නුවන් උදය වික‍්‍රමසිංහ.


තරගයේ අවසාන වට කිහිපය එළඹ තිබේ. දැන් ඉතින් අදාළ පාර්ශ්ව තම තරග උපක‍්‍රම තීව‍්‍ර කරමින් කප්පම් මලූ දිග හරිමින් සහ මඩ යන්ත‍්‍ර ක‍්‍රියාත්මක කරමින් සටනට නව ජවයකින් පිවිසෙනු ඇත. කවුරු ජනපතිවරණයෙන් දිනුවද මෛත‍්‍රීපාල සිරිසේනගේ මෙන්ම රනිල් වික‍්‍රමසිංහගේ බලලෝභී, කට්ටිවාදී සහ අඥාන දේශපාලන පිළිවෙත්හී වන්දිය ගෙවීමට සිදුවනු ඇත්තේ ජනතාවටමය. එහෙත් තාර්කික ඥානය වෙනුවට වහල් චින්තනයකට කොටු කර ඇති පාක්ෂිකයෝ මෙය පිළිනොගනිති. ඒ වෙනුවට ඔවුහු කරන්නෝ තම අපේක්ෂකයා බෝධිසත්ව චරිතයට ගෙන ඒමය. මේ සියල්ල අතරින් දැන් තියා ජනබලවේගය ඇතුළු විකල්ප කණ්ඩායම් සැලසුම් කළ යුතු ඉදිරි පියවර කිහිපයක්ම තිබේ. ඉන් පළමුවැන්න වනුයේ එළඹෙන මහ මැතිවරණයයි. ජනබලවේගය කෙතරම් අපේක්ෂා තබාගෙන සිටියද ඔවුන් වෙනුවෙන් කතිරය පාවිච්චි කිරීමට තීරණය කර සිටි සැලකිය යුතු පිරිසක් අවසාන මොහොතේදී ගෝඨාගමනය වැළැක්වීමේ අරමුණින් හංසයාට ඡුන්දය දීමේ ඉඩක් පවතී. එහෙත් එසේ භාවිත වන ඡුන්ද යනු තිරසරව හංසයා වෙනුවෙන් වැය වන ඡුන්ද නොව පළමුව වඩා භයානක සතුරා නිෂ්ක‍්‍රීය කිරීම යන අරමුණින් පාවිච්චි කරනු ලබන ඡුන්ද බව වටහාගත යුතුව තිබේ.


එක් දෙයක් ඉතා පැහැදිලිය. කවුරු ජනපතිවරණයෙන් දිනුවද ඔහුටද කළ හැක්කේ මේ අර්බුද තීව‍්‍ර කිරීම මිස ඒවා අවම කිරීම නොවේ. චීන, ඇමරිකා, ඉන්දියා බල අරගලයෙහි ඉත්තකු බවට පත්වන ජනපතිවරයාට අනිවාර්යයෙන්ම තමන් එරෙහි වන බලවතාගේ උදහසට ලක්වීමට සිදුවනු නියතය. ඇමරිකාව ගෝඨා දෙස ඇස ගසාගෙන සිටියදී, චීනය මහින්ද දෙස අපේක්ෂා රඳවාගෙන සිටින බව අපේ තක්සේරුවයි. එහෙයින් ගෝඨා බලයට ආවද ඉන්පසුව ඇරඹෙනු ඇත්තේ තවත් අභ්‍යන්තර බල අරගලයකි. ඇමරිකානු පුරවැසියකු වශයෙන් සිටි ගෝඨා එය ඉවත් කරගත්තද නැතද ඔහුට ඇමරිකාවේ බලපෑමෙන් මිදීමට ඉඩ ලැබේ යයි සිතිය නොහැකිය. එවන් තත්ත්වයක් යටතේ අපට ඉදිරියේදී ලෝකය ඉදිරියේ ඇමරිකාව පතුරු ගසන අභ්‍යන්තරයේදී ඇමරිකාවේ ඉඳුල් ලෙවකන අපූර්ව දේශපේ‍්‍රමීන් රොත්තක්ම දකින්නට ලැබීමටද ඉඩ තිබේ.


