විමලනාත් වීරරත්න

විටින්විට හිස ඔසවන කොරෝනා තත්ත්වය හා දෛනික ප්‍රශ්න සමග මුළු ධූර කාලය පුරාම ඔට්ටු වෙමින් සිටියහොත් ජනපති ගෝඨාභයට සිදුවන්නේ මුළුමනින් සාම්ප්‍රදායික ජනපති කෙනෙක් ලෙස ඉතිහාසයට එක්වීමට ය. ඔහුගේ ගම සමඟ පිළිසඳර එක් ධූර කාලයකින් නොව ධූර කාල තුන හතරකින්වත් සම්පූර්ණ කළ නොහැකි ව්‍යායාමයකි. එක ජනාපති කෙනෙක් මුළු රටේම පහසුකම් අඩු ගම්මාන කරා ගොස් තොරතුරු විමසා නාන ලිඳ ඉසීමේ සිට පාර කැපීම දක්වා දේවල්වලට උපදෙස් දෙන සහ මැදිහත් වන තත්ත්වයෙහි කෙළවරක් දකින්නේ කෙසේද යන්න ගැන ජනපති සිතා ඇති බවක් නොපෙනේ. බදුල්ලේ වෙලංවිට ගමේ කටයුතු සහ මාතලේ හිඹිලියාකඩ ගමේ අඩුපාඩු නම් මේ වන විට කඩිනමින් සැපිරෙනවා විය හැකිය. එහෙත් ඒදණ්ඩ වෙනුවට කොන්ක්‍රීට් පාලම දැමීම දක්වා දේවල්වලට ජනපති යා යුතු නම් ආණ්ඩුවේ, ඇමැතිවරුන්, නි.ඇමතිවරුන් පළාත් සභා සහ ප්‍රාදේශීය සභා නියෝජිතයන්ගෙන් ඇති වැඬේ මොකක්ද? මේ කරන පිළිසඳර නියෝජ්‍ය ඇමැතිවරුන්ගේ සිට පහළ දේශපාලන අධිකාරියට භාරදී ජනපතිට ඇමැතිවරුන් සහ උසස් නිලධාරීන් සමග ඒ සඳහා අවශ්‍ය වැඩ සැලසුම් කිරීම හා ඒවා අධීක්‍ෂණය කිරීම කළ නොහැකි ද? සාමාන්‍යයෙන් හමුදාවක වුව උසස්ම නිලධාරියා කරන්නේ යුද්ධ භූමියට දිවීම නොව යුද සැලසුම් උපායමාර්ග සකස් කිරීම හා ඒවා නිසි පරිදි වනවාද යන්න විමසා බලා අඩුපාඩු සම්පූර්ණ කර ගැනීමට උපදෙස් දීමය. ජනපතිගේ ප්‍රධාන උපදේශන ලලිත් වීරතුංගගේ සිට උපදේශකයන් මේ කාරණය ගැන ඔහු සමග අවංකව කතා නොකරන්නේ මන්ද? උපදේශකයන් ඒවා ජනපතිට කීමට බියද? නැතහොත් ජනපති උපදේශකයන්ට පිටුපා තනි මතයට වැඩ කරනවා ද? මේවා ජනතපති ගැන මහත් බලාපොරොත්තු තැබූ ජනයා ද කරන ප්‍රශ්න කිරීම් ය. ජනාධිපතිවරයාට දේශපාලනඥයකු ලෙස ඇති අත්දැකීම්වල සීමාව නිසා ඔහුට සිය භූමිකාවෙහි යම් ආගන්තුක බවක් දැනෙනවා වන්නට පුළුවන. එසේ විය හැකි වුවත් ඔහුට මේ සමහර දේවල් ගැන ප්‍රායෝගිකව සිතා අවබෝධයෙන් වැඩ කළ හැකිය. කොරෝනා පැතිර යන තත්ත්වයක් මතු වුවහොත් ගම සමග පිළිසඳරෙහි යෙදීම ද සෑහෙන කාලයකට නවත්වන්නට සිදුවනු ඇතැයි ජනපති සිතනවා වන්නට පුළුවන. ඒ අදහසත් වැරදිය. තම නියෝජිතයන් අද ගමට යවා ඔන්ලයින් හරහා ජනපතිට අලි පෙරළු නිවසේ සිට අබලන් පාර, ලිඳ, වගා හානි ආදී ඕනෑම දෙයක් දැක බලාගෙන ඒ මොහොතේම විසඳුම් දීම ද කළ හැකිය.


