විදර්ශන කන්නන්ගර

පාඨලී චම්පික රණවක මහතා ඇතුළු කණ්ඩායම “ජාතික හෙළ උරුමයේ” සාමාජිකත්වයෙන් ඉවත් වී නව දේශපාලන හැරවුමක් ප්‍රදර්ශනය කිරීමේ පසුබිම තුළ ඔහු විසින්ම ඊට අවශ්‍ය වන පරිදි ඇතැම් න්‍යායික ආස්ථානයන් පළ කිරීමක් දක්නට ලැබිණි. එම න්‍යායික ආවරණයන් ඔහු ඇතුළු කණ්ඩායමේ වත්මන් හා අතීත දේශපාලන භාවිතයන්ට කෙතරම් පරස්පරද යන්න සිහිපත් කරලීම මෙම ලිපියේ පළමු කොටසේ මූලික අරමුණ විය.


න්‍යායික අවභාවිතය


මෑත “ලිබරල්වාදයේ අවසානය” නමින් ඔහු ලියූ ලිපියක තමන් ඇතුළු කණ්ඩායම මේ මොහොතේ රැදී සිටින දේශපාලන ඉරියව්ව සුවපහසු කරගැනීම සදහා “වාමාංශික ජනප්‍රියවාදය/ජනතාවාදය” පිළිබද සමකාලීන සංවාදය සහයට කැදවා තිබිණි. එහිදී රාජපක්ෂ කදවුර “දක්ෂිණාංශික ජනකාන්තවාදයේ” ලාංකේය ප්‍රකාශනය වන බවත් තමන් දැනට නියෝජනය කරන (ඉදිරියේදී ඉහළ නායකත්ව භූමිකාවකට පත්වීමට ඉඩ ඇති) “සමගි ජන බලවේගය” වාම ජනප්‍රියවාදයේ (ඔහුගේ වචනය “වාම ජනකාන්තවාදය”) ලාංකේය නිදර්ශනය වන බවත් එහිදී මූලිකව සදහන් කර තිබිණි. ඊට සමාන්තරව වාම-ජනප්‍රියවාදයේ මූලෝපායික තර්කය වන “ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව ජනතාව” (උන්ට එරෙහිව අපි) යන බෙදීම සිය මෑත උපායමාර්ගික කතිකාමය බෙදුම් රේඛාව සුජාත කරගැනීම සදහාද චම්පික විසින් ආයෝජනය කර තිබිණි. එනම් “මංකොල්ලකාර වංශක්කාර පන්තියට” එරෙහිව නිදහස් අධ්‍යාපනයේ ශක්‍යතා උකහා ගත් බුද්ධිමය-වෘත්තිමය වත්මන් පරපුර දිනවීම යන පසමිතුරුතා අක්ෂය සලකුණු කර ගැනීම සදහාය. එවැනි කුසලතා සපිරි ප්‍රජාවකට ලැබිය යුතු හිමිකම් දිනා දීමේ දේශපාලන ව්‍යාපෘතියක් හෝ ප්‍රචාරණයක් සම්බන්ධයෙන් ගැටලුවක් අපට නැත. එය අවශ්‍යය. එහෙත් මගේ මූලික විවේචනය වන්නේ චම්පික විසින් වාමාංශික ජනප්‍රියවාදයේ මූලික හරය විකෘති කිරීමකට ලක් කර තිබීමයි. එය හුදු වියුක්ත න්‍යායික විසංවාදයක් නොවන්නේ චම්පිකගේ සංයුක්ත දේශපාලන භාවිතය හා ඉදිරි දැක්ම සමගම මෙම විකෘතිය ප්‍රකාශමාන වන නිසාය. චම්පික සිය වත්මන් දේශපාලන පිහිටුම “වාමාංශික ජනකාන්තවාදයක්” ලෙස හදුන්වා දීමට නැඹුරු වන මුත් ලොව පුරා වාමාංශික ජනප්‍රියවාදය නමින් වන ඓන්ද්‍රීය දේශපාලන සංවාදය තුළ මූලධාර්මිකව අවධාරණය කෙරෙන ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය යන මූලධර්මයන් ඔහු විසින් යෝජිත දේශපාලන ව්‍යාපෘතිය තුළ නියෝජනය වන්නේ නැත. ඒ වෙනුවට ඔහු විසින් සිදුකෙරන්නේ “ප්‍රායෝගිකතාවාදය” නම් වූ සිය මතවාදී කෝදුවට අවශ්‍ය පරිදි වාම ජනප්‍රියවාදයේ සංවාදය කපා ගැනීමකි. එහි ආසන්නතම නිදසුන වන්නේ “43 සේනාංකය” වැනි දේශපාලන ව්‍යාපෘතීන් දෘෂ්ටිමය ලෙස සරසන ආකාරයයි . “43 සේනාංකය” නම් වූ මිලිටරි යෙදුමෙන් ඔහු ඇතුළු කණ්ඩායම අදහස් කරන්නේ “කුසලතා හා නිපුණතා පූර්ණ නිදහස් අධ්‍යාපනයේ වත්මන් දරු පරපුර” බව පෙනෙයි. ඔවුන් විසින් දක්වන ආකාරයට අද දවසේ ප්‍රභූ දේශපාලනයේ අණසක දරන මංකොල්ලකාරී වංශක්කාර ගජ මිතුරු ස්ථරය විසින් මෙම කුසලතා සපිරි උගත් ප්‍රජාව ආන්තිකකරණයකට හෝ බැහැරකිරීමකට ලක් කර තිබෙයි. ඒ අනුව ඔහු ඇතුළු කණ්ඩායම සිය දේශපාලන ව්‍යාපෘතිය ලෙස මේ වනවිට යෝජනා කරමින් තිබෙන්නේ ඉහත කොල්ලකාරී වංශවත් ස්ථරයට එරෙහිව නිදහස් අධ්‍යාපන “විප්ලවයේ” උරුමක්කාර බුද්ධිමය-වෘත්තිමය පරපුර විසින් දියත් කළ යුතුව තියෙන දේශපාලන අරගලයක් පිළිබදවයි. මෙහිදී චම්පිකලා සිදුකරමින් තිබෙන්නේ වාම ජනප්‍රියවාදයේ මූලික කතිකාමය උපායමාර්ගය වන ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව ජනතාව යන පසමිතුරුතාවය සිය හදිසි සීමිත අර්ථකථනය වෙනුවෙන් පටු ලෙස අර්ථකථනය කිරීමකි.


