ප‍්‍රාප්ති පැටිකිරි කෝරාළ

එක්සත් ජාතික පක්ෂයෙන් ජනාධිපතිවරණයට ඉදිරිපත් වන බව කියන සජිත් පේ‍්‍රමදාස හෝ පොදු ජන පෙරමුණෙන් ඉදිරිපත් වන බව කියන ගෝඨාභය රාජපක්ෂ, එම පෙරමුණු දෙකේම අපේක්ෂකයන්වීම, දැඩි ලෙස අවිනිශ්චිත වී ඇතැයි අභ්‍යන්තර ආරංචි මාර්ගවලින් වාර්තා වේ.


එජාපයෙන් තමන්ම ඉදිරිපත් වන බවට එහි නායක රනිල් වික‍්‍රමසිංහ මහතා බරපතළ ලෙස අඟවමින් සිටීමත්, තමන් ඉදිරිපත් වන බව සජිත් පේ‍්‍රමදාස මහතා ස්ථිරව සිය හිතවාදීන්ට හෝ තවමත් ප‍්‍රකාශ නොකිරීමත්, සුළු ජාතික ඡුන්ද දිනාගත නොහැකිවීමත් ඔහු ඉදිරිපත්වීමේ අවිනිශ්චිතතාවට ප‍්‍රබල ලෙස බලපා තිබේ. පක්ෂ නායකත්වයෙන් ඉවත් වන ලෙස රනිල් වික‍්‍රමසිංහ මහතාට යෝජනා කිරීමට එම පක්ෂයේ ප‍්‍රබල අමාත්‍යවරයකුගේ මූලිකත්වයෙන් පිරිසක් සූදානම් වුවද සජිත්ගේ අවිනිශ්චිතතාව නිසා එම සැලසුමද තාවකාලිකව ඉවත් කරගෙන ඇතැයි වාර්තා වේ.


මේ අතර ගෝඨාභය රාජපක්ෂ මහතාට, පුරවැසිභාවය ඉවත් කරගැනීමේ ලිපිය ඇමරිකා එක්සත් ජනපදයෙන් තවම නොලැබීමත්, එරට සහ ශ‍්‍රී ලංකාවේ ඔහුට එරෙහිව පවතින නඩු අවසන් නොවීමත්, ඔහු ඉදිරිපත් කිරීමේ අවිනිශ්චිතතාවට ප‍්‍රධාන වශයෙන් බලපා ඇතැයි දැනගන්නට ඇත. කඩිනමින් ජනාධිපති අපේක්ෂකයා නම් කරන්නැයි ඒකාබද්ධ විපක්ෂයේ නායකයන් පිරිසක් මහින්ද රාජපක්ෂ මහතාගෙන් කළ ඉල්ලීම පවා, අගෝස්තු 11 දිනයක් පෙන්වා කල්දමා ඇත්තේ මේ හේතුවෙන් බවද වාර්තා වේ.