මහින්ද හත්තක

මීට සති දෙකකට පෙර අපි 77 ජේ.ආර්. ගේ ජනවරම සහ 2019 ගෝඨාගේ ජයග‍්‍රහණය සැසඳිය හැකි බව පැවසුවෙමු. ජනාධිපති ගෝඨාගේ පාලනය පැලපදියම් වීමත් සමග සමහර කරුණු අතින් එම සංසන්දනාත්මක විග‍්‍රහය තවත් ගැඹුරට ගෙන යා හැකි බව පෙනේ. 77 ජේ.ආර්. බලයට පත්වීමත් සමග එවකට සමගි පෙරමුණේ ආයතනයක් ලෙස එජාපයේ දැඩි විවේචනයට ලක්ව තිබූ පොලීසිය සතියකට නිවාඩු යවන බව ඔහු කීවේය. පොලීසියට නිවාඩු දීම කෙසේ වුවත් පොලිසිය එම ස්ථානවලටම සීමාවීම නිසා එජාප ආධාරකරුවන්ට රට පුරා විරුද්ධවාදීන්ට පහරදීමටත් ඔවුන්ගේ දේපොළ විනාශ කිරීමටත් කිසිම බාධාවක් තිබුණේ නැත. එම මැර පිරිස් ප‍්‍රවාහනයට ලංගම බස් රථ ද බලහත්කාරයෙන්ම යොදා ගැනිණ.


ගෝඨාගේ ජයග‍්‍රහණයෙන් පසුව පොලීසිය නිවාඩු යැවීමක් සිදුවූයේ නැති වුවත් ඒ වෙනුවට පොලිස් බලතල ති‍්‍රවිධ හමුදාවට පවරා පොලීසියට අනුන්ගේ කුණු ඉවත් කිරීම නිරීක්ෂණය කිරීමට සිදුවිය. පොලිස් ප‍්‍රකාශකයාට වායු සමීකරණය කළ කාමරයක නොව මහමග සිටගෙන ජනමාධ්‍ය ඇමතීමට සිදුවිය. ඊට අමතරව ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයකු තත්ත්වයෙන් පහත හෙළන්නේ නැතිව නිලයට වඩා පහත් රාජකාරියක් පැවරීම ස්වාධීන පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව සිදු කළ නිසා ඒ ගැන විවේචන එල්ල කළ නොහැකිය. පොලිස් කොමිසමේ අනුමැතිය ඇතිව පියවරක් ගැනීමට පෙර පසුගිය ‘යහපාලන’ සමයේ ¥ෂණ චංචා, පැහැර ගෙන යෑම් සහ මිනී මැරුම් ගැන විමර්ශන කටයුතු කළ ප‍්‍රධාන පොලිස් පරීක්ෂක නිශාන්ත ද සිල්වා දෙපාර්තමේන්තුවටත් නොදන්වා රටින් පිටව යෑම බරපතළ කරුණක් විය හැකිය.


මෙම සරල කරුණුත් තවත් වැදගත් වෙනත් කරුණුත් සැලකිල්ලට ගත්විට පිළිතුරක් නැති ප‍්‍රශ්නය වන්නේ පසුගිය ජනාධිපතිවරණය පවත්වන ලද්දේ කලින් පාර්ලිමේන්තුවේ කිසිදු බෙදීමක් නැතිව සම්මත කළ 19 වැනි ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විස්තර කර ඇති ජනාධිපතිවරයා පත් කිරීමට ද නැතිනම් ඊට පෙර පැවති ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව අනුව විධායක ජනාධිපතිවරයෙකු පත් කිරීමටද යන්නයි. 19 වැනි ව්‍යවස්ථාව ගෙන එන ලද්දේ දිගු කලක් තිස්සේ රටේ විවිධ ජන කොටස්වල ඉල්ලීමක් වූ විධායක ජනාධිපති තනතුර අහෝසි කොට සෘජුවම පාර්ලිමේන්තුවට වගකියන අගමැතිවරයෙකු පත් කිරීම සඳහා ය. එම අරමුණෙන් ගෙන එන ලද ව්‍යවස්ථා සංශෝධනයේ වචනවල කුමන අඩුපාඩු පැවතිය ද මූලික අරමුණ තේරුම් ගැනීමට ව්‍යවස්ථා විශේෂඥතාවක් අවශ්‍ය නොවේ. එවැනි විශේෂඥ තීරණයක් මීට පෙර පසුගිය වසරේ ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී තිබිණ. ඊට හිස නැමීමට හිටපු ජනාධිපතිවරයාට සිදුවිය. එම නිසා 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ දක්වා ඇති ප‍්‍රතිපාදන අනුව නැවත වරක් සංශෝධනය කරන තෙක් බලපවත්වන බව අප පිළිගත යුතුය. එසේ නොවන්නේ නම් නීතිය අබිබවා යෑමකි.