බරපතල උත්ප්‍රාස ජනක කරුණ වන්නේ චම්පික රණවක මහතා මේ වනවිට වාම ජනකාන්තවාදයේ ප්‍රකාශකයෙක් ලෙස පෙන්නුම් කරන්නට වෑයම් කළද එහි මූලික මූලධර්මයන් සමග සම්බන්ධයක් නැති දේශපාලන චරිතයක් වීම පමණක් නොවෙයි. සැබවින්ම ගත් කළ ඔහු ප්‍රමුඛ ප්‍රවනතාවය වනාහී දක්ෂිණාංශික ජනප්‍රියවාදයක ලාංකේය ඇරඹුමේ ආදර්ශ මුහුණුවරයි. “කිසිදු ජනකොටසක් බැහැර නොකිරීමක්” ගැන චම්පිකලා අද දවසේ තෙපළුවද සෙසු ජනවාර්ගික හා ආගමික ප්‍රජාවන් ආන්තික බැහැරකිරීමකට හා මර්දනයට ලක් කිරීමේ වත්මන් ජනප්‍රියවාදී වාර්ගික-උත්සන්නියේ මුල් පියවරුන් වන්නේ ඔවුන් ය.


චම්පිකගේ ශේෂ පත්‍රය


චම්පික සිය දේශපාලන අත්පොත දිග හරින්නේ 1983 කළු ජූලියෙන් පසු පෙරළුණු නව දේශපාලන පොළව මතය. ඒ ඔහුගේ විශ්ව විද්‍යාල දිවියේ ඇරඹුමයි.එය වනාහී ජවිපෙ, වාමාංශික පක්ෂ හා විශ්ව විද්‍යාල ශිෂ්‍ය සභා තහනම් ව තිබූ තත්ත්වය ජනවාර්ගික පසමිතුරුතා දේශපාලන අක්ෂය අධිනිශ්චය වූ සමයකි. එහෙත් 90 දශකය ඇරඹෙන්නේ ලෝකය පුරා කොමියුනිස්ට් රාජ්‍ය පද්ධතිය බිදවැටීමට සමාන්තරව ජවිපෙ ප්‍රමුඛ වාම-ජාතිකවාදී අරගලයද බිදවැටීමට ලක්ව තිබූ පසුබිමකය. එවක“ඉතිහාසයේ අවසානය” පිළිබද උදාන ගීය ගැයෙමින් තිබෙද්දී චම්පිකලා යළිත් නව දේශපාලන ප්‍රතිසන්ධියක් සොයන්නට විය.


දේවධර්මය, හරිත සමාජවාදය හා විද්‍යාවේ දර්ශනය වැනි නිකේතන හරහා ගොස් “ජනතා මිතුරෝ” ගොඩනැගීම එකී මං සලකුණ විය. මේ 1991 වසරේ ගන්දබ්බ දේශපාලන මොහොතයි. එම හැරවුම නිසා දේශපාලනය “ස්වාධීනව” සංවිධානය කිරීමේ සිය විභවය උරගා බැලීමට අවස්ථාවක් චම්පිකට හිමිවිය. එහෙත් 1994 න් පසු නව දේශපාලන ප්‍රතිවිරෝධයන් යළි ගොඩනැගෙමින් තිබූ පසුබිමක් තුළ ජනතා මිතුරෝ වැනි අන්තර්-චින්තන දේශපාලනයක තවදුරටත් නිරත වීම