චාමිනි වික්‍රමසිංහ

මිනිස් ජීවිතය සහ සංගීතය අතර ඇත්තේ නොබිඳිය හැකි සබැදියාවකි. ඔවුහු ජීවිතයේ සතුටේදී මෙන්ම දුකේදිද එකසේ සංගීතය වැළඳ ගති. එහෙත් අද වන විට වෘත්තීයක් වශයෙන් සංගීත කලාවට අන් වෘත්තීන්ට ඇති වටිනාකම, ස්ථාවරත්වය ලැබී නැත. සංගීතවේදීන් පිළිබඳව රජයේ දැඩි අවධානයක් නැත. ඒ පිළිබදව සංගීතවේදීන් සමග කළ කතාබහකි මේ.

අපේ සංගීත ක්ෂේත්‍රය හරිම දුප්පත්

සාදර බණ්ඩාර

මේ වෙලාවේ අනික් වෘත්තීයන්ට සාපේක්ෂව සංගීත ක්ෂේත්‍රය තදබල අර්බුදයකට ලක්වෙලා තියෙනවා. හෝටල් ක්ෂේත්‍රය, ප්‍රවාහන ක්ෂේත්‍රය වගේම මේ සංගීත ක්ෂේත්‍රයත් දැඩි අවධානමකට ලක්වෙලා තියෙනවා. මොකද මේ ක්ෂේත්‍රයේ වැඩි පිරිසක් වෘත්තීමය වශයෙන් නියලිලා ඉන්නවා. පද රචකයෝ ඉන්නවා. ස්ටූඩියෝ වල වැඩ කරන අය ඉන්නවා. තාක්ෂණික ශිල්පියෝ ඉන්නවා. නොසිතූ වෙලාවක මුහුණ දෙන්න වුණු මේ ගැටලුව නිසා ඒ සියලු දෙනා මේ වෙලාවේ අමාරුවෙන් ඉන්නේ.


මෙතනදි අපි කලාකාරයෝ වශයෙන් දැඩි සේ ලැජ්ජා වෙනවා අපිට සංගීතය ක්ෂේත්‍රයක් නැති එක ගැන. ඒකට හේතුව අපි සිංදුවක් ලිව්වත් අනික් පැත්තෙන් මාකට් එකේ සංයුක්ත තැටි ගහලා ඒක විකුණනවා. ඒ නිසා සංගීතවේදියෙකුට නිශ්චිතවම මේක ආදායම් මාර්ගයක් කරන් ජීවත් වෙන්න බෑ. එහෙම අවස්ථාවක් ඉතාම ප්‍රවීන කලාකාරයින්ට ලැබෙන්න පුළුවන්. කලාවෙන් නිසි ආදායමක් ලැබෙනවනම් බහුතරයක් කලා ක්ෂේත්‍රයේ අය ව්‍යාපාර කරන්නේ නෑ. කලාවට ආදරේ කරලා ඒ ක්ෂේත්‍රයේම ඉන්නවා. කලාවෙන් එන ආදායම, සිංදුවක් කියලා ලැබෙන ආදායම මදි නිසා තමයි ඒ අය වෙනත් ඉපයීම් ක්‍රම හොයාගන්නේ. ඒකට හේතුවත් අපිම තමයි. අපි සිංදුවකට හරිහමන් වටිනාකමක් දෙන්නේ නෑ. අපේ සංගීත ක්ෂේත්‍රය හරිම දුප්පත් එකක්. ඒකට මිනිස්සුන්ගේ චින්තනයත් බලපානවා. මේ වෙලාවේ තමයි සංගීතවේදීන්ගෙ සංගම් කිහිපයක් එක්රැස් වෙලා නිර්මාණ කොපිරයිට් කිරීම, මංකොල්ල කෑම සම්බන්ධව තීන්දු තීරණ ගැනීමේ සාකච්ඡා මට්ටමකට ඇවිත් තියෙන්නේ. ඒ නිසා යම් අතකින් කොරෝනා වෙස්වලාගත්ත ආශිර්වාදයක් කියලා කියන්න පුළුවන්. සමස්ත සමාජයක් ගැන අලුතින් හිතන්න. තමන්ගේ වෘත්තීය මට්ටමේ ස්ථාවරය ගැන අලුතින් හිතන්න කොරෝනා අපිට පාර හදලා දීලා තියෙනවා.


පිටරටවල් ඇතුළු දියුණු රටවල් වල රට දියුණු කිරීමේ ප්‍රධාන බලවේගය දේශපාලනය නෙවේ. කලාව හා සාහිත්‍යයයි. අපේ රටේ උන්නතිය තීරණය කරන්නේ දේශපාලනය, ආගම, ඇදහිලි, මිත්‍යා විශ්වාස වගේ දේවල්. උදෙන්ම රූපවාහිනි වැඩසටහනකට කිසියම් ජ්‍යොතිෂ්‍යවේදියෙක් ගෙනල්ලා කේන්දර බලලා, ග්‍රහලෝක ටික විකුණලා තමයි දවස පටන් ගන්නේ. ඒත් ඒක නෙවේ වෙන්න ඕනේ. ස්වභාවික ආපදාවකදී පැන් විසික්කරමින් යන්න ඕනේ නෑ. සංගීතයේ කලාවේ වටිනාකම මිනිස්සුන්ට අවබෝධ කරලා දෙන්න ඕනේ. මිනිස්සු ඒක අවබෝධ කරගන්නත් ඕනේ.

