නිමල් අබේසිංහ/ලෝරන්ස් ෆර්ඩිනැන්ඩු/ ඉඳුනිල් උස්ගොඩ ආරච්චි


ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක අමාත්‍යධුරය ලබා ගැනීම, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ දහනම වැනි ව්‍යවස්ථා සංශෝධනය අමු අමුවේ උල්ලංඝණය කිරීමක් බව දේශපාලන විචාරකයෝ කියති.


ජනාධිපතිවරණයෙන් පසුව රනිල් වික්‍රමසිංහ ආණ්ඩුව සිය බලය අතහැර ගිය පසුව මහින්ද රාජපක්ෂ ප්‍රමුඛ පොදුජන එක්සත් පෙරමුණ ආණ්ඩු බලය ලබාගත් අවස්ථාවේදී ආරක්ෂක අමාත්‍යාංශය භාරව කිසිදු අමාත්‍යවරයකු පත් නොකර සිටියද මෙවර මහමැතිවරණයෙන් ලැබු තුනෙන් දෙකේ බලයත් සමඟ ජනාධිපතිවරයා ව්‍යවස්ථා විරෝධීව ආරක්ෂක අමාත්‍යාංශය සියතට ගැනීමට කටයුතු කර ඇත.


අධිකරණ අමාත්‍යාංශයේ හිටපු ලේකම්වරයකු මෙන්ම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා විශාරදයකු වන ආචාර්ය නිහාල් ජයවික්‍රම පැවසුවේ 19 ව්‍යවස්ථාවේ 43(2) ව්‍යවස්ථා ප්‍රකාරව අමාත්‍ය ධුරයක් දැරිය හැක්කේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකුට පමණක් බවය. ජනාධිපතිවරයා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයකු නොවන බැවින් ඔහුට අමාත්‍ය ධුරයක් දැරීමට හිමිකමක් නැති බව ඔහු පැවසීය.
මෙම හේතුව නිසා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක අමාත්‍යාංශයට අදාලව ලබා දෙන නියෝගවල වලංගුතාවයක් නොපවතින බවද ඔහුගේ මතය වේ.


19 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ පිළිබඳ මහජන නියෝජිත කමිටුවේ හිටපු සභාපති අධිනීතිඥ ලාල් විජේනායක පැවසුවේ 19 ව්‍යවස්ථා සංශෝධනයට පෙර ජනාධිපතිවරයාට අමාත්‍යධුර දැරීමේ හැකියාවක් තිබුණද එම සංශෝධනයට පසුව ජනාධිපතිවරයාට අමාත්‍ය ධුරයක් දැරීමේ අවස්ථාව අහිමිවන බවය.


නීතිඥ සුදර්ශන ගුණවර්ධන පැවසුවේ 19 වන ව්‍යවස්ථා සංශෝධනය සිදුකරන අවස්ථාවේදී එවකට හිටපු ජනාධිපතිවරයාට අන්තර්කාලීන විධිවිධාන මගින් ආරක්ෂක පරිසර සහ මහවැලි අමාත්‍යාංශ දැරීමේ හැකියාව ලබාදී තිබුණද එකී අවස්ථාව මෛත්‍රීපාල ජනාධිපතිවරයාගේ ධුරකාලයෙන් පසුව අහෝසි වන බවය.


මේ සම්බන්ධයෙන් කිසියම් පුරවැසියෙකු ශ්‍රේෂ්ඨාධිකරණයට මූලික අයිතිවාසිකම් පෙත්සමක් ගොනු කළහොත් ඒ අරභයා ශ්‍රේෂ්ඨාධිකරණය ලබාදෙන තීන්දුව මගින් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමතිධුරය දැරිය හැකිද නැතිද යන්න ගැන අධිකරණයේ අර්ථකථනයක් ලබාගත හැකි බවද ඔහු වැඩිදුරටත් පෙන්වා දුන්නේය.


මෙම දේශපාලන විචාරකයන්ගේ අදහස් දැක්වීම අනුව පැහැදිලි වනුයේ නුදුරේදී සිදුකරනු ලබන ව්‍යවස්ථා සංශෝධනයක් මගින් ජනාධිපතිවරයාට ආරක්ෂක ඇමති ධුරය දැරීමේ හැකියාව ලබාගැනීමේ අපේක්ෂාවෙන් ජනාධිපතිවරයා ආරක්ෂක ඇමතිධුරය සියතට පවරාගන්නට ඇති බවය.


මේ සම්බන්ධයෙන් අදහස් දැක්වු ආචාර්ය ජයතිස්ස ද කොස්තා පැවසුවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 43(2) පමණක් සැලකිල්ලට ගෙන ජනාධිපතිවරයාට ඇමතිධුරයක් දැරිය නොහැකි බවට කිසියම් පුද්ගලයෙකුට තර්කයක් ගොඩ නැගීමේ හැකියාවක් ඇතත් 42(3) ව්‍යවස්ථාව යටතේ ජනාධිපතිවරයාට ඇමති ධුරයක් දැරීමේ හැකියාව ඇති බවය.


ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනගේ පාලන අවධියේදී ආරක්ෂක අමාත්‍යාංශය යටතේ තිබු ආයතන සංඛ්‍යාව 18 ක් වුවත් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා යටතට ගැනුණු ආරක්ෂක අමාත්‍යාංශයට ආයතන 35 ක් පවරා ගෙන ඇත.


මේ අනුව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් පාලන යන අමාත්‍යාංශයන් යටතේ තිබු රෙජිස්ටාර් ජනරාල් දෙපාර්තමේන්තුව දිස්ත්‍රික් හා ප්‍රදේශීය ලේකම් කාර්යාල මෙන්ම වෙනත් අමාත්‍යාංශ යටතේ පැවති පුරාවිiා දෙපාර්තමේන්තුව, ආගමන හා විගමන දෙපාර්තමේන්තුව වැනි මහජන සංවේදී ආයතන කීපයක්ද මෙම ආයතන 35 අතරට අයත්වේ. ■