සැබැවින්ම දිවුලපිටියෙන් කොරෝනා මතු වන අවස්ථාව වන විට ආණ්ඩුව සිටියේ සෑහෙන අසීරු අවස්ථාවකය. ජාත්‍යන්තර ණය ශ්‍රේණිගත කිරීමේ ආයතනයක් වන ඵදදාහ.ි ෂබඩැිඑදර ීැරඩසජැි ට අනුව ලංකාව ඉදිරි කාලය තුළ බංකොලොත් භාවයට පත්වන රටකි. රාජ්‍ය ඇමැතිවරුන් ලක්‍ෂ තුනේ ඇපල් ජංගම දුරකතන, ලක්‍ෂ දෙකේ අයිපෑඞ්, නිල රථවලට ඩ්‍රැගන් ලාම්පු, මතු නොව තුට්ටු දෙකේ කුඩය පවා මහජන මුදලින් බලාපොරොත්තු වෙමින් අතිමහත් කෑදරකමක් ප්‍රකට කරන රටක් බංකොලොත් මට්ටමට පත්වන බව ඇසීම පුදුමයට කරුණක් නොවේ. මහජනයාට සේවය කිරීමට එන බව කියමින් පාර්ලිමේන්තුවට පැමිණි කිසිවෙක් ඉහළම වරප්‍රසාදවලින් තොරව වැඩ කරන්නට සූදානම් බවක් නොපැවසෙයි. මේ කාගේත් ප්‍රතිපත්තිය වී තිබෙන්නේ තමන්ට හිමි දේවල් වලටත් වඩා කඩාවඩා ගැනීමය. නැත්නම් කුඩයක් වැනි පුංචි දෙයක් ආණ්ඩුවේ මුදලින් ඉල්ලන තත්ත්වයක් ඇතිවේ ද? රට වැටී තිබෙන ප්‍රපාතයේ තරම අනුව දේශපාලනඥයන්ගේ සියලු වරප්‍රසාද කපා හැර එම මුදල් ජනපති පිළිසඳර පැවැත්වීමට යන ගම්වල අඩුපාඩු සැපයීමට හා එම ගම්වාසී දරුවන්ගේ අධ්‍යාපන කටයුතුවලට වැය කළහොත් ජනපතිගේ දුවනගිරි සේවාව තව කොපමණ අර්ථවත් කළ හැකිද? ජනපති මේවා තම අමාත්‍ය මණ්ඩලයේ අවධානයට යොමු නොකරන්නේ මන්ද?

පොල් ගෙඩියක වට ප්‍රමාණය මැනීමට සලස්වා විකිණූ ආණ්ඩුවක් ලෙස වර්තමාන ආණ්ඩුව හාස්‍යයට ලක්වී තිබේ. පොල් රජය කියන පාලන මිලට දීමට නොහැකි නිසා මාළු පොල් ද, කොප්පරාවලටම යයි. එවිට රටේ මිනිස්සුන්ට කෑමට පොල් නැත. මේවා ජනපති අගමැති හා ඇමති මණ්ඩලය නිවැරදි කරන්නේ නැද්ද? වත්මන් පොදුජන පෙරමුණු ආණ්ඩුව කිසිම පැකිලීමකින් තොරව බොරු කියන ආණ්ඩුවක් බවට පත්වෙමින් තිබේ. අගමැති පුන පුනා කියන්නේ විසිවැනි සංශෝධනය මගින් කිසිවෙක් විගණකාධිපතිගේ බලතල අඩු කොට නැති බවය. විගණකාධිපතිගේ බලතල ගැන ප්‍රශ්න කළේ නැත. කවුරුත් ඇසුවේ විස්ස මගින් විගණන කොමිසම අහෝසි කිරීම නිසා රාජ්‍ය මුල්‍ය විෂය අයාලේ යාමට ඇති හැකියාව ගැනය. එමගින් මහජන මුදල් වංචා කළ හැකි පසුබිමක් නිර්මාණය වීම ගැනය. එහෙත් අගමැති යන්නේ කොහේද මල්ලේ පොල් බොරුව දැන දැනම කරනු පෙනේ.


