දිනී ජයසේකර

විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා ගාස්තු නොසිතූ ආකාරයෙන් ඉහළ දමා ඇත්තේ කොවිඞ් 19 වසංගතයෙන් හටගත් ආර්ථික බෙලහීනතාව නිසාය යන්න පාලකයන් විසින් ශිෂ්‍යයන්ට පවසන කරුණය. වසංගත තත්ත්වය හමුවේ බොහොමයකට රැකියා අවස්ථා අහිමි විය. වැටුප් කප්පාදු විය. අඩු වැටුප් කාලසීමාවකට තම ශ්‍රමය වැය කරන්නට සිදුවිය. එවැනි වටපිටාවක විවෘත විශ්වවිද්‍යාලයේ උපාධි පාඨමාලා ගාස්තු ඉහළ දැමීමෙන් සිදුවන්නේ රැකියාවන්හි නිරතවෙමින් තම උපාධිය හදාරන්නන් අපහසුතාවට ලක්වීමක් නොවේ ද? සහ ඇත්තටම නිදහස් අධ්‍යාපනය කියන්නේ මෙවැනි පටු සංකල්පයකටද?


පුළුල් සමාජීය අධ්‍යාපන අවස්ථාවක්


විවෘත විශ්වවිද්‍යාල සංකල්පය ලෝකයේ මුලින්ම බිහිවන්නේ එක්සත් රාජධානියෙනි. එවකට අධ්‍යාපනය පිළිබද පැවති මතය වූ ළමා කාලය තුළ අධ්‍යාපනය හැදෑරිය යුතුය යන මතය අභියෝගයට ලක්වෙමින් කම්කරුවන්ට අධ්‍යාපනය හැදෑරීමේ අයිතිය තිබිය යුතුය යන්න අදහස මූලික කර ගනිමින් විවෘත විශ්වවිද්‍යාල බිහිවීමය. ඒ 1965 වර්ෂයේ එක්සත් රාජධානියේ කම්කරු පක්ෂය මගින් බි්‍රතාන්‍ය පාර්ලිමේන්තුවට කළ යෝජනාවකට අනුවය. මෙම විවෘත විශ්වවිද්‍යාල සංකල්පය ලෝක මට්ටමේ අධ්‍යාපන සම්බන්ධයෙන් විප්ලවීය වෙනසක් කළ අතර විවිධ රටවල එම අදහස ක්‍රියාවට නැංවිණ. විවෘත විශ්වවිද්‍යාලය ආරම්භයේ දී යම් මුදලක් අය කිරීමට තීරණය වූ අතර එම අය කිරීම් තීරණය වූවේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් ලියාපදිංචි වී සිටින උපාධියේ අධ්‍යාපනය හදාරන මට්ටමට අදාළව කළ හැකි රැකියාවේ අවම මාසික වැටුප එම වසරට අදාළ පාඨමාලා ගාස්තුව ලෙසය.


විවෘත විශ්වවිද්‍යාලයේ අධ්‍යාපනය ලබාදෙන ක්‍රමවේදය අනෙකුත් සාම්ප්‍රදායික විශ්විද්‍යාලවලට වඩා වෙනස්ය. මන්ද විවෘත විශ්වවිද්‍යාලීය සංකල්පය පුළුල් සමාජීය අධ්‍යාපන අවස්ථා බිහි කරන සංකල්පයකි. එහිදී විවෘත විශ්වවිද්‍යාලයේ රැකියා නොකරන්නන් සේම රැකියා නියුක්තිකයන්ටද අධ්‍යාපනය ලබා ගැනීමේ හැකියාවක් ඇත. එහි විවෘතභාවය නම්, අධ්‍යාපනය ලැබීමට මුදල් බාධාවක් නොවීම, රැකියාව බාධාවක් නොවීම, වයස බාධාවක් නොවීම, තමන් කැමති විෂය නිර්දේශ යටතේ අධ්‍යාපනය හැදෑරීමට හැකිවීම, උපාධිය හැදෑරීමට ගතකරන කාල සීමාව තමාට තීරණය කළ හැකිවීම, තමන් සිටින අධ්‍යාපන මට්ටමේ සිට ඉහළට උපාධිය හැදෑරීමට හැකිවීම සහ උපාධියට ඇතුළත් වන අධ්‍යාපන මට්ටම් තමන්ට තීරණය කිරීමට හැකිවීම යන්නය. නමුත් විවෘතභාවය කෙසේ වෙතත් වත්මන් තත්ත්වය හමුවේ සියල්ල කනපිට ගසා ඇති බවක් පෙනෙන්නට තිබෙන බව කිව යුතුය.