චම්පිකලා විසින් ක්‍රමයෙන් අත හැර දමමින් ඊළග දේශපාලන ප්‍රතිසන්ධිය කරා අවතීර්ණ විය. “දෙමළ බෙදුම්වාදී ත්‍රස්තවාදයට” එරෙහි ව සිංහල නාගරික පහළ මධ්‍යම පාංතික ජනයා සංවිධානය කිරීමේ නාමයෙන් චම්පිකගේ ඊළග දේශපාලන අදියර සලකුණු වන්නේ මෙතැනදීය.


ඒ අනුව 90 දශකයේ දෙවෙනි භාගය තුළ සිංහල-බෞද්ධ ජාතිකවාදී මතවාදය ප්‍රමුඛ කරගත් දේශපාලන සංවිධාන කිහිපයක් චම්පික ප්‍රමුඛ කණ්ඩායම හරහා ගොඩනැගෙන්නට විය. “ත්‍රස්ත විරෝධී ජාතික ව්‍යාපාරය” නිර්මාණය කිරීම එහි මූලික සලකුණකි. ඒ හැරුණු විට “ජාතික සංඝ සභාව”, “දහම් ගුරු සභාව” වැනි නව සංවිධාන කිහිපයක් නිර්මාණය කිරීමත් සිංහල- බෞද්ධ වෙළද බලය සහතික කිරීමේ යටිපෙළක් සහිත වූ “සිංහල වීර විදහන” වැනි එකතූන් ප්‍රති-සංවිධානය කිරීමත් එහිදී තීරණාත්මක විය. 90 දශකයේ අග භාගය වන විට රණකාමී සිංහල-බෞද්ධ ජනවාර්ගික-ජාතිකවාදයක පැන නැගීම සිදුවන්නේ ඉහත දැක්වූ පරිදි චම්පිකලාගේ දේශපාලන ශරීර වෙතිනි. “සිහළ උරුමයේ” අසාර්ථකත්වය හරහා ගොස් “ජාතික හෙළ උරුමය” නමින් නව පක්ෂ-සංවිධානයක් ගොඩනගමින් වාර්ගික ස්වෝත්තමවාදී භික්ෂු දේශපාලනයක් හා නව අධිපති වාර්ගික-ජාතිකවාදී බල කේන්ද්‍රයක් ප්‍රජාතන්ත්‍රවාදී ආයතන ක්‍රමය තුළ සහතික කරවන්නේ ද චම්පිකලාගේ එකී දේශපාලනය විසිනි. රාජපක්ෂ බාලාධිකාරය ජනකාන්ත අධිකාරිවාදයක් දක්වා ඔසවාලීමට අවැසි දෘෂ්ටිමය සුජාතකරණය අත්කර දෙන්නේද චම්පිකලා 90 දශකය අග හා 2000 දශකය මුල් භාගයේදී සැකසූ දෘෂ්ටිවාදී දේශපාලන පස විසිනි. ඒ අනුව රාජපක්ෂ බල හවුල සමග අන්තර් සම්බන්ධිත කොල්ලකාරී වංශක්කාර නව තැරැව්කාර ව්‍යාපාරික-දේශපාලනය මේ වනවිට පරපෝෂිත ස්ථරයක් ලෙස වර්ධනය වී තිබෙන්නේ චම්පිකලා විසින් සංවිධානය කළ ජනකාන්තවාදයේ ආනුභාවයෙනි.


