Home පුවත් දේශපාලන කොවිඩ් – 19 ආසාදිත මළ සිරුරු ආදාහනයද? භූමදානයද? තිරය පිටුපස සිදුවූයේ කුමක්ද?

කොවිඩ් – 19 ආසාදිත මළ සිරුරු ආදාහනයද? භූමදානයද? තිරය පිටුපස සිදුවූයේ කුමක්ද?

1
991

ශ්‍රීලාල් සෙනෙවිරත්න


කොවිඩ් – 19 ආසාදිත මළ සිරුරු භූමදානයට අවසර ලැබීමත් සමග (2021 පෙබරවාරි 25), එම සිරුරු ආදාහනයට රජය ගෙන තිබූ තීරණයට සහ ක්‍රියා මාර්ගයට එරෙහිව මුස්ලිම් ප්‍රජාව ගෙන ගිය අරගලය ජයග්‍රාහී අවසානයක් කරා පැමිණියද, එතෙක් “බලහත්කාරයෙන් සිදු කළ ආදාහනයන්ට” එරෙහිව නඩු පවරන බවද, ආදාහනය කිරීමේ තීරණය ගත් සෞඛ්‍ය බලධාරීන් ගෙදර යැවිය යුතු බවද පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.එම්. මරික්කාර් මාධ්‍ය හමුවකදී පැවසීමත්, භූමදානයට එරෙහිව වාරණ නියෝගයක් ලබාගැනීම සඳහා ‘සිහල රාවය’ සංවිධානය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙත්සමක් ගොනු කිරීමත් හේතුවෙන් “අදාහනයද? භූමදානයද?” ගැටලුව නව මුහුණුවරකින් යළි මතුව තිබේ.

මරික්කාර් මන්ත්‍රීවරයාගේ ප්‍රකාශය අනුව කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන තිබූ තීරණය සහ අනුගමනය කළ ක්‍රියා මාර්ගය “ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශවලට පටහැනිව, විද්‍යාත්මක හේතූන්වලින් තොරව, මිථ්‍යාව පදනම් කරගෙන” ගන්නා ලද තීරණයකි. බලහත්කාර ක්‍රියාමාර්ගයකි. එය මුස්ලිම් ආගමික ප්‍රශ්නයක් නොව සිංහල, දෙමළ, කතෝලික, මුස්ලිම් සියලු ජනතාවගේ මානව හිමිකම් උල්ලංඝනය කිරීම පිළිබඳ වූ ජාතික ප්‍රශ්නයකි.


‘ජාතික ප්‍රශ්නයක්’ කෙසේ වෙතත්, “කොවිඩ් මළ සිරුරු ආදාහනය” පිළිබඳ රට තුළ මතුවූ ගැටලුකාරී තත්ත්වය අන්තර් ජාතිකවද අවධානයට ලක්වූ සහ මැදිහත්වීම් සිදුවූ ගැටලුවක් වූ බව නොරහසකි. ඒ, රජය “කොවිඩ් මළ සිරුරු” භූමදානයට අවසර නොදීම, “මුස්ලිම් ප්‍රජාවේ ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කිරීමක් සහ එම ප්‍රජාව පීඩාවට පත් කිරීමේ අරමුණින් ගත් දේශපාලන තීරණයක්” බවට වන ප්‍රවාදයක් අන්තර් ජාතික වශයෙන් පවා පිළිගැනීමට ලක්වීමේ ප්‍රතිඵලයක් වශයෙනි. ඊට දායකත්වය දැක්වූ පාර්ශ්වයන් අතර ආරම්භයේදී මුස්ලිම් දේශපාලන නායකයෝද, මුස්ලිම් ආගමික වියතුන්ද, පසුව සිවිල් සහ මානව හිමිකම් ක්‍රියාධරයෝද, විවිධ සංවිධානද, ඇතැම් ජනමාධ්‍යද කැපී පෙනුණි.


“පළිගැනීමක්ද සැකයි” – අබ්දුල් රාසික්


කලක සිට මුස්ලිම් ප්‍රජාවේ අයිතිවාසිකම් වෙනුවෙන් හඬ නගන ඒකදේවවාදී ආගමික සංවිධානයක් වන ‘සිලෝන් තවුහිද් ජමාත්’ සංවිධානයේ නායක අබ්දුල් රාසික් අප සමග පැවසුවේ කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීමට රජය ගෙන තිබූ තීරණය ‘මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කිරීමේ වුවමනාවෙන් ගත් දේශපාලන තීරණයක්’ බවය. එය මුස්ලිම් ප්‍රජාවෙන් කළ පළිගැනීමක්ය යන සැකයද ඔහු මතු කළේය.

“මුලින්ම මුස්ලිම් මරණයක් ආව වෙලාවේ ගැසට් පත්‍රයේ තිබුණා වළලන්න පුළුවන් කියලා. ඒ මරණය තියාගෙන මේගොල්ල වහාම ගැසට් පත්‍රය වෙනස් කළා. එතන තමයි අපිට මුලින්ම ප්‍රශ්නයක් වුණේ. මැරුණ වෙලාවේ භූමදානයට අවසර තිබුණා නම් වළලන්න දෙන්න ඕනේ. නමුත් මේක අතීතයට බලපාන නීතියක් කරලා ගැසට් පත්‍රය ක්‍රියාත්මක කළා. එතකොට තමයි මුස්ලිම් ජනතාව අප්සට් වුණේ මේකට යම් කිසි දේශපාලන ඇඟිලි ගැසීමක් තියනවා කියලා. ‘අඩි අටක ගැඹුරක් දීලා වියළි කලාපයක භූමදානය කරන්න ඕනේ’, ‘ලංකාවේ වියළි කලාපයක් නෑ’ අරවා මේවා කියාගෙන හිටිය මේගොල්ල දැන් කියනවා සියලුම ප්‍රාදේශීය සභා ප්‍රදේශවල භූමදාන කටයුතු කරන්න, ප්‍රාදේශීය සභාවට අවසරය දෙන්න පුළුවන් කියලා. මුලින්ම රජයෙන් අවසර දුන්නේ කිලිනොච්චිවල වළලන්නනේ. ඊයේ පෙරේදා ඕට්ටමාවඩිවලත් භූමදානය කළා. අපි කලින් කිව්වා ඕට්ටමාවඩිවල සුදුසු ප්‍රදේශයක් තියනවා වළලන්න කියලා. ඒ වෙලාවේ කිව්වා නෑ නෑ එහෙ සුදුසු නෑ කියලා. එහෙනම් දැන් කොහොමද සුදුසු වුණේ? මුස්ලිම් ජනතාවටත් සීයට සීයක්ම තේරෙනවා මේක දේශපාලනයක් කළේ කියලා. පොඩි ‘රිවේන්ජ්’ එකක් ගත්තාද කියලත් සැකයක් තියනවා. මුස්ලිම් සාමාන්‍ය ජනතාව පවා හිතන්නේ එහෙම තමා. ඒක තමයි ඇත්ත.”


