විමලනාත් වීරරත්න

මිනිස් පැවැත්ම පිළිබඳ ක්ෂුද්‍ර මෙන්ම අනවධානයක් දක්වන දේවල් පිළිබඳව සමීපව බැලීම මගින් කෙටි කතාව මිනිස් චර්යා හා ගටා බැලීම සිදු කළ හැකිය. එම සමීපතාවෙන් චර්යාවේ සංස්කෘතික භූමිය හෙළිවෙයි. එමගින් කෙටිකතාව තව තවත් මිනිස් ජීවිතය දෙසට ඌනනය කළ හැකිය. මෙම ක‍්‍රියාවලිය තුළදී පාඨකයා සංදර්භීය වශයෙන් කාරක පාඨකයෙකු දක්වා රූපාන්තරණය වන අතර ජීවිතයට නව සංස්කෘතික විලාසයක් ගවේෂණය කරන ඉමකටද ඔහු ප‍්‍රවේශ වෙයි. උක්ත කාරක පාඨකභාවය හා ගොඩනැගෙන විලාසිතාව යනු මිනිස් පැවැත්මෙහි අනන්‍යතා ලක්ෂණයක්ද වෙයි.

මහැදුරු ලියනගේ අමරකීර්ති සිය ‘ගෙදර’වට සිතියම’ කෘතියට කෙටිකතා සංග‍්‍රහ කරන්නේ ජීවිතය විෂයෙහි ගෙදර තුළ සිතියමකට අනුව බව පෙනේ. ගෙදර යනු මිනිසාගේ තත්් පැවැත්මේ කේන්ද්‍රය වේ. එහි සිට පරිවාරය දක්වා සංසිද්ධි නිරූපණයටත් එම සංසිද්ධීන් වෙනුවෙන් තර්කයක් ගොඩනැගීමත් ඔහු මෙම රචනා සමූහයේදී සිදු කරන බවක් දිසේ. චර්යාත්මක මිනිස් පැවැත්ම තුළ ඕනෑම දෙයක් චේතනාන්විතව හෝ අහඹු ලෙස සිදුවිය හැකිය. වැදගත්ම දේ වන්නේ සිදුවීම් කාල්පනික ලෝකයෙන් ඔබ්බට ගෙන ප‍්‍රායෝගික ලෝකයේදී කළමනාකරණය කරගන්නා විදියය.

අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාව
අසිරිමත් මිනිසෙකුගේ වීර චාරිකාව මෙම කෘතියේ එන කදිම කෙටිකතාවකි. එහෙත් එය උක්ත හැඳින්වීමට වඩා තරමක් වෙනස්ය. ජීවිතය යනු වික‍්‍රමයක්ද, දාර්ශනික පැවැත්මක්ද, නැතහොත් හොඳටම සාමාන්‍යයක්ද යන ත‍්‍රිවිධ කරුණු මත මෙම කතාව පිහිටුවා තිබේ. වීරසේකර තමන් තුළ වන වීරයෙකු නඩත්තු කිරීමට හා ඔහු නාමයෙන් කැපවූ දිවියකට රිසි වූයේය. හැත්තෑ ගණන්වල එංගලන්තයේ සිට මෝටර් රථයකින් ලංකාවට එන ජාඇල මිනිහාට වීරසේකර වෛර කිරීමට පටන් ගැනීමේ සිට තෙමේම ලන්ඩනය දක්වා යන ගමන සැලසුම් කිරීම දක්වාම ඔහු තමන් තුළ වෙසෙන එහෙත් වර්තමාන සමාජය තුළ නැති වීරයකු නඩත්තු කරයි. මෙම වැඩිහිටි පරම්පරාවේම ලක්ෂණය වන්නේ ඔවුන් නඩත්තු කරන වීරයා හුදු වීරයකු නොවී ඔහු දාර්ශනික වීරයකු බවට පත්කර ගැනීමය. වීරසේකරට පෙර මෙම ලොව වටා සංචාරය යාමට සැලසුම් කරන පුද්ගලයා ඔහු සමග එකම කාර්යාලයක සේවය කළ ජයකොඩිය. වීරසේකර බඳු තවත් කෙනකු හෝ ජයකොඩි බඳු තවත් කෙනකු එකම කාර්යාලයක සිට ඇත. තරුණ වියේදී මෙම චාරිකාව ගැන සාකච්ඡුාව, වටිනාකමක් ලැබෙන, වීරත්වය කැන්දන ප‍්‍රයත්නයක් වුවත් මේ කාගේත් දරුවන් වැඩිහිටි වූ පසු වියපත්ව සිටින පියවරුන්ගේ එවැනි උත්සාහයන් දකින්නේ හිතුවක්කාරකම් ලෙසිනි. වීරසේකරගේ දියණියගේ (නර්මදා* සැමියා වන සුදර්ශන වීරසේකරලාගේ පරම්පරාවේ ප‍්‍රතිපක්ෂයයි. වීරසේකරලාට තමන් දෙපා ගසාගෙන සිටින භූමිය පිළිබඳ අදහසක් ඇති විට සුදර්ශනලාට බරපතළව ගැනෙන එවැන්නක් නැත. වෙළෙඳ ආර්ථිකයට ගොදුරු නොවූ සහ මුළුමනින් ගොදුරු වූ දෙපළක් ලෙස ඒ දෙදෙනා දැක්විය හැකි අතර මෙම වස්තු සංදර්භයේ කතිකා භූමිය වන්නේ ඒ දෙදෙනා විසින් අඳිමින් සිටින වර්තමාන සිතියමක පොදු ලක්ෂණයක් සෙවීම නොවේ. පළමුව එකිනෙකට ප‍්‍රතිපක්ෂ මිනිස් – පරිසර දෙක කාරක පාඨකයාට විඳ ගැනීමට සැලැස්වීමය. පාඨකයාට රිසි පරිදි වීරසේකරට හෝ සුදර්ශනට වඩා නැඹුරු විය හැකිය. එහෙත් ඒ දෙකම නොවන දියුණු සිතුවිල්ලකට පාඨකයා කැඳවීමට මෙහිදී රචකයා යත්න දරයි. සුදර්ශනගේ මිතුරා වන වසන්ත මේ සිතියමේ මුල් අර්ධය කුරුලූ ඇසකින් වග විභාග කරන්නෙකි.

වීරසේකර යාමට බලාපොරොත්තු වන ඇත්ත ගමනකට දරුවන්ට බාධා කළ හැකි වුවත් එවැනි පරිකල්පිත ගමනකට කිසිවකුටත් බාධා කළ නොහැකිය. එපමණක් නොව, ඇත්තටම නුවර කුරුණෑගල මාර්ගයේ මුණුබුරාවත් වොක්ස්වැගනයේ නංවාගෙන ඉන්දියාවේ පාකිස්තානයේ, ඇෆ්ඝනිස්තානයේ නගර පසුකරමින් ඔහුට පරිකල්පන ගමනක යා හැකිය. එසේ යන ගමන් මුණුබුරාට මග දෙපස ඇති දේවල් පෙන්වමින් මුණුබුරා විල්හෙල්ම් නමැති ජර්මන් මිතුරාට රූපාන්තරණය කර තමන් වසර ගණනාවකට පෙර සිතූ ගමන පරිසමාප්තතාවට පත් කරගත හැකිය. මේ සිතුවිල්ල මෙන්ම අත්දැකීමද බෙහෙවින්ම විචිත‍්‍රවත්ය. අග‍්‍රා නගරයේදී මුල්වරට හමුවීමෙන් පසුව වීරසේකර සමග ලාහෝර් දක්වා ගමනට එක්වන විල්හෙල්ම් කියන්නේ වීරසේකර යන්නේ වන්දනා ගමනක් බවය. ඔහුට අනුව එය දේවල් බැලීමට යන වන්දනා ගමනකි. බැලීම යනු වන්දනාවකි. අනෙක් අතට වන්දනාව යනු දේවල් බැලීමෙන් ඇතිකර ගන්නා අත්විඳීම හා ප‍්‍රහර්ෂයයි.

විල්හෙල්ම් තව අවස්ථාවක මෙසේ කියයි. ‘ගමනාන්තයට ළංවීමේ නෙමෙයි, ගමනෙමයි අර්ථය තියෙන්නෙ.’ සැබැවින්ම අර්ථය තිබෙන්නේ ක‍්‍රියාව තුළ බව පසක් කැරෙන්නේ ක‍්‍රියාව අවසානයේදීය. අතරමැද ගන්නා ක‍්‍රියාමාර්ග විසින් ක‍්‍රියාව අර්ථවත් කරයි. මෙම කෙටිකතා ශරීරයේ වැදගත්ම අවස්ථාවක් වන මෙම හමුව මගින් මිනිස් දිවියේ විවිධ පැතිකඩ, සිතීම් පරාසයන් මෙන්ම චර්යාවන් සමතික‍්‍රමණය කිරීම සිදුවෙයි.

”අයියෝ කියන්න තිබුණනෙ. මටත් ඔය ප‍්‍රශ්නෙ තියනවා. මම නම් එනකොට දිගටම ලොකු පඩ ඇර ඇර ආවෙ.”
”මට ඇහුන්නෑ. අපරාදෙ මම එව්වා හිර කරගෙන දුක් වින්දෙ.” වීරසේකර විශාල පරාජිත හැඟීමකින් කිව්වේය. (පිටුව 93)
ඊළඟ නැවතුමේදී තමන් මෙච්චර කල් ඇරලා තියෙන පඩ ගාණ හදල බලන්න ඕනෙ” යනුවෙන් වීරසේකර මේ සංවාදයේදී අන්තිමට කියයි.

වීරසේකර වීරත්වය සොයා යන ප‍්‍රබෝධමත් මිනිසකු වුවත්, ඔහු තුළ ආසියාතික ගූඪ බවක් ඇතැයි කිව හැකිය. ඔහු බෞද්ධයෙකි. විල් බුදු දහම සොයා යන්නෙකි. බෞද්ධ රටේ මිනිහා හිතන රාමුගත ස්වභාවයත්, බුදු දහම සොයන මිනිහා හිතන විවෘත ස්වභාවයත් මෙහිදී කැපී පෙනේ. මේ සංචාරයේදී විල් ඇතැම් නගරවලදී රාත‍්‍රියට ඇසුරු කරන සුන්දරියන් සමග මොහොතක ආදරයෙන් වෙළෙයි. එහෙත් වීරසේකර එක් අවස්ථාවක කියන්නේ තමන් මුස්ලිම් වුණා නම් එක් රාත‍්‍රියකදී ඇසුරු කළ කුවීනා නමැති මුස්ලිම් තරුණිය ගෙදර ගෙන යන බවය.

”වීර එයාට ආදරේ නම් ඔහොම හිතන් නෑ.” විල් කීවේය. වීරසේකර නිහඬ වූයේය.
”ආදරේ නං කියන්න ඕනෙ, එයා එක්ක ගත කරපු දවස එයාට කවදාවත් අමතක වෙන්නෙ නැති තරම් සන්තෝසෙන් හිටිය කියල.” (95 පිටුව)

ගමනේ එක් අවස්ථාවකදී වීරසේකර කියන්නේ අපේ රටේ තමයි නියම බුද්ධ ධර්මෙ තියෙන්නෙ යනුවෙනි. ඒ ගැන විල් කියන්නේ ඇත්ත තියෙන්නේ එක තැනක නෙමේ යනුවෙනි. බුදු දහම ලාංකිකයා දර්ශනයක් ලෙස අභ්‍යාසයට නොගැනීමෙන් බුදු දහම පිළිබඳ ලාංකිකයාගේ මතුපිටවාදී ප‍්‍රහර්ෂය සිල්ලර තත්ත්වයට පත්ව ඇතැයි විල් සහ වීරසේකර අතර සංකථනවලින් ප‍්‍රතීයමාන කැරෙයි. ලංකාවට බුදුන්ගේ රට යනුවෙන් හැඳින්වීමක් ඇති නමුත් මේ බුදුන්ගේ රට භාවනා කිරීමට එන භික්ෂූන් අභිරහස් ලෙස ඝාතනය කරන රටක්ය යන්න මෙහි ඇති සැබෑවයි. විල්හෙල්ම් සොයා යන අරුතින් බෞද්ධ දර්ශනය ලාංකිකයාට අල්්ලා ගත හැකි නම් එය වැදගත්ය.

අනෙක් අතට සුදර්ශනලාගේ පරපුරට වීරසේකරලාට තරම්වත් හෘදය සාක්ෂ්‍යයක් තිබේද යන පැනය අමරකීර්ති නගයි. සුදර්ශන, ජීවිතය පිළිබඳව සැහැල්ලූවෙන් හා ගැඹුරින් බැලීමට වෙර දරන සිය බිරිඳගේ පියා වන වීරසේකර දෙස බලන්නේ තමන් වැඩ කරන තීන්ත කොම්පැණියට ආවේණික චින්තනයෙනි. මතුපිටින් ඔවුුහු ව්‍යාජ ආචාරධර්ම රැුක්මෙහි නිමග්න වෙති.

”පවුලේ කිසිවෙක් අන් කිසිවෙකු ඉදිරියේ මත්පැන් නොබොයි. එහෙත් බෝතලය හිස්වේ.” (102 පිටුව)

ලංකාවේ පුද්ගල චින්තනය ගමන් ගත යුතුව තිබුණේ වීරසේකරලාගේ චින්තනයෙන් විල්හෙල්ම්ලාගේ චින්තනය වෙතටය. එහෙත් මෙරට චින්තනය මාරුවෙමින් තිබෙන්නේ වීරසේකරලාගෙන් සුදර්ශනලාගේ මොඩලයටය.

වීරසේකරගේ පරිකල්පන චාරිකාව නුවර කුරුණෑගල මාර්ගයේදී බිඳෙන්නේ වොක්ස්වැගනය පස් අදින ටිපරයක වැදීමෙනි. ඒ අවස්ථාවේ විල්හෙල්ම් වෙනුවට කාරයේ වම්පස අසුනේ සිට ඇත්තේ වීරසේකරගේ මුණුබුරු සුනිම්නය.

”තාත්තා කිව්වට අහන් නෑ. ළඟ පාරවල් තියෙද්දි එක එක රවුම් පාරවල්වලින් යනවා. පුතාට එක එක එව්වා පෙන්න පෙන්නා.” නර්මදා කීවාය.
”මම කියලා තියනවා පොර එක්ක යවන්න එපා කියලා.” සුදර්ශනගේ කටහඬෙහි කෝපයක් ඇත. (පිටුව 100)
”ටිපර් එක වදින්න එනකොට අත්ත මාව බදා ගත්තා.” සුනිම්න විස්තර කළේය. (පිටුව 101)