වෙනත් අයුරකින් කිවහොත් චම්පිකලා විසින් එක් යුගයක “ජනකාන්තවාදය” සංවිධානය කළ ආකෘතියේ තාර්කික ප්‍රතිඵලයක් ලෙසය. එ‘නිසා ඊළග දේශපාලන ප්‍රතිවිරෝධයන් සංවිධානය කිරීම සදහා “වාමාංශික ජනකාන්තවාදයක” මූලික හැඩය චම්පිකලා උපුටාගන්නා විට එය හුදු ප්‍රායෝගිකතාවාදී “ට්‍රැක් මාරුවක්” තරම් සරල වන්නේ නැත. වත්මන් ප්‍රභූ දේශපාලන තන්ත්‍රය පැනනැගීමට හේතු වූ චම්පිකලා විසින් බලමුළු ගැන්වූ 90 දශකයේ ජනප්‍රියවාදයේ යුග මොහොත යළි විශ්ලේෂණය කරගැනීම අත්‍යවශ්‍ය වන්නේ එබැවිණි. ඒ අනුව චම්පික අද තෙපළන වාමාංශික ජනකාන්තවාදය යනු හුදු න්‍යායික කරුණකට වඩා චම්පිකගේ ප්‍රායෝගිකතාවාදයේ ප්‍රතිවිරෝධයන් අනාවරණය කෙරෙන සංයුක්ත දේශපාලන ප්‍රකාශනයක් වේ.