කලාවේ මෑතක් වෙනකල්ම ස්වයං කලාකරුවන් තමයි හිටියේ. ඒ අයට නිසි වටිනාකමක් ලැබිලා නෑ. කලාකරුවන් විසින් කලාකරුවන්වම බලාගෙන නෑ. තාමත් නෑ.අපි හම්බ කරොත් අපි කනවා වගේ මතේක තමයි තාමත් බහුතරයක් කලාකාරයෝ ඉන්නේ. එක්කෝ සල්ලි හොයනවා. එක්කේ ප්‍රසිද්ධිය හොයනවා. අපි හැමෝටම ආදායමක් ලැබෙන්න ඕනේ අපිට සුබසාධක වැඩපිළිවෙලක් තියෙන්න ඕනේ කියලා බහුතරයක් හිතන්නේ නෑ. මේකේ හිටපු දැවැන්ත කලාකාරයින්වත් කිසිදු රජයකට කතා කරලා නෑ. ඒ අයගේ අවශ්‍යතා ඒ අය ඉටු කර ගත්තා මිසක ඒ අය අනික් කලාකරුවන් වෙනුවෙන් පෙනී ඉදලා නෑ. ඒ අය ආණ්ඩුවලට ගිහින් ජැක් ගැහුවේ ඒ වෙනුවෙන්. බහුතර කලාකාරයෝ ආණ්ඩුව ගැනයි තමන් ගැනයි බැලුවා මිසක් ජනතාව ගැන බැලුවේ නෑ. කලාව තුළ නිසි එකතුවීමක් නෑ.අපි රජයට විතරත් චෝදනා කරලා හරියන්නේ නෑ. කලාව ඇතුළේ හිතන මිනිස්සු නැති එකත් අපේ එක් දුර්වලතාවයක්. එහෙම හිතන්න පුළුවන් වුණානම් තමන් ගැන විතරක් හිතන අය ඉන්නේ නෑ. කලාකාරයෝ අලුතින් හිතන්න පුරුදු වෙන්න ඕනෙ. අනික් කලාකාරනා ගැනත් හිතන්න පුරුදු වෙන්න ඕනේ. අනික් කෙනාට ගරු කරන්න පුළුවන් වෙන්න ඕනේ. ඒ හරහා අපිට වෘත්තීය ස්ථාවරයකට යන්න පුළුවන් භූමියත් හදාගන්න පුළුවන්.


කලාකරුවන්ට දැන් සල්ලි නෑ. සල්ලි හොයන ක්‍රමවේද නෑ. පිටරවල් වල මේ වගේ වෙලාවල් වල විකල්ප මාධ්‍ය තියෙනවා. ඒ අයට ගෙවිය යුතු නිසි මුදලක් නියම කරලා තියෙනවා. ඒ නිසා අපිත් රටක් වශයෙන් සමස්තයක් වශයෙන් අපි අපේ ස්ථාවරය ගැනත් හිතන්න ඕනේ. මෙච්චර කාලයක් මම, මගෙ ගෙදර, මගේ පවුල මගේ වැඩ කියන දේශ සීමාව වෛරසයක් නිසා තමුන් විසින් පාලනය කරගත නොහැකි මට්ටමකට ඇවිත් තියෙනවා. මිනිස්සු දැන් ගහට කොළට ආදරය කිරීම සම්බන්ධයෙන් හිතා බලනවා. මිනිස්සු නව්‍ය චින්තනයකට යොමු වෙලා තියෙනවා. ඒත් ඒ අය එකතු කරගැනීමේ වැඩපිළිවෙලක් රජයකට හෝ වෙනයම් අයෙකුට නෑ. රටක් විදියට දියුණු වෙන්න මේක හොඳ අවස්ථාවක්.


රියලිටි ෂෝ කියන්නේ ඛේදවාචකයක්. අපි කොච්චර නිරුවත්ද කියනවනම් සමහර කලාකාරයින්ගේ ගීත බහුතරයක් මිනිස්සු දැනගන්නේ ආධුනික ගායකයෙක් රියලිට් ෂෝ එකක කිව්වම. ඒක ගැන අපි මනුස්ස සමාජයක් විදියටම ලැජ්ජා වෙන්න ඕනේ. කලාකාරයෙක් කියන්නේ ආධුනික ගායකයෙක්ට වඩා විශාල කැප කිරීමක වැඩ කොටසක් කරපු කෙනෙක්. එහෙම කෙනෙක් රියලිටි ෂෝ එකක් හරහා රටක් දැනගන්න තැනකට අපි වැටෙන්න ඕනෙ නෑ. ඒකට රජයටවත්, රියලිටි ෂෝ කරන අයටවත්, ආධුනික ශිල්පීන්ටවත් බැනලා වැඩක් නෑ. මේකට අපි බනින්න ඕනේ මිනිස්සුන්ට. මිනිස්සු රූප පෙට්ටියේ හිඟන්නු වෙලා. මිනිස්සු හොයා බලන්නේ නෑ ඒ අය ගැන රූපවාහිනි චැනල් හොඳ නිර්මාණ කරන ගායකයින්ව මිනිස්සුන්ට පෙන්නන්නේ නෑ.

අපේ ජීවිතේ හොරු අත්පත් කරගෙන


සංගිත් විජේසුරිය


අපි මූලිකවම ජිවත් වෙන්නේ මේ සංගිත ක්ෂේත්‍රයෙන්. සංගිත ක්ෂේත්‍රය කියන්නේ ප්‍රසංග, මිනිස්සු ගෙදර ඉඳන් අහන සංයුක්ත තැටි, වෙබ් සයිට් මේ හැමදේම එකතුවක්. මේ වෙලාවේ මිනිස්සුන්ට එකතු වෙන්න විදියක් නැති නිසා ප්‍රසංග පවත්වන්න විදියක් නෑ. ස්වභාව ධර්මයට අනුව අපිට ඒක විඳගන්න වෙනවා. ඒ නිසා රජයට අපිට ප්‍රසංග තියන්න තියන්න කියන්න බෑ.


