රසික ගුණවර්ධන


ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති පදවිය ලබා දැන් වසර දෙකක් ගතවීමට ආසන්නය. එහෙත්  රැය එළිවත්ම ක්ෂුද්‍ර මූල්‍ය ණයෙන් නිදහස් වීමට ගෝඨාභය රාජපක්ෂ විශ්වාසකර ඡන්දය ලබා දුන් අහිංසක මිනිසුන් ජනාධිපතිවරයාගේ පොරොන්දු රාත්‍රිය නිමාවන තෙක් නිදි නොලැබ බලා සිටී.


ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය මෙසේ නොයිවසිඳමින් ආණ්ඩුව ක්‍රියා කරන්නේ, මෙම උගුලට හසුවී සිටින පවුල් ගණන ලක්ෂ විසි අටක් පමණ වන හෙයිනි. එක පවුලකින් ඡන්ද දෙකක් යැයි සැලකුවහොත් ඡන්ද ප්‍රමාණය ලක්ෂ පනස් අටකි! ඉල්ලම සුළුපටු නැත.


රාජපක්ෂ රජය පමණක් නොව, යහපාලන රජයද මේ ඉල්ලමේ රස දැන සිටියේය. ජනාධිපතිවරණ වේදිකාවේ ගෝඨාභය රාජපක්ෂ මෙන් සජිත් ප්‍රේමදාසද ක්ෂුද්‍ර මූල්‍ය ණය අහෝසි කරන බව කීවේ ඒ නිසාය. එහෙත් ඔහු ආණ්ඩුවේ ඇමතිවරයෙකුව සිටින විට ක්ෂුද්‍ර මූල්‍ය ගින්න නිවන්නට වතුර ඇද්දේ හිල් කූඩයෙන් බව කිසිවෙකුට අමතකද නැත.


ළඟ ඡන්දයක් නො එන නිසා දැන් මේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන් ගැන කතා කරන්නට හෝ පෙනී සිටින්නට දේශපාලකයන් නැත, රටට කියන්නට මාධ්‍යද නැත.


මේ කිසිවෙකුගේ අවධානය මෙයට යොමු නොවුණා කියා මූල්‍ය ආයතන අහක බලාගන්නේ නැත. ඔවුන් මේ නිහඬතාව හමුවේ පෙරටත් වඩා උනන්දුවෙන් කාන්තාවන් සූරා කන්නට ප්‍රයන්ත දැරීය. තොණ්ඩුව සිරවන්නේ ගමේ ගැහැනුන්ගේ මිසක් දේශපාලකයන්ගේ නොවන නිසා, ඒ වේදනාව දැනෙන්නේ ඒ ගැහැනුන්ටමය. අවසන ඔවුන් සත්‍යග්‍රහයක් පැවැත්වීමට තීරණය කරන්නේ මේ අවනඩුව කෙසේ හෝ බේරා ගැනීමටය.


සත්‍යග්‍රහය


ඔවුන් දින පනස් පහක් සත්‍යග්‍රහය පැවැත්වූවේය. ගිනි ගහන අව්වේ, ඇට මිඳුලු කකියන වැස්සේ, විදින මැස්සන්ගෙන්ද, උරා බොන මදුරුවන්ගෙන්ද අඩුවක් නැතුව ඔවුහු සිය අයිතිවාසිකම් ඉල්ලා සිටියේය. දිනෙක සාරි ද ගවුම්ද ඇඳගත් කාන්තාවන්ය. තවත් දිනෙක බුර්කා ද සල්වාර්ද හැඳගත් ගැහැනුය. හිසට ටකරන් හෙවිල්ලා තිබුණද දාහයේ අඩුවක්ද නැත. මේ ගැහැනුන්ගේ අරගලය උගුලෙන් ගැලවීමටය, තමන් පමණක් නොව තම දරු මල්ලන්ද, සින්න වෙන්න යන කුඹුරු ඉඩකඩම්ද රැක ගැනීමටය. මුට්ටියේ බත් තම්බා මාලුවන් පින්නක් සාදා කුස පිරෙන්න බත් කටක් කන්නටය. ඒ මේ සියල්ල ක්ෂුද්‍ර මූල්‍ය ණය නම් සර්පයා උදුරාන ගොස් ඇති බැවිනි.


