ටිරන් කුමාර බංගගමආරච්චි

චම්පික අලූත් ගමනකට අලූත් පාරක් කපමින් සිටී. මේ බැලූ බැල්මට පේන හැටිය. එහෙත් එහි නමම හරි අමුතුය. එනම් ”43 වැනි සේනාංකය” යන්නය. මේ හුරු පුරුදු නමකි. සේනාංක කියූ සැණින් හිසට එන්නේ යුද්ධය පිළිබඳ මතකය. චම්පිකටත් ගැලවිය නොහැකි යුද මානසිකත්වය එහෙම් පිටින්ම ඉතිරි බව මේ තුළින් මනාව පැහැදිලිය. අද මහින්ද රාජපක්ෂ යුද්ධයේ සියලූ ආශිර්වාද භුක්ති වින්දද එය සිංහල ජන මනස තුළ ඇති කරන්නට පුරෝගාමියකු න්‍යායචාර්ය කෙනෙකු වූයේ චම්පිකය. චම්පික තමාගේ දේ වෙනකෙකු භුක්ති විඳිනු දැක පශ්චත්තාප වීම දේශපාලන අර්ථයෙන් පැහැදිලිය. එය දේශපාලන අරුතින්ම භයානක බවද කිව යුතුය. චම්පිකටද එක්තරා පිරිසක් ප‍්‍රසාදය දක්වන බව පැහැදිලිය. ඔහු පසුගිය ජනාධිපතිවරණයේදී සජිත් සමග එකතු වන විට එය විශාල වටිනාකමක් ජනිත වූ බව කිව යුතුය. දේශපාලන අරුතින් බලන කල චම්පික දැවැන්තයෙකි. එය කිව යුතුමය. එහෙත් ජන පදනම තුළ ඔහුට හිතූ තරම් ඡුන්ද ලබා ගැනීමට නොහැකි විය. එය එතරම් ගණන් හැදිය යුතුද නැත. ඊට වඩා චම්පික විශ්වාස කරනුයේ තමාට රාජ යෝගයක් ඇති බවය. එය ඔහුගේ ඔළුවට කාවද්දා හමාරය. ලංකාවේ දේශපාලන රටාව අනුව බලන කල හැමවිටම සිද්ධවන්නේ ‘රාජ යෝග’ ජයගැනීමය.

මහින්දට පසු පෙන්නන්නට සිටියේ ගෝඨාවය. කොතරම් දේශපාලනයේ නියැළි අය සිටියද තරගයට හොඳ අශ්වයකු අවැසි බව කිව යුතුය. පිනට අවස්ථා ලැබෙන අතර ඒවා වැඩිකල් රඳා පවතින්නේ නැති බව සිරිසේන ඔප්පු කළේය. දේශපාලනය කියා අමුතු දෙයක් නොකළ මහින්ද ආණ්ඩුවේ චණ්ඩියාව සිටි ගෝඨා අත උඩින් දින්නේය. මිනිස්සු යටි හිතින් අහිංසකයන්ට වඩා චණ්ඩින්ට කැමතිය. චණ්ඩියකු ආ කල තමාට රැුකවරණයක් ඇතැයි ජනතාව සිතති. වෙනත් චණ්ඩි ආවත් අපේ චණ්ඩියා ඉන්නවානේ යන මතයක නිතර කිඳා බැස ඇත. ගැහැව්වත්, බයවී සිටියත් ඒ අපේ චණ්ඩියානේ යන ආඩම්බරයකුත් ජනතාවට ඇත.

මේ සියලූ කියුම් ඇතුළේ චම්පික යන පාර නැවත රාජපක්ෂලා හරහා තමා සොයා ගැනීමක් බව ඉතාම පැහැදිලිය. චම්පික යනු කෙදිනක හෝ රටේ නායකයා වෙමියි සිතා කටයුතු කරන්නෙකි. ඔහු අද උත්සාහ කරනුයේ එය එතරම් ඈතට නොදමා 2024 දීම උරගා බලන තැනට තල්ලූවීමටය. දේශපාලනයේ පැත්තක් ගෙන චම්පික හොඳ හෝ නරක යැයි කියන්නට අපි ඉක්මන් නොවෙමු. රාජ යෝග කෙසේ වෙතත් නායකයකු සතු ලක්ෂණ චම්පික සතු බවත් පිළිගත යුතුය. එය සපුරා ගන්නට කෙසේ හෝ යාමම නායකත්වයේම ලක්ෂණයකි. ඒ අනුව චම්පිකගේ ගමන දැක හාස්‍යයෙන් බැලිය යුතු නැත. සිරිසේනටත් හැකි නම්, නන්දසේනටත් හැකිනම් රණවකට බැරිවන්නේ ඇයි? ලංකාවේ ඡුන්දදායකයා ඒ මොහොතේ ආසක්ත වන නම කුමක් වුව එයට කැමැත්ත පළ කරන තැනට වත්මන තල්ලූ වී ඇත. ඒ අනුව වැඩි වැඩියෙන් ජප කරන මන්තරය වැඩ කළ හැකිය. ඒ අතිනුත් චම්පිකත් හොඳ කට්ටඩියෙක් බව කිව යුතුය.