හැබැයි ලෝකයේ සංගිත ක්ෂේත්‍රයේ ඉන්න අනික් කලාකාරයන්ට ජිවත් වෙන්න වෙනත් ක්‍රම සහ විදි තියෙනවා. ඒ තමා යු ටියුබ්, වෙබ් සයිට් හා චැනල් වගේ දේවල්. ඒත් අපේ රටේ මේ සේරම දේවල් හොරට යන්නේ.

කලාකාරයින්ට සංයුක්ත තැටි වල සල්ලි එන්නේ නෑ ඒවා හොරට ගහලා විකුණන්නේ. යු ටියුබ් වලින් හොරෙන් කොපි රයිට් කරනවා සමහර චැනල් වලින් වෙබ් සයිට් හදාගෙන ඒවා විකුණනවා. ඒවායේ මුදල් කලාකාරයින්ට එන්නෙත් නෑ. එතකොට මේ රට ඇතුලේ කලා ක්ෂේත්‍රයක් නෑ. අපි හදාගත්ත කලා ක්ෂේත්‍රයක් විතරයි තියෙන්නේ. චැනල් ඇතුළු කිප දෙනෙක් එකතු වෙලා මේ කලාකාරයින්ව සුරන් කනවා.


කලාකාරයින්ට ප්‍රසංගයක් නැතිව ජිවත් වෙන්න තියෙන විදි මේ රටේ හොරු විසින් අත්පත් කරගෙන තියෙනවා. ඒ නිසා අපිට ජිවත් වෙන්න විදියන් නැති වෙලා තියෙනවා. ලෝකේ අනික් රටවල් වල කලාකාරයින්ට මේ ගැටළු නෑ මොකද ඒ අයට එක දොරක් වැහුනට අනික් දොරවල් ටික අඩු වැඩි වශයෙන් ඇරිලා තියෙනවා. අපේ රටේ විතරක් සේරම දොරවල් ටික වැහිලා. කලාකාරයින්ට තිබ්බෙත් එක දොරයි. ඒ කලාකරුවන් සිය මහන්සියෙන් උපයා ගැනීම. ඒ මංගල උත්සව, ප්‍රසංග යනාදියෙන්. ඒත් ලංකාවේ අපිට තිබ්බ එකම දොරත් දැන් වැහිලා. අනික් සියළු දොරවල් වහගෙන මේ රටේ කරන්නේ හොර වැඩ. ඒවායින් අපිට ජිවත් වෙන්න සල්ලි හම්බ වෙන්නේ නෑ. මොකද කලාකාරයෝ විදියට අපි වෙන අමතර ව්‍යාපාරයක් හරි කරන්නේ නෑ.


කලාකාරයින්ට මේ දුපත ඇතුළේ තියෙන වටිනාකම නැති කරලා තියෙන්නේ. ඒකට හේතුව මේකේ වෘත්තීමය වටිනාකම කිසිම රජයකට පෙනිලා නෑ. ඒ වගේම රජයන් පස්සේ ගිය කලාකාරයින්වත් මේක වෘත්තීයක් විදියට ස්ථාපිත කරන්න කිසිම උත්සාහයක් දරලා නෑ. ඒ අය උත්සාහයක් දරලා තියෙන්නේ ඒ අයගේ පෞද්ගලික දේවල් ඉෂ්ට සිද්ධ කරගන්න විතරයි. ඒකට ඒ අයට කිසි දැනුමකුත් නෑ. දේශපාලකයෝ කියන්නේ රටේ තියෙන දේවල් එක්ක ඊළඟට බලයට එන්නේ කොහොමද, හම්බ කරන්නේ කොහොමද, මිනිස්සුන්ව සුරන් කන්නේ කොහොමද කියන එක ගැන. ඒ නිසා ඒ අයට දැනුමක් තිබ්බට වෙලාවක් නෑ ඒ ගැන බලන්න.


හැබැයි මේ වෙලාවේ අපි එකතු වෙලා ඉන්නවා පිරිසක් වශයෙන් මේ පවතින රජයට මේක කියලා මේක වෘත්තීමය වශයෙන් ස්ථාපිත කරගන්නේ කොහොමද කියල එක ගැන. මේ වැඬේ වෙනුවෙන් ගොඩාක් කලාකාරයෝ කැප වෙලා ඉන්නවා. ඒ කියන්නේ අපිට වෙන්න ඕන දේවල් අපිම තේරුම් අරන් අපි වැඩ කරනවා නැත්නම් සිංදු 5000, 7000 ගායක ගායිකාවන් අන්තිමට නැතිවෙලා ගියේ ජීවත් වීමේ කිසිදු මාර්ගයක් නැතුවයි. ඒකට හේතුව රටේ කිසිම රජයකට හෝ දේශපාලකයෙකුට මේ රටේ සංගීත ක්ෂේත්‍රයක් අවශ්‍යය නොවීම නිසායි. මොනවා හරි වෙලා අවුරුදු 50 න් පස්සේ ජීවත් වෙන්න බැරි වුණොත් අපිට ජීවත් වෙන්න විදියක් නෑ. චැනල් වලින් සල්ලි හොයන්නෙත් මේ කලාකාරයෝ නිසා. ඒ නිසා කලාකාරයින්ට ලොකු වටිනාකමක් තියෙනවා. රජයෙන් නියමිත ගාන හරි දෙන්න ඕනේ. ඒත් ඒක දැන් අපිට අගෝස්තු වල ඉඳන් ගෙවන්න ඒ අය පොරොන්දු වෙලා තියෙනවා. කලාකාරයින්ගේ සිංදු අලුත් අය දාලා කියන රියලිටි ෂෝ තියෙන්න ඕනේ කොහොමද කියලා අපි සාකච්ඡා කරමින් යනවා. ඒ නිසා අපිට මේ කෝවිඞ් 19 වසංගතය නිසාත් වෘත්තීමය වශයෙන් ස්ථාවරත්වයක් නොමැති නිසාත් මේ වෙලාවේ අපි ගොඩාක් අසීරුතා වලට මූණ දීලා තියෙනවා.