ජනප්‍රියවාදයේ ලාංකේය සම්භවය


නව ග්‍රාම්ස්චියානු ප්‍රවනතාවය විසින් ජනප්‍රියවාදය ලෙස නම් කරන ප්‍රපංචයේ ලාංකේය ඇරඹුම සලකුණු වන්නේ 90 දශකයේ දෙවෙනි භාගය තුළය. යුරෝපය තුළ එය සලකුණු කෙරුණේ ද 90 එළඹි නව දශකය පසුබිමෙහිය. එහිදී යුරෝපයේ සමාජ ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂ බොහොමයක් සිය වාමගාමී ස්වරූපය ක්‍රමයෙන් අතහරිමින් වම හා දකුණ අතර වන අතරමැදි සම්මුතියකට එළඹීමක් විද්‍යමාන වේ. එහි ප්‍රකට නිදර්ශනයක් ලෙස බි්‍රතාන්‍යයේ පැරණි කම්කරු පක්ෂය ටෝනි බ්ලෙයාර්ගේ නායකත්වය යටතේ “තුන්වැනි මාවත” නම් වූ දේශපාලන අලංකාරිකයක් පෙරටු කරගනිමින් නව – ලිබරල් ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් බවට රූපාන්තරණය වීම දැක්විය හැකිය. ශන්තාල් මුෆ් සිය On the Political (2005) කෘතිය තුළ මෙකී නැඹුරුව පිළිබදව පුළුල්ව විශ්ලේෂණය කර ඇත. යුරෝපයේ සන්දර්භය එලෙසින්ම අදාළ කරගත නොහැකි වුවද 94 බලයට පත් ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තුළද මෙවැනි පරිවර්තනයක් හදුනා ගත හැකිය. එතෙක් ශ්‍රීලනිපය විසින් නඩත්තු කළ ඇතැම් සමාජ-වාම ලක්ෂණ අතහැර දමමින් නව ලිබරල් ධනේශ්වර ආර්ථික-දේශපාලන ප්‍රතිපත්ති වැළද ගැනීමක් එහිදී සිදුකෙරිණි. එය නම් කෙරුණේ “ධනවාදයට මානුෂීය මුහුණුවරක්” ලෙසය. ඒ අනුව විරුද්ධ පක්ෂය වූ රනිල් වික්‍රමසිංහගේ නායකත්වයෙන් යුතු එජාපයේ නව ලිබරල් ව්‍යාපෘතිය සමග ශ්‍රීලනිපයේ ආර්ථික දේශපාලන ප්‍රතිපත්තියද සමාන්තර විය. අනෙක් අතට ජනවාර්ගික යුද්ධය සම්බන්ධයෙන් ද ලිබරල් සාම කතිකාවක් කරා පක්ෂ දෙකම අවතීර්ණ විය.ඒ අනුව මෙම ප්‍රතිවිරුද්ධ ධනේශ්වර පක්ෂ දෙකෙහිම නායකත්වය නව ලිබරල් ආර්ථික මූලෝපායන් හා ජනවාර්ගික යුද්ධයට ලිබරල් සාම විසදුමක් යන මූලික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් අතරමැදි සම්මුතියකට එළඹිණි.මෙය සැබවින්ම ලංකාවේ සම්ප්‍රදායික ප්‍රභූ පාලක ශේණිය 77 න් පසු මුහුණ දුන් මූලික අභියෝගයක් පියවා ගැනීමක් ලෙස හැදින්විය හැකිය.එනම් සිය හෙජමොනික ස්ථාවරත්වය සහතික කරගැනීමේ අභියෝගයයි.


එවක ප්‍රතිවිරුද්ධ පක්ෂයන් දෙක සිය මූලික ප්‍රතිපත්තීන් සම්බන්ධයෙන් පැවති එදිරිවාදීත්වය තුලනය කරගැනීම විසින් මූලිකවම සිදුවූයේ දේශපාලනය යන්න කළමණාකරණ හා තාක්ෂණික විෂය ක්ෂේත්‍රයක් බවට ලඝු වීමයි. නව-ලිබරල් ධනවාදී ආර්ථික බලවේගයන් වෙනුවෙන් දේශපාලනයේ සැබෑ මෙහෙයවීම බාරගෙන තිබුණේඩ තාක්ෂණ කළමනාකරණ පංතියකි (Techno managerial class). මූලික “සමාජ ප්‍රශ්නයට” හා ප්‍රතිවිරෝධයන්ට ආමන්ත්‍රණය කිරීමක් ඉන් සිදු නොවීය. දේශපාලනය යනු ජනතාවගේ ආර්ථික හා සමාජයීය අයැදුම් සදහා අවැසි ප්‍රජාතන්ත්‍රවාදී තරගය සක්‍රීය කරන පසමිතුරුතා අඩවියකි. එහෙත් ශ්‍රීලනිපය හා එජාපයේ නායකත්වය හෙබවූ සම්ප්‍රදායික ප්‍රභූ ස්ථරයන් සිය පැවැත්ම වෙනුවෙන් නව ලිබරල් සම්මුතික එකගතාවයකට එළඹීම නිසා සිදුවූයේ පසමිතුරුතාවය අත් හිටවූ, “දේශපාලනයෙන් තොර දේශපාලනයක්” ආදේශ වීමයි. ජනප්‍රියවාදය පිළිබද යුරෝපීය අද්දැකීමට මුළුමනින්ම සමාන නොවුනද 90 දශකය මධ්‍යයේ සිට මින් නිර්මාණය කෙරුණේ ලාංකේය පන්නයේ “පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී” මොහොතකි.


