දිනී ජයසේකර

හිඟුරාණ සීනි කර්මාන්තශාලාව සතු ඉඩම් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට බද්දට දීමෙන් පසු එම ආයතනය විසින් බද්දට දුන් ඉඩම් ප්‍රමාණයට වඩා ඉඩම් ප්‍රමාණයක් අයිති කර ගැනීමට යාම නිසා හිඟුරාණ ආශ්‍රිත ප්‍රදේශවල ජීවත් වන පවුල් එකසිය පනස් හතරක් නිවාස අහිමිව යෑමේ අවදානමකට ලක්ව සිටිති. එහෙත් තවමත් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් ඔවුන්ගේ ඉඩම් නීත්‍යනුකූලව තම අයිතිය යටතට පත් කරගෙන නොමැත. එබැවින් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් මේ වනවිට සියලු උත්සහයන් යොදන්නේ ඔවුන්ගේ නිවාස පිහිටි ඉඩම්ද තම මුක්තියට ගැනීමටය.


හිඟුරාණ සීනි ගල්ඔයට


හිඟුරාණ සීනි සමාගම වර්ෂ 1960 සිට 1992 දක්වා පැවති අතර එය 1992 දී හිඟුරාණ සීනි කර්මාන්තය විය. එසේ වර්ෂ 2000 වන තෙක් පැවතිණ. ඉන්පසු ආයතන ක්‍රියාවලිය නවත්වාලීම සඳහා සේවකයන්ට රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලකින් රුපියල් දෙලක්ෂ අසූ පන්දහසක් ගෙවා ඉතිරි මුදල පියවෙන සේ හිඟුරාණ සීනි කර්මාන්තය සතුව තිබූ නිවාස ලබා දී ඇත. නමුත් ඊට අවුරුදු නවයකට පසු එනම්, 2009 වර්ෂයේදී හිඟුරාණ සීනි කර්මාන්තශාලාව ප්‍රතිව්‍යුහගත කිරීම යන ශීර්ෂය යටතේ 2009.03.06 දින අමාත්‍ය මණ්ඩල සංදේශයක් ඉදිරිපත් කරමින් හිඟුරාණ සීනි කර්මාන්තශාලාව සතු හෙක්ටයාර් 277.7539 ක භූමි ප්‍රමාණයක් අවුරුදු තිහක බද්දකට යටත්ව ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම වෙත බදු දීමට අනුමැතිය ලබාදී ඇත. ඒ යටතේ බ්‍රවුන්ස් සමාගමත් ලංකා ඔරික්ස් ලීසිං සමාගමත් විය. එම සමාගම් කොටස් හිමිකාරීත්වය බෙදී යන ආකාරය දැක්වෙන පැහැදිලි සටහනක් 1.1 රූපයේ දක්වා ඇත.


1.1 රූපය


මෙහි විශේෂිතම කාරණය වන්නේ හිඟුරාණ සීනි කර්මාන්තයට රාජ්‍ය හිමිකාරීත්වය 51% තිබුණද ප්‍රධාන වශයෙන්ම ආයතන ක්‍රියාකාරීත්වය දරන්නේ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමවීමය. එහිදී රජය වැඩි හිමිකාරිත්වයක් දරන විට පුද්ගලික සමාගමක් ඊට මැදිහත් වී තම අභිමතාර්ථයන් වෙනුවෙන් කටයුතු කිරීමෙන් මහජනතාව අපහසුවට පත්වීම රජයක් අනුමත කරන්නේද යන්න ගැටලුවකි. ඒ සම්බන්ධව ගුරුවරයෙකු වූ චාමින්දගේ අදහස මෙසේය.

“වැඩි හිමිකාරීත්වය රජයට තිබුණට වැඩක් නැහැ. රජයත් එක්ක එකතු වෙලා තමයි ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම හවුලේ වැඩ කරන්නේ. නැත්නම් රජයට පුළුවන් වෙන්න එපෑ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම ගන්න තීරණවලට විරුද්ධ වෙන්න. රජය එහෙම මැදිහත් වෙන්නෙ නැහැ.”


සේවකයන්ට නිවාස ලබාදීම

2001.04.20 දින පාර්ලිමේන්තු නිවැරදි කිරීම් වාර්තාවක් නිකුත් කරමින් හිඟුරාණ සීනි කර්මාන්තය ආයතන ක්‍රියාවලියෙන් බැහැරවීමට ප්‍රථම ආයතනය සතු නිවාස පවරාදීම පිළිබඳ නිශ්චිත අදහසක් ඉදිරිපත් කර ඇත. ඒ මෙසේය.


“දැනට මෙම නිවාස පදිංචි සේවකයින්ට පවරා දිය යුතු අතර මෙම පවරාදීම් ජාතික නිවාස සංවර්ධන අධිකාරිය යටතේ කුලී සින්නක්කර ක්‍රමයට දිය යුතුය. මෙම පවරාදීම නීත්‍යනුකූලව කෙරෙන තුරු තාවකාලික පියවරක් ලෙස ගිවිසුම් අත්සන් කර සේවක වන්දි ගෙවීම ඉදිරියට ගෙන යා යුතුය.”


ඉහත වාර්තා සටහනට අනුව සේවකයන්ගේ වන්දි මුදලින් කොටසක් අයකර ගන්නා ලෙස සඳහනක් කර නොමැත. නමුත් ආයතනය සේවකයන්ගේ රුපියල් ලක්ෂ තුනක වන්දි මුදලින් රුපියල් පහළොස් දහසක මුදලක් ඉඩම් වෙනුවෙන් අය කරගෙන ඇත. එහිදී පැහැදිලි වන්නේ ආයතනය තමන්ගේ අත්තනෝමතික වැඩපිළිවෙළක් ගෙන ගොස් ඇති බව නොවේද? ඒ සම්බන්ධව කරලෑව ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වූ පී.ජී. රත්නසේකරගේ අදහස මෙසේය.
“2000 වර්ෂයේදී රුපියල් පහළොස් දහසක් කියන්නේ ඉතා විශාල මුදලක්. අපිට නිවාස දෙන කොට කීවා වන්දි මුදලින් රුපියල් පහළොස්දාහ කපනවා කියලා. එදා අපි ඒ ගැන ප්‍රශ්න කළේ නැහැ ඉන්න තැන් දුන්න නිසා. නමුත් දැන් අපිට ඉන්න තැනුත් අහිමි වේගෙන එන්නේ. එදා සේරම වන්දි මුදල අතට දීල නිවාස නොදුන්න නම් අපි මේ වෙනකොට කොහොම හරි ගෙවල් දොරවල් හදාගෙන.”


ඉහත සිද්ධි හමුවේ සියල්ලන් අතරමංකර අතහැරියා හා සමානය. එහිදී එකල ගිවිසුම් සහිතව පදිංචිවූවන්ට වර්තමානය වන විට ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් එම නිවාසවලින් ඉවත් වන ලෙස පවසා බලපෑම් කළ හැකිද යන්න ගැටලුවක් මතු වේ.


වරිපනම් අවුල


“අපිට නිවාස බාරදුන්න කාලෙ ඉඳන් අපි වරිපනම් ගෙව්වා. නමුත් 2016, 2017, 2018 අවුරුදුවලදි අපි වරිපනම් ගෙවන්න ගියාම දමන ප්‍රාදේශීය සභාවෙන් කීවේ අපේ වරිපනම් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමෙන් ගෙවා ඇති බවයි. එතකොට අපිට පැන නැඟුණ ප්‍රශ්න තමයි ඇයි ගල්ඔයෙන් අපේ වරිපනම් ගෙව්වෙ කියන එක. අපි ඒක ප්‍රශ්න කළාට අපිට පිළිතුරක් ලැබුණෙ නැහැ. ඒ ගෙවපු නිවාස අංක තමයි G/JSQ/U/MMLQ/MJSQ/AMMQ කියන ඒවා.” JSQ නිවසක පදිංචිව සිටින ඒ.කේ. නුවන් පැවසීය.

2016 අංක 01 දරන තොරතුරු දැනගැනීමේ පනත යටතේ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට ඉහත නිවාස සඳහා වරිපනම් ගෙවීමට හැකියාවක් ඇතිද යන්න විමසා දමන ප්‍රාදේශීය සභාවට යොමු කළ ලිපිය අනුව ඔවුන් පිළිතුරු ලෙස යොමු කර ඇත්තේ “ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම විසින් වරිපනම් බදු ගෙවීම සඳහා අයිතිය සනාථ කිරීමට ලිපි ලේඛන ඉදිරිපත් කර නොමැත” යන්නය.