සිසුන්ගෙන් නඩත්තු අය කිරීම


වර්ෂ 2014 දී විවෘත විශ්වවිද්‍යාලයේ සිසුවෙක් ගෙවිය යුතු වූවේ තමාට වැයවන මුදලින් 20%ක ප්‍රමාණයකි. ඉතිරි 80% රජය විසින් සපයන ලදි. නමුත් 2015 වර්ෂයේ දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව යෝජනා කර ඇත්තේ 33%ක කොටසක් සිසුවා විසින් දැරිය යුතු බවය. පසුව 2020/01/20 දින මහා ශිෂ්‍ය සංගමය විසින් සංවිධානය කළ උද්ඝෝෂණයක් අතරතුර ලබා දුන් සාකච්ඡාවක දී විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ නියෝජිතයකු සිසුන් වෙත ප්‍රකාශ කර ඇත්තේ ශිෂ්‍යා විසින් 45%ක මුදලක් ගෙවිය යුතු බවය. 2014 සිට 2020 දක්වා වරින් වර ශිෂ්‍යයා විසින් දැරිය යුතු මුදල ඉහළයෑමට බලපා ඇති ප්‍රධානතම හේතුව විවෘත විශ්වවිද්‍යාලයට අදාළව රජය විසින් ලබාදෙන ප්‍රතිපාදන කප්පාදු කිරීම නිසාය යන්න ශිෂ්‍යයෝ තදින් විශ්වාස කරති. නිදසුනක් ලෙස 2014 වර්ෂයේ ඉංජිනේරු තාක්ෂණ පීඨයේ උපාධියේ මූල්‍යම වටිනාකම රුපියල් එක්ලක්ෂ විසිහත්දාස් අටසිය (127,800) කි. 2019 වර්ෂය වන විට එය රුපියල් දෙලක්ෂ දාහත්දාස් පන්සීයක් (217,500) ව තිබේ. ඒ අනුව වැඩිවීම රුපියල් අසූනවදාස් හත්සීය (89,700) කි. නමුත් අදටත් රාජ්‍ය සේවකයෙකුගේ අවම වැටුප රුපියල් විසි දෙදාස් පන්සීය (22,500) කි. පෞද්ගලික සේවකයෙකුගේ වැටුප රුපියල් දහතුන්දාස් පන්සිය (13,500)කි. උපාධි පාඨමාලා ගාස්තු ඉහළ ගියද වැටුප් මට්ටම තවමත් තිබූ තැනමය. මේ පිළිබඳව ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ මහා ශිෂ්‍ය සංගමයේ සභාපති හර්ෂ මධුසංඛ අප සමග අදහස් දැක්වීය.


“වත්මන් වටපිටාව අනුව විවෘත කාර්ය මණ්ඩල වැටුපේ සිට සමස්ත විශ්වවිද්‍යාලයේ නඩත්තුව සම්පූර්ණ වශයෙන් සිසුන් මත පැටවීමට ආණ්ඩුව උත්සහ කරන බවක් පෙනෙන්නට තියෙනවා. මේ තීරණ සියල්ල කොවිඞ් වසංගත තත්ත්වය පිටින් දාලා ක්‍රියාත්මක කිරීමට තමයි ඔවුන් බොහෝ සේ උත්සාහ දරන්නේ. ඉන් මෙතෙක් කල් සාමාන්‍ය රැකියාවක් කරලා ගෙදර වියදමත් දරාගෙන තමන්ගෙ උපාධියත් කරගෙන ගියපු අය ඉතා අපහසුතාවට පත්වෙනවා. එහිදී සිද්ධ වන්නේ මේ වැඩෙන් බහුතර රැකියා නියුක්තිකයන් උපාධි පාඨමාලා වලින් හැලෙන එකයි. නිදසුනක් ලෙස 2017 – 2018 අධ්‍යයන වර්ෂයට අදාළව ස්වාභාවික විද්‍යාපීඨයේ සිසුන් 128 දෙනෙකු සිය උපාධිය අහිමි වුණා.”
සමාජයට අධ්‍යාපනය ලබාදීම පරමාර්ථය කරගත් විශ්වවිද්‍යාලයක් මෙලෙස මුදල් ඉලක්ක කරගනිමින් ගමන් කිරීම ඛේදවාචකයකි. සාමාන්‍යය ආර්ථික වටපිටාවක් ඇති උසස් පෙළ සමත් නමුත් සාම්ප්‍රදායික විශ්වවිද්‍යාල වරම් නොලැබූ සිසුවෙකුට අධ්‍යාපනය පිළිබඳ තිබූ බලාපොරොත්තුව විවෘත විශ්වවිද්‍යාලය විය හැකිය. නමුත් වත්මන් වටපිටාව අනුව ඒ බලාපොරොත්තුවද කුඩු පට්ටම් වෙමින් තිබීම කනගාටුවක් නොවේද? සත්‍යය වශයෙන්ම වත්මන් රජය විවෘත විශ්වවිද්‍යාලයේ දැනට උපාධි පාඨමාලා හදාරමින් සිටින අයට කුඩම්මාගේ සැලකිලි ලබාදෙමින් අනාගතය ගැන සිහින දකිති. ඒ සියල්ලන්ම උපාධිධාරීන් කිරීමටය. අවසාන වශයෙන් අපට කියන්නට ඇත්තේ නින්දෙන් අවදිවීමට එතරම් පරිශ්‍රමයක් දරන්නට උවමනාවක් නොමැති බවය. මන්ද ඔය වගේම 2015 යහපාලන ආණ්ඩුව ෆ්‍රී වයිෆයි දුන්නා අපට මතකය.


