සුනන්ද දේශප‍්‍රිය


ආර්යාව එළි බැස්සා ය. ශ‍්‍රීමතාණෝ සතියේ දින හතෙහිම පැය විසිහතරම පුරා ජනතා සේවයට කැපවීම පිණිස නින්ද නොයන ඖෂධ සොයමින් ගූගලය පීරනවා ඇත. ඇඹරිය යුතු හොඳම ගුලිය ගැන කල්පනා කරමින් වික‍්‍රමසිංහ දස අතේ ඇඹරෙනවා ඇත. රාජපක්ෂගේ දෑත් ශක්තිමත් කිරීමට බල්ටි පිනුම් නෙැගැසුවේ නම් ‘මට තමයි එන්න තිබුණේ’ කියමින් කරු ජයසූරිය හූල්ලනවා ඇත.


ගෝඨා සිංගප්පූරුවේ ගත කළ වෛද්‍ය නිවාඩුව අවසන් කරමින් හෙට අනිද්දා රටට පහත් වනවා ඇත. ගෝඨාගේ මිලිටරි සගයෝ ගාලූ මුවදොර පිටියේ එල්ලා මරා දැමිය යුතු ‘ද්‍රෝහීන්ගේ’ ලැයිස්තු සුද්ධ කරනවා ඇත. ‘අපි ගෝඨාභය ජනාධිපති අපේක්ෂකයා ලෙස තීරණය කරලා ඉවරයි. මහින්ද රාජපක්ෂට තෝරන්න දෙයක් නෑ’ යැයි සිංහල අන්තවාදීන් කළ අභියෝගය ගැන බියකරු සිහින දකිමින් රාජපක්ෂ කල්පනා කරනු ඇත්තේ ගෝඨා මට ද උන්ට ද කියා ය.


