මෙරට ගව ඝාතනය සපුරා තහනම් කිරීමට ඇමති මණ්ඩල රැස්වීමෙහි තීන්දු කළ බැව් ඉකුත් 29 වන අඟහරුවාදා වාර්තා විය. ඊට ඉහතින් අගමැති විසින් එය යෝජනාවක් ලෙස සැප්තැම්බර් 08 වන දින පොදු පෙරමුණ පාර්ලිමේන්තු කණ්ඩායම් රැස්වීමෙහිදී ඉදිරිපත් කරනු ලැබ සියල්ලෝම ඊට එකඟ වූහ. එහෙත් ඊට පසු මාධ්‍ය ප්‍රකාශක කෙහෙළිය රඹුක්වැල්ල ඇමතිවරයා මාධ්‍ය සමග කියූවේ අදාළ පාර්ශ්ව සමග සාකච්ඡා කර තීන්දුවක් ගැනීමට එය මසකින් කල් තැබූ බවය.


අදාළ පාර්ශ්ව කවරේද හෝ ඔවුන් සමග සාකච්ඡා කෙරුණේදැයි නොදනිමි. නමුත් ගව ඝාතන තහනම් කිරීම සඳහා පසුගිය ඇමති මණ්ඩල රැස්වීමට අගමැති මහින්ද රාජපක්ෂ ඉදිරිපත් කර අනුමත කෙරුණු යෝජනාවට අනුව, 1893 අංක 09 දරන ගව ඝාතන ආඥා පනතත් 1958 අංක 29 දරන සත්ව පාලන පනතත් පළාත් පාලන ආයතන විසින් විටින් විට ගව ඝාතනය සම්බන්ධයෙන් සම්මත කරගනු ලැබූ නීති රෙගුලාසි ආදියත් රට පුරා ගව ඝාතනය සපුරා තහනම් කිරීමට අවශ්‍ය ලෙස වහා සංශෝධනය කිරීමට පියවර ගනු ඇත. එලෙසින්ම ගව මස් කෑමට රුචි පුද්ගලයින්ට අවාසියක් නොවන්නට ගව මස් අවශ්‍ය පරිදි ආනයනය කිරීමටත් ඒවා පහසු මිලකට අලෙවි කිරීමටත් පියවර ගනු ඇත. ඒ සමග, වයසට යන ඵලදායිතාවක් නොමැති ගවයින් නඩත්තු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමටත් ඇමති මණ්ඩල අනුමැතිය ලැබිණ.
ඉන්දියාවේ ගවයින්ට සැලකෙන්නේ දෙවිවරුන්ට මෙනි. බිහාරයේ බිර්නාත් දෙවියා වැඳ පුදන්නේ ගවයින් ආරක්ෂා කර ගැනීමට පමණක් නොව, ගවයින්ගෙන් වැඩි කිරි ඵලදාවක්ද ලබා ගැනීමට ය. දකුණු ඉන්දියාවේ හින්දු භක්තිකයින්ගේ අලුත් අස්වනු එකතු කිරීම හා සෞභාග්‍ය වෙනුවෙන් පවත්වන සිව්දින පොංගල් උත්සවයේ තෙවන දිනය වෙන් වන්නේ “මාඩු” (ගවයා) පොංගල් ලෙස ගවයින් පිදීමටය. එහිදී ගවයින්ට පොට්ටු තබා, අං පාට කර, සායම් තවරා, මල් මාල පළඳවා පොංගල්ද කවති.


ඉන්දියාවේ මධ්‍යම ආණ්ඩුව ගව ඝාතනය තහනම් කර නැත. නමුත් ගව ඝාතනය සම්බන්ධයෙන් නීති පැනවීමේ අයිතිය ප්‍රාන්ත ආණ්ඩුවලට ලබාදී ඇත. ඉන්දියාවේ ප්‍රාන්ත 28 න් 20 ක ගව ඝාතනය සඳහා කොන්දේසි පනවා ඇත. ඉන්දියානු උතුරු-නැගෙනහිර ප්‍රාන්ත 07න් 06ක් සමග කේරළ හා බටහිර බෙංගාලය ගව ඝාතනයට කොන්දේසි පනවා නොමැත. බොහෝ ප්‍රාන්තවල කිරි එළදෙනුන්, වස්සන් හා වැස්සියන්, කරත්ත බඳින ගවයින් ඝාතනය තහනම් කර ඇත. ඵලදායිතාවක් නොමැති ගවයින්ගේ වයස අවුරුදු 10 සිට 15 දක්වා අතර අවමයකට එක් එක් ප්‍රාන්තවල ක්‍රියාත්මක කෙරෙන සීමාවන්ය. එවන් කොන්දේසිවලට යටත්ව ඒ ප්‍රාන්තවලද “ඝාතනය සඳහා සුදුසු” යැයි ගව ඝාතනය සඳහා අවසර පත් ලබා ගත හැකිය.


එවැනි ඉන්දියාවක් ඔවුන්ගේ 2020 මාර්තුවේ අවසන් වූ පසුගිය මුදල් වර්ෂයේදී ගව මස් මෙටි්‍රක් ටොන් 11,52,547ක් අපනයනය කර තිබිණ. ඊට පෙර මුදල් වර්ෂයේ එය මෙටි්‍රක් ටොන් 12,36,638ක් විය. පසුගිය මුදල් වර්ෂයේදී ඉන්දියාවෙන් ගව මස් මිලට ගත් ප්‍රධාන රටවල් 05 වූයේ වියට්නාමය (ඇ.ඩො 1,058.68), මලයාසියාව (ඇ.ඩො 375.92), ඊජිප්තුව (ඇ.ඩො 334.06), ඉන්දුනීසියාව (ඇ.ඩො 230.39) සහ ඉරාකය (ඇ.ඩො 169.67) වන්නේය.
ගව ඝාතනය ක්‍රියාත්මක කිරීමට අපේ රටේ නීති සම්මත කෙරෙන්නේ ඉන්දියාවේ මෙන් සීමා තහංචි සහ කොන්දේසි ඇතිව නොවේ. ඵලදායිතාවක් නොමැති එළදෙනුන් හා ගවයින් ඉන්දියාවේ මෙන් ඝාතනය කිරීමට “ඝාතනය සඳහා සුදුසු” යැයි අවසර පත් ලබා ගැනීමටද අපේ රටේ නොහැකි වනු ඇත. ඒ අනුව අගමැති රාජපක්ෂගේ යෝජනාව වන්නේ “වැඩිහිටි නිවාස” නඩත්තුව මෙන් එවැනි සතුන් නඩත්තු කිරීමේ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කිරීමය. එහි ආර්ථික බර බාරගත යුත්තේ කවුරුන්ද කෙසේද යන්න පැහැදිලි නැත.


නීති සම්මත කෙරුණහොත් ලබන වසරේ සිට මේ ගව ඝාතන තහනම ග්‍රාමීය දුප්පත්කමට බලපානු ඇත්තේ කෙසේද? අපේ රටේ දැනට ඇති දත්ත හා සං්‍යාලේඛනවලට අනුව, 2017 දී ගව ගහණය වූයේ මිලියන 1.39කි. ඉන් කිරි එළදෙනුන් වූයේ 3,98,608 කි. ඊට අමතරව වැස්සියන් 1,70,816 ක් සහ වස්සන් 1,57,528 ක් වූහ. “වෙනත්” යැයි නම් වන ඵලදායිතාවක් නොමැති වයසට ගිය ගව සංඛ්‍යාව 1,65,160 ක් විය. (සත්ව පාලන සංඛ්‍යා ලේඛන වාර්තාව 2017 – සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව) මේ ගව ගහණය කලින් වසරට වඩා සියයට 02 ක වර්ධනයක් පෙන්නුම් කරන්නේය.