අබ්දුල් රාසික්ගේ මේ කරුණු දැක්වීම, මරික්කාර් මන්ත්‍රීවරයා හුවා දක්වන ‘ජාතික ප්‍රශ්නය’ මුස්ලිම් ප්‍රජාවේ හුදු ආගමික ප්‍රශ්නයකට ඌනනය කරද්දී, මුස්ලිම් ජනමත ප්‍රධානීන්ගේ ප්‍රකාශ සහ ක්‍රියාකාරකම් බොහොමයකින්ද ඒ බව තවදුරටත් තහවුරු කෙරුණේ මරික්කාර් මන්ත්‍රීවරයාගේ ප්‍රවාදය නිෂ්ප්‍රභ කරමිනි. පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් ‘පළමු මුස්ලිම් කොවිඩ් මළ සිරුර ආදාහනය’ සම්බන්ධයෙන් (2020 මාර්තු 31) සිය මුහුණු පොතට එක් කොට තිබූ සංවේදී සටහන, බස්නාහිර පළාතේ හිටපු ආණ්ඩුකාරවරයෙකුද වූ, ජාතික සමඟි පෙරමුණේ නායක අසාද් සාලි වරින් වර මාධ්‍ය හමු පවත්වමින් (2020-2021) දැක්වූ අදහස්, භූමදානයටද අවසර ඉල්ලා ආදාහනයට එරෙහිව වරින්වර කරළියට ආ විවිධකාර ආයාචනා, විරෝධතා ව්‍යාපාර සහ අධිකරණ ක්‍රියා මාර්ග, අන්තර් ජාතික වශයෙන් සිදුවූ මැදිහත්වීම් සහ බලපෑම් ඊට නිදසුන්ය.


“මුස්ලිම් මිනිසුන් පුච්චනවා” – අසාද් සාලි


කොවිඩ් ආසාදිතව මියගිය පළමු මුස්ලිම් ජාතිකයාගේ සිරුර ආදාහනය කිරීමෙන් පැය කිහිපයක් ඉක්ම යද්දී මුස්ලිම් කොන්ග්‍රස් පක්ෂයේ නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී රවුෆ් හකීම් සිය මුහුණු පොතේ තබන ලද සංවේදී සඳහනකින් පවසා තිබුණේ “සිය ආගමික විශ්වාසයන්ට අනුව භූමදානයට ඉඩ නොදී සිය සහෘදයාගේ සිරුර කඩිනමින් ආදාහනය කිරීමට සෞඛ්‍ය බලධාරින් කටයුතු කිරීම අවාසනාවක්” බවය. ඔහුගේ මුහුණු පොතේ පෝස්ටු නිරීක්ෂණයේදී ඒවායින් 90%කට වැඩි ප්‍රමාණයක් ඔහු නියෝජනය කරන මුස්ලිම් ප්‍රජාව බහුල වශයෙන් භාවිත කරන දෙමළ භාෂාවෙන් සටහන් කර ඇති බව පෙනී යන හෙයින් ඉංග්‍රීසි බසින් තබන ලද මෙම සංවේදී සටහනෙන් ඔහු ආමන්ත්‍රණය කර ඇත්තේ අන්‍ය ප්‍රජාවකට බව පැහැදිලිය. අසාද් සාලි වරින් වර පැවැත්වූ මාධ්‍ය හමු සහ සමාජ මාධ්‍ය වෙත මුදා හැර තිබූ ඇතැම් වීඩියෝ පටවල කොවිඩ් ආසාදිත මුස්ලිම් මළ සිරුරු ආදාහනය හඳුන්වා තිබුණේ බලහත්කාරයෙන් ‘මුස්ලිම් මිනිසුන් පුච්චා දැමීමක්’ ලෙසිනි.


තවද කොවිඩ් සිරුරු අදාහනයට නියම කරමින් නිරෝධායන පනත යටතේ රජය 2020 මාර්තු 31 වෙනිදා නිකුත් කොට තිබූ ගැසට් නිවේදනය සංශෝධනය කොට භූමදානයටද අවසර දීමට සෞඛ්‍ය බලධාරීන්ට නියෝග කරන මෙන් ඉල්ලා මුස්ලිම් දේශපාලන නායකයෝ ශ්‍රේෂ්ඨාධිකරණය වෙත මූලික අයිතිවාසිකම් පෙත්සමක් ඉදිරිපත් කළහ.

(ශ්‍රේෂ්ඨාධිකරණය එය විභාගයට නොගෙනම ඉවත දැමුවේ එම තීරණය ගත යුත්තේ සෞඛ්‍ය බලධාරීන් මිස අධිකරණය නොවන බව පවසමිනි.) බහුතර මුස්ලිම් ප්‍රජාවක් නියෝජනය කරන කල්මුණේ නගර සභාව රජයේ ‘ආදාහන තීරණයට’ එරෙහිව යමින් කොවිඩ් මළ සිරුරු භූමදානය කිරීමේ යෝජනාවක් සම්මත කරගැනීම ඇතුළුව දේශීය වශයෙන් සිදුවූ තවත් බොහෝ මැදිහත්වීම්වලට අමතරව ජිනීවා මානව හිමිකම් කොමිසමේ විශේෂඥයෝ “බලහත්කාර ආදාහනය” නවත්වා මුස්ලිම් සිරුරු භූමදානයට ඉඩදෙන ලෙසින් (2021 ජනවාරි 25) ශ්‍රී ලංකා රජයෙන් කළ ඉල්ලීම, එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර් අගමැතිවරයාට ලිපියක් යවමින් “මුස්ලිම් අයගේ සිරුරු භූමදානයට” අවසර දෙන ලෙසින් කළ ඉල්ලීම (2020 නොවැම්බර් 13) සහ පාකිස්තානු ජනාධිපති ඉම්රාන් ඛාන්ගේ ශ්‍රී ලංකා සංචාරයද (2021 පෙබරවාරි 23-24) ඒ අතර කැපී පෙණුනු සිදුවීම්ය.


ඒ සියල්ල අතරින් සමස්ත ලංකා මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධානය හෙවත් උලමා සංවිධානය සිදු කළ මැදිහත්වීම් සුවිශේෂී වන්නේ එම සංවිධානය මෙරට මුස්ලිම් ප්‍රජාවට ආගමික මාර්ගෝපදේශ ඉදිරිපත් කරන ප්‍රමුඛතම ආයතනය වන නිසා පමණක් නොව, ‘ආදාහනය’ පිළිබඳ ගැටලුවේ ආරම්භයටද එම සංවිධානය පාර්ශ්වකරුවෙකුව සිටින බැවිනි. උලමා සංවිධානයේ මැදිහත්වීම් සාපේක්ෂව අප්‍රකටය. එහි මහා ලේකම් මවුලවී ෂෙයික් අර්කම් අප සමග පැවසුවේ අබ්දුල් රාසික්ගේ අදහසට සමාන අදහසකි.