රැකියා නියුක්තිකයන් හැලීම


විවෘත විශ්වවිද්‍යාල සංකල්පය තුළ පවතින මූලික කාරණාව වැඩ කරන ජනතාවගේ අධ්‍යාපන අයිතියයි. නමුත් ලෝක බැංකුව, ආසියාතික සංවර්ධන බැංකු ආදී මූල්‍ය ආයතනවල උවමනාවට රජය මගින් විවෘත විශ්වවිද්‍යාලය තුළ ක්‍රියාත්මක කරවන ව්‍යාපෘති කාලයක් පටන් විවෘත සංකල්පයට හානි කර විය. වර්තමානය වන විට එම තත්ත්වය උග්‍රවී ඇති අතර රැකියා නියුක්තිකයන් විවෘත විශ්වවිද්‍යාලයෙන් පිටමන් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භ කරමින් සිටී.
ලෝක බැංකුව ්‍යෑඔක්‍ ව්‍යාපෘති මගින් ගෙනා ප්‍රතිසංස්කරණයට අනුව 2014 වර්ෂයේ ලියාපදිංචි වූ සිසුන්ගේ සිට ඉංජිනේරු තාක්ෂණ පීඨය වසර පහක අවම කාලසීමාවක් පනවා තිබූ උපාධිය වසර හතරක් දක්වා අඩු කළේය. ඒත් සමගම 207ක්ව තිබූ සම්පූර්ණ කළ යුතු ලකුණු (ක්‍ඍෑෘෂඔ) ප්‍රමාණය 178ක් දක්වා අඩු කළ අතර අද එය 105කි. එහිදී උක්ත වටපිටාව තුළදී රැකියා නියුක්තිකයන්ට අධ්‍යාපනය හැදෑරීමට ඇතිවන බාධා වැඩිය.


තවද විවෘත විශ්වවිද්‍යාලයේ හදාරන සෑම විෂයකටම අදාළ අවසන් විභාගයට බලන සුදුසුකම යෝග්‍යතා ලකුණු ක්‍රමවේදය (ෑඛෂඨෂඊෂඛෂඔශ) ලෙස හඳුන්වනු ලබයි. විශ්වවිද්‍යාලය ආරම්භයේදී යම් විෂයක් ෑඛෂඨෂඊඛෑ වූ පසු, ඕනෑම අවුරුදු ගණනක් අවසන් විභාගයට මුහුණදීමේ හැකියාව තිබුණි. පසුව එය ක්‍රමිකව වසර 7, 5, 3 ලෙස සීමා පැනවූ අතර 2017 වර්ෂයේ සිට එය වසර 2 දක්වා අඩු කරන ලදි. මෙහි වැඩිම බලපෑම ඇත්තේ රැකියා නියුක්තිකයන්ටය. මන්ද රැකියාවේ ගැටලුකාරී තත්ත්වයක්, අසනීප තත්ත්වයක් හෝ කාර්යබහුලත්වය මත අධ්‍යාපන කටයුතු සාර්ථකව කිරීමට නොහැකි වීම හෝ අයෙක් අවසන් විභාගය දෙවෙනි වරටත් සාර්ථක කරගත නොහැකි වුවහොත් නැවත විෂයට මුදල් ගෙවා එම විෂයට අදාළ අධ්‍යයන වැඩ නැවත මුල සිට සම්පූර්ණ කළ යුතුව ඇත.