නීතිය අබිබවා යෑම විවිධ ආකාරයෙන් සිදු කළ හැකි බව ද නව ජනාධිපතිවරයා පෙන්නුම් කර ඇත. 19 වැනි සංශෝධනය අනුව ජනාධිපතිට ඇමති තනතුරු දැරිය නොහැකිය. එහෙත් අගමැතිවරයාගේ උපදෙස් අනුව පත් කෙරෙන ඇමතීන්ට සමහර අමාත්‍යාංශ නොපවරා සිටිය හැකි බව වත්මන් ජනාධිපති ඔප්පු කර ඇත. එක නිදසුනක් වන්නේ ආරක්ෂාව පිළිබඳව ඇමතිවරයෙකු පත් නොකිරීම ය. පසුගිය ජනාධිපතිවරණයේ දීත් ඊට පෙර සිටමත් ඒකාබද්ධ විපක්ෂය සෑම වේදිකාවකින්ම උස් හඬින් පැවසු කාරණයක් වූයේ රටේ ආරක්ෂාව අන්තයටම පිරිහී ඇත යන්නයි. ජාතික ආරක්ෂාව නැවත ඇති කිරීමට යහපාලන රජය පන්නා දමා ආරක්ෂාව එඩිතර නායකයෙකු යටතට පත් කළ යුතුය. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනාධිපතිට ඇමති තනතුරු දැරිය නොහැකි නිසා විය යුතු වන්නේ ආරක්ෂක ඇමති තනතුරට එඩිතර නායකයෙකු පත්කිරීමයි. එවැනි නායකයන්ගේ අඩුවක් පොදුජන පෙරමුණ තුළ නොවීය.


නමුත් පුදුමයකට මෙන් මෙතෙක් පත් කළ ඇමතිවරුන් අතර ආරක්ෂාව පිළිබඳ ඇමතිවරයෙකු නැත. ඒ වෙනුවට තවත් ඇමති තනතුරක් ලබා දී ඇති චමල් රාජපක්ෂ මහතාට ආරක්ෂාව පිළිබඳ රාජ්‍ය ඇමති තනතුරක් ලබා දී ඇත. ආරක්ෂක කටයුතු පිළිබඳව පූර්ණකාලීන ඇමතිවරයෙකු පත් නොකිරීම ආරක්ෂාව කලින් පැවසූ ආකාරයට එතරම් වැදගත් විෂයක් නොවේයැයි නව රජය තීරණය කළා විය හැකිය. එසේ නම් ඔවුන් කලින් කරන ලද විවේචනය අසාධාරණ පදනම් විරහිත එකකි. ආරක්ෂාව රාජ්‍ය ඇමතිවරයෙකුට කළ හැකි තරම් පහසු සරල කාරණයකි.