“මුලින්ම මීගමුවේ මැරිච්ච පුද්ගලයා භූමදානය කරන්න වළ හාරන කොට වතුර මට්ටම උඩින් තියනවා, මූද ළඟ නිසා අඩි හතරක් හාරන කොට වතුර එනවා කියලා තමයි ප්‍රශ්නය මතුවුණේ. මීගමුවේ බැරි වුණොත් කොළඹ මාළිගාවත්ත සුසාන භූමියෙත් හාරලා අපි ලෑස්ති වුණා කොළඹට හරි ගේනවා කියලා. අන්තිමට වුණේ අපේ කිසිම සැලසුමකට නැතුව, ඥාති කට්ටියටත් කියන්නේ නැතුව ගිහිල්ලා ඒ ශරීරය ආදාහනය කරපු එක. රෑ දෙකට කරේ. එච්චර ඉක්මන් වුණා. එහෙම කරලා පහුවෙනිදා ගැසට් එකත් වෙනස් කළා ආදාහනය පමණයි කියලා.”


“සමාජීය වශයෙන් වෙනස් කොට සැලකීමක්” හැනා සිංගර්


කටයුතු සිදුව ඇත්තේ මෙසේ නම් එය එක්සත් ජාතීන්ගේ ශ්‍රී ලංකා නේවාසික සම්බන්ධීකාරක හැනා සිංගර්ගේ පෙර කී ප්‍රකාශයද තහවුරු කරමින්, අන්තර් ජාතිකව සිදුවූ මැදිහත්වීම්ද සාධාරණීකරණය කරයි. හැනා සිංගර් අගමැතිවරයාට යැවූ ලිපියෙහි සඳහන් කොට තිබුණේ “තම ප්‍රජාවට අයත් දේහ භූමදානයට අවසර අහිමිවීම තුළින් තමන් සමාජීය වශයෙන් වෙනස් කොට සැලකීමකට ලක්වන බවට” මුස්ලිම් ප්‍රජාව ඇය වෙත දැනුම් දී තිබෙන බවය. මෙවැනි අවස්ථාවලදී අපහසු තීරණවලට එළැඹීමට සිදුවන නමුත් සියලු ප්‍රජාවන්ට ඔවුන්ගේ අයිතිවාසිකම් ලබාදිය යුතු බවද ඇය අවධාරණය කොට තිබිණ.


එහෙත් මේ සියලු චෝදනා ප්‍රතික්ෂේප කරමින් රජය පාර්ශ්වයෙන් දිගින් දිගටම අවධාරණය කළේ “ආදාහන තීරණය” කිසියම් පාර්ශ්වයක් ඉලක්ක කොට ගත් තීරණයක් නොවන බවත්, සෞඛ්‍ය විශේෂඥයන්ගේ නිර්දේශ අනුව ගන්නා ලද තීරණයක් බවත්ය. මෙරට එකම කොරෝනා මරණයක් හෝ සිදුව නොතිබූ 2020 මාර්තු 25 දින සෞඛ්‍ය ඇමති පවිත්‍රා වන්නිආරච්චි පැවැත්වූ මාධ්‍ය හමුවේ සිට 2021 ජනවාරි 07 වෙනිදා පාර්ලිමේන්තුවේදී සිදුකළ කරුණු පැහැදිලි කිරීම දක්වාම ඇය පුන පුනා කීවේ මේ කතාවමය.


මාර්තු 25 මාධ්‍ය හමුවේදී ඇය පවසන්නේ ඒ වන විටත් ලංකාවෙන් එකම කොරෝනා රෝගියෙක් හෝ ‘තහවුරුවී නොමැතිවීම’ රටේ වාසනාවක් බවය. එහෙත් ජනතාවගේ නොසැලකිල්ල නිසා ඉදිරියේදී මේ තත්ත්වය අවුල්විය හැකි බවය. පිටරටවල නම් ලැයිස්තුවක්ද ඉදිරිපත් කරමින් ඇය පෙන්වා දෙන්නේ “සෞඛ්‍ය අංශ උපදෙස් පිළිපැදි රටවල” රෝගීන් පාලනය වී ඇතත්, එසේ නොමැති රටවල රෝගීන් ඉතා වැඩිවී ඇති බවත්ය. කොරෝනා වසංගතයෙන් ආරක්ෂා වීමට රජයක් වශයෙන් ගත හැකි උපරිම පියවර ගෙන ඇති මේ මොහොතේ ඒ සඳහා පුරවැසියන්ගේ සහයෝගයද ලබාදෙන ලෙසින් ඇය ඉල්ලා සිටියාය. ඉන් දස මසකට පමණ පසු 2021 ජනවාරි 07 වන දින පාර්ලිමේන්තුවේදී විපක්ෂයේ මන්ත්‍රීවරුන්ගේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් ඇය අවධාරණය කළේ මේ කාරණයේදී “සෞඛ්‍ය අංශ තීරණවලට” ප්‍රමුඛත්වය හිමිවිය යුතු බවය.


“විශේෂඥ නිර්දේශයක්” – සෞඛ්‍ය ඇමති


“දැනට කොවිඩ් රෝගයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත ශරීර ආදාහනය හෝ භූමදානය පිළිබඳ නිර්දේශ ලබාදීමට පත් කළ කමිටුවේ නිර්දේශ වී තිබෙන්නේ කොරෝනා රෝගයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කළ යුතු බවයි. එම නිසා එම පැහැදිලි නිර්දේශය අප ක්‍රියාත්මක කරනවා වගේම මෙවැනි භයානක වසංගතයකට මුහුණ දීමේදී එවැනි විශේෂඥ නිර්දේශයන් සමාජයික, ආගමික, දේශපාලන හෝ වෙනත් කිසිම පුද්ගලික හේතුවක් නිසාවෙන් වෙනස් නොකරන බවත් කාරුණිකව සඳහන් කරමි.”යි ඇය අවධාරණය කළාය. මේ පිළිබඳ (අදාහනයද? භූමදානයද?) අප කළ විමසුම්වලට ප්‍රතිචාර දැක්වූ විශේෂඥ වෛද්‍යවරු සියලු දෙනාම සෞඛ්‍ය ඇමතිවරියගේ ප්‍රකාශය තහවුරු කරමින්, මුස්ලිම් ප්‍රජාවෙන් නැඟෙන චෝදනා ප්‍රතික්ෂේප කළහ. නමුත් මුස්ලිම් ආගමික සහ ප්‍රජා නායකයෝ ලෝක සෞඛ්‍ය සංවිධානයේ නිර්දේශ සහ ලෝකයේ සෙසු බොහෝ රටවල කටයුතු සිදුවන ආකාරය හුවා දක්වමින් ඊට එරෙහිව කරුණු දැක්වූහ.