වීරසේකර, දුවගේ සැමියා බඳු සේරිවාණිජ පරම්පරාවේ මිනිසකු නොවේ. ඔහු න්‍යෂ්ටික පවුල දිවි හිමියෙන් රකින අතරම ආදරයේ මිනිසකුද වෙයි. මෙවැනි අයට බුදු දහමින් ශික්ෂණය ලැබූවත් කොටි මරන්නට හිත හදාගත හැකිය. ඒ අනුව ඝාතනයට ආශිර්වාද කර බෝධි පූජා පැවැත්විය හැකිය. මුස්ලිමුන් තලා පෙළා දැමිය හැකිය. එසේ වී තිබෙන්නේ බුදු දහමේ විල්හෙල්ම් සොයා යන දාර්ශනික ගැඹුර වෙත ඔවුන් ගමන් නොකොට සිටින නිසාය. එහෙත් සුදර්ශන නියෝජනය කරන මුල් අහිමි සේල්ස්රෙෆ් පරපුරට වඩා වීරසේකර නියෝජනය කරන ස්ථරය සාමාජීය වශයෙන් තුංග තත්ත්වයක් උසුලයි. අප ස්පර්ශ කළයුත්තේ මෙම කෙටිකතාවේ වීරසේකරගේ සිට විල්හෙල්ම් දක්වා දුරකට දිවෙන ලෝකයේ ගතිකයයි.

ගෙදර’වට සිතියම
ගෙදර’වට සිතියම මෙම කෘතිය තුළ එන තවත් වෙසෙස් කෙටිකතාවකි. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලනය පිළිබඳව මෙහි අමරකීර්ති කරන විවේචනය ජවිපෙ සාමාජිකයන්ට අල්ලා ගත හැකි නම් එය සිය පක්ෂයේ දේශපාලන සංදර්භය වෙනස් කරන ලක්ෂය බවට පත් කරගත හැකිය. ඔහු මෙම කෙටිකතාවේ සම්ප‍්‍රයුක්තය දක්වා ඒමට ගොඩනගන පසුබිම මනරම්ය. මෙහි දැක්වෙන බෝගස වසර හැට හැත්තෑවක කාලයක, විත්තිය විනිශ්චයට බඳුන් කිරීමට පිට දුන් ආධාරකයකි. විනිශ්චයට බඳුන් කරන්නී කිරි අම්මාය.

කතා නායකයාගේ අත්තාට, රත්නයිදෙ මාමාට බෝ ගසේ අද තරම් පූජනීයත්වයක් එදා තිබී නැත. පූජනීය නම් එය කවදාත් එකසේ ම විය යුතුය. එහෙත් වසර පනහක් පමණ ගෙවී අද වන විට බෝගස දේශපාලන ගසක් බවට පත්ව තිබීම මෙම පූජනීත්වයේ පදනමය. ජාතික උරුමය ඊට යාව ඇත.

මාර්ගය විශාල කිරීමට බෝගස කැපීමට යත්න දැරීම ගැන මුලදී කිරි අම්මා විරුද්ධ වන්නීය. එහෙත් වැසී යමින් පවතින ගමේ පාසල බේරා ගැනීමට ලියුමකට අත්සන් නොකරන මිනිසුන් බෝගස් රැුකීමට දක්වන නැඹුරුව කුමක්ද යන්න ඇගේ විමර්ශනාක්ෂියට ලක්වෙයි. කිරි අම්මා එක්තරා අවස්ථාවක බෝගස වස විසක් යොදා මරා දැමීමට සැරසෙන්නීය. එසේ වුවහොත් මෙම ස්ථානයේම අලූත් බෝගසක් රූට් බෝල්ට් කළ හැකි බව කථකයා පෙන්වා දෙයි. මෝටර් සයිකල්වල නැගී සිංහ කොඩි හා ධර්ම චක‍්‍ර වනමින් ඝෝෂා කරමින් පැමිණ බෝගස සිටුවන දා නගරයේ මුස්ලිම් කඩ සියල්ල වැසෙනු ඇත. ඒ අතර ටිපර් රථයක අතු පතර පැතිරුණු බෝධීන් වහන්සේ වඩිනු ඇත.

