රසික ගුණවර්ධන

පැවති ජනාධිපතිවරණය සහ මෙවර පැවැත්වීමට නියමිත මහමැතිවරණය යන මැතිවරණ දෙකෙහිම වෙනසක් නැතිව සිදුවන දෘෂ්ඨිවාදීමය ප්‍රචාරණ ක්‍රියාවලිය තුළ වැඩි වශයෙන්ම දැකිය හැක්කේ වෛරී ප්‍රකාශයන්ය. එහිදී වැඩි වශයෙන් ඉලක්ක වන්නේ සංඛ්‍යාත්මකව අඩු ජන සංඛ්‍යාවක් වන මුස්ලිම් සහ දමිළ ජනතාවය.


බොදුබල සේනා සංවිධානය වැනි අන්තවාදී සංවිධාන ඝෘජුවම දේශපාලනය පිවිස ඇති වටපිටාවක මෙම තත්වය තව තවත් තියුණු වී ඇත. පසුගිය වසර කිහිපය පිළිබඳව සලකා බලන විට ලංකාවේ වෛරී ප්‍රකාශ සිදු කරන්නන් අතුරින් ඉහළින්ම සිටින කිහිපදෙනා අතර ප්‍රමුඛයකු ලෙස බොදුබල සේනා සංවිධානයේ ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් දැක්විය හැකිය. එසේම ජාතිකවාදී සහ ජාතිවාදී නැඹුරුවකින් ජනතාව අතර මතවාද පැතිර වීමට ක්‍රියා කළ අන්තවාදී සංවිධාන වල කටයුතු කරන ඩෑන් ප්‍රියසාද් සහ අමිත් වීරසිංහ වැනි පුද්ගලයන්ද මෙවර පාර්ලිමේන්තු මැතිවරණයට පිවිස සිටීම ද කිසියම් ආකාරයක බරපතල තත්වයක් නිර්මාණය කර ඇත.


එසේම බොදුබල සේනා සංවිධානයේ මහ ලේකම්, ගලගොඩ අත්තේ ඥානසාර හිමියන් සිය ප්‍රකාශ ගණනාවකදීම වත්මන් ජනාධිපතිවරයාට සහය දක්වන බවත්, එසේත් නැතිනම් අන්තර් දෘෂ්ඨිවාදයන් එකිනෙකා සමඟ ගැලපෙන බව හැඟෙන ප්‍රකාශ සිදු කර ඇත. මෙම තත්ත්වය හරහාද වෛරී ප්‍රකාශ සඳහා කිසියම් ආකාරයක රජයේ අනුග්‍රහය හිමිවන බවක් දක්නට ඇත.
කෙසේ වෙතත් මැතිවරණය අභිමුව පෙනෙන්නට ඇත්තේ මෙම වෛරී ප්‍රකාශ හරහා ඝෘජුවම දමිළ සහ මුස්ලිම් ප්‍රජාව පමණක් ඉලක්ක නොවන බවත්, ඊට සිංහල ප්‍රජාවද ඉලක්ක වන බවත්ය. එනම් දේශපාලකයන් විසින් ජාති ආගම් වර්ග භේදයකින් තොරව වෛරී ප්‍රකාශ සිය මැතිවරණ ප්‍රචාරණය සඳහා උපකාරී කරගන්නා බවයි.


ඒ අනුව සිංහල බහුතර ජනතාව විසින් සිංහල නොවන ජනතාව යටපත් කර ගැනීම උදෙසා සහ සිංහල ජනතාව තමන් වෙත දිනා ගැනීම උදෙසා බහුල ලෙස භාවිතා වූ වෛරී ප්‍රකාශ මැතිවරණ සමයේ තමන්ගේ ජනතාව දිනා ගැනීම උදෙසා දෙමළ දේශපාලකයාද, මුස්ලිම් දේශපාලකයාද, සිංහල දේශපාලකයාද භේදයකින් තොරව භාවිතා කරති.


