිලධාරීන් ඉදිරියේ වැඳ වැටුණු මව්වරුන්ට දරුවන් හරි මාර්ගයේ නොයැවූ බවට චෝදනාවක්ද එල්ල කැරිණි. සෑම සමාජ ප්‍රශ්නයක්ම මහජනයා පිටම දමා ගැලවීම වත්මන් ආණ්ඩුවේ එක් උපායකි. ඉහත අර්ථකථනයට අනුව අම්මලා හරියට හදා වඩා නොගත් ළමයි කුඩුකාරයෝ වූහ. පාතාල සාමාජිකයෝ වූහ. වෙනත් වැරදිවලට බන්ධනාගාර ගත වූහ. අම්මාත්, අහසත් දොස් අසා නිමක් නැති බවට සාමාන්‍ය වහරේ කතාවක්ද තිබේ.


ඒ සියල්ල එසේ වී තිබුණත් මෙරට බන්ධනාගාරගතව සිටින පිරිස් මුහුණ දෙන බරපතළම හා නොවිසඳුණු ප්‍රශ්නයක් වන්නේ දීර්ඝ කාලයක් නඩු විමසීමට බඳුන් නොකර රිමාන්ඞ් සිරකරුවන් ලෙස සිටීමට සිදුවීමයි. ඇතැමුන් කළ වරදට අනුව අච්චු කාලය වසරක් හෝ දෙකක් විය හැකිය. එහෙත් ඒ වසර හෝ දෙක ගෙවීමට පෙර නඩු ප්‍රමාදය නිසා චූදිතයාට සැලකිය යුතු කාලයක් රැඳවියකු ලෙස ගන්ධබ්බ අවධියක් ගෙවීමට සිදුවෙයි. තම නඩු ඉක්මන් කරන ලෙස ඔවුහු දිගින් දිගටම කීහ. බලධාරීහු නෑසූ කන්ව සිටියහ. මහරට සමාන්තරව සෙසු බන්ධනාගාරවලද අද වන විට නොසන්සුන් තත්ත්වයක් හටගෙන තිබීමට මෙම ප්‍රශ්නයම හේතුවී තිබේ. යූ.ආර්. ද සිල්වා මහතා නීතිඥ සංගමයේ සභාපති ධුරය හෙබවූ කාලයේ (2017) මේ පිළිබඳව කරුණු කාරණා සහිත හෙළිදරව්වක් කර තිබුණි. ප්‍රමාද වී ගොඩ ගැසී ඇති නඩු සංඛ්‍යාවද ඔහු එහිදී ප්‍රකාශ කළේය. එහෙත් මේ කිසිදු වගකිවයුත්තෙක් නඩු ප්‍රමාදයට විසඳුමක් ඉදිරිපත් නොකළහ. ලොකු ප්‍රතිඵලයක් අත් නොවුණත් මූල්‍ය අපරාධ නඩු එක දිගට අසන ක්‍රමයක් ඇති කැරිණි. ඒ ආකාරයේ ක්‍රමයකින් හෝ මෙම ප්‍රශ්නයටද විසඳුමක් දෙන්නට තිබුණි. නඩු ප්‍රමාදය මහර මෙන් දරුණු ඛේදවාචකවලට තුඩුදෙන බව මේ වනවිට ප්‍රත්‍යක්ෂ වී තිබේ.