නොවී විරූ දේශපාලන අනාථභාවයකට පත් හිටං, පසුගිය පෙබරවාරි මාසයේ පළ කරන බවට කයිවාරු ගැසූ ‘රනිල් වික‍්‍රමසිංහ දුෂ්චරිතාපදානය’ ලියා අවසන් නොකිරීම ගැන කුලී ලියන්නන්ට අපවාද නගමින් කෑ මොර දෙනවා ඇත. අත්තෙන් අත්තට පනින කුරුල්ලාට වූයේ තෙමී නහින්නට ය. මත් ද්‍රව්‍ය සමඟ සටන කොට උඩය. මරණ දඩුවම් අත්සන් කොළේ දෙපරැුන්ද ළඟය. නටපු නැටුමකුත් නැති බෙරේ පළුවකුත් නැති ජනාධිපති සිරිසේන දින දර්ශනයේ කොළ ගලවනු ඇත්තේ ඉකි බිඳිමිනි. වික‍්‍රමසිංහගේ හිතමිතුරු සමාජයට තවදුරටත් එජාපය තුළ අධිකාරී බලය නැත. ඔහුගේ ගජයෝ පවා වෙන්ඩ ශ‍්‍රීමත් සජිත් පේ‍්‍රමදාස පසුපස ය. සජිත්ට ජනාධිපතිවරණ අපේක්ෂකත්වය නොදුනහොත් එජාපය පතුරු යනවා ඇත. වික‍්‍රමසිංහ උත්සාහ කරනු ඇත්තේ කරු ජයසූරිය පළිහක් කරගෙන සජිත් සමඟ යුද්ධයට යෑමටය. පක්ෂ නායකත්වය අතහැරීමට වික‍්‍රමසිංහගේ අදහසක් නැත. මන්ද යත් අගමැතිකමට වඩා විපක්ෂ නායකකම යහපත් බව ජීවිත දශක දෙකක අත්දැකීමෙන් ඔහු යස රඟට දන්නා නිසා ය. ගෝඨාභයට තවමත් සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට ඒක්සත් ජනපද ආණ්ඩුව අවසර දී නැත. සාමාන්‍යයෙන් යුරෝපීයකුට සිය ඇමෙරිකානු පුරවැසිකම අත්හැරීමට යන්නේ සතියකට අඩු කාලයකි. මිලින්ද මොරගොඩට ඒ් සඳහා ගත වුයේ දින 10ක් පමණක් යැයි කියනු ලැබේ. ගෝඨාභයට දෙමසක් තරම් ගතවීත් ඒම අවසරය නොලැබීම ප‍්‍රශ්නයක් ඉතිරි කරයි. ද්විත්ව පුරවැසියකුගේ නාම යෝජනා ප‍්‍රතික්ෂේප කිරීමට මැතිවරණ කොමිසමට බලය පැවරෙන පනත් කෙටුම්පත් සකස් කර අවසන් කරන ලද්දේ 2018 වසරෙහි සැප්තැම්බර් මාසයේ ය. තවමත් රනිල් වික‍්‍රමසිංහ ඒ මත සිය පශ්චාත්භාගය තබාගෙන සිටින්නේ රාජපක්ෂවරුන් සමඟ ඇති කපටි ගනුදෙනුව නිසා ය. ගෝඨාභයගේ ජනාධිපතිවරණ ව්‍යාපාරය දැන් සැලසුම්කර අවසන් යැයි කියනු ලැබේ. දැනට පෙනෙන විදිහට ජනාධිපතිවරණ ව්‍යාපාරයේ ප‍්‍රධාන තරඟකරුවන් දෙදෙනා වනු ඇත්තේ ගෝඨාභය රාජපක්ෂ සහ සජිත් පේ‍්‍රමදාසය. ගෝඨාභය ඉදිරිපත් නොකළහොත් රාජපක්ෂ පාර්ශ්වයට වන හානියට වඩා හානියක් සජිත් පේ‍්‍රමදාස ඉදිරිපත් නොකළහොත් එජාපයට සිදු වේ. අප කැමැති වුවත් නැතත් යථාර්ථය එයයි. දකුණෙහිදී පන්සල් ගාණේ බඩගාමින් ද, උතුරෙහිදී දෙවසරකින් දේශපාලන විසඳුමක් ලබා දෙන බවට බේගල් ඇදබාමින්ද වික‍්‍රමසිංහ පෙන්වන්නේ වාර්තාගත පරාජයන් තවත් දීර්ඝ කර ගැනීමට ඇති සූදානමයි. එසේ නමුත් දේශපාලන සොම්බියෙකු වන රනිල් වික‍්‍රමසිංහට මෙවර අංචි ඇදීම ඉතා දුෂ්කර වන්නට ඉඩ තිබේ. ගෝඨාගේ දේශපාලන පාබල හමුදාව සංයුක්ත වන්නේ අමු ජාතිවාදීන්ගෙන් ය. ඔවුහු සුළුතර ප‍්‍රජාවන්ගේ අයිතීන්ට දරුණු ලෙස විරුද්ධ ය. ප‍්‍රජාතන්ත‍්‍රවාදය වෙනුවට අනෙකා මර්දනය කිරීම සිය දේශපාලනය ලෙස සලකයි. අන්තවාදී ව්‍යාජ පුවත් මගින් රට ගිනි තියන මාධ්‍ය ජාල ගෝඨාභයගේ හොරණෑකරුවන් ය. ගෝඨාභයගේ සමස්ත දේශපාලන ව්‍යාපාරය ම පදනම් වනු ඇත්තේ සිංහල බෞද්ධ මහ ජාතිවාදය, භීතිය, වාර්ගික විශමතාවයන්, ආර්ථික සංවර්ධනය සහ ශක්තිමක් පාලකයෙක් යන මතවාදය වටා ය. සජිත් පේ‍්‍රමදාස ඊට වෙනස් ද? ඔහු මරණ දඩුවම පැමිණවීමට පක්ෂ ය. ඔහුගේ බිරිඳ දැනටමත් ජනප‍්‍රවාද ගත කටුස්සා මෙන් ආර්යාව යන පට්ටම බෙල්ලේ ඒල්ලාගෙන තිබේ. සජිත් යනු මිථ්‍යා විශ්වාසන්හි ගිලී ගිය, සාත්තරකාර කපටින්ට දෙවියන්ට සේ සලකන්නෙකි. තව ද සියල්ලටමත් වඩා ඔහු බලය බෙදීමට පක්ෂ නැත. ඔහුට අනුව ආර්ථික සංවර්ධනය ජනවාර්ගික ප‍්‍රශ්නයට විසඳුමයි. සිය පියාගේ නමින් රටපුරා සෑම දිසාවකම දැවැන්ත බෞද්ධ පන්සල් 25ක් සාදන බවට ද ඔහු දැනටමත් සපථ කර තිබේ.
බැලූ බැල්මට ම පෙනෙන පරිදි මේ දෙදෙනාගේ දේශපාලනයේ එතරම් වෙනසක් නැත. ගෝඨා නූතනවාදී මර්දකයෙකි. සජිත් ගතානුගතික මර්දකයෙකි. ජනාධිපති පේ‍්‍රමදාස ගෙන ගිය භීෂණකාරී දේශපාලනය ආදර්ශයක් ලෙස සලකන සජිත් පේ‍්‍රමදාසට ද මර්දකයෙක් වීමට සුදුසුකම් තිබේ. දෙදෙනාම පන්සල් දේශපාලනය සිය ප‍්‍රධාන කක්ෂය ලෙස ගන්නවා ඇත. එනයින්ම අන්තවාදී බෞද්ධ භික්ෂූන්ගේ දේශපාලන සිරකරුවන් බවට දෙදෙනා ම පත්වීමට ඇති ඉඩ ද වැඩිය.
මේ තාක් කල් ශ‍්‍රී ලංකාව පාලනය කළ දේශපාලන ධාරා දෙකම, මතවාදී වශයෙන් සුළුතර අයිතිවාසිකම් නොසලකන සහ මතවාදීමය වශයෙන් සිංහල බෞද්ධ දේශපාලන පක්ෂ බවට පත්වීම එළඹෙන ජනාධිපතිවරණය විසින් සනිටුහන් කරන්නට බොහෝ දුරට ම ඉඩ තිබේ. සජිත් පේ‍්‍රමදාසගේ එක්සත් ජාතික පක්ෂය මහින්ද රාජපක්ෂගේ පොදුජන පෙරමුණෙන් වෙනස්වීමට ඉඩක් නැත.


