කොවිඞ් 19 සමාජගතවී නැති බව ආණ්ඩුව කියයි. එහෙත් දිනෙන් දින හමුවන ආසාදිතයන්ගේ සංඛ්‍යාව 500-800 අතරය. ඒ අනුව කොවිඞ් සමාජගතවී නැති බව ආණ්ඩුවට කිව හැකි වුවත් එම වෛරසය සමාජ ගතවී නැතැයි ඔවුන්ට කිව නොහැකිය. මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ සභාපතිවරයා පසුගිය දිනක කියා තිබුණේ කොවිඞ් පාලනය සෞඛ්‍ය අංශ වෙතින් ගිලිහී ඇති බවත්, දැන් සිදුකරන්නේ වෛරසය පසුපස දිවීම බවත්ය.


දෙවැනි කොවිඞ් රැල්ලේදී දක්නට ලැබුණු විශේෂිත තත්ත්වය වූයේ ශීඝ්‍ර පැතිරීයෑමක් සහිත සාන්ද්‍රණයෙන් ඉහළ වෛරසය සමාජය තුළ හැසිරෙන ආකාරය බෙහෙවින්ම සංකීර්ණ වී තිබීමය. ආණ්ඩුව මුලින් සිතුවේ පළමු අවස්ථාවේදී කොවිඞ් මර්දනය කළ ආකාරයටම දෙවැනි රැල්ලත් මර්දනය කළ හැකි බවය. පළමු අවස්ථාව සැබැවින්ම ආණ්ඩුවට ජයග්‍රාහී තත්ත්වයක් අත් කර දුන්නේය. එහිදී වසංගත රෝග විශේෂඥයන්ට වඩා හමුදාව ප්‍රමුඛ වී තිබීම බොහෝ දෙනකුගේ විවේචයට බඳුන් වුවත් සතුරා හඹා යන ආකාරයටම කොවිඞ් ආසාදිතයන් හඹා ගොස් කොටු කරගෙන ඔවුන් නිරෝධායන මධ්‍යස්ථාන කරා යොමු කිරීමට හමුදාවට හැකිවිය. දෙවැනි අවස්ථාවේදී සමාජය පොකුරු අවස්ථාවට ශීඝ්‍රයෙන් ළඟාවීම නිසා ආරක්ෂක අංශවලට පළමු අවස්ථාවේදී මෙන් කටයුතු කිරීමට නොහැකි බව ජනාධිපතිවරයාම ඉක්මනින් තේරුම් ගත් බවක් පෙනුණි. එවැනි තත්ත්වයක් තුළ පළමුව කොවිඞ් මර්දන කාර්ය සාධන බලකාය ජනතාවට කීවේ ස්වයංව ආරක්ෂා වන්නටය. ඉල්ලීම නිවැරදිය. එහෙත් ඔවුන්ට මුළුමනින් ආරක්ෂාකාරීව කටයුතු කළ නොහැකිවීමට බලපාන සමාජ, ආර්ථික හේතු මෙරට තිබේ. සමාජයට දුරස්තභාවය රැකිය හැකිය. මුහුණු ආවරණ පැළඳිය හැකිය. දෑත් සේදීම කළ හැකිය. එහෙත් මූලික ජීවන ප්‍රශ්න ජයගැනීමට ආරක්ෂාව පරදුවට තබා ක්‍රියා කිරීමට සිදුවන තත්ත්වයක් ලංකාව තුළ දක්නට ලැබේ. විශේෂයෙන්ම දෙවැනි කොවිඞ් රැල්ලේදී කොළඹ නගරවාසීහු පාරට බටහ. ඒ තම ජීවනෝපායන් අහෝසි වී දෛනික ආහාර වේල පවා අහිමි වූ තත්ත්වය තුළය. දෙවැනි රැල්ලේදී කොළඹ ලොක්ඩවුන් වූ ජනයා සම්බන්ධයෙන් කවුරුත් මුණිවත පෑහ. පළමුවර ලැබුණු අනුකම්පාව කිසිවකුට හිමි නොවුණි. ඒ ප්‍රශ්නය සාමාන්‍යකරණය වීමේ ප්‍රතිඵලයකි. අනෙක් අතට සාමාන්‍යකරණය වන්නේ සමාජගතවූ විට බවද අමතක නොකළ යුතුය.