දෙවැනි කරුණ කොවිඞ් 19ට අදාළය. මේ දිනවල රිමාන්ඞ් බන්ධනාගාර ගතවන සැකකරුවන් පී.සී.ආර්. පරීක්ෂණවලට ලක් කළ යුතු වුවත් එසේ නොකරන බවට බන්ධනාගාර ගතවූවෝ චෝදනා කර තිබුණි. එමෙන්ම බන්ධනාගාර ගතව සිටින පිරිස් අතර නිරෝධායන නීති ක්‍රියාත්මක කිරීම ප්‍රායෝගික නැති තත්ත්වයක් උදාවී ඇත. කොළඹ නාගරික ජනයා ජීවන ප්‍රශ්න උත්සන්න වීම නිසා නිරෝධායන නීති පිළිනොපැද කටයුතු කිරීම වැළැක්වීම අපහසු සේ ම බන්ධනාගාර ගතවූවෝද කුඩා වපසරියක විශාල පිරිසක් සිටීම හේතුවෙන් නිරෝධායන නීති නොපිළි පදිති. රාජ්‍ය ඇමතිනී සුදර්ශනී ප්‍රනාන්දුපුල්ලේ කියා තිබුණේ බන්ධනාගාරවල අධික තදබදයක් පවතින බවත්, 11,000ක් සිටිය යුතු තැනට 32,000ක් දමා ඇති බවත්ය. එනම් එකට තුනක් සිටින තත්ත්වය තුළ බන්ධනාගාරය කොරෝනා තෝතැන්නක් වීම විමතියට කරුණක් නොවේ. අඩුම තරමින් පී.සී.ආර්. පරීක්ෂණ ප්‍රමාණය හෝ බන්ධනාගාරය තුළ වැඩි කළ යුතුව තිබුණේ මේ නිසාය. එවැනි ක්‍රමයකින් රෝග වාහකයන් වහාම ප්‍රතිකාර මධ්‍යස්ථාන කරා යවා සෙස්සන් නිරෝධායනය කරන ක්‍රමයක් සකස් කළ යුතුව තිබුණි. එවැනි ආරක්ෂක පියවර නොගැනීමත් සිරකරුවන්ගේ ආවේගශීලී හැසිරීමට හේතුවන්නට ඇත. එමෙන්ම සිරකරුවන් දිගින් දිගටම කියා තිබුණු කාරණයක් වූයේ ඔවුන්ගේ සිව්මස් සමාලෝචනය නිසි පරිදි ක්‍රියාත්මක කරන ලෙසය. නඩු ප්‍රමාදයට සිව්මස් සමාලෝචනය නොකිරීමද එකතු වූ විට බන්ධනාගාර අභ්‍යන්තරය තුළ දරුණු ප්‍රතිරෝධයක් පැන නැගීම ස්වාභාවිකය.
මෙවර මහර බන්ධනාගාරයේ ඇතිවූ තත්ත්වය දෙවැනි වන්නේ වැලිකඩ 2012දී සිදුවූ දැවැන්ත මිනිස් ඝාතනයට පමණි. බන්ධනාගාරයක නොසන්සුන් තත්ත්වයක් හටගත් විට හතර අතේ වෙඩි තබා සිරකරුවන් ඝාතනය කිරීම ශිෂ්ට රටක් නොකළ යුත්තකි. සිදුවීමෙන් පසුව බන්ධනාගාර බස්රියවල නංවා නිරෝධායනයට පිටත් කළ බොහෝ දෙනෙක් තරුණ සිරකරුවෝය. ඔවුන් කුමන හෝ හේතුවක් නිසා බන්ධනාගාර ගත වුවත් බන්ධනාගාර ගතවූ පසු ඔවුන්ගේ ආරක්ෂාවේ වගකීම රජය දැරිය යුතුය. එබැවින් මෙැවනි සිද්ධියක වගකීම රජයට ඍජුවම භාර ගැනීමට සිදුවෙයි. අම්මලා ළමයි හරියට හදා නැත යන චෝදනාව පොලිසිය මගින් කිරීමෙන් රජයකට මෙවැනි බරපතළ සිද්ධියකින් ගැලවීමට නොහැකි වෙයි.


අනෙක් අතට බන්ධනාගාරය යනු වැරදිකරුවන් ප්‍රතිශෝධනය කරන මධ්‍යස්ථානයක් විය යුතුය. ලංකාවේදී සිදුවන්නේ එහි අනෙක් පැත්තය. එක්කෝ ඔවුහු තවදුරටත් වරදට පොළඹවන සිදුවීම්වලට මුහුණ දෙයි. නැතහොත් මේ ආකාරයට නොඑන ගමන් යති. මානව හිමිකම් ප්‍රඥප්තියට ගරු කරන, ඊට අනුගත රටකට මේ තත්ත්වය කිසිසේත්ම නොගැළපෙයි. බන්ධනාගාරයේ ඇතිවූ ගින්න නිසා සිරකරුවන් පිළිබඳ ලේඛන විනාශ වූ බව කියයි. එනම් දැන් සිරකරුවන් හඳුනාගැනීම පිළිබඳ ප්‍රශ්නයක්ද මතුවෙයි. ඝාතනය වූ සියල්ලන්ටම කොවිඞ් ලේබලය නොගසා සෑම මරණයක් උදෙසාම මරණ පරීක්ෂණයක් කිරීමද රජයේ වගකීමකි. ■