විමලනාත් වීරරත්න

“ළමයිනේ ඔය එන්නෙ අපේ ගුරුන්නාන්සෙ. ගුරුන්නාන්සෙ ආවම අපි මේ සිංදුවල තාල, හොඳට ඉගෙන ගන්න ඕනෙ.”


ඈත එනු දිසුනේ අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේය. මෑත සිසු කැළ පිරිවරා සිටියෝ මහැදුරු සරච්චන්ද්‍රයෝය. වර්ෂය එක් දහස් නවසිය පනස් හයය. ඒ වනවිට, සරච්චන්ද්‍රයන් මනමේ නාට්‍යයේ පුහුණුවීම් අරඹා තිබිණි. එතෙක් මෙතෙක් දුටු නාඩගම්, සිංදු නාඩගම් ඉක්මවා ගිය සුසාධිත නාට්‍ය/රංග සෞන්දර්යයක් ප්‍රාදුර්භූත කිරීමේ අරමුණ පෙරදැරි සරච්චන්ද්‍රයෝ මහත් වැර වෑයමෙන් මනමේ නිෂ්පාදන ක්‍රියාවලියේ නිමග්නව සිටියෝය.

සැබැවින්ම එකී බරසාර ක්‍රියාවලියේ යතුර වී තිබුණේ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේය. හෙතෙම ඒ වනවිට නාඩගම් රැසක් නිෂ්පාදනය කර තිබුණු අතර මද්දල වාදනයෙහි හා නාඩගම් ගී ගායනයෙහි විශිෂ්ටත්වයට පත්ව සිටියේය. එපමණකින් නොනැවතුණු හෙතෙම රූකඩ නාට්‍යයෙහිද, වෙස් මුහුණු කැපීමෙහිද ව්‍යාවෘත වූයේය. එම අතීත පාරම්පරික කෞශල්‍යය සඳුන් හරයක් සේ ගෙන මා ඉදිරියේ කෙසඟ කාලවර්ණයකු සැහැල්ලු ඉරියව්වකින් අසුන් ගෙන සිටියේය. මේ වනවිට 64 හැවිරිදි ඔහු ලංකාවේ ප්‍රකට මද්දල වාදකයකු වන මහේන්ද්‍ර ගුණසිංහය. මහේන්ද්‍ර අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ මුණුබුරාය. 56 උපන් හෙතෙම වයස අවුරුදු 4-5 වනවිට සීයාගෙන් මද්දල වාදනය ඉගෙන ගන්නට පටන් ගත්තේය. එම හැදෑරීමට දිගු ආයු කාලයක් හා අනාගතයක් තිබුණත්, මහේන්ද්‍ර සහ සීයාගේ ඇසුරට ඉක්මනින් තිත තැබුණේ අම්පෙ චාල්ස් සිල්වා ගුණසිංහ නම් වූ ඒ පදනම් කලාකරුවා 1962 අප්‍රේල් 13 දිවියෙන් සමුගත් නිසාය.


“අපේ සීයයි ඩොක්ටර් සරච්චන්ද්‍රයි හම්බවෙලා තියෙන්නෙ කොහොමද දන්නවද?” මහේන්ද්‍ර ගුණසිංහ මද්දලය පසෙක තබා අතීත විත්තියක් දිග හරින්නට සැරසෙයි.


56 වර්ෂෙම දවසක කොළඹ වික්ටෝරියා පාක් එකේ රූකඩ සංදර්ශනයක් තිබිලා තියෙනවා. ඒකෙදි අම්බලන්ගොඩින් ඇවිත් ඇහැලේපොළ නාඩගම රූකඩ අනුසාරයෙන් කළේ අපේ සීයා. මේ උත්සවේ බලන්න මහාචාර්ය සරච්චන්ද්‍රයි, අගමැති බණ්ඩාරනායකයි දෙන්නම ඇවිත් තියනවා.”


සකල සිරින් විරාජමාන
පතල මෙපුර සෙංකඩගල….


සීයා තමයි ඇහැලේපොළ නාඩගමේ රජුගේ චරිතයට කටහඬ දීලා තියෙන්නෙ. ගීත ගායනා කළෙත් සීයා. එතෙක් මෙතෙක් අසන්නට නොලැබුණු ගැඹුරු කටහඬක් ඇසුණු නිසා ඩොක්ටර් සරච්චන්ද්‍ර විවේක වේලාවෙදි ඒ කවුද කියලා සොයා බලනකොට තමයි අපේ සීයව මුල්වරට අඳුනගෙන තියෙන්නෙ. ඔය අඳුනා ගැනීමෙන් පස්සෙ ඉතිං ඩොක්ටර් සති අන්තෙ අම්පෙ ගෙදරට යන්න එන්න පටන් ගන්නවා. සීයා පදිංචි වෙලා හිටපු අම්පෙ මහගේ තිබුණෙ මාදු ගඟ පිටිපස්සෙ. සීයා තමයි අම්පෙ ගමේ කලාකාරයා. කලාකාරයෙක් විතරක් නෙවෙයි ධීවරයෙක්. සමහර දවස්වල මුහුදු ගියා මට මතකයි. සීයා සුද්දගෙ කාලෙ රේල්ලුවෙන් වැඩ කරලා තියෙනවා.


මහේන්ද්‍ර ගුණසිංහ කියන පරිදි චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේට ගුරු වූයේ අම්බලන්ගොඩ කදිරගොන්නේ විසූ එම්. බස්තියන් ගුරුන්නාන්සේය. ඔහු එවකට ප්‍රසිද්ධ නාඩගම් ශිල්පියකු වූ අතර බලපිටියේ වැලිතර රාමිස් සිංඤෝ ගුරුන්ගෙන්ද හෙතෙම නාඩගම් කලාව ඉගෙන ගෙන තිබේ. චාල්ස් සිල්වා ගුණසිංහ ගුරුන්නාන්සේගේ නාඩගම් කලාව කෙරෙහි කෙතරම් බැඳුණේ දැයි කීමට හොඳම සාක්ෂ්‍ය වන්නේ ඔහු නාඩගම් එකසිය එකත් නිර්මාණය කර ඇති බවට ඇති සඳහනය. “සීයා නාඩගම්වල ගෑනු චරිතත් කළා. නොන්චි කෝලමේ අවස්ථා ගණනාවකදී රඟපෑවා. කොළඹ ඇවිත් නාඩගම් බලන එකත් ඔහුගේ පුරුද්දක් ඉයුජින්, බ්‍රම්පෝට් වැනි නාඩගම්වල ගීත විශාල ප්‍රමාණයක් ඔහුගේ මතකයේ තිබුණා. ඕනෑම නාට්‍යමය අවස්ථාවකට ගැළපෙන තාල ඔහුගේ ඔළුවේ තැන්පත්ව තිබුණා. පරිගණකයකින් ගන්නවා වගේ සංඥාවක් දුන්නු ගමන් අවශ්‍ය තාලය ගායනා කර පෙන්වන්න. සීයාට පුළුවන්කම තිබුණා. ඒ හැකියාව උසස් නාට්‍ය කලාවක් කරන්න ඩොක්ටර් සරච්චන්ද්‍ර ප්‍රයෝජනයට ගත්තා.”