මෙම දේශපාලන ධාරා දෙකම මෙරට අද පත්ව තිබෙන සමාජ ආර්ථික දේශපාලන අර්බුදයන්ට වගකිය යුතුය. 1948 දී මෙරට නිදහස ලබන විට මෙරට ඉතා හොඳින් සංවිධිත සහ විනයගරුක රාජ්‍ය පරිපාලන සේවාවක් තිබුණි. බි‍්‍රතාන්‍යයින් මෙරට හැර යන විට මාස 17ක ආනනයන් සඳහා ප‍්‍රමාණවත් විදේශ විනිමය සංචිතයක් තිබුණි. (වර්තමානයෙහි බොහෝ විට එය දෙමසකට පමණක් ප‍්‍රමාණවත් ය. විදේශ ණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 04ක් (අද සියයට 80 තරම්ය පමණක් ද දේශීය ණය දළ ජාතික නිෂ්පාදනයෙන් සියයට 14ක (අද සියයට 70 තරම්ය) පමණක් ද විය. එදා ඩොලරයකට රුපියල් වටිනාකම 3.32ක් (අද 175ක් තරම්ය) විය. (හිටපු මහබැංකු නියෝජ්‍ය අධිපති ඩබ්.ඒ. විජේවර්ධන පළ කරන ලද ලිපියකිනි.)


එම පදනම මත ගොඩනැගිය හැකිව තිබූ ශ‍්‍රී ලංකාව විනාශ කරන ලදදේ ගෝඨාභය සහ සජිත් විසින් නියෝජනය කරනු බලන දේශපාලන ප‍්‍රවණතා දෙක විසිනි. 2015 ජනවාරිය මේ විශම චක‍්‍රය අවසන් කිරීමට මෙරට ජනතාව ලබා දුන් අවස්ථාවය. සිරිසේන සහ වික‍්‍රමසිංහ දෙබෑයෝ ඒ අනගි අවස්ථාව විකුණා දැමූහ.


මෙරට ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ සමාජ සාධාරණත්වය ප‍්‍රාර්ථනා කරන කිසිවකුට මෙම බලවේග දෙක සමඟ තව දුරටත් ගමන් කළ නොහැක. අනෙකා පැරදවීමට වෙන එකෙකුට ඡුන්දය දීම අවසන් කළ යුතු කාලය පැමිණ තිබේ.
ජනාධිපතිවරණ දේශපාලනය අභිමුව අපේ ආරම්භක ස්ථානය විය යුත්තේ එයයි. විකල්ප දේශපාලනයක් සෙවිල්ල ඇරඹෙනු ඇත්තේ එම තීරණයට අප පැමිණියහොත් පමණි. බලය අල්ලා ගැනීමට විකල්ප වාම හරිත දේශපාලනයකට තවම නොහැක. අප සතු බලය වනු ඇත්තේ බලපෑමේ දේශපාලනයක් බවට පත් වීමයි. එවැනි අවකාශයක් නිර්මාණය නොවන්නේ නම් අපටද අබ සරණය.