නිමල් අබේසිංහ

සමාජ මාධ්‍ය ඔස්සේ අපූරු ලිපියක් හුවමාරුවෙමින් ඇත. ලිපියට අත්සන් කර ඇත්තේ බන්ධනාගාර කළමනාකරණ හා සිරකරුවන් පුනරුත්ථාපන කටයුතු රාජ්‍ය අමාත්‍ය ලොහාන් රත්වත්තේය. එම ලිපිය ප්‍රකාරව ඔහු සිය අමාත්‍ය ධුරයෙන් ඉල්ලා අස්වීම නිර්දේශ කරන්නැයි ජනපති ගෝඨාභය රාජපක්ෂගෙන් ඉල්ලා සිටී. රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ සිය ඉල්ලා අස්වීමට නිමිත්ත ලෙස දක්වා ඇත්තේ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු හමුවේ රජය අපහසුතාවට පත් නොවීමේ අරමුණ මුල් කරගෙනය.


මේ ලිපිය සත්‍ය වුවත් එය පුදුමයට කාරණාවක් වන්නේය. මෙතෙක් විවිධ මාධ්‍ය ඔස්සේ ගෝඨාභය රාජපක්ෂ ආණ්ඩුවේ මැති ඇමතිවරුන් කීදෙනෙක් ඉල්ලා අස්වී තිබිය යුතුද? කෙසේ වෙතත් මේ වන විට ලොහාන් රත්වත්තේ රාජ්‍ය ඇමතිවරයාගේ ඉල්ලා අස්වීම ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ පිළිගෙන ඇති බව රහසක් නොවේ. දැනෙන විධියට නම් මෙය ස්ව කැමැත්තෙන් ඉල්ලා අස්වීමක් නොව, ඉල්ලා අස්වන්නැයි ඉහළින්ම ආ නියෝගයක් පිළිගැනීමක් විය යුතුය. මේ සිද්ධ වෙන දේවල් අනුව එසේ නොවී නම්, මේ රාජ්‍ය අමාත්‍යවරයා ඉල්ලා අස්වනු බොරුය.


රාජ්‍ය ඇමති ලොහාන් රත්වත්තේ කෙතරම් ගෞරවනීය පුද්ගලයෙක්ද? මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වන කරුණු නිසා රජය අපහසුතාවට පත්වීම නවතා ගැනීමේ අරමුණින් ඔහු ස්වේච්ඡාවෙන්ම ඉල්ලා අස්වෙයි.


රජය අපහසුතාවට පත් කිරීමේ අරමුණින් කිසිවෙකු හෝ මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය කළ කරුණු කාරණා මොනවාද යන්න ගැන ඔහුගේ ලිපියේ සඳහනක් නැත. එනිසා ඒවා මොනවාද යන්න ගැනත් අපට ලියන්නට සිදුවේ.


මාධ්‍ය ඔස්සේ ප්‍රචාරය වූයේ වැලිකඩ බන්ධනාගාරයට බීමත්ව ගොස් සිය මිතුරන්ට එල්ලුම් ගස පෙන්නුවේය යන්නය. පුදුමය නම්, බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මේ ගැන නොදැන සිටීමය. බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙනිය මෙන් ම බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක ඒකනායක ද මාධ්‍යයට පවසා තිබුණේ එවැනි සිද්ධියක් වූ බවට පැමිණිල්ලක් හෝ වාර්තාවීමක් සිදුවී නැති බවය. මේ නිලධාරීන් රෙදි නැතිව කඩේ යන්නේ කාටදැයි මෙයින් පැහැදිලි වේ. ඔවුන් දෙදෙනාට තම රාජකාරියෙන්ම පැවරී ඇති වගකීම වන රැඳවියන් රැක ගැනීම මෙන්ම තමන් යටතේ සිටින නිලධාරීන්ගේ ආරක්ෂාව යන වගකීම ඔවුන් කැලේට විසිකර දමා ඇත.


හරි නම් මේ සිද්ධියේදී ඇමතිවරයා සමග ඔවුන් දෙදෙනා ද ඉල්ලා අස්විය යුතුය. එකක් ඔවුන් දෙදෙනා රජය අපකීර්තියට පත් කිරීම හිතාමතාම සිදුකර තිබීමය.


මේ සම්බන්ධයෙන්ද ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා නීතිය ක්‍රියාත්මක කළ යුතු නොවේද? ඔවුන්ට එරෙහිව විනය පරීක්ෂණ සිදු නොකළ යුතුද? ඒ දෙස ද ජනතාව නෙත් යොමා සිටින බව මෙහිදී සිහිපත් කළ යුතු වේ. දෙවැනි සිද්ධිය ද ඊට නොදෙවෙනිය. ඒ අනුරාධපුර බන්ධනාගාරයට ගොස් එහි සිටි රැඳවියෙකුට ගිනි අවිය එල්ල කර තර්ජනය කිරීමය.