දෙදාහේ ගොවීන් බිලිගත් ගොවි ණයට එරෙහිව ගොවීන් කළ සටන එදා චන්ද්‍රිකාගේ ආණ්ඩුව සෙලවීමට තරම් සමත් විය. ඒ ආණ්ඩු සෙල වූ සටන් භූමිය වූයේද හිඟුරක්ගොඩ රාජසභා ස්මාරකයයි. මෙදා ගෙවිලියන් බිලිගන්නා ක්ෂුද්‍ර මූල්‍ය ණය උගුලට එරෙහිව සටන් වදින්නට තෝරා ගෙන ඇත්තේද ඒ පැරණි සටන් භූමියම වේ.


සත්‍යග්‍රහය පැවැත්වූ හිඟුරක්ගොඩ රාජසභා මණ්ඩපය ඉදිරිපිට පැවති මේ සත්‍යග්‍රහය රටේ පවතින කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් තාවකාලිකව මේ වන විට නවත්වා ඇතත් ඔවුන් මුහුණ දුන් ගැටලුව තාවකාලිකව හෝ නිමා වී නැත.


ඡන්දයට පසු ඔවුන්ගේ ජීවිත තව තවත් දුෂ්කර වී ඇත. ඒ බව කියන්නේ දුකින් මිරිකුණු මුහුණුය.

සුංගාවිල


අපි සුංගාවිලට ගියේ නෝම්බි සමයේය. හවස් වරුවේ ගමේ පල්ලියට එකා දෙන්නා එන්නේ කන්ජි සෑදීමට හවුල් වීමටය. මුල්ලක තරුණයන් කිහිපදෙනෙකු අල්ලාප සල්ලාපයේ යෙදී සිටී. පල්ලිය ඇතුලේ ද වැඩිහිටියන් කිහිපදෙනෙකු සංවාදයේය.


අප ඔවුන් වෙත ගොස් ගමේ ක්ෂුද්‍ර මූල්‍ය උවදුරට මුහුණ දුන් කාන්තාවන් පිළිබඳව විමසුවෙමු. එහෙත් ඒ කාර්යය සිතූ තරම් සරල නොවීය. අපට වැටහුණු ආකාරයට මේ ගැන කියන්නට පල්ලිය එතරම් මනාප නැත. ඒ මුස්ලිම් ආගමට අනුව පොලියට ණයට ගැනීම තහනම් නිසා විය හැකිය.


කෙසේ හෝ අවසානයේ අප එක් කාන්තාවක වෙත ගෙන යාමට පල්ලිය එකඟ විය.
ඇගේ නිවස ඇත්තේ පල්ලියේ සිට හූවක දුරකිනි. ඒ තරම් පල්ලියට ළඟ සිටි ඇය ක්ෂුද්‍ර මූල්‍ය ණයට විරුද්ධ පල්ලියේ ඇස් වසා මේ උගුලට හසුවිණි නම්, අන් කාන්තාවන් ගැන කවර කතාද?
ඒ කාන්තාව අපෙන් කළ පළමු ඉල්ලීම නම් තමන්ගේ අනන්‍යතාව හෙළි නොකරන ලෙසය. ඒ ණය සම්බන්ධව සිය සංස්කෘතික සීමාකම් නිසා සහ, ඇය මෙම උගුලට ගොදුරු වීම නිසාම ඇයට එල්ල වන අපවාදවලින් තරමකට හෝ හිස බේරා ගැනීමට විය හැකිය.