කොවිඩ් ආසාදිත මළ සිරුරු ආදාහනය (අනිවාර්ය) කිරීමේ තීරණය “මුස්ලිම් ප්‍රජාවේ ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කිරීමක් සහ එම ප්‍රජාව පීඩාවට පත් කිරීමේ අරමුණින් ගත් දේශපාලන තීරණයක්” ද?, නොඑසේව රටේත් ජනතාවගේත් සෞඛ්‍ය සුරක්ෂිතභාවය තහවුරු කිරීමේ අරමුණින් ගත් වෛද්‍ය විශේෂඥ තීරණයක්ද? යන්න තෝරා බේරා ගැනීමේදී එම තීරණය ගත්තේ කවුරුන් විසින්, කවර පසුබිමකද යන්න නිශ්චිතව පැහැදිලි කරගැනීම අතිශය වැදගත්ය. මේ තීරණයට අදාළ පළමු නිල ලේඛනගත සටහන හමුවන්නේ සෞඛ්‍ය අමාත්‍යාංශය කොවිඩ් සම්බන්ධයෙන් නිකුත් කළ මාර්ගෝපදේශයකය. දේශීය කොවිඩ් ආසාදිතයන් හමුවීම ආරම්භයේදීම ඡProvisional Clinical Practice Guidelines on Covid – 19 Suspected and Confirmed Patients   මැයෙන් 2020 මාර්තු මාසයේ මුල්වරට නිකුත් කොට ඇති පිටු 33කින් යුක්ත එම මාර්ගෝපදේශයේ මළ සිරුරු බැහැර කරන ක්‍රමවේදය දක්වා ඇති 7 වන පරිච්ඡේදයේ දැක්වෙන්නේ Cremation within 24 hours without taking home’ යනුවෙනි. එනම් මළ සිරුරු නිවෙසට ගෙනයාමට නොදී පැය 24ක් ඇතුළත ආදාහනය කළ යුතු බවය. එම කටයුතු සිදුකළ යුතු ආකාරය පිළිබඳ සවිස්තර කරුණු ඉදිරිපත් කිරීමක් සහිත මෙම මාර්ගෝපදේශය සකස් කොට ඇත්තේ ඒ වන විට කොවිඩ් 19 වසංගතය සම්බන්ධයෙන් ලොව පුරා පැවැති තත්ත්වයන් සැලකිල්ලට ගනිමින්, වෛද්‍ය විද්‍යාලය සමග එක්ව වසංගත රෝග විද්‍යා ඒකකය මගිනි. ඒ, වසංගත රෝග ඒකකයේ ප්‍රධානි විශේෂඥ වෛද්‍ය ආනන්ද විජේවික්‍රමගේ ප්‍රධානත්වයෙන් යුත් විශේෂඥ වෛද්‍යවරුන් 14 දෙනෙකුගෙන් සමන්විත කමිටුවකිනි.


වසංගත රෝග විශේෂඥයන් පස්දෙනෙකුද. ස්වසන රෝග විශේෂඥයන් තිදෙනෙකුද, ළමා-කාන්තා-හදිසි ප්‍රතිකාර-අධිකරණ ආදී සෙසු අංශ නියෝජනය කරමින් එක් එක් වෛද්‍යවරයෙකු බැගින්ද එම කමිටුවට ඇතුළත්ව ඇත. මාර්ගෝපදේශ ප්‍රකාශයට පත් කරනු ලද දිනය එහි නිශ්චිතව දක්වා නොමැති අතර “2020 මාර්තු” යනුවෙන් මුල් පිටුවේ සඳහන්ය. නමුත් එය මාර්තු 23 වන දිනට පෙර දිනයක සකස් කරන ලද්දක් බව පැහැදිලි වන්නේ ‘ආදාහන තීරණය’ පිළිබඳ මුලින්ම මාධ්‍ය වාර්තා පළවී ඇත්තේ මාර්තු 23 වන දින බැවිනි. එදින ECONOMYNEXT.COM වෙබ් අඩවිය, South Asia Monitor සහ Daily FT   වාර්තා කර ඇති ආකාරයට එම ‘ආදාහන තීරණය’ මෙරටින් එකම කොවිඩ් මරණයක් හෝ වාර්තාවී නොමැති පසුබිමක අධිකරණ වෛද්‍ය නිර්දේශය මත ගන්නා ලද තීරණයකි. මුස්ලිම් ප්‍රජාවේ කොවිඩ් ආසාදිත පළමු මරණය මීගමුව රෝහලෙන් වර්තා වන්නේ 2020 මාර්තු 30 වන දින හෙවත් ‘ආදාහන’ තීරණය පිළිබඳ එම මාධ්‍ය වාර්තා පළවීමෙන්ද සතියකට පසුවය. එම මරණය මෙරට සිදුවූ දෙවෙනි කොවිඩ් මරණය යි.


මෙරට පළමු කොවිඩ් ආසාදිත මරණය සිදුව ඇත්තේ ඊට දෙදිනකට පෙර අංගොඩ බෝවෙන රෝග රෝහලේදී (IDH) ය. උක්ත මාර්ගෝපදේශ ප්‍රකාරව (Provisional Clinical Practice Guidelines) එම මළ සිරුර පැය 24ක් ඇතුළත රෝහල ආසන්නයෙහිම පිහිටි ආදාහනාගාරයේදී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව ආදාහනය කරනු ලැබ තිබේ. එම කටයුතු කෙරෙහි මියගිය අයගේ ඥාති පාර්ශ්වයක හෝ අන් කිසිම පාර්ශ්වයක කිසිම විරෝධයක් ප්‍රකාශයට පත්ව නොතිබිණ. එහෙත් ඉන් දෙදිනකට පසුව මීගමුව රෝහලෙන් වාර්තා වූ දෙවෙනි කොවිඩ් ආසාදිත මරණය හෙවත් මුස්ලිම් ප්‍රජාවේ කොවිඩ් ආසාදිත පළමු මරණයේ සිරුර ආදාහනය කිරීම ඊට වෙනස්ව යමින් මහත් කලබැගෑනියක් ඇති කළ සිදුවීමක් බවට පත්වන්නේ එම මරණය වාර්තාවීමෙන් පසු උලමා සංවිධානය ප්‍රමුඛව මුස්ලිම් ප්‍රජාව සිය ආගමානුකූලව භූමදානය සඳහා මළ සිරුර ඉල්ලා සිටීමත්, සෞඛ්‍ය බලධාරීන් ඊට ඉඩ නොදී සිරුර ආදාහනය කිරීමත් හේතුවෙනි.


“රටේම යහපතට ගත් පූර්ව ආරක්ෂක පියවරක්”


ලෝක සෞඛ්‍ය සංවිධානය විසින් කොවිඩ් මළ සිරුරු ආදාහනයට මෙන්ම භූමදානයටද අනුමැතිය දී ඇති පසුබිමක මෙරට වෛද්‍ය විශේෂඥයන් භූමදානයට අවසර නොදී ආදාහනය අනිවාර්ය කිරීමට හේතුව කවරේදැයි අප කළ විමසීමකදී එම කටයුතුවලට සම්බන්ධ සෞඛ්‍ය අංශයේ උසස් නිලධාරියෙක් පැවසුවේ එය පෙර කී සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුගමනය කරමින් රටේ සමස්ත ජනතාවගේ යහපත වෙනුවෙන් ගන්නා ලද පූර්ව ආරක්ෂක පියවරක් බවය. ලෝක සෞඛ්‍ය සංවිධානය ආදාහනය සහ භූමදානය දෙකම අනුමත කර තිබුණද ඒ ඒ රටවලට උචිත ක්‍රමය තෝරා ගැනීමට ඒ ඒ රටවලට අනුමැතිය දී තිබෙන බවද පෙන්වා දුන් හෙතෙම ඒ අනුව ඉදිරියේදී මෙරටට මුහුණ දීමට සිදුවිය හැකි බරපතළ අවදානම් තත්ත්වයක් වළක්වා ගැනීමේ අරමුණෙන් එම තීරණය ගත් බවත්ය. ඒ වන විට කොවිඩ් වසංගතය බරපතළ ආකාරයෙන් බලපෑම් කරමින් තිබූ චීනය ඊට මුහුණ දීම සඳහා අනුගමනය කළ ක්‍රියාමාර්ග අතරද ‘ආදාහනය’ අනිවාර්ය කොට තිබීමද නිදර්ශනයක් ලෙසින් ඔහු පෙන්වා දුන්නේය.


මෙරට කොවිඩ් මළ සිරුරු ආදාහනයේ ආරම්භය එසේ වී නම් එහි අවසානය ‘ආදාහනය’ මුස්ලිම් ප්‍රජාව පීඩාවට පත් කිරීමේ අරමුණින් ගත් දේශපාලන තීරණයක් ලෙසින්, මුස්ලිම් ප්‍රජාවෙන් ඇරඹී අන්තර් ජාතික ප්‍රජාව දක්වා විශාල වශයෙන් විශ්වාස කරන පසුබිමක් නිර්මාණය වූයේ කෙසේද? ඊට තුඩු දුන් කරුණු පෙළගැස්මට අදාළ සිදුවීම් සිදුව ඇත්තේ නිරෝධායන ඇඳිරි නීතිය ක්‍රියාත්මක කොට රටම ‘ලොක් ඩවුන්’ කර තිබූ පසුබිමක තිරය පිටුපසය. ඒ මෙසේය.


2020 මාර්තු 23 වෙනිදා මාධ්‍ය මුල්වරට ‘ආදාහනය’ පිළිබඳ වාර්තා කිරීමත් සමග මුස්ලිම් ආගමික වියතුන්ගේ සංවිධාන (උලමා) ඒ කෙරෙහි විශේෂ අවධානයක් යොමු කොට තිබේ. ඒ, ඉස්ලාම් ආගමික විශ්වාසයක් පදනම් කරගනිමිනි. එම විශ්වාසය අනුව මුස්ලිම් ආගමිකයන්ගේ මළ සිරුරු ආදාහනය නොකට යුත්තකි. ඒවා භූමදානය අනිවාර්යය. එය දෙවියන්වහන්සේ විසින් සමස්ත මුස්ලිම් ප්‍රජාව වෙත පවරන ලද වගකීමකි. සෞඛ්‍ය බලධාරීන් ගෙන තිබූ ‘ආදාහන’ තීරණය මෙම ආගමික විශ්වාසයට පටහැනිය. එබැවින් එය මුස්ලිම් ප්‍රජාවේ ආගමික අයිතිය අහිමි කිරීමක් ලෙස උලමා සංවිධානය හඳුනාගෙන තිබේ. එබැවින් ඉදිරියේදී එලෙස අහිමි විය හැකි සිය ප්‍රජාවේ ආගමික අයිතිය ආරක්ෂා කරගැනීම වෙනුවෙන් පසුදාම (මාර්තු 24) ජනාධිපතිවරයා වෙත ලිපියක් යොමු කරන එම සංවිධානය ආදාහනය අනිවාර්ය කෙරුණ සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කර භූමදානයටද අවසර දෙන ලෙසින් ඉල්ලීමක් කර තිබේ.


“අපේ සිරුරු අපිට දෙන්න” – උලමා


කොවිඩ් මළ සිරුරු ආදාහනයට පමණක් නියම කිරීම මේ මොහොතේ “මුස්ලිම් ප්‍රජාව හිංසනයට පත් කරන්නක් බවද, එය සිය ප්‍රජාවේ ආගමික විශ්වාසයන්ට පටහැනි බවද” අවධාරණය කොට, මළ සිරුරුවලින් කොවිඩ් ආසාදනය නොවන බවද, කොවිඩ් ආසාදනය වන ක්‍රම පිළිබද විස්තරයක්ද ගෙනහැර දක්වා, මළ සිරුරු සීල් කළ පසු ඒවායින් රෝගය බෝවන බවට සාක්ෂි නොමැති බවද උලමා සංවිධානය එම ලිපිය මගින් ජනාධිපතිවරයාට දැනුම් දී තිබේ. ඒ වන විටත් කොවිඩ් මළ සිරුරු භූමදානය සිදුකරන රටවල්වල නාම ලේඛනයක් සහ ඒ පිළිබඳ වැඩිදුර විස්තර දැනගැනීමට පිවිසිය හැකි අන්තර් ජාල සබැඳින් ද ජනාධිපතිවරයාගේ අවධානයට යොමු කරමින් ‘අපේ සිරුරු භූමදානයට අපිට අවසර දෙන්නැයි’ එම ලිපියෙන් ඉල්ලා තිබේ. ලිපියේ පිටපත් අගමැතිවරයාටද, හමුදාපතිවරයාටද, මුස්ලිම් ආගමික දෙපාර්තමේන්තු ප්‍රධානියාටද යවා තිබේ. එම කටයුත්ත අධිකරණ ඇමති අලි සබ්රිගේ සම්බන්ධීකරණයෙන් සිදුවූ බවත්, ලිපිය යැවීමෙන් දෙදිනක් ගිය තැන, එනම් මාර්තු 27 වෙනිදා පෙර කී Provisional Clinical Practice Guidelines සංශෝධනය කරමින් රජයෙන් භූමදානයටද අවසර ලැබුණු බවත් උලමා සංවිධානය පවසයි. තම ප්‍රජාවේ අයෙකු කොවිඩ් ආසාදිතව මියගිය හොත් භූමදානය කරන ලෙස සිය ආයතනයේ මහජනයා දැනුවත් කිරීමේ අංශය (Fatwa) මගින් ජනතාව දැනුවත් කළේ ඒ අනුව බවද එම සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පාලක එම්.එෆ්.එම්. ෆර්හාන් පවසයි. එබැවින් එම දැනුම්දීම රජයේ සෞඛ්‍ය ප්‍රතිපත්තියට එරෙහිව ආගමික සංවිධානයකින් මුස්ලිම් ප්‍රජාව පෙළගැස්වීමක් ලෙස හැඳින්විය නොහැකි බවද ඔහුගේ ස්ථාවරය යි.