උක්ත වටපිටාවක දී රැකියා නියුක්තිකයන්ට තම උපාධිය ඉදිරියට කරගෙන යෑමේ අපහසුකාරී වටපිටාවක් විශ්වවිද්‍යාලය තුළ නිර්මාණය වෙමින් පැවතීම කනගාටුදායකය. රැකියාවක නිරතව සිටින අයෙකුට අධ්‍යාපනය හැදෑරීමට නම් ඊට හැකියාව ලැබෙන පරිදි අධ්‍යාපන නිදහසක් ඔවුන්ට තිබිය යුතුය. මන්ද ඔවුන් තමන් උපයන වැටුපෙන් 50%ක පමණ මුදලක් තම උපාධි සඳහා වැය කරති. එහිදී ඔවුනට සාධාරණීය වැඩපිළිවෙළක් අවශ්‍ය වන්නේය. බහුතරය නිදහස් අධ්‍යාපනයක් ලබා දෙනවායැයි කියමින් ඊට මුවාවී සිදු කරන මෙවැනි වැඩපිළිවෙළවල් සඳහා විසඳුම් ලැබිය යුතුය යන්න අපගේ අදහසයි.

ප්‍රතිපාදන සීමිත වෙලා
ශ්‍රී ලංකා විවෘත විශ්වවිද්‍යාලයේ ආචාර්ය සංගමයේ සභාපති
දිලීප විතාරණ

“අතීතයේදී වගේ ජීවිතේ පටන් ගන්න කලින් කරන වැඩක් නෙවෙයි උපාධියක් ගන්නවා කියන එක. සාම්ප්‍රදායික විශ්වවිද්‍යාලවල සිද්ධ වෙන්නේ මුලින් උසස් පෙළ ඉවර කරලා පස්සෙ උපාධිය අරගෙන ඊටත් පස්සෙ රැකියාවක් කරල ජීවිතේ පටන් ගන්නේ. නමුත් ලෝකයේ උසස් අධ්‍යාපනය ගැන තිබෙන මතය වෙනස් වෙමින් තිබෙනවා. දැන් අධ්‍යාපනය කියන්නෙ ජීවිත කාලයේම කරන දෙයක්. එතකොට තරුණ වයස පහුකරලා විවිධ රැකියාවලට ගිය, එවැනි ශ්‍රමබලකායක් රටේ ඉන්නවා. ඔවුන්ට උසස් අධ්‍යාපනයක් ලබාගන්න තියෙන එකම තැන තමයි විවෘත විශ්වවිද්‍යාලය.
මීට කලින් විවෘත විශ්වවිද්‍යාලයේ සියලු අවශ්‍යතාවන් සඳහා මුදල් ප්‍රතිපාදන විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව විසින් දැරුවා. ස්ථීර සේවකයන්ගේ වැටුප්, සනීපාරක්ෂක අවශ්‍යතා, ගොඩනැගිලි ප්‍රතිසංස්කරණ වැනි සියලු විශ්වවිද්‍යාල අවශ්‍යතාවන් සඳහා රජයෙන් ප්‍රතිපාදන සැපයුවා. නමුත් අවුරුද්දක පමණ කාලයක් තිස්සේ රජය ලබාදෙන ප්‍රතිපාදන සීමිත වෙලා තිබෙනවා. ඒ අවුරුද්ද පුරා විශ්වවිද්‍යාල අවශ්‍යතාවන් ශිෂ්‍යයන්ගේ මුදල් වලින් පිරිමහගෙන තිබෙනවා. මේ නිසා තමයි පාඨමාලා ගාස්තු ඉහළ දාල තිබෙන්නේ. මොකද වර්ෂයෙන් වර්ෂයට ඉතා ශීඝ්‍රයෙන් පාඨමාලා ගාස්තු ඉහළ යෑමක් අපිට දකින්න ලැබුණා. ඉන් අපහසුතාවට පත්වන්නේ ශිෂ්‍යයන්. මොකද නොයෙක් ආර්ථික තරාතිරම්වල අය මෙහි අධ්‍යාපනය ලබනවා. මේ නිසා ඔවුන්ට උපාධි මගහැරීමේ අවදානම වැඩියි.”

කප්පාදු කරලා නැහැ
ශ්‍රී ලංකා විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාවේ සභාපති
මහාචාර්ය සම්පත් අමරතුංග

“විවෘත විශ්වවිද්‍යාලයට මෙතෙක් ලබා දුන් ප්‍රතිපාදන සියල්ල ඒ ආකාරයෙන්ම ලබා දෙනවා. කිසිදු ප්‍රතිපාදන කප්පාදුවක් කරලා නැහැ.”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here