වික්ටර් අයිවන්


ජනාධිපතිවරණයට නියම වශයෙන් තරග කරන අපේක්ෂකයන් සියලුදෙනාම පාහේ සිය ප්‍රතිපත්ති ප්‍රකාශනය ඉදිරිපත් කර ඇතත්, ලංකාව මුහුණ දී තිබෙන අර්බුදය සැබෑ ලෙස තේරුම් ගෙන එම අර්බුදය ජයගැනීම සඳහා වන ප්‍රායෝගික දැක්මක් පෙන්නුම් කිරීමට ඒ කිසිම ප්‍රතිපත්ති ප්‍රකාශනයක් සමත් වී නැත.


ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම ලංකාවේ අර්බුදය කෙරෙහි බලපා තිබෙන ප්‍රධානතම ප්‍රශ්නය ලෙස සැලකිය හැකිය. එය එම ප්‍රශ්නයේ අරටුව ලෙස සැලකිය හැකිය. ජාතිය ඒකාග්‍ර කිරීමට නොහැකි වී තිබෙන්නේ වර්ග ආගම් හා කුලභේද නිසාය. වර්ග හෝ ආගම් නැති කළ නොහැකිය. පැරණි වැඩවසම් ක්‍රමය තුළ ශ්‍රම විභජනය සඳහා යොදා ගත් ක්‍රමයක් වශයෙන් වැඩවසම් කුල ක්‍රමය අදට අවශ්‍යවන්නේ නැත. වර්තමානයේ කුල ක්‍රමය මත පදනම් වූ ශ්‍රම විභජනයක් විහාර දේවාල ගම්වල හැර අන් තැන්වල නැතත්, කුල ක්‍රමය විසින් ඇති කළ උස් පහත් බෙදීම් කිසියම් සැලකිය යුතු ප්‍රමාණයකට අප අතර පවතී. කුලභේදය මුළුමනින් අහෝසි කිරීමට හේතුවන මතවාදයක් සමග ඒ සඳහා වන ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබේ. වර්ග හා ආගම් අතර ගැටුම් ඇති කිරීමට හේතුවන භේද නැති කොට වර්ග හා ආගම් අතර ශක්තිමත් සහජීවනයක් ඇති කිරීමට හේතුවන මතවාදයක් සමග ඒ සඳහා වන ප්‍රතිසංස්කරණද අවශ්‍ය වී තිබේ.


වර්ග භේදයට හා ආගම් භේදයට වඩා කුලභේදය පීඩාකාරීය. 1990 තරුණයන් පිළිබඳ ජනාධිපති කොමිෂන් සභා වාර්තාවේ තරුණ කැරලි කෙරෙහි කුලය රඟපෑ භූමිකාව පිළිගනිමින් එම තත්ත්වය ගැන වන විග්‍රහයක්ද ඊට ඇතුළත්ය. කොමිෂන් සභාවේ මතය අනුව ජේවීපී දෙවැනි කැරැල්ලේ තදබල සටන් පැවතුණේ ගොවිගම නොවන බත්ගම හෝ වහුම්පුර සහ වෙනත් උපකුලවලට අයත් ගම්වලය. “සමකාලීන තරුණ අසහනයට ආධාරක වූ වැදගත් කොටසක් කුලය විසින් රඟපා ඇති බවට කොමිසම සෑහීමට පත්වී සිටින බව කොමිසම සඳහන් කරන අතර තවමත් සාමාජික හා දේශපාලනික පීඩනයෙන් බහුල ලෙස පීඩාවට පත්වෙමින් අහුමුළුවලට කොටුවී හෝ සිරවී සිටින බව සඳහන් වේ. මෙසේ වෙනස් ලෙස සලකනු ලැබීමට ගොදුරු වූ තරුණයන් කැරලි මාර්ගයට පහසුවෙන් පිවිසෙනු ඇති බවද එහි සඳහන් වේ.