එහෙත් පුදුමයටත් හාස්‍යටත් කරුණක් වන්නේ ආරක්ෂාව පිළිබඳව රාජ්‍ය ඇමතිවරයෙකු පත් කිරීමටත් පෙර ආරක්ෂක ලේකම්වරයෙකු පත් කිරීමයි. ඇමතිවරයෙකු නැතිව ලේකම් වාර්තා කරන්නේ කාටද යන්න ව්‍යවස්ථාව අනුව ගැටලූවකි. රාජ්‍ය ඇමතිවරයෙකු පත් කිරීම නිසා එම ගැටලූව විසඳී ඇති නමුත් ඉන් සැබැවින්ම මතු කරන්නේ වඩාත්ම බරපතළ කාරණයකි. එනම් අගමැතිගේ නිර්දේශ අනුව ආරක්ෂක ඇමතිවරයෙකු පත් නොකොට එම බලතල ජනාධිපති වෙත රඳවා ගැනීමේ උත්සාහයක් ද යන සැකය මතු කළ හැකිය. ඇමතිවරයා පත් කිරීමට පෙර ලේකම් පත් කිරීම තේරුම් ගතහැකි වන්නේ එවැනි පසුබිමකය.


මෙම කරුණුවලින් පැහැදිලි වන්නේ නව ජනාධිපතිගේ ව්‍යවස්ථානුකූල බලතල 19 වැනි සංශෝධනයෙන් සීමා කිරීම ගත් උත්සාහය අසාර්ථක වීමක්ද යන්න විමසා බැලිය යුතුය. මීට පෙර මහජන ඡුන්දයෙන් ජනාධිපති තනතුරට තේරීපත් වූ කිසිම කෙනෙකු එම තනතුරට ව්‍යවස්ථාවෙන් ලබා දී තිබුණු බලතල සීමා කිරීම හෝ ඉවත් කිරීමට වැඩි කැමැත්තක් දැක්වූයේ නැත ජනාධිපති චන්ද්‍රිකාගේ පාලන සමයේ විපක්ෂයේ එකඟත්වය අනුව කෙටුම් පත් කළ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව පාර්ලිමේන්තු සභා ගර්භය තුළම ගිනිබත් කෙළේ එවැනි උත්සාහයක් නිසාය. ඉන් පසුව 2015 පැවති ජනාධිපතිවරණයෙන් ජය ගත් මෛත‍්‍රීපාල සිරිසේන මහතා විධායක ජනාධිපති ධුරයේ බලතල ඉවත් කිරීමට මුල් වුවත් ඒ කැමැත්තකින් නොවේ. ඒ බව පැහැදිලි වන්නේ ඔහුගේ නිල කාලය අවසන් වීමට ආසන්න වෙත්ම කළ කී දේ වලිනි. විධායක බලතල ඉවත් කිරීම නොදැනුවත්ව සිදු වූ බවක් පෙන්වීමේ උත්සාහයක් තිබිණ. 19 වැනි සංශෝධනය පාර්ලිමේන්තුවන් කිසිම බෙදීමක් නැතිව සම්මතවීමෙන් පසුව හිටපු ජනාධිපති සිරිසේන මහතාත් සෙසු නායකයනුත් කළ ප‍්‍රකාශත් පසුව කළ කී දේත් සැසඳීම අනවශ්‍ය වුවත් එය දැන් විධිමත්ව රටේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ඇතුළත් ප‍්‍රතිපාදනයක් බව අමතක කළ නොහැකිය. එය කිසිසේත් නොසලකා කි‍්‍රයා කළ නොහැකිය.


