ටිරන් කුමාර බංගගමආරච්චි

රටේ මොන ප‍්‍රශ්න තිබුණත් ජනතාව අතර ප‍්‍රධාන කතාබහ එළැඹෙන ජනාධිපතිවරණය ගැනය. පොදුජන පෙරමුණෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපති අපේක්ෂකයා කිරීමත් සමග මේ කතාබහ උග‍්‍ර විය. ජනතා විමුක්ති පෙරමුණ ඔවුන්ගේ අපේක්ෂකයා ලෙස අනුර කුමාර නම් කිරීමත් සමග එම පාක්ෂිකයන්ගේ උද්යෝගය ද උඩු දුවන්නට විය. දැන් ඉතිරිව ඇත්තේ එජාප අපේක්ෂකයා කවුද යන්න බලා සිටීමය. එයද ලොකු උද්යෝගයක් බවට පත්වී ඇත. ප‍්‍රබල අභියෝගය ගෝඨාභය වනවිට එයට එජාපයෙන් එන අභියෝගය දැනගැනීමට ජනතාව උනන්දුය. ඒ සජිත් ද කරුද? යන ප‍්‍රශ්නයට වඩා එජාප අපේක්ෂකයා රනිල්ම වන ලකුණු දැන් පහළ වී තිබේ. රනිල් අපේක්ෂකයා වී සජිත් අගමැති වෙතැයි සිතිය නොහැක්කේ සජිත් දැනටමත් තමා ජනාධිපති අපේක්ෂකයා බව රට වටේම ප‍්‍රචාරය කරන බැවනි. එහි අරමුණ එජාපයෙන් අපේක්ෂකත්වය නොදුනහොත් ඔහු වෙනම හෝ තරග කරන බවය. ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අපේක්ෂකයකු නොදා කල් මරනුයේ ඒ දේ වන තෙක් බව පැහැදිලිය. එවිට නව පක්ෂයේ ජනපති අපේක්ෂක සජිත් වන විට සිරිසේන එහි අගමැතිවීමට ඇති ඉඩ වැඩිය. මෙවැනි කතාබස්වලින් සමාජය වෙලාගෙනය. ගෝඨා පාක්ෂිකයෝ එක හෙළාම කියනුයේ ගෝඨා දිනන බවය. සජිත් පාක්ෂිකයෝ සිතනුයේ සජිත් නියතවම දිනන බවය. පේරාදෙණිය සරසවියෙන් කරන සමීක්ෂණ වාර්තාවක් කියනුයේ කරු ජනපති අපේක්ෂකයා වුවහොත් කරු නියතවම දිනන බවය. ජවිපෙ නායකයෝ වුව සිතනුයේ මෙවර තම පක්ෂය තෝරා ගැනීමට ජනතාව සිතනු ඇති බවය. තත්ත්වය එබඳුය. පොදු චිත‍්‍රය දෙස විචක්ෂණශීලීව බැලූවහොත් පෙනෙනුයේ ගෝඨාභය ජයගනු ඇති බවය. එය එසේ වීමට ඇති ඉඩ බොහෝය. කල්තබා කිවයුත්තක් ඇත. එනම් බොහෝ දේශපාලන විශ්ලේෂකයන් 50% ප‍්‍රතිශතයක් කිසිවකු නොගන්නා බව කී තර්කය පුස්සවක් වනු ඇති බවය. ගෝඨා එම ඉලක්කය පසුකර යනවා ස්ථිරය.


ගෝඨාගේ දිනුම


ගෝඨාභය දිනනු ඇතැයි ලියුම්කරු සිතනුයේ වෙන කිසිවක් නිසා නොව, මෙවර සිංහල බෞද්ධ ඡුන්ද සහ කිතුනු ඡුන්ද එක පිලකට විත් ඒ සැම ගෝඨා තෝරනු ඇති බැවිනි. මෙවර පැහැදිලිව සිංහල ලකුණක් අන් කවරදාටත් වඩා දැකගත හැකිවනු ඇත. අපේ‍්‍රල් 21 පාස්කු ප‍්‍රහාරයත් සමග මෙරට ජන මනස තනි ඉරට බෙදී ගිය බව කිව යුතුය. එම තත්ත්වය ඉහළම ආශිර්වාදයක් වූයේ ගෝඨාටය. එය දැන් ආපස්සට ගැනීම ලේසි නැත. මෙහිදී දෙමළ ජනයාගේ ඡුන්ද සහ මුස්ලිම් ඡුන්ද ප‍්‍රබලමුත් සමාජ පැවැත්ම උදෙසා ඔවුන්ට ජයග‍්‍රාහකයා මත යැපෙන්නට සිදුවනවා ඇත. එහිදී ගෝඨා දිනුවහොත් මුස්ලිම් ප‍්‍රබලයන් ගෝඨා සමග සිටගනු ඇත. දෙමළ ජාතික සන්ධානය වුවත් දෙකට තුනට කැඩෙනු ඇත. ඉන් පිරිසක් ගෝඨා තෝරා ගනු ඇත. දැනට ඇති චිත‍්‍රය අනුව ගෝඨා දිනනු සහතිකය. සජිත්, කරු, කවුරු ආවද එය වළක්වනු නොහැකිය. මන්ද මේ දෙපළටම වඩා මෙවර සිංහල ඡුන්ද ගොඩ ගෝඨා පැහැර ගන්නා බැවිනි.


