ටිරන් කුමාර බංගගමආරච්චි

ගෙවුණු සතියේ සිට වරාය අධිකාරිය ඇතුළු වෘත්තීය සමිති දියත් කළ විරෝධය මේ වනවිට උග‍්‍ර තැනකට පත්ව ඇත. වෘත්තීය සමිති ක‍්‍රියාකාරීන් තිදෙනෙක් දොඹකර තුනක් උඩ නැග උපවාස කරන තැනට තත්ත්වය වැඩි දියුණු වී ඇත. මේ විරෝධය කාටද? උපවාස කාට එරෙහිවද? වරාය අධිකාරිය තුළ සිරව දියත් වන නිසා මෙම විරෝධයේ ප‍්‍රතිවිපාක ජනතාවට නොපෙනෙයි. උද්ඝෝෂණවල හඬ නොඇසෙති. එහෙත් එය සුළු කොට තැකිය නොහැකි නැංගුරමක් බවට පත්වෙමින් ඇත. ගිය සතියේ ඇරඹි විරෝධය කාට එරෙහිව නගන හඬක්ද යන්න වහන් කළද මේ වනවිට එය ඍජු ඉන්දීය විරෝධයක් බව එළිපිටම කියන තැනට පත්වී ඇත. රාජපක්ෂලාගේ ආණ්ඩුව නොදැන මේ විරෝධතා කළ හැකිද? මේ විරෝධතාවන්හි නියැලෙන ප‍්‍රබලයෝ ආණ්ඩුවේම වෘත්තීය සමිතිය. එසේ නම් මේ විරෝධය පිටුපස සිටිනුයේ ආණ්ඩුවමද? මෙය දියත් වන්නේ ආණ්ඩුවේ අනු දැනුම යටතේමද? මේවා දොඹකර සේ ම වරායෙන් උසට පේන ප‍්‍රශ්නය. මුහුදෙන් එපිටටද ගාල්වන ගැටලූය.


අතීත ආරෝව


අසල්වැසි ඉන්දියාව යනු මෙරටට දැඩි සේ සමීපතම මෙන්ම බලපෑම්සහගත රටය. මෙරට දේශපාලන පෙරලින් වුව සිදුකර ඍජු දේශපාලන අතපෙවීම් කරනුයේ ඉන්දියාවය. ජනාධිපතිවරණයකදී ඉන්දීය සහය ලැබෙන ආකාරය අනුව ජයග‍්‍රාහකයා ගැන පේන කිවහැකි මට්ටමට වැඬේ දියුණුය. 2015දී මහින්ද රාජපක්ෂ පරදා යහපාලනය දිනීමට ඉන්දියාව කළ මැදිහත්වීම විශාල බව මහින්ද රාජපක්ෂම එකල පිළිගත්තේය. ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කළේය. එය කොතෙක් දරුණු හිත රිදවීමක් වුවත් ඊළඟ ජනාධිපතිවරණයේදී එනම් 2019දී ඉන්දියාව දිනා ගැනීමට බැසිල් රාජපක්ෂ කළ හැකි උපරිමය කළේය. ගිය වසරේ පැවති ජනාධිපතිවරණයට පෙර රාජපක්ෂලා නැවත ඉන්දීය හිතවත්කම උපරිමය ගොඩ නගා ගත්හ. රාජපක්ෂ විපක්ෂ නායක ලෙස පවා මෝදි පිළිගත්තේ මහා ඉහළින්ය. ගෝඨා ජනපති වී ප‍්‍රථම රාජතාන්ත‍්‍රික ගමන යනුයේ ඉන්දියාවටය. එහෙත් කල් යද්දී රාජපක්ෂලාගේ වෙනස්වීම තාලයට සිදුවෙමින් පවතී. දැඩි චීන ලබ්ධිකයෝ වන රාජපක්ෂලා නැවත චීන සරණම යන තැනට තල්ලූවෙමින් පවතී. මේ වෙනුවෙන් සිල්ලර රැුඟුම් දක්වන්නට වරාය වෘත්තීය සමිති යොදාගෙන ඇත. දැනට පෙනෙන පැහැදිලි තත්ත්වය එයය.
කොරෝනාවලින් පසුව පටන් ගන්නා අලූත් ගමන තුළ ලංකාව ඉන්නේ චීනය විශ්වාස කොට බව එළිපිටම කියන තැනට පත්වී ඇත. ඒ හරහා කපා දමනුයේ අසල්වැසි ඉන්දියාව බව දැන් රටටම රහසක් නොවේ.