මේ නිර්ණාමික කාන්තාව අපට ප්‍රකාශ කරන ආකාරයට ඇය ක්ෂුද්‍ර මූල්‍ය ආයතන කිහිපයකින් ණය ලබා ගෙන තිබිණි. ඒ සිය පවුලේ ආර්ථික අවශ්‍යතා සඳහාය. ඇයගේ ස්වාමිපුරුෂයා ඉදිකිරීම් ශිල්පියෙකි. ඊට පසු ඔහු කොන්ත්‍රාත්තුකරුවෙකු ලෙස පියවර තබා තිබිණි. විටින් විට පැමිණි ස්වාමිපුරුෂයාගේ සෞඛ්‍ය දුර්වලතා හේතුවෙන් ඔවුන්ගේ ආර්ථිකය දිනෙන් දින කඩා වැටෙන්නට විය. මේ අතරතුර ව්‍යාපාර නැවත ඇරඹීම සඳහා ඔවුන්ට මූල්‍ය ශක්තියක් උවමනා වුවත් පිළිගත් ප්‍රධාන පෙලේ මූල්‍ය ආයතනවලින් ඊට සහයක් ලබා ගැනීම ඔවුන්ට දුෂ්කර කාර්යයක් විය. මේ අතරතුර ක්ෂුද්‍ර මූල්‍ය ආයතනවලින් ගම්මානයට පැමිණ ඇති අතර ඔවුන්ගෙන් ණය පහසුකම් ලබා ගැනීම ඒ තරම් දුෂ්කර වී නැත. එකම සුදුසුකම ලෙස ඒ ආයතනවලින් ඉල්ලා ඇත්තේ ණය ලබා ගැනීම සඳහා කාන්තා කණ්ඩායමක සැකසීමය.

ආගම්වල කුමක් ඉගැන්නුවද, කුසගින්න ඒවා පරයා යන බැවින් ඒ කණ්ඩායමට කාන්තාවන් සොයා ගැනීම එතරම් අපහසු වී නැත.


අවසානයේ ඒ ආයතනවලින් ණය ලබා ගන්නා මේ නිර්ණාමික කාන්තාවට ද සිදුවන්නේ ක්ෂුද්‍ර මූල්‍ය උගුලේ සිරවන්නටය. ආගමික බැමි නිසාම ඇය තමන්ගේ කණ්ඩායමේ සඟයන් ගැන කියන්නටද කැමැත්තක් නැත. කෙසේ වෙතත මැයට අනුව අනෙක් කාන්තාවන්ට අත්ව ඇති ඉරණමද මැයට වඩා වෙනස් නැත.


නිමල්සිරි ආබාධිතයෙකි. ඔහු උපතින්ම එසේ යැයි ඔබ වරදවා වටහාගත යුතු නැත. නිමල්සිරි දෙදහස දශකයේ මැද අවධියේ මැලේසියාවට යන්නේ සිය පවුල ජීවත් කරවීමටය. එතැන් පටන් ඔහු සාර්ථකව රැකියාව සිදුකරන නමුදු 2007 වසරේදී සිදුවන්නේ අනපේක්ෂිත අනතුරකට මුහුණ දීමටය. එතැනින් පසු නිමල්සිරි මෙරටට පැමිණෙන්නේ ආබාධිතවය.

නිමල්සිරි

එතැන් පටන් ප්‍රේමාවතීට අනුව කතාව මෙසේය. නෑදෑකමට ඇය නිමල්සිරිගේ පුංචි අම්මාය. “මෙයා මෙහාට ගේනකොට සිහියවත් තිබ්බෙ නෑ. මෙයාගෙ ගෑනිවත් දරුවොවත් මේ මනුස්සය දිහා බැලුවෙ නෑ. මෙයාගෙ අම්ම තමයි ටිකෙන් ටික බෙහෙත් කරල මෙයාව මේ තත්වෙට ගත්තෙ.”


ප්‍රේමාවතී එසේ කීවිට නිමල්සිරිගේ මව, චන්ද්‍රාවතීට යමක් කමක් ඇති කාන්තාවක යැයි ඔබට සිතෙනු ඇත. එහෙත් සත්‍යය එසේ නොවේ. චන්ද්‍රාවතී තමන්ගේ මේ වැඩි මහලු දරුවාව බලාකියා ගන්නේ අඳේට එළුවක් බලාය. එසේ නැතහොත් කුඹුරක ගොයමකට දායක වීය, එවැන්නකුත් නැතිදාක අසල්වැසි නිවසක වී තම්බන්නට ගොස්ය. නැතහොත් වී පොළන්නට ගොස්ය.