වර්ගය සහ ආගම


බ්‍රයිස් රයන් නිවැරදි ලෙස පෙන්වා දී තිබෙන ආකාරයට වර්ග, ආගම් භේදය ලංකාවේ අතීතයේදී පැවති දෙයක් නොව නූතනයේදී කරළියට ආ ප්‍රපංචයකි. මම මාගේ “ඉතිහාසයේ සභ්‍යත්වය” නමැති කෘතියෙන් පෙන්වා දී තිබෙන ආකාරයට දුටුගැමුණුගෙන් පසුව ලංකාව එක්සත් කළ රජවරුන් තිදෙනාද (I වන විජයබාහු, II වැනි පරාක්‍රමබාහු හා IV පරාක්‍රමබාහු) ඇතුළු ලංකාව පාලනය කළ සියලු රජවරු බුද්ධාගමට අතිරේකව හින්දු ආගමද ඇදහුවෝය. ඒ සියලුදෙනා පන්සල් හා වෙහෙර විහාර ඉදිකරන අතර හින්දු, කෝවිල් හා දේවාලද ඉදි කළහ. හින්දු දමිළයන් අතර බුදුන් වහන්සේට ලොකු පිළිගැනීමක් තිබුණා සේ ම, බෞද්ධ සිංහලයන් අතරද හින්දු දෙවිවරුන්ට ලොකු පිළිගැනීමක් තිබුණි. සිංහල බෞද්ධයෝ තෙරුවන් නමදින අතර හින්දු දෙවිවරුන්ගේද ආශිර්වාද පැතූහ. හින්දු දෙවිවරුන් වන්දනාමාන කිරීමෙන් මෙලොව ජීවිතය සැපවත් කරගැනීමට බලාපොරොත්තු වූ අතර බුද්ධාගම ඇදහීමෙන් පරලෝ සැපත ළඟාකර ගැනීමට අපේක්ෂා කළෝය.


පෘතුගීසීන් ලංකාවට එන අවස්ථාව වනවිටත් මුස්ලිම්වරුන් ලංකාවේ ජීවත් වන තුන්වැනි ජනවර්ගයක් බවට පත්ව තිබුණි. රිදී විහාරය ඒ කාලයේ පැවති බෞද්ධ, මුස්ලිම් සහජීවනය සඳහා දැක්විය හැකි හොඳම නිදර්ශනය ලෙස සැලකිය හැකිය.


මුස්ලිම්වරු එම විහාරයේ නිල පංගුකාරයන් ලෙස සේවය කළහ. ඔවුන්ට විහාර භූමියේ මුස්ලිම් පල්ලියක් පවත්වාගෙන යාමට ඉඩදී තිබුණ අතර මුස්ලිම් පූජකයකු නඩත්තු කිරීම සඳහා විහාර ඉඩමෙන් නිල පංගුවක්ද ලබාදී තිබුණි.


වර්ගය හා ආගම මුල් කරගත් ගැටුම් ඇති වන තත්ත්වයක් ඇතිවූයේ ලංකාව නූතන යුගයට හෙවත් යටත්විජිතවාදී ධනේශ්වර ක්‍රමයකට පිවිසීමෙන් පසුවය.


ආගමික හා වාර්ගික ප්‍රබෝධය


ලංකාවේ සිංහල දෙමළ හා මුස්ලිම් යන වර්ග අතර තමන් අදහන ආගම හා වර්ගය මුල් කරගත් ප්‍රබෝධයක් ඇතිවීම ආරම්භවන්නේ බි්‍රතාන්‍ය පාලන යුගය තුළ පාසල් අධ්‍යාපනය ව්‍යාප්ත වී ලංකා සමාජය අකුරු උගත් පොත්පත් කියවන සමාජයක් බවට පරිවර්තනය වීමත් සමගය. රීතියක් ලෙස හැම යටත්විජිත රටකම පාහේ දේශපාලන ප්‍රතිසංස්කරණ මුල් කරගත් උද්ඝෝෂණවලට පෙර කරළියට ආවේ දේශීය ආගම්වල අයිතිවාසිකම් මුල් කරගත් උද්ඝෝෂණයන්ය. දේශීය ආගම් පුනරුත්ථාපනය කිරීමේ ව්‍යාපාරය ලෙස හැඳින්විය හැකි එම ආගමික උද්ඝෝෂණ ව්‍යාපාරය තුළ කිසියම් ප්‍රමාණයකට සැඟවුණු දේශපාලන අරමුණුද තිබුණි.
1848න් පසුව 19 වැනි ශත වර්ෂයේ අවසානය දක්වා ලංකාවේ පැවතුණේ ඉන්දියාවට වඩා වෙනස්ව ගැටුම්වලින් තොර සාමකාමී වාතාවරණයකය. වාණිජ වතු වගාව මුල් කරගත් ධනේශ්වර ක්‍රමයක් ඇතිවී එහි වර්ධනය සිදුවන්නේද පාසල් ක්‍රමයක් ඇතිවී එහි ඇතිවන වර්ධනයක් සිදුවන්නේද ලංකා සමාජය වේගයෙන් අකුරු උගත්, පුවත්පත් හා පොත්පත් කියවන සමාජයක් ලෙස වර්ධනය වන්නේද මේ කාලයේදීය. 19 වන ශතවර්ෂයේ අධ්‍යාපනය අවසන් වන විට රටේ එතෙක් පැවති නිසලතාව අවසන්වෙමින් ආගමික උද්ඝෝෂණද කම්කරු නොසන්සුන්තාවන්ද ඇතිවන්නට විය.


