ඉඳුනිල් උස්ගොඩ ආරච්චි

ඔහු මුලින්ම ගුවන් විදුලි සංස්ථාවේ ද, පසුව දීර්ඝ කාලයක් රූපවාහිනී සංස්ථාවේ ද සේවය කර දැන් විශ‍්‍රාම සුවයෙන් පසුවන්නෙකි. සංස්කරණ අංශයේ ද තවත් අංශ ගණනාවක ද අත්දැකීම් බහුල ඔහු තම වෘත්තීය ජීවිතය පිළිබඳ මතකයන් රාවය සමග ආවර්ජනය කළේ මෙලෙසිනි.


ඔබ ඔබේ සැබෑ වෘත්තිය තෝරා ගැනීමේ මුල් අඩිතාලම වැටෙන්නේ ක්ෂේත‍්‍ර ගණනාවකට යොමුවීමෙන් හා ඒවා පිළිබද හැදෑරීමෙන් අනතුරුවයි. ඒ වගේම ගුවන්විදුලි සංස්ථාව ඔබේ ජීවන මග වෙනස් කරන සංධිස්ථානයක් කීම නිවැරදියි. ඒ ගමන් මගේ ආරම්භය ගැන දැනගන්න කැමතියි.


මම ඉපදුණේ හැදී වැඩුණේ මොරටුවේ. පාසල් ගියේ මොරටුව ප‍්‍රින්ස් ඔෆ් වේල්ස්. උසස් පෙළ විද්‍යා අංශයෙන් හදාරලා වෛද්‍ය වෘත්තිය කරන්න අපේක්ෂාවක් තිබුණත් විශ්වවිද්‍යාල වරම් ලැබුණේ නැහැ. එහෙම ඉන්න අතරේ මට රැුකියාවක් කරන්න ඕනෑ වුණා. ඒත් මාව රැුකියාවකට යවන්න ඒ කාලයේ අපේ තාත්තාට ඕනෑකමක් තිබුණේ නැහැ. තාත්තාට ලී ව්‍යාපාර තිබුණා. ඒවා බලා කියාගෙන ඉන්නවා නම් තමයි තාත්තා කැමති වුණේ. ඒත් මාව රැුකියාවකට යොමු කරන්න අපේ නැන්දා කෙනෙක්ටත් කැමැත්තක් තිබුණා. නැන්දාගේ හිතවත් කෙනෙක් ගුවන් විදුලි සංස්ථාවේ වැඩ කළා. එයාගෙන් අහලා මම ගුවන්විදුලි සංස්ථාවට ඉල්ලූම් පත‍්‍රයක් භාර දුන්නා. 1968 දී මම ගුවන් විදුලි සංස්ථාවේ රැුකියාවකට ගියා. ඒක මුදල් අංශයේ රැුකියාවක්. විද්‍යා විෂයන් හදාරලා පසුව ගුවන්විදුලි සංස්ථාවේ ගණකාධිකාරී අංශයේ රැුකියාවක් කරන අතරේ ඉංජිනේරු අංශය ගැන හදාරන්න මට ආශාවක් ඇති වුණා. ඒ නිසා මම සිටි ඇන්ඞ් ගිල්ඞ්ස් ආයතනයේ ඒ සම්බන්ධ පාඨමාලාවක් හදාරා ඒකෙන් සමත් වුණා. ඒ නිසා මම ගුවන්විදුලි සංස්ථාවේම ගණකාධිකාරි අංශයෙන් ඉංජිනේරු අංශයට අනුයුක්ත වුණා. ඒ වගේම මගේ භාර්යාව මට මුලින්ම හමුවන්නේත් ගුවන්විදුලි සංස්ථාවේ දී යි. ඇයත් රැුකියාව කළේ ගුවන් විදුලි සංස්ථාවේ වැටුප් අංශයේ යි. එහේදී තමයි අපි හමුවුණේ.


ගණකාධිකරණ අංශයේ රැුකියාව කරන ඔබට ගුවන්විදුලි අංශයේ වෙනත් ක්ෂේත‍්‍රයකට යොමුවීමට අදහසක් ඇති වෙන්න විශේෂ හේතු තිබුණා ද?