ප්‍රේමාවතී

ගොයමකට ගොස් ලැබෙන සොච්චමත්, එළුවන් දක්කා ලැබෙන සොච්චම හෝ නිවසක වී පොලා ලැබෙන හාල් හුණ්ඩුව ජීවත්වීමට ප්‍රමාණවත් නැත. නිමල්සිරිගේ බෙහෙත් හේත් නිසාම ඔවුන්ගේ ජීවිත අරගලය හාල් හුණ්ඩුවකින් එහාට දිග් ගස්සා ගැනීමට සිදුව ඇත. නිමල්සිරි විදේශ ගතවූයේ රැකියාවක් රැකියාවක් සඳහා වුවද ඔහුගේ ආබාධිත තත්ත්වයට ප්‍රතිකාර සඳහා ඔහුට කිසි දීමනාවක් හෝ සහනයක්ද ලැබී නැත. මේ සියල්ල මැද තමන් දෙදෙනාගේ ජීවිතත් බැලන්ස් කරගන්නට අසූවිය ඉක්මැවූ චන්ද්‍රාවතීටට සිදුව ඇත.


අප ඔවුන් සොයා යන විට නිමල්සිරිගේ මව, චන්ද්‍රාවතී නිවසේ සිටියේ නැත. ඇය එළුවන් දක්කන්නට ගොස්ය.


ප්‍රේමවතී මුස්ලිම් කාන්තාවකි. ඇය පවසන ආකාරයට ඇය කසාදය කරගෙන ඇත්තේ, ආගමට ගොස්ය. මේ වන විට ඇගේ ස්වාමිපුරුෂයා මියගොස්ය. ඇය භාෂාව හසුරන අයුරුත්, අසල්වැසියන් සමග ගනුදෙනු කරන අයුරුත් දකින්නෙකු ඇගේ හිස වසා ඇති රෙදිකඩ නොදකීනම් ඈ මුස්ලිම් කාන්තාවක් බව නොසිතනු නිසැකය. ඇගේ වැඩිමහලු පුතා මවුලවිවරයෙකි. දෙවැන්නාද සිය වැඩිමහලු සොහොයුරාගේම මගෙහි පියමනිමින් සිටී.


මුස්ලිම් ද සිංහලද කියා වෙනසක් සුංගාවිල නැත. මුස්ලිම් ආගම ඇදහූවද බෞද්ධ ආගම අනුගමනය කළද ඔවුන්ට ඇත්තේ එකම එක මිනිස් බැඳීමකි. සුංගාවිල සිංහලයන්ට චතුර ලෙස දෙමළ කතා කළ හැකිය. සුංගාවිල මුස්ලිමානුවට චතුර ලෙස සිංහල කතා කළ හැකිය. ඔවුන්ට අන්‍ය සංස්කෘතීන් ගැන රහස් නැත.


නිමල්සිරිලාට ඇතැම් දිනවල කන්න වේල දෙන්නේ අසල්වැසි නිවෙස්වලින්ය. ඔවුන් රෝහලට රැගෙන යන්නේ අසල්වැසියන්ය. ඊට ජාති භේද නැත.


ක්ෂුද්‍ර මූල්‍ය උගුල සේමය.


මේ ක්ෂුද්‍ර මූල්‍ය උගුලටද ජාති භේද නැත. එය මුසල්මානුවාද සිංහලයාද ඩැහැ ගන්නේ එක පොදියටය.