මාර්තු 30 වෙනිදා කොවිඩ් ආසාදිත පළමු මුස්ලිම් මරණය මීගමුව රෝහලෙන් වාර්තා වන්නේ කටයුතු මෙසේ සිදුව තිබියදීය. එහිදී එම මළ සිරුර සිය ආගමානුකූලව භූමදානය කරන්නට උලෙමා සංවිධානය ප්‍රමුඛව මුස්ලිම් ප්‍රජාව සූදානම් වී ඇතත් සෞඛ්‍ය බලධාරීන්ගෙන් ඊට අවසර ලැබී නැත. පෙර කී, මවුලවී ෂෙයික් අර්ක්‍රම්ගේ ප්‍රකාශයෙහි විස්තර කෙරෙන්නේ එහිදී ඇතිවූ තත්ත්වයය. මුස්ලිම් මළ සිරුරු බලහත්කාරයෙන් ආදාහනය කරන්නේය යන ප්‍රවාදයෙන් ඇරඹී, මරික්කාර් මන්ත්‍රීවරයාගේ චෝදනා පත්‍රයේ ඇතුළත් සියලු චෝදනා ජනගත වන්නේ සහ කරන්නේ මෙතැන් සිටය. “බලෙන් ආදාහනය”, “ඥාතීන්ට නොදන්වා ආදාහනය”, “ආගමික චාරිත්‍ර ඉටු කිරීමට අවස්ථාවක් නොදී ආදාහනය”, “ඉක්මනින් ආදාහනය” ආදී වශයෙන් මීගමුවේ මරණය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව මතු කරන ප්‍රශ්න සම්බන්ධයෙන් අප කළ විමසුම්වලට ප්‍රතිචාර දක්වමින් ප්‍රදේශය භාර සෞඛ්‍ය වෛද්‍ය නිලධාරිවරයා සහ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයා පැවසුවේ ඒ සියලු චෝදනා අසත්‍ය බවය. එම මරණය වාර්තාවීමෙන් පසු ඒ පිළිබඳ ඥාතීන්ට දන්වා මියගිය තැනැත්තාගේ නිවසේ සිටි සියලු දෙනාද, ඔවුන් සමීපව ඇසුරු කළ පිරිස්ද නිරෝධානය සඳහා පිටත් කළ බැවින් මරණයේ කටයුතු සඳහා සහභාගි වීමට පවුලේ සාමාජිකයන්ට අවස්ථාවක් නොලැබුණු බවද, වෙනත් ඥාතියෙකුද ඉදිරිපත් නොවුණු පසුබිමක තවදුරටත් මළ සිරුර රෝහලේ තබාගැනීමේ අවශ්‍යතාවක් නොවූයෙන් රෝහලෙන් කෙරුණු දැනුම්දීම සහ සෞඛ්‍ය මාර්ගෝපදේශ අනුව එහි ආදාහන කටයුතු නොපමාව සිදු කළ බවද ඔවුහු පැවසූහ. මීගමුව රෝහලේ අධිකරණ වෛද්‍යවරයා පැවසුවේ සෞඛ්‍ය නිර්දේශ සහ එම අවස්ථාවේ පැවැති තත්ත්වය අනුව එම මළ සිරුර අප්‍රමාදව රෝහල සමීපයෙහිම ඇති ආදාහනාගාරයේ ආදාහනය කිරීමට නියම කළ බවත්, මහජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව වෙනුවෙන් ගත් එම තීරණය දේශපාලන කාරණා හා සම්බන්ධ කරමින් මාධ්‍ය අසත්‍ය ප්‍රවෘත්ති පළ කරන ලද බවත්ය.


මාර්ගෝපදේශ සහ ගැසට් පත්‍රය පිළිබඳ ගැටලුව


මුස්ලිම් ප්‍රජාවෙන් නැඟෙන ප්‍රධාන චෝදනාවක් වන්නේ මීගමුවේ මරණය සිදුවන විට ආදාහනයට මෙන්ම භූමදානයටද ගැසට් පත්‍රයේ අවසර දී තිබූ බවත්, එහෙත් භූමදානයට ඉඩ නොදී එම මළ සිරුර බලහත්කාරයෙන් ආදාහනය කොට (මාර්තු 31 දා) එදිනම ගැසට් පත්‍රයද ‘ආදාහනය පමණක්’ ලෙසට වෙනස් කළ බවත්ය. කොවිඩ් මළ සිරුරු බැහැර කිරීමට අදාළ පළමු ගැසට් පත්‍රය නිකුත් කරනු ලැබ ඇත්තේ 2020 අප්‍රේල් මස 11 වන දිනය. අංක 2170/8 දරන එම ගැසට් පත්‍රයේ සඳහන් වන්නේ කොවිඩ් මළ සිරුරු ආදාහනය කළ යුතු බවය. දෙවෙනි ගැසට් පත්‍රය නිකුත් කොට ඇත්තේ 2021 පෙබරවාරි මස 25 වෙනි දිනය. එමගින් ආදාහනයට මෙන්ම භූමදානයටද අවසර දී තිබේ. එබැවින් මුස්ලිම් ප්‍රජාව කියන පරිදි මීගමුවේ මරණය සිදුවූ මාර්තු 30 හෝ 31 වෙනිදා ගැසට් පත්‍ර සංශෝධනයක් හෝ ගැසට් පත්‍රයක් නිකුත් කිරීමක් හෝ සිදුව නොමැති බව පැහැදිලිය. මේ පිළිබඳව උලමා සංවිධානයේ ප්‍රධානීන් සමග කළ සාකච්ඡාවේදී පැහැදිලි වූයේ ඔවුහු ‘ගැසට් එක’ යනුවෙන් හඳුන්වන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ (Provisional Clinical Practice Guidelines) ප්‍රකාශනය බවය. එය සෞඛ්‍ය අමාත්‍යාංශයේ අභ්‍යන්තර ලියැවිල්ලකි. වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවියේ ඇතුළත්ව තිබූ එම මාර්ගෝපදේශ ප්‍රකාශනයේ යාවත්කාලීන කිරීම් පිටපත් දෙකක් ඉදිරිපත් කරමින් උලමා සංවිධානය තම ස්ථාවරය ප්‍රකාශ කරයි. එකක් (Version-3) මාර්තු 27 දාමය. අනෙක (Version-4) මාර්තු 31 දාතමය. මාර්තු 27 දාතමයේ ආදාහනයට මෙන්ම භූමදානයටද අනුමැතිය දී ඇත. 31 දාතමයේ ආදාහනය පමණක් අනුමත කර ඇත.