ගුවන් විදුලියේ ශිල්පීන්ට ගෙවීම් කරන අංශයේ තමයි මම වැඩ කළේ. ඒ නිසා අමරදේව මහත්මයාගේ සිට තවත් බොහෝ දෙනා තමන්ගේ මුදල් ලබා ගන්න මා ළගට ආවා. නිවේදක නිවේදිකාවෝ, ගායක ගායිකාවෝ, නාට්‍ය ශිල්පී ශිල්පිනියන් වැනි අය ඇසුරු කරන්න අවස්ථාව ලැබීමත් එක්ක කලාව ගැන ලැදියාවක් මට ඇතිවුණා. ඒ ඇසුරත් එක්ක ගුවන්විදුලි සංස්ථාවේම වෙනත් අංශයක් පිළිබඳ හදාරලා කලා කටයුතු වලට සම්බන්ධ වෙන්න ඕනෑ කියන කැමැත්ත මට තිබුණා.


ලංකාවට රූපවාහිනිය කියන නව අත්දැකීම ලබන්න වගේම ඔබටත් එහි සමීප අත්දැකීම් ලබන්න හැකිවෙන්නේ ගුවන්විදුලියේ ඉංජිනේරු අංශයේ දීර්ඝ කාලයක් රැුකියාව කරන අතරතුරේදීයි. රූපවාහිනිය කියන නව අත්දැකීමේ කොටස්කරුවකු බවට ඔබ පත්වුණේ කොහොමද?


1982 වෙද්දී ලංකාවට රූපවාහිනිය ආවා. රූපවාහිනියේ ඉංජිනේරු ක්ෂේත‍්‍රයට බඳවාගැනීම් සිදු කළේ අපේ ගුවන් විදුලියේ ඉංජිනේරුවරයෙක් වුණු රුක්මන් විජේමාන්න මහත්මයා යි. ඉතින් රූපවාහිනියේ වැඩ කරන්න කැමති අයට අයදුම් කරන්න පුළුවන් බව ඔහු අපට කීවා. ඒ අනුව මමත් ඉල්ලූම් පත‍්‍රයක් ඉදිරිපත් කළා. මම රූපවාහිනී සංස්ථාවට තේරී පත්වුණේ එහෙමයි. ඉතින් 1982 ඉදලා 2001 අවුරුද්දේ විශ‍්‍රාම යනතුරුම සේවය කළේ රූපවාහිනී සංස්ථාවේයි. ගුවන්විදුලියේ ඉඳලා රූපවාහිනියට ගිය අලූත එක එක්කෙනා කළ යුතු රාජකාරි වෙන් වෙන් වශයෙන් වෙන් කරලා තිබුණේ නැහැ. හිටියේත් බොහොම ටික දෙනායි. අපි කැමරාකරණයත් කළා, වැඩසටහන් කළා, ශබ්ද පටිගතකිරීම් කළා, සංස්කරණයත් කළා. ආරම්භක අවස්ථාවේ ආරාධිත අමුත්තා වුණේ ජේ.ආර් ජයවර්ධන ජනාධිපතිවරයා යි. එදාත් අපි රාජකාරියේ හිටියා. එදා අපි හැමෝටම රූපවාහිනිය අලූත් අත්දැකීමක්. ඒ නිසා අපි හැමෝම බොහොම ආසාවෙන් තමයි වැඩ කළේ. ඒ කියන්නේ අපි රස්සාවක් කරනවා කියන හැඟීමෙන් නෙමෙයි, දිවා ? බැලූවේ නැහැ. ඒ කාලයේ අපිට වැඩ කරන්න තිබුණේ බොහොම සීමිත උපකරණ ටිකක්. නිෂ්පාදන වලට ඒවා ප‍්‍රමාණවත් වුණේත් නැහැ. හුඟක් වෙලාවට ? එළිවෙනකම් අපි සංස්කරණ කටයුතු කළා. ඒ කාලයේ ධම්ම ජාගොඩ මහත්මයා, ලූෂන් බුලත්සිංහල මහත්මයා, බන්දුල ගුණවර්ධන මහත්මයා, තිලක් ගුණවර්ධන මහත්මයා, පරාක‍්‍රම නිරිඇල්ල මහත්මයා යන අයගේ සිට සියලූ දෙනා රූපවාහිනියට අලූත් අය වුණා. අපිත් අලූත්. ඒත් අපි ඔක්කෝම ඒ කාලයේ හරිම සහයෝගයෙන් විනෝදයෙන් වැඩ කළා. ඒ කාලය ගැන මතක් කරද්දීත් ඇත්තටම හරිම ආසාවක් සතුටක් දැනෙනවා.