මහින්ද රාජපක්ෂ කඳවුරේ දකුණු ශ්‍රී ලංකාවේ නඩය විසින් සිය පක්ෂ නායකත්වය යටතේ යුද්ධය ජයග්‍රහණය උදෙසා කටයුතු කළ බව ප්‍රකාශ කරමින් මනාප එකතු කරන විට එම කඳවුරේම දමිළ ජනතාවට අභිමුඛ වන නැගෙනහිර නඩය තමන් රජයේ “සිංහල” හමුදා දහස් ගණනක් ඝාතනය කළ බව කියමින් මනාප එකතු කරයි.


මෙය හරහා පෙනෙන්නේ වෛරී ප්‍රකාශ සිදු කරන්නන්ගේ ඇති සියුම් කූට උපාය සහ ඡන්දදායකයා මුළා කිරීමේ වෑයමයි.
මෙය භාවිතා කර ඡන්දය ජයග්‍රහණය කළා යැයි සිතන්න. ඉන් අනතුරුව සිදු වන්නේ කුමක්ද? ජනතාව තුළ අපේක්ෂකයා පැළ පදියම් කළ වෛරී සහගත සිතිවිලි සැබෑවක් කර ගැනීමට ජනතාව උත්සාහ දැරීම සහ චේතනාන්විතව හෝ නැතිව ඊට අනුග්‍රහ දැකිවීමට වෛරී ප්‍රකාශ සිදු කර ජනග්‍රහණය කරන පුද්ගලයාට සිදු වීමය.


මෙයට ඉතාම සමීපතම සහ ආසන්නතම නිදර්ශණය පසුගිය ජනාධිපතිවරණය හරහා දැකිය හැකිය. වත්මන් ජනාධිපතිවරයා සිය මැතිවරණ ව්‍යාපාරය සඳහා මේ ආකාරයේ වෛරී ප්‍රකාශ උපයෝගී කර ගත්තේය. මේ නිසා සිංහල ජාතිකවාදී ඡන්ද බහුතරයක් ඔහුවෙත ලැබුණු අතර බලයට පත් වීමෙන් අනතුරුව ඔහුගේ පාලනයට එම ජනතා අභිලාශයට අනුව කටයුතු කරන්නට සිදු විය. උදාහරණයක් ලෙස ඔහු බලයට පත්වීමෙන් පසු පත්කරගත් අමාත්‍ය මණ්ඩලයට කිසිඳු මුස්ලිම් අමාත්‍යවරයෙක් අයත් නොවූ අතර එය ප්‍රජාතන්ත්‍රවාදයට එල්ල වූ මරු පහරක් ලෙස දැක්විය හැකිය. එසේම එම ක්‍රියාවලිය පිටුපස තිබූ “අමාත්‍ය මණ්ඩලයට මුස්ලිම් ඇමතිවරු නෑ” යන ප්‍රචාරක පාඨය හරහා මෙම සිදුවීම චේතනාන්විතවම මුස්ලිම් ජනතාව කොන් කිරීමේ අරමුණ සහිතව සිදු කරන ලද්දක් ලෙස දැක්විය හැකිය.


එසේම මෙම වෛරී ප්‍රකාශය ජාතිය, ආගම, කුලය මත පමණක් නොව ලිංගිකත්වය, ශාරීරික දුබලතාවයන් සඳහාද ඉලක්ක කර ඇති ආකාරයක් දක්නට ඇත.


මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය විසින් පසුගිය දා නිකුත් කළ වෛරී ප්‍රකාශ සහ විබෙදි භාෂා භාවිතාව පිළිබඳව වූ වාර්තාවේ සඳහන් වූ කරුණු අනුව මැතිවරණ සමය තුළ සිදුව ඇති වෛරී ප්‍රකාශ සහ ජනතාව අතර බෙදීමකට තුඩු දෙන ප්‍රකාශ කොටස් කිහිපයකට බෙදා දැක්විය හැකිය. (මැතිවරණ ප්‍රචණ්ඩක්‍රියා නිරීක්ෂණ මධ්‍යස්ථානය නිකුත් කළ එම වාර්තාවට පහත සබැඳිය ඔස්සේ පිවිසිය හැකිය.

https://cmev.files.wordpress.com/2020/07/hate-speech-and-divisive-language-during-the-parliamentary-general-election-2020.pdf

අදාළ වාර්තාවේ දැක්වෙන සිදුවීම් වල සරල සිංහල පරිවර්තනයන් මෙසේය.

