නිමල් අබේසිංහ

දේශපාලන හෙන්චයියන්ට ඇති පදම් ගසා කෑමට හෝ දේශපාලන හෙන්චයියන් හරහා සිය මඩිය තරකර ගැනීමට යොදාගෙන ඇති අපූරු උප්පරවැට්ටියක් තිබේ. ඒ කුමන හෝ ප්‍රජා සංවර්ධන සමිතියකට ටෙන්ඩර් කිරීමකින් තොරව කිසියම් කොන්ත්‍රාත්තුවක් ලබාදී එම සමිතියේ කොන්ත්‍රාත්තුව උප කොන්ත්‍රාත්තුවක් මගින් තමන්ට ඇවැසි පුද්ගලයාට ලබාගැනීමය.


මේ ක්‍රමයේ ප්‍රෝඩාවක් අඹගමුව (ගිනිගත්හේන) ප්‍රාදේශීය සභා බලප්‍රදේශයේ වටවල මවුන්ජින් වත්තේ සිදුවෙන බව පෙනේ. එය ලෙහෙසි පහසු සෙල්ලමක් නොව මහා පරිමාණයේ මැණික් ගැරීමේ ජාවාරමකි. මැණික් ගැරීමට ඉඩ අවසර ලබාදී ඇති භූමි ප්‍රමාණය පර්චස් 40කි. මෙවැනි බිම්කඩක් ටෙන්ඩර් මගින් ලබාගන්නේ නම් ආයෝජකයා කොපමණ විශාල මුදලක් වැය කළ යුතුද යන්න මැණික් ක්ෂේත්‍රය පිළිබඳ හොඳටම දන්නෝ දනිති.


ප්‍රධානම ගැටලුව නම් මැණික් ගැරීම සඳහා අවසර ලබා ගත යුතු ප්‍රධානම ආයතනයක් වන ප්‍රාදේශීය සභාවෙන් අවසර ලබා නොගෙන මැණික් ගැරීම සිදු කරගෙන යාමය. එය එසේ මෙසේ බලපුළුවන්කාරයෙකුට මිසෙක සාමාන්‍ය අයෙකුට කළ හැක්කක් නොවේ.


මෙවැනි කාර්යයකදී කුමන ආයතනවලින් අවසරය /බලපත්‍ර ලබාගත්තද අවසානාත්මක වශයෙන් බලප්‍රදේශය අයත් ප්‍රාදේශීය සභාවෙන් අනිවාර්යයෙන්ම බලපත්‍රයක් ලබාගත යුතුමය.

(ගිනිගත්හෙන) අඹගමුව ප්‍රාදේශීය සභාවේ සභාපති ජයසංඛ පෙරේරා 2021.09.27 දාතමින් යුතුව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා වෙත යවන ලද ලිපියක් යවමින් මෙසේ කියා තිබේ.


“මේ සම්බන්ධයෙන් අප ප්‍රාදේශීය සභාවෙන් ලබාගත යුතු මූලික එකඟතාව හෝ ලබාගැනීමට ඔවුන් කටයුතු කර නොමැති අතර, ඒ සඳහා පාරිසරික ඇගැයීමක් කොට පාරිසරික බලපත්‍රයක් ලබාදී ඇතත්, අප සමග මූලික සාකච්ඡාවක් හෝ පවත්වා නොමැති බව සඳහන් කිරීමට කැමැත්තෙමි. එසේම මෙම කර්මාන්තය සඳහා පරිසර බලපත්‍ර ලබාදීමේ ක්‍රියාවලියට අදාළ පළාත් පාලන ආයතනයේ අනුමැතිය ලබා ගැනීම අත්‍යවශ්‍ය කාරණයක් වන නමුත් ඒ සඳහා අපගේ අනුමැතියක් හෝ නිර්දේශයක් ලබාගෙන නැත.”


මෙයින් පෙනෙන ප්‍රධාන කාරණයක් වන්නේ මෙම මැණික් ගැරිල්ලට සම්මාදම් වී ඇති පිරිසට තිබෙන බලයය. මැණික් ගැරීම සිදුවෙන ප්‍රදේශයේ අවසර ලබාගත යුතු ප්‍රධාන ආයතනය දැනුවත් කිරීමකින් තොරව මෙවැන්නක් කළ හැක්කේ දේශපාලන වශයෙන් මහා බලපුළුවන්කාරයෙකුට පමණය.