මේ සියලූ තත්වයන් අපට නැවත නැවතත් පැහැදිලි කර දෙන කටුක සත්‍යයක් තිබේ. ඒ අප රටෙහි දේශපාලන අඥානභාවය තුරන් කිරීමේ අවශ්‍යතාවයි. මෙය යළිත් වතාවක් තහවුරු කරන අත්දැකීමක් අපට ලැබී තිබේ. ඒ සජිත් පේ‍්‍රමදාසගේ මුවින් පිටවූ කාන්තා සනීපාරක්ෂක ආම්පන්න පිළිබඳ ප‍්‍රකාශයෙනි. මේ ප‍්‍රකාශය අපට නැවතත් පෙන්වා සිටින්නේ ලංකාවෙහි බොහෝ මිනිසුන්ගේ අඥාන බව මෙන්ම ආධානග‍්‍රාහිත්වයයි. හේමමාලා කුමරියගේ කේශ කලාපයෙහි සඟවා ගෙන ආ දන්ත ධාතුවට වැඳ වැටෙන, සංඝමිත්තා තෙරණිය ගෙන ආ ශ‍්‍රී මහා බෝධි ශාඛාවට වැඳ වැටෙන පිරිමි ලෝකය බුදුන්ට මව් වූ මහමායා දේවියගේ සහ සිද්ධාර්ථට බිරිඳ වූ යශෝධරාවගේ ස්ත‍්‍රීත්වයට ගරු කිරීමට තරම් අවංකභාවයක් නැත. මේ කාන්තාවන්ට උඩ මළුව මෙන්ම පත්තිරිප්පුව තහනම් වන්නේ එහෙයිනි. මව් කුසින් උපත ලබන බොහෝ පිරිමි ම ස්ත‍්‍රියට ගරහන්නේ අපුල දනවන අයුරිනි. මේ ප‍්‍රශ්නය තවත් අපුල දනවන්නේ සජිත්ගේ ප‍්‍රකාශය හමුවෙහි ඇතැම් ස්ත‍්‍රීන් විසින් කරනු ලබන නින්දිත ප‍්‍රකාශයන් මගිනි. පොහොට්ටුවේ නායකයන් විසින් ස්ත‍්‍රීත්වය නිගාවට ලක් කරද්දී ඇතැම් ස්ත‍්‍රීන්ම මෙයට සහය දැක්වීම අතිශය ඛේදජනකය.


සැබැවින්ම නම් මේ කරුණ මතුවිය යුතුව තිබුණේ ජනබලවේගයේ වේදිකාවෙනි. එහෙත් කවර හේතුවක් නිසා හෝ සජිත් මෙය අතට ගෙන තිබේ. එසේම සිය ප‍්‍රකාශය හමුවෙහි ඇතිවෙන විරෝධය දරාගෙන ඔහු තමන් වෑන් මෑන් කෙනකු වනවාට වඩා පෑඞ් මෑන් කෙනකු වීමට කැමතියයි වඩා සාර්ථක ප‍්‍රතිචාරයක්ද දක්වා තිබේ. එහෙත් ගෝඨාට එරෙහි කඳවුරු කිසිවක ප‍්‍රබල ලෙස මතු නොකරන කාරණය වී ඇත්තේ ලංකාවේ ස්ත‍්‍රියට කරනු ලබන නිග‍්‍රහයෙහි තරමයි. සජිත්ගේ ප‍්‍රකාශය හමුවෙහි ඇමරිකා මහාද්වීපයෙහි පුරවැසිකම දරන එක් උගත් මහතකු විසින් මුහුණු පොත හරහා පළ කරන ලද කොමෙන්ටුවකින් කියවුණේ අපේ ගම්වල කාන්තාවන් රහසින් කරන පිළිවෙතක් සජිත් ප‍්‍රසිද්ධ කර ඇති වගකි. එය වරදක් බව කියන ඔහු මේ උපදෙස් සජිත්ට දෙන්නේ කවුදැයි ප‍්‍රශ්න කර සිටියි. කෙතරම් නවීන යයි කියන රටකට ගියද ලාංකිකයාගේ මොළය නොවැඩෙන බවට මේ කදිම උදාහරණයකි. දියුණු යයි සම්මත රටවල කඩවලින් යෞවනියන් සහ කාන්තාවන් එලිපිටම සනීපාරක්ෂක තුවා රැුගෙන එද්දී, තවමත් අප රටේ එය මිලට ගනු ලබන්නේ කේරළ ගංජා හුවමාරු වන තාලයෙනි. කොන්ඩම්වල තත්ත්වයත් මීට දෙවෙනි නැත. පිරිමියකු සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් ගෙන සුපර් මාර්කට් එකක කවුන්ටරය වෙත එනවිට එහි ඉන්න තරුණියන් බිම බලා ගන්නා ආකාරය මේ ලියුම්කරු අත්දැක ඇත්තේ වරක් දෙවරක් නොවේ. ගල් බෝතලයක් වීරයකු සේ පාරේ අරන් යන පිරිමියකු පවා බැරි වෙලාවත් සිය බිරිඳ කවරයක නොදැමූ සනීපාරක්ෂක තුවා පැකට්ටුවක් අත තබාගෙන සිටිනු දුටුවහොත් පරල වෙන රටක අපි ජීවත්වෙමින් සිටිමු.