අවසාන මොහොතේ ගෝඨා වෙනුවට ශිරන්ති තරග කරනු ඇතැයිද සමාජයේ කතිකාවක් පවතී. ඒ ගෝ්ඨාට ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගතහැකි නොවන නිසා බව ඒ අයගේ තර්කයන්ය. එය කිසිසේත්ම විය නොහැකිය. මෙවර එවැනි බරපතළ සෙල්ලම් සිදු නොවන බව පැහැදිලිය. ගෝඨා අරබයා එවැනි විහිළු වෙතැයි සිතිය නොහැකිය. දැන් ඔහුව ආපස්සට හැරවීම පහසු නොවේ. ඔහුට ඇදෙන ජන ගඟ හෙට ගෝඨා නෑ ශිරන්ති තරග කරන්නේ යැයි අහන පන්නයේ ළාමක අය නොවේ. ගෝඨා මේ තැනට ආවේ බලහත්කාරයෙනි. මහින්දගේ කැමැත්තටම නොවේ. ඔහු ඉතිරිය කරන්නේද කාගේ හෝ කැමැත්තට වඩා බලහත්කාරයෙන්මය. ඇමරිකානු පුරවැසිභාවය ඉවත් කර ගැනීම ඉල්ලූම් කළ පසු තීන්දුව ලැබීම ප‍්‍රමාද විය හැකි බව ඇමරිකානු තානාපතිනිය මාධ්‍යයට කියා තිබුණි. ගෝඨා ඇමරිකානු තේරීමක් බව ස්ථිරය. ඒ නිසාම මේ ගැටය ඔවුන් ලිහා දෙනවා ස්ථිරය. මහින්ද කෙරෙහි තිබූ ජන ආකර්ෂණය ගෝඨාට ඇදෙනු පෙනේ. ජනාධිපතිවරණය කිට්ටු වන විට එය මහින්දව අබිබවා යනු ඇත. දැනටමත් ඒ ලක්ෂණ පෙනෙන්නට තිබේ. දැන් මහින්දට ගෝඨාව බන්ධනය කළ නොහැකිය. ගෝඨා ස්ථිරවම ජනපතිවීමක් කාට හෝ නැවතිය නොහැකි වනු ඇත. මන්ද ජනතාව විසින් එය තීන්දු කරන බැවිනි.


සජිත් සහ අලූත්මග


සජිත් එජාපයේ අපේක්ෂකයා නොවුණහොත් ඔහු එජාපයෙන් ගැලවෙනු නියතය. ඔහු සමග විශාල පිරිසක් එවිට ඉවත් වනු ඇත. ඒ පිරිස එජාපයේ සිටින දක්ෂයන්ය. එමෙන් හොර ¥ෂිත ලේබල අලවා නොගත් අය වීමද විශේෂ වනු ඇත. මහින්ද ශ‍්‍රී ලංකා එක විනාශ කළේ හිතාමතා නොවේ. ඔහුට යන එන මං නැති තැන එල්ලෙන්නට වැලක් ලෙස බැසිල් පොහොට්ටු පක්ෂය නිර්මාණය කළේය. එහෙත් නොසිතූ ලෙස පළාත් පාලන මැතිවරණවලින් පොහොට්ටුව අති දැවැන්ත ජයක් ලැබීමත් සමග මහින්දට රාජපක්ෂලාගේ පක්ෂයක් නිර්මාණය කිරීමට අවශ්‍ය විය. එය දැන් සිදුවී ඇත. මහින්ද ශ‍්‍රී ලංකා එක සමග එකතුව ඒ යැයි බොහෝ අය සිතුවත් එය එලෙස නොවූයේ ශ‍්‍රී ලංකා එක මේ වනවිට වැඩකට නැති පක්ෂයක් බවට පත්ව ඇති නිසාය. එමෙන්ම රාජපක්ෂ මෙවර කළේ එදා එජාපයෙන් කැඞී බණ්ඩාරනායක පක්ෂයක් ඇති කළා සේ ම වැඩකි. එදා බණ්ඩාරනායකලා වැරදි යැයි අද කවුරු හෝ නොකියති. එසේ නම් මහින්ද කළේ බණ්ඩාරනායකලාගේ පක්ෂය විනාශ කොට රාජපක්ෂලාගේ පක්ෂය ඇති කිරීමය. හෙට දවසේ එය ප‍්‍රබල වන විට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය වමේ පක්ෂ තරමට බංකොළොත් වනු නියතය.