මවුන්ජින් වත්තේ මැණික් ගැරීම සඳහා ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය විසින් අවසර දී ඇත්තේ ටෙම්ප්ලස්ටෝ ප්‍රජා මූලක සංවිධානයටය. එය අඩු ආදායම්ලාභී සමෘද්ධි ප්‍රතිලාභීන්ගෙන් සමන්විත වූවකි. දිවි නැගුම (සමෘද්ධි) දෙපාර්තමේන්තුව යටතේ පාලනය වන්නකි.


ටෙම්පල්ස්ටෝ ප්‍රජා මූල සංවිධානය සිය බලපත්‍රය අතුරු ගිවිසුමක් මගින් තෙවන පාර්ශ්වයකට පවරා තිබේ. එම ගිවිසුමට අනුව මැණික් ගැරීම සිදුකරනුයේ මාමඩල පල්ලේරාව රාජපක්ෂ නිවසේ පදිංචි රුවන් ප්‍රසන්න රාජපක්ෂ, මණ්ඩාවල බණ්ඩාරවත්ත අංක 180හි පදිංචි, එදිරිසිංහ මුදියන්සේලාගේ නිර්මිත චින්තන භාෂිත බණ්ඩාර, වටවල ඥානානන්දගම අංක 8හි පදිංචි දිවුල්ගස්කොටුවේ ගෙදර චමිත් කුමුදු කුමාර, හකුරුවැල්ල වකමුල්ල පැඟිරිකොටුවහි පදිංචි කහවත්ත ගමගේ දුලිප් අරවින්ද යන අයය.


ගිනිගත්හේනේ නීතිඥවරියක වන කුරුවිට මුදියන්සේලාගේ හේමා නිදර්ශනී මහත්මිය විසින් ලියා සහතික කරන ලද මෙම ගිවිසුම් පත්‍රයේ පළමු පාර්ශ්වය වෙනුවෙන් අත්සන් කර ඇත්තේ ටෙම්ප්ලස්ටෝ ප්‍රජා මූල සංවිධානයේ සභාපති වතුදුරගේ සංජීවනී මධුසංකා සහ එහි ලේකම් හේරත් මුදියන්සේලාගේ කරුණාවතී යන අයයි.


එම ගිවිසුමේ වන වැදගත් සඳහනක් වේ.
“ඉහත කී පළමු පක්ෂය විසින් ආරම්භ කිරීමට නියමිත ව්‍යාපාරය සඳහා පළමු පක්ෂය විසින් අවශ්‍ය සියලු නීත්‍යනුකූල ලියවිලි අදාළ ආයතනවලින් ලබාගැනීමටත් එකී ලියවිලි මෙහි දෙවන පාර්ශ්වයට අවශ්‍ය අවස්ථාවලදී ලබාදීමටත් එකඟවෙමින්” යනුවෙන් වන සඳහන අනුව පෙනී යන්නේ මෙම ව්‍යාපෘතිය සඳහා සියලු බලපත්‍ර ලබාගත යුතු ටෙම්ප්ලස්ටෝ ප්‍රජාමූල සංවිධානය යනු කිසියම් බලවතෙකුගේ බළල් අතක් බව නොවේද?


මෙම ගිවිසුම් පත්‍රයේද අරුමපුදුම කොන්දේසි ඇතුළත් කර තිබේ. ඒවා අතිශය සැකසහිතද වේ. එහි සඳහන් ලාබ බෙදීමේ කොන්දේසි පහකි. ඒවා මෙසේය.


I. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට 30%
II. 320P ග්‍රාමනිලධාරි වසමේ අඩු ආදායම්ලාභීනට 9%
III. ප්‍රාදේශීය සංවර්ධනය සඳහා ප්‍රාදේශීය ලේකම්ට 5%
IV. දෙවන පාර්ශ්වයෙන් 120P ග්‍රාමනිලධාරි වසමේ අඩු ආදායම්ලාභීන්ට 11%
V. ආයෝජක දෙවන පාර්ශ්වයට 45%


මෙම ලාභ බෙදීමේ කොන්දේසි පුදුමාකාරය. එනම් 320P ග්‍රාමනිලධාරි වසමේ අඩු ආදායම්ලාභීන්ට අවස්ථා දෙකකදී ප්‍රතිලාභ ලබාදීමයි. ඒ 9%ක් හා 11%ක් වශයෙනි. 11%ක ප්‍රතිලාභය ලබාදෙන්නේ දෙවන පාර්ශ්වයෙන් බව සඳහනක් තිබුණද එය දෙනවා නම් දෙන්නේ සමස්ත ලාභයෙන් බව පැහැදිලිය. හේතුව බෙදනු ලබන ලාභාංශවලට එකතු 100ක් වීමය. එනිසා 11%ක ප්‍රතිලාභ දෙවන පාර්ශ්වයෙන් ලබාදෙනවාය යන්න පට්ටපල් කෙබරයකි. එසේ දෙවන පාර්ශ්වයෙන් අඩු ආදායම්ලාභීන්ට 11%ක් ලබා දෙනවා නම් ලබාදිය යුත්තේ දෙවන පාර්ශ්වයට හිමි 45%න්ය. ගිවිසුමේ එවැනි සඳහනක් පැහැදිලිවම නැත. මවුන්ජින් වත්තේ මැණික් ගැරිල්ල ජාවාරමක් බවට සැක හිතෙන තවත් ලිඛිත සාක්ෂියක් හමුවේ. ඒ ටෙම්ප්ලස්ටෝ ප්‍රජා මූල සංවිධානයේ භාණ්ඩාගාරික පී.එම්. රාසු මහතා විසින් 2021.04.24 දින නුවරඑළිය දිසාපතිවරයා අමතා යවන ලද ලිපියෙනි.


“යෝජිත මැණික් ගැරීමේ ව්‍යාපෘතිය මවුන්ට්පින් වටවල පැමිණිල්ලක් කිරීම” යන මැයෙන් යුතු එම ලිපියේ “පසුව ටෙම්ප්ලස්ටෝ ප්‍රජාමූල සංවිධානයේ නිලධාරීන්ගේ ගැටලුවක් මත එම ප්‍රජාමූල සංවිධානය විසුරුවා 2021/01/19 වැනි දින නැවත නව නිලධාරී මණ්ඩලයක් පත් කරන ලදි. එහිදී නැවත මම භාණ්ඩාගාරික ලෙස පත්විය. 2021/04/21 වැනි දින මෙම ව්‍යාපෘතිය සම්බන්ධව සාකච්ඡාවක්ද තබා ඇති අතර මෙයද මට නොදැන්වීය. පසුව එම සාකච්ඡාවට කලින් දින යොදා සභාපති ලේකම්ථ මම භාණ්ඩාගාරික ලෙස සිටියදී කිසිම දැනුම්දීමකින් තොරව වංචනික ලෙස අපි කිසි කෙනෙක් හඳුනන්නැති නම් වියදම් පාර්ශ්වය ලෙස පත්කර බලතල පවරා ගිවිසුමක් අත්සන් කරදී ඇති බවට මා වෙත ආරංචිය ලැබුණි.


“මහා සභාවෙන් තෝරා ගත යුතු වියදම් පාර්ශ්වය මෙම දෙදෙනාගේ තනි මතයට ගිවිසුමක් අත්සන් කිරීම සම්බන්ධව මගේ දැඩි විරෝධය පළ කරමි.”


“දිසාපතිතුමනි, ඔබතුමාගේ විශේෂ අවධානය යොමු කර 2021/4/01 දින සාකච්ඡාවක්ද පවත්වා සංවර්ධන කමිටුවේ තීරණය සඳහා ඉදිරිපත් කිරීමට තිබියදී වෙනත් වාසි ලබාගෙන ගම්මානයේ අප ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ හෝ දිස්ත්‍රික්කයේ හෝ පදිංචි හෝ මෙම ව්‍යාපෘතිය සම්බන්ධව කිසිම කටයුත්තකට සහභාගි නොවූ පිරිසක් වියදම් පාර්ශ්වය ලෙස රහසිගතව පත්කර ගැනීම ගැන අපට ගැටලුවක් පවතී.


මෙයට අමතරව ප්‍රජාමූල සංවිධානයේ සාමාජිකයන් පිරිසක්ද මෙම ව්‍යාපෘතිය දෙවන පාර්ශ්වයකට පැවරීම සම්බන්ධයෙන් විරෝධය පා පරීක්ෂණයක් කරන සේ ඉල්ලා 2021/07/28 දින ලිපියකින් ඉල්ලා ඇත. මේ වනවිට මෙම ව්‍යාපෘතියේ මැණික් ගැරීමට තහනම් රාත්‍රී කාලයේද හොර රහසේ මැණික් ගරන බවට තොරතුරු ඇත.


ටෙම්ප්ලස්ටෝ ප්‍රජාමූල සංවිධානයේ සභාපතිනි වතුදුරගේ සංජීවනී මධුසංකා මහත්මිය, පළමු අදාළ ගිවිසුමට පළමු පක්ෂය වෙනුවෙන් අත්සන් කරන ලද තැනැත්තියකි. ඇය සැප්තැම්බර් 24 දින වටවල පොලිසියේ කරන ලද පැමිණිල්ලක දක්වා ඇති තොරතුරු මෙසේය. වටවල පොලිසිය විවිධ පැමිණිලි තොරතුරු පොත, පිටු අංක 238 හා 159 වැනි ඡේදයේ සඳහන් වන්නේ මෙලෙසය.


“අපි සමිතිය ජාතික ස්වර්ණාභරණ අධිකාරිය සමග සම්බන්ධ වී මවුන්ජින් වත්තේ ඇති මැණික් ව්‍යාපෘතියට සම්බන්ධ වෙලා කටයුතු කර ගිවිසුම්වලට අත්සන් කර තියෙන්නේ. එහි බලපත්‍ර අංකය 14502/21 බී වෙත ගිවිසුමේ 10%ක් සමෘද්ධිලාභීන්හට රජයට 30%ක් වියදම් පාර්ශ්වයට 60%ක් වශයෙන් තමයි ගිවිසුමේ තිබෙන්නේ. පසුව මැණික් සංස්ථාව විසින් එම මැණික් ගරනා ස්ථානයේ තහඩුවලින් ආවරණය කර එහි ආරක්ෂක නිලධාරීන් පිරිසක් යොදවල තියෙන්නෙ. පස්සේ එනම් 2021/09/23 දින වියදම් පාර්ශ්වය විසින් මවුන්ජින් වත්තේ ගුණපාල ඇතුළුව කණ්ඩායමක් විසින් එහි වැඩ කරලා තියෙන්නේ. සංස්ථාව දැනුවත් කරලා පස්සේ ඒ අයට එම වැඩ කරන ආකාරය සැකසහිත වූ බැවින් රාත්‍රියේ අපි චමිත් ඇතුළු කණ්ඩායමක් එහි ගොස් පරීක්ෂා කළා. පසුව ඒ අයට දැනගැනීමට හැකිව ඇත්තේ විදුලි පන්දම් රැගත් යම් පිරිසක් වැඩ කරන බවයි. ඊට පස්සේ ඒ අය දැනුවත් කළා. එතකොට මමයි කරුණාවතී අක්කයි රාත්‍රියේම එම ස්ථානයට ගොස් පරීක්ෂා කළා. එතකොට එහි ආරක්ෂාවට යොදවා ඇති ආරක්ෂක අංශයේ අවසරය පරිදි ඇතුළට ගිහින් බලන කොට 12ක් පමණ අපි දැකලා සී සී කඩ දුවලා ගියා. ඒ දුවපු අය අතරින් මම දැක්කා මවුන්ජින් වත්තේ ගුණපාල පැනලා දුවනවා. අපි හෙමින් එතනට ළං කළා. එතන මැණික් ගරපු කූඩ උදලු තිබුණා. පසුව අපි ඒව අරගෙන සංස්ථාවේ එල්.යූ. කුමාර මහතාට භාර දුන්නා. ඒ දෙනකොට ලොග් පොතේ සටහනක් මගින් භාර දුන්නා. සභාපතිතුමා වෙතට ව්‍යාපෘති අධ්‍යක්ෂතුමාද දැනුවත් කර ඔහු උපදෙස් දුන්නා.