යටත්විජිත ආධිපත්‍යයක් පැවති දීර්ඝ කාලය තුළ බෞද්ධ හින්දු හා මුස්ලිම් යන ආගම් දරුණු පිරිහීමකට ලක්ව තිබුණි. දේශීය ආගම් කෙරෙහි ඉතාමත් දරදඬු ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූයේ පෘතුගීසි පාලනයක් පැවති යුගයේදී ඔවුන්ගේ පාලන බල ප්‍රදේශවලය. ඉන්පසු එළැඹෙන ලන්දේසි යුගය එතරම්ම දරදඬු ආගමික ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක නොවූයේය. අනතුරුව එළැඹෙන බි්‍රතාන්‍ය යුගය දේශීය ආගම් සම්බන්ධයෙන් සහනශීලී ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වූ අතර දේශීය ආගම් මුල් කරගත් ආගම්වල අභිවෘද්ධිය මුල් කරගත් ආගමික පුනර්ජීවන ව්‍යාපාර ඇතිවන්නේ ඒ පසුබිමේය. එම ව්‍යාපාර ඉදිරියට ගෙන යෑම සඳහා අවශ්‍ය වෘත්තීය බුද්ධිමතුන් පිරිසක්ද බෞද්ධ හින්දු මුස්ලිම් ආගම් ආශ්‍රයෙන් ඇතිවී තිබුණි.


කතෝලික හා ක්‍රිස්තියානි ආගම් පැමිණීම තුළ ලංකාවේ වාර්ගික හා ආගමික සංයෝජනයේ සැලකිය යුතු වෙනස්කම් ඇති කිරීමට හේතුවී තිබුණි. 1911දී 40 ලක්ෂයක් වූ මුළු ජනගහනයෙන් 60%ක් බෞද්ධයන් වූ අතර 23%ක් හින්දුන් ද, 10%ක් ක්‍රිස්තු භක්තිකයන්ද, 7%ක් මුස්ලම් භක්තිකයන්ද වූහ. ශත වර්ෂ ගණනාවක් තිස්සේ සිදුවූ ක්‍රිස්තියානිකරණය හේතු කොටගෙන බෞද්ධයන්ගෙන් 9%ක් පමණද, හින්දුන්ගෙන් 12%ක් පමණද, කතෝලික හා ක්‍රිස්තියානි ආගම් වැලඳගෙන සිටියේය. 7%ක් වූ මුස්ලිම්වරුන් ඉස්ලාම් අදහන්නන් වූ අතර 0.6%ක් වූ බර්ගර්වරු ක්‍රිස්තු භක්තිකයෝ වූහ.