එහෙයින්ම අප මේ ගල් ලෙන් බිඳීම ආරම්භ කළ යුතුව තිබේ. එයද මේ දේශපාලන අරගලයේම වැදගත් කොටසකි. සැබැවින්ම නම් ජනතාවගේ මේ අඥානභාවයට එරෙහි අරගලය ඇරඹිය යුත්තේ වමෙනි. නමුදු ප‍්‍රශ්නය වී ඇත්තේ වම තවමත් පවතින්නේ බෙදී වෙන්ව පවතින තැනක වීමයි.


කවරෙක් ජනපති වුවද දේශපාලනිකව වඩා තීරණාත්මක වනුයේ මහ මැතිවරණයයි. මන්දයත් රටෙහි දේශපාලන අපගමනයන් සඳහා අත උස්සන ඊනියා මහජන නියෝජිතයන් මුදලට හුවමාරු වන්නේ පාර්ලිමේන්තුව තුළ බැවිනි. පොහොට්ටුවෙහි මෙන්ම එජාපයෙහිද ප‍්‍රමුඛතම දේශපාලන අවිය වනුයේ කප්පම් හරහා සිදු කරන ඔළුගෙඩි මාරුවයි. එය නතර කළ හැක්කේ කප්පම්වලට මිලදී ගත නොහැකි මහජන නියෝජිත කණ්ඩායමකටම පමණි. වර්තමානයෙහි ඒ සඳහා ශක්තිය ඇත්තේ වමේ පාර්ශ්වයන්ට බව අදවන විට ඉතා පැහැදිලිය. එහෙයින් මහ මැතිවරණයෙහිදී ප‍්‍රගතිශීලී කඳවුරෙහි කාර්යභාරය වනුයේ මේ තත්ත්වය අවබෝධ කරමින් ජනතා මනස වෙනස් කර සැලකිය යුතු ආසන සංඛ්‍යාවක් වමේ අපේක්ෂකයන්ට ලබා ගැනීමට සටන් වැදීමයි. එවන් තීරක බලයක් පාර්ලිමේන්තුව තුළ ලබාගත හැකි නම් කාසි බලයෙන් ඔළුගෙඩි එහාමෙහා කර සිදු කරන තුනෙන් දෙකේ ජඩ සෙල්ලම් නතර කළ හැකිවනු ඇත. එහෙයින් විකල්ප බලවේගයන් දැන්ම තියා සැලසුම් සකස් කළ යුතුව ඇත්තේ ඒ පියවර සාර්ථක කරගැනීමටය.


රටෙහි සිදු කළ යුතු වෙනසක් සඳහා වන අරගලයක් වෙනුවෙන් ජනතාව පෙළගැස්වීමට පෙර වමෙහි බෙදී ඉන්න කණ්ඩායම් ඒකරාශී කීරීම අත්‍යවශ්‍යව තිබේ. ජවිපෙ සහ පෙරටුගාමී දෙපාර්ශ්වයටම මෙහිලා කළ හැකි කාර්යභාරය ඉතා විශාලය. කලක් ජවිපෙ හා සම්බන්ධව වැඩ කර මේ වන විට ඉතා නිහඬව ඉන්නා ක‍්‍රියාධරයන්ගේ සංඛ්‍යාව සැලකිය යුතු මට්ටමක පවතී. එසේ නිහඬව ඉන්න දහදෙනකු සමග මේ ලියුම්කරු කතා කළ අතර ඒ සියල්ලේම දැඩි මතය වූයේ තමන් අරගලයෙහි සක‍්‍රීය වීමට කිසිදු මැලිකමක් නොමැති නමුත් ඒ සඳහා පළමුව බෙදුණු ජවිපෙ පාර්ශ්ව අතර අවංක සංවාදයක් ඇති කරගෙන අවම එකඟතාවක් හෝ ඇති කරගත යුතුය යන්නයි.


ඉදින් අප ඉදිරියෙහි පැහැදිලි සංඥා පුවරුවකි. එහි කොළ එළිය දැල්වීම අපහසු නැත. එහෙත් ඒ සඳහා වන යතුරට නමක් තිබේ. ඒ සමගිය යන්නයි.