ප්‍රේමවතී ද ක්ෂුද්‍ර මූල්‍ය උගුලට හසුවී සිටී. ඇය සේ ම චන්ද්‍රාවතීද ක්ෂුද්‍ර මූල්‍ය ණයේ ගොදුරකි. චන්ද්‍රාවතී ක්ෂුද්‍ර මූල්‍ය උගුලට හසුවන්නේ අසල්වැසි කාන්තාවකට උදව් කරන්නට ගොස්ය. අපි ඒ අසල්වැසි කාන්තාවට කමලා යැයි කියමු. කමලා ක්ෂුද්‍ර මූල්‍ය ණය ගෙන එහි පතුලේම සිර වූ කාන්තාවකි. දිනක් ඇය සොයා එන මූල්‍ය සමාගමක නියෝජිතයෙකු ඇයට කියන්නේ සිය ආයතනයෙන් ණය මුදලක් ගෙන ඇගේ සියලු ණයෙන් නිදහස් විය හැකි බවත්, එම ණය ලබා ගැනීමට වෙන අයෙකු සොයා ගන්නා ලෙසත්ය. මේ අනුව කමලා චන්ද්‍රාවතීගෙන් උපකාර ඉල්ලයි. චන්ද්‍රාවතී කමලා වෙනුවෙන් අත්සන් කරන්නේ ඇය ණය වාරික ගෙවන බවට වූ පොරොන්දුව නිසාය. එහෙත් අවසන කමලාට එම ණය වාරික ගෙවීමට නොහැකි වේ. මේ නිසා චන්ද්‍රාවතී දැන් පැටලී ඇත්තේ පඹගාලකය. ඇය ණය වෙනුවෙන් රුපියල් තුන්දහසක් පමණ සතිපතා ගෙවිය යුතුය. ගොයමට ගොස්, එළුවන් දක්කා හෝ වී තම්බා එය කළ නොහැකිය. අවසානයේ නියාමනයක් නොමැති ක්ෂුද්‍ර මූල්‍ය ණය නිසා සිදුව ඇත්තේ අසල්වැසි සබඳතා බිඳ ගැනීමටය.


“මගේ මහත්තය නැති වුණා, අපේ එළුවො ටිකත් මට තනියම බලාගන්න බැරි නිසා විකුණල දැම්ම. පවුලෙ ආර්ථික තත්ත්වයත් එක්ක ළමයින්ට උගන්නන්න මට ණය ගන්න වුණා. ලැජ්ජ නෑ කියන්න, මම ඒ ණය ගෙවන්න ගෙවල්වල වැඩ කරනව. ඒකෙන් හම්බෙන සොච්චමෙන් ළමයින්ටත් වියදම් කරල ණයත් ගෙවන්න ඕනෙ. දැන් මාස ගාණකින් ණය වාරික ගෙවල නෑ. එයාල ඇවිල්ල බැනල යනව. බැන්න කියල අපිට සල්ලි හම්බ වෙන්නෙ නෑ.” ප්‍රේමවතී කියයි.
සුංගාවිල පල්ලිවලින් හිඟයක් නැත. එහෙත් ඒ පල්ලිවල කරුණාවේ සෙවණැලි මේ දුප්පත් මිනිසුන්ගේ නිවෙස් වලට වැටෙන්නේ නැත.

තඹාල


සුංගාවිල සිට පොළොන්නරුව දෙසට කිලෝමීටර දහයක් පහළොවක් ගිය තැන තඹාල හමුවේ. තඹාලට දැන් ධීවර ගම්මානයක් කීවද, තඹාලේ මිනිසුන්ගේ මුල් ඇත්තේ ගොවිතැනෙහිය. මීට වසර දහය පහළොවකට එහා පැත්තේ තඹාලේ විසුවේ රටට බත සැපයූ ගොවියන්ය. එවකට ලංකාවේ විශාලතම මුස්ලිම් ගොවි ගම්මානවලින් එකක් ලෙස තඹාල හැඳින්විය හැකිය. එකල තඹාලේ අක්කර එක්දහස් පන්සීයක වී ගොවිතැන් කර ඇත. එය ආසන්න වශයෙන් වර්ග කිලෝමීටර හයකට එහා භූමියකි.