උලමා සංවිධානය ඉදිරිපත් කරන මේ මාර්ගෝපදේශ පිටපත් දෙක සත්‍ය පිටපත් නම් එම සංවිධානය ඇතුළු මුස්ලිම් ප්‍රජාව මීගමුවේ සිද්ධිය මුල්කොට ගෙන නඟන චෝදනාවලට පදනමක් ඇත්තේය. මක්නිසාද යත් මාර්තු 23 වෙනිදා වන විට මාර්ගෝපදේශයේ ‘ආදාහනය’ පමණක් තිබී, මාර්තු 27 වෙනිදා එය ‘ආදාහනය සහ භූමදානය’ ලෙසින් සංශෝධනය වී, මාර්තු 31 වෙනිදා නැවතත් ‘ආදාහනය’ ලෙසට සංශෝධනය වීමක් සිදුව ඇති බැවිනි. එහෙත් මෙහි සත්‍යාසත්‍යභාවය නිශ්චය කර ගැනීම දුෂ්කරව ඇත්තේ එහිලා වැදගත් වන ඇතැම් සාක්ෂි තහවුරු කරගැනීමේ දුෂ්කරතාව හේතුවෙනි.


නිදසුනක් ලෙස සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වසංගත රෝග ඒකකයේ වෙබ් අඩවිවල මේ මොහොතේ දක්නට ලැබෙන්නේ යාවත්කාලීන තොරතුරු වන බැවින් උක්ත ආකාරයෙන් මාර්ගෝපදේශ ප්‍රකාශනයේ සංශෝධනයන් සිදුවීදැයි යන්න එමගින් අනාවරණය කර ගත නොහැකිය. එහෙත් මේ මොහොතේ දැක්වෙන්නේ සෞඛ්‍ය මාර්ගෝපදේශ – 4 වන අනුවාදනය (Version-4) නම් ඊට පෙර අනුවාදන 3ක් සිදුව තිබිය යුතු බව පැහැදිලිය. ඒ සම්බන්ධයෙන් තොරතුරු ඉල්ලා තොරතුරු දැනගැනීමේ අයිතිවාසිකම යටතේ අප සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයාට අයදුම්පතක් ඉදිරිපත් කළද ඊට ප්‍රතිචාර වශයෙන් නියෝජ්‍ය අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය එස්.එම්. ආනල්ඩ්ගේ අත්සනින් යුතුව අප වෙත දන්වා ඇත්තේ එම තොරතුරු සෞඛ්‍ය අමාත්‍යාංශයේ සහ වසංගත රෝග විද්‍යා ඒකකයේ වෙබ් අඩවිවලින් බලාගන්නා ලෙසටය. එම වෙබ් අඩවිවල දැක්වෙන්නේ යාවත්කාලීන තොරතුරු පමණක් බව සෞඛ්‍ය අමාත්‍යාංශයේ තොරතුරු නිලධාරියා නොදන්නේද, නොඑසේව චේතනාන්විතව පෙර තොරතුරු සඟවන්නේද යන්න අපැහැදිලිය. හිටපු සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වෛද්‍ය අනිල් ජාසිංහගෙන් මේ ගැන විමසූ විට ඔහු පැවසුවේ දැනට තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයේ නිලධාරියෙකු නොවන බැවින් සෞඛ්‍ය අමාත්‍යාංශයේ විෂය පථයට අදාළ කරුණු ගැන අදහස් දැක්විය නොහැකි බවය. සෞඛ්‍ය ඇමතිවරිය සහ අධිකරණ ඇමති අලි සබි්‍ර දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට බොහෝ වාර ගණනක් උත්සාහ කළද එයද ව්‍යර්ථ විය. උලමා සංවිධානය විසින් මාර්තු 24 වෙනි දාතමින් යුතුව භූමදානයට අවසර ඉල්ලා එවන ලද ලිපිය සම්බන්ධයෙන් කවර පියවරක් ගත්තේදැයි ජනාධිපති කාර්යාලයෙන් සිදුකළ විමසීමටද මේ මොහොත දක්වාම ප්‍රතිචාරයක් ලැබී නොමැත. ඒ ගැන විමසීමට ජනාධිපති ලේකම් කාර්යාලයේ අදාළ දුරකථන අංකයන්ට ඇමතුවද ප්‍රතිචාර දක්වන්නේද නැත.


එබැවින් මීගමුවේ මරණය මුල් කොට ගනිමින් මුස්ලිම් ප්‍රජාවෙන් මතු කෙරෙන ප්‍රධාන චෝදනාවේ යුක්ති සහගතභාවය සම්බන්ධයෙන් නිගමනයකට ඒම මේ මොහොතේ දුෂ්කරය. එසේ වුවද කොරෝනා ආසාදිත මළ සිරුරු ආදාහනය කිරීමේ තීරණය, පළමු කොරෝනා මරණය වාර්තාවීමටත් පෙර සෞඛ්‍ය විශේෂඥයන් විසින් ගනු ලැබූ සහ පළමු මරණයේ සිටම අඛණ්ඩව එකම ලෙසින් ක්‍රියාත්මක කරනු ලැබූ තීන්දුවක් බව තහවුරුය. කොවිඩ් ආසාදිතව මියගිය, ජන ප්‍රසාදිත හිටපු කථානායකවරයෙකු වූ වි.ජ.මු. ලොකුබණ්ඩාර, කොවිඩ් ප්‍රතිකාර සඳහාම වෙන්කෙරුණු මාලඹේ නෙවිල් ප්‍රනාන්දු රෝහලේ නිර්මාතෘ හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකුද වූ වෛද්‍ය නෙවිල් ප්‍රනාන්දු ආදී විශේෂිත පුද්ගලයන්ගේ මළ සිරුරු බැහැර කිරීමේදී පවා එහි වෙනසක් සිදුව නොමැත. එබැවින් එම තීරණය ගැනීමේදී කොවිඩ් වසංගතයෙන් සමස්තයක් වශයෙන් රටේ ජනතාව ආරක්ෂා කරගැනීමේ අභිලාෂයක් මිස කිසියම් ජන කොටසක ආගමික, සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කිරීමේ යටි අරමුණක් එම විශේෂඥ වෛද්‍ය කණ්ඩායමට තිබුණු බවට සැක කළ හැකි කරුණු අනාවරණය වන්නේ ද නැත.