ආ පස්සට
වාමාංශික මතධාරියකු වූ ‘රණවක’ 1993දී දකුණු පළාත් සභා ඡුන්දයේදී කරළියට එන්නේ ‘ජනතා මිතුරෝ’ නමින් සංවිධානයක් අටවා ගෙනය. ඒ චන්ද්‍රිකාගේ සහයටය. ඉන්පසු 1998දී ‘ජනතා මිතුරා’ මාරුවෙන්නේ ‘ත‍්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය’ටය. එම ව්‍යාපාරයට දේශපාලන හුස්ම පිඹින්නේ ‘සිහළ උරුමය’ නමින් ජාතිවාදී පක්ෂයක් ආරම්භ කරමිනි. 2004දී එය තවත් ශක්තිමත් වන්නේ භික්ෂූන් වහන්සේලාගේ නායකත්වයෙන් ‘ජාතික හෙළ උරුමය’ ලෙස බෞතීස්ම වෙමිනි. මේ චම්පික ඇටවූ සිහළ උරුමයේම වර්ධනීය තැනය. එහි ආරම්භක සාමාජිකයන් වූයේ කොළොන්නාවේ සුමංගල හිමි, උඩුවේ ධම්මාලෝක හිමි, එල්ලාවල මේධානන්ද හිමි, ඕමල්පේ සෝභිත හිමි, අතුරලියේ රතන හිමි සහ තිලක් කරුණාරත්නය. එයට ලැබෙන මහඟු ආශිර්වාදය වූයේ සෝම හිමිගේ අපවත්වීමය. එතෙක් සමාජය තුළ සෝම හිමි ආක‍්‍රමණය කරමින් සිටි පදාසයම ‘ජාතික හෙළ උරුමයට’ දාගන්නට හැකිවූයේ එහි හිමිකරුවෝ සිවුරුධාරීන් වීම නිසාය. ගිහියන්ට වඩා එහි අයිතිය ඉබේටම ‘ජාතික හෙළ උරුමයට’ ලැබුණි. මේ සියල්ල පිටුපස සිටි සැබෑ වුවමනාකාරයා චම්පික රණවක විය. ඔහු පැවිද්දන්ගේ කරපිටින් ආවා කියනවාට වඩා නිවැරදි වන්නේ ඔහු පැවිද්දන්ටත් බණ කියා තම මතවාදයට හරවා ගත් බවය.

මහින්ද සරණ යෑම
2005දී ‘ජාතික හෙළ උරුමය’ මහින්දට මාට්ටු කළේ චම්පිකය. එය 2007දී මහින්දට ලියාම දුන්නේය. මහින්ද ආණ්ඩුවේ යුද ජයග‍්‍රහණයට අවශ්‍ය මතවාද තල්ලූව දීමට ජවිපෙටත් වඩා චම්පික සමත් වූ බව කිව යුතුය. කණ්ඩායමක් ලෙස ජවිපෙ චම්පිකට වඩා දිස්විය.

මහින්දගෙන් ගැළවෙන චම්පික ගැලවී එන්නේ නිකම්ම නොවේ. ‘ගල්ලෙන බින්දා’ යන සටන් පාඨයත් රැුගෙනය. එය ඒ මොහොතේ බලගතු වදනක් විය. මේ 2015දී නව දේශපාලන ගමනකට හේතුවූ වදනකි. එනම් තව බොහෝ අයට මහින්දගේ ගල්ලෙනෙන් එළියට ආ හැකිය යන පණිවුඩය සැරට ඒත්තු ගැන්වීමකි. මහින්ද සිංහයා නම් චම්පික සූක්ෂ්මව සිංහබාහු විය. එතැන් සිට ඔහු ඉතා සූක්ෂ්මව තම බෞද්ධ පදනම ශක්තිමත් කරගන්නට සෑහෙන වෙහෙසුණේය. ඔහු අත නොහරින මතවාදය මේ බෞද්ධකමය. ගෝඨා අද ඩැහැ ගත් එම පදනම ඔයාකාරයට ලියා ගන්නට අප‍්‍රමාණ වෙහෙසුණ මිනිසා රණවක නම් ‘යකඩ මිනිසා’ ලෙස තමාම නම් කරනුයේ නිකං නොවන බව සිහි තබා ගත යුතුය.

