ටිරන් කුමාර බංගගමආරච්චි

අගෝස්තු පස්වැනිදායින් පසු එක්කෝ නරකාදිය පහළ වනු ඇත. නැතහොත් ස්වර්ගය පහළ වනු ඇතැයි මෙරට ජනයා දෙපිළ බෙදී දෙවිදියටම සිතති. ජනයාට ඒ සිතුවිල්ලේම ගිලෙන්නට ඉඩ හැර අපි වෙන දෙයක් කියමු.


දිගින් දිගටම වෘකයකුගෙන් අශ්වයකු වෙත එල්ල වූ තර්ජනය නිසාවෙන් දිනක් මිනිසකු හමුවී තම දුක්ගැනවිලි ඉදිරිපත් කිරීමට අශ්වයා තීරණය කළේය. ඒ අනුව අශ්වයා මිනිසකු මුණ ගැසීමට ගොස් තම දුක්ගැනවිල්ල ඔහුට ඉදිරිපත් කළ අතර එය සාවදානව අසා සිටි මිනිසා අශ්වයාගේ ගැටලුවට තමන් සතු විසඳුම ඉදිරිපත් කළේය. එනම් තමන්ට වෘකයා විනාශ කළ හැකි බවත් එහෙත් ඒ වෙනුවෙන් තමන් දෙන කටකලියාව පැලඳගෙන තමන්ව පිට මත තබාගෙන යෑමට අශ්වයා එකඟ විය යුතු බව කීවේය. අශ්වයාගේ එකම අවශතාව වූයේ වෘකයාට පාඩමක් ඉගැන්වීම බැවින් දුරදිග හිතා නොබලා ඊට එකඟ විය.
එතැන් පටන් වෘකයාගෙන් අශ්වයාට තර්ජනයක් නොවූ නමුත් වෘකයාගේ ගොදුරක් වනු වෙනුවට මිනිසකුගේ වහලෙක් වී ජීවිත කාලයම කඹුරන්නට අශ්වයාට සිදුවිය.


මේ යුරෝපියානු උපමා කතාව සිහිවූයේ හැට නව ලක්ෂයකට ආසන්න ජනතා කැමැත්ත දිනාගෙන ජනපති වූ ගෝඨා නම් අශ්වයා දුටු විටය. දැන් ගෝඨා නම් අශ්වයාට 19 නම් වෘකයා හමුවී ඇත. අගෝස්තු පස්වැනිදායින් පසු දිගින් දිගටම දහනවය නමැති වෘකයාගෙන් ගෝඨා නමැති අශ්වයාට තර්ජන එල්ල වීම නිසැකය. ඔහුට දැන් 19ය නමැති වෘකයාගෙන් බේරීමට මිනිසකුගේ පිහිට පතන්නට සිදුවී ඇත. ගෝඨා නමැති අශ්වයාගේ දුක්ගැනවිල්ල අසන්නට සිටින මිනිසා බවට පත්වී ඇත්තේ මහින්ද රාජපක්ෂය. උපමා කතාවේ මිනිසාත් මේ මිනිසාත් අතර වෙනසක් නැත. මොහුද ගෝඨා නමැති අශ්වයාව 19 වන වෘකයාගෙන් ගලවා ගනු ඇත. ඒ වෙනුවෙන් තමන් දෙන කටකලියාව පැලඳ ගෙන තමන්ව පිට මත තබාගෙන යෑමට අශ්වයා එකඟ විය යුතු වනු ඇත.


දුරදිග හිතා බැලුවායි ගෝඨාට පළක් නොවනු ඇත. 19න් බේරීමට ඔහුට මහින්දගේ වහලකු වීමට සිදුවනු ඇත. ගෝඨා ගොදුර වනවාද වහලකු වනවාද යන්න කාලය විසඳනු ඇත.