ගව ඝාතනය තහනම් වූ පසු, ඵලදායිතාවක් නොමැති වයසට යන ගවයින් සංඛ්‍යාව වාර්ෂිකව ඉහළ යනු ඇත. එයද සියයට 02 ක පමණ වර්ධනයක් විය හැක. එහෙත් විශේෂයෙන් ග්‍රාමීය සිංහල-බෞද්ධ සමාජයෙහි ආදායමක් ලැබීමට කලක් හවුල් කරගත් සත්වයෙක් වයසට ගිය පසු බඩගින්නේ මැරෙන තෙක් අතහැර දමන්නට සමාජ වටිනාකම් හා බැඳීම් ඉඩ දෙන්නේ නැත. ගමේ දුප්පත්කම හා ගව ඝාතන තහනම අතර ප්‍රතිවිරෝධය මතු වන්නේ එතැනින් ය.


විවෘතව මුස්ලිම් විරෝධි පැහැයක් හැඩයක් නොවුණාට, ගව ඝාතන විරෝධය ආරම්භ වූයේ මීට දශක 03 ටත් ඉහතින් මුස්ලිම් වෙළෙඳුන්ට විරුද්ධ ව්‍යාපාරයක් වශයෙනි. ගව මස් කෑමෙන් වැළකීම මූලික කරගෙන ගව ඝාතන විරෝධය සිංහල-බෞද්ධ සමාජයෙහි දියත් වූයේ මුස්ලිම් වෙළෙඳාමට එරෙහිවය. ගව මස් පරිභෝජනය 2017 වන විට, කලින් අවුරුද්දට වඩා සියයට 06 කින් අඩුව තිබිණැයි “සත්ව පාලන සංඛ්‍යා ලේඛන වාර්තාව- 2017” පෙන්වන්නේය. ගව ඝාතනය හා ගව මස් වෙළෙඳාම මුළුමනින්ම වාගේ මුස්ලිම් වෙළෙඳුන් අත තිබෙන ව්‍යාපාරයකි. එහෙත් ඔවුහු ගව පාලනයේ නිරත නොවන්නාහ. ඔවුන් ඉන්නේ එළුවන් පාලනයෙහි ය. ගව පාලනය සිංහල-බෞද්ධ ග්‍රාමීය සමාජයේ සහ උතුරේ විශේෂයෙන් වන්නියේ දෙමළ හින්දු සමාජයෙහි අමතර ආදායමක් හොයා ගන්නා පුද්ගලවාදී ජීවනෝපායකි. පසු කාලයේ කන්ද උඩරට වැවිලිකරයේ කම්කරු පවුල්ද අමතර ආදායමක් සඳහා ගව පාලනයට එකතුව ඇත.
එනමුත් ගව පාලනයට අවශ්‍ය තණබිම් වර්ධනය කිරීමක් නොවුණි. මෙරට ස්වාභාවික තණ බිම් පිළිබඳව කෙරුණු ක්ෂේත්‍ර අධ්‍යයනයන්ද ඉතාම අල්පය. මීට අවුරුදු 17ට පමණ ඉහතින් පේරාදෙනිය විශ්වවිද්‍යාලයයේ පශු වෛද්‍ය හා කෘෂි විද්‍යා පීඨවල ආචාර්යවරුන් කිහිප දෙනකු 2003 දී කළ එවැනි අධ්‍යයනයකට අනුව, ගවයින් වෙනුවෙන් යොදා ගැනෙන ස්වාභාවික තණ බිම් අතුරින් ඌව සානුවෙහි වියළි පතන් භාවිතය පහළ මට්ටමක තිබෙන්නකි. කන්ද උඩරට තෙත් බිම් පතන්, භාවිත නොවන තරම් ය. බිබිල, මොණරාගල පහත් බිම් තණ පිට්ටනි ගවයින් සඳහා ඉතා ඉහළ භාවිතයක් පෙන්වති. ඒ වගේම පොළොන්නරුව, මනම්පිටිය, තමන්කඩුව, මාදුරුඔය වැනි ප්‍රදේශවල විල්ලුද ඉහළ භාවිතයක් පෙන්වන්නේය. දමන, ඉඟිනියාගල, අම්පාර ප්‍රදේශවල වියළි තණ බිම්ද විශාල ලෙස භාවිත වේ. කළුතර, ගාල්ල, මාතර පහත් බිම් තෙත් කලාපීය තණ භූමිද එලෙසින්ම ඉහළ භාවිතයක් සහිත ය. අවාසනාවකට ඔවුන්ගේ අධ්‍යයනයෙන් වන්නිකරය අධ්‍යයනය කෙරුණු බවක් නොපෙනේ.