චම්පික විසින් අද දවසේ “ජනකාන්තවාදය” ලෙස නම් කරන ජනප්‍රියවාදී ප්‍රවනතා කරළියට එන්නේ මෙම පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී ලිබරල් සම්මුතියට දැක්වූ විකල්ප ප්‍රතිචාරයක් ලෙසය. එහිදී සිදුවන්නේ එකී සම්මුතික දේශපාලනය විසින් යටපත් කෙරුණු “දේශපාලනිකය” (the Political) නම් රැඩිකල් සාධකය සංවිධානය කිරීමේ නාමයෙන් විකල්ප ප්‍රවනතා අවතීර්ණ වීමයි. 90 දශකය අග වනවිට දේශපාලන පසමිතුරුතාවය සංවිධානය වූයේ ජනවාර්ගික යුද්ධය තුළය. වෙනත් අයුරකින් කිවහොත් පශ්චාත් ප්‍රජාතන්ත්‍රවාදී සම්මුතිය විසින් මර්දනය කර තිබූ “දේශපාලනිකය” මතුපිට දෘශ්‍යමාන කෙරුණේ ජනවාර්ගික පසමිතුරුතාවයේ මුහුණුවරිනි. චම්පිකලාගේ දක්ෂිණාංශික වාර්ගික- ජාතිකවාදී දේශපාලනය කරළියට එන්නේ මෙම ඓතිහාසික රැඩිකල් නිමේෂයට දැක්වූ දේශපාලන ආමන්ත්‍රණය හරහාය.


ජනප්‍රියවාදය යනු ඉහත කී නව ලිබරල් සම්මුතිය නිසා ආන්තිකකරණයට, බැහැරකිරීමට හා කොන්කිරීමට ලක් කෙරෙන ජනතාවගේ අතෘප්තීන් වෙත ආමන්ත්‍රණය කරමින් ප්‍රභූ තන්ත්‍රයට එරෙහිව “ජනතාව” යන අදහස යළි කතිකාගත කිරීමේ උපායමාර්ගයකි. එහිදී එම “ජනතාව” යන අදහස ගොඩනැංවීම වෙනුවෙන් පෙරට එන්නේ ප්‍රභූ තන්ත්‍රයට එරෙහි විකල්ප ව්‍යාපාරයන් ය.මෙම විකල්ප ධාරා දෙවර්ගයකි.එක් විකල්ප ධාරාවක් ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා සමාජ සාධාරණත්වය අවධාරණය කරයි. එමගින් සියලු ප්‍රජාවන්ගේ අයිතිවාසිකම් දිනා දීමේ අරමුණෙන් “ප්‍රජාතන්ත්‍රවාදයේ රැඩිකල්කරණයක්” යෝජනා කරනු ලබයි. ජනප්‍රියවාදයේ වාමාංශික ප්‍රවනතාවය වන්නේ මෙයයි. අනෙක් විකල්ප ධාරාව විසින් සිදුකරනු ලබන්නේ ප්‍රභූ සංස්ථාපිතයට එරෙහිව තෝරාගත් ජන ප්‍රජාවක අභිලාෂ පමණක් පෙරට ගැනීමයි. එහිදී “ජනතාව” යන්න නිර්වචනය කෙරෙන්නේ ජාතිවාදී පදනමිනි. “අනෙකුත් ජනවාර්ගික, ආගමික හා සංස්කෘතික කණ්ඩායම් එම නිර්වචනය තුළට ඇතුළත් කර නොගන්නවා පමණක් නොව එකී ප්‍රජාවන් බැහැරකිරීමටද ලක් කරනු ලැබෙයි. සැබවින්ම මින් සිදුකෙරෙන්නේ ආන්තිකකරණයේ මාදිලීන් පණ ගැන්වීමකි. මෙම ජනප්‍රියවාදී ආකෘතිය සමාජ සාධාරණත්වය නොපිළිගන්නවා පමණක් නොව අධිකාරිවාදී බලාධිකාරයන් නිර්මාණය කිරීමේ දෙසට ද ගමන් කරනු ලබයි. දක්ෂිණාංශික ජනප්‍රියවාදය යනු මෙකී දේශපාලන චලනයයි.


