නාලක ගුණවර්ධන

[email protected]

ඉහළ සංස්කෘතික විවිධත්වයක් තිබෙන ලක් සමාජයේ පුවත් සහ කාලීන තොරතුරු පරිභෝජනය සම්බන්ධයෙන් ද යම් විවිධත්වයක් තිබේ යයි අනුමාන කළ හැකි වුවද, එහි ගති සොබා ගැන සැබැවින්ම අප දන්නේ මොනවාද?

මෙම පුළුල් ප්‍රශ්නයට පිළිතුරු සොයා ගෙන ගිය මාධ්‍ය අධ්‍යයනයක සොයා ගැනීම් ගණනාවක් 2021 ජූලි 3 වනදා රාවය වෙබ් අඩවියේ පළ වූ ලිපියෙන් මා සම්පිණ්ඩනය කළ. https://bit.ly/3hHFdAx

ලක් ජනයා ප්‍රවෘත්ති හා කාලීන තොරතුරු ග්‍රහණය කරන්නේ කෙසේදැයි සොයා බැලූ, 2019 මැද භාගයේ සිදු කෙරුණු එම අධ්‍යයනයට, විශාල දීප ව්‍යාප්ත නියදියක් (පුද්ගලයන් 2,014) යොදා ගත්තා. මෙරට විවිධ සමාජ ආර්ථික පසුබිම්වලට අයත් ජනයා ස්වෙච්ඡාවෙන් සම්බන්ධ කර ගෙන ඔවුන් කාලීන තොරතුරු සොයා යන සැටි සහ මාධ්‍ය පරිශීලන චර්යා ගැන විමසනු ලැබුවා.

2019-20 ශ්‍රී ලංකා මාධ්‍ය ග්‍රහක අධ්‍යයනය (Sri Lanka Media Audience Study 2019-20) නමින් හැඳින්වෙන මෙම අධ්‍යයනයේ විස්තරාත්මක වාර්තාව 2021 පෙබරවාරියේ වෙබ් අවකාශයට මුදා හරිනු ලැබුවා. එය මුලුමනින් කියවන්න මෙතැනින්:

https://www.mediasupport.org/publication/consuming-news-in-turbulent-times

මේ අධ්‍යයනයට අවශ්‍ය තාක්ෂණික මඟපෙන්වීම සහ ක්ෂේත්‍ර වියදම් සඳහා මූල්‍ය සම්පත් ලබා දුන්නේ ජාත්‍යන්තර මාධ්‍ය සහයෝගිතාව (IMS) නමැති ආයතනයයි. ක්ෂේත්‍ර දත්ත එකතු කිරීම් සහ මූලික විශ්ලේෂණ සිදු කළේ මෙරට මුල් පෙළේ ජනමත සමීක්ෂණ සමාගමක්.

මා මෙම අධ්‍යයනයට බුද්ධිමය නායකත්වය දුන් නිසා ඒ ගැන විස්තරාත්මකව සහ විශ්වසනීයව විග්‍රහ කළ හැකියි. ඉංග්‍රීසි බසින් ප්‍රකාශිත එම වාර්තාවේ වඩාත් වැදගත් සොයා ගැනීම් සිංහලෙන් ද බෙදා ගැනීම සඳහා මා ලියන දෙවෙනි ලිපිය මෙයයි. 

අධ්‍යයනයේ ප්‍රධාන සොයා ගැනීමක් වූයේ ජනමාධ්‍ය, සමාජ මාධ්‍ය, වෙබ්ගත වෙනත් මූලාශ්‍රයන් මෙන්ම අන්තර් පුද්ගල සන්නිවේදන යන බහුවිධ ක්‍රමවේදයන් හරහා අපේ සමාජයේ පුවත් සහ කාලීන තොරතුරු ගලා යන බවයි. 

මෙසේ ගලා යාමේදී සැලසුම් සහගතව තොරතුරු විකෘති කිරීම් හෙවත් දුස්තොරතුරු (disinformation) එයට එකතු වීම මෙන්ම, නොසැලකිල්ල හෝ අනවධානය නිසා තොරතුරු මුලාවන් (misinformation) හට ගැනීමද සිදු විය හැකියි.

තමන්ට ලැබෙන කාලීන තොරතුරු යම් විදියකට බාල කිරීමකට ලක්වී තිබිය හැකි යයි පුවත් ග්‍රාහකයන් අතරින් යම් පිරිසක් ඉවෙන් මෙන් දන්නා බව, ඔවුන් (අධ්‍යයනයේ එක් කොටසක් වූ) කුඩා කණ්ඩායම් සාකච්ඡාවලදී කී දෙයින් පෙනෙනවා.

