ටිරන් කුමාර බංගගමආරච්චි

ග්‍රීක් අධිරාජ්‍යයා වූ මහා ඇලෙක්සැන්ඩර් ගැන කතාවකින් ලිවීම පටන් ගමු. ඔහු ජීවත් වූයේ මීට වසර දෙදහකටත් එපිටය. ඔහුගේ නමට ‘මහා’ යන්න ඇතුළත් වූයේ ඔහු රටවැසියාට එසේ භාවිත කළ යුතු යයි බල කර සිටි හෙයිනි. ඔහු සොල්දාදුවන් කණ්ඩායමක් සමග භූමියකට ගොඩ වැදී තමන් එහි රජු බවට ප්‍රකාශ කොට තමන්ට එසේ අමතන ලෙස එම භූමියේ සිටි ජනතාවට බලකර සිටියේය. එලෙස තවත් රාජ්‍යයන් ආක්‍රමණය කරමින් ඒ දේම කළේය. මහා ඇලෙක්සැන්ඩර් අධිරාජ්‍යය වඩාත් ප්‍රසිද්ධියට පත්වූ කරුණක් විය. එය හඳුන්වනුයේ ගොර්ඩියන්ක්නොට් (ගැටය) නමිනි. ගොර්ඩියන් නම් රජෙකු විසින් ලණුවක් විචිත්‍ර ලෙස නමුත් පහසු ගැටයකින් ගැට ගසා, එය ලිහා දැමීමට හැකිනම් ඇලෙක්සැන්ඩර් රජුට සම්පූර්ණ රාජ්‍යයම පාලනයට ඉඩ සලසන බව පවසන්නට විය.


මෙම ගැටය ලිහීම සඳහා තම අවධානය යොමු කිරීමට නොකැමති වූයෙන් තම කඩුව කොපුවෙන් ඇද ගොර්ඩියන් රජුගේ ගැටය දෙකට වෙන් වන සේ කපා දැම්මේය. මෙය වංචාවකි. සත්‍ය ලෙසම වංචාවකි. එහෙත් ඇලෙක්සැන්ඩර් රජුගේ බොහෝ සොල්දාදුවන් ගොර්ඩියන් රාජ්‍යයේ සෑම දෙනාටම ඇලෙක්සැන්ඩර් රජුට හිස නැමීමට සිදුවිය. ඉන් පසුව මහා ඇලෙක්සැන්ඩර් අධිරාජයා පහළ විය.


එදා මෙදා තුර කිසියම් දුෂ්කර ගැටලුවක් මතුවූ විට එයට ගොරෝඩියන්ක්නොට් යනුවෙන් කීමට මහජනතාව පුරුදු විය. මෙය විසඳා ගතහැකි පහසුම ක්‍රමය තරමක් අවිනීත හෝ ශිෂ්ටසම්පන්න නොවූවත් – ගොරෝඩියන්ක්නොට් කපා දැමීම වැනි ක්‍රමයක් අනුගමනය කිරීමයි.


අපි කැමති වුවත් අකමැති වුවත් ගෝඨාභයගේ දේශපාලන භාවිතය ‘ගැට කපන’ පන්නයේ එකකි. ගොරෝඩියන්ක්නොට් වර්ගයේ එකකි. ඒ නිසාම ගෝඨා කාලයේ එන බොහෝ දේශපාලන ගැට ඔහු ලිහනු වෙනුවට කපා දමනු ඇත. ඇලෙක්සැන්ඩර් කඩුව භාවිත කළද නූතන භාවිතය තුළ අඬුව තියෙද්දී අත පුච්චා ගත යුතු නැති බව ගෝඨා දනී. ඒ නිසා ඉදිරියේදී විසඳෙන බොහෝ දේශපාලන ගැට අවසානයේ ගෝඨා කපා දැමූ ඒවා බව කල්ගත වී හෝ වැටහෙනු ඇත.
ජනාධිපතිකමට ඉල්ලීමේදී ගෝඨා ඇමරිකානු පුරවැසිකම ඉවත් කර ගත්තේද යන්න මෙරට ප්‍රබල දේශපාලන කතාබහක් විය. කොටින්ම අවසානයේ පුරවැසියන් දෙදෙනෙක් එයට විරුද්ධව පෙත්සමක් ගොනු කළේය. එය නිකං පෙත්සමක්ම විය. ගැටය කපා දැමූ බව පැහැදිලිය. අදටත් ගෝඨා ඇමරිකානු පුරවැසියෙක්ද නැද්ද යන්න ප්‍රශ්නයකි. එහෙත් එය අද ප්‍රශ්නයක් කරගන්නකු නැත. ඒ ගැන අමුතුවෙන් හිතන අයද නැත.