ආණ්ඩුව ලොකුම අවුලකට මුහුණ පා සිටින බව පෙනෙන්නේ රියාද් බදුර්දීන් නිදහස් කිරීම නිසාය. කාදිනල් හිමි එය දේශපාලන ඩීල් එකක් විය හැකි බව කියන විට ජනපති එය ඩීල් එකක් නොවන බව මුහුණු පොත භාවිත කරමින් කියයි. ඇමැති දිනේෂ් ගුණවර්ධන පවා කියන්නේ කාදිනල් හිමිගේ ප්‍රකාශය නොතකා හැරිය නොහැකි බවය. ඇමති චමල් රාජපක්‍ෂ පාර්ලිමේන්තුවේ දී කීවේ මෙම නිදහස් කිරීමට ආණ්ඩුව සම්බන්ධයක් නැති බවත් එය පොලිසියේ වැඩක් බවත්ය. නීතිඥ දොළවත්ත මාධ්‍යයට කීවේ පොලිසියේ මෙවැනි කටයුතු නිසා ආණ්ඩුව අපකීර්තියට පත්වන බවය. ආණ්ඩුව දැන් පුහුල් ගෙඩිය කපන්නට යන්නේ පොලිසිය මත තබාය. අපිට මෙහිදී පෙනී යන සත්‍ය නම් පොලිසිය මෙවැනි ප්‍රශ්නයකදී සිය කැමැත්තෙන් දිවිනසා ගන්නේ නැති බවය. පොලිස් මාධ්‍ය ප්‍රකාශක මීට මාස පහකට පෙර රියාද් අත්අඩංගුවට ගැනීමෙන් පසු කළ චෝදනා, එනම් ඔහු සහරාන්ගේ කල්ලිය සමග සමීපව ගනුදෙනු කර ඇත යන්න මාස 5 ක ඇවෑමෙන් මේ තරමට වෙනස් වන්නට විදියක් නැත. වෙනස් වනවානම් ඒ ඉහළ බලපෑමක් මත සිදුවූවක් විය හැකිය යන සැකය මතුවීම වැළැක්විය නොහැකිය. කෙසේ වෙතත් රිෂාඞ් බදුර්දීන් කල් යල් බලා ආණ්ඩුව සමග ඩීල් එකක් දමා ගත්තා නම් එය ඔහුගේ පාර්ශ්වයෙන් ජයග්‍රහණයකි. ජනතාවගේ පැත්තෙන් නම් මේ මොනවා වුණත් වෙනසක් නැත්තේ කොහොමටත් මේ සමස්ත වැඩසටහන තුළ ජනතාව පරිප්පු කන පිලේ සිටින නිසාය.


ඇතැම් මාධ්‍යයන් මේ වන විට තදබල ලෙස ප්‍රශ්න කරන්නේ විස්ස පිළිබඳ වීරවංස දක්වන ප්‍රතිරෝධය පිළිබඳවය. ඔක්තෝබර් 12 දා වන විට විස්ස සම්මත කිරීමට වීරවංස ඇතුලු පුහු විරෝධතාකරුවන් අත් ඔසවනු ඇත. ව්‍යාජ විරෝධයක් ඉස්මත්තට ගත් විට විස්සෙහි අධිකාරීවාදී ස්වරූපයට තරමක හෝ වෙනස් හැඩයක් ලබාදිය හැකිය. ඊට ජී.එල්. කීවේ ආණ්ඩුවේ ප්‍රජාතන්ත්‍රවාදී ලක්‍ෂණ කියාය. ඒ ආණ්ඩුව නොසලකනම විෂයය. ආණ්ඩුවක් ගැන ඉක්මනින් තීරණය කළ යුතු නැති නමුත් ලංකාවේ ආණ්ඩු බලයට පත්වීමට පෙර සිටම තම අනාගත ස්වභාවය පිළිබඳ නිදර්ශන සපයයි. බලයට ඒමට පෙර දක්වන ගුප්ත ස්වභාවයෙන් සහ නායකයන් ප්‍රශ්නයකකට හරියට පිළිතුරු නොදී කැලේ කොලේ සහ ස්වභාවයෙන් ජනතාවට ඔවුන්ගේ හැඩය තේරුම්ගත නොහැකි නිසාම හැම කලෙකම රටට මහත් පාඩුවක් වූයේය. 