ඉලක්කය
පාසල් ශිෂ්‍යයකු ලෙස හොරණ ජවිපෙ දේශපාලනයේ යෙදුණ චම්පික මොරටුව විශ්වවිද්‍යාලයට ගොස්ද කලක් එම දේශපාලනයේම නියැලූණි. එහෙත් ජවිපෙ ගමනට වඩා තමාට ගමනක් ඇතැයි සිතූ නිසාදෝ ඔහු වෙනම ගමනක් තෝරා ගත්තේය.

ඔහුට අවැසි ඉලක්කයට යාමට ඔහු මතවාදය වෙනස් කරන ශූරයෙක් විය. බලය ලබාගත හැක්කේ කෙක්කෙන්ද, කොක්කෙන්ද ඒ දෙකම අත්හදා බලන්නට ඔහු සමත්ය. වරෙක වාමාංශිකයකු වන ඔහු තවත් විටෙක දක්ෂිණාංශිකයෙකු ලෙසත් ක‍්‍රියා කරන අතර තවත් තැනක ආගම්වාදියෙක් ජාතිවාදියෙක් එයට ජාතිකවාදියෙක් යන ලේබලයක් අලවා ගනී. මෑත දේශපාලන ඉතිහාසය තුළ වැඩිම වෙස් මුහුණු පළඳන්නා චම්පික බව පැහැදිලිය. ඔහු රඹුටන් වාරෙට රඹුටන් විකුණන, වෙසක් කාලෙට බකට් විකුණන මේ කාලෙට ‘මාස්ක්’ විකිණිය හැකි පන්නයේ දේශපාලන වෙළෙන්දෙකි. දැන් ඔහුගේ අලූත්ම සෙල්ලම ‘සේනාංකයක්’ පිහිටුවාගෙන බලය ඇල්ලීමය. මුලින්ම සමගි ජන බලවේගයේ බලය ඇල්ලීමය. මෙතෙක් ඔහු අටවාගෙන සිටි ‘හෙළ උරුමය’ විසුරුවා හැරියේය.

ඒ සෙල්ලම අලූත් විදිහට කිරීමටය. සමගි ජන බලවේගයේ සජිත් ඇරුණු කොට කැපී පෙනෙන දේශපාලන චරිතය චම්පිකය. ඔහු විශ්වාස කරනුයේ තමාට එහා මෙහා කරන්නට ඇත්තේ එක ඉත්තෙකු පමණක් බවය.

ඒ සජිත්ය. සජිත් ජනපති පියෙක් යටතේ හැදුණු වැඩුණු නිසාම ඔහුට පොළොවට පය ගැසීමේ අපහසුවක් ඇත. තාත්තා පොඩි මිනිහා දිනා ගනිද්දී සජිත්ට පොඩි මිනිහා වෙනුවෙන් තමා ඉන්නවා යැයි කෑගසන්නට සිදුව ඇත. ඔහු පසුගිය ඡුන්දයේදී ඇණගත් සීමාව චම්පික වෙනම ලකුණු කරමින් සිටින අතර එය ජයගැනීමට වෙනම සේනාංකයක් පිහිට වූයේය. එය දැනට සමගි ජන බලවේගය සමග එකට ගමන් කරන්නක් බව පෙන්නුවත් එය වෙනම සමගි ජන බලවේගයේ බලයත් අල්ලන වැඩපිළිවෙළක් බව අමුතුවෙන් කිවයුතු නැත. කල්තියා සූදානම එයය. 2024 ඉලක්ක කොට නැකත් හැදීමක් බව පැහැදිලිය.