1982 අංක 17 දරන සමාගම් පනත යටතේ සියලු වත්කම් සහ දේපළ සී/ස හිඟුරාණ සීනි කර්මාන්තය සතු වේ. රාජ්‍ය ව්‍යාපාර දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් නිකුත් කර ඇති බදු ගිවිසුම ප්‍රකාරව ගල්ඔය වැවිලි සමාගම වෙත පැවරීම් කර ඇත්තේ සීනි කම්හල, වැඩ බිම් සහ වගාවට අයත් හෙක්ටයාර් 277.7539ක ඉඩම් ප්‍රමාණය පමණි. එසේ පැවරීම් කර ඇත්තේද බදු ගිවිසුමකට යටත්ව මිස සින්නක්කර අයිතියකට නොවන බවද කිව යුතුය. එබැවින් ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට සේවකයන්ගේ නිවාස සංකීර්ණයේ ඇති නිවාස සම්බන්ධයෙන් හිමිකම් පෑමට කිසිදු නීතිමය අයිතියක් නොමැති බව අදාළ ලිපිගොනු කියවීමේදී අපට පැහැදිලි විය. එසේනම් ගැටලුව වන්නේ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම නිවාස සඳහා වරිපනම් ගෙවීමේ යටි අරමුණ කුමක්ද යන්නය. එහිදී සමස්ත කරුණු ගෙන විග්‍රහ කරන විට අපට නිගමනය කළ හැක්කේ අවුරුදු තිහක බද්දට යටත් වූ හෙක්ටයාර් 277.7539ට අමතරව සේවකයන්ගේ නිවාස සංකීර්ණයද තම යටතට ගැනීමේ අරමුණක කොටසක් ලෙසය.


ඉඩම් කොල්ලය


ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට හිඟුරාණ සීනි කර්මාන්තශාලාව සතු හෙක්ටයාර් 277.7539ක භූමි ප්‍රමාණයක් අවුරුදු තිහක බද්දකට යටත්ව ලබා දුන් බව මීට ඉහතදී අප පැවසුවෙමු. වර්තමානය වන විට ඔවුහු හෙක්ටයාර් 303ක් පාවිච්චි කරති. ඊට අමතරව හෙක්ටයාර් 317ක් දක්වා දීර්ඝ කර ගැනීමටද ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම යම් උත්සහයක නිරත වන්නේය. ඔවුන් අලුතෙන් හෙක්ටයාර් 39.2461 දැනට බද්දට යටත් 277.7539ට එකතු කර ගැනීමට මාන බලන්නේ අමාත්‍ය සංදේශයද නොසලකා හරිමිනි. එහිදී අවධානය යොමු කළ යුතු ප්‍රධානම කරුණ වන්නේ ගල්ඔය අලුතෙන් ඈඳා ගැනීමට උත්සාහ කරන හෙක්ටයාර් 39.2461ක ඉඩම් ප්‍රමාණයේ, 2000 වර්ෂයේ ගිවිසුම් සහගතව සේවකයන්ට ලබා දුන් නිවාස සංකීර්ණය පිහිටා තිබීමයි.


හෙක්ටයාර් 39.2461න් හෙක්ටයාර් 17.3950ක් ලබාගැනීම සදහා ලිපිගොනු සකසා ඇත්තේ කුප්‍රකට අයුරිනි. සාමාන්‍ය ක්‍රමවේදය අනුව ඉඩම් බදුදීම නිර්දේශ කිරීමේදී ප්‍රාදේශීය ලේකම් විසින් ඉඩම් කොමසාරිස් වෙත තත්ව වාර්තාවක් ඉදිරිපත් කළ යුතුය. එහිදී දමන ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ කරලෑව ජනපදයේ හෙක්ටයාර් 17.3950ක තත්ව වාර්තාව අනුව ඉඩමේ මුළු ප්‍රමාණය හෙක්ටයාර් 17.3950කි. එළි කර ඇති ප්‍රමාණයද හෙක්ටයාර් 17.3950කි. මුල් ගලවා ඇති ප්‍රමාණයද හෙක්ටයාර් 17.3950කි. බිම් සකසා ඇති (ලෙවල් කර) ප්‍රමාණයද හෙක්ටයාර් 17.3950කි. එම තත්ත්ව වාර්තාවට අනුව කරලෑව කාන්තාර ප්‍රදේශයකි. නමුත් අප කරලෑව ප්‍රදේශයට පිවිසි විට එහි නිවාස, වෘක්ෂලතා සහ වගා බිම් ඇති බව දැක ගත්තෙමු. අවාසනාවට ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමට කරලෑව ගම්මානයේ නිවාස පෙනෙන්නේ නැතිය. ගස් ගල් පෙනෙන්නේද නැතිය. අගතියට පත් නිවාස හිමියන්ගේ අවසාන හැඟීම ලෙස ඔවුන් පැවසුවේ ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ හිමිකරුවන් සේම ප්‍රාදේශීය ලේකම් ද අන්ධ බවය.