මම පෞද්ගලිකව දකින්නේ මේක අපිට ස්වභාව ධර්මයෙන් ලැබුණු දඬුවමක්. ඒ නිසා මේක හේතුඵල දහමක්. මිනිස්සු විසින් මේ පෘතුවියට කරලා තියෙන දේවල් නිසා අපිට මේ වගේ තත්ත්වයක් උදාවෙලා තියෙනවා. ඒ නිසා ඒත් වසංගත තත්ත්වය දිගටම තියෙන්න විදියක් නෑ. ඒත් අපි මේ කලාව ව්‍යාපාරයක් විදියට ඔන්ලයින් කරන්නේ කොහොමද කියලා සාකච්ඡා කරනවා. මේ දූපත ඇතුළේ සමහර අය හිතන්නේ සිංදුව කියන්නේ කලාවක් ඒක ව්‍යාපාරයක් කරන්න හොද නෑ කියලා කියනවා. ඒ නිසා ගොඩාක් අය කැමති සිංදු නිකන් අහන්න. ඒත් අපි කඬේකට ගියොත් නිකන් තේ එකක්වත් බොන්න බෑ. ඒ හැමදේටම අපි ගෙවන්න ඕනේ.


ඉස්සර අපේ රසික රසිකාවියන් අපේ ගීත ඇතුළත් සංයුක්ත තැටි සල්ලි වලට ගත්තා. ඒ සල්ලි රෙකෝඞ් බාර් එකෙන් අපිට එක පාර හෝ කොටස් වශයෙන් ලැබුණා. ඒවායින් අපිට තව තව නිර්මාණ කරන්න හැකියාව ලැබුණා. ලෝකේ සාමාන්‍යයෙන් මිනිස්සු සල්ලි දීලා තමයි සිංදු අහන්නේ. ඒත් අන්තිමට දේශපාලකයින්ගේ ළගින්ම ඉන්න අය මේ සංයුක්ත තැටි හොරකම් කරලා අඩු ගානට හොරෙන් පාරවල් අයිනේ දාලා විකුණන තත්ත්වයකට ආවා. එතකොට රජයක් විසින් කරන්න ඕනේ ඒවා නවත්තන එක. අපි මාසයක් දෙකක් කෑ ගැහුවට පස්සේ රජයෙන් ඒවා නැවැත්තුවා. මීගමුවේ, පිටකොටුවේ තිබ්බ ඒවා පරිගණක පිටින් ඇල්ලුවා. අල්ලලා මාස ගාණක් යද්දි ආයෙත් ඒක පටන් ගත්තා. පස්සේ පොලීසිය මේ අය එක්ක එනතු වෙලා ඒ අයට සහය දෙන්න ගත්තා. ඒ නිසා අපිට වෘත්තීයක් විදියට ජීවත් වෙන්න තිබ්බ සියළුම මාර්ග අහුරලා තියෙනවා. මේ ගැන කතා කරන්න ඒ නිසා අපි දැන් මේ ක්ෂේත්‍රෙය් ප්‍රවීණයන් සහ තරුණයන් ඇතුළු සියලු දෙනාම එක් රැස් කරන් හිටපු වෙලාවක තමයි මේ කොරෝනා දෙවනි රැල්ලත් ආවේ.
ඒ වගේම වෘත්තීය වටිනාකමක් නැති වෙන්න තව හේතුවක් තමා හැමෝම සිංදු කියන එක. අපේ රටේ වෛද්‍යවරු, ඉංජිනේරුවෝ මේ සියල්ලම සිංදු කියනවා. ඒ අය සිය වෘත්තීය කරන ගමන්ම සිංදු කියනවා. ඒ නිසා සිංදු ඕනේ කෙනෙක්ට කියන්න පුලුවන් වගේ අදහසකුත් එනවා. ඒත් අනික් රටවල් වල මේ තත්ත්වේ නෑ. වෘත්තීමය වශයෙන් සිංදු කීමේ හැකියාව සහ මට්ටම් තියෙනවා. මොකද එහි වෘත්තීය මට්ටම මොකක්ද කියලා කලාකාරුවා තමයි දන්නේ.
කොරෝනා පළමු රැල්ලෙදි අපිට ආණ්ඩුව විසින් ලක්ෂ 5 ක ණය මුදලක් දුන්නා. ඒක අපේ සංගීත කණ්ඩායමට ලොකු හයියක් වුණා. ඒක ලැබුණේ නැති අයත් ඉන්නවා. ඒක හොඳ දෙයක්.