ඔබ රූපවාහිනී සංස්ථාවේ සංස්කරණ ශිල්පියෙකු බවට පත්වෙනවා. අලූත් අත්දැකීමක් වුණු රූපවාහිනියේ එවැනි කටයුතු කිරීම මෙන්ම ඒ පිළිබද අධ්‍යයනයත් පහසු වෙන්න නැහැ.


මුල්ම කාලයේ ජපානයේ කීපදෙනෙක් ඇවිත් වැඩවලට සහාය දුන්නා. අපි හැමදේම කරන්න ඉගෙන ගත්තා. මැලේසියාවේ සති තුනක පුහුණුවකට යන්නත් අවස්ථාව ලැබුණා. ඒ කාලයේ දැන් වගේ සංස්කරණයට සොෆ්ට් වෙයාර් තිබුණේ නැහැ. මැෂින් දෙකක් තියනවා. එකක් ප්ලෙයර් එක, අනෙක් එක රෙකෝඩර් එක. ප්ලේයර් එකට අපි කැසට් එක දාලා මැනුවල් තමයි සංස්කරණය කරන්නේ. ඒක හරියට කාලය ගතවන වැඩක්. විනාඩි පහක දර්ශනයක් සංස්කරණය කරන්න පැය පහක් විතර ගතවෙනවා. ටයිටස් තොටවත්ත මහත්මයා එක්කත් අපි ඒ කාලයේ වැඩ කරලා තියනවා. ඔහු චිත‍්‍රපට ක්ෂේත‍්‍රයේ ඉඳලා රූපවාහිනී ක්ෂේත‍්‍රයට ආවා. මැෂින්වල එඩිට් කරද්දී සමහර වෙලාවට ඔහුට කේන්තිත් යනවා. ඔවුන් කතුරෙන් කපලා සංස්කරණ කටයුතු කළ අය නිසා මැෂින්වල සංස්කරණය අපි හැමෝටම වෙනස් අත්දැකීමක් වුණා.


ඒ වගේම සංස්කරණයට මූලික වශයෙන්ම බොහොම ඉවසිල්ලක් තියෙන්න ඕනෑ. පටිගත කරලා තියන කොටස් ගලායාමකින් යුතුව එකිනෙකට අමුණලා කතාන්දරය ගොඩනගන්න නම් එහෙම ඉවසීමක් අවශ්‍යයි. දෙබස්වල, රඟපෑමේ, ඇඳුම් පැළඳුම්වල ඒ හැමදේකම ගලායාමක් තියෙන්න ඕනෑ. කැමරා ශිල්පියාටත් ඒ සම්බන්ධයෙන් ලොකු වගකීමක් තියනවා. නැත්නම් සංස්කරණ ශිල්පියාත් අමාරුවේ වැටෙනවා.


ටෙලිනාට්‍ය සංස්කරණය ඔබේ වෘත්තීය ජීවිතයේ විශේෂ කාර්යයක් වුණා. ගම්පෙරළිය ටෙලිනාට්‍යයේ සංස්කරණ ශිල්පියා මෙන්ම තවත් ටෙලි නාට්‍ය ගණනාවක සංස්කරණ ශිල්පියෙක් ලෙස ඔබ දායකත්ව දී තිබුණා.