මෙවැනි රූපාවලියක් කිරි අම්මාගේ මනසේ අවක්ෂේප කරනු ඇත්තේ තමන් ඇලී ගැලී සිටින්නේ කවර නම් ව්‍යාජයකද යන්නය. එපමණක් නොවේ. තම පුතා වන ආනන්ද සමග පැටිවියේ බෝගසේ අතු පැද්ද විමලසිරි, එකම අරගල දේශපාලනයක නිරත විමලසිරි එක් නිකිණි පොහොය දින රාත‍්‍රියක ගෝනි බිල්ලකු ලෙස තම පුතාට අවසන් ගමනට සන් කර තිබුණේ මේ බෝගස යටදීය.

වර්තමානයේදී ගෝනිබිල්ලා ඇමතිවරයෙකි. තමන් හිස වනා සන් කොට පරලොව යැවූ ආනන්දගේ නමින් ශ‍්‍රී ආනන්දාරාමය ගොඩ නගන අදහස ඵල දරන කාලය වන විට ආනන්දගේ ලොකු පුතා වෘත්තායෙන් සිවිල් ඉංජිනේරුවකු ලෙස මෙම කතාවේ කථකයා බවට පත්ව සිටියි.දෙවැන්නා දොස්තර සාෆි සිංහල මව්වරුන් වඳ කළැයි අදහන ජාති හිතෛෂී වෛද්‍යවරයෙකි.

බෝධි රාජයා ආරක්ෂා කිරීම වෙනුවෙන් සංවිධානය කළ උත්සවයේදී වෛද්‍යවරයා කියන්නේ මාතෘ භූමිය ආරක්ෂා කිරීම මව්බිමෙහි සුජාත පුතුන්ගේ ජාතික වගකීම බවය.

”මෙයාලගෙ අප්පච්චිත් (ආනන්ද) ඒ කාලෙ ඔය විදියටමනෙ කතා කෙරුවෙ.. ඔව්වම තමයි කිව්වෙ… මෙයාලගෙ අප්පච්චිගෙ කාමරේ ඔය විමලසිරියල, තව කොල්ලො එහෙම ඇවිල්ල හරි හරි වාද. .. මං මේ කල්පනා කෙරුවෙ පොඩි පුතාට කොහොමද එව්ව ඇහුණෙ කියලා.”
”ආනන්ද පුතා හිටිය නං එයත් ඔතන ඉන්ඩ තිබුණා මයෙ හිතේ.” කිරි අම්මා මොහොතක කල්පනාවකින් පසු කීවාය. (පිටුව 122)

වර්තමාන බෝගස් දේශපාලනය කරන පරම්පරාව විසින්ද වහරනුයේ මීට දශක තුනකටත් එහා කාලවකවානුවක ජවිපෙ දේශපාලනය විසින් සංදර්භ කොට ගත් දේවල්ය. ආනන්දත් ජීවතුන් අතර සිටියා නම් බෝගස් දේශපාලනයේ නිමග්න වනු ඇතැයි කිරි අම්මා කරන උපකල්පනය කොතරම් සත්‍යයක්ද? එය වර්තමානය විෂයෙහි කෙතරම් උත්ප‍්‍රාසයක් දනවන්නක්ද? තත්කාලීන සිංහල බුද්ධාගම ගාමක බලවේගය බවට පත් කරගත් දේශපාලනය තුළට අසූනමේ විප්ලවකාරයාගේ සිට ඥානසාර හිමි දක්වා අවශෝෂණය කරගත හැකිය. ඒ අනුව අද වන විට දේශපේ‍්‍රමයට මුවාවී කරන රණකාමී දේශපාලනයේ පදනම හා ඓන්ද්‍රීය සම්බන්ධය කුමක්ද යන්න පිළිබඳව කිරි අම්මා ඍජු හා තියුණු විචාරයක යෙදෙන්නීය.

සිංදු කෑලි/කිරි කජු
මෙම කතා දෙකෙහිම තේමාවන්හි එන විශේෂ ලක්ෂණය වන්නේ ජීවිත එල්ලයේ පැනෙන අර්බුද ප‍්‍රායෝගික තත්ත්වයකට අනුවර්තනය කරගැනීමය.