උදේ වන තෙක් එහි රැඳී සිටින ලෙසට. පසුව වියදම් පාර්ශ්වයේ දුලිප් අරවින්ද හා සුරංග එම ස්ථානයට පැමිණියා. පසුව ඒ අයට අපි දොස් කියලා මේ සම්බන්ධව පැමිණිලි කිරීමට පොලිසියට ආවා. මම කියන්නේ වියදම් පාර්ශ්වයේ ඉන්න දුලිප් අරවින්ද, සුරංග හා මවුන්ජින් වත්තේ ගුණපාල ගෙනල්ලා ඇයි මේ වගේ දෙයක් කළේ කියල අපිට තේරුම් කර දෙන ලෙසටයි.”
මෙම පැමිණිල්ල අනුව කරුණු කීපයක් පැහැදිලි වේ. පළමුවැන්න ප්‍රජාමූල සංවිධානයේ ලේකම්වරිය තමන් අත්සන් කළ ගිවිසුමේ තොරතුරු නොදන්නා බවය. ඒ බව හොඳින් පැහැදිලිවන්නේ ගිවිසුම් ප්‍රකාරව ලාභාංශ බෙදා ගන්නා ආකාරයට ඇය පවසා ඇති අයුරිනි.

ඇයට අනුව ලාභාංශ බෙදෙන්නේ සමෘද්ධිලාභීන්ට, රජයට මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියට හා වියදම් පාර්ශ්වයකට. ඒ පිළිවෙළින් 10%, 30% හා 60% වශයෙනි. එනම් ගිවිසුමේ සඳහන් ආකාරයට මුළුමනින්ම පටහැනි ආකාරයටය.


එලෙසින්ම මෙම පාර්ශ්ව දෙක අතර ගැටුමක්ද නිර්මාණය වී ඇති බවය. එක් පිරිසකට හොර රහසේ තවත් පිරිසක් කටයුතු කරන බවය. ඊළඟ වැදගත් කාරණාව වන්නේ මෙම දෙපිරිසම, ආසන්නම ප්‍රධාන රාජ්‍ය ආයතන තුනක්ම නොසලකා හැර ඇති බවය. ඒ ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, ප්‍රාදේශීය සභාව හා නුවරඑළිය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය. මෙම ආයතනවලට කළ පැමිණිලි මෙන්ම ආයතනවලින් සිදුකරනු ලබන විමර්ශනවලින් පළක් වී නැති බවය. මේ ආයතන ත්‍රිත්වය පයිසෙකටවත් ගණන් නොගෙන ප්‍රසිද්ධියේ මැණික් ගරන්නට නීති විරෝධී ලෙස රාත්‍රියේ මැණික් ගරන්නට තරම් හයියක් මේ අයට ලැබුණේ කොහෙන්ද?


මෙම මැණික් ගැරීමේ ව්‍යාපෘතිය රාජ්‍ය අනුග්‍රහයෙන් සිදුකෙරෙන්නක් බවටද මේ අයගේ යම් යම් සංඥාවලින් පෙනෙන්නටද ඇත.


මවුන්ජින් මැණික් ව්‍යාපෘතිය උත්සවාකාරයෙන් ආරම්භ කරනුයේ මැණික් හා ස්වර්ණාභරණ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තගේ සහභාගිත්වයෙනි. මෙය රාජ්‍ය උත්සවයක් නම් ඒ සඳහා නුවරඑළිය දිස්ත්‍රික්කයේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂයේ මැති ඇමතිවරුන් සහභාගි විය යුතුය. දිසා ලේකම්, ප්‍රාදේශීය ලේකම්, ප්‍රාදේශීය සභාවේ සභාපති සහ ආණ්ඩුවට සම්බන්ධ තවත් පිරිස් සහභාගි විය යුතුය. නමුත් ආරම්භ කිරීමේ උත්සවයට සහභාගි වී ඇත්තේ රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේ පමණි. ඔහු විෂය භාර අමාත්‍යවරයා වුවත් නියෝජනය කරනුයේ මහනුවර දිස්ත්‍රික්කයය. එසේ නම් මේ උත්සවයට නුවරඑළියේ නියෝජනය කරන ආණ්ඩු පක්ෂ මැති ඇමතිවරුනට ඇරයුමක් නොකළේ ඇයි? රහස ඇත්තේ එතනය. ■