????????????????????????????????????

ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

යුද හමුදාව රාත‍්‍රී කාලයේදී ස්වයං නිරෝධායනයට ලක්වූවන් සිටින නිවෙස්වලට කඩා පැන පවුල් පිටින් ත‍්‍රස්තවාදීන් සේ කුදලාගෙන යන බව රාවයට වාර්තා වේ. මෙලෙස පැහැරගෙන ගොස් ඇත්තේ යුද හමුදා පවුල්වල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස් මෙන්ම වෙනත් පවුල්වල නිරෝධායනයට ලක්වෙමින් සිටි පිරිස්ය.

කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් හමුවූ රෝගී පොකුරේ ඇතැම් ආශ‍්‍රිතයන් පසුගිය දිනවල ඔවුන් පදිංචිව සිටින සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසයන්හි සෞඛ්‍ය නිලධාරීන් විසින් නිරෝධායනයට ලක් කර තිබේ. මෙම පිරිස්වලට උපදේශන ලබාදීම සහ පසුවිපරම් කරනු ලබන්නේද එකී ප‍්‍රදේශයන් භාර මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ය. යුද හමුදාව විසින් මෙම පැහැර ගැනීම සිදුකරනුයේ එම නිලධාරීන් පවා දැනුවත් නොකර බවද ඔවුහු කියති.

ශ‍්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ලේකම් තුසිත බාලසූරිය පැවසුවේ අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ කැකිරාව, නෙලූබෑව. ශ‍්‍රාවස්තිපුර, හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ අම්බලන්තොට, මාතර දිස්ත‍්‍රික්කයේ මොරවක යන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි කොට්ඨාසවල නිරෝධායනයට ලක් කර සිටි පුද්ගලයන් මෙසේ පැහැරගෙන ගොස් ඇති බවය.

නෛතිකමය බලයක් නොතිබුණද දෙපාර්තමේන්තු ප‍්‍රධානීන්ගේ උපදෙස් මත අදාළ සෞඛ්‍ය නිලධාරි කොට්ඨාසවල ආශ‍්‍රිතයන් සොයා ඔවුන් නිරෝධායනයට යොමු කිරීම එම කොට්ඨාසවල සෞඛ්‍ය බලධාරීන්ට පවරා තිබුණද එම වැඩපිළිවෙළට පටහැනිව යුද හමුදාව මෙවැනි ක‍්‍රියාවන් නිසා එසේ රැුගෙන ගිය පුද්ගලයන් සම්බන්ධ තොරතුරු ලබාගැනීම ගැටලූවක් බවද ඔහු කීවේය.

යුද හමුදා සාමාජිකයන්ගේ පවුල්වල උදවිය රැගෙන ගියත්, එසේ නොවන පවුල්වල ආශ‍්‍රිතයන් මෙලෙස රැගෙන යෑමෙන් තවත් ගැටලූ ඇතිවිය හැකි බවත් ඔහු පැවසීය.

මේ සම්බන්ධයෙන් යුද හමුදාපති ලූතිනන් ජෙනරාල් ශවේන්ද්‍ර සිල්වාගෙන් විමසූ විට ප‍්‍රකාශ කළේ කන්දකාඩු පුනරුත්ථාපන මධ්‍යස්ථානයෙන් කොවිඞ් ආසාදිතයන් වාර්තා වූ පසු එහි රාජකාරි කළ සියලූදෙනාද රැඳවියන් බැලීමට ගිය අමුත්තන්ගේ පවුල්වල අයද ත‍්‍රිවිධ හමුදාවේ නිරෝධායන මධ්‍යස්ථාන වෙත රැගෙන ගිය බවය. ඒ අනුව රැඳවියන් හමුවීමට ගිය 116කගේ පවුල්වලට අයත් 378ක්ද එලෙස රැගෙන ගිය බව ඔහු තහවුරු කළේය.

එසේ රැගෙන යෑමේදී සෞඛ්‍ය නිලධාරීන්ට දැන්වීම යම් යම් ස්ථානවල පමණක් ප‍්‍රමාදයන් සිදුවන්නට ඇති නමුත් සියලූදෙනා දැනුවත් කිරීමට වඩා ඉක්මනින් ඔවුන් සමාජය සමග ගැටීම වැළැක්විය යුතු බවද ඔහු සඳහන් කළේය.

ආශ‍්‍රිතයන් සොයා ගැනීමේ ගැටලූවක් මතු නොවන බවත් පසුගිය කාලයේ ආශ‍්‍රිතයන් සෙවීම එක් පුද්ගල කණ්ඩායමක් පමණක් සිදු නොකළ අතර හමුදාව සහ බුද්ධි අංශද එහිදී විශාල කාර්යභාරයක් කළ බව යුද හමුදාපතිවරයා වැඩිදුරටත් පැවසුවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here