විචාරශීලීව තොරතුරු පරිශීලනය කිරීම, මාධ්‍ය සහ තොරතුරු සාක්ෂරතාවය (Media and Information Literacy) ලෙස හැඳින් වෙනවා. මෙම අධ්‍යයනයේදී ඉලක්කගතව එම හැකියාව විමර්ශනයට ලක් කෙරුණේ නැතත්, පුවත් ග්‍රාහක ඇතැම් දෙනා තොරතුරු මුලාවෙන් වැළකීමට තමන් විසින්ම හදා ගත් යම් ක්‍රමවේද අනුගමනය කරන බව නම් පෙනී ගියා.

“අපිට ලැබෙන කාලීන පුවත් අතර විශ්වාස කළ හැකි මෙන්ම කළ නොහැකි තොරතුරු තිබෙන්න පුළුවන්. සිහි බුද්ධියෙන් විපරම් කර ඒවා ග්‍රහණය කර ගැනීම අපේ වගකීමක්,” එක් පුරවැසියෙක් පැවසුවා. “එහෙම නොකළොත් මුලා වීමේ කෙලවරක් නෑ!”

උදාහරණයක් ලෙස එක් තොරතුරු මූලාශ්‍රයකින් ලැබෙන පුවතක්, තවත් මූලාශ්‍ර එකකින් හෝ කිහිපයකින් සොයා බලා සංසන්දනය කරන බව සැලකිය යුතු පිරිසක් කියා සිටියා.

ජනමාධ්‍ය හරහා ලැබෙන කාලීන තොරතුරක් ගැන, තමා විශ්වාස කරන පවුලේ අයකු හෝ හිතවතකුගෙන් වැඩිදුර විමසීම සැලකිය යුතු සංඛ්‍යාවක් අනුගමනය කරන තවත් ආරක්ෂිත පිළිවෙතක්.

කණ්ඩායම් සාකච්ඡාවලදී මතු වූ තවත් අදහසක්: “ප්‍රමිතිගත විදියට සම්පාදිත ජනමාධ්‍ය ප්‍රවෘත්තියක් නම්, අඩු තරමින් මූලාශ්‍ර දෙකක්වත් ඒ සඳහා යොදා ගෙන තිබිය යුතුයි. ඒ මූලාශ්‍ර පිළිගත හැකි සහ විශ්වසනීය ද යන්නත් වැදගත්.”

එසේම එකම පුවත් නිමිත්ත හෙවත් සිදුවීම රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික විද්‍යුත් මාධ්‍ය වෙනස් ලෙසින් ආවරණය කරන්නේ කෙසේදැයි තමන් නිතරම විමසිලිමත් වන බව ද ඇතැම් දෙනා පැවසුවා. 

සමාජ මාධ්‍ය සහ වෙනත් වෙබ් ගත මූලාශ්‍ර වෙතින් තමන් ලබන කාලීන තොරතුරු ගෙඩි පිටින් විශ්වාස නොකර සංශයවාදී (skeptical) වීමට තමන් පෙළඹෙන බව තවත් සමහරුන් හෙළි කළා. 

මෙසේ විචාරශීලි ලෙස තොරතුරු පරිශීලනය කිරීම ලක් ජනයා අතර කෙතරම් පුළුල් ලෙස සිදුවේ දැයි යන්න මෙම අධ්‍යයනයෙහි විෂය පථයට අයත් නොවූවත්, මෙයින් මතුව තිබෙන ඉඟි හරහා සෙසු පර්යේෂකයන් විසින් වැඩිදුර සොයා බැලීම වටිනවා. 

හිමිකාරීත්වය මත පදනම් වී මෙරට ජනමාධ්‍ය විශ්ලේෂණය කරන විට රාජ්‍ය මාධ්‍ය සහ පෞද්ගලික මාධ්‍ය වශයෙන් ප්‍රධාන කාණ්ඩ දෙකක් හමු වනවා. මහජන සම්පත් ලෙස සැලකිය හැකි රාජ්‍ය මාධ්‍ය, දශක ගණනාවක් තිස්සේ දේශපාලනිකව අපහරණය කිරීම නිසා පොදු උන්නතිය වෙනුවෙන් පෙනී සිටිනවා වෙනුවට දැන් ඒවා බලයේ සිටින ආණ්ඩුවේ හොරණෑ ලෙස එලිපිටම ක්‍රියා කරනවා. මේ බව මෙරට මාධ්‍ය ග්‍රාහකයන් හොඳාකාර දන්නවා.