මම ණයකාරයෙක් වෙයි

බිලී ප්‍රනාන්දු


සංගීත ක්ෂේත්‍රයෙදී අපි තමයි මිනිස්සු කණ්ඩායමක් විදියට එක තැනකට ගේන්නේ. මේ තත්ත්වය උඩ අපිට ඒ දේ කරන්න බැරි වෙලා තියෙනවා. ඒ නිසා මේ ප්‍රශ්නය අපිට දැඩි විදියට බලපානවා. ඒ නිසා අපිට කරන්න පුළුවන් එකම දේ මිනිස්සු එක තැනකට ගේන්නේ නැතුව ඔන්ලයින් මාර්ගයෙන් මිනිස්සු කලාවට සමීප කරන එක. ඒත් ලංකාවේ තියෙන ක්‍රමවේදය අනූව අපිට ඒ සියලු දේ අයකිරීමකින් තොරව නොමිලේ කරන්න සිදු වෙලා තියෙනවා. අපි ඔන්ලයින් ප්‍රසංගයක් පැවැත්වුවත් ඒකෙන් අපිට ආදයමක් ලැබෙන්නේ නෑ.


කොවිඞ් නිසා මිනිස්සු එකතැන ගැවසෙන දේවල් නතර කරනවා. නැත්නම් කල් දානවා. සංගීත කණ්ඩායමක් වශයෙන් ගත්තම අපිට සංවිධානය කරපු දේවල් කල් දැම්මට අපිට ගැටළුවක් නෑ. ඒ වගේම අපි පවත්වන උළෙලවල් 2020, 22 වගේට කල් දාන්න උනාම සමහර අයගේ අත්තිකාරම් මුදල් ඉදිරියට අරන් යන්න වෙනවා. ඒත් සමහර අය තමන් සංවිධානය කරපු උත්සව අවලංගු කරනවා. ඒකෙන් අපේ ආර්ථික ප්‍රශ්න උග්‍ර වෙනවා. සමහර අය මේ අවුරුද්දට දීලා තියෙන අත්තිකාරම් මුදල් නැවත ඉල්ලා ගැනීමට පවා කටයුතු කරනවා. එතකොට අපි අපහසුතාවයකට ලක්වෙනවා. මේ වගෙ ප්‍රශ්න හැම ක්ෂේත්‍රයටම බලපෑවට ඒක කලාවට, සංචාරකයින්ට හා ප්‍රවාහන ක්ෂේත්‍රයේ අයට වැඩි වශයෙන් බලපානවා. ඒත් අපි වැටිලා නෑ. අපි පුළුවන් මට්ටමින් අපේ වැඩ කරගෙන යනවා. රසික රසිකාවියන් ගැන හිතලා අපි පුළුවන් උපරිමයෙන් වැඩ කරාට අපේ වානිජමය පැත්ත අතිශයින්ම බිඳ වැටීමකට ලක්වෙලා තියෙනවා. ඒක කඩාකප්පල් වෙලා තියෙනවා. ඒ නිසා ණය සහන ආදිය ගෙවීමට තව කාලයක් ලබා දෙනවනම් හොඳයි.


ඒ වගේම සංගීතවේදීන්ට කලාකරුවන්ට යම් කිසි වටිනාකමක් රසිකයෝ ලබා දුන්නට ක්ෂේත්‍රයක් වශයෙන් අපිට ඒක හිමිවෙලා තියෙන වටිනාකම අඩුයි. ඒකට හේතුවක් තමයි ඇතැම් රසික රසිකාවියෝ හිතනවා කලාකාරයෝ කෝටිපතියෝ කියලා. ඒ අය හිතන්නෙ නෑ කලාකාරයින්ට සල්ලි නෑ කියලා. ඒ වගේම කරන සේවයට අය කිරීමක් කරන නිසාත් ඇතැම් අය මේ ක්ෂේත්‍රය දිහා බලන්නේ අමුතු කෝණයකින්. මගේ කණ්ඩායමේ ඔක්කොම 17 ක් ඉන්නවා. ඒ සියලු දෙනාට මම අර්ථ සාධක මුදල් ගෙවනවා. ඒත් හැම සංගීත කණ්ඩායමකින්ම ඒක කරන්නේ නෑ. ඒත් මම මුළු ජීවිත කාලෙම එකතු කරගත්තු මුදලක් තිබ්බනම් ඒ සියල්ල මේ ව්‍යසනයත් එක්ක හමාරවෙලා තියෙනවා. අනික් අය ගැන බැලුවට මම මේ මොහොතේ මූල්‍යමය වශයෙන් අස්ථාවර වෙලා තියෙනවා. මෙහෙම දිගටම ගියොත් ලබන වසර වෙද්දි මම රටට ණයකාරයෙක් වෙයි.


ඒ වගේම රජයෙන් ගියවර කොරෝනා ව්‍යසනයත් එක්ක ලබා දුන්නු මුදල එක් අයෙකුය වාසනාවක්. අනික් කෙනාට ඒක දැනෙන්නෙවත් නෑ. එක් එක් කලාකාරයින්ගේ වියදම් මත ඒක තීරණය වෙනවා. පොඩි වියදමකින් කලා කටයුතු කරන අයට ඒ ණය මුදල උදව්වක්. ඒ නිසා රජයෙන් මේ වෙලාවේ කරන්න පුලුවන් ලොකුම දේ තමයි කලාකරුවන්ගේ ගෙවීම් ආදිය කල් දැමීමයි. ණය සහන කාලය දීර්ඝ කරන්න පුළුවන්නම් ඒක හොඳයි කියලා මම හිතනවා.

හොර වැඩ නවත්වන්න

මිහිදු ආරියරත්න


රටක ඕනෑම ව්‍යසනයකදී ඒක දැඩි ලෙස කලාකාරයින්ගේ ඉපයීමට බලපානවා. මොකද මිනිස්සුන්ට කන්න අදින්න අඩු කරන්න බෑ. ඒ නිසා ඕන කෙනෙක් මේ වගේ වෙලාවක කලාව කියන දේ තමා කප්පාදු කරන්නේ. අපි වුණත් එහෙමයි. අපි ප්‍රසංගයක් බලන්න නොයා ඒකේ සල්ලි ඉතුරු කරගන්නවා. කලා ප්‍රදර්ශනයක් නොබලා ඒකේ සල්ලි ඉතුරු කරගන්නවා.