බන්දුල විතානගේ මහත්මයාගේ ටෙලි නාට්‍යයක් තිබුණා ‘සෝමාගේ සිහිනය’ කියලා. ඊට පස්සේ ‘බුමුතුරුණු’ ටෙලිනාට්‍යය. මම තෘප්තිමත්ම වුණේ බර්ට‍්‍රම් නිහාල් මහත්මයාගේ ‘ගම්පෙරළිය’ ටෙලි නාට්‍යයේ සංස්කරණ කටයුතු කිරීමට ලැබීම නිසායි. අනෙක් ටෙලිනාට්‍යවලදී සංස්කරණ ශිල්පීන් දෙදෙනෙකු යොදා ගැනුණත් ‘ගම්පෙරළිය’ ටෙලිනාට්‍යයට එකම සංස්කරණ ශිල්පියෙක් ලබා දෙන්න කියලා බර්ට‍්‍රම් නිහාල් මහත්මයා ඉල්ලීමක් කර තිබුණා. ඒ නිසා එහි සම්පූර්ණයෙන් ම සංස්කරණ කටයුතු කිරීමේ අවස්ථාව මට ලැබුණා. මගේ හොඳම අත්දැකීම වුණේ එයයි. ගම්පෙරළිය දැවැන්ත වැඩක්. පැයේ එපිසෝඞ් දහයක් තිබුණා. අධ්‍යක්ෂවරයා වුණු බර්ට‍්‍රම් නිහාල් මහත්මයා අමාරුවෙන් ගත්ත හොඳ ෂොට්ස් ඔක්කෝම ඇතුළත් කරන්න සංස්කරණ අවස්ථාවේ ඔහුට ඕනෑ වෙනවා. අපි ඉතින් යෝජනා කරනවා එච්චර ඕන නැහැ කියලා. එහෙනම් එහෙම දාන්න කියලා, අපි අරක නැවත සංස්කරණය කරමු කියලා පහුවදා ඇවිත් කියන වෙලාවල් තියනවා. කොහොමහරි ඔහුගේ හිතේ තියන ෂොට්ස් ටික දානවා. ඉතින් රණ්ඩු වෙන්නේ නැහැ, සුහදව වැඩ කරනවා. මම ලොකු ආශාවකින් ගම්පෙරළිය නාට්‍යයේ සංස්කරණ කටයුතු කළ තවත් හේතුවක් වුණේ මහකප්පින වලව්ව, ඒක ඇත්තටම මගේ අම්මාගේ මහගෙදරට සමානයි.


රූපවාහිනී සංස්ථාව තුළ ඔබේ වෘත්තීය ජීවිතය සංස්කරණ කටයුතු වලින් නතර වෙන්නේ නැහැ.


පස්සේ කාලයේ මට උසස්වීම් ලැබෙනවා. පසුව මම ප‍්‍රධාන පාලක මැදිරියේ ඔෆිසර් ඉන්චාර්ජ් ලෙස වැඩ කළා. එතැනට ගියාට පස්සේ අපිට වෙන්නේ අපි යටතේ ඉන්න අය මෙහෙයවීම යි. බාහිර විකාශන මැදිරයේ (රථයේ* ඉන්චාජ් විධියටත් වැඩ කළා. ඒ කාලයේ ඉතින් විකාශනයන් සඳහා රට වටේම ගියා. ඒ කාලේ අවුරුද්දට ගෙදර ඉන්න වෙන්නේ නැහැ. අවුරුදු වැඩසටහන්වලට විවිධ ප‍්‍රදේශවලට යනවා. ජේ.ආර් ජයවර්ධන, රණසිංහ පේ‍්‍රමදාස, චන්ද්‍රිකා බණ්ඩාරනායක වගේ හැම ජනාධිපතිවරුන්ගේම කාලවලදී මම රූපවාහිනී සංස්ථාවේ සේවය කළා.


තාක්ෂණය එතරම් දියුණු නොවූ ඒ කාලයට වඩා අද තාක්ෂණය තිබෙන්නේ ඉතා ඉදිරියෙන්. ඒ වගේම අද ඒ තාක්ෂණය යොදාගෙන කරන නිර්මාණවල ගුණාත්මකභාවය ඔබ අද පේ‍්‍රක්ෂකයෙකු ලෙස දකින්නේ කොහොමද?


ඉස්සර ටෙලි නාට්‍යවල තිබුණු ගුණාත්මක බව අද නැහැ. මම හිතන්නේ වාණිජකරණය වීමත් එක්ක හැමෝම මේක කලාවක් හැටියට කරන්නේ නැහැ, මුදල් ඉපයීමයි අරමුණ වෙන්නේ. ඒ නිසා කලාකරුවන්ට වඩා දැන් හුඟක් ඉන්නේ මුදලාලිලා යි. ඒ අය හරයක් නැති මොනවා හරි ටිකක් පටිගත කරලා අමුණලා පෙන්වනවා. මම තෝරා බේරාගෙන බලන ටෙලිනාට්‍ය කීපයක් තියනවා.


