රසික ගුණවර්ධන/ දිනී ජයසේකර


ඇඳිරිනීතිය පනවා ඇති ප්‍රදේශ වල රජයේ ආයතන වල තාවකාලිකව අනියම් ආදේශක හා කොන්ත්‍රාත් පදනම යටතේ බඳවාගෙන ඇති රජයේ සේවකයන්ට වැටුප් ලබා දීම අත්හිටුවා ඇති බව රාවයට දැනගන්නට ඇත.


ඒ අනුව පසුගිය මාසයට (ඔක්තෝබර්) අදාළව තැපැල් දෙපාර්තුමේන්තුවේ ගම්පහ දිස්ත්‍රික්කයේ සේවය කරන අනියම් සේවකයන්ට අදාළ වැටුප් ගෙවා නොමැති බව අප කළ විමසීමකදී තැපැල් ඒකාබද්ධ වෘත්තීය සමිති සංවිධානයේ කැඳවුම්කරු චින්තක බංඩාර රාවයට පැවසීය.


රාජ්‍ය පරිපාලන හා කළමනාකරණ අමාත්‍යංශයේ ඉහළ නිළධාරියෙකු පැවසූවේ අදාළ සේවක ඛාණ්ඩ සඳහා මීට පෙර පැවති ඇඳිරිනීති සමයේ දින විස්සක් වැඩ කළා සේ සලකා වැටුප් ගෙවන ලෙසට චක්‍ර ලේඛයක් නිකුත් කළද මෙවර මෙතෙක් එවැන්නක් නිකුත් කර නොමැති බවයි.


කෙසේ වෙතත් මෙම සේවකයන් රාජ්‍ය සේවකයන් ලෙස සැලකීම හේතුවෙන් ඔවුන්ට රජය විසින් ලබාදෙන පන්දහසේ දීමනාවද ලබා ගැනීමට හැකියාවක් නැත.


අප මේ පිළිබඳව විමසීමට රාජ්‍ය සේවා, පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ජනක බණ්ඩාර තෙන්නකෝන් ඇමතුවද ඔහු දුරකතනයට ප්‍රතිචාර දැක්වූයේ නැත.