ප්‍රියන්ත ප්‍රදීප් රණසිංහ


මේ සටහන ලියැවෙන සඳුදා (11) සිට බලන විට ජනාධිපතිවරණයට තව දින 5ක් ඉතිරිව තිබේ. ඒ කාලය නිකම්ම ගෙවී යා හැකියැයි සිතිය නොහැක. ඇත්ත හෝ බොරු මත පදනම් වූ සුවිශේෂී තුරුම්පු ප්‍රධාන දෙපාර්ශ්වය අතම තිබිය හැකිය. එමෙන්ම ඒ අනුව සුවිශේෂී දේශපාලන වෙනස්කම්ද අපේක්ෂා කළ හැක. එසේ වුවද නොවුවද පාවෙන ඡන්දදායකයන් තීන්දු ගන්නා කාලයද ඊට අයත් බව අමතක නොකළ යුතුය. එහෙත් පිටියෙන් පිටතදී ප්‍රතිවාදියාට පහර දී ඔහු දුර්වල කර ලබන ජයග්‍රහණයට වඩා පිටියේදී කරට කර තරගයක් දී ජයගැනීම නියම තරගකරුවෙකුගේ ලක්ෂණය වන්නේය.


සජිත් පක්ෂය ජය ගැනීම

එජාපය මෙන්ම ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක සියලු ම ප්‍රධාන පක්ෂවල අභ්‍යන්තර ප්‍රජාතන්ත්‍රවාදයක් නැති තරම්ය. එජාපයතුළ එවැනි ප්‍රජාතන්ත්‍රවාදී ගති ලක්ෂණ නොමැති බව මීට පෙරද අවස්ථා කිහිපයකදී ඔප්පු කර ඇතුවාක් මෙන්ම සජිත් ප්‍රේමදාස මහතාද එහිදී අසාධාරණයට ලක්වූ අයෙකු ලෙස සැලකිය හැකිය. මෙවර කැරැල්ල ඔහු තනිවම ආරම්භ කළ එකක් නොවූ අතර එහි ප්‍රධානියා, මංගල සමරවීර අමාත්‍යවරයා බව අනුමාන කළ හැකිය. ඒ සමග ම කබීර් හෂීම් එජාප සභාපතිවරයා සහ එජාප නායකයාගේ දකුණු අත බඳු වූ මලික් සමරවික්‍රම අමාත්‍යවරයාද ඊට එක් කරගත හැකිවීමත් සමග කැරැල්ලේ ලොකු වෙනස්කමක් ඇතිවිය. අවසානයේ එජාප පාර්ලිමේන්තු කණ්ඩායමේ බහුතරය සේම පක්ෂයේ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ බහුතරය දිනාගැනීමටද ප්‍රේමදාස පාර්ශ්වය සමත් වූයේය. පසුව ඔවුන් තනිවම ප්‍රසිද්ධ රැස්වීම් ආරම්භ කළ අතර ඒවා සාර්ථක වූවා පමණක් නොව සජිත් එජාපයේ ජනාධිපති අපේක්ෂකයා කළ යුතු බව පාක්ෂිකයන්ගේ මතය බවට පත් කිරීමටද එය හේතුවිය. පාර්ලිමේන්තු කණ්ඩායමේ හෝ කෘත්‍යාධිකාරී මණ්ඩලයේ ඡන්දයකින් තොරව ප්‍රේමදාස මහතාව ජනාධිපති අපේක්ෂකයා කිරීමට අවසානයේ වික්‍රමසිංහ එජාප නායකයාට සිදුවූ අතර රනිල්වාදීන්ගේ සජිත් විරෝධය කපන්න බැරි අත ඉඹින ප්‍රතිපත්තියකට මාරු වූයේය.


