රසික ගුණවර්ධන

ලංකාවේ දේශපාලන බලහුවමාරුවේ වැදගත්ම සාධකය ඡුන්දදායකයෝය. ඒ නිසාම බලයට පත්වන රජයන් සහ බලය ලබා ගැනීමට කැසකවන සෑම දේශපාලන පක්ෂයක්ම තමන්ට අනන්‍යවූත්, ස්ථිරවූත් ඡන්ද පදනමක් සාදා ගැනීමට බොහෝ සේ වෙහෙස වී කටයුතු කරනු දැකීම ඉතාම සරල සිදුවීමකි. අප මේ කියන්න යන කතාව ඒ දේශපාලන වුවමනාව නිසාම කේවල් වන මිනිසුන් ගැන කතාවකි.

වත්මන් රජය බලයට පත්වූ වහාම රිෂාඞ් බදියුදීන් අමාත්‍යවරයා අත්අඩංගුවට පත්වන්නේ පුත්තලමේ ඡුන්දදායකයන් මන්නාරමට ප‍්‍රවාහනය කිරීම සහ ඒ සඳහා රජයේ වාහන යොදා ගැනීමේ වරදටය. ඒ නිසාම අපේ කතාවේ කතා නායකයන්ට දේශපාලන ලේබලයක් වැදී මුල්ලකට විසිවූ අතර ඔවුන්ගේ කතාව මාධ්‍ය සේ ම රටේ අනෙකුත් ප‍්‍රදේශවල ජනතාවද ඒ තරම් සැලකිල්ලකට ගත්තේ නැත. අනෙක් පසින් ඔවුන් මුස්ලිම් ජාතිකයෝ වන නිසාම ඒ කතාවට වෙනයම් අර්ථකතනයක් ලබාදී මුල්ලකට තල්ලූකර දැමීමද පහසු වූහ.

අපේ කතා නායකයන්ගේ අතීත කතාව සැකෙවින් මෙසේය. 1990 වසර මෙරට යුද ඉතිහාසයේ ඉතා ඛේදජනකම වසරක් විය. ඒ කාලසීමාව වන විට උතුරේ බලය එල්ටීටීඊ සංවිධානය සතු වූ අතර ඔවුන් එක්වරම නියෝග කළේ ඒ ප‍්‍රදේශවල සිටින සියලූම මුස්ලිම් වැසියන් ප‍්‍රදේශය හැරදා යායුතු බවයි. මේ නිසා දහස් ගණනක මුස්ලිම් වැසියන්ට සිදුවූයේ අතට හසුවන දෙයක් රැගෙන තමන්ගේ ජීවිතය බේරා ගැනීමට තමන්ගේ උපන් ගම්වලින් පලා යාමටය.

මේ පලායාම්වලදී මුස්ලිම් වැසියන් ලංකාවේ විවිධ ප‍්‍රදේශවලට තමන්ගේ ජීවිත ආරක්ෂා කර ගැනීමට පලා ගිය අතර මන්නාරමේ පදිංචිව සිටි වැඩි පිරිසක් පුත්තලමේ පදිංචි විය. පැය විසි හතරක් තුළ සිදු වූ මේ පන්නා දැමීම නිසාම ඔවුන්ගෙන් බොහෝ දෙනෙකු සතුව තිබුණේ ඔවුන්ගේ ඇඳිවත පමණි. කිසිවෙකුට සරණාගත කඳවුරු වලට වඩා වැඩි වාසස්ථාන නොවීය. මෙසේ වසර ගණනක් ඔවුන් ජීවත් වූයේ සරණාගත කඳවුරුවලය. කුඩා දරුවන් ඉපිද, හැදී වැඞී අධ්‍යාපනය ලබා ඔවුන් රැකියාවන් කළේද පුත්තලම කේන්ද්‍ර කරගනිමිනි. ඇතැම් රාජ්‍ය සේවකයන්ට දිවයිනේ විවිධ ප‍්‍රදේශවල රැකියාවන් ලැබුණද ඔවුන්ගේ ද නෙවාසික භූමිය වූයේ පුත්තලමය. මේ නිසා වසර ගණනාවකට පසු කිසියම් ආකාරයකට ආර්ථිකමය ස්ථාවර තත්ත්වයකට පත් ඔවුන් ඉඩම් මිලදී ගෙන පුත්තලමේ ජනාවාස වන්නට විය. යුද්ධයේ භෞතිකමය ගැටුම අවසන් වූ 2009 වන තෙක් ඔවුන්ට තමන්ගේ උපන් ගම්වලට යාම හුදු සිහිනයක් පමණක්ම විය. කෙසේ වෙතත් 2009න් පසු නැවත පදිංචි කිරීම් යටතේ මන්නාරමේ පදිංචිව සිටි පවුල්වලට නැවත නිවාස සාදා දී පදිංචි කරවීම් සිදුවිය.

