ටිරන් කුමාර බංගගමආරච්චි


ගියවර ලියූ ලිපියත් සමග බොහෝ අය උරණ වී සිටිති. රනිල්වාදීන්, මංගලවාදීන්, කරුවාදීන් මෙන්ම ජවිපෙවාදීන් එකම ස්වරයකට පැමිණ සිටියහ. ඔවුහු එක්ව මා පතුරු ගැසූහ. අවසාන නිගමනය මා රාජපක්ෂවාදියකු බවය මා කිසිමවාදියකු නොවන අතර කිවයුත්තේ ලංකාවේ අදහන්නට තරම් දේශපාලන සුරුවමක් මට නැති බවය. මේ බොහෝ උරණවාදීන් මගේ මිත්‍රයන් වුවත් ඒ අයගේ මේ ගැති ස්වභාවය දනවන්නේ පිළිකුළකි. රාජපක්ෂලාට ඡන්දය දෙන අයට වහලුන් කියන මේ අයත් වහලුන්ම බව ඔවුහු නොපිළිගනිති. මේ අය අතරින් නරකම මානසික රෝගයකින් පෙළෙනුයේ ජාතික ජන බලවේගය තෝරා ගත් අයය. තමන්ම ඇත්ත යැයි කියා ගන්නා ඇත්ත මිනිස්සුය. බොරු හීනමානයක ගිලෙමින් තමන් තරම් කෙරුමන් නැතැයි සිතන මේ ජාතික ජන බලවේගයේ බොරුවට වඩා මට රාජපක්ෂලා එළිපිට කරන බොරුව හොඳය. අනුරට වඩා මහින්ද, රනිල් දෙදෙනාම මට ඇත්ත මිනිසුන්ය. ජන බලවේගය ගැන එතරම් ලියන්නට මා තුළ ලොකු කැමැත්තක් නැත. මා ගියවර මගේ අදහස ලියූ විට ජවිපෙට ආවැඩූ මිතුරෝ මා සමග උරණවීම ගැන මට පුදුමය. ඒ මොහොතේම මා මහින්දවාදියකු කිරීම, මට කිසි කෙනකු හොඳ නැතැයි කීම ඊට වඩා මාරය. රාජපක්ෂලා විවේචනය කිරීමට වඩා ජාතික ජන බලවේගය විවේචනය කිරීම බැනුම් අහන වැඩක් වී ඇත. එහි හැසිරීම සුදු වෑන් එවනවාට වඩා කැතය.


අනෝමාගේ තේරීම


මේ අතර අපූරු කතාවක් ඇස ගැටුණි. එනම් අනෝමා ජනාදරී ප්‍රසිද්ධියේම ජවිපෙ නායකත්වය ලාල් කාන්තට දිය යුතුයැයි කීමය. අනුරට වඩා ඇගේ තේරීම ලාල්ය. පක්ෂවල නායකකම් ඒ අය ඇතුළින් විසඳා ගත යුතු ප්‍රශ්න වුවත්, එළියේ අයට උපකල්පන දිය හැකිය. අනෝමා කළේ එයය. අනෝමා පසුගිය කාලයේ ඉතා රැඩිකල් චරිතයක් විය. ලිංගික පාඩම් පවා කියාදෙන ගුරුවරියක් වූවාය. ඇය එළිපිට ලාල් ඕනෑයැයි කියන විට එය ජවිපෙ දේශපාලනය තේරුම් ගත යුතු ඇත්ත මොහොතක් උදා කළ බව කිව යුතුය.


පසුගිය කාලයේ ෆේස් බුක් වීරයා වූයේ හඳුන්නෙත්තිය. ඒත් ජවිපෙ දේශපාලනයේ පොළොවේ ඉන්න ඇත්ත මිනිසෙක් වේ නම් ඒ ලාල් කාන්තය. අනෝමා මෙන්ම බොහෝ ගැහැනු කියවීම නිරීක්ෂණය කරන්නේ නම් අවසාන නිගමනය ලාල්ය. වයසට ගියද මහින්දට මෙරට කාන්තා ආකර්ෂණය ඇත්තේ ඔහු තුළ එළිබහින පිරිමියා නිසාය. එජාපයට නැති මේ වාසිය ජවිපෙට ඇත්තේ ලාල් තුළය. එය මහින්ද තරම් නොවුණට ලාල් හරහා අනුරට වඩා ජවිපෙට හිස එසවිය හැකි බව හැඟීමය. සමගි ජන බලවේගයේ ඒ තැන මම දෙන්නේ චම්පිකටය.