2015 දී මෛත්‍රීගේ හැඩය හඳුනාගත නොහැකි වූවා සේම 2019 දී ගෝඨාභයගේ හැඩය ලංකාවේ සමාජයට හඳුනාගත නොහැකි විය. 19 වැනි සංශෝධනය ඉවත් කරන බව ජනපති ධූරයට පත්ව මාස 03 කින් කියන විට ගෙන එන්නේ කවර වර්ගයේ හා ප්‍රමාණයේ සංශෝධනයක් දැයි කිසිවකුට හෝ විචාරයක් නොවීය. මේ අවිචාරවත් බවෙන් ගෝඨාභය පමණක් නොව ජේ.ආර්. ගේ සිට නායකයෝ ප්‍රයෝජන ගත්හ. ජනපති 19 එපා කියන විටම ඔහු අනිසි බලයක් අත්පත් කරගත හැකි ව්‍යවස්ථා සංශෝධනයක් ගෙන ඒමට ඉඩ ඇති බව සිතිය යුතුව තිබේ. මහින්ද රාජපක්‍ෂලා 18 වැනි සංශෝධනය වැනි ඒකාධිකාරී ව්‍යවස්ථා සංශෝධන ගෙන ආ පිරිසකි. 18 ට තුනෙන් දෙක ලැබුණා සේ මැසිවිලි දූරිභූත වී විස්ස සඳහාත් එම ප්‍රතිඵලය ලැබෙනු ඇත. ස්වාධීනත්වය බිඳ ගනිමින් සිටින අනුකාරක හා කොණ්ද බිඳගත් පාර්ලිමේන්තුවකින් ඊට වඩා වෙනස් ප්‍රතිඵලයක් බලාපොරොත්තු විය නොහැකිය.


ජනතාව යහපාලන කාලයේ උදාසීන අත්දැකීම් සමග පඹයකු වෙනුවට බලවත් ජනාධිපතිවරයෙක් ඉල්ලා සිටීම තේරුම් ගත හැකිය. එහෙත් රටේ ප්‍රශ්න විසඳීමට යම් වුවමනාවක් ප්‍රකට කළත් ප්‍රාමාණික ප්‍රවේශයන් ගැනීමට තරම් අත්දැකීම් විරහිත නායකයකු අතට අධික බලයක් සංකේන්ද්‍රණය වීමෙන් මුහුණ දිය හැකි අපහසුතාවන්ට ලංකාවේ සමාජය මේ වන විට මුහුණ දෙමින් සිටී. ජනපති කරන නියෝගය චක්‍රලේඛ ලෙස සැලකිය යුතු යැයි කීම බරපතල ආරම්භයකි. නියෝග චක්‍රලේඛ ලෙස සලකා වැඩ කරන්නට ගියහොත් එම නිලධාරීන් අනාගතයේ දී බරපතල ප්‍රශ්නවලට මුහුණ දිය හැකි බැවින් කියන්නා වන ජනපති කෙසේ කීවත් අසන්නන් බවටත්, අසරණයන් බවටත් පත්ව සිටින නිලධාරීන් බුද්ධිමත්ව සිතා වැඩ කිරීම වැදගත්ය. වසර 5 කින් හෝ 10 කින් ජනපති ගෙදර ගියත් නිලධාරීන්ගේ සේවා කාලය ඊට වඩා දිගු විය හැකිය. එදිනට නිලධාරීන් බේරාගන්නට නියෝග, චක්‍රලේඛ බවට පත් කළ ජනාධිපති එන්නේ නැත. ජනපති ධූරයට පත්වී තෙමාසයක් ඉක්ම යන විට කීවේ සිය සොහොයුරාගේ පාලන කාලය තුළ අතුරුදන්වූවන්ට මරණ සහතික නිකුත් කළ යුතු බවකි. අනතුරුව ඔහු මරණීය දණ්ඩනයට ලක්වූ මිනීමරුවකුට ජනාධිපති සමාව දුන්නේය. අද වන විට ඕනෑම ප්‍රශ්නයක් හමුදාපතිට විසඳිය හැකි යැයි සිතා හැම කෙහෙල්මලකටම ශවේන්ද්‍ර සිල්වා සොයන ජනපති කෙනෙක් බවට ගෝඨාභය මහතා රූපාන්තරය වෙමින් සිටීම කොවිඞ් අනතුර අස්සේ වුවත් හාස්‍යයක් දනවන්නකි. දැන් ජනපති වටා සිටි වියත්මග සංකල්පීය වශයෙන් පැත්ත පළාතේ නැත. දැන් එය අවියත් මග බවට පත්ව තනතුරු ලෝලීහු තනතුරු ඩැහැගෙන සිටිති. වියත්මගගේ සිටි රටෙහි වෙනසක් විය යුතුව ඇතැයි සිතූ සැබෑ වියතුන් දැන් සිටින්නේ ජනපතිගෙන් දුරස්වය. තනතුරු ලැබුණේ ස්වාධීන වියතුන්ට නොව වචනයෙන් වචනය ජනපති අනුයන්නට පටන්ගත් වියතුන්ටය. එසේ නොවී තම විෂය ප්‍රදේශ ඔස්සේ ජනපති සමග අනාගත ගනුදෙනුවක් කිරීමට කල්පනා කළ උගත්හු පැත්තකට විසිවී සිටිති.


ඕනෑම නායකයෙක් විවේචන සුහඳව භාර නොගනියි. එය වත්මන් ජනපතිටත් අදාළය. එහෙත් තමන් කරන සියලු දේ අනුමත කරන වියත්මගක් ජනපති බලාපොරොත්තු වනවානම් එය ඔහුට ලැබෙන්නේ වියතුන් විරහිතවය. ජනපති වියත්මග රැස්වීම් වලට යන කාලයේ පේරාදෙණිය විශ්වවිiාලයේ වෛi පීඨයේ මහාචාර්වරයකුගෙන් මම ප්‍රශ්නයක් ඇසුවෙමි. ගෝඨාභයය මහතා උගතුන් සමග මිස වැඩ කරන ජනයා සමග සාකච්ඡාවකට නොඑන්නේ මන්ද යන්න එම ප්‍රශ්නයයි. මහාචාර්යවරයා කීවේ ඔහු උගතුන් සමග සාකච්ඡා කරන්නේ ප්‍රශ්න තේරුම් ගෙන ඒවාට විසඳුම් ලබාදිය හැකි සංකල්ප රාමුවක් සෑදීමට බවය. කම්කරුවකුගෙන් ඔබට කොහොමදැයි ගෝඨාභය ප්‍රශ්නයක් විමසුවහොත් ඔහු මට හරි මහන්සියි සර්, පඩි ටිකක් වැඩි කර දෙන්න යැයි පමණක් පවසනු ඇතැයි මහාචාර්යවරයා වැඩිදුරටත් කීවේය. නියම විෂය උගතුන් ප්‍රශ්නවලට විසඳුම් යෝජනා කරනු ඇතැයි ද ඔහු කීවේය. එහෙත් දැන් සිදුවී ඇත්තේ එම වියතුන් දුන් දැනුම හා සංකල්ප රාමුව බිඳගෙන ජනාධිපති පොඩි මිනිහා ළඟට යාමය. ගමින් ගමට එසේ ගොස් අලි කඩපු නිවෙස්වල සිට රිලවුන් කෑ ගස්ලබු ගස් නැරඹීම දක්වා දේවල් සිදු කර ඒවාට තෙමේම විසඳුම් දීමට කොතරම් කාලයක් ගතවේද? ඒ සඳහා ඔහු වසර 25 ක්වත් ජනපති ධූරයේ රැඳෙන්නට සිදුවෙයි ඒ නිසා වැඩ කරන්නේ පස්ස පැත්තට පෙට්‍රල් පාරක් වැදුනා සේ දුවපැන ඇවිදිමින් නොව වැඩ සැලසුම් කර සෙස්සන් ලවා ක්‍රියාත්මක කරවීමෙන් හා අධීක්‍ෂණය කිරීමෙන් බව ජනපති ඉක්මනින් වටහා ගත යුතුය. නැතහොත් ඔහුත් රටත් ජනතාවත් සදා අමාරුවේ වැටෙනු ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here