දේශීය කිරි නිෂ්පාදනය ගැන කතා කළද කිසිදු ආණ්ඩුවක් වාණිජ මට්ටමෙන් ගව පාලනය දියුණු කිරීමට අවශ්‍ය තෘණ බිම් වගාව සැලසුම් කර නැත. ගවයින් ගාල්කර පාලනය කිරීම හෝ ගව ගාල් යාබද තෘණ වගා බිම්වලට උන් මුදා හැරීමට හැකි සැලසුම් නැත.


එබැවින් තෘණ භූමි භාවිතය පිළිබඳ කතාවෙන් කියන්නේ මෙරට ගව පාලනය සංවිධානාත්මක වාණිජ මට්ටමේ ගව පාලනයක් නොවන බවය. කුඩා නගරවල හන්දි ගානේ නිදැල්ලේ යන එන ගවයින් දැකිය හැක්කේ එබැවිනි. “සත්ව පාලන සංඛ්‍යා ලේඛන වාර්තාව – 2017” හි දත්තවලට අනුව මෙරට අර්ධ වශයෙන් ගාල් කෙරෙන ගව ගහණය සෑම පළාතකම ඉතාම ඉහළ ප්‍රතිශතය වන අතර, පූර්ණ ලෙස ගාල්කර කෙරෙන ගව පාලනය සියයට 42 ක්ව ඇත්තේ කන්ද උඩරට පමණය. එයට හේතුවක් විය හැක්කේ තේ වැවිලිකරයේ ගවයින් නිදැල්ලේ හැර දැමීමට ඇති අපහසුතා විය යුතු ය. අනෙක් සියලු පළාත්හි පූර්ණ ගාල් කිරීම සියයට 13 ට වඩා අඩු ය. එම වාර්තාවෙහි සඳහන් වන අයුරු, “ශ්‍රී ලංකාවේ ගව පාලනය තවමත් ග්‍රාමීය ජීවනෝපායේ අංගයකි. ඒ සඳහා යොදා ගැනෙන්නේ මිල නොවන ශ්‍රමය සහ අවභාවිතයේ ඇති අතුරු කෘෂි නිෂ්පාදන හා නිශ්චිතව වගා නෙකෙරෙන ඉඩම් ය.”


මෙරට ග්‍රාමීය සමාජයේ ගව පාලනයෙහි ඉන්දීය ගව පාලනයට වඩා වෙනසක් ඇත. ඉන්දියාවේ ගව පාලනයෙහි මී ගොනුන්ද වැදගත් කොටසකි. කෘෂිකාර්මික ශ්‍රමය වෙනුවෙන් යොදා ගැනීමට අමතරව, ඉන්දියානු ගව මස් අපනයනයෙහි වැඩි ප්‍රතිශතය වන්නේ මී ගොනුන්ගේ මස් ය. අපේ රටේ ගව පාලනයෙහි මී ගොනුන් එලෙසින් ඇතුළු නොවේ. අපගේ ගව පාලනය ප්‍රධාන වශයෙන් එළ ගවයන් මත තිබෙන්නකි. එය අතුරු ආර්ථික ක්‍රියාවලියක් වූයේ කිරි අලෙවිය නිසාම නොවේ. සාමාන්‍යයෙන් කිරි ගවයින් දෙතුන් දෙනෙකු ගෙදරක නඩත්තු කෙරුණේ ඕනෑම හදිස්සියකදී පහසුවෙන් මුදල් කළ හැකි වත්කමක්ද වශයෙනි. කොරෝනා වසංගතයට පෙර හදිසි මුදල් අවශ්‍යතාවකට, මඟුල් ගෙදරකට, ණයක් පියවීමට පොල් ත්‍රිකෝණයේ සාමාන්‍ය ගවයකු අලෙවි කෙරුණේ රුපියල් ලක්ෂයකට වැඩි මුදලකටය. ග්‍රාමීය සමාජයේ එබැවින් කිරි එළදෙනකු යනු දෛනිකව කිරිවලින් මුදලක් ඉපැයීමට අමතරව, හදිසියකදී මුදල් කළ හැකි ආයෝජනයක්ද වන්නකි. වස්සන් නිශ්චිතවම එවැනිම ආදායමක් ගෙනෙන්නේ ප්‍රවාහනයට යොදා නොගන්නේ නම්, උන්ව නඩත්තු කිරීම අමතර අනවශ්‍ය වියදමක් ලෙස සැලකෙන හෙයිනි. වයසට ගිය ගවයින් ගණන් හැදෙන්නේද එලෙසින්මය. සිංහල-බෞද්ධ ගැමියාට මුස්ලිම් ව්‍යාපාරිකයින් වැදගත් වන්නේ එතැනදීය.