මේ තත්ත්වය ආණ්ඩුව කරවන අය සහ ඔවුන්ගේ නීති උපදේශකයන් නොදන්නා දෙයක් නොවේ. නමුත් අවශ්‍යතාව නිසා එවැනි දේ නෑසු කන්ව සිටීම වඩාත් සුදුසු බවට ඔවුන් තීරණය කළා විය හැකිය. නීතිය නොදැන සිටීම නිදහසට කරුණක් නොවන බව සාමාන්‍ය සුළු වැරැුද්දක් සම්බන්ධයෙන් වූවද නීතිය බලාත්මක කරන නිලධාරීන් නිතර සිහිපත් කරවන්නකි. එම නිසා රටේ උත්තරීතර නීතිය වන ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීම ජනතාවගේ පරමාධිපත්‍යය හෑල්ලූවට ලක් කිරීමකි. ජනතා පරමාධිපත්‍යය වරින් වර පැවැත්වෙන ඡුන්ද විමසීම් අනුව වෙනස් වන්නේයැයි තර්ක කිරීම ශිෂ්ට සමාජයේ පැවැත්මට බලවත් අනතුරකි. නූතන පාර්ලිමේන්තු ප‍්‍රජාතන්ත‍්‍රවාදයේ උල්පත මෙන්ම අපට වෙස්ට්මිනිස්ටර් ක‍්‍රමයේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී පැවැත්ම දායාද කළ එක්සත් රාජධානියේ ව්‍යස්ථාපිත නීතිවලටත් වඩා සම්ප‍්‍රදායන්ට ගරු කරන්නේත් එම සම්ප‍්‍රදායන් ලිඛිත නීතියට වඩා ජනතාව සහ පාලකයන් අතර පිළිගැනීමට ලක්ව ඇත්තේ ශිෂ්ට සමාජයේ පැවැත්මේ මුල්ගල එවැනි පිළිගැනීම් බවට ඇති සමාජ සම්මතය නිසාය.


19 වැනි ව්‍යවස්ථා සංශෝධනය පාර්ලිමේන්තුවට ගෙන ඒමට මුල් වූ අය දැන් එම වගකීමෙන් ඉවත්වීම නිසාම එහි නීතිමය වැදගත්කම කිසිසේත් අඩුවන්නේ නැති බව සාමාන්‍ය රටවැසියෙකුට පවා පැහැදිලිය. කිසියම් නීතිමය ප‍්‍රතිපාදනයක් රටේ කෙටිකාලීන නොව දීර්ඝකාලීන පොදු අවශ්‍යාතවන්ට නොගැළපේ නම් එය සංශෝධනය හෝ ඉවත් කිරීමේ පිළිගත් ක‍්‍රමයක් ශිෂ්ට ලෝකයේ පවතී. එය වෙනස කිරීමට අවශ්‍ය පුද්ගලයාගේ හෝ දේශපාලන පක්ෂයේ කැමැත්ත අනුව පමණක් සිදුවිය යුත්තක් නොවේ. එසේ කිරීමෙන් සමාජයේ පොදු යහපත දීර්ඝකාලීනව අනතුරට පත් වූ ආකාරය ලංකාවේ මෑත ඉතිහාසයෙන් දැකිය හැකිය.