ලාල් කන බොන මිනිසෙකි. බීමතින් රිය පදවා අනතුරක් වූ විට මුලින් එය පිළිගෙන පසුව නීතියට අවැසි ලෙස වෙනස් වූවෙකි. වැදගත් මුල් පිළිගැනීමය. අනෙක් අතට ජවිපෙ ගමන් මග තුළ ලාල් ලකුණු වන්නේ අනුර, හඳුන්, බිමල්, විජිත යන සැමට එපිටිනි. කොටින්ම වෙනස් විය හැකි වෙනස් මානයක් ඇත්තේ ලාල්ටය. අනුරගේ කතාව ව්‍යාජ රංගයක ප්‍රතිඵලයක් වන විට මට ලාල්ගේ කතා දැනෙනුයේ සාමාන්‍ය ස්වරූපයෙනි. අවශ්‍ය එයය. මවාගත් අනුරට වඩා ලාල් පොළොවේ ගොඩ නැගිය හැකි චරිතයකි. රංජන්, තෙවරප්පෙරුමලාගේ දියුණු රූපකාය ලාල්ය. ඉහත දෙදෙනාට ජනතාව කැමතිය. එහෙත් ඔවුන්ට නැත්තේ මේ ලාල් ගොඩ නගන ප්‍රතිරූපයය.


සැබැවින්ම අනෝමාගේ කතාව හරිය. ජවිපෙ නායකයා විය යුත්තේ ලාල්ය. අනුර නොවේ. එහෙත් ඇත්ත මිනිස්සු නොහිතන කුලවාදය ජවිපෙ තුළ තවම නොහැලුණු අවියකි. ඒ නිසා දිසානායක, කාන්තට දීමට ඉක්මන් නොවනු ඇත. රනිල්, මහින්දලා මෙන්ම ඔය හැම අයියලාමත් දේශපාලනයේදී තනතුරුවලට කෑදරය. ටිල්වින් කොයි කල සිට එහි මුදුනේ වේද? ඒ ගැන කතා නොකරන්නේ ඇයි? රනිල් සේ ම අනුරත් පරාද වූවා කියා තනතුර අත්හරීද? අඩුම තරමේ තම මාන්නය ප්‍රදර්ශනය නොකරයිද? ලාල් කාන්ත අලුත් ගමනකට හොඳය. ලාල්ට ඒ තැන දෙන්නේ නැත. අනෝමා ලාල්ට දෙන්නැයි එළිපිට කීම හරි අපූරුය. ජාතික ජන බලවේගයේ බොහෝ ඇත්ත නිළියන්ට වඩා මම අනෝමාට බෙහෙවින් කැමතිය. මන්ද ඇගේ ඇත්ත බොහෝ අයට තිත්ත වූ නිසාය.


කෝ චණ්ඩි


යහපාලනය හැදූ දහනවයට මල් තියන අය එයට උදේ හවා වැඳුම් පිදුම් කළ අය එහි වගන්ති කටපාඩම් කළ අය ජනපති ගෝඨා ආරක්ෂක ඇමතිකම ගත්විට හ්ම් හඬක්වත් නොනගති. බොහෝ අයගෙන් විමසූ විට ඒ අය දෙන උත්තරය නැවත දහනවය හැදෑරිය යුතු බවය. හරියටම මතකයේ නැතිව ඒ ගැන කතා කළ නොහැකි බවය. මේ දේශපාලන උගතුන්ය. නීති විශාරදයන්ය. මේ දෙබිඩි පිළිවෙත කුමක්ද?


පසුගිය කාලයේ ආරක්ෂක ඇමතිකම පත් නොකළ විට විහිළු කළ අය පවා මෙවර ආරක්ෂක ඇමතිකම ගෝඨා ගත්විට ගොළු වූයේ ඇයි?


එජාපයේ අය මාධ්‍ය සාකච්ඡා පවත්වමින් දහනවය ඉවත් කිරීමට ඉඩ නොදෙන බවට කෑ ගසති. එහෙත් ඒ කිසිවකු දහනවය අමු අමුවේ කඩා ජනපති ඇමතිකමක් ගෙන ඇතැයි හඬක් නොනගති. දහනවය එළිපිටම කඩා අවසන්ය. එසේ නම් තොරතුරු දැනගැනීමේ ඉඩ ජනතාවට අහිමි වනවා යැයි කෑගැසීමේ අරමුණ කුමක්ද? දන්නා තොරතුර නොදන්නා ගාණට සිටින මේ තක්කඩින් සිඟිති සතුටක් දෙන්නේ කාටද?