අගමැති ප්‍රබල වීම


ජේ.ආර්. ජයවර්ධන මේ විධායක ජනාධිපතිකම සතු බලය හැඳින්වූයේ තමාට කළ නොහැකි ගැහැනියකු පිරිමියකු කිරීමත්, පිරිමියකු ගැහැනියකු කිරීමත් පමණක් බවය. ඔහුගේ පටන් මේ විධායක බලයෙන් ජනපති වූ අය උපරිම සෙල්ලම් දැමූහ. එහෙත් 2015 යහපාලන ආණ්ඩුව ගෙන ආ 19 වන සංශෝධනය ජනපති නාමික තනතුරක් බවට පත්වී ඇත. සිරිසේනගේ මුල් කාලයෙන් පසුව එය ක්‍රියාත්මක කිරීමට සිටි නිසා සිරිසේනට එය එතරම්ම නොදැනුණත් ගෝඨාට දැන් එය ඍජුවම බලපාන තැනට පත්වී ඇත. ගම්මන්පිල වැනි කෙරුමෝ 19 නිසා ජනපති බලය නැතිවී නැතැයි බයිලා එකල කීවද අද කියනුයේ එළඹෙන ආණ්ඩුවේ විපක්ෂයේ කාර්යභාරයද තමන් කරන බවය. මේ කිතුලට ගිය මිනිහාගේ උත්තරය. මේවායින් ගෝඨාට පළක් නැත. මැදගොඩ අභයතිස්ස හිමි කීවේ පාර්ලිමේන්තුවට පිටින් ව්‍යවස්ථාවක් නිර්මාණය කොට ගෝඨා ලවා වැඩ ගන්නා බවය. ඒ කතා ද නිකම්ම බණය. ඇත්ත ප්‍රශ්නය දැන් කරළියට එමින් තිබේ.


1947 ඔක්තෝබර් 14 වැනිදා ප්‍රථම අගමැති ධුරයට පත්වූ ඩී.එස්. සේනානායකගේ සිට මේ දක්වා අගමැතිවරු 14 දෙනකු පත්වී ඇත. මේ දාහතර වැනි අගමැතිවරයා වී ඇත්තේ මහින්ද රාජපක්ෂය. ඔහු පහළොස් වන අගමැතිද වනවා නියතය. කලක් නාමික වූ අගමැතිකම නැවත ඔහුගෙන් පණ ලබනවාද නියතය. දැනට තුන් වරක් අගමැති ධුරය දරා ඇති මහින්ද බලසම්පන්න අගමැති වනුයේ මෙවරය. රනිල් පස් වරක්ම අගමැති වුවද ඔහු විධායක ජනාධිපතිවරයකුගේ රූකඩයක් විනා ඉන් එහා දෙයක් නොවුණි. ජනපති පරදවා අගමැතිවීමට රනිල්ට හැකි වුවත් ජනපති අබිබවා යන්නට නොහැකි විය. ඒ තරමට ජනපති බලසම්පන්න විය. මේ නිසාම 2015දී 19 වන ව්‍යවස්ථා සංශෝධනය ගෙනවිත් ජනපති මෙල්ල කොට අගමැති ප්‍රබල වන ගැටය රනිල් ගැසුවේය. එහෙත් එහි ඵල බුදිනුයේ රනිල් නොව මහින්දය. දේශපාලනිකව බලන කල මෑත ඉතිහාසයේම පහළ වූ වාසනාවන්තයා මහින්ද බව නොකිව මනාය. හැට නව ලක්ෂයක ජනතා බලය ගැන කීවද හෙට දවසේ ගෝඨා නමට ජනපති වනු ඇත. වියත් මග නොව මොන මග තිබුණද ඔහුට ඉදිරියට යා හැක්කේ මහින්දගේ අතේ එල්ලීය. කීකරුවය. නියම බාල සහෝදරයකු ලෙසටය.


අගෝස්තු පහෙන් පසු


2015 සිදු කළ ව්‍යවස්ථා සංශෝධනය අනුව ජනපති ධුරයේ බලතල කප්පාදු වී අගමැති ධුරයේ බලතල වැඩිවනු ඇත. ඒ අනුව ජනපති නාමික වන විට අගමැති විධායක අගමැති කෙනකු වනු ඇත. 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයට අනුව ජනපති සතු බලතල ඉතා සීමාසහිත විය. එම කාලය තුළදී (සිරිසේන) ආරක්ෂක අමාත්‍යාංශය ඇතුළුව යම් එක් අමාත්‍යාංශයක බලතල දැරීමේ හැකියාව ඔහු සතු වුවද එහෙත් ඉදිරියේදී එම හැකියාවද ඔහුට අහිමි වේ. ජනපතිගෙන් හීනවන එම බලතල ලැබෙනුයේ අගමැතිටය. ඒ අනුව අගමැති බලවන්තයා වී ජනපති දුබලයා වීම අගෝස්තු පහෙන් පසුව උදාවනු ඇත.