”නැවත පදිංචි කිරීම්වලදි ගෙවල් හදල දීල පදිංචි කරවන්නෙ අඩු ආදායම් තියන කට්ටිය. අපි රස්සාවල් කරන නිසා අපිව ඒ පිරිසට ඇතුල් වුණේ නෑ. මම විශ‍්‍රාමික ඉංජිනේරුවරයෙන් (තමන් ඉදිරිපිට සිටින්නන් පෙන්වමින්) මෙයා ගුරුවරයෙන්, මෙයා රාජ්‍ය නිලධාරියෙක් අපි රස්සාවල් කරල මෙහෙ ගෙවල් දොරවල් හදා ගත්තට අපේ මුල් තියෙන්නෙ මන්නාරම. අපිට ගෙවල් දොරවල් රස්සාවල් තියන නිසා අපිව නැවත පදිංචි කිරීම් යටතේ පදිංචි කළේ නැහැ. යුද්දෙ ඉවර වුණා කියල අපිට මන්නාරමට ගිහිල්ල තව ගෙයක් හදා ගන්න විදිහක් නෑ. ගෙයක් හදනව කියන එකට කොච්චර කාලයක්, කොච්චර වියදමක් යනවද?” බොරුහානුදීන් තමන්ගේ උපන් ගම්බිම් හැරදා පුත්තලමට පැමිණීමට සිදුවූ පිරිස වෙනුවෙන් මුලින්ම හඬ අවධි කළේය. ඔහු දැන් වයෝවෘද්ධය. රෝගීය. එහෙත් ඔහු තමන්ගේ මුල් ඇති මන්නාරම ගැන පේ‍්‍රමයක් පෙළෙන්නේය.

එසේ නම් අපේ මේ කතා නායකයන්ගේ ගැටලූව මන්නාරමේ පදිංචියට යාමට ඇති අවශ්‍යතාවදැයි ඔබට සිතෙන්නට පුළුවන. නැත. ”අපේ ළමයි දැන් රස්සා කරනවා. අපේ ඉඩම් එහෙ තියනවා. ඒ අය රස්සා කරල එහෙ ගෙවල් දොරවල් හදා ගනී.” බොරුහානුදීන් පවසයි.

පුත්තලමේ සරණාගත මේ මිනිසුන්ට ඇති ගැටලූව ඉතාම සරලය. එහෙත් එහි ක‍්‍රියාවලිය පෙනෙන තරම් සරල නැත. මේ පුද්ගලයන්ගේ උපන්ගම් මන්නාරම නිසා ඔවුන්ට මේ වන තෙක් ඡන්දය තිබුණේ මන්නාරමේය. පුත්තලමේ සිටි ඔවුන් මන්නාරමට ගොස් ඡුන්දය භාවිත කර නැවත පුත්තලමට පැමිණීම ඡන්දය විමසන දිනයේ ඔවුන්ගේ සාමාන්‍ය පිළිවෙත විය. ”1990 ඉඳල අපි මන්නාරමට ගිහිල්ල ඡුන්දය දාල ආව. ඒකට මැතිවරණ කොමිසමෙන්ම ප‍්‍රවාහන පහසුකම් දුන්නා. හැබැයි දැන් අපේ ඡුන්දය අවලංගු කරල තියනවා. මේ බලන්න,” ඔවුන් අපට කිසියම් ලේඛනයක් පෙන්වයි. එහි ඇත්තේ ඔවුන්ගේ පදිංචිය තහවුරු කිරීමට නොහැකි බැවින් මන්නාරමෙන් ඔවුන්ගේ ඡන්දය ඉවත් කර ඇති බවයි.