මම මේ දවස්වල ඉන්නේ කැනඩාවේ. ලංකාවේ කලාකාරයෙකුයි කැනඩාවේ කලාකාරයෙකුයි ගත්තොත් කැනඩාවේ වෙනත් ඉපයීම් මාර්ග ගොඩාක් තියෙනවා. ලංකාවේත් එහෙම තියෙනවා. ඒත් ඒ අවකාශය අඩුයි සහ ඒකෙන් ජීවත් වෙන්න අමාරුයි. මෙහෙ මහ පරිමාණ කලාකරුවන් නොවුණත් සාමාන්‍ය කලාකාරයින්ට වුණත් ලංකාවට සාපේක්ෂව වෙනත් ස්ටි්‍රමින් ෆ්ලැට්ෆෝම්ස් තියෙනවා. යූ ටියුබ්, ස්පොටිෆි, ඇපල් මියුසික් වගේ දේවල් තියෙනවා. ලංකාවේ ඒක භාවිතය බොහොම අඩුයි. ඒ නිසා කලාකාරයින්ට ප්‍රසංග, සංදර්ශන නැති වුණාම ලැබෙන ආදායම ගොඩක් අඩුයි. ඒත් කැනඩාවේ අන්තර්ජ ජාතිකව ප්‍රසිද්ධ නැතත් පූර්ණ කාලීන කලාකාරයෙක්ට ඒකෙන් තමන්ගේ ජීවිතය ගැටගහගන්න පුළුවන් තත්ත්වයක් තියෙනවා. ඒ වගේම මෙහේ ඔන්ලයින්, ඩිජිටලි ප්‍රසංග තියෙනවා. මේ වෙලාවේ මමත් ඒ සඳහා සහභාගි වෙලා තියෙන්නේ. අපිට ඒකෙන් සජීවී අත්දැකීම නැති වුණත් රසිකයාට වින්දනයක් වගේම කලාකාරයාටත් ඒකෙන් වෘත්තීමය මූල්‍යමය වටිනාකමක් ලැබෙනවා. ලංකාවේ ඒ තත්ත්වය නෑ. අපිට යූ ටියුබ් එකෙන් ලැබෙන ආදායමෙන් ජීවත් වෙන්න බෑ. ලංකාවේ ස්ටි්‍රමින් ෆ්ලැට්ෆෝම්ස් කියන එක ගොඩාක් දුරට දියුණු වෙන්න ඕනේ. ලංකාවේ හොරෙන් සිංදු ඩවුන්ලෝඞ් කරන අවකාශ වැඩියි. ඒ වගේ වෙලාවට කලාකාරයාට කිසිදු මුදලක් ලැබෙන්නේ නෑ. කලාකාරයා අමාරුවෙන් පටිගත කරලා සිංදු හදනවා. පස්සේ මිනිස්සු හොරෙන් ඩවුන්ලෝඞ් කරලා ඒවා අහනවා. අඩුම ගානේ ඒක වැරුද්දක් කියලවත් අපේ අය දකින්නේ නෑ. මට පුද්ගලිකව කට්ටිය කියලා තියෙනවා ඔයාගේ සිංදු අපි ඩවුන්ලෝඞ් කරලා අහනවා කියල. එතන පුද්ගලානුබද්ධ වගේම සංස්කෘතිමය වෙනසකුත් වෙන්න ඕනේ. කැනඩාවේ ඉන්න බහුතරයකට ඇපල් මියුසික් ගිණුමක් තියෙනවා. තව ඒවා තියෙනවා. එතනදි කලාකරුවට යම් කිසි මුදලක් ලැබෙනවා. ඒ නිසා අපේ රටෙත් ඒ වගේ විකල්ප භාවිත කරන්න පුළුවන්නම් හොඳයි. ඒ වගේම කැනඩාවේ රජයෙන් හම්බ කරන පඩිය වගේ සීයට අසූවක් විතර ගෙවලා මෙහේ කලාකාරයින් ඇතුළු විවිධ ක්ෂේත්‍ර වල අය බලාගන්නවා. ඒක ලංකාවේ රජය ඇතුළේ කොච්චර ප්‍රායෝගිකව කරන්න පුළුවන්ද කියලා මම දන්නේ නෑ. ඒත් ඊ්ට සමගාමී හෝ ප්‍රගතිශිලි වැඩපිළිවෙලක් හෝ රටේ කලාකාරයෝ වෙනුවෙනුත් කරන්න පුළුවන්නම් හොඳයි. සමහර අයට දෙරට වෙලා ඉන්න පඩියෙන් සීයට අසූවක් අපි ගෙවන්නම් කියලා ඒ අය කියනවා. ඒ නිසා රෝග පැතිරීමේ අවධානම පවා අඩුයි. අපේ සමහර අය නීති කඩන්නේත් ජීවත් වෙන්න. ඒ නිසා අපිට ඔන්ලයින් ප්‍රසංග වගේ දේවල් කරන්න පුළුවන්. සංගීත ශිල්පියෙකුට ලංකාවේ කරන්න පුලුවන් හොඳම දේ තමයි ස්ටි්‍රමින් ෆ්ලැට්ෆෝම්ස් කියන දේ ලංකාවේ හදලා සංගීතය පැත්තෙන් කලාකරුවන් පීඩාවට පත්වෙන හොර වැඩ ටික නවත්වන්න ඕනේ.