72 පළමු ජනරජ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කෙටුම්පත් කිරීමේ දීත් එය සම්මත කර ගැනීමේ දීත් විශ්වාසය රැුඳවූයේ තුනෙන් දෙකේ පාර්ලිමේන්තු මන්ත‍්‍රීන්ගේ බලය කෙරේය. දෙමළ ජනතාව පමණක් නොව අනෙකුත් සුළු ජාතීන්ගේ ඉල්ලීම් නොසලකා කටයුතු කෙළේ තුනෙන් දෙකේ බලයෙන් ඔවුන්ගේ දේශපාලන ඉල්ලීම් නොසලකා කටයුතු කළ හැකි නිසාය. ඉන්පසුව වසර පහක් ගතවන විට ජේ.ආර්. ජයවර්ධනට එම ව්‍යවස්ථාව වෙනස් කිරීමට හැකිවූයේ තුනෙන් දෙක ඉක්මවා හයෙන් පහක පාර්ලිමේන්තු බලයක් තිබීම නිසාය. ඔහු හැඳින්වූයේ ජනවරමක් සේය. එම ව්‍යවස්ථාවේ අඩුපාඩු සහ අහිතකර තැන් විවිධ සංවිධාන මෙන්ම පුද්ගලයන් පෙන්වා දුන් නමුත් ජේ.ආර්. ඒවාට කිසිම තැකීමක් කළේ නැත. ව්‍යවස්ථාවෙන් ඔහුට ලැබුණු අසීමිත බලයෙන් උදම් ව තමාට කළ නොහැකි වන්නේ ගැහැනියකු පිරිමියෙකු කිරීම පමණයැයි පාරම් බෑවේය. එහෙත් ඔහු දශකයකට ආසන්න කාලයක් බලයේ සිට ඉවත්ව යන විට ගැහැනු පිරිමි කිරීම පසෙක ලා නිදහස් සාමකාමී ඡුන්දයක් පැවැත්වීමට හැකියාවක් හෝ රටේ තිබුණේ නැත. රටම වෙලාගත් ත‍්‍රස්තවාදය නිසා ඡුන්දය ප‍්‍රකාශ කිරීමට ඡුන්දදායකයන් ඡුන්දපොළට දක්කාගෙන යෑම සඳහා ආණ්ඩුවේ සන්නද්ධ බලය ප‍්‍රදර්ශනය කිරීමට සිදු විය. අපේක්ෂා කළ ආකාරයේ ආර්ථික දියුණුවක් ද ළඟා කරගත නොහැකි විය. උතුරු නැගෙනහිර යුද්ධය නිසා රට සැබැවින්ම දෙකඩ විය. ඒ තත්ත්වය වැළැක්වීමට තිස් අවුරුදු යුද්ධයක් කිරීමටත් අසීමිත සම්පත් ප‍්‍රමාණයක් මෙන්ම මිල කළ නොහැකි ජීවිත ප‍්‍රමාණයක්ද කැප කිරීමට සිදුවිය.


එම විනාශයට එකම හේතුව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොවන නමුත් එය ප‍්‍රධාන හේතුවක් වන්නේ රටේ වැසියන්ට යුක්තිය සාධාරණය ඉටුකර ගැනීමට නීතියේ පිළිසරණ ලබා ගැනීමේ ඉඩකඩ ඇහිරීමයි. ඊට අමතරව දේශපාලන බලහත්කාරය ද වැදගත් සාධකයක් වූ බව වත්මන් අගමැති මහින්ද රාජපක්ෂ මහතා ද පසක් කර ගත් කරුණකි.
එම නිසා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කිරීම අනාගතයේ ඇතිවිය හැකි තත්ත්වයක් ගැන අනතුරු හැඟවීමකි. 19 වැනි ව්‍යවස්ථාව සංශෝධනය නැවත සංශෝධනය කිරීමට සූදානමක් තිබීම නිසා එම ව්‍යවස්ථාව නොසලකා කටයුතු කළ නොහැකිය. නීතියෙන් මනාව ආවරණය නොවන වැරදි සම්බන්ධයෙන් අතීතයට බලපාන ආකාරයට නීති සම්මත කර ගත හැකි වුවද ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්බන්ධයෙන් එසේ කටයුතු කළ රටක් ගැන මෙතෙක් ඇසීමට නැත. ව්‍යවස්ථා සංශෝධනයකට ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් විශේෂ කි‍්‍රයා පිළිවෙතක් අනුගමනය කළයුතු බව දක්වා ඇත්තේ එම නිසාය. සැබැවින්ම ව්‍යවස්ථා සංශෝධනයක් හෝ නව ව්‍යවස්ථාවක් සම්මත කර ගැනීම අවසාන වශයෙන් ජනමත විචාරණයකට ලක්විය යුතු වුවද එවැනි භාවිතයක් ලංකාවේ නැතිවීම කනගාටුවට කරුණකි.
නීතිය පිළිපැදීම සහ විශේෂයෙන්ම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට ගරු කිරීම වැදගත් වන්නේ උසස් රාජ්‍ය තනතුරක් භාර ගැනීමේ දී දෙන පොරොන්දුව නිසාම නොවේ. එවැනි තත්ත්වයක් නැති රටක් ඉක්මනින්ම අරාජික තත්ත්වයට පත්වීමේ ඉඩකඩ පවතින නිසාය. ස්විස් රජයේ තානාපති කාර්යාලයේ සේවය කරන තානාපති වරප‍්‍රසාද නොමැති සේවිකාවක් පැහැර ගෙන ගොස් වධ හිංසාවට ලක් කර ඇතැයි යන සිද්ධිය මීට නිදසුනකි. ආණ්ඩුව මේ සම්බන්ධයෙන් තම නිදහසට විවිධ හේතු දක්වා ඇත. පැමිණිල්ලක් නොකිරීම අදාළ නිලධාරිනියගෙන් කට උත්තරයක් ලබාගත නොහැකිවීම වැනි කරුණු ගණනාවක් මහජන අවකාශයේ පවතී. මෙය නව ආණ්ඩුව අපහසුතාවට පත්කිරීමට සැලසුම් සහගතව සිදු කරන ලද්දක් යැයි චෝදනා ද නැගේ.