මේ අතර තවත් පෙත්සමක් කරළියට පැමිණ ඇත. ඒ පාර්ලිමේන්තුව නැවත කැඳවන ලෙසය. ඒ පෙත්සමද පුරවැසියන් කිහිපදෙනෙක් දැමූවකි. එයට කුමක් වනවාද යන්න සිතුහොත් නැවත සිහියට එනුයේ ගොරෝඩියන්ක්නොට්ය. ගැට කපන්නෙකු රජවී ඇති කල ගැට ලිහා ගන්නට වෙර දැරීම බොරු වෙහෙසකි. ලිහන්නැයි ඉල්ලා සිටීම කාලය කා දැමීමකි. එය එසේ නම් ගෝඨාට ගැට කපන්නට දී බලා සිටිය යුතුදැයි කෙනකුට ප්‍රශ්න කළ හැකිය. කිවයුත්තේ එය තවත් ගැටයක් බවය.
ලංකාව තුළ ගැට කපන්නා යන්න වෙනම අරුතක් ගනී. ඒ මහමග ගැට කපන්නෝය. සරලව ඒ ගැන හිතුවහොත් ගැට කපන්නෙකු දුටුවද නොදුටු සේ සිටින්නට ජනයා පුරුදුව ඇත්තේ ඇයි? එනම් පෙනෙන පුද්ගලයා තනි පුද්ගලයකු නොව ජාලයක ප්‍රතිඵලයක් වන බැවින් ගැට කපන්නා අල්ලා ගන්නට ගොස් තවකෙකුගේ දැලි පිහි පහරක් කෑ හැකි බැවිනි. මාගේ හිතීමට අනුව ගෝඨා ගැට කපන්නෙකු වන්නේ ඇලෙක්සැන්ඩර්ගේ අරුතට වඩා මෙරට ගැට කපන්නා යන අරුතෙනි. කොටින්ම මේ දෙකේම එකතුවෙනි.


ගැට කපන්නා සමග ජාලයක්ම ඇති බව වටහා ගත යුතුය. ජාලයට උදව් කරනුයේ ගැට කපන්නාට බවත් පැවැත්ම ඇත්තේ එහි බවත් සිහි තබා ගත යුතුය. එයට විරුද්ධ විය හැක්කේ තනි තනිව නොව ජාලයට වඩා විශාල ජාලයක් හදා ගැනීමෙනි. ඒ සඳහා තව බොහෝ කල් ඇත. එතෙක් ගැට කපන්නෝ දැක කරබාගෙන ගියහොත් පුදුම විය යුතු නැත. මන්ද මේ මොහොතේ ජනතාව සිටිනුයේද ගැට කපන්නෝ මත්තේමය.


මේ මොහොතේ ව්‍යවස්ථාව ගැන කතා කිරීම, ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කිරීම ගැටය. ඒවා ලිහා ගන්නට යෑම ලිහාගන්නැයි කීම ඊට වඩා ගැටයකි. සිදුවනු ඇත්තේ මේ ගැට පහසුවෙන්ම කපා දැමීමය. අවිනීත හෝ ශිෂ්ටසම්පන්න නොවූවත් පහසුම ක්‍රමය එයය. ■