සිංදු කිව්වොත් තමයි කීයක් හරි ලැබෙන්නෙ


සුනිල් පෙරේරා


කොරෝනා වලින් අනික් හැම ක්ෂේත්‍රයකටම වෙලා තියෙන බලපෑම සංගිත ක්ෂේත්‍රයටත් වෙලා තියෙනවා. අපිට මේ තත්ත්වේ උඩ වැඩ මොකුත් බාර ගන්නත් බෑ. භාරදීලා තියෙන ඒවා කරන්නත් බෑ සෙනඟ එක් රැස් කරන්න බැරි නිසා. දැන් වෙඩින් එකක්වත් කරන්න එපා කියලා තියෙන්නේ. අපේ ආදායම් බින්දුවටම වැටිලා තියෙන්නේ. ඒක හැමෝටම වෙලා තියෙනවා. වෘත්තීමය කලාකරුවන්ට මේකේ බලපෑම ගොඩක් වැඩියි. රස්සාවල් නැතුව ගියා වගේ තමයි.


මගේ සේවකයින් වෙනුවෙන් ගිය වතාවේ කොරෝනා හේතුවෙන් කලාකරුවන්ට ලබා දුන්නු ණය මුදල මම ගත්තා. ඒ මුදලේ නියමිත වාරික ගණනත් මම පියවලා තියෙනවා. ඒ නිසා මේ තත්ත්වේ උඩ අපි රජය ගන්න ක්‍රියා මාර්ගවලට අවනත වෙන්න ඕනේ. මොකද මේක කොයි විදියට ව්‍යාප්ත වෙනවද කියලා අපි දන්නේ නෑ. ඒ නිසා එක අතකට මේවා නවත්තලා තියෙන එක හොඳයි. ඒ නිසා මේ ව්‍යසනය මුළුමනින් ඉවර වුණා කියලා දැනගත්තට පස්සේ තමයි රට අරින්න ඕනේ. මොකද භාගෙට ඇරලා වැඩ පටන් ගත්තොත් ඒක ලොකු ප්‍රශ්නයක් වෙනවා. අපි මේ වෙලාවේ පරෙස්සම් වෙන්න ඕනේ. ඒ රජයෙන් තාම වෘත්තිමය සංගිත ශිල්පින් ගැන කතාබහක් නෑ. මේ වෙලාවේ රජයට අති විශාල ක්ෂේත්‍ර ගණනාවක් ගැන බලන්න ඕනේ. නමුත් සංගීත ශිල්පීන් කියන්නෙත් එදිනෙදා රැකියාව කරන ත්‍රීරෝද රථ රියදුරන් වගේ තමයි. සිංදු කිව්වොත් තමයි කියක් හරි හොයාගන්න පුළුවන් වෙන්නේ. ඒක හම්බෙන්නේ නැ කියන්නේ රැකියාව නැති වුණා හා සමානයි. ඒත් තාම වෘත්තීමය ගායික ගායිකාවන්. වෙන වැඩක් නැති නිසා සංගිත ශිල්පින්ගේ සංවිධාන වලින් යම් කිසි දෙයක් කරයි. අළුතින් එන නිර්මාණ සම්බන්ධව මේ දිනවල හිතනවා.

අපිත් ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩ කරනවා


භාතිය ජයකොඩි


ව්‍යාපාරයක් හරි කලාවක් හරි කරන කෙනෙක්ට මේකේ බලපෑම වැඩියි. ඒකට හේතුව තමන්ගේ රස්සාව තියෙන්නේ තමන්ගේ අතේමයි. මේ වෙලාවේ අපි ඉගෙන ගත යුතු දේ තමයි අපිට ගොඩාක් ප්‍රශ්න වලට මූණ දෙන්න වෙලා තියෙන්නේ අපේ තියෙන කළමණාකාරිත්වයේ ගැටළු නිසයි. මොකද මේ වගේ දේකට මූණ දෙන්න වෙයි කියලා කවුරුත් හිතන්නේ නෑ. ඒ නිසා අනාගතය ගැන හිතලා තමන්ගේ පුද්ගලික කළමනාකාරිත්වය ගැන හිතනවනම් ඒක මේ වෙලාවේ ගොඩාක් වැදගත්. ඒකෙන් අපිට ප්‍රශ්න වලදී මුහුණ දෙන්න වෙන බලපෑම අවම කරගන්න පුළුවන්.
නමුත් රටක් වශයෙන් ගත්තම කළමණාකාරිත්වයක් තිබ්බ අයත් මේ වෙලාවේ ප්‍රශ්න වලට මුහුණ පාලා ඉන්නවා. ඒ නිසා කලාව කියන්නෙත් යම් කිසි කෙනෙක් කරන ස්වයං රැකියාවක් හා සමාන දෙයක්. කලාකරුවක් ඇතුළු සියලු ව්‍යවසායකයින්ට තිබුණු ගැටළුව තමයි 2019 අප්‍රේල් මාසයේ සිදුවූ බෝම්බ පිපිරීමෙන් පසුව ඇතුවූ බිඳවැටීම. ඉන් අනතුරුව නොවැම්බර් මාසයේ ඡන්දයක් ආවා. ඉන් පස්සේ පොඞ්ඩක් ඔළුව උස්සන් එද්දි කොරෝනා ආවා. ඒකෙන් පස්සේ ආයෙමත් ඡන්දයක් ආවා. ඒකෙන් පස්සේ කොරෝනා දෙවනි රැල්ලත් ආවා. එහෙම කාල සීමා පහුකරගෙන යනකොට කලාවේ නියලිලා ඉන්න අපේ මිනිස්සුන්ට විශාල ගැටළු මතුවුණා. මොකද ඕනෑම ව්‍යසනයකදී මුලින්ම ගේට්ටු වැහෙන්නේ කලා ක්ෂේත්‍රයේ. ගිය අවුරුද්දේ අප්‍රේල් ඉඳන් සිදුවුණු ක්‍රියාදාමය තුළ කලා ක්ෂේත්‍රයට වෙලා තියෙන බලපෑම වැඩියි.