සිදුව ඇති දෙය ඉතාම සරල කාරණයකි. මේ පිරිසට ඡන්ද අයිතිය මන්නාරමේ තිබුණද ඔවුන් මන්නාරමේ පදිංචි පුද්ගලයෝ නොවෙති. ඔවුන් පදිංචි වී ජීවත් වන්නේ පුත්තලමේය. මේ කාරණය සලකා ඔවුන්ගේ පදිංචිය වන පුත්තලමට ඡන්දය මාරුකිරීමේ ක‍්‍රියාවලියේ මූලික කටයුතු සිදුවෙමින් පවතී.

සැබෑවටම මේ ජනතාව සිය කැමැත්තෙන් පුත්තලමේ පදිංචියට පැමිණි පිරිසක් නොවේ. ඔවුන් 1990 මන්නාරමෙන් පලා ආවේ අපි පුත්තලමේ පදිංචි වෙනවා යැයි යන චේතනාවෙන්ද නොවේ. ඔවුන්ට තිබූ එකම චේතනාව සිය ජීවිත ආරක්ෂා කර ගැනීමය. දැනුදු ඔවුන් පුත්තලමේ ජීවිතය නොව මන්නාරමේ ජීවිතය පතන්නේය. එහෙත් ඔවුන් ආපසු හැරිය නොහැකි දුරක් දැන් පැමිණ තිබේ.

පුත්තලම උලූත්තාපුලම්හි දැනට ජීවත් වන ෆයිසාල් වෘත්තියෙන් ගුරුවරයෙකි. ”අපි මන්නාරමෙන් ඇවිල්ල මෙහෙ පදිංචි වෙලා හැම දෙයක්ම මුල ඉඳල හදා ගත්තා. වතුර මේ ගස් කොළන් ගෙවල් දොරවල් අපි බිංදුවේ ඉඳල පටන් ගත්තා. දැන් ජීවිතෙන් බාගෙටත් වැඩිය පුත්තලමටම ගෙවල දාල තියෙන්නෙ. මන්නාරමට ගියොත් මේ හැම දෙයක්ම ආය බිංදුවේ ඉඳල පටන් ගන්න වෙනවා.” මේ නිසා මන්නාරමේ ඡුන්ද අයිතිය වෙනුවෙන් ඔවුන්ට එක රැයෙන් මන්නාරම් යන්නටද නොහැකිය. ඔවුන් උභතෝකෝටියක සිරවී සිටින්නේය.

මොවුන්ට වසර ගණනාවකට පෙර මුහුණදීමට සිදුවූ ඒ අමිහිරි පිටුවහල් කිරීම නිසා ම තවදුරටත් ජීවිතය කර්කෂ ලෙස ගෙවීමට සිදුව තිබීම ඛේදජනකය. මේ නිසාම මොවුන්ට අවම තරමින් ග‍්‍රාමසේවා සහතිකයක් හෝ ලබා ගැනීමට නොහැකි තත්ත්වයක් උදා වී ඇත. ”අපට පුත්තලමෙන් ග‍්‍රාම සේවා සහතිකයක් ගන්න අමාරුයි. අපට ඡන්දෙ මෙහෙ නැති නිසා මෙහෙ ග‍්‍රාම සේවකලා අපට ග‍්‍රාමසේවා සහතික දෙන්න කැමති නෑ. ඒ හින්දා අපේ සමහරු තමන්ගෙ ඡන්දෙ පුත්තලමට හරවගෙන තියනවා. ඒක නිකන් අපට තර්ජනය කරල කරපු දෙයක් වගේ. අපේ ඡන්දෙ පුත්තලමට හැරෙව්වෙ නැත්තන් අපිට කිසි දෙයක් හම්බෙන්නෙ නෑ.” ෆරීඞ් පවසයි. ෆරීඞ් තරුණයෙකි. ඔහු පුත්තලමේ රැකියාවක්ද කරයි. එහෙත් ඔහුගේ ගම මන්නාරමය. ෆරීඞ් කියන විදිහට ඔවුන් වසර තිහක සිට පුත්තලමේ සරණාගතයන්ය.