එජාප නායකයා ඒ වනතුරු ම සැලසුම් කර තිබුණේ යැයි සිතිය හැක්කේ කරු ජයසූරිය කතානායකවරයා හෝ ඉදිරියට දමා සජිත්ගේ ගමන වැළැක්වීමය. නැතහොත් තමන් තරගයට එන බව කියා එජාපෙට සම්බන්ධ අනෙකුත් පක්ෂවල පිහිටෙන් හෝ සජිත් වැළැක්වීම ඔහුගේ සැලසුම වී තිබුණේ යැයි අනුමාන කළ හැකිය. එහෙත් එම පක්ෂවලටද ඡන්දයෙන් ජයගත හැකි අපේක්ෂකයෙකු සමග කරන දේශපාලනය විනා, වික්‍රමසිංහ මහතා රැකගැනීමේ දේශපාලනයක් ඒ අවස්ථාවේ අවශ්‍ය වූයේ නැත.


මෙම තත්ත්වය වික්‍රමසිංහ මහතාට මෙන්ම ඔහුගේ කණ්ඩායමට අත්කර දුන්නේ බරපතළ පරාජයකි. එහෙත් සාමාන්‍යයෙන් ඔහු මෙවැනි සටන්වලින් ලේසියෙන් පරාජය වන්නෙකු ලෙස හඳුන්වාදිය නොහැක. මේ නිසා පළමු වටයෙන් අඩියක් පස්සට තැබුවද සජිත් ජනාධිපතිවරයා වුවහොත් තමන් අග්‍රමාත්‍යවරයා බව මුල සිට ම ඔහු සමාජයට දැනෙන්නට හැරියේය. එවැනි තත්ත්වයක් සජිත්ගේ දේශපාලන ව්‍යාපාරයට යහපත් බලපෑමකට වඩා අයහපත් බලපෑමක් එක් කරන්නේ යැයි සජිත් පාර්ශ්වයේ මැනීම වූ බව සිතිය හැක. තමන් ජනාධිපති වුවහොත් ගොඩනගන ආණ්ඩුව මීට වසර 4කට පෙර තිබූ ආණ්ඩුව නොවන බව සජිත් කෙළින්ම ප්‍රකාශ කළා පමණක් නොව නව අගමැතිවරයෙකු පත් කරන බවද කියා සිටියේය. වික්‍රමසිංහ මහතා මීට ප්‍රතිචාර දැක්වූයේ හරියට ම තැපැල් ඡන්දයට පෙර දිනයේය. සජිත් ජනාධිපති වනවිට අගමැති තමන් බව ඔහු එහිදී අවධාරණය කළේ සිය හිතවාදීන්ද පිරිවරාගෙනය. අකිල විරාජ් එජාප මහ ලේකම්වරයා, රවි කරුණානායක, එජාප උප නායකයා, ඥාති සහෝදරයා වන රුවන් විජේවර්ධන අමාත්‍යවරයා පමණක් නොව කරු ජයසූරිය කතානායකවරයා ජනාධිපති අපේක්ෂකයා කිරීමට මහත් උත්සාහයක් ගත් රනිල් හිතවාදී සිවිල් සංවිධාන, වෘත්තීය සමිති නියෝජිතයන්ද එහි සිටියේ අහම්බයක් ලෙස යැයි සිතිය නොහැක. මෙයින් වික්‍රමසිංහ මහතා කාරණා දෙකක් අපේක්ෂා කළේ යැයි සිතිය හැක. තමන් තවමත් සටන අතහැර නැති බව සජිත් පාර්ශ්වයට ඒත්තු ගැන්වීම ඉන් පළමුවැන්න ලෙස සැලකිය හැකිය. අනෙක් පැත්තෙන් ප්‍රේමදාස මහතාගේ ජනාධිපතිවරණ සටන දුර්වල කිරීම එහි අරමුණක් වූවා යැයි අනුමාන කළ හැක. ප්‍රේමදාස මහතා ජනාධිපතිවරණයෙන් පරාජය වුවහොත් යළිත් එජාපයේ බලසම්පන්න නායකයා ලෙස ස්ථාපිතවීමට තමන්ට ලැබෙන අවස්ථාව පිළිබඳ ඔහු සැලකිලිමත් නොවනවා යැයි සිතිය නොහැක. මේ නිසා රනිල්, සජිත් ආරවුල විසඳී ඇතැයි කිසිසේත් විශ්වාස කළ නොහැක.