කලින් කොරෝනා ආව වෙලාවේ ආණ්ඩුව මගින් ණය මුදලක් දුන්නා. ඒ වෙලාවේ අපේ සියලුම කලාකරුවෝ කතා වුණා අවශ්‍යම අය ඇරෙන්න අනික් අය මේක ඉල්ලන්න එපා කියලා. ඒකට හේතුව ඒ ණය මුදල ප්‍රධාන වශයෙන්ම ලබා දෙන්න තීරණය කළේ මේ වෙලාවේ ඉතාම දරුණු ලෙස මේ උවදුරෙන් පීඩාවින්ඳ අයට. මම හිතන විදියට ඒ ණය මුදල පිළිබද මුලින්ම ඉල්ලීම කළෙත් ගායක ගායිකා සංගමය, සංගීත කණ්ඩායම් කියන අය එකතු වෙලා. ඒ ඉල්ලුවෙත් දෛනික ක්‍රියාවලියක් තුළ සිය ආදායම් ලබන කලාකරුවන් වෙනුවෙන්. ඒ නිසා අපිත් ඒ ණය මුදල ඉල්ලුවේ නෑ.


මේ වෙලාවේ අපේ ක්ෂේත්‍රය ගැන අවධානය යොමු කරලා නෑ කියලා අපිට රජයට මුකුත් කියන්න බෑ. මොකද උදාහරණයක් විදියට කලා ක්ෂේත්‍රයේ ඉන්නේ එක් ලක්ෂ ගාණක් නම්, ධීවර , ඇගලුම් කෘෂිකර්ම වගේ අනිකුත් ක්ෂේත්‍රයන් වල ලක්ෂ ගණන් මිලියන ගණන් වැඩ කරනවා. ඒ නිසා ඕනම රජයකින් අනිකුත් ක්ෂේත්‍ර ගැන වැඩි අවධානයක් යොමු කරනවා.


කලාකරුවන් වශයෙන් අපි සාමුහිකව සංවිධානය වෙලා තිබ්බේ නෑ. අනික් හැම ක්ෂේත්‍රයක්ම සාමුහිකව සංවිධානය වෙලා තිබ්බා. ඇගලුම් ක්ෂේත්‍රය, ධීවර ක්ෂේත්‍රය වගේ හැම අංශයම සාමුහිකව ඒකරාශි වෙලා හිටියේ. අපි ආණ්ඩුවටත් පෙන්නලා තියෙනවා මේ කොරෝනා ප්‍රශ්නය නිසා අවුරුදු ගාණක් තිස්සේ සාමුහිකව වැඩ කරපු නැති කලා සංගම් සියල්ල මේ වෙලාවේ එකතු වෙලා තියෙනවා. මේ එක්වීම තුළින් මේ කලා ක්ෂේත්‍රයේ සිටින ප්‍රමාණය, අපි ජාතික ආර්ථිකය වෙනුවෙන් වැඩ කරන ප්‍රමාණය අපි ආණ්ඩුවට පෙන්නලා තියෙනවා. ඒ නිසා දැන් දැන් ඉස්සරට වඩා අපි ගැන ආණ්ඩුවෙන් වැඩි අවධානයක් තියෙනවා. ඒ නිසා දැන් අපිට අවශ්‍යය දේවල් පිළිබඳ කතා කරන්න පුළුවන්.


මේ ප්‍රශ්නෙදි අපි කාටවත් ඇඟිලි දික්කර කර ඉඳලා අපි ගැන බලන්නෑ කිය කිය ඉඳලා වැඩක් නෑ. අපි ක්ෂේත්‍රයක් හැටියට සාමුහිකව එකතු වෙලා අනිකුත් ක්ෂේත්‍රය මේ ප්‍රශ්න වලට විසදුම හොයන්නේ කොහොමද වගේ කියන දේවල් ඉගෙන ගෙන ඒ ඔස්සේ අපේ ක්ෂේත්‍රයත් ඒකරාශි කරගෙන එක ගමනක් යා යුතුයි. ඒකට ආණ්ඩුවකින් වේවා ක්ෂේත්‍රය තුළ තියෙන ප්‍රශ්න වේවා සියලුම ගැටළුවලට විසදුම් හොයන්න පුළුවන්. මේ අවුරුද්දේ කොරෝනා නිසා ඒක වෙමින් තියෙනවා. ගීත රචකයින්ගේ සංගමය, සංගීත අධ්‍යක්ෂවරුන්ගේ සංගමය, බෑන්ඞ් හබ් එක, බටහිර සංගීත සංගමය, එළිමහන් ප්‍රාසාංගිකයන්ගේ සංගමය, මේ සියලු දෙනා එකට එකතු වෙලා තියෙනවා. ඒ නිසා අපි දැන් ඉඳන්ම සංවිධානය වුණොත් තව අවුරුදු එක හමාරකින් දෙකකින් අපිට අනික් ක්ෂේත්‍ර හා සමානව ගැටළුවලට විසදුම් ලබා ගන්න පුළුවන් වෙයි කියල මම හිතනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here