සජිත් අනුගමනය කරන්නට යන්නේ මේ මගය. එනම් එජාපයෙන් මිදී අලූත් මගක් ගැනීමටය. සජිත් එජාපයෙන් ගියහොත් ඔහු ඉවර යැයි ඇතැම්හු සිතුවත් මෙවර සිදුවන්නේ එහි අනෙක් පැත්ත බව කිව යුතුය. එනම් සජිත් ගියහොත් එජාපය ඉවර බවය. එයට අත්වන්නේද අද ශ‍්‍රී ලංකා එකට අත්ව ඇති ඉරණමමය. මහා පක්ෂ දෙකම මේ අනුව අනාථ වනු ඇත. එය එක්තරා විදිහකට හොඳ ප‍්‍රවණතාවකි. වෙනස් නොවන පක්ෂ වඳ විය යුතුමය. රනිල්ට සිදුව ඇත්තේ මග සිිටියොත් තෝ නසී, ගෙදර ගියොත් අඹු නසී පන්නයේ වැඩකි. සජිත්ට දීලත් බැරිය. නොදිත් බැරිය. කෙසේ වෙතත් සජිත්ට නොදෙනු ඇත. රනිල් මග නොසිට ගෙදර යනු ඇත. එවිට අඹු නැසී හෝ ඔහු ගැලවෙන බව ඔහු දනී. එහෙත් ඔහුට වන්නේ සිරිසේනට වූ දේමය. එනම් යන එන මං නැතිවීමය. මේ කාලය දේශපාලන විපර්යාස වන කාලයකි. එවිට සජිත් යන අලූත් මග අනාථ වනු ඇතැයි සිතුවද ඔහු ගෝඨාට පසු දෙවැනි තැන ගන්නවා ඇත. එවිට විපක්ෂ නායක භූමිකාව ඔහුට හිමිවනු ඇත. දැනට එතැනින් නවතිමි.


ජවිපෙ සහ සෙනඟ


ජවිපෙ අපේක්ෂකයා අන් සැමට වඩා සුපර් ස්ටාර්ස් වූ බව කිව යුතුය. එදා අනුරගේ හැසිරීම් ඊට පෙර ඔහු පෙන්නූ අභිමතයන්ට වඩා බෙහෙවින්ම වෙනස්ය. ඔහු ජනාධිපති වූ ගාණට හැසිරුණේය. ඔහුගේ පෞරුෂය බිංදුවටම වැටී ඇති බව දිස්විය. සෙනඟ දුටු කල හැමදාම ජවිපෙ නායකයන් අන්ධ විය. අනුරත් මෙවර ඒ උගුලේ ආශාවෙන් පැටලූණේය. ඇතැම්විට ඒ ජවිපෙ උපරිමය විය හැක. ලංකාවේ ඇතැම් ජනයා එළිපිට ජවිපෙ තෝරා ගන්නට කැමතිය. එහෙත් ඡුන්දය දමන රහස් වටපිටාව තුළ ඔවුන්ගේ ඇත්ත ආශාව මතුවේ. එවිට ජවිපෙ අමතක වී වෙනකෙකු ඉස්මතු වනු ඇත. අනුරත් ඒ අත්දැකීම ලබනවා සහතිකය.