අවසන් විග්‍රහයේදී වැඩිම අපහසුතාවකට පත්වන්නේ ගව මස් වෙළෙඳාමේ යෙදෙන මුස්ලිම් ව්‍යාපාරිකයා නොව, ගමේ දුප්පතා ය. වෙළෙඳුන් එක් ව්‍යාපාරයක් නැති නම් තවකකට මාරුවනු ඇත. එහෙත් ඵලදායිතාවක් නොමැති ගවයින් නඩත්තු කරන්නට සිදුවන ගැමියනට විකල්පයක් නැත. ගමේ ඵලදායිතාවක් නොමැති ගවයින් සංඛ්‍යාව ඉහළ යන විට, ග්‍රාමීය සුළු අපරාධද වැඩි වනු ඇත. තවමත් අසංවිධානාත්මක පුද්ගල මට්ටමින් පවතින ග්‍රාමීය ගව පාලනයට ගව ඝාතන තහනම විසින් එකතු කරනුයේ ඔරොත්තු නොදෙන බරකි. එබැවින් ග්‍රාමීය ජීවනෝපායක් ලෙස පවතින ගව පාලනය බරපතළ ලෙස අර්බුදයට යවන්නට එය හේතුවිය හැක. ග්‍රාමීය දුප්පත්කම ඉහළ යාමට එය තවත් එක් කාරණාවක් විය හැක.
කුසල් පෙරේරා

1 COMMENT

  1. මෙය ඉතාමත් සමබර වාර්තාවක්. මෙහිදී සඳහන් නොවු කරුණු ඇත. ඒවා නම් සම් භාණ්ඩ සම්බන්ධ කර්මාන්ත. ඒ් අයට සිදුවන ඉරණම කුමක් ද? ඒ්වා ද පිටරටින් ආනයන කරනවාද? විදේශ විනිමයේ හිඟයක් තිබෙන මේ මොහොතේ තවත් අමතර බරක් ඔිනද? මස් වෙළඳා‌මේ නිරතවෙන්නේ මුස්ලිම් අය වුනාට, ඒ්වායේ ටෙන්ඩර් ගන්නේ මුස්ලිම් නොවන අයයි. මෙය කවුරුත් දන්නා රහසකි. කොළඹ අවට ප්‍රාදේශයේ මස් කඩ 13න්, 10ක්ම ටෙන්ඩර් අරන් තිබෙන්න‌ේ මුස්ලිම් නොවන අයයි. නමුත් වෙළඳාම කරන්නේ මුස්ලිම් අයයි. මේ විස්තර නොදන්නා තරමට මහින්ද මහත්තයා අඥානයෙකු නොවේ. හින්දු ආගමේ ගව මස් නොකෑමට තවත් හේතුවක් ඇත. එනම් සිවා දෙවියාගේ වාහනය එළ දෙනාය. මී හරකා යම රජුගේ වාහනය වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here