දහනවයේ ඇතැම් දේ ඉවත් කිරීමට සහය දෙනවා යැයි හර්ෂ ද සිල්වා කියන විට අප සිනාසිය යුතුද හැඬිය යුතුද? දහනවයේ කර්තෘවරු වන සුමන්තිරන් දහනවය ඉවත් කරන්නේ නම් සහය දෙනවා යැයි කියන විට අප කුමක් කළ යුතුද? එසේ නම් දහනවය හොඳ කාටද?


අද දේශපාලන කෙරුමන් නීති විශාරදයන්ගෙන් ජනපතිට ඇමතිකම් ගත නොහැකියි නේද ඇසූ විට එම්.එස්. පරදවා බයිලා කියා මගහැරීම වටහාගතයුත්තේ කෙසේද? ඒ සියල්ල අමතක කොට ඒ මොහොතේ දහනවයට අත එසවූ අය දැන් එය ඉවත් කළ යුතු යැයි කී සැණින් ඔවුන්ට පමණක් හිනාවෙන්නේ ඇයි? එසේ නම් දේශපාලනයේ මේ තක්කඩිකම් කතා කළ යුතු නැද්ද?


කෝ මේ පක්ෂ


එදා ගෝඨාගේ ඇමරිකානු පුරවැසිකම ගැන අධිකරණයට ගොස් ප්‍රශ්න කළේ පුරවැසි දෙපළකි. ඒ ගාමිණී වියන්ගොඩ සහ චන්ද්‍රගුප්ත තේනුවරය. ඔවුන් දෙපළ පිටුපස වෙන බලවේග සිටිය හැකිමුත් ඒවා කළයුත්තේ පක්ෂ නොවේද? ජවිපෙට, එජාපයට උසාවි යා නොහැකිද? 19 ගෙනා ඒ අය එහි කොටස් උල්ලංඝනය වන්නේ නම් සාමූහිකව පෙනී සිටිය යුතු නැද්ද? අද ජනපති ඇමතිකම් දරන එක උසාවියට ගොස් නිවැරදි කරගැනීමට ජවිපෙට, එජාපයට බැරිද? එයත් සිවිල් පුරවැසියන් එකකු දෙන්නකු අන්දවා කළ යුතු වැඩද? පක්ෂයක් ලෙස යන කල එයට එන විරෝධය අවමය. පුරවැසියන් බිලී කොක්කේ අමුණනුයේ ඇයි? දැනුදු මේ පක්ෂවල අය කියනුයේ යම්කිසි අයකු අධිකරණයට ගියහොත් ගෝඨාගේ ඇමතිකම ප්‍රශ්න කළ හැකි බවය. මේ වැඬේ ඒ පක්ෂවල ලේකම්ලාට කළ නොහැකි ඇයි?


බැසිල් ඒම


දහනවය ඉවත් කොට බැසිල් ගෙන ඒම අරමුණ බව අද විපක්ෂය කියන හරුපය වේ. වෙනත් රටක පුරවැසියන්ට පාර්ලිමේන්තු ඒමේ මග ඇහුරූ දහනවය විස්ස හරහා සංශෝධනය වනු ඇතැයි විපක්ෂයේ මතයය. ඉන්පසු ජයන්ත කැටගොඩ ඉවත් වී බැසිල් පාර්ලිමේන්තු එනු ඇත. බැසිල් පාර්ලිමේන්තු ආවද නාවද ඔහු ගෝඨා මහින්ද ඇරුණු කොට තුන්වන කෙරුමාය. ඔහුට බලය ගන්නට පාර්ලිමේන්තු ඒමටම වුවමනා නැත.


අනෙක් අතට දහනවයට ඇතැම් නීති ගෙනාවේම රාජපක්ෂලාට අන්නන්නටය. එහෙත් ඒ හැම එකකින්ම ඇන ගත්තේ ඒ නීති ගෙනා අයමය. අද එළිපිට එම නීති කඩද්දී එය හරිද වැරදිද කියන්නට ඔවුන්ට කොන්දක් නැත. මේ සියල්ලෝම කරනුයේ ජනතාව ඇන්දවීමය. මහා පරිණත දේශපාලන චරිතය වන රනිල් වික්‍රමසිංහ දහනවය ගැන කතා කරයිද? ගෝඨා ඇමතිකම් ගැනීම වැරදි යැයි කියන්නේද? එසේ නම් මේ බොරුව කුමක්ද? සජිත් වැන්නකු කතා නොකිරීම අනුමත කළ හැකිය. ඔහු ඒ ගැන කියවා නැති බව සහතිකය. ඔහුද ගෝඨා මෙන් නීති වැඩක් නැති අයෙකි. අයාලේ යන්නෙකි මේ බහු බූතයෝ ප්‍රතික්ෂේප කිරීම හැර වෙන විකල්ප වේද?