දැනගන්නට තිබෙන තොරතුරු අනුව ඔහු අනුරාධපුර බන්ධනාගාරයට ගොස් ඇත්තේ කොට කලිසමක් ඇඳගෙනය. තම අමාත්‍යාංශය යටතේ පාලනය වන ආයතනයකට ඇමතිවරයෙකුට මෙසේ කොට කලිසමක් ඇඳගෙන යාම කෙතරම් අවිනීතද? එපමණක් නොව, ඔහු මේ අවස්ථා දෙකෙහිදීම බීමත්ව සිටි බවටත් කතාවක් තිබේ. එහෙත් එය ඔප්පු කළ හැක්කේ එවේලෙහි දී ඔහු අධිකරණ වෛi නිලධාරියෙකුට ඉදිරිපත් කර පරීක්ෂාවක් කිරීමෙන් පමණක් නිසා එවැන්නක් කිසිවෙකුට නිශ්චිතව කිව නොහැකිය.


ප්‍රධානම ගැටලුව වන්නේ ඔහු ගිනි අවියක් පෙන්වා රැඳවියෙකුට තර්ජනය කළේය යන්නය. එසේ වූයේ නම් ඔහු අත්අඩංගුවට ගත යුතුව තිබිණ. ඒ මන්දයත් බන්ධනාගාරයේ සිටින රැඳවියෙකුගේ ජීවිත ගැන වගකිව යුත්තේ බන්ධනාගාර නිලධාරීන් බැවිනි. එහිදී ඇමතිවරයෙකුට තබා කිසිවෙකුටත් බන්ධනාගාර නිලධාරීන්ගේ අවසරය නොමැතිව බන්ධනාගාරය තුළට යා නොහැකිය. ඇරත් ගිනි අවි රැගෙන යා නොහැකි පසුබිමක් තුළ එසේ කළේ කාගේ හයියකින්ද?


එනිසා අනුරාධපුරයේදී ලොහාන් රත්වත්ත රාජ්‍ය ඇමතිවරයා අත්අඩංගුවට ගත යුතුව තිබිණ. එසේ කිරීමක් සිදුව නැති බව ඉතා හොඳින් පැහැදිලිය. එක අතකින් මෙය එතරම් පුදුම විය යුත්තක්ද නොවේ. වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 28 දෙනෙකු මරා දැමුණේද රාජපක්ෂ පාලන යුගයකදී බැව් මතක ඇති බැවිනි.


රටේ පවතින ආර්ථික කොරෝනා අර්බුද හමුවේ ආණ්ඩුව සිටින්නේ නාසය තෙක් ගිලීය. එවැනි පසුබිමක රටේ ජනයා සිටින්නේද ආණ්ඩුවට දස අතේ දෙස් දෙවොල් තබමින්ය. ඒවායින් ගැලවී සිටින්නට නොහැකිව අසරණ වී සිටින ආණ්ඩුවට ලොහාන් රත්වත්තගේ සිද්ධිය නොසිතූ මොහොතක ආ වාසනාවකි. එල්ලෙන්නට වැලේ වැල් නැතිව සිටින ගෝඨාභය ආණ්ඩුවට වෙස් වළාගෙන ආ ඒ වාසනාවෙන් උපරිම ප්‍රයෝජන ගෙන තිබෙන සෙයකි. එහෙත් නාටකය දුබල තැන් කීපයක්ද තිබෙනමුත් ආණ්ඩුවට හිතවත් කසකරුවන්ට හොරණෑකරුවන්ට මෙය හොඳ අවස්ථාවකි. අපේ ජනාධිපතිතුමා වැරදිකාරයන් තියාගන්නේ නැහැ. දැක්කද වැඩේ යැයි දැන් ඔවුනට උදම් ඇනිය හැකිය.


ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයාට හොඳටම කරනවා නම් දැන් හොඳම අවස්ථාවක් අතටම පැමිණ ඇත. ඒ පුළුවන් නම් ලොහාන් රත්වත්ත මන්ත්‍රීවරයාගේ මන්ත්‍රී ධුරයත් අහිමි කිරීමය. එසේ නොකර සිද්ධිය ජනතාවගේ සිත් සතන් තුළින් පහව ගිය විට වෙනත් ඇමති ධුරයක් දීම නම් හොඳටම කෙරුවා නොවන්නේය. ■