කෙසේ වුවත් මෙම සිද්ධිය මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපතිව සිටි සමයේ ඔහුගේ ප‍්‍රබල ඇමතිවරයෙකු සම්බන්ධ සිද්ධියක් සිහියට නගයි. එම ඇමතිවරයාගේ නියෝගයක් පිළිපැදීමට අපොහොසත් වූ ග‍්‍රාම සේවා නිලධාරියෙකු ගස් බැඳීමේ සිද්ධියකට මුද්‍රිත මාධ්‍යයේ මෙන්ම විද්‍යුත් මාධ්‍යයේ ද පුළුල් ප‍්‍රසිද්ධියක් ලැබිණ. ශාරීරික වධ හිංසා පිටු දැකීමේ එක්සත් ජාතීන්ගේ සම්මුතියට අත්සන් තබා එය අපරානුමත කර ඇති ශ‍්‍රී ලංකාව වැනි රටක මෙවැනි දෙයක් කිසිසේත් පිළිනොගත හැකියැයි ජනමතයක්ද ගොඩ නැගෙමින් පැවතිණ. කෙසේ හෝ එම සිද්ධිය කෙළවර වූයේ අදාළ පුද්ගලයාම සිය කැමැත්තෙන් ගස් බැඳ ගෙන ඇති බව ප‍්‍රකාශ වීමෙනි. ස්විස් තානාපති කාර්යාලයේ දේශීය සේවිකාව පැහැර ගෙන ගොස් වධ හිංසා පැමිණවූ බවට ඇති චෝදනා ඒ ආකාරයෙන්ම අවසන් වුවහොත් පුදුමයට පත් නොවිය යුතුය. එම ප‍්‍රබල ඇමතිවරයා අද ප‍්‍රබලයෙකු නොවන නමුත් එම මතවාදය තවමත් ප‍්‍රබලව පවතින බවට සාධක පවතී.


නීතිගරුක රටක් ගොඩ නැගීම යනු කිසියම් පුද්ගලයෙකුගේ හෝ කණ්ඩායමක කැමැත්ත අනුව සියලූදෙනා පාලනය කිරීම නොවන බව අවධාරණය කළ යුතු නොවේ. නීතියක් යනු ආඥාවක් නොව ශිෂ්ට සමාජය පිළිගත් ක‍්‍රමයක් අනුව මහජන විවාදයට අවකාශය ඇතිව සම්මත කරන පිළිවෙතකි. එය පාර්ලිමේන්තුවේ බහුතරයක් පැවතීම නිසාම සාධාරණ හෝ යුක්තිසහගත වන්නේ නැත. එම නිසා කටුක අතීතයට ආපසු ගමන් කිරීම ඉතිහාසයේ සරදමක් විය හැකිය.