අපි මේ යන්නේ ෆරීදා උම්මා සොයාය. ඇයද මේ ක්ෂුද්‍ර මූල්‍ය වසංගතයේ වින්දිත කතකි.
එම කුඹුරු පිහිටා ඇත්තේ ගම්මානයේ සිට කිලෝමීටයක් පමණ දුරකිනි. එය දැන් රක්ෂිත පෙදෙසකි. ඒ නිසා තඹාලේ ගොවියන්ට දැන් ඒ භූමියට යාමට නොහැකිය. එසේ ගියගොත් ඔවුන් වනජීවියෙන් කුදලාගෙන ගොස් ඇපත් නැතුව හිරේ දමන්නට සැදී පැහැදී සිටී. මේ තඹාලට කණකොකා හඬලන්නේ එතැන් සිටය. ගොවිතැනක් බතක් කරමින් සිටි මේ මිනිසුන්ට එතැන් පටන් සිට ජීවන වෘත්තිය අත්හරින්න සිදුවේ.

ෆරීදා

තමා කාලයක් තිස්සේ කරන් ආ රැකියාව අහිමි වූ තැන ඔවුන් ධීවර රැකියාව හැඩ ගැහෙන්නට උත්සාහ දැරුවේය. එහෙත් ඒ වැව් පිහිටා තිබුණේද රක්ෂිතයේය. ටික දිනකින් වනජීවිය ඊටද හරස් වන්නට විය. ඉනික්බිති තඹාල ගම්වැසියන්ට යන එන මං නැති විය. ෆරීදාගේ සැමියා කෙසේ හෝ මාළු රස්සාවෙන් යැපෙන්න උත්සාහ දරන්නෙකි.


ෆරීදා අප සමග කියූ කතාව අන් කාන්තාවගේ කතාවලට දෙවනි නොවීය. ණය එකතු කරන්න එන නියෝජිතයන්ගෙන් වන හිරිහැර, හිංසා ගැන ඇයටද කියන්නට කතා බොහෝමයක් විය.
“අපිට කන්න බොන්නවත් සල්ලි නැතුව ඉන්නකොට කොහොමද මේ ණය ගෙවන්නෙ. රස්සාවක් තියෙද්දි අමාරුවෙන් හරි ණය ටික ගෙවාන හිටිය. දැන් රස්සාවත් නෑ. මාළු ටිකක් අරගෙන ඇවිල්ලත් විකුණගන්න අමාරුයි. මාළු ගන්න මිනිස්සුගෙ අතේ සල්ලි තියෙන්නෙ එපෑනෙ.” ෆරීදා කියයි.

ෆරීදාගේ සැමියා

“අපි ණය ගත්තෙ කන්න බොන්න නෙවේ. මගෙ අසනීප දරුවෙක් හිටිය. එයාට බෙහෙත් කරන්නයි සල්ලි ගත්තෙ. ඒ දරුවට සෑහෙන ගාණක් අපට වියදම් වුණා.” ඒ අතරතුර ෆරීදාගේ සැමියා නිවස තුළට ගොස් ඒ දරුවාගේ ඡායාරූපයක් ගෙන ඒ. වයස අවුරුදු හයක් හතක් නොඉක්ම වූ දරුවෙකි. බැලූ බැල්මටම ඒ දරුවා ඉතා දුර්වල බව පෙනේ.


“මේ ළමයට බෙහෙත් අරන් දෙන්න නොගියපු දිහාවක් නෑ. අන්තිමට මේ ළමය නැති වුණා. ණය එකතු කරන්න එන සර්ල මේ කතාව දන්නව. ඒත් එයාලට ඕනෙ සල්ලි විතරයි.” ෆරීදා කියයි.


කොරෝනා සහ ක්ෂුද්‍ර මූල්‍ය


ක්ෂුද්‍ර මූල්‍ය අර්බුදය දෙස පොදුවේ බැලීම මෙම නිදර්ශක කතා තුන ඉතාම හොඳ නිදර්ශකයක් ලෙස ගත හැකිය. මේ වින්දිතයන් තිදෙනා වෘත්තීන් ලෙස කාණ්ඩ තුනකට වෙන්කළ හැකිය. ඒ ධීවර, කෘෂි සහ සත්වපාලන ලෙසය. සමස්ත ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ වෘත්තීන් පිළිබඳව සැලකීමේදී ඔවුන් අතරින් බහුතරය කෘෂිකර්මාන්තයේ නිරතවන්නන් වන අතර ඉන්පසු බහුතර පිරිස සිදුකරන්නේ සත්ව පාලනය වේ. ඊට අමතරව සිල්ලර වෙළෙඳාම, ධීවර (වැඩි වශයෙන් මිරිදිය) ආදී වෘත්තීන්වලද නිරත වනු ලබයි.