වික්‍රමසිංහ මහතාගේ මෙම ප්‍රකාශයෙන් පසු, පසුගිය බ්‍රහස්පතින්දා ප්‍රේමදාස මහතා විශේෂ ප්‍රකාශයක් කරමින් ප්‍රධාන කාරණා තුනක් අවධාරණය කළේය. ඉන් පළමුවැන්න වන්නේ තමන් ජනාධිපති වූ පසු පාර්ලිමේන්තුවේ බහුතරය කැමති මන්ත්‍රීවරයා නව අගමැති ලෙස පත් කරන බවය. දෙවැන්න, දූෂණ චෝදනාවන්ට ලක්වූවන් අමාත්‍ය මණ්ඩලයට පත් නොකරන බවය. තුන්වැන්න, මහජන අදහස් නොවිමසා නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්මත නොකරන බවය. මෙහි පළමු කාරණා දෙක සත්‍ය වශයෙන් ම ඔහු කිරීමට සිතා සිතා සිටින්නේ නම් වික්‍රමසිංහ මහතා සජිත්ගේ ආණ්ඩුවක අගමැති විය නොහැක. සජිත් ජනාධිපති වන අවස්ථාවක පාර්ලිමේන්තුවේ එජාපෙ මන්ත්‍රී කණ්ඩායමේ බහුතරය වික්‍රමසිංහ මහතාට ලබාගත හැකි වෙතැයි විශ්වාස කළ නොහැකිවාක් මෙන්ම, අනෙක් පැත්තෙන් මහ බැංකු වංචාවේ ප්‍රධාන චෝදනාව එල්ල වන්නේ එහි ප්‍රධාන වගකීම ගතයුතු මහ බැංකුව භාරව සිටි අග්‍රාමාත්‍යවරයාටය. එවැනි තත්ත්වයකදී රවි කරුණානායක අමාත්‍යවරයාට පවා අමාත්‍ය තනතුරක් ලබාදීමේ හැකියාවක් නැත. සජිත් මේ කියන දේ නොකරන්නේ නම් ඔහු සැලකිය හැක්කේ බොරුකාරයෙකු ලෙසය. තුන්වන කාරණයද වික්‍රමසිංහ මහතාගේ පමණක් නොව දෙමළ ජාතික සන්ධානයේ පවා සතුටට හේතුවන්නේ නැත. මක්නිසාද, ඔවුන්ගේ සැලසුම ලෙස ප්‍රකාශ වී තිබෙන්නේ, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව යහපාලන කාලයේ කෙටුම්පත් කර ඇතැයි සිතිය හැකි නව ව්‍යවස්ථාව සම්මත කර ගැනීමය.


රනිල් පාර්ශ්වය සම්පූර්ණයෙන් ම පැත්තකට කෙරෙන ආණ්ඩුවක් කෙරෙහි සජිත් පිල සැලසුම් සකස් කළද ඊට එරෙහිව රනිල් පිල නැගී සිටින තත්ත්වයක් පෙනෙමින් තිබීම සැඟවිය නොහැක. එය අපේක්ෂා කළ හැක්කක් වන අතර ජනාධිපතිවරණය පරාජය වුවහොත් එම තත්ත්වය පවා රටේ දේශපාලනයට වාසිදායක මාවතක් කරා ගෙනයාමේ වගකීම ප්‍රේමදාස පාර්ශ්වය වෙත පැවරී තිබෙන්නේය. ඒ, ආණ්ඩු බලය නොමැති තත්ත්වයකදී පවා එජාපය යහපත් ලෙස වෙනස් කිරීමේ අභියෝගයය. එය සාර්ථක වුවහොත් එයද ප්‍රේමදාස මහතාගේ ජයග්‍රහණයක් වීම වැළැක්විය නොහැක. ප්‍රේමදාස මහතා මෙම ජනාධිපතිවරණයෙන් පරාජය වුවත් ඔහු ජයග්‍රහණයක් ලැබූ අයෙකු ලෙස සැලකිය හැක්කේ එක්සත් ජාතික පක්ෂය තුළ ඇති කරනු ලබන බරපතළ වෙනසට ඔහු දැක්වූ දායකත්වය හේතුවෙනි.


ජවිපෙ තීරණාත්මක භූමිකාව


ජනතා විමුක්ති පෙරමුණේ නායකයා අපේක්ෂකයා වී සිටින ජාතික ජන බලවේගයට හිමිවන ඡන්ද ප්‍රමාණය වැඩි බලපෑමක් කළ හැක්කේ ගෝඨාභය රාජපක්ෂට නොව සජිත් ප්‍රේමදාසටය. එය ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ම 50% සීමාව ඉක්මවා යා නොහැකි තත්ත්වයක් විය හැකිවාක් මෙන්ම පළමු වටයෙන් ම රාජපක්ෂ මහතාගේ ජය තහවුරු වීමක්ද විය හැක. ශ්‍රී ජයවර්ධනපුර සරසවියේ දේශපාලන විද්‍යා අංශයේ ටෙරන්ස් පුරසිංහ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්යවරයා රාවය සමග පැවති සාකච්ඡාවකදී කියා තිබුණේ ජවිපෙ ඡන්ද ලක්ෂ 5ක් හෝ 6ක් ලබාගන්නා තත්ත්වයකදී දෙවන මනාපයක් පිළිබඳ සැලකිල්ලක් දැක්වීම අවශ්‍ය නොවන බවය. එහෙත් අනුර දිසානායක ලක්ෂ 10කට වඩා වැඩි ඡන්ද සංඛ්‍යාවක් ලබා ගතහොත් දෙවන මනාපය අවශ්‍ය වනු ඇති බව පුරසිංහ මහතාගේ අදහස වී තිබිණි. ගෝඨාභය පරාජය කිරීම උදෙසා සෘජුව ම පෙනී සිටින ආචාර්ය වික්‍රමබාහු කරුණාරත්න නව සම සමාජ පක්ෂයේ නායකයා දිනමිණ පත්‍රයට ලියමින් සඳහන් කර තිබුණේ ජවිපෙ නායකයා ලබාගන්නා ඡන්ද සංඛ්‍යාව ලක්ෂ 10ක් වුවහොත් පළමු වටයෙන් ම ගෝඨාභය ජය ගැනීමට එය හේතුවිය හැකි බවය. මේ නිසා ජවිපෙ සටන් භූමියෙන් ඉවත් කිරීමට විවිධ පෙරමුණු ඔස්සේ ගන්නා උත්සාහයන් අසාර්ථක වීම නිසා අනුරට ඡන්දය දෙන ජනතාවගේ දෙවන මනාපය සජිත්ට ලබාගැනීම උදෙසා, සජිත් පාර්ශ්වය මෙහෙයුමක් දියත් කර ඇති බව පෙනේ. එහෙත් ජවිපෙ රහසේ හෝ එම මෙහෙයුමට එක් නොවන්නේ නම් අනුරට ඡන්දය දෙන බහුතරයකගේ දෙවන මනාපයක් වෙනත් කිසිදු අපේක්ෂකයෙකුට ලබාගත හැකි වේ යැයි සිතිය නොහැක.


අනෙක් පැත්තෙන් 19 වන ව්‍යවස්ථා සංශෝධනය යටතේ, මීළඟට තේරී පත්වන ජනාධිපතිවරයා ‘පඹයෙකු’ ලෙස සැලකිය හැකියැයි කියන පිරිසක් ජවිපෙ තරගයෙන් ඉවත් කර, තමන් කැමති අපේක්ෂකයා පත් කර ගැනීමට දරන උත්සාහය කුමක්දැයි තේරුම් ගත යුතුය. ඔවුන් කියන පරිදි ම 19 වන සංශෝධනයෙන් පසු ඊළඟට ශ්‍රී ලංකාවේ ක්‍රියාත්මක වන්නේ පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයකට සමාන පාලනයක් නම්, කුමන අයෙකු පත් වුවත් ලොකු වැදගත්කමක් දිය යුත්තේ පාර්ලිමේන්තුව ශක්තිමත් කරගැනීමටය. ජවිපෙ අරමුණ ලෙස සැලකිය හැක්කේද, මහ මැතිවරණයෙන්, දැනට තිබෙන මන්ත්‍රී ධුර සංඛ්‍යාව වර්ධනය කරගැනීමේ උත්සාහයයි. ඉදිරියේදී ‘නාමික’ ජනාධිපතිවරයෙකු යටතේ ‘පාර්ලිමේන්තු ආණ්ඩු ක්‍රමයක්’ ක්‍රියාත්මක වන්නේ නම් කළ යුත්තේ ඊට ආශීර්වාද කිරීමද? අකුල් හෙළීමද? සජිත් ජයගන්නා බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කළද ජවිපෙ නිසා ඔහු පරාජය වේ යැයි මෙම පිරිස තුළ පවතින බිය, මෙම අකුල් හෙළීමට හේතුව ලෙස තේරුම්ගත හැකිය.


උතුරේ වෙනස


උතුරේ තත්ත්වයද 2015 තිබූ දේශපාලන පසුබිමට කිසිසේත්ම සමාන වේ යැයි විශ්වාස කළ නොහැක. එක් පැත්තකින් දෙමළ ජාතික සන්ධානයට ප්‍රේමදාස මහතාට සහය දැක්වීමේ තීන්දුව ගැනීමට විශාල කාලයක් ගතවිය. පළමු පියවරේදී එම තීන්දුව ගත්තේ ටීඑන්ඒ සමන්විත පක්ෂ තුනෙන් ප්‍රධාන පක්ෂය වන ඉලංකෙයි තමිල් අරසු පක්ෂය පමණය. අනෙක් පක්ෂ දෙක වන ටෙලෝ හා ප්ලොට් එම තීන්දුව ගත්තේ ඉන් පසුවය. එහෙත් සිංහල අපේක්ෂකයන් පිළිබඳ විශ්වාසය නැතැයි, ඒ වන විටත් ජනාධිපතිවරණයට ඉදිරිපත්ව සිටි ටෙලෝහි එම්.කේ. සිවාජිලිංගම්, එම සටනින් ඉවත් කර ගැනීමට ටීඑන්ඒ සමත් වූයේ නැත. අනෙක් පැත්තෙන් යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ මූලිකත්වයෙන් ටීඑන්ඒ පක්ෂ 3ද ඇතුළුව පක්ෂ 5ක් අත්සන් කර යෝජනා 13ක් ප්‍රධාන අපේක්ෂකයන් දෙදෙනාට ඉදිරිපත් කළේය. ඒවා එම අපේක්ෂකයන් දෙදෙනා ම ප්‍රතික්ෂේප කර තිබිණි. එසේ තිබියදී ටීඑන්ඒ සජිත්ට සහය දීමට තීන්දු කිරීම, යාපනය සරසවියේ මහා ශිෂ්‍ය සංගමයේ හෝ අත්සන් කළ අනෙක් පක්ෂ දෙක වන උතුරේ හිටපු මහා ඇමති සීවී විග්නේශ්වරන්ගේ පක්ෂයේ සහ ගජේන්ද්‍ර කුමාර් පොන්නම්බලම්ගේ පක්ෂයේ සතුටට හේතු වී නැත. ජනාධිපතිවරණය වර්ජනය කරන්නැයි පොන්නම්බලම් මහතාගේ පක්ෂය උතුරේ ප්‍රචාරක ව්‍යාපාරයක් ගෙනයමින් සිටින්නේ ඒ නිසා විය හැකිය. එහෙත් උතුරේ වැඩි ම ඡන්ද ප්‍රමාණයක් ප්‍රේමදාස මහතාට හිමිවීම වැළක්විය නොහැකිය.


ගෝඨාභයගේ ස්ථානය


මේවා හොඳින් පෙනෙන දේශපාලනික කාරණා ලෙස සැලකිය හැකි වුවද සජිත් ප්‍රේමදාස එජාප අපේක්ෂකයා වීමත් සමග පිටතට ලොකුවට නොපෙනුණද, පහළ සමාජ ස්ථරවල සිටින එම පක්ෂයේ සාමාජිකයන්ගේ සහ හිතවතුන්ගේ පිබිදීමක් දැකිය හැකිය. එමෙන්ම රනිල් සමග දේශපාලන අනාගතයක් නැතැයි පැත්තකට වී සිටි දැනුවත් එජාප හිතවතුන්ද සජිත් සමග එකතු වී ඇතැයි සිතිය හැක. ජනාධිපතිවරණයේ ආරම්භක අවස්ථාවේ ගෝඨාභය බොහෝ ඉදිරියෙන් සිටි අතර ප්‍රේමදාස මහතා අපේක්ෂකයා වීමත් සමග එය හොඳ තරගයක් බවට පත්වීමට මෙම කාරණාද හේතු විය. ශ්‍රීලනිපය නිල වශයෙන් ගෝඨාභයට සහය දැක්වීමට ගත් තීරණයද, අතරමැදදී ඔහුට වාසිසහගත තත්ත්වයක් බවට පත් වූයේය. තවත් කාරණයක් නම් ජනාධිපතිවරණයෙන් ගෝඨාභය ජයගන්නවාට අකැමැති ඇතැම් බුද්ධිමතුන් පවා ගෝඨාභයගේ පාලනයකට මුහුණ දිය යුතු අකාරය පිළිබඳ ලියන්නට පටන් ගෙන තිබේ. මෙය ගෝඨාභය විරෝධී ඇතැමුන් කියන “අපි නම් සජිත්ට තමයි ඡන්දෙ දෙන්නෙ, ඒත් ගෝඨාභය දිනයි” කියන මතය හා සමපාත වන්නේය. එය ගෝඨාභයට වාසිදායක තත්ත්වයක් වුවද ලක්ෂ 10කට ආසන්න අලුත් තරුණ ඡන්ද සහ ලක්ෂ 5ත් 10ත් අතර නිතරම පැවතිය හැකි ස්වායත්ත / පාවෙන ඡන්ද ප්‍රමාණයද ඉටු කරන තීරණාත්මක භූමිකාව ඉවත දැමිය නොහැක. කෙසේ වෙතත් මෙම සටහන තබන සඳුදා (11) දිනය වනවිටත් ඡන්ද පිටියේ රාජපක්ෂ මහතාට වැඩි වාසිදායක තත්ත්වයක දැකිය හැකිය. ඡන්දය දීමේ ප්‍රතිශතය ඉහළ යාමද ප්‍රතිඵලයට බලපෑමක් එල්ල කරන්නේය. මෙවර ඡන්දය දීමේ ප්‍රතිශතය 85% ඉක්මවිය හැකි අතර පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ රෝහණ හෙට්ටිආරච්චි මා සමග කියා සිටියේ, විදේශ ගතව සිටින ලක්ෂ 20ක පමණ ඡන්දදායකයන්ද ලියාපදිංචි ඡන්දදායකයන් ලෙස සලකා ඡන්දය දීමේ ප්‍රතිශතය ගණනය කළද, එය නොසලකා හැරියහොත් එම ප්‍රතිශතය 98%කට අසන්න විය හැකි බවය. ඒ අනුව විදේශගතව සිටින ශ්‍රී ලාංකිකයන් පැමිණ ඡන්දය භාවිත කළහොත් 85% ප්‍රතිශතය තවත් ඉහළ යා හැකිය.