රාජ්‍ය මාධ්‍ය මෙන්ම පෞද්ගලික මාධ්‍ය ද තම දේශපාලනමය සහ වාණිජමය පක්ෂපාතිත්වයන් (biases) මත පදනම් වී සිදු කරන බව බොහෝ විට පුවත් වාර්තා කිරීම සහ විග්‍රහ කිරීම සිදු කරන බවත්, ඒ සන්දර්භය තුළ ඇතැම් පුවත් උලුප්පා දක්වන අතර තවත් පුවත් නොතකා හරින බවත් පරිශීලකයන් යම් තරමකට අවබෝධ කර ගෙන සිටිනවා.

කුමන හිමිකාරිත්වය සහිත ජනමාධ්‍ය වඩා අපක්ෂපාතීව පුවත් වාර්තා කරයිද යන්න විමසූ ප්‍රශ්නයට ලැබුණ පිළිතුර මෙහිදී වැදගත්. සමස්ත නියැදියෙන් 28% දෙනා පුද්ගලික මාධ්‍ය අපක්ෂපාත බව (unbiased) විශ්වාස කළ අතර, රාජ්‍ය මාධ්‍ය අපක්ෂපාත යයි විශ්වාස කළේ නියැදියෙන් 9% පමණයි.

මෙය වඩාත්ම කැපී පෙනෙන්නේ විද්‍යුත් මාධ්‍ය සම්බන්ධයෙන්. රාජ්‍ය හිමිකාරීත්වය පවතින ටෙලිවිෂන් ආයතන (රූපවාහිනී සංස්ථාව සහ ස්වාධීන රූපවාහිනිය) පක්ෂග්‍රාහී බව නියැදියෙන් 42% විශ්වාස කරද්දි, පෞද්ගලික ටෙලිවිෂන් පක්ෂග්‍රාහී යයි කියා සිටියේ 10% පමණයි. රජයේ ගුවන් විදුලි සංස්ථාව පක්ෂග්‍රාහී බව 31% කියද්දී පෞද්ගලික රේඩියෝ පක්ෂග්‍රාහී බව කීවේ 7% පමණයි.

අහඹු ලෙස තෝරා ගත් නියැදියක සමුච්චිත ප්‍රතිචාර යම් මට්ටමකට එහා විශ්ලේෂණය කිරීම ඵලදායක නෑ. නමුත් එක් දෙයක් කිව යුතුයි. 

මාධ්‍ය ප්‍රතිසංස්කරණ ගැන සංවාද කරන සහ උද්දේශන කරන සිවිල් සමාජ ක්‍රියාකාරිකයන් බොහෝ දෙනෙක් මාධ්‍යවල පෞද්ගලික හිමිකාරත්වය ගැන මතවාදීවම එරෙහි බවක් පෙනෙනවා. මේ ඇත්තෝ රාජ්‍ය මාධ්‍යවල කොයි තරම් අඩුපාඩු තිබුණත් ඒවා ඇති සැටියෙන් දකින්නේ හෝ විචාරයට ලක් කරන්නේ නැහැ.

එහෙත් එබඳු අන්ධ භක්තියකින් තොරව මේ රටේ සාමාන්‍ය මාධ්‍ය ග්‍රාහකයා රාජ්‍ය මාධ්‍යවල ගරා වැටීම සහ ජුගුප්සාජනක යථාර්ථය හරිහැටි තේරුම් ගෙන ඇති බවට ඉඟියක් මේ සමීක්ෂණ ප්‍රතිඵලයේ මා දකිනවා.

මෙම අධ්‍යයනයේ අංගයක් ලෙස ජනමාධ්‍ය නිදහස ගැන මෙන්ම තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබඳවත් මහජන අදහස් විමසනු ලැබුවා.

මාධ්‍ය නිදහස පිළිබඳව ඔබ සිතන්නේ කුමක් දැයි යන ප්‍රශ්නයට එක උත්තරයක් තෝරා ගැනීම සඳහා බහුවරණ උත්තර හතරක් තිබුණා. තුනෙන් දෙකකට වැඩි (69%) දෙනෙක් තෝරා තිබුණේ එය ඉතා වැදගත් බවයි.  තව 23% එය යම් තරමකට වැදගත් යයි සිතනවා. මාධ්‍ය නිදහස වැදගත් නැත හෝ ඒ පිළිබඳ අදහසක් නැත යයි කීවේ 8% පමණයි.

මාධ්‍ය නිදහසේ ඉහළ වැදගත්කම ගැන දිවයිනේ හැම පළාතකම ජනයා එකඟ වන අතර, ඉතා වැදගත් යන පිළිතුර වැඩියෙන්ම (87%) තෝරා ගෙන තිබුණේ උතුරු පළාතේ ජනයායි.  ඊලඟට එය ඉහළින්ම අගය කළේ දකුණු පළාතේ (84%) සහ සබරගමු පළාතේ (83%) ජනයා.

