විමලනාත් වීරරත්න


ජනපති බස්නාහිර යළි විවෘත කළ දවසේ කොවිඞ් මර්දන බලකාය හා තවත් සෞඛ්‍ය අංශ ප්‍රධානීන් පිරිවරා ගෙන කීවේ මේක සෞඛ්‍ය ප්‍රශ්නයක් හෝ ත්‍රස්තවාදි ප්‍රශ්නයක් වුණානම් මට පහසුවෙන් විසඳන්න තිබුණා යනුවෙනි. ඕනෑම දේකට ත්‍රස්තවාදය මැඬ පැවැත්වීම තොරොම්බල් කරන නායකයකු ලෙස හිටපු ජනපති මහින්ද රාජපක්ෂ ප්‍රසිද්ධියක් ඉසුලුයේය. ත්‍රස්තවාදය මර්දනයට නායකත්වය දුන් ප්‍රධාන පුද්ගලයකු හැටියට වත්මන් ජනාධිපතිවරයා ඒ මගෙහිම යාම තේරුම් ගත හැකිය. එහෙත් එකිනෙකට වෙනස් ප්‍රශ්න දෙකක් එකම ස්වරූපයකින් දැකීමට ජනපති ගෝඨාභය යත්න දැරීම නොකල්පනාවෙන් හටගන්නා තත්ත්වයක් බව කිව යුතුය. කොවිඞ් පළමු රැල්ල ව්‍යාප්ත වෙද්දි ඔහු වැඩි බර තැබුවේ හමුදාව කෙරෙහිය. හමුදාව කොවිඞ් රැල්ලෙන් බැට කනවිට, හමුදාවට තනියම එය මර්දනය කළ නොහැකි බව ආණ්ඩුවට යම් පමණකට පිළිගැනීමට සිදුවිය. දෙවැනි රැල්ල ගැසුවේ පළමු එක මෙන් නොවේ. බරපතල විනාශකාරි වසංගතයක් පරිද්දෙනි.


සති දෙකක් වැනි කාලයකදී මරණ 28 ක් (නොවැ:10 වන විට) වාර්තා විය. ජනපතිවරයා මෙය සෞඛ්‍ය ප්‍රශ්නයක් ලෙස මේ වන විට හරියටම ප්‍රත්‍යක්ෂ කරගෙන සිටින බව ඉහත ප්‍රකාශයෙන් පෙනෙයි. එහෙයින් මෙතැන් සිට වසංගත රෝග විශේෂඥයින්ගේ හා එම විෂය පිළිබඳ ප්‍රවීණයන්ගේ උපදෙස් මත අනලස්ව ක්‍රියා කිරීම වැදගත්ය.


රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය පළමු රැල්ලේදීත් කීවේ රට වසන්නටය. ආණ්ඩුව තරමක් ප්‍රමාද වී රට වැසු අතර එහි සෞඛ්‍යමය ප්‍රතිඵල මාස දෙකකින් ලැබුණි. එහෙත් ආර්ථිකය වැටුණි. මෙවරත් රට වසන ලෙස වෛද්‍යවරු කියති. රජය තරමක් ප්‍රමාද වී බස්නාහිර වසා දැමුවත් කොවිඞ් රැල්ලට වඩා දෛනික ආර්ථික අර්බුදයේ කරවටක් ගිලුණු ජනයාගෙන් එල්ල විය හැකි බලපෑම සලකා ජනපති සුමාන දෙකෙන් බස්නාහිර විවෘත කළේය. ජනපතිට ඒ සඳහා ඇඹුල්දෙණියේ චුන්පාන්කාරයා සහ වඬේකාරයා වැනි අය උදාහරණ සපයා තිබුණි. වඬේකාරයන්ගෙන් හා චූන් පාන්කාරයන්ගෙන් බැණුම් අසන්නට කිසිම ජනපති කෙනෙක් සතුටු නොවනු ඇත. මෙහි තවත් ඛේදනීය පැත්තක් තිබේ. එය නම් වඬේකාරයාගේ හා පාන්කාරයාගේ ආර්ථිකය අඩාල වීමෙන් රටේ ආර්ථිකය අඩාල වන බව ජනපතිගෙන් ප්‍රකාශ වීමය. ඔවුන්ගේ දෛනික දිවි පැවැත්ම අහිමි වීම රටට බරක් බව සැබෑය. එහෙත් ජනපති අවධානය යොමු නොකරන කලාපයක් වන්නේ රටේ ආර්ථිකය සක්‍රීය කිරීම යනු වඬේ හා පාන් බඳු ප්‍රශ්නයක් නොව රටතුළ සුළු කර්මාන්තවල සිට මධ්‍ය පරිමාණ කර්මාන්ත ඔස්සේ මහා පරිමාණ කර්මාන්ත ඇරඹීම තුළ විසඳිය යුතු ප්‍රශ්නයක්ය යන පැත්තය. ඊට සේවා ආර්ථිකය අනුබද්ධ විය යුතුය යන්නය. එමෙන්ම ආනයන අඩුකර අපනයන වැඩි කළ යුතුය යන්න වඬේ හා පාන්කාරයාගේ ප්‍රශ්න වලට එපිටින් ඇති දැවැන්ත ප්‍රශ්න වෙයි. ඊළඟට ආනයන සීමා කරන විට අපනයන වලට අවශ්‍ය කරන ඇතැම් අමුද්‍රව්‍ය ආනයනය සීමා නොකළ යුතු බවද මෙහිදී අවධාරණය විය යුතුය. එනම් මේ එකදු ප්‍රශ්නයකටවත් ත්‍රස්තවාදයේදී සේ ප්ලැට් න්‍යායෙන් උත්තර සෙවිය නොහැකිය. ත්‍රස්තවාදයටත් ප්ලැට් න්‍යායෙන් උත්තර සෙවීමෙන් සිදුවන්නේ කෙදිනක හෝ යළි එබඳු ප්‍රශ්න උඩට මතුවීමය. අප හමුවේ ඇති සෑම ප්‍රශ්නයක්ම රයිනොසුරක් අකුතගාවා ලියු රෂොමොන් සංකීිර්ණය වැනිය. කිසිවකට ඒකමානී උත්තර නැත. සොයාගත යුතු පිළිතුරු බහුමානී වෙයි.


කුඩා කර්මාන්ත රැසක් ඇරඹීම සඳහා ඇමති තනතුරු කිහිපයක්ම ඇති කැරිණි. මැටි, බතික්, කොහු, පිත්තල ආදී වශයෙන් වු එම ව්‍යාපෘති සඳහා ඉලක්ක තිබුණි. මේවා සියල්ල රටේ ආර්ථික සමෘද්ධියට වඩා වඬේ හා චූන් පාන් වර්ගයේ කටයුතුය. ඒවායින් රටට ලොකු ආර්ථිකමය පිම්මක් පැනීමට නොහැකිය. ලොකු වැඩ වලට අත නොගසා සතෙන් සතේ එකතු කරන ආර්ථිකයකින් රට තුළ දරිද්‍රතා චක්‍රයේ හෝ ආර්ථික චක්‍රයේ ලොකු වෙනසක් කළ නොහැකි වෙයි. කුඩා ආර්ථිකයකට කොවිඞ් මහා පරිමාණයෙන් දැනෙයි. වැඬේ හා චූන් පාන්කාරයාගෙන් ජනපතිට පෙනුනේ ඒකය. මැටි, බතික් හෝ පිත්තල වැනි කර්මාන්ත වලින් ඊට වඩා දෙයක් සිදු නොවෙයි. බතික් ඇමතිගේ බතික් සිංහයාගෙන් චූන්පාන් හෝ වඬේ තරම්වත් වැඩක් නොවීමෙන් ඒ කාරණය පසක් වෙයි. අප අවධාරණය කරන්නේ ඉහත සුළු ආර්ථික මාර්ග පණ ගැන්විය යුතු නැත යන්න නොවේ. ඒවා දෛනික ආර්ථිකය සඳහා සක්‍රිය කරන අතරම රට තුළ මහා පරිමාණ ආර්ථික ක්‍රියාවලියකට අත ගැසිය යුතුය යන්නය. එමෙන්ම එය ජනපතිගේ ප්‍රධාන වගකීමක් යන්නය.