“මම කලින් වැඩ කළේ හිඟුරාණ සීනි කර්මාන්ත ආයතනයේ. 2000න් පස්සෙ අපිට අයින් වෙන්න වුණාම මම පස්සෙ ප්‍රාදේශීය ලේකම් කාර්යාලයෙ වැඩට ගියාය. මම දැනුවත්ව ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම ඔවුන්ට අයත් හෙක්ටයාර් 277.7539ට අමතරව වැඩි ගණනක් යොදාගෙන ලිපිගොනු වගයක් ගෙනාවා අත්සන් කරන්න. ඒත් ඔවුන්ට ඒක එදා අත්සන් කරගන්න බැරි වුණා.” නිවැසියකු වූ ශ්‍රියාලතා පැවසුවාය.


උක්ත කරුණු සියල්ල පෙළගැස්වූ පසු ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ ප්‍රධාන අරමුණ ජනතාව දැනට පදිංචිව සිටින නිවාසද තමන් යටතට පත්කර ගැනීමටය. ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම එවැනි උත්සාහයක යෙදෙන්නේ දැනට ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම පාඩු ලබමින් ආයතන ක්‍රියාවලියේ යෙදෙන නිසා බැංකු ණයකරයකට යෑමේ අභිමතාර්ථයෙන් බව ප්‍රදේශවාසීන් අතර ප්‍රසිද්ධ රහසකි. නමුත් ඔවුන් එසේ උත්සහ කළද තවම ඔවුන්ට එම ඉඩම්වල අයිතිය ලැබී නොමැත. එසේනම්, එවැනි වටපිටාවක නිවැසියන්ට නිවාසවලින් ඉවත් වන ලෙස පැවසීම සම්බන්ධව ඇත්තේ ගැටලුවකි.


“2000න් පස්සෙ මගේ මහත්තයට නැවත ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ වැඩ කරන්න ලැබුණා. ගෙවල් ගන්න හදන ප්‍රශ්නෙ ඇතුළෙ වැඩ කරන අයටත් තියෙනවා. නමුත් ඒවා ගැන කතා කරන්න අපිට විදියක් නැහැ. වෘත්තීය සමිතියක්වත් හදන්න අපට අවසර නැහැ. එහෙම වෘත්තීය සමිති නිර්මාණය කරන්න ගිය පස්හය දෙනෙක්ව සේවයෙන් අස් කළා. ආයතනයට විරුද්ධව එක වචනයක් හරි කීවොත් අපිට ගෙදර යන්න වෙන්නේ. ඒ නිසා මේ ගැන කවුරුත් කතාකරන්නෙ නැහැ.” පබසරා කරුණාරත්න පැවසුවාය.


නිවාස අලුත්වැඩියාව


“ආයතන සේවකයන්ට ශ්‍රේණියෙන් ශ්‍රේණියට දෙන නිවාස ටිකක් වෙනස්. මම හිටියෙ න්‍ීූ නිවසකයි. අපිට මේ නිවාස බාරදෙද්දි කරන්ට්, වතුර, සනීපාරක්ෂක පහසුකම් කිසිම දෙයක් තිබුණෙ නැහැ. අපි ආවට පස්සෙ තමයි ඒ සේරම අලුත්වැඩියා කර ගත්තේ. ගිවිසුමේ තිබුණෙ කිසිම දෙයක් කරන්න එපා කියලා. නමුත් අපිට ඒ ගෙවල්වල ඉන්න පුළුවන් තත්ත්වයක් තිබුණෙ නැහැ. ඒ නිසා අපි ආයතනය දැනුවත් කරලා නිවාස අලුත්වැඩියා කර ගත්තා.” න්‍ීූ නිවසේ පදිංචිකරුවෙකු වූ ඒ.කේ. ආරියදාස අප සමග පැවසීය.