“පින් ඇති සරසවි වරමක් දෙන්නේ” කෘතියෙහි සරච්චන්ද්‍රයෝ මෙසේ ලියති.
මා මනමේ නාටකයේ පිටපත් ලියද්දීත් නිෂ්පාදනය කරද්දීත් චාල්ස් ගුණසිංහ, ගුරුන්නාන්සේගේ මා ළඟ උන්නේය. ඒ දවස්වල ඔහු අපේ ගෙදර වාසය කළේය. කිසියම් අවස්ථාවක් නිරූපණය කිරීමට අසවල් විදියේ තනුවක් වුවමනා යැයි මා කී විට ඔහු සිංදු කිහිපයක් ගායනා කොට දක්වයි. මම ඒවායින් අභිමත තනුවක් තෝරා ගතිමි. (පිටුව 165)
සරච්චන්ද්‍රයන් මනමේ නාටකය සඳහා විශිෂ්ට ගීත, කාව්‍යය රචනා කර ඇත්තේ ගුණසිංහ ගුරුන්නාන්සේ විසින් අවස්ථාව කී විට ක්ෂණිකව ගායනා කර පෙන්වන මධුර තනුවලටය. හෙතෙම එළිසම, අනුප්‍රාස ආදියෙන් මෙන්ම වීර, කරුණ රසයෙන්ද අනූන කාව්‍යමය බසක් ඒ සඳහා උපයුක්ත කොට ගෙන තිබුණි. ගුණසිංහ ගුරුන්නාන්සේට සාහිත්‍ය පිළිබඳ හසළ දැනුමක් නොතිබුණත් ඔහු ජනශ්‍රැතියෙහි මනා පරිචයක් ඇත්තෙකු බව සරච්චන්ද්‍ර පවසයි. වැඩිදුරටත් හෙතෙම මෙසේ ලියයි.


“මනමේ පැරණි කතාවේ තේමාව හා චරිත නිරූපණය වෙනස් කොට මගේ නාට්‍යය සකස් කරන බව මම ඔහුට කීවෙමි. බිසව කෙරෙහි අනුකම්පාසහගත දෘෂ්ටියකින් බැලිය යුතු බව මම ඔහු සමග කී විට ඔහුට තරහ ගියේය.
“ඔහොම ගෑනුන්ට මොන අනුකම්පාවක්ද මහත්තයො”යි කියමින් ඔහු මට කඩන් පැන්නේය.


‘ගුණසිංහ ගුරුන්නාන්සේ ගායනයෙහි මෙන්ම නැටුමෙහිද මද්දල වාදනයෙහිද එක සේ දක්ෂ විය. මේ හෙයින් මගේ නිෂ්පාදන කාර්යභාරය බෙහෙවින් සැහැල්ලු වූයේය. (පිටු 166/167-පිං ඇති සරසවි වරමක් දෙන්නේ)
ගුණසිංහ ගුරුන්නාන්සේ ලාභ ප්‍රයෝජන බලාගෙන මේ කිසිවක් නොකළ අතර ඔහුගේ දරුවන් වන නෝමන් ගුණසිංහ, පුණ්‍යසේන ගුණසිංහ වැනි කලාකරුවෝද සිය පියාගේ මග ගත්තෝය. ඒ කවුරුත් ඉතා විධිමත්ව සංගීතය විෂය නොහැදෑරුවන් පාරම්පරිකව එන විශිෂ්ට සංගීත ඥානයක් හා අභ්‍යාසවෘද්ධ බව විසින් තියුණු කරන ලද හැකියාවක් ඔවුහු සතු වූහ.


මහේන්ද්‍ර ගුණසිංහට මෙන්ම ඔහුගේ සොහොයුරා වන නන්දන ගුණසිංහටද මද්දලය වාදනය කිරීමේ නිපුණතාව ඉහළින්ම ලැබුණේය. ඔවුන් නෝමන්ගේ පුතුන්ය. සරච්චන්ද්‍ර පින් ඇති සරසවි වරමක් දෙන්නේ කෘතියෙහි මෙසේ දක්වයි.


“නාඩගම් ශිල්පය පිළිබඳ ක්‍රමානුකූලව තම පියාගෙන් ගුරුහරුකම් ගත්තේ ගුණසිංහ ගුරුන්නාන්සේගේ වැඩිමල් පුතාය. (ලීසින් ගුණසිංහ) අභාග්‍යයකට මෙන් ඔහු ගුණසිංහ ගුරුන්නාන්සේ ජීවත්ව සිටියදීම මිය ගියේය. අනතුරුව ගුරුන්නාන්සේ මද්දල් වාදනය පුහුණු කළේ තම මුණුබුරා වන තරුණ මහේන්ද්‍රටය. අවුරුදු හතේ වයසේදී මහේන්ද්‍ර තම කෝටු අත්වලින් මද්දලය ගසනවා මා දැක ඇත. (පිටුව 198)


නෝමන් ගුණසිංහ බලපිටිය ගුරු අභ්‍යාස විදුහලේ නැටුම් උපදේශකවරයකු ලෙස සේවය කළේය. ඔහු බටනලාව මෙන්ම තබ්ලාවද ප්‍රගුණ කළේය. 1973 වනතුරුම මනමේ සහ සිංහබාහු නාට්‍යවල මද්දල වාදකයා වූයේ නෝමන්ය. චාල්ස් ගුරුන්නාන්සේගේ බාල පුතා වන පුණ්‍යසේන ගුණසිංහ රජයේ මුද්‍රණාලයේ වැඩ කරන අතරම සිය පියා ලියූ කාලගෝල පිටපත රඟ දැක්වූයේය. ඊට අමතරව කැකිල්ලේ, බන්ධන, මිනිසළඹ වැනි නාට්‍ය නිපද වූයේය. ගී තනු රැසක් නිර්මාණ කළේය.


“1973 ජනවාරි 27 සිංහබාහු නාට්‍යය ලයනල් වෙන්ඞ්ට් එකේ ප්‍රදර්ශනය කළා. තාත්තා අන්තිමට මද්දලය ගැහුවෙ එදා. විසි අටවැනිදා තාත්තා මැරුණා. එතකොට ඔහුගේ වයස 47යි.” ඒ වනවිට ඔහු රිජ්වේ තිලකරත්න මහත්තයාගේ අනුග්‍රහයෙන් පෙබරවාරි පළමුවැනිදා ගුවන් විදුලියේ සේවයට යාමට නියමිතව සිටි බව මහේන්ද්‍ර ගුණසිංහ කීවේය.
ඉන්පසුව සරච්චන්ද්‍රයන්ගේ නාට්‍යවල මද්දල වාදනය භාර වූයේ මහේන්ද්‍රටය.


“හැබැයි ඉතිං ඒ මද්දල ගැහිල්ලෙන් අපිට ලැබුණේ ප්‍රසිද්ධිය විතරයි. සුළු ගාණයි හම්බවුණේ. තාත්තත් නැතුව ගෙදර වියදම් පිරිමහ ගන්නත් ඒක මදි හින්දා දවසක් මං වෙන්ඞ්ට් එකේ මහාසාර පෙන්නන වෙලාවක ඉන්ටර්වල් එකේදි ඩොක්ටර්ට කිව්වා මට ගුවන් විදුලියෙ වාදකයෙක් හැටියට රස්සාවක් අරන් දෙන්න කියලා. මද්දල වාදකයෙක් හැටියට මම ගුවන් විදුලියට ගියොත් නාට්‍යවලට වාදකයෙක් නැතිවෙන හින්දා වෙන්න ඕනෙ ඩොක්ටර් ඒ වෙලාවෙ මගේ ඉල්ලීම මගහරින්න බැලුවා. ඔහු කිව්වෙ කොහෙද ළමයො මම කියන ඒවා ගුවන්විදුලියෙ අය ගණන් ගන්නෙ නැහැනෙ කියලයි. ඇත්තටම ඒ වෙලාවෙ මගෙ ඇස්වලට කඳුළු ආවා. ඒත් එක්කම තද කේන්තියකුත් ආවා. සීයටයි තාත්තටයි දෙන්නටම කළෙත් මේක. වැඩ අරන් අත ඇරලා දැම්මා. දැන් මටත් කරන්න හදන්නෙ ඒකමද කියලා මම ඩොක්ටර්ට බැනලා කේන්තියටම එයාගෙ බෙල්ලෙනුත් අල්ල ගත්තා. උදේනි චන්ද්‍රසිරි මැද්දට පැනලා මාව පැත්තකට කළා. ඔය සිද්ධියෙන් පස්සෙත් මං ඩොක්ටර්ගෙ නාට්‍යවල මද්දල ගැහුවා. පස්සෙ 1990දි විතර මට මගේම උත්සාහයෙන් ගුවන් විදුලියට යන්න පුළුවන් වුණා. ඊට පස්සෙ ඩොක්ටර්ගෙ නාට්‍යවලට ගියේ නැහැ. අපේ මල්ලි නන්දන නම් අදත් ඒ නාට්‍යවල මද්දල වාදනය කරනවා.