රූපවාහිනිය කියන්නේ සමීප රූප මාධ්‍යයක් නේ. ඒකේ වැඩිපුර තියෙන්න ඕනෑ සමීප රූප. නමුත් දැන් විකාශනය වෙන ටෙලි නාට්‍යවල වැඩිපුර ලෝන්ග් ෂොට් එකක කැමරා එක ලොක් කරලා විනාඩි ගාණක සංවාද යනවා. සමහර වෙලාවට ෂොට්ස් හතරකින් එක කොටසක්ම ඉවර කරන ඒවාත් තියනවා. අඩු වියදමෙන් කරන නිෂ්පාදන තමයි ඒ විධියට කරන්නේ. ඒත් ඒ කාලයේ අද තරම් තාක්ෂණය දියුණු තත්ත්වයක නැතත් ලෝන්ග් ෂොට් එකක් වෙනම අරගෙන දෙබස් වලදී හැම ශිල්පියාගේම සමීප දර්ශන ගන්නවා. ඒවා සංස්කරණය කරන එකත් හරිම අපහසුයි. ඒ කාලයේ හැටියට රූපවාහිනියේ වැඩිම පිරිවැයක් යොදා කළ නාට්‍ය වුණේ ගම්පෙරළිය. ගම්පෙරළිය නාට්‍යයේ පටිගත කිරීම්වල මට මතක විධියට විනාඩි හැටේ කැසට් දෙසිය ගණනක් තිබුණා. මාස ගණනක් සංස්කරණය කළා. ඒ කාලයේ ටෙලි නාට්‍ය සම්පූර්ණයෙන්ම පටිගත කිරීම් අවසන් කරලා තමයි සංස්කරණය කරන්නේ. දැන් නම් සමහර ටෙලි නාට්‍ය ? පෙන්වන එක හවසත් සංස්කරණය කරන ඒවා තියනවා නේ.


රජයේ මාධ්‍ය කියන්නේ පවතින රජය වෙනුවෙන් පෙනී සිටින, බොහෝ විට ඒකපාර්ශ්වික ලෙස කටයුතු කරන මාධ්‍ය ආයතන බව අද බොහෝ දෙනා දන්නා කාරණයක්. ඒ කාලයේ තත්ත්වය ඊට වඩා වෙනස් ද නැත්නම් අද වගේම ද?


ඒ කාලයේත් රූපවාහිනියේ කටයුතු සිදුවුණේ රජයේ ප්‍රොපගැන්ඩා අනුවයි. ඒ කාලේ පෞද්ගලික මාධ්‍ය තිබුණේත් නැති නිසා රූපවාහිනියට ලොකු බලපෑමක් කරන්න පුළුවන්කම තිබුණා. දැන් නම් පෞද්ගලික මාධ්‍ය, සමාජ මාධ්‍ය තියන නිසා මිනිස්සුන්ට ඇත්ත දකින්න පුලූවන්කම තිබුණත් සමහර වෙලාවට මිනිස්සු ඇත්ත දකින්නේ නැහැ. නමුත් මොන ආණ්ඩුව යටතේ වුණත් මම රාජකාරිය කළා මිස පක්ෂග‍්‍රාහීව කටයුතු කරලා නැහැ. දේශපාලනය කරලා අපි රැුකියාව ලබා ගත්තේ නැහැ, උසස්වීම් ලබා ගත්තේ නැහැ. පක්ෂග‍්‍රාහීව කටයුතු කරන අයත් ඒ කාලයේත් හිටියා. ඒ කාලය තුළ රූපවාහිනී එකේ සිදුවන වෙනස්කම් අපි දැක්කා. තාක්ෂණය පැත්තෙන් සිදුවන වෙනසට වඩා පරිපාලන වෙනස ඉතා තදින් ආයතනයට බලපානවා. ඡුන්දයකදී ප‍්‍රතිඵල නිකුත් වන අතරතුරම දිනන පාර්ශ්වයේ අය ආයතනය තුළට ඇවිත් ආක‍්‍රමණය කරනවා. මොන ආණ්ඩුව ආවත් ඒවා සිදුවෙනවා. අපිට බලපෑමක් නොවුණත් නිෂ්පාදන අංශයේ අයට ඒවා බලපෑවා. ආණ්ඩු මාරුවෙද්දී ඒ අයත් මාරු වෙනවා. ඒක රූපවාහිනියේ මුල් කාලයේ ඉදලාම තවමත් තියනවා. ඒකේ මම වෙනසක් දැක්කේ නැහැ.