සමගි ජන බලවේග පක්ෂයේ නව ව්‍යවස්ථාව මේ වනවිට හදා අවසන්ය. නව ව්‍යවස්ථාව අනුව පක්ෂ නායයාගේ කාලසීමාව කෙටි කලකට සීමාවී ඇත. මේ අනුව අදාළ කාලය එළැඹෙන විට චම්පිකට එහි නායකයාව සිටිය හැකිය. සජිත් සමග බොහෝ මන්ත‍්‍රීවරුන්ට ඔවුන් බලාපොරොත්තු වන ඉලක්කයට යාමට අපහසුය. බැලූ බැල්මට රනිල් සමග ගනුදෙනු කළාටත් වඩා සජිත් සමග සමීපකම් අපහසුය. ඊට හැඩ ගැහුණු සජිත්ගේ ජීවන රටාවද දේශපාලන කෙළවරක් දැකීමට සාමූහිකව යාමට බාධාවක්ය. එය ඔහු වෙනස් කර ගන්නවාද නැද්ද යන්න ඔහුගේ වැඩකි. ඒ බාධක මනාව හඳුනා ගන්නට චම්පික සමත්ය. ඔහු දේශපාලන සටකපටියෙකි. සජිත් චම්පික සමග සසඳන කල දේශපාලනයේ ළදරුවෙකි. එහෙත් චම්පිකගේ මේ අධි තාත්වික දේශපාලන රංගනයට ඔහුව සෑහෙන හකුළුවා ඇත්තේ නිතරම ඔහු කවුද යන්න ඉතා ඉක්මනින්ම හෙළිදරව් වන බැවිනි. ‘සේනාංකයක්’ පිහිටුවා ගැනීමෙන්ම ඒ තත්ත්වය පැහැදිලිය. ඔහුට ඇත්තේ තවමත් ජාතිවාදී ලේ පිපාසාවම බව ස්ථිරය. සජිත්ට මේ සේනාංකයට එරෙහිව ඇති තුරුම්පුවම ෆොන්සේකා බව පැහැදිලිය. ඉදිරියේදී වඩා දරුණු ගෝරිය ඇත්තේ ආණ්ඩුවේ නොව විපක්ෂයේ බව පැහැදිලිය. රාජපක්ෂලාගේ වහල්ලූන්ට ඒ පවුල සමග අවුලක් නැත. එහෙත් විපක්ෂයේ නායකයන්ට විවෘතය. එයට තව ඕනෑතරම් අය කෙළ හලනු ඇත. රනිල් නැවත පණ ගහන්නේද 2024දී නැවත පොදු අපේක්ෂකයෙක් සොයා එන තැන සිට විය හැකිය. දේශපාලනයෙන් සමුගත්තා යැයි කියමින් අමුතු කතා කියන මංගල අර අඳින්නේද ඒ සඳහාම විය හැකිය. අද මංගලට අනුව නැගෙනහිර ජැටිය විකුණනවාට පක්ෂ වන අය දේශපේ‍්‍රමීන්ය. ඔහු කියනුයේ ජැටිය දෙනවාට දේශපේ‍්‍රමියෙකුට විරුද්ධ විය නොහැකි බවය. දැන් මංගලගේ කතාවට වැඩිම ඉඩ දෙන්නේ ආණ්ඩුවේ අයය. මංගල කියන තක්කඩි දේශපේ‍්‍රමීන්ද එමට ඇත. ඒ විකුණාගෙන කමින් දේශපේ‍්‍රමීන් වීමට ආස අයය.

හෙටත් ලංකාවේ දේශපාලනය කරනුයේ මේ තක්කඩියන්මය. අලූත් විපක්ෂයක්, අලූත් ගමනක් කියමින් නැවත නැවත එනුයේ මේ තක්කඩින්මය. ජනතාව තව බොහෝ කාලයක් රාජපක්ෂලාව තෝරා ගත්තද කිසිවකු පුදුම විය යුතු නැත. මන්ද මේ නැවත නැවත කරළියට අලූත් කරනුයේ තක්කඩින්ම වන නිසාය. මේ හැමට වුවමනා බලයය. බලය පෑමේ මේ අය නොකරන දෙයක් නැත. හෙට රනිල්, චම්පික, මංගල යන සැමට එකට සිට ගත හැකිය. ප‍්‍රශ්නය ඒ අය අතරෙන් එක කවුදැයි සීතල යුද්ධයක් පැවතීමය. සරත් වීරසේකරගේ යුද පුහුණුවත් ලබාගෙනම රණවකගේ සේනාංකයට බැඳෙමිදැයි කල්පනාවට ඉඩ තබා නතර වෙමි.