ආරියදාසගේ හඬ මගහැරෙනවාත් සමගම විල්සන් වීරසිංහ කතාවට එක් විණි.
“මම මේ ගෙදරට ඇවිත් අවුරුදු විසිපහකටත් වඩා වැඩියි. මම වැඩ කරන කාලෙත් මේ නිවසෙමයි හිටියේ. ඒ නිසා අවසානයෙදි මට මේ නිවසම ලැබුණා. අපි මේ ගෙවල් අලුත්වැඩියා කරගෙන හිටපු නිසා මේවා විනාශ නොවී තියෙනවා. සීනි ෆැක්ටි්‍රය වැඩ කාලෙ බාර් එකක් තිබ්බා ඉහල තලවල ඉන්න අයට යන්න. ඒ බාර් එකේ බිත්ති ටික විතරයි තියෙන්නේ දැන්. අපි නොහිටියනම් මේ ගෙවල් ටිකටත් වෙන්නෙ ඒකම තමා. අපි හිටිය නිසා කරන්ට් එක ගත්තා, වතුර ලයින් හදාගත්තා, පාරවල් කොන්ක්‍රීට් කරව ගත්තා. මේ හැම දෙයක්ම කරව ගත්තෙ අපි හිටිය නිසා. නමුත් එදා අපිට වන්දි දීලා යන්න කීව නම් අපි නිවාස බලාපොරොත්තු වෙන්නෙ නැහැ. වන්දි අරන් යනවා. එහෙම හිටපු නිසා තමයි දැන් අපිට මේ ගෙවල්වලින් යන්න වෙලා තියෙන්නේ. ඇත්තටම දැන් මගේ වයසත් එක්ක රස්සාවක් කරන්න බැහැ. එහෙම තියෙද්දි කොහෙ ගිහින් ඉන්නද අපි?”


“අපි දැන් අවුරුදු විසි හතරක කාලයක් තිස්සේ මේ නිවසෙ ඉන්නේ. අලුත්වැඩියා කරගන්නවත් මට වත්කමක් තිබුණේ නැහැ. කුලී රස්සා කරලයි එදා ඉඳන් ජීවත් වෙන්නේ. ඒ නිසා ගේ තිබුණු විදියටම තිබෙනවා. මගේ දරුවා අබාධිතයි. එයාගෙ වැඩ කරල බෙහෙත් අරගෙන ඉවරවෙද්දි හම්බෙන මුදලත් ඉවරයි. ඉතින් එහෙම අවස්ථාවක එකපාර අපිට ගෙවල්වලින් යන්න කීවොත් ඇති වෙන හැඟීම විස්තර කරන්නෙ කොහොමද අපි?” දෑස් මත කඳුළු පිසලමින් ඉන්ද්‍රානි දසනායක අප සමග පැවසුවාය.


ඔවුන් මේ වන තෙක් තම නිවාස වෙනුවෙන් වැය කළ සියල්ල ගඟට කැපූ ඉනි සේ වීමට ඉඩ නොහැරිය යුතුය. මන්ද ගල්ඔය වැවිලි පුද්ගලික සමාගම අත්තනෝමතික ලෙස ඉඩම් අත්පත් කර ගැනීමට දරන උත්සහය සම්බන්ධව වගකිව යුතු ආයතන විසින් අවධානය යොමු කරමින් නිවැසියන්ගේ ගැටලුවද නිරාකරණය කළ යුතු යැයි අප සිතන්නෙමු.


ගල්ඔය වැවිලි පුද්ගලික සමාගමේ
ප්‍රධාන විධායක නිලධාරී සුරාජ් පෙරේරා

“අපි කටයුතු කරන්නෙ අපිට බදු දුන්න හෙක්ටයාර් 277.7539 පිළිබඳව විතරයි. ඊට අමතරව අපි වෙන ඉඩම් ගන්න සැලසුමක් නැහැ. ආයතනයේ නිල නිවාසවල වගකීම තියෙන්නෙ රජයට. අපි ඒවට මැදිහත් වෙන්න යන්නෙත් නැහැ.”