ඔබේ වෘත්තීය ජීවිතයේ අමතක නොවන අත්දැකීම් රාශියක් තිබෙන්න ඇති. ඉන් වඩාත් අමතක නොවූ සිදුවීමක් පිළිබඳ තිබෙන මතකය මොන වගේද?


ජේවීපී කලබල කාලයේ වැඩට ගියොත් මරණවා කියලා හැමදාම උදේ බලද්දී ගෙදරට ලියුම් දාලා තියනවා. මාධ්‍ය ආයතනවල වැඩ කළ අයට එහෙම ප‍්‍රශ්න තිබුණා. බිරිඳයි මමයි දෙන්නාම මාධ්‍ය ආයතනවල වැඩ කළ නිසා හැමදාම අපේ ගෙදරටත් එහෙම ලියුම් දාලා තිබුණා. දවසක් අපි හැමෝම කතාවෙලා තීරණයක් අරගෙන ආවා පහුවදා වැඩට යන්නේ නැහැ කියලා. හැමෝම ගෙවල්වල නොඉඳ වෙන තැන්වල ඉන්න තීරණය කරලා තිබුණා. අපිත් ගිහින් ඥාති ගෙදරක සුමානයක් විතර හිටියා. පස්සේ ගෙදරට ආව දවසේම එස්ටීඑෆ් එකෙන් ගෙදරට ඇවිත් කීවා අපිව රාජකාරියට ගේන්න කියලා නියෝග ලැබිලා තියනවා කියලා. පස්සේ මම ලෑස්තිවෙලා ජීප් එකට නැග්ගා. ඒකේ ආයුධත් තිබුණා. මට කීවා අනෙක් අය ඉන්න ගෙවල් පෙන්වන්න කියලා. ප‍්‍රවෘත්ති අංශයේ අය තමයි එහෙම එක්කගෙන ගියේ. සමහර අය එන්න බෑ කීවා. කොහොමහරි අපි එහෙම යද්දී රූපවාහිනී එකේ වැඩ කරන්න හමුදාවේ අය එවලා තිබුණා. අපිට කීවා වැඩ කරන්න ඕන නැහැ, හමුදාවේ අයට වැඩ කරන්න උදවු කරන්න කියලා. ප‍්‍රවෘත්ති ප‍්‍රකාශය කළේත් හමුදාවේ කෙනෙක්. අපිට ගෙදර යන්න ඕන නෑ, එතනම එහා පැත්තේ තියන රූපවාහිනී අභ්‍යාස ආයතනයේ සියලූ පහසුකම් ලබා දෙනවා, එතැන නතර වෙන්න කීවා. කෑම බීම සියල්ලත් සැපයුවා. එහෙම තමයි ඒ කාලයේ රූපවාහිනියේ කටයුතු අඛණ්ඩව ගෙන ගියේ. එහෙම ජීවිතය පරදුවට තියලා වැඩ කළ කාලයක් තිබුණා. නමුත් එහෙම කළ අපට අවසානයේ අසාධාරණ ලෙස ලියුම් කැබැල්ලක් මගින් වයස 55 සම්පූර්ණ වෙද්දීම විශ‍්‍රාම යැවීම සිදු කළා. අපිට වාහන ණය පවා දීලා තිබුණා වයස අවුරුදු හැටෙන් ගෙවී අවසන් වන විධියට. ඇගැයීමක් හෝ අපි වෙනුවෙන් වුණේ නැහැ. නමුත් අවසානයේ 55න් විශ‍්‍රාම යවලා ණයවල හිඟ මුදල් ගෙවා අවසන් නොකළොත් නඩු දාන බවටත් අපිට ලියුම් ආවා. කැපවීමෙන් වැඩ කළ මිනිස්සුන්ට අවසානයේ කළේ මෙහෙම නේද කියලා ඇත්තටම හරිම වේදනාවක් ඇති වුණා. නමුත් ඊට පස්සේ අයට සේවා දීර්ඝ කිරීම් සිදුවුණා.