අවසන් වරටත් අගමැතිධුරයට පත්වන තුරුම රනිල් වික්‍රමසිංහට මුළු රටම මහා කළමනාකරුවෙක් යැයි කීවේය. එහෙත් කළමනාකරණයේදී තමන් බිංදුවේ බව ඔහු අවස්ථා කිහිපයකදීම පෙන්නුවේය. ගෝඨාභය මහතා නාගරික සංවර්ධන විෂයේදි දක්ෂතා ප්‍රදර්ශනය කළේය. දැන් ඔහුට නායකත්වය දුන් විට බිංදුව ගහන නායකයකු නොවිය යුතුය. වැඩ සැලසුම් කර ක්‍රියාත්මක කරන්නකු බවට පරිවර්තනය විය යුතුය. ඔහුගේත් ධුර කාලයට වසරක් සපිරේ. හැමදේම කරන සියල්ල දත් සියල්ල ගැන උපදෙස් දෙන ජනපති කෙනෙක් අප උදේ දවල් රෑ දකින තත්ත්වයක් තුළ ඔහුට මහා පරිමාණ වැඩ ගැන කල්පනා කිරීමට හා ඒවාට අවශ්‍ය අභ්‍යාස වල ව්‍යවෘත වන්නට වෙලාවක් නොතිබෙනවා වන්නටද පුළුවන. අප මේ බව ජනපතිට කීවේ අලි කඩපු ගෙවල් බලන්නට යන විටය. පාලම් හදන්නට හා ප්‍රාදේශිය සභා මගින් පිළිසකර කළ යුතු මට්ටමේ පාරවල් කොන්ක්‍රීට් කරන්නට උපදෙස් දීමට යන විටය. ඒවා පළාත් සභාවට හා ප්‍රාදේශිය සභාවලට භාරදිය යුතු කටයුතුය. කොවිඞ් මර්දනයට පවා දැන් ජනපති වටමේසයට වාඩිවිය යුතු නැත. දැන් කොවිඞ් රටට සාමාන්‍ය විය යුතුය. එය තමන් යටතේ වැඩ කරන කාර්යශූර ඇමැතිවරයකුට භාරදිය හැකිය. එවිට ඇතැම් දේවල් වලට හමුදාපතිට කතා කළ යුත්තේ ජනපති නොවේ. එම කාර්යභාරය භාරවු ඇමතිය. ජනපති දැන් රට ගොඩනගන හිතන ටැංකියේ (Think tank) පැය විසිහතරේම අවධි මනසක් සහිත මත්සයකු සේ සිටියත් පාඩු නැත. මන්ද රට තිබෙන්නේ ආර්ථිකය ප්‍රමුඛ අංශ ගණනාවකින් අවුලකය. ජනපති බැසගත යුතු හිතන ටැංකියට තෝරාගත යුතු උගත්හු ඔහුගේ වියත්මගෙහිද සිටිති. වෙන වෙන මාර්ගවලද සිටිති. ජනපතිට කිසිම මගක් නෙපෙන්වන කොක්කේ එල්ලී තම පැවැත්ම ගැන පමණක් හිතන මහාචාර්යවරුත් අතහැර ජනපතිට මග පෙන්වීමට කැමති පිරිසක් ජනපති සිය නිරීක්ෂණයෙන්ම තෝර්ා ගත යුතුය. නැතහොත් රටෙහි යම් ස්වාධීනතාවයක් ප්‍රකට කරමින් ක්‍රියා කරන බුද්ධිමතුන්ට හා විෂය ප්‍රවීණයන්ට ජනපතිට මග පෙන්වීමට අවස්ථාවක් උදාකර දිය යුතුය. ඒ සඳහා ජනපතිටත් වගතීමක් තිබේ. ‘ මම තමයි හොඳටම කළේ නොකියා ජනපතිත් තම කටයුතු ගැන ස්වාධීන විචාරයක් බලාපොරොත්තු විය යුතුය. එවැනි විචාර දෙස ඔහු සතුරු ආකල්පයකින් නොබැලිය යුතුය. විචාරය වැදගත් වන්නේ යම් ක්‍රියාවලියක තිබෙන අඩුපාඩු මගහරවා ගැනීමටය. ජනපතිට රට වෙනුවෙන් තවත් දෙයක් කළ හැකිය. එය කළ හැක්කේ තමන් වටේ වැඩක් නොකර සිටින සමහර කොට්ටෝරුවන් එළවා දමා යමක් කළ හැකි, උනන්දුව ඇති පුද්ගලයන්ට ජනපති ළඟට ඒමට ඉඩ සලසා දීමෙනි

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here