ශ‍්‍රීලාල් සෙනෙවිරත්න

දේශපාලන පළිගැනීම් පිළිබඳ පරීක්ෂණ පැවැත්වූ ජනාධිපති කොමිසමේ නිර්දේශ ඇතුළත් අවසන් වාර්තාව ජනාධිපතිවරයාට බාර දීමෙන් පසු, එහි ඇතුළත් නිර්දේශ මුල්කොට ගෙන මතුව ඇති දේශපාලන සමාජ සංවාදය තුළ සාකච්ඡුාවට බඳුන් වන ප‍්‍රධාන කරුණු අතර දුමින්ද සිල්වාගේ මරණ දඬුවම අවලංගු කිරීමට කොමිසම සිදු කරනු ලැබ ඇති බව කියන නිර්දේශය ද ඇතුළත්ය. භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුවෙකුව මරණීය දණ්ඩනයට නියමව සිටින දුමින්ද සිල්වාට ජනාධිපති සමාවක් ප‍්‍රදානය සඳහා වන සැලසුම්සහගත ක‍්‍රියාදාමයක් පසුගිය වසරක පමණ කාලය තුළ පුළුල් අයුරින් ක‍්‍රියාවට නැ`ගුණු පසුබිමක කොමිසමේ නිර්දේශයක් වශයෙන් දුමින්ද සිල්වා නිදොස් කොට නිදහස් කෙරෙන නිර්දේශය ඉදිරිපත්වන්නේ එක් අතෙකින් ඊට ප‍්‍රත්‍යයක්වද, තවත් අතෙකින් විකල්පයක්වද බව දැකිය හැකිය. ‘කෙක්කෙන් බැරි නම් කොක්කෙන්’ න්‍යාය අනුගමනය කරමින් දුමින්ද සිල්වා නිදහස් කිරීමට දරන මෙම තැත කුමන ආකාරයකින් බැලූවද සිය ධුරයේ බලය අවභාවිත කරන්නක් හෙවත් පුළුල් අර්ථයෙන් ගත් කළ දුෂණයකි. කොමිසමේ නිර්දේශවලට එරෙහිව දේශපාලන පක්ෂ සහ සිවිල් සංවිධාන ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ නඩු පැවරීමට සූදානම් වන පසුබිමක නුදුරේම එය අධිකරණය ඉදිරියේ විමසීමට බඳුන් වනු ඇති බැවින් මෙහි සලකා බැලෙන්නේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපති ධුරය සතුව ඇති සිරකරුවන්ට නිදහස දීමේ බලය අවභාවිත කිරීම සම්බන්ධයෙනි.

දුමින්ද සිල්වා යනු විවෘත ආර්ථික ක‍්‍රමය රටට හඳුන්වාදීමෙන් පසු රට තුළ හිස එසවූූ, ධනෝපායන මාර්ග අප‍්‍රකට, එහෙත් අලූත් ධනපති පන්තිය නියෝජනය කළ දේශපාලකයෙකි. