ටිරන් කුමාර බංගගමආරච්චි

“හැම එකාගේම ඔළුවේ තමාටම සීමා වෙච්ච රාජධානියක් තියෙනවා.”
දේශපාලකයා තේරුම් ගත යුත්තේ ගලප්පාගත යුත්තේ සාමාන්‍ය එකාට වඩා ගව්ගාණක් උඩින් තබාය. මෛත්‍රීපාල සිරිසේන ජනපති ධුරය භාරගෙන නුවර දළදා මාලිගාව ඉදිරිපිට දිවුරුම් දෙද්දී තමා ජනතාවගේ පාලකයා නොව සේවකයා කියද්දී අපිට ඔහුගේ ඔළුවේ තියෙන රාජධානිය අමතක විය. අපි ඔහුට රැවටුණේය. එහි රිදුම තවම පහව නොයේ.


ඊළඟට ගෝඨාභය රාජපක්ෂ රුවන්මැලිසෑය ඉදිරිපිට බෞද්ධයාගේ නාමෙන් තමා මේඞ් ඉන් බෞද්ධ කියන කොට අපි රැවටුණේය. ඒ මොහොතේ අපිට ගෝඨාගේ ඔළුවේ හැදෙන රාජධානිය අමතක වූණේය. කලක් යන කොට ඉබේටම දේශපාලකයන්ගේ ඔළුවේ තමාටම සීමාවෙච්ච රාජධානිය හැදෙන කොට ඉබේම ජනතාව එහි වහල්ලු වන්නේය. මේ චක්‍රය කැරකි කැරකී පවතී.


අපි දැන් ගෝඨාභයගේ ඔළුවේ සීමාවෙච්ච රාජධානිය දිහා බලාගෙන පේන කියමු.

දේශපාලකයෙක් නොවුණ ගෝඨා පරිපාලකයෙක් ලෙස ක්‍රියා කළේම කිසිදු විනයක් හැඩයක් නැතිව මිලිටරි ක්‍රමයටය. මේ නිසාම එයම වැඩක් මෙන්ම හැඩක් ලෙස වටහා ගන්නට මේ රටේ බහුතරයක් උනන්දු විය. ඒ නිසාම විපක්ෂය ගෝඨා ඒකාධිපතියෙක් කියද්දීම ජනතාවට ඒකාධිපතියාම වුවමනා විය. රට හැදිය හැකි එකම ජගතා, උගතා ගෝඨා බවත්, ගෝඨාට බැරි වුවහොත් ආයේ කාටවත් නොහැකිය යන තද මතවාදය පොළොවේ පැළ කළේය. කවුරු කෙසේ කළද එය හරි ප්‍රබල විය. ඒ නිසා එකම ගැලවුම්කරුවා එකටම ආවේය.


පාස්කු ප්‍රහාරයෙන් කම්පනය වූ ජනයා එකම පිහිට ගෝඨා යැයි සිතූහ. ඒ අනුව ඔහු ජනපති විය. ඉන්පසු තමාට වැඩ කරන්නට නම් තුනෙන් දෙකක් අවැසි යැයි ඔහු කියුවේය. ජනතාව තුනෙන් දෙකද ලබා දුන්නේය. මේ හැම වනුයේ රට හැදිය හැකි අන්තිම බලාපොරොත්තුව ගෝඨා නිසාය. ගෝඨා යැයි කියා ඇති නිසාය. ඉන්පසු 19 වන සංශෝධනය දැලි පිහියක් බවත්, එයින් කිරිකෑම භයානක බවත් කියමින් විස්ස ගෙන ආවේය. දැන් ජනපති සර්ව බලධාරී වී ඇත. ඒ දේශපාලනයේදී පාලකයා වැඩියෙන්ම සතුටු වන තැනය. ඒ තමා සර්ව බලධාරී වීමෙනි. දැන් විස්ස හරහා ගෝඨාද එම බලය ලබාගෙන ඇත. දැන් දැන් සිද්ධ වන්නේ යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද කියන්නා සේ විස්සේ බලය උපරිම ප්‍රයෝජනයට ගැනීමය. ආරක්ෂක අමාත්‍යාංශය තබා මොන ඇමතිකමක්වත් 19 හරහා ජනපතිට නොලැබුණේය. ඊට හරියන්නට දැන් විස්ස හරහා ඔහුට ඕනෑපදම් අමාත්‍යාංශ ආයතනවල වගකීම දැරිය හැකිය. ඒ අනුව වැඩිම අමාත්‍යාංශ තොගය දැන් ජනපති සතුය. ගෝඨා 19 තුළ වැඩ බලන ආරක්ෂක ඇමති විය. දැන් එය ස්ථිර වී ඇත. දැන් කවුරු කුමක් කීවද සියල්ල සිදුවී හමාරය. එසේ වුව අනුර කුමාර කියන ආකාරයට ඔහුට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව තුළ ඕනෑ ඕනෑ ලෙස සෙල්ලම් දාන්නට නොදිය යුතුය. ප්‍රශ්නය නොදී සිටිනුයේ කවුද? අද අගමැතිට ගෝඨාට හරි වැරැද්ද කියා දිය හැකිද? ඒවා අහන තැනක අද ගෝඨා සිටිත්ද?


ඔහු මේ දිනවල කරමින් සිටිනුයේ ඔහුගේ ඔළුවේ ඇති රාජධානියට ගැළපෙන දස මහා යෝධයන් නිර්මාණය කිරීමය. කමල් ගුණරත්න ඉන් එක් අයෙකි. සරත් වීරසේකර තවකෙකි. චන්න ජයසුමන මෙන්ම එළියෙන් තබා ඇති හමුදාපතිද දස මහා යෝධයන්ගෙන් කෙනෙකි. දිලිත් ජයවීරද යෝධයෙකි. බැසිල් යෝධයෙකි. ඉදිරියේදී තව චරිත දැක බලා ගත හැකිය. මේ අය සමග ගෝඨා ඉදිකරන රාජධානිය තනිකරම හමුදා පාලනයක් බඳු වනු ඇත. එහි පෙර නිමිති දැන් උපරිම පෙනෙන්නට ඇත. එය ඉදිරියේදී හොඳාකාරවම දැකිය හැකිය.


විරුවෝ


මේ රටේ ලෝකයේ කිසිම රටක නැති තරම් විරුවෝ සිටිති. මුලින්ම සිටියේ රණවිරුවෝය. පසුව රට විරුවෝ, හෙද විරුවෝ, වෙද විරුවෝ, ත්‍රීවිලර් විරුවෝ, මාධ්‍ය විරුවෝ, කම්කරු විරුවෝ මේ රටේ විරුවන් ඕනෑතරම්ය. ඒ අතර සඟ විරුවෝ මෙන්ම පාතාල විරුවෝද වූහ. මේ තරම් විරුවන් සිටින රටක මරුවන්ද එමට සිටින බව නොරහසකි. මේ යන රටාව අනුව විරු-විරු ගැටුම් බොහෝ හානි පමුණුවනු ඇත. ඒ සැබෑ විරුවා සොයා යාමේදීය. ගෝඨාගේ රාජධානිය වූ කලී තනිකරම විරුලන්තයකි. එහි ඇමතිවරු අගමැතිවරයෙක් සිටියද? ඊට වඩා බලසම්පන්න ජනපති වටා ඉන්නා අයය.


නාමික


ගෝඨාගේ ආණ්ඩුවේ නිකමෙකු වූයේ අගමැති පමණක් යැයි බොහෝ අය සිතුවත් ඇමතිවරු පවා නිකමුන් වී සිටිති. ඒ අයට අද අපේ ආණ්ඩුව යැයි කියන්නට හෝ කොන්දක් නැත. මේ ගෝඨාභයගේ ආණ්ඩුවය. ඕනෑම දෙයකට විසඳුම් ඇත්තේ ඔහුටය. ඇමතිවරු සිටිනුයේ ජනපති කියන දෙය අසා එයට අත්පුඩි තැලීමටය. හුරේ දැමීමටය. විසිල් ගැයීමටය. අවැසි නම් ප්‍රතිවාදීන් කුඩු පට්ටම් කරන්නටය. එයින් තොරව අමාත්‍යාංශවලට කරන්නට වැඩ නැත. ඇමතිවරුන්ට කරන්නට වැඩක් නැත. බැසිල් යෝධයා ආ පසු තව පදාසයක් ගොඩය. මේ යෝධ රාජධානිය හොඳ හෝ නරක වුව තව වසර හතරක් බලා සිටිය යුතුය. ගෝඨාගේ ඔළුවේ තමාටම සීමාවෙච්ච රාජධානිය කෙසේ වේදැයි කීම ලේසි නැත. එහෙත් එහි මල් පිපෙන්නේ පළ හට ගන්නේත් ගෝඨාගේ කැමැත්තටම, ආශිර්වාදයට බව පැහැදිලිය. එහි හුස්මක් ගන්නකම් ගස් වැවෙනු ඇත. මන්ද දැන්ම හුස්ම ගැනීම අපහසු වී ඇත. එහි හරක් නොමැරෙනු ඇත. එහෙත් මිනිසුන් මැරිය හැකිවනු ඇත. ආයුධ පෙන්වන්නට යාමම එයට කදිම නිදසුනය.


ඒවා ඉදිරියේදී වැඩිවෙයිද? අඩු වෙයිද කියන්නට අපි සුමනදාස නොවෙමු. මේ රාජධානියේ බැලූ බැල්මට දුටුගැමුණු චරිතයට ඇති ඉඩ බොහෝය. එය සංකේතාත්මකව හරි ප්‍රබල බව පෙනේ. ගෝඨා දුටුගැමුණුගේ නැවත උත්පත්තියක්ද විය හැකිය. එලෙස ඒත්තු ගන්වාද ඇති හැඩය.


බොහෝ අය කියනුයේ ඉදිරිවර දිනන්නටත් ගෝඨාට මහින්ද අවැසි බවය. ඔහු ඉදිරියට දමා ජනතාව අතරට යන බවය. එය සිදු නොවන බව පැහැදිලිය. ගෝඨාගේ රාජධානිය වූ කලි ඔහු දිනන සටනක් විනා මින්පසු වෙන අය පෙන්නාගෙන යන සටනක් නොවනවා නියතය. ඇතැම්විට තව අය පන්නාගෙන යන සටනක් නම් විය හැකිය. හෙට දවසේ දේශපාලනයේ හැඩ වැඩ දැකිය හැක්කේ ගෝඨා හිස තුළ ඇති රාජධානිය ගොඩනැගූ පසුවය. එහි දස මහා යෝධයෝ සමග ඔහු අමුතු ගමනක් යනු ඇත. එය හොඳද? නරකද? යන්න මේ සිව් වසර තුළ ඕනෑවටත් වඩා තහවරු වනු ඇත.


සමහරු කියන ආකාරයට ඊළඟට මේ ආණ්ඩුව පෙරළන්නට කැටපොලු ගන්නේ විමල් සහ ගම්මන්පිල නම් ඒ අය සමග ඉන්නවාට වඩා ගෝඨා සමගම හිඳීම හොඳය. කොහොම වුණත් ඒ දෙපළ විපක්ෂයට නම් යාමට ඇති ඉඩ වැඩිය. ඒත් ඒ අයට වඩා ඉදිරියේදී දස මහා යෝධයෝ ප්‍රබල වනු ඇත. ඒ අය ළඟ විමල්, ගම්මන්පිල ලිලිපුට්ටෝ වනු ඇත. ■