ආගම් භේදය සමග වර්ග භේදය


ලංකාවේ බෞද්ධ හා හින්දු ආගමික පුනර්ජීවන ව්‍යාපාරවලට ඉතා බලවත් ක්‍රිස්තියානි විරෝධී අන්තර්ගතයක් තිබුණු අතර මුස්ලිම් පුනර්ජීවන ව්‍යාපාරයට පමණක් ක්‍රිස්තියානි විරෝධී අන්තර්ගතයක් නොතිබුණි. සියලු ආගමික පුනර්ජීවන ව්‍යාපාර අතරින් බලවත්ම ව්‍යාපාරය ලෙස හා වඩාත්ම සටන්කාමී ව්‍යාපාරය ලෙස සැලකිය හැක්කේ අනගාරික ධර්මපාලගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ බෞද්ධ පුනරුද ව්‍යාපාරයයි. ලංකාවේ බෞද්ධ පුනර්ජීවන ව්‍යාපාරය හෝ ආරුමුගම් නාවලර්ගේ නායකත්වයෙන් ක්‍රියාත්මක වූ හින්දු පුනර්ජීවන ව්‍යාපාරය ඉන්දියාවේ හින්දු හා මුස්ලිම් ආගමික පුනර්ජීවන ව්‍යාපාරය සමග ගත් කල සැලකිය හැක්කේ සටන්කාමී බවක් තිබියදීත් පසුගාමී අදහස් දරන ලද ව්‍යාපාර ලෙසය. ඒවා සිංහල සමාජයේ හා දෙමළ සමාජයේ පැවති කුලභේදය ඉවසුවේය. ජාතිය ඒකාග්‍ර කරන දෘෂ්ටියක් ඒවාට නොතිබුණේය. ඒ නිසා ඒවා භේදකාරී අදහස් වපුරන ව්‍යාපාර ලෙස ක්‍රියා කළේය.


අනගාරික ධර්මපාල සිංහල බෞද්ධ චින්තනය කෙරෙහි වඩාත්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැකි අතර ආරුමුගම් නාවලර් දමිළ හින්දුන්ගේ චින්තනය කෙරෙහි වැඩියෙන්ම බලපෑ චින්තකයා ලෙස සැලකිය හැකිය. සිංහල ජන වර්ගය ලංකාවේ අන් සියලු වර්ගවලට පමණක් නොව ලෝකයේ අන් සියලු ජනවර්ගවලටද වඩා උත්තම ජනවර්ගයක්ය යන මතය සිංහල බෞද්ධ ජන මනසට කාවන්දන ලද්දේ අනගාරික ධර්මපාලය. ධර්මපාල ලංකාවේ හිමිකරුවන් ලෙස සලකන ලද්දේ සිංහල ජනවර්ගය පමණය. දෙමළ මුස්ලිම් ජන වර්ග සලකන ලද්දේ ලංකාවේ සාරය උරා බොන පරදේශක්කාරයන් ලෙසය.


ආගමික පුනර්ජීවන ව්‍යාපාරය නිසා ඇතිවූ ආගමික හා වාර්ගික ප්‍රබෝධය අන්තර් වාර්ගික හා ආගමික කලකෝලාහල ඇති කිරීමට හේතුවිය. 1884 ජනවාරිවලදී කොටහේනේදී පාස්කු ඉරිදා දිනයේදී බෞද්ධයන් හා කතෝලිකයන් අතර ලොකු කෝලාහලයක් සිදුවිය. ඉන්පසු 1915දී සිංහල මුස්ලිම් කෝලාහලයක් ඇතිවිය. එය රට පුරා ව්‍යාප්ත වූ කෝලාහලයක් විය. එහිදී සිදුවූ ජීවිත හා දේපළ විනාශය අතිවිශාලය.


ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම


ලංකාව නිදහසට පෙර හෝ පසුව වර්ග, කුල හා ආගම් අනුව බෙදී සිටි ජනතාව ඒකාග්‍ර කිරීමට හේතුවන ආකාරයට ජාතිය ගොඩනගා ගැනීමට සමත් වූයේ නැත. ලංකාවේ සිංහල හා දෙමළ හා අවසානයේ මුස්ලිම් ප්‍රචණ්ඩ ගැටුම් ඇතිවූයේ එහි ප්‍රතිඵලයක් වශයෙනි. ඒ ප්‍රචණ්ඩ ගැටුම් වෙනුවෙන් ලංකාව ගෙවා තිබෙන වන්දිය සුවිශාලය.