ක්ෂුද්‍ර මූල්‍ය වසංගතය රට පුරා පැතිර ගියේ කොවිඩ් වසංගතයට පෙර වුවද, එහි තිබූ පීඩාකාරී සහ විනාශකාරී බව පිළිබඳව විසංවාද රාශියක් සමාජය තුළ පවතී. එයින් බහුතර මතය ගොනු වී පවතින්නේ ඉපැයීමට සාපේක්ෂව ණය ලබා නොගැනීම නිසා ගොවීන් ඇතුළු පිරිස මෙම උගුලට හසුවී ඇති බවත් ඔවුන් සිය ණය නිසි පරිදි කළමනාකරණය කර නොමැති බවත් යන්නය. කෙසේ වෙතත් එතැනින් එහා ගිය මූල්‍ය ප්‍රතිපත්ති සහ ඒ හා සම්බන්ධ මූල්‍ය විනය පිළිබඳව රාජ්‍ය ප්‍රමුඛ මූල්‍ය අංශයෙහි පවතින ගැටලුසහගත බව සහ අසංවේදී බවද ඊට හේතුවී ඇති බව කොරෝනා සමය තුළ ක්ෂුද්‍ර මූල්‍ය අංශය දෙස බැලීමේදී පෙනී යයි.


ශ්‍රී ලංකා මහ බැංකුවේ වාර්ෂික වාර්තාවට අනුව 2020 වසරේ ඊට පෙර වසරට සාපේක්ෂව ශ්‍රී ලංකා ආර්ථිකය 3.6% කින් සංකෝචනය වී ඇත. එසේම කෘෂිකර්මාන්තය, වන වගාව සහ ධීවර කර්මාන්තය යන අංශවල දළ දේශීය ආදායමේ වර්ධනය -2.4% ලෙස දැක්වේ. එය වර්ධනය සඳහා දායකත්වය ලෙස සැලකූ විට -0.2කි. පෙර වසරේ එම ප්‍රමාණය 0.1 කි. එසේම එය කෘෂිකර්මාන්තය සහ වන වගාවට සාපේක්ෂව බැලුවහොත් 2020 වසරේ දළ ජාතික ආදායම සඳහා කිසිදු දායකත්වයක් ලබා දී නැත. (0.0)


ඒ අනුව පෙර වසරවලටත් වඩා අසීරු අඩියකට මේ ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ට පත්වන්නට සිදුවිය. කොරෝනා කියා ක්ෂුද්‍ර මූල්‍ය ණය සහන දුන්නේ නැත. ඔවුන්ට සිය ඇඳිවත විකුණා හෝ ණය ගෙවන්නට සිදුවිය.


කෙසේ වෙතත් මහ බැංකු වාර්තාවට අනුව මූල්‍ය ආයතනවල දැඩි ප්‍රතිපත්ති නිසා ණය අයකර ගැනීම් ඉහළ ගොස් ඇති අතර, ණය දීම සඳහා බැංකුවල ඇති කැමැත්තද ඉහළ ගොස් ඇත. මේ මහ බැංකු වාර්තාව කියන්නේ මහ බැංකුවේ ලියාපදිංචි මූල්‍ය ආයතන ගැනය. එහෙත් ක්ෂුද්‍ර මූල්‍ය ණය දෙන ආයතනවලින් සීයට අනූපහකට වඩා මහ බැංකුවේ ලියාපදිංචි නැත.

වසංගතයක් අභිමුව ලියාපදිංචි මූල්‍ය ආයතනවල හැසිරීම මෙය නම්, ලියාපදිංචි නොවූ මූල්‍ය ආයතන ගැන කවර කතාද?


කෙසේ වෙතත් ක්ෂුද්‍ර මූල්‍ය වින්දිතයන්ගේ සේ ම අපගේ පැතුමද ජනාධිපතිවරයාගේ සිහින රැය ඉක්මනින් එළිවේවා යන්නයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here