”පදිංචි වෙලා ඉන්න තැන ඡුන්දෙ දාන්න කියනව නම් ඇයි අපට විතරක් එහෙම. මහින්ද රාජපක්ෂ මහත්තයා ඉන්නෙ කොළඹ ඡන්දෙ දාන්නෙ හම්බන්තොට මැදමුලනෙ. එහෙනන් එතුමත් කොළඹ ඡන්දෙ දාන්න එපෑනෙ. අපි රාජ්‍ය සේවකයො විදිහට ලංකාවෙ හැම තැනම සේවය කරනවා. අනුරාධපුරේ වැඩ කරනව නම් එහෙ නවතිනව, මාතර වැඩ කරනව නම් එහෙ නවතිනවා. මේ විදිහට අපි ඒ පැතිවල නෙවේනෙ ඡන්දෙ දාන්නෙ. පුත්තලමෙ අපි ඉන්නෙත් තාවකාලික විදිහට. අපි කැමැත්තකින් පුත්තලමට පදිංචි වෙන්න ආව නෙවේ. අපිව අපේ ගම්වලින් එලෙව්ව.” සියල්ලන්ගේම අදහස එයයි. මේ අදහස් එකින් එක සියල්ලන්ම පෝෂණය කරයි.

මොවුන් මන්නාරමෙන් පලවා හැරීමෙන් පසු පුත්තලමට ආවා කියා ඔවුන්ගේ සංස්කෘතික වටපිටාව සේ ම දේශපාලන වටපිටාවද වෙනස් කිරීමට කිසිවෙකුට අයිතියක් නැත. කොටින්ම මොවුන්ගේ මුල් මන්නාරමෙන් උදුරා දැමීමට කිසිවෙකුට සාධාරණ හිමිකමක් නැත.

පුත්තලමේ වසර තිහක් සරණාගතව වෙසෙන මේ මිනිසුන් ඉල්ලන්නේ තමන්ගේ ඡුන්ද අයිතිය මෙතුවක් කලක් තිබ්බා මෙන් මන්නාරමේම තබන ලෙසය. මෙහි නීතිමය සාධක පරයා අප බැලිය යුත්තේ මානුෂික අවශ්‍යතාව දෙසය. නීතියට අනුව තර්ක කර මොවුන් පුත්තලමේ නිසා පුත්තලමේ ඡන්ද අයිතිය ඇතැයි කිව හැකිය. එහෙත් ඔවුන් පුත්තලමට ආවේ කුමක් නිසාද? ඔවුන්ට පුත්තලමේ ජීවත් වන්නට සිදුවූයේ කුමක් නිසාද? ඔවුන්ට නැවත මන්නාරමට යාමට නොහැක්කේ කුමක් නිසාද? යන්න ඉතාම නිරවුල්ව මැදහත්ව සිතා බැලිය යුතුය. සැබැවින්ම මේ මිනිසුන් මුහුණ දුන්නේ මානව ඛේදවාචකයකටය. මේ මානව ඛේදවාචකය නිසාම මේ මිනිසුන් මේ වන විට ඇති පදම් දුක්ඛ දෝමනස්සයන්ට මුහුණ දී සිටී. එසේම තවත් මුහුණ දෙමින්ද සිටී.