රටේ මාධ්‍ය නිදහස කෙතරම් දුරට පවතීද යනුවෙන් ඉනික්බිති අසන ලද ප්‍රශ්නයට ලැබුණු පිළිතුරු, එම අවස්ථාවේ පැවති සන්දර්භයට සීමා වන බව කිව යුතුයි. (මෙම අධ්‍යයනයේ ජනමත විමසුම් ක්ෂේත්‍ර කටයුතු සිදුකෙරුණේ 2019 සැප්තැම්බර් – ඔක්තෝබර් මස තුළදී.)

නියැදියෙන් 36% ඒ මොහොතේ විශ්වාස කළේ මේ රටේ සම්පූර්ණ ජනමාධ්‍ය නිදහස තිබූ බවයි. තවත් 56% කීවේ යම් තරමකට ජනමාධ්‍ය නිදහස පවතින බවයි. කිසිදු ජනමාධ්‍ය නිදහසක් නැත යයි 2% විශ්වාස කර ඇති ඉතිරි 6% කීවේ කිසිදු අදහසක් නැති බවයි.

තොරතුරුවලට ප්‍රවේශවීම ඉතා වැදගත් බව 68% පිළිගත් අතර තවත් 24% එය යම් තරමකට වැදගත් යයි විශ්වාස කළා. පළාත් මට්ටමෙන්ම ප්‍රතිචාර විශ්ලේෂණය කරන විට උතුරු පළාතේ ජනයා 84% ද දකුණු පළාතේ ජනයා 85% ද තොරතුරු ප්‍රවේශය ඉතා වැදගත් යයි පිළිගත්තා.

තොරතුරු වලට ප්‍රවේශ වීමේ යථාර්ථය නැතහොත් පවතින තත්වය ගැන විමසන ලදුව 39% දෙනා කීවේ දැනටමත් තොරතුරු වලට පිවිසිය හැකි බවයි.  තව 54% තොරතුරු වලට යම් තරමකට පිවිසීමේ ඉඩ පවතින බව පිළිගත්තා. 

2017 පෙබරවාරියේ සිට ක්‍රියාත්මක වන තොරතුරු දැනගැනීමේ පනත යටතේ රාජ්‍ය ආයතන අර්ධ රාජ්‍ය ආයතන මෙන්ම රාජ්‍ය නොවන ආයතනවල ද තොරතුරු විශාල පරාසයක් නිල වශයෙන් ඉල්ලා ලබා ගැනීමේ අයිතිය ලක් ජනයාට තිබෙනවා. එහෙත් මෙම පනත ක්‍රියාත්මක වීමේ ප්‍රායෝගික ගැටළු රැසක් තවමත් පවතින බවත් කිව යුතුයි.

මෙම අධ්‍යයනය අයත් වන්නේ ඉල්ලුම පිළිබඳ කෝණයෙන් කරන අධ්‍යයන (demand side studies) වර්ගයටයි. පුවත්පත් අලෙවිය, විද්‍යුත් මාධ්‍ය සේවාවල ජනප්‍රිය බව ශ්‍රේණිගත කිරීම් ආදී දත්තවලට වඩා බෙහෙවින් වෙනස් දෘෂ්ටි කෝණයක් මාධ්‍ය අන්තර්ගතය පරිභෝජනය කරන අයගේ පැත්තේ සිට බැලූ විට හමු වනවා.

මෙම අධ්‍යයනයෙන් මතුව ආ සොයා ගැනීම් තව දුරටත් සංවාදයට ලක් කිරීම අවශ්‍යයි. ඉහත සම්පිණ්ඩනයට වඩා බෙහෙවින් විස්තරාත්මක තොරතුරු සහ දත්ත-රූප (infographics) රැසක් ඉංග්‍රීසි මුල් වාර්තාවේ තිබෙනවා.

ජනමාධ්‍යවේදීන් මෙන්ම ජනමාධ්‍ය පිළිබඳ සරසවි ඇදුරන් හා පර්යේෂකයන් මේ ගැන අවධානය යොමු කරන්නේ නම් අගෙයි. සමස්ත වාර්තාව සිංහලෙන් හා දෙමළෙන් කවදා එළිදකී දැයි කීමට දන්නේ නැහැ. එසේම මෙවැනි සමීක්ෂණයක වලංගුභාවය වසර තුන හතරකට සීමා වන බවත් සිහි තබා ගැනීම වැදගත්.

තමන්ගේ මාධ්‍ය ග්‍රාහකයන්ට වඩාත් සමීප වීමට මාධ්‍යවේදීන්ට සහ මාධ්‍ය ආයතනවලට සැබෑ උනන්දුවක් තිබේ නම් ප්‍රයෝජනයට ගත හැකි බොහෝ කරුණු මෙයින් මතුව තිබෙනවා.

https://www.mediasupport.org/publication/consuming-news-in-turbulent-times/

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here