රනිල් – සිරිසේන


රනිල්ලාගේ පොදු අපේක්ෂකයා ලෙස සිරිසේන පත්වීමත් අඩුම තරමේ මුල් වසර පහ හෝ ඔහුට බලයක් ඇතිව ඉන්නට ඉඩ හැර දෙවැනි වර ඔහු නාමික කොට බලය ඇල්ලීම රනිල්ගේ උපාය විය. එහෙත් රනිල්ට දෙවැනි වරමක් නොවීය. ඒ නිසා 2015 සිට එනම් 19 සංශෝධනය ගෙනා පසුව හෝ තම අගමැති බලය අත්හදා නොබැලූමුත් පුරුදු පරිදි හයිකාරකමින් ඉන්නට ක්‍රියා කළේය. ඒ නිසාම සිරිසේන සහ රනිල් අතර නිම නොවන ගැටුම් ඇතිවිය. වරක් ශිරාල් ලක්තිලක කීවේ සිරිසේනට මෙය කියවා බලා අධ්‍යයනය කර අත්සන් කරන්නැයි කී කල රනිල් විශ්වාසයි කියා එකෙන්ම අත්සන් කළ බවය. 19 ගැන කිසිවක් නොදත් සිරිසේන විධායක ජනපතිකමේම එයාකාරයෙන්ම සිටි අතර රනිල්ද එය ඒත්තු ගන්වන්නට නොගියේය.


මහින්ද සහ රනිල්


රනිල් එසේ ක්‍රියා කළේ දෙවැනි වාරයේ ශක්තිමත් වන්නට වුවත් ඔහුට දෙවැනි වාරයක් නොලැබුණි. එම වාරය හින්දට ලැබෙන අතර මහින්දද රනිල් සේ ක්‍රියා කරතැයි සිතිය නොහැකිය. ඔහු ගෝඨාට අවනත සේ හීනියට බලය ලබා ගනු ඇත. මහ මැතිවරණයෙන් පසු ජනපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා පමණක් වනු ඇත. බලතල හිමි වනුයේ අගමැතිවරයාටය. කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය ඇත්තේ මින් මතු අගමැතිටය. ජනපති කැබිනට් මණ්ඩලයේ ප්‍රධානියා වුවද කැබිනට් මණ්ඩලය පත් කිරීමේ බලය අහිමිය. ඒ බලය 19 වන සංශෝධනය අනුව අගමැතිට පැවරේ. සිරිසේනට අමාත්‍යාංශය ලැබුණත් ගෝඨාට අමාත්‍යාංශ හිමි නොවේ. 19 අනුව එය සිරිසේනට පමණක් හිමිවී තිබූවක්. එය දන්නා නිසාම ජනපති ගෝඨා මෙවර ආරක්ෂක අමාත්‍යාංශයට කිසිවෙක් පත් නොකර එය හිස්ව තැබුවේය. එය තමන්ට ගත්තද මහ මැතිවරණයෙන් පසු එය ගැලවෙන බව දන්නා නිසාම සිදුවුවක් බව පැහැදිලිය.


ජනපතිට ඇති දෑ


දැනට ඇති තත්ත්වය අනුව ජනපතිට ඇති එකම බලය අමාත්‍යාංශ ලේකම්වරුන් පත් කිරීමේ හැකියාවයි. එය හැරුණු කොට එතෙක් ජනපති සතු වූ බලය අගමැති වෙත පැවරී ඇත. ජනපති කැබිනෙට්ටුවේ නායකයා මෙන්ම රටේ සේනාධිපතියා වුවද ඔහුට අමාත්‍ය තනතුරු කිසිවක් හිමි නොවේ. ඒ සියලු බලය අගමැති සතු වන විට ඉදිරියේදී රට කරවීමේ බලය ඇත්තේ අගමැති සතුවය. ජනපතිගේ මැදිහත්වීමකින් තොරව විධායක බලතල සහිත කැබිනෙට්ටුවක් පාලනය කිරීමේ බලය අගමැති සතුය. ඒ අනුව ජනපති ඉබේම අර්ධ නාමික තනතුරක් බවට පත්වේ.