ඇතිවූ ප්‍රචණ්ඩ ගැටුම් හා ඒ ආශ්‍රයෙන් රටේ ඇතිවූ අශීලාචාර වටපිටාව සමාජය පමණක් නොව, රාජ්‍යය සහ එහි ආයතන ක්‍රමයද දූෂිත කොට ජරාජීර්ණ කිරීමට හේතුවී තිබුණි.


අභ්‍යන්තර යුද්ධය අවසන් වූ අවස්ථාව සමාජ ක්‍රමයේ ඇතිවී තිබුණ විකෘතිය හා රාජ්‍යය හා එහි ආයතන ක්‍රමයේ ඇතිවී තිබුණ කුණුවීම ජයගැනීම සඳහා ව්‍යුහාත්මක ප්‍රතිසංස්කරණ කරළියට ගැනීම සඳහා ලැබුණු ස්වර්ණමය අවස්ථාව ලෙස සැලකිය හැකිය. දෙමළ සන්ධානයේ නායකයන්ද ඒ අවස්ථාවේ සිටියේ මටසිලුටු තැනකය. ප්‍රභාකරන් ජාතික ගීය හා ජාතික කොඩිය පාවිච්චි කිරීම සඳහා යොදාගෙන තිබුණු තහනම අහෝසි කරමින් අභ්‍යන්තර යුද්ධය අවසන්වීමෙන් පසුව දෙමළ සන්ධානය විසින් පවත්වන ලද පක්ෂ සම්මේලනයකදී පළමුවරට ජාතික ගීය ගයන ලද අතර ඒ අවස්ථාව සඳහා ජාතික කොඩියද යොදාගෙන තිබුණි. එය දෙමළ උතුරෙන් ලැබුණු බලවත් සංඥාවක් වුවද එය තේරුම් ගැනීමට අභ්‍යන්තර යුද්ධය ජයගත් නායකයා අසමත් විය. ව්‍යුහමය ප්‍රතිසංස්කරණවල අවශ්‍යතාව තේරුම් ගැනීමටද මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා අසමත් විය. එම තත්ත්වය රට තිබුණ අර්බුදයට වඩා ලොකු අර්බුදයකට තල්ලු කිරීමට හේතුවූ අතර, එහිම ප්‍රතිඵලයක් වශයෙන් රාජපක්ෂ ජනාධිපතිවරයාට ජනාධිපතිවරණයෙන් පරාජය වී ආණ්ඩු බලයද අහිමි කරගනිමින් ගෙදර යන්නට සිදුවිය. එහිම ප්‍රතිඵලයක් වශයෙන් බලයට පැමිණි යහපාලන ආණ්ඩුවද අඳුරේ අතපත ගාන පිළිවෙතක් අනුගමනය කළා විනා විකෘති වී තිබූ සමාජ ක්‍රමයේ හා කුණුවී තිබුණු රාජ්‍යයේ සැබෑ වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලට අත නොගැසුවේය.


දැන් අර්බුදය තිබෙන්නේ උපරිම තත්ත්වයකට වර්ධනය වූ පසුබිමකය. සමාජ ක්‍රමය හා රාජ්‍යය තිබෙන්නේද උපරිම තත්ත්වයකට වර්ධනය වූ ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන ව්‍යුහමය ප්‍රතිසංස්කරණවලින් තොරව එක අඩියක්වත් ඉදිරියට යා නොහැකිව හිරවූ තත්ත්වයකය.

වාන් දොරටු ඇරීම


ජනාධිපතිවරණයට තරග කරන විකල්ප බලවේගවලට අවශ්‍ය නම් මෙම ජනාධිපතිවරණය උපායමාර්ගික අර්ථයෙන් ක්‍රමයේ සැබෑ පරිවර්තනයකට දොරටු විවර කර ගන්නා අවස්ථාවක් බවට හරවා ගත හැකිය. කොටින්ම කියනවා නම් අවුලක් බවට පත් ව තිබෙන ජාතිය ද, දූෂණයෙන් කුණු වී තිබෙන රාජ්‍යය ද ප්‍රතිනිර්මාණය කර ගැනීම සඳහා ව්‍යුහමය ප්‍රතිසංස්කරණ අරමුණු කර ගත් මහජන ව්‍යවථා සම්පාදනයක් දිනා ගන්නා මැතිවරණයක් බවට හරවා ගත හැකිය.