බරපතළම ප්‍රශ්නය උද්ගත වූයේ බොහෝ දෙනකුට කරමින් සිටි රැකියා අති සීමිතව කිරීමට සිදුවීම නිසාය. ඒ ඇතැමුන්ට තවමත් කොරෝනා ඒමට පෙර ලැබුණු වැටුප නොලැබෙයි. ලැබෙන්නේ මුළු වැටුපෙන් 50%-60%කි. අවම වැටුපක් ලැබුණු පුද්ගලයෙකු එයින් අඩක් ලැබෙන තත්ත්වයට මුහුණ පෑවිට ඔහු කුමක් කළ යුතුද? නිශ්චිත රැකියාවට නොයන දිනවල තවත් කීයක් හෝ හම්බ කරගැනීමට මේසන් වැඩට අත් උදව් දීමට හෝ යාමට සිදුවෙයි. එය එක් අතකින් වසංගත සමයක අනාරක්ෂිත ක්‍රියාවකි. ඔහු අනාරක්ෂිතව දවස ගෙවා යළි සවස එන්නේ තම කුටුම්භයටය. එම පුද්ගලයා ජීවනෝපායේ අඩුව පිරිමසා ගැනීමට ගොස් ආසාදිතයකු බවට පත්ව යළි පැමිණිය හැකිය. මේවා ඉකුත් මාස කිහිපය තුළ උද්ගතවූ සමාජ ප්‍රශ්නය. තවත් ඇතැම්හු කොන්ත්‍රාත් පදනමේ රැකියා අහිමි වී මෑන් පවර් තත්ත්වයට පත්වූහ. විශේෂයෙන්ම ඇඟලුම් ක්ෂේත්‍රය තුළ මෑන් පවර් තත්ත්වයට පත්වූවන් පිළිබඳව කිසිදු ආයතනයක් වගකීම නොදරන තත්ත්වයක් අද වන විට උදාවී ඇත.


කොවිඞ් නිසා වැටුණු පවුල් ආර්ථිකය ගොඩනගන වැඩපිළිවෙළකට තවමත් රජය අත ගසා නැත. රජය කළේ රුපියල් 5000/-ක් දීමය. ආණ්ඩුව ගිලී සිටින ආර්ථික අර්බුදය තුළ පන්දහස දිගටම ලබාදීමත් පහසු නැත. ආණ්ඩුවේ මැති ඇමතිවරුන්ගේ වියදම් බාගෙට බාගයක්වත් කප්පාදු කළ හැකි නම් ජනතාවගේ ප්‍රශ්න ගැන මීට වඩා සානුකම්පිත විය හැකි බව ජනපතිවත් පිළිනොගැනීම කනගාටුවට කරුණකි. ඔහු පිළිගන්නවා නම් ඇමතිවරුන්ගේ වාහන මේනියාවේ සිට නිල කාර්ය මණ්ඩලයක් ලබාදී තිබියදී පුද්ගලික කාර්ය මණ්ඩලයකුත් පවත්වා ගැනීම වැනි නිරර්ථක කටයුතු නතර කළ යුතුය. අලුතින් පත්වන ඇමතිවරුන්ට අලුත් වාහන වුවමනාය. හිටපු ඇමති පාවිච්චි කළ වාහනය කෙතරම් නවීන වුවත් අලුත් ඇමති එය භාර නොගනී. ඇතැමුන්ගේ කාර්යාල කුලිය ඔරොත්තු නොදෙන තත්ත්වයේය. පැරණි බදු ගිවිසුම් නිසා ඇතැම් කාර්යාල ඉක්මනින් වෙනස් කළ නොහැකිය. තම කණ්ඩායමේ පක්ෂපාතීත්වය මුළුමනින් රැකගැනීමට ජනපතිට ඇමතිවරුන්ගේ වරප්‍රසාද සීමා කළ නොහැකිව තිබේ. එහෙත් බඩගින්න නිසා ගඟේ පනින හා කෝච්චියට බිලිවීමට තැත් කරන මිනිසුන් සිටින රටක පාලකයන් මීට වඩා ජනතාව කෙරෙහි සංවේදී විය යුතුය.

කොවිඞ් නිසා වසා දැමුණු ප්‍රදේශවල ජනයාගේ බඩ පණුවන් කෙතරම් බොක්සිං ගැසුවත් ආණ්ඩුවේ ඇමතිවරුන්ගේ වියදම් නම් කිසිසේත්ම අඩුකර නැති එක ගැන ජනපතිට පිළිතුරක් දිය හැකිද? එපමණක් නොවේ. අද වනවිට පාසල් පැවැත්වෙන්නේ පන්දහසකට ආසන්න ප්‍රමාණයකි. බොහෝ දරුවන්ට මාර්ගගත අධ්‍යාපනයට යොමුවීමට සිදුව තිබේ. වැඩිපුරම සිටින්නේ එම පහසුකම් අහිමි දරුවන්ය. පහසුකම් ඇති දරුවන් අද ඬේටාවලට කෙතරම් වියදම් කරනවාද? ආදායම් හීනවූ දෙමාපියන් ඒවාට වියදම් කරන්නේ කෙසේද? ඬේටා මිලදී ගත නොහැකි නිසා මාර්ගගත අධ්‍යාපනය අතහැරෙන දරුවන් කොපමණ සිටීද? මේවා ගැන ආණ්ඩුව කියන්නේ කුමක්ද? ආණ්ඩුව තමන් ෆේල් නැති බවට කරුණ එකතු කරමින් සිටිනවාද? ආණ්ඩුව පාස්වී ජනතාව සියලු අංශවලින් ෆේල් වීම යනු ආණ්ඩුව පාස්වීමක් නොවන බවත් ආණ්ඩුවට මේ මොහොතේදී මතක් කරදීමට සිදුවෙයි. ■