එම සෞඛ්‍ය තීරණයට මුල්වරට බාහිර පාර්ශ්වයකින් සිදුව ඇති බලපෑම ලෙසින් හඳුනාගත හැක්කේ උලමා සංවිධානය මාර්තු 24 වෙනි දාතමින් ජනාධිපතිවරයා වෙත යවන ලද ලිපිය ය. එම ලිපියේ පිටපතක් සෞඛ්‍ය ඇමතිවරිය හෝ සෞඛ්‍ය ක්ෂේත්‍රයේ වෙනත් කිසිදු බලධාරියෙකු වෙත යොමු කර නොතිබීම සහ එම කටයුත්ත ජනාධිපතිවරයාගේ සමීප පෞද්ගලික මිතුරෙකු බව ප්‍රකට අලි සබ්රි ඇමතිවරයා මගින් සිදුකරගන්ට උත්සාහ දරා තිබීම කෙරෙහිද මෙහිදී සැලකිලිමත් විය යුතුය. සෞඛ්‍ය අංශයෙන් ගත් විශේෂඥ තීරණයක් සංශෝධනය කරගැනීම සඳහා ප්‍රථමයෙන්ම සෞඛ්‍ය බලධාරීන් අභිමුඛවීම මඟහැර ඍජුවම ජනාධිපතිවරයා ආමන්ත්‍රණය කිරීමට උලමා සංවිධානය කටයුතු කිරීමද ගැටලුකාරීය. ඒ පිළිබඳ අප කළ විමසුමට පිළිතුරු දෙමින් උලමා සංවිධානයේ ජ්‍යෙෂ්ඨ පාලක එම්.එෆ්.එම්. ෆර්හාන් පැවසුවේ කොවිඩ් මර්දන කටයුතු රාජ්‍ය නායකයාද වන ජනාධිපතිවරයාගේ ඍජු අධීක්ෂණය යටතේ කෙරෙමින් තිබුණු නිසා එසේ කළ බවය. එහෙත් මීගමුවේ මරණය ආදාහනය කිරීමෙන් පැය කිහිපයකට පසු එම සංවිධානයේ නායකයෝ ඒ ගැන සාකච්ඡා කරන්නට ජනාධිපතිවරයා හමු නොවී එක එල්ලේම ගොස් ඇත්තේ සෞඛ්‍ය ඇමතිනිය, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා ප්‍රමුඛ සෞඛ්‍ය බලධාරීන් හමුවීමටය.


‘මාර්තු 24දා කළ ඉල්ලීමට’ ජනාධිපතිවරයාගෙන් ලැබුණු ප්‍රතිචාරය කුමක්ද? මාර්තු 27 දා සෞඛ්‍ය මාර්ගෝපදේශ සංශෝධනය කරමින් භූමදානයටද අවසර දීමක් සිදුවී නම් එය ජනාධිපතිවරයාගෙන් කළ ඉල්ලීමට ලැබුණු ප්‍රතිචාරයද? ජනාධිපතිවරයාගේ මැදිහත්වීමෙන් එවැනි සංශෝධනයක් කළේ නම් පසුදා, එනම් මාර්තු 28 වෙනිදා සිදුවූ පළමු කොරෝනා මරණයට අදාළව හෝ එම සංශෝධනය අනුව කටයුතු සිදු නොවුණේ ජනාධිපතිවරයාගේ තීරණය අධිකාරිවාදී තනි පුද්ගල තීන්දුවක්ව, ඊට එරෙහිව සෞඛ්‍ය ඇමතිවරිය ප්‍රමුඛව සෞඛ්‍ය බලාධිකාරය නිහඬ සටනක නිරතවීමේ ප්‍රතිඵලයක් වශයෙන්ද? මේ පිළිබඳ කරුණු පැහැදිලි කරගැනීම සඳහා අප කළ විමසීම්ලට ජනාධිපති කාර්යාලයෙන් හෝ සෞඛ්‍ය අමාත්‍යාංශයෙන් පිළිතුරු නොලැබීම ප්‍රශ්නකාරීය.


කෙසේ වුවද සියල්ල අවසානයේ තහවුරු වන්නේ කොවිඩ් ආසාදිත මළ සිරුරු අදාහනය කිරීමට සෞඛ්‍ය විශේෂඥයන් ගත් තීරණය ආගමික ඇදහිල්ලක් පදනමින් වෙනස් කරවා ගැනීම සඳහා උලමා සංවිධානය දැරූ ප්‍රයත්නයක් විසින් ‘ආදාහනයද? භූමදානයද’ අර්බුදය ජනිත කරනු ලැබුවා විනා එම තීරණයට ඒ අවස්ථාවේදී මුස්ලිම් විරෝධයක් නිමිත්ත වී නොමැති බවය. එහෙත්, අනතුරුව එය වෙනත් හැරවුම් ලක්ෂ ගණනාවක් පසුකොට ඉදිරියට ගමන් කොට අවසානයේ “මුස්ලිම් ප්‍රජාවේ ආගමික සහ සංස්කෘතික අයිතිවාසිකම් අහිමි කිරීමක් සහ එම ප්‍රජාව පීඩාවට පත් කිරීමේ අරමුණින් ගත් දේශපාලන තීරණයක්” ලෙසට රූපාන්තරණය වී ඇති බවය. එයින්ද නොනැවතී මේ වන විට එය ‘ජාතික ප්‍රශ්නයක්’ ලෙසින් රූපාන්තරණය වීමේ (හෝ කිරීමේ) පෙර නිමිතිද පහළ කරමින් පවතින බවය. ■

1 COMMENT

  1. කොවිඩ්-19 මළසිරුරු ආදාහනය කිරීම සම්බන්ධයෙන් ලංකාවේ රජය කටයුතු කළ ආකාරයෙහි තිබෙන ගැටලුව ද තේරුම් ගත යුතු ය. ආණ්ඩුව ලෙස සැලකිය හැකි කොරෝනා මර්දන කාර්යසාධන බලකාය කටයුතු කලේ ප්‍රජාතන්ත්‍රවාදය ගැන තැකීමකින් නොවේ. කවුරු විරුද්ධ වුණත්, හරි යයි තමන් තීරණය කළ දේ කිරීම ඔවුන්ගේ ප්‍රතිපත්තියයි. එසේම, සිංහල බහුතරයක් ජනයා අතර මුස්ලිම් විරෝධී හැඟීම් ප්‍රබල බව ද අප අමතක නොකළ යුතු ය. ප්‍රජාතාන්ත්‍රික නොවන ව්‍යූහයකින් සංස්කෘතික හිමිකම් පිළිබඳ හරවත් සංවාදයක් බලාපොරොත්තු වීම තේරුමක් නැත.

    මළසිරුර ආදාහනාගාර උදුනේ දොර ළඟට ගෙන ගොස් ඥාතීන්ගේ මුහුණුවලට කැමරා අල්ලා පුච්චනවාට විරුද්ධ නම් කියන්නැයි ඇසූ අවස්ථාවක් ද අපි රූපවාහිනියෙන් දුටුවෙමු. මෙය හුදෙක් මුස්ලිම් ජාතික කොවිඩ්-19 මළසිරුරු පිළිබඳ ප්‍රශ්නයක් පමණක් නොවේ. කොවිඩ්-19 ආසාදනය වී නොමැති බව තහවුරු නොවූ මළසිරුරු කීපයක් ද නිරෝධායන නීති අනුව ආදාහනය කරන ලදී. මිනිස්කමට ගරු කර, ප්‍රියයන්ගේ වියෝවෙන් දුකට පත් මිනිසුන්ට හා සංස්කෘතික ප්‍රජාවන්ට කරුණු පැහැදිලි කර දීමේ හා ඔවුන්ගේ ගැටලුවලට සවන් දීමේ වගකීමක් වගකිවයුතු නායකයන්ට තිබේ.

    (Ref: paraj.lk)

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here