නෝමන් ගුණසිංහ සිය ‘වැඩි මහලු පුත්‍රයා වන අපගේ කතා නාකයකයාට දැමූ නම ටනල්ය. ටනල් පුංචි සන්ධියේ සිට සීයා සමගත් පියා සමගත් මනමේ සිංහබාහු දර්ශන රැසකට සහභාගි වූයේය. මනමේ කුමාරයාට රඟපෑ බෙන් සිරිමාන්නත්, වැදි රජුට රඟපෑ එඞ්මන් විජේසිංහත් ‘ආ අදත් උමගත් (Tunnel) අරගෙනද ආවේ” යනුවෙන් ටනල් දුටු විට නෝමන්ට විහිලු තහලු කළ අවස්ථා තිබුණි. ඒ ටනල් යන්න ඉංග්‍රීසි අරුතෙන් සලකාය.


“ඩොක්ටර් එක්ක තාත්තයි, මමයි ගුවන් විදුලියට ගිය දවසක පුතාගෙ නම වෙනස් කරමු කියලා ඩොක්ටර් තමයි මට මහේන්ද්‍ර කියන නම දුන්නෙ. අපේ තාත්තගෙ මුල් නම වඞ්වින්. තාත්තට නෝමන් කියන නම දුන්නෙත් සරච්චන්ද්‍ර. ගුවන් විදුලියෙදි දවසක් කේමදාස මාස්ටර් එක්ක ගෝරියක් දාගෙන මාව සේවයේ ස්ථිර නොකරම හිටියා. මං එදා මද්දලෙත් කරේ එල්ලං ත්‍රීවිල් එකෙන් බහිනකොටම මාස්ටර් අහනවා මූ බීලා නේද ඉන්නෙ කියලා. මටත් කේන්ති ගිහින් බැන්නා. මං ටිකක් බීලා හිටිය එකත් ඇත්ත. පස්සෙ 2001දි කරුණාරත්න පරණවිතාන මහත්තයා ඇවිත් තමයි මාව ස්ථිර තනතුරේ තිබ්බෙ. 2014දි මම විශ්‍රාම ගියා. රස්සාවට නොගිහින් ඩොක්ටර්ගෙ නාට්ටිවල මද්දල ගගහා හිටිය නං මට මේ තරමටවත් ගෙයක් දොරක් හදාගන්න බැරිවෙනවා. ඒකයි ඇත්ත.


මහේන්ද්‍ර සිය කුඩා නිවහනේ හාත්පස දෙස බලමින් අන්තිමට එසේ කීවේය.
නාඩගම් සඳහා වාදනයටත්, නාට්‍යධර්මී රීතියේ උද්දීප්තියටත් සාමාන්‍යයෙන් මද්දල දෙකක් වුවමනාය. එකක් වැඩි තාල්ය. අනෙක අඩු තාල්ය. ගුණසිංහ පරම්පරාවේ ආත්මය රැඳුණේ අන් තැනක නොව මෙම තාල අන්තරයෙහිය.
මහේන්ද්‍රගෙන් සමුගෙන එන විට ඔහු මගේ හිසට ඉහළින් නොපෙනෙන තරම් දුර ඈත බලා සිටියේත් ගුණසිංහ පරපුරේ යෝධයා වන චාල්ස් ගුරුන්නාන්සේගේ පේරාදෙණිය රඟබිමට දුර සිට පැමිණියේත් නොවෙනස් හැඟුම්බර එකම ඉරියව්වකින් එනම් තමන් නිරත කලාව පිළිබඳ උපේක්ෂාවෙන් බව කිව හැකිය. “ඔව් එය, එසේම විය යුතුය.”
විමලනාත් වීරරත්න