ප්‍රධාන ප්‍රවාහයේ තරගකරුවන් දෙදෙනා අතර තිබෙන්නේ ළඟ ළඟ තරගයකි. ජාතික ජන බලවේගය ලබාගන්නා ඡන්ද සංඛ්‍යාවේ ප්‍රමාණය කුමක් වුවද අනුර කුමාරට මෙම තරගයේ පළමුවැනියා හෝ දෙවැනියා විය නොහැකිය. රොහාන් පල්ලෙවත්ත, මහේෂ් සේනානායක හා දුමින්ද නාගමුවට ද එම ධර්මතාව අදාළය.


ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනා අතර තරගය ළඟ ළඟ තරගයක් වන නිසා ම ජනාධිපතිවරණයට තරග කරන විකල්ප ව්‍යාපාරවලට මෙම තරගය කෙරෙහි තීරණාත්මක බලපෑමක් කළ හැකිය. ප්‍රධාන තරගකරුවන් දෙදෙනා අතරින් ජය ගත යුතු හා පරාජය කළ යුතු අපේක්ෂකයා තීන්දු කළ හැකිය. මෙම හැකියාව උපායමාර්ගික ලෙස ප්‍රයෝජනයට ගනිමින් මහජන ව්‍යවස්ථා සම්පාදනයක් දිනා ගැනීම සඳහා මෙම සුවිශේෂ තත්ත්වය ප්‍රයෝජනයට ගත හැකිය.


මහජන ව්‍යවස්ථා සම්පාදනය මෙම විකල්ප ව්‍යාපාරවල ද වැදගත් අරමුණක් වන බැවින් ඒ සඳහා අවශ්‍ය බලය සහිත රාමුවක් සකස් කරන බවට සදාචාරමය වශයෙන් පමණක් නොව නීතිමය වශයෙන් ද බැඳීමක් ඇති ගිවිසුමකට එකඟ වන්නේ නම් ඊට එකඟ වන අපේක්ෂකයාට සහාය ප්‍රකාශ කොට තරගයෙන් ඉවත් විය හැකිය. එමගින් ක්‍රමයේ ගැඹුරු වෙනසක් ඇති කිරීමට හේතුවන මහජන ව්‍යවසථා සම්පාදනයකට දොරටු විවෘත කර ගත හැකිය.


විකල්පයට කළ හැකි දේ


විකල්ප බලයක් වෙනුවෙන් පෙනී සිටින අපේක්ෂකයින් සියලුදෙනා මෙම ජනාධිපතිවරණයට තරග කරන්නේ ජනාධිපතිවරණය ජය ගැනීම සඳහා නොව ඉදිරියේ පැවැත්වෙන පාර්ලිමේන්තු මැතිවරණයට තරග කොට පාර්ලිමේන්තු නියෝජනයක් ලබා ගැනීම සඳහා හෝ තිබෙන පාර්ලිමේන්තු නියෝජනය වර්ධනය කර ගැනීම සඳහාය. එහෙත් ලංකාවේ අර්බුදය තිබෙන්නේ වහා විසඳා ගත යුතු තත්ත්වයක මිස ඔවුන් කවදා හෝ බලයට පැමිණ විසඳා ගත යුතු තත්ත්වයක නොවේ.


අනෙක් අතට ලංකාවේ මැතිවරණ ක්‍රමය සකස් වී තිබෙන්නේ විකල්ප ව්‍යාපාරවලට ලොකු බලයක් ලැබෙන ආකාරයට නොව ලොකු මුදල් බලයක් ඇති අයට බලය ලැබෙන ආකාරයටය. මහජන ව්‍යවස්ථා සම්පාදනයකින් එම විෂම තත්ත්වය වෙනස් කළ හැකි අතර එවැනි වෙනස්කම් ඇති කිරීමෙන් පසුව පවත්වන මැතිවරණයක් නිසැකව ම විකල්ප ව්‍යාපාරවලට, වඩා වාසිදායක ප්‍රතිඵල ලබාගත හැකිය.


ඊළඟ පාර්ලිමේන්තු මැතිවරණයට පෙර මහජන ව්‍යවස්ථා සම්පාදන වැඩසටහන ආරම්භ කිරීමට එකඟතාවක් ඇතිකර ගතහැකි නම්, එම ව්‍යවස්ථා සම්පාදනය අදියර දෙකක් යටතේ සිදු කළ හැකිය. පළමු අදියරේ දී පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ට හා මැතිවරණ ක්‍රමයට අදාළ ප්‍රතිසංස්කරණ සිදු කළ හැකිය. ඒ මගින් මුදල් බලයට ලැබෙන වැදගත්කම අවම කෙරෙන ආකාරයට මැතිවරණ ක්‍රමය ප්‍රතිසංස්කරණය කළ හැකිය. එම ප්‍රතිසංස්කරණවලින් පසුව පාර්ලිමේන්තු මැතිවරණයකට යා හැකිය.


ඒ අනුව පාර්ලිමේන්තු මැතිවරණයක් දක්වා කාලය තුළ ව්‍යස්ථා සම්පාදන මණ්ඩලය සමන්විත වනු ඇත්තේ වර්තමාන පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරුන් 225න් හා ඊට වැඩි සංඛ්‍යාවකින් යුතු පිළිගත් ක්‍රමයකට තෝරා ගන්නා මහජන සංවිධානවල නියෝජිතයින්ගෙනි. පාර්ලිමේන්තු මැතිවරණයෙන් පසු ව්‍යවස්ථා සම්පාදනයේ වඩා වැදගත් දෙවැනි අදියර සඳහා එම ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලයට පැරණි මන්ත්‍රීවරුන් වෙනුවට අලුත් මන්ත්‍රීවරුන් පත් වනු ඇත.
සාමාන්‍යයෙන් මහජන ව්‍යවස්ථා සම්පාදන ක්‍රියාදාමයකදී ව්‍යවස්ථා සම්පාදන මණ්ඩලය ව්‍යවස්ථා කෙටුම්පත් කරන ක්‍රියාදාමයට පමණක් සීමාවන්නේ නැත. කොමිෂන් සභා පත්කිරීමෙන් හෝ වෙනත් උචිත ආකාරවලට සමස්ත ක්‍රමයට අදාළ සියලු දේ සොයා බැලීමේ බලය බුක්ති විඳිනු ලබන්නේය. ඊට අන්තර්කාලීන ව්‍යවස්ථාවක් තිබිය යුතු අතර සමස්ත ක්‍රියාදාමය සිදු කරන්නට යන ආකාරය කාලරාමුවක් සහිතව එහි සඳහන් විය යුතුය. මහජන ව්‍යවස්ථා සම්පාදනකදී සියලු කටයුතුවලට සහභාගිවීම සඳහා මහජනයාට උපරිම අවස්ථා සලසා දීම අත්‍යවශ්‍ය හා අනිවාර්ය කොන්දේසියක් වන්නේය.


එවැනි පරිවර්තන වැඩසටහනකට ප්‍රධාන අපේක්ෂකයින් දෙදෙනාගෙන් කෙනෙකු එකඟ කරවා ගනිමින්, අවශ්‍ය නීත්‍යානුකූල ගිවිසුම් ඇතිකර ගනිමින්, ඔහුට ජය ගැනීමට අවශ්‍ය සහාය ලබාදෙමින්, මහජන ව්‍යවස්ථා සම්පාදනයකට දොරටු ක්‍රමවත් ලෙස විවෘත කරවා ගැනීමට හැකිවේ නම්, එය සියලු ජන කණ්ඩායම්වල ද, පොදු වේ මහජනයාගේ ද මහත් ආස්වාදයට හේතුවනු නොඅනුමානය. එය විකල්ප ව්‍යාපාරවලටද ලොකු මහජන පිළිගැනීමක් ලබාදීමට හේතුවනවා සේ ම එම ව්‍යාපාරවල නායකයින්ට හා ක්‍රියාධරයින්ට එම පරිවර්තන වැඩසටහනේ නියමුවන් බවට ද පත්විය හැකිය.


ක්‍රමයේ සැබෑ පරිවර්තනයක් සඳහා යොදා ගතහැකි මෙම ස්වර්ණමය අවස්ථාව ප්‍රයෝජනයට ගත යුතු නැද්ද?