”අවුරුදු දෙකකට ආසන්න කාලයක් ගතවී තිබුණත් බබීගේ හක්කවල් යටගොස් සැපක් නැති අසරණයකුගේ පෙනුම තිබුණේ නැත.” (කිරි කජු පි. 161)
මුල්වරට රමණී පිටරට ගොස් එනවිට ඇද කුද ගැසී සිටි බබී, වත්මන් බබී සමග රමණී සැසඳීමට නොයයි. නැගණිය නිවසට ගොඩවූයේ රමණී ගෙදර ගොස් ඒ කතාව අම්මාගෙන් අසා දැනගත් පසුවය.
”දොර වහනවා” නිලන්ති ඇතුළු වූ පසු රමණී කියයි. පැයකටත් වැඩිය ගතවෙයි.” (කිරි කජු පි. 166)

පසුගිය වතාවේ රමණී අවුරුද්දකටවත් ප‍්‍රමාණවත් මිතුරි පැකට් තොගයක් ෆාමසියෙන් ගෙන ටේප් ගසා අසුරා යළි රට යනවිට ගෙන ගිය බව නිලන්ති දැක තිබුණි. අක්කා මුල්වරට වසර දෙකක් පිටරට සිට පැමිණි අවස්ථාවේ පැහැපත්ව හා උද්දාමයෙන් උන්නාය. නිලන්ති, රමණි අක්කා දෙවැනි වර එනවිට එම උද්දාමය හා ප‍්‍රබෝධය අක්කාගේ සැමියා වන බබීට ලබාදී තිබුණාය. රමණීට සැමියා බබී වනවිට නිලන්තිට ඔහු අනුරයියා වී තිබුණි. ඒ සමගම රමණීට ඇය මේ ජීවිත සංකීර්ණය බෙදා හදා ගත හැකි පංගුකාරියක්ද වී සිටියාය. ඒ ගැන රමණී උපේක්ෂාවෙන් සිතන්නීය.

අමරකීර්ති ගෙදර’වට සිතියමෙහි ගෙදර තුළ සිතියමද ඇඳ දක්වන්නේ එපරිද්දෙනි. ජීවිත කළමනාකරණය වන එක් විදියක් ලෙස එය සැලකිය හැකිය. සිංදු කෑලි කෙටිකතාව අවසානයේදී නයනකාන්ති සම්බන්ධයෙන් විමලෙ හා වික‍්‍රම එකඟතාවකට එනවාද? විමලෙ මුහුණ දෙන ආර්ථික අර්බුදය හා හුදෙකලාව එහිදී වික‍්‍රමගේ ආදරයට උත්පේ‍්‍රරකයක් ලෙස ක‍්‍රියා කරනවාද? නැතහොත් එය පිරිමි දෙදෙනා අතර ඒ එකක්වත් නොවන තේරුම් ගැනීමක ප‍්‍රතිඵලයක්ද? සිදුවීම් වන්නේ පුද්ගලයා සම්බන්ධයෙන් වුවත් ඒ කෙරෙහි ඊට සමාන්තරව සිදුවන සමාජ පරිණාමයක් තිබේ. පරිණාමය යනු ගෑනු, පිරිමි බෙදා හදා ගැනීම නොවුණත් ජීවිතවල පැවැත්ම පෙරදැරි සහයෝගිතා ලෝකය වෙතට අප ආලෝක ධාරාවක් එල්ල කර බැලිය යුතුමය. එවිට ජීවිතවල ඇතැම් ක්ෂුද්‍ර හා අනවධානයට ලක් කරන දේවල් කෙරෙහි මහේක්ෂ ඇසක් හා වැඩි අවධානයක් යොමු කිරීමට හැකිවෙයි. මේ ජීවිත අභ්‍යන්තරයට කරන එබී බැලීම අපගේ ආත්මාර්ථය හා ආතතිය ඛණ්ඩනය කිරීමට ඉවහල් කරගත හැකි නම් අගනේය.