වෙනස


අගමැතිට බලය ලැබී ජනපති නාමික වීම හොඳ ප්‍රවණතාවක් ලෙස බොහෝ අය දුටුවද මේවා තුළ වන ක්‍රමවේදය අනුව එය කොතරම් යහපත් වේද යන්න ප්‍රශ්නාර්ථයකි. විධායක ජනපති ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතු කර ගත්තා සේ ම ඉදිරියේදී අගමැති ආරක්ෂක අමාත්‍යාංශය තමන් සතු කරගනු ඇත. 78 අනුව ආරක්ෂක අමාත්‍යාංශය මුදල් අමාත්‍යාංශය විධායක ජනපති සතුවූවා සේ ම ඉදිරියේදී එය අගමැති සතු බූදලයක් වනු ඇත. 19 අනුව රට පාලනය කිරීම ජනපති, අගමැති කේන්ද්‍ර දෙකින්ම සිදුවන අයුරු පෙනුණද අවසානයේ පාලනය සිදුවන්නේ අගමැති බලය මතය. කැබිනට් මණ්ඩලය මෙහෙයවීමේ පූර්ණ බලය ඔහු සතුය. ජනපතිවරයා ඇමතිවරු පත් කළ යුත්තේ අගමැතිගේ මගපෙන්වීම යටතේ ඔහු නම් කරන අයය. ඒ අනුව කැබිනට් මණ්ඩලයේ සිටිය යුතු අය තීරණය වන්නේ අගමැතිගේ ඕනෑකම මත මිස ගෝඨාගේ ගමනට ඕනෑ අය නොවේ.


දැනට සමාජගතවී ඇති ප්‍රසිද්ධ කතාවක් වන ගෝඨාට වැඩ කරන්නට මහින්ද ඉඩ නොදෙතැයි කතාව ඉදිරියේදී එළිපිටම කතා කළ හැකිය. ගෝඨා සරණ ගිය බොහෝ අයට මුඛ බන්ධනයට ලක්වී සිටිය හැකිය. බැසිල් මහින්දගේ දෙවැනි කෙරුමා වනු ඇත. ඉන්පසු නැවත ගමන 2015 පෙර ගමනමය. වෙනස ඒ තුළ ගෝඨාත් ආරක්ෂක ලේකම් ලෙස චරිතයක් වුවත් මෙවර එය මල්පෝච්චියක් වීමය. එවිට බොහෝ අයට හීල්ලිය හැක්කේ අහෝ! ගෝඨා නොදිටි මොක්පුර කියාය. මහින්ද නොබෝදා කීවේ ඇතැම් සමාජ මාධ්‍යවල තමන්ව නැගිට ගන්නවත් බැරි දුර්වලයකු ලෙස හඳුන්වන බවය. තමා එසේ නොවන බවද ඔහු කීවේය. අගෝස්තු පහෙන් පසු ඔහු එසේ නොවන බව ටක්කෙටම දැනගත හැකිය.
මහින්ද 2019දී කීවේ අපි දිනන අශ්වයෙක් ජනාධිපති තරගයට දමන බවය. ඒ අශ්වාය දින්නේය. එහෙත් අද ඒ අශ්වයාට සිදුව ඇත්තේ කුමක්ද? ගෝඨා නම් අශ්වයා සැබැවින්ම පව්ය. තුනෙන් දෙක ඕනෑ ඒකටය. අශ්වයා බේරා ගන්නටය. එහෙත් විසඳුම් දෙන මිනිසා භයානකය. ■

1 COMMENT

  1. ලංකා ජනතාව මෝඩයෝ කියා සිතන්න එපා. මේ වර එ.ජා.ප.ට ඡන්ද නුදුන්නේ රනිල්ව බේරා ගන්නට විය හැක. ඒසේ නැතිනම් ගෝඨා/රනිල් ගැටුම් හටගන්නට ඉඩ ඇති බව මෙම ලිපිය පැහැදිලිව පෙන්වයි. ඔහොම යං. ගැටුමක් ඇතිවුනොත් එය පවුල් ගැටුමක් වශයෙන් සීමාවෙයි. හානිය අඩුයි. පිට පණින්නේ නෑ.

Comments are closed.