විරෝධතාවන්ට හේතු


කොළඹ වරායේ නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා ඉන්දියාව මැදහත් වන්නේ ඉකුත් යහපාලන ආණ්ඩු කාලයේ ලද අවසරයකට අනුවය. එකල යහපාලන ආණ්ඩුව ඉන්දියාව සහ ජපානය සමග අවබෝධතා ගිවිසුමකට එළැඹෙනුයේ නැගෙනහිර වරාය සංවර්ධනය ඉන්දියාවටත් ජපානයටත් ලබාදෙමිනි. ඒ සඳහා කැබිනට් අනුමැතියද හිමිවන්නේය. එවකට යහපාලන ආණ්ඩුව ඇතුළේද මේ සම්බන්ධයෙන් විරෝධතාවක් මතුවිය. ඒ ජනපති සිරිසේන ඉන්දියාවට ලබාදීම ගැන දැඩි විරෝධයක් මතු කිරීමත් සමගය. මෙම තත්ත්වය දෙරට අතර මත ගැටුමක් දක්වා උඩු දිව්වේය. කොටින්ම විරෝධතා හේතුවෙන් ඉන්දියාව ව්‍යාපෘතිය ඉදිරියට ගෙන යෑම පමා කරන අයුරු පෙනුණි. යහපාලන ආණ්ඩුව සමග අවසාන කාලයේ ඉන්දියාව නෝක්කාඩුවක් ඇති කර ගන්නටත් රාජපක්ෂලා නැවත වැලඳ ගන්නටත් මේ දේ හේතුවූවා යැයි සිතිය හැකිය. කලක් නිහඬව සිටි ඉන්දියාව නැවත මතුවන්නේ සිරිසේනගේ එදා විරෝධයට හපන් හේතු මෙවර මතුවන නිසාය.
ඒ කොළඹ වරායට චීන නැවක් පැමිණෙමින් ඇති බව සැලවීමත් සමගය. මේ කාරණයත් සමග ඉන්දියාව දැඩි සේ කලබලයට පත්වූ බව නොරහසකි. චීන නැව කුමකට කුමක් සඳහා එන්නේද යන්න සෙවීමට ඉන්දියාව යුහුසුලූ විය. එහිදී ඔවුන් සොයා ගනුයේ චීන නැව එනුයේ දැවැන්ත දොඹකර තුනක් සමග බවය. ඒවා රැුගෙන එන්නේ නැගෙනහිර ජැටියට බවය. මේවාද යහපාලන ආණ්ඩු සමයේම ශ‍්‍රීලනිපය නියෝජනය කළ අද පොහොට්ටු පක්ෂය නියෝජනය කරන එවකට වරාය හා නාවික අමාත්‍යවරයා වූ මහින්ද සමරසිංහ සිදු කළ ඇණවුමක ප‍්‍රතිඵලය. ඉන්දියාව සහ චීන දේශ සීමා ප‍්‍රශ්නයකට ඇවිලී ඇති මොහොතක මෙම දොඹකර පිදුරු දමන්නාක් මෙනි.


මූලික තොරතුරු තහවුරු කරගත් සැණින් ඉන්දියාව මෙරට පිහිටි ඉන්දීය මහකොමසරිස් කාර්යාලයට දැනුම් දී ඇත්තේ දොඹකර තුන කුමන කටයුත්තක් සඳහා රැුගෙන ආවේද යන්න සැකහැර තහවුරු කරගන්නා ලෙසය. ඒ අනුව කළ සොයා බැලීම්වලින් ඔවුන් තහවුරු කරගනුයේ දැනට වරාය අධිකාරිය යටතේ ක‍්‍රියාත්මක වන ජය ජැටියට මෙවැනි විශාල දොඹකර අනවශ්‍ය බවත්, මේවා ගෙන ඇත්තේ ඉන්දියාව යටතේ පවතින නැගෙනහිර ජැටිය සංවර්ධනය කිරීම සඳහා බවය. එය තහවුරු කරගැනීමත් සමග මෙරට ඉන්දීය මහ කොමසාරිස් කාර්යාලය කලබල වීදයත් චීන දොඹකර කොළඹ වරායට ගොඩ බාන්නට පෙර ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ වරාය පරිශ‍්‍රයට පැමිණ මේ පිළිබඳ නිරීක්ෂණය කර ඇත. මේ යහපාලන කාලයේ තමන්ට දුන් කොන්ත‍්‍රාත්තුවක් තමන් ඉද්දීම චීනයට පැවරීමකි. මේ නිසා ඉන්දීය කලබලය වරාය තුළ උපරිම ඇවිළී ඇත.