රනිල් සහ මහින්ද


ලංකාවේ මෑතකාලීන දේශපාලන ගලිවර්ලා දෙදෙනකු වන මහින්ද සහ රනිල් අතරින් මහින්ද යම් පමණකට හෝ තම ජාමේ බේරා ගත්තද රනිල්ට එය ලේසි පහසු නොවනු ඇත. ඔහු වඳ වී යන්නටම ඉඩ ඇත. එයට හේතුව ඔහු ඕනෑවටත් වඩා තම පක්ෂ නායකකම බහිවරයකු සේ රැුකගත් නිසාය. දැන් ඔහුගේ නිධානයේ වටිනාකම අඩුවෙමින් පවතී. ඔහුට ඔහුගේ ගජ මිතුරු පිරිසත් සමග පාඩුවේ විසිය හැකිය. බලය ගිලිහුණු තැන ඔවුන් වුව රනිල් සමග සිටිතැයි සිතිය නොහැකිය. මලික් යනු තනිකරම රනිල්ගේ ගොඩනැගීමකි. එහෙත් ඔහු අද ඉන්නේ සජිත් ළඟය. හැමදාම තත්ත්වය එක වගේ වන්නේ නැත. මෙවර ජනාධිපතිවරණයත් සමග රනිල්ට කීමට ඉතිරි වන්නේ ‘සොරි’ කියාය. අද වනවිට අප අකමැති වුවත් කැමති වුවත් දේශපාලනය අමුතු ආරක් ගෙන ඇත. එහි ශීඝ‍්‍ර වෙනස්කම් කඩිනමින් කළ යුතුව ඇත. එසේ නොවුණහොත් සියල්ල වෙනස්වනු ඇත. ඡුන්දදායකයාද ක්ෂණික වෙනස් කරන්නකු වී ඇත. 2015 යහපාලනය ඉල්ලූ අය හෙට ගෝඨා ඉල්ලිය හැකිය. 2025 වනවිට ඒ අයටම ගෝඨා එපා විය හැකිය. කොතරම් බලපුළුවන්කාරයෙක් වුවත් ඒකාධිපතියෙක් වුවත් ජනතාවට මට්ටු බව මෑතකාලීන මෙරට දේශපාලනය මනාව ඔප්පු කොට ඇත. යහපාලනයට දෙවරක් ඉන්න බැරි වූයේ ඒ නිසාය. හෙට එය ගෝඨාට වුව පොදුය. 2025දී සජිත්ගේ පීක් එක විය හැකිය.

දේශපාලනය දැන් සූදුවක් වී ඇත. ජනතාව උඩ පැන පැන ඔට්ටු අල්ලති. තමන් අල්ලන අශ්වයාට දුවගන්නට බැරි බව පෙනුණු සැණින් වෙන අශ්වයකු තෝරා ගනී. මොන ඒකාධිපතියාට වුව යා හැකි දුර කෙටිය. ගෝඨා වටා ඉන්නේ හමුදා පිරිස්ය. ඔවුන් බලය ලබාගත් සැණින් මෙය හමුදා පාලනයක් ලෙස ගත හැකිය. එවිට ජාත්‍යන්තරයට වුව අත පෙවිය හැකිය. ඒතරම් දුර නොයන්නට මහින්ද සහ බැසිල් ගේමක් ගසනු නියතය. එහෙත් දැන් එජාපයට එවැනි සටකපට දේශපාලකයෝ නැත. ඒ අතින් ගෝඨාගේ ටීම් එක තරග දිනන කණ්ඩායමකින් සමන්විතය. එජාපයට සිදුව ඇත්තේ පසුගිය කාලයේ ශ‍්‍රී ලංකා කි‍්‍රකට් පිලට වූ සන්තෑසියමය. නායකයන් වැඩිය. එකමුතුවක් නැතිය. ඊයේ පෙරේදා ආ චම්පිකලා මෙන්ම ෆොන්සේකලාත් නායකත්වය ඉල්ලන තැනට එය බාල්දු වී ඇත. කොටින්ම අද ඔවුන්ට ජනාධිපති අපේක්ෂකයා තෝරා ගැනීමත් මරු උගුලක් වී ඇත. දැන් රනිල්ම ජනාධිපති අපේක්ෂකයා වනු හැර වෙන විකල්පයක් නැත. ඒ වුවත් එය ගෝඨාට අභියෝගයක් වනු ඇත්ද? ඇත්ත නම් යහපාලන නඩය රාජපක්ෂලා බිම දැමූ වේගයෙන්ම ඔසවා තැබීය. අහස උසටම ඔසවා තැබීය. ගෝඨා වීරයකු කළේ කවුරුවත් නොව යහපාලන ආණ්ඩුවමය. බිල්ලා නිර්මාණය කරගත්තේම ඔවුන්ය. දැන් බයවී කෑගහන්නේද ඔවුන්මය. ජනතාවට ආණ්ඩුවම හැ¥ බිල්ලා පෙන්නා බය වෙන්නැයි කීම සාධාරණද? ඒ කී සැණින් අප බය විය යුතුද?