චම්පිකලාගේ දක්ෂිණාංශික විකල්පය


චම්පික විසින් ‘ලිබරල්වාදයේ අවසානය‘ නම් වූ සිය ලිපියේ මෙම ජනප්‍රියවාදී ධාරාවන් දෙකෙහි මූලික වෙනස යම් දුරකට සටහන් කර තිබිණි. එහෙත් 90 දශකයේ මැද භාගයේ සිට චම්පිකලා විසින් සක්‍රීය කළ දේශපාලනය යනු කිසිසේත්ම ඔහු දැන් පෙනී සිටින්නට සූදානම් යැයි හඟවන වාමාංශික ජනකාන්තවාදයක් නොව මුළිමනින්ම එහි ප්‍රතිවිරුද්ධ මානයයි. පැහැදිළිවම එය වනාහී ලාංකේය දක්ෂිණාංශික ජනකාන්තවාදයක සාක්ෂියකි.


චන්දිකා රනිල් අක්ෂයන් අතර වූ අතරමැදි ලිබරල් ප්‍රභූ සම්මුතියට එරෙහිව ඔහු ඇතුළු ප්‍රවනතාවය විසින් “ජනතාව” සංවිධානය කෙරුණේ සිංහල-බෞද්ධ කේන්ද්‍රීය අභිලාෂ මත පමණක් පිහිටාය. එහිදී රැඩිකල් දෙමළ ජාතිකවාදී සන්නද්ධ ව්‍යාපාරයට එරෙහිව දකුණේ යුධමය කතිකාව ගොඩනැංවීම චම්පිකලාගේ උපක්‍රමික පිහිටුම විය.


ඊට අනුලෝමව දෙමළ හා මුස්ලිම් ජනවාර්ගික ප්‍රජාවන් ආන්තික කරනු ලැබීය. අන්‍යාගමිකකරණයේ චෝදනා පත්‍රය මත ක්‍රිස්තියානි හා ඉස්ලාම් ආගමික කණ්ඩායම් වෙත නියම් හා අනියම් මර්දනයක් දියත් කෙරිණි. ඒ සදහා සංඝ සම්මේලන හා “බොදු සමුළු” ආදිය සංවිධානය කරනු ලැබීය .අන්තවාදී භික්ෂු කණ්ඩායම් සක්‍රීය කිරීමේ මාවත් විවෘත කරන ලදී. “සිංහල වීර විදහන” වැනි සිංහල බෞද්ධ ව්‍යාපාරික අභිලාෂ ප්‍රමුඛ කරගත් කණ්ඩායම් සංවිධානය කරන ලදී. එහිදී සිංහල-බෞද්ධ ජනතාවගේ ආර්ථික අරමුණු පමණක් අවධාරණය කරනු ලැබීය. ඊට අමතරව ජනවාර්ගික හා ආගමික සහජීවනය සහ සමානාත්මතාවය වෙනුවෙන් ක්‍රියාකාරී වූ පිරිස් වෙත සතුරු ප්‍රතිචාර දියත් කරනු ලැබීය. වාර්ගික-ආගමික සානුකම්පික අන්තර් දැක්මක් පෝෂණය කළ කලා-සංස්කෘතික නිෂ්පාදන හා ක්ෂේත්‍ර වෙත සිංහල-බෞද්ධ වාර්ගික ආවේගයන් උසිගන්වනු ලැබීය. මෙකී පාර්ශ්වයන් වෙත කොටි (හා එන්ජීඕ) ලේබල් ගසමින් නිහඩ කර දැමීමට ප්‍රයත්න දැරීය. ඊට අමතරව සංස්කෘතික නිදහස හා සුවිශේෂී අනන්‍යතාවයන් වෙත අප්‍රසන්න ප්‍රතිචාරයන් ප්‍රසිද්ධියේ පළ කරන්නට විය.


චම්පිකලාගේ දක්ෂිණාංශික ජනකාන්තවාදී උරුමය මෙයයි. මෙම ලැයිස්තුව අවශ්‍ය නම් නිදසුන් සහිතව තවත් දිගහැරිය හැකිය. චම්පිකලා අද දවසේ වෙනස් වේශයක් දරමින් වාමාංශික අවකාශය වෙත දෘෂ්ටිමය-දේශපාලන ඇමතුමක් දීමට යොමුව තිබෙන්නේ ඉහත දක්ෂිණාංශික උරුමයේ ශේෂයන් සිය දේශපාලන ශරීර තුළ තවදුරටත් රදවාගෙනමය.සිය දක්ෂිණාංශික ජනකාන්තවාදයේ උපක්‍රම විසින් අසාධාරණයට හා බැහැරකිරීමට ලක් කළ ජන කොටස් වෙත පුළුල් සමාජ සාධාරණත්වයේ පණිවිඩයක් ඔවුන් විසින් ඉදිරිපත් කෙරෙන්නේ නැත. ඒ වෙනුවට සිදුකෙරෙන්නේ එම පැරණි වාර්ගික-ආගමික ස්වෝත්තමවාදී ලක්ෂණ හා මතකයන් නව දේශපාලන බලවේගයන්ගේ චලනයන් වෙත ප්‍රති-ආයෝජනය කිරීමකි. දක්ෂිණාංශික ජනප්‍රියවාදී දේශපාලනයකින් භෞතීස්ම වූ කණ්ඩායමකට වාමාංශික ජනතාවාදී හැරවුමක් ගත නොහැකි යැයි මා කිසිසේත්ම අදහස් කරන්නේ නැත. එහෙත් ඒ සදහා ඔවුන් සැලකිය යුතු තරම් දේශපාලන වන්දියක් ගෙවිය යුතුව තිබේ. එනම් “අනෙකුත් ජන කොටස් බැහැර නොකරමි” යන ශේප් න්‍යාය නොව අනෙකුත් ජනවාර්ගික,ආගමික හා සංස්කෘතික කණ්ඩායම් වල දේශපාලන අයිතිවාසිකම් වෙනුවෙන් සෘජුවම අවතීර්ණ වීමයි. අනෙක් අතට ඉහළ ස්ථරයේ ආදායම් නිෂ්පාදනයන් පහළ සාමාජ තලය කරා “විනිවිදභාවයකින්” ප්‍රති-ව්‍යාප්ත කිරීමේ ආර්ථික උපායමාර්ගයක් වෙනුවට අති බහුතර පහළ පාංතික ජනතාවගේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදය හා සුබසාධනය සහතික කෙරෙන නව ජනතාවාදී ආර්ථික වැඩපිළිවෙලක් ඓන්ද්‍රීයව ගොඩනැගීමයි.


මගේ අවධාරණය වන්නේ ආර්ථික ප්‍රජාතන්ත්‍රවාදයේ හා සමාජ සාධාරණත්වයේ ඉහත සටන් පාඨයන් සිය අනාගත දේශපාලන න්‍යාය පත්‍රය තුළ ප්‍රමුඛ කරගැනීමේ කිසිදු සූදානමක් හෝ හැකියාවක් චම්පික පාර්ශ්වය සතුව නොමැති බවයි.අනෙක් අතට මේ මොහොතේ ඔවුනගේ විවේචනයට ලක් වන (මංකොල්ලකාර) වත්මන් ආර්ථික ප්‍රභූ තන්ත්‍රයේ සම්භවය පවා අපට හදුනාගත හැක්කේ ද චම්පිකලා විසින් දියත් කළ හා ස්වයං-විචාරයකට ලක් නොකර ගත් සිය දක්ෂිණාංශික ජනකාන්තවාදී දේශපාලන ගමනේම තාර්කික ප්‍රතිඵලයක් ලෙසය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here