ඉන්දීය මහ කොමසාරිස් ගෝගල් බාග්ලේ අගමැති මහින්ද රාජපක්ෂ හමුවනුයේ මේ සම්බන්ධයෙන් කඩිනම් සාකච්ඡුාවකටය. එහිදී ඉන්දීය විරෝධයත්, ඉන්දියාවට මෙහි සංවර්ධනය ගැන ඇති අයිතියත් කතා කිරීම අනිවාර්යය. රජයන් දෙකක් අතර ගිවිසුම් ගත්විට ඒවා හිතු මනාපයට ඉවත් කළ නොහැකිය. ආණ්ඩු මාරු වූවැයි ඒවා අවලංගුවන්නේ නැත. ඒවා වෙනස් කරන්නේ නම් කළයුත්තේ දීර්ඝ සාකච්ඡුාවල ප‍්‍රතිඵල වශයෙන් ඊට අදාළ වන්දියද දැරීමෙන් පසුවය. මේවා රාජපක්ෂලා නොදන්නා කාරණා නොවේ. මේ නිසා ඉන්දියාව තරහා කරගැනීමක් මිස වෙන යමක් සිදු නොවේ.

වරායේ කුලප්පුව


වරාය ඇතුළේ වෘත්තීය සමිති කුලප්පු වන්නේ මේ ඉන්දීය අතපෙවීමත් සමගය. මහ කොමසාරිස්ගේ වරාය ගමනත් සමගය. කොටින්ම ඊට එරෙහිව හඬ නගන අය අනෙක් පසින් ඉල්ලා සිටිනුයේ චීන දොඹකරය. චීන දොඹකර හෙළි කරන රහස නම් නැගෙනහිර ජැටිය සංවර්ධන චීනයට දෙන බවය. මෙතරම් සංකීර්ණ දේශපාලන කාරණාවලදී වරායේ වෘත්තීය සමිති ලවා ඉන්දියාවට ගල් ගසනුයේ ආණ්ඩුවම බව වටහා ගන්නට අමුතු දැනුමක් වුවමනා නොවේ. ඉන්දියාවට එය නොදැනෙනවා නම් මෝදි මෝඩයෙක් විය යුතුය.


වන්දි ගෙවීම


දැනට ඇතිවී ඇති අර්බුදය හමුවේ වන්දි ගෙවනුයේ මෙරට වීම මේ අය නොතකති. වරායේ වෘත්තීය සමිති රජයේ කොන්ත‍්‍රාත්තුවට කර ගැසුවද චීන නැව පිටත නවතා සිටින දිනක් පාසා ප‍්‍රමාද ගාස්තු ගෙවිය යුතු බව නොදනීද? ආණ්ඩුව නොදනීද? ඉන්දීය විරෝධය නිසා දොඹකර තුන රැුගත් චීන නැව කොළඹ වරායට සේන්දු නොවී පිටත නැංගුරම්ලාගෙන සිටී. නැව වරායෙන් පිටත නවතා තබන දිනයක් පාසා ප‍්‍රමාද ගාස්තුව වශයෙන් දිනකට ලක්ෂ 95ක් වරාය අධිකාරිය විසින් නෞකා සමාගමට ගෙවිය යුතුව ඇත.

මෙය රාජතාන්ත‍්‍රික ගනුදෙනුවක් බව සිතා ප‍්‍රශ්නයට නොඑළැඹි බාල වෘත්තීය විරෝධතා පෙන්වීම හරහා ආණ්ඩුව කරනුයේ බරපතළ වරදකි. මෙම බාල හැසිරීම් නිසාම නැගෙනහිර වරාය සංවර්ධනය කිරීමේ අනෙක් පාර්ශ්වකරුවා වූ ජපානය මෙම අවබෝධතා ගිවිසුමෙන් ඉවත්වීමට තීරණය කළේය. මාලබේ-කොටුව කණු උඩ දිවෙන සැහැල්ලූ දුම්රිය ව්‍යාපෘතිය ජපානය කිරීමට සිටි වැඩක් වුවත් එය මේ ආණ්ඩුව අත්හිටුවීමත් සමග නැගෙනහිර ජැටිය සංවර්ධන ව්‍යාපෘතියෙන්ද ජපානය ඉවත් විය. ඇතැම්විට මේ වරායේ වෘත්තීය සමිති හරහා ආණ්ඩුව ඉන්දියාව මෙම සංවර්ධන කාර්යයෙන් ඉවත් කිරීමට කැසකවනවා විය හැකිය. ඉන්දියාව ඉවත් කොට චීනයට දීම යනු ඉන්දියාවට රාජපක්ෂලා අනිනු ලබන සුළුපටු ටොක්කක් නොවනු ඇත. ඒ නිසා එහි විපාකත් පෙරළා එනු ඇත. ගෝඨා ආණ්ඩුව පටන් ගත් තැන සිටම වලියට බර බව පෙනේ. ඒ මෙරට තුළ පමණක් නොවේ ඉන් පිටතද වේ. ආණ්ඩුව චීන දොඹකර උඩ නැග ඉන්දියාවට කෝචොක් කළද සරදමෙන් කාගෙ කාගෙත් ඇස් රතුවනු ඇතැයි කල්තබා කිව යුතුය.