  1. මහියංගනයේ පසුගිය ජූනි මස 20 වැනිදා පැවති රැස්වීමකදී ජාතික ජන බල පක්ෂයේ අපේක්ෂක අම්බාලේ රතන හිමියන් විසින් ප්‍රකාශ කර ඇත්තේ, දෙමළ සහ මුස්ලිම් වැසියන් රට පුරා ඉදිකිරීම්/ සංවර්ධන කටයුතු සිදුකරමින් යන බවත් ඒ හරහා සිංහල ජනතාවගේ නිදහස අහිමි වන බවත්ය.
  2. අකිල ඉලංකායි දෙමළ මහ සභා පක්ෂයේ (AITM) අපේක්ෂක කරුණා අම්මාන් තමා කොරෝනා වෛරසයටත් වඩා භයානක බවත්, ඒ තමා විසින් එලිපන්ට් පාස් හිදී එක් රැයකදී සිංහල සෙබලුන් දෙදහසක් තුන්දහසක් මරා දැමූ නිසා බවත් පැවසීය.
  3. ඉලංගෙයි තමිල් අරුසුකච්චි පක්ෂයේ ආධාර කරුවන් විසින් මඩකපුවේදී පසුගිය ජූනි 22 වැනි දින තමිල් මක්කාල් විදුතායි පුලික්කල් (TMVP) පක්ෂයේ අපේක්ශිකා එම්. මංගලේෂ්වරී ශංකර් කාන්තාවක් වීම සහ ඇය පෙර රාජ්‍ය නොවන සංවිධානයක රාජකාරී කිරීම යන කරුණු හුවා දක්වමින් අන්තර්ජාලය හරහා විවිධ අන්තර්ගතයන් ගණනාවක් බෙදා හැර ඇත.
  4. කොළඹ ස්වාධීන කණ්ඩායම් අංක 24 යටතේ තරඟ කරන ඩෑන් ප්‍රියසාද් පසුගිය ජූනි 26 වැනිදා ප්‍රකාශ කර තිබුණේ සිංහල බෞද්ධ රාජධානිය ආරක්ෂා කරන අපේක්ෂකයන්ට පමණක් ඡන්දය ලබා දිය යුතු බවත් නිහඬ සිංහල අපේක්ෂකයන්ට ඡන්දය ලබා නොදිය යුතු බවත්ය.
  5. එසේම ෆේස් බුක් කණ්ඩායමක ප්‍රචාරය වුයේ තමිල් අරුසුකච්චි පක්ෂයේ අපේක්ෂක සානකිය රාහුල් රාජපුත්තිරන්ගේ මව සිංහල බවත් ඇය ඒ. එච්. එම්. හිස්බුල්ලාගේ සේවිකාවක ලෙස කටයුතු කළ නිසා දෙමළ ජනයා ඔහුට ඡන්දය දීමෙන් වැලකී සිටිය යුතු බවත්ය.
  6. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ දඹුල්ල නගරාධිපති ජාලිය ඕපාත විසින් එක්සත් ජාතික පක්ෂ සම්බන්ධීකාරිකා නිලක්ෂි ජයවර්ධන වෙත ලිංගික අපහාස හා චෝදනා පුවත්පත් සාකච්ඡා දෙකකදී සිදුකරනු ලැබීය.
  7. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ වන්නි දිස්ත්‍රික් අපේක්ෂක ජනක නන්ද කුමාර ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් දේශපාලකයන් විසින් දිස්ත්‍රික්කය පාලනය කරන නිසා සිංහල සහ දෙමළ ජනතාව දුක් විඳින බවත්, එම මුස්ලිම් දේශපාලකයන් විසින් මුස්ලිම් ජනතාවට පමණක් ප්‍රතිලාභ ලබා දෙන බවත්, වන්නි දිස්ත්‍රික්කයේ දෙමළ ජනතාව බහුතරයක් ජීවත් වන නිසා මුස්ලිම් දේශපාලකයන් විසින් පාලනය කිරීම සුදුසු නොවන බවත්ය.
  8. කොළඹ අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක අතුරලිලේ රතන හිමියන් ප්‍රකාශ කර ඇත්තේ මුස්ලිම් ජනතාව තවදුරටත් බෞද්ධයන්ට කරදරයක් වුවහොත් අවිහිංසාවාදී ආයුධ අතට ගැනීමට සිදුවන බවත්ය.
  9. කුරුණෑගල දිස්ත්‍රික් පොදුජන පෙරමුණේ අපේක්ෂක ජොන්ස්ටන් ප්‍රනාන්දු මුස්ලිම් ජනතාවට තර්ජනය කර ඇත්තේ මුස්ලිම් ජනතාව ඡන්දය ප්‍රකාශ කිරීමෙන් පසු සියලුම ඡන්ද පෙට්ටි ගණන් කරන බවත් එහිදී ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට බොහෝ ඡන්ද ප්‍රමාණයක් තිබිය යුතු බවත්ය. එසේම ඔහුගේ ප්‍රකාශයේදී ඔහු වැඩි දුරටත් සඳහන් කර ඇත්තේ ”අපි පහර දුන්නොත් කිසිඳු බියකින් තොරව එය සිදු කරන බවත්, ගැටුමකට පිවිසියහොත් එය සුලුවෙන් නොතකන බවත්” ය.
  10. අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සමගි ජන බලවේගයේ නායක සජිත් ප්‍රේමදාසට සහ ඔහුගේ බිරිඳට දරුවන් නොමැති වීම ගැන නින්දාසහගත ප්‍රකාශයක් සිදුකර තිබුණි.
  11. අපේ ජන බල පක්ෂයේ අපේක්ෂක භික්ෂූන් වහන්සේලා කිහිපදෙනෙක් ප්‍රකාශ කර ඇත්තේ දෙමළ ජනතාව බලය බෙදා හැරීමක් ඉල්ලා සිටිය හොත් උතුර හා නැගෙනහිර ලේ ගංගාවක් ගලනු ඇති බවයි.


මෙම සිදුවීම් කිහිපය දෙස ද දෛනික දේශපාලන සිදුවීම් දෙසද සමස්තයක් වශයෙන් පසුගිය මැතිවරණ කිහිපය දෙසද හැරී බලන විට වෛරී ප්‍රකාශ මැතිවරණ ප්‍රචාරණය සඳහා උපයෝගී කරගන්නා අපේක්ෂකයන් සහ පක්ෂ දෙස බැලු විට ඒවා වැඩි ප්‍රමාණයක් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සම්බන්ධ අපේක්ෂකයන් හෝ ආධාර කරන අපේක්ෂකයන්ගේ පක්ෂ වල අය විසින් සිදු කර ඇත. මේ තත්වය හරහා නිරායාසයෙන්ම පැන නගින කරුණ නම් පොදුජන පෙරමුණේ සැඟව ඇති ගාමක බලවේගය ජාතිවාදය ආගම්වාදය යන්න නොවේද?


එසේම මෙහි දී දැකිය හැකි අනෙක් බරපතල කරුණ නම්, මේ දක්වා ශ්‍රි ලංකා පොලීසිය හෝ මැතිවරණ කොමිෂන් සභාව විසින් මේ බරපතල වෛරී ප්‍රකාශ පිළිබඳව කිසිඳු නීතිමය ක්‍රියාමාර්ගයක් ගෙන නොතිබීමය. ඒ හරහා අදාළ වගකිවයුතු ආයතන දෙක පවසන්නේ මේ බරපතල තත්වය ගණන් නොගෙන සිටිය යුතු බවද?