කාලිංගගේ දේශපාලන විග්‍රහය

ජනාධිපති හා ව්‍යවස්ථාදායකය අතර ලොකු ගැටුමක් ගොඩනැගෙමින් තිබෙන අතර එය ලංකාව මුහුණ දී තිබෙන දේශපාලන අර්බුදයේ අලූත්ම ජවනිකාව ලෙස සැලකිය හැකිය. පාස්කු ඉරිදා ඇතිවූ පහරදීම් පිළිබඳව සොයා බලන්නට පාර්ලිමේන්තුව පත් කළ කාරක සභාව එය පවත්වාගෙන යන ප‍්‍රසිද්ධ විමර්ශනය, ජනාධිපතිවරායගේ බලවත් කෝපයට හේතුවී තිබෙන අතර එම වැඩසටහන අත්හිටුවන ලෙසත් එසේ නොකරන්නේ නම් තමන් කැබිනට් මණ්ඩල සාකච්ඡුාවලට සහභාගි නොවනවා මෙන්ම පාර්ලිමේන්තු සභා වාරය කල්තබන බවත් පසුගිය කැබිනට් මණ්ඩල රැුස්වීමේදී ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර තිබුණි.


එම ප‍්‍රකාශය කරන්නට පෙර ජනාධිපතිවරයා එජාප නායකයන්ගේ කන් පිනවීමට හේතුවන ප‍්‍රකාශයක්ද කර තිබුණි. පොහොට්ටුව ව්‍යාපාරය වැඩකරමින් සිටින වර්ගවාදී ස්වරූපය අනුව ඔවුන්ට සහයදීමේ හැකියාවක් තමන්ට නැති බවත් තමන්ටද පිළිගත හැකි අපේක්ෂකයකු එජා පක්ෂයේ ජනාධිපති අපේක්ෂකයා කිරීමට එම පක්ෂය සූදානම් නම් තමන්ද එම ජනාධිපතිවරණයේදී එජාපයට සහය දෙන්නට සූදානම් බව එහිදී ප‍්‍රකාශ කර තිබුණි. ජනාධිපතිවරයාගේ එම ප‍්‍රකාශය එජාපයේ සමහර ඇමතිවරුන් තුළ ලොකු ආස්වාදයක් ඇති කිරීමට හේතුවී තිබෙන අතර තේරීම් කාරක සභා විමර්ශනය වහාම අත්හිටුවිය යුතු බව ඔවුන් බොහෝ දෙනකුගේ මතය වී තිබුණු බව දැනගන්නට තිබේ.


එහෙත් ජනාධිපතිවරයා අපේක්ෂා කළ ආකාරයට තේරීම් කාරක සභා විමර්ශනය අත්හිටුවීමක් සිදු නොවීය. පාර්ලිමේන්තුවේ සැසි වාරය ජනාධිපතිවරයා විසින් අත්හිටුවනු ලැබුවද තේරීම් කාරක සභාවේ විමර්ශන නොකඩවා පවත්වාගෙන යා හැකි බව කතානායකවරයා දරන දැඩි මතය වී තිබේ. තමා යටතේ තිබෙන ආරක්ෂක අංශවල මොනම පුද්ගලයකුවත් තේරීම් කාරක සභාව ඉදිරියට යන්නට ඉඩ නොදෙන බව ජනාධිපතිවරයා ප‍්‍රකාශ කර ඇතත්, තේරීම් කාරක සභාවේ මතය වී තිබෙන්නේ එම කාරක සභාව ඉදිරියට කැඳවන කවර පුද්ගලයකු හෝ එය ඉදිරියට ඒමෙන් වැළකී සිටී නම් ඔවුන් සම්බන්ධයෙන් දැඩි ක‍්‍රියාමාර්ගයක් අනුගමනය කිරීමට තේරීම් කාරක සභාවට සිදුවන බවයි.
ජනාධිපතිවරයා හා ව්‍යවස්ථාදායකය අතර ඇතිවී තිබෙන මෙම ඝට්ටනය දුරදිග යන අර්බුදයක් බවට පත්විය හැකිය. සමහරවිට එය ජනාධිපතිවරයාට එරෙහිව ඉදිරිපත් වන දෝෂාභියෝගයක් දක්වා දුර දිග යා හැකිය.


ජනාධිපතිවරයා හා අගමැතිවරයා අතර දැන් කලක් තිස්සේ පවතින සීතල ගැටුම සමස්ත රාජ්‍යය පාලනයම අවුල් ජාලාවක් බවට පත්කිරීමට හේතුවී තිබේ. ජනාධිපතිවරයා විසින් අගමැතිවරයාව චෙක්මේට් කිරීමට දරන ලද උත්සාහයන් ගණනාවක් ව්‍යර්ථ කිරීමට අගමැතිවරයා සමත් වූ අතර දැන් අගමැතිවරයා විසින් ජනාධිපතිවරයා චෙක්මේට් කිරීමේ උත්සාහයක නිරත වී සිටින බව පෙනේ. 19 වැනි සංශෝධනයට පෙර රාජ්‍යයේ සකලවිධ බලය පැවතියේ ජනාධිපතිවරයා අත බැවින් ජනාධිපතිවරයකුට එරෙහිව දෝෂාභියෝගයක් ඉදිරිපත් කිරීම ඉතා දුෂ්කර දෙයක් වී තිබුණි. එහෙත් 19 වැනි සංශෝධනයෙන් පසු දැන් ජනාධිපතිවරයා ඉන්නේ තටු කපනු ලැබූ කුරුල්ලකුගේ තත්ත්වයකය. අගමැතිවරයා චෙක් මේට් කරන්න හදන්නේ ඔහු විසින්ම ඉතා සටකපට ආකාරයට තටු කපනු ලැබීම නිසා ඉගිල්ලෙන්න බැරි තත්ත්වයක සිටින එම කුරුල්ලාමය.


ජනාධිපතිවරයාද පහසුවෙන් යටත් වෙන වර්ගයේ පුද්ගලයකු නොවන බව පෙනේ. ඔහු පහර දෙන්නේ පොතේ නීතියට අනුව නොවන නිසා මෙම ගැටුම අවසානයේ ඇති කරන්නට යන ප‍්‍රතිඵලය පැහැදිලි නැතත් රාජ්‍යයේ ඇතිවී තිබෙන අර්බුදය උග‍්‍ර කරන සාධකයක් ලෙස ක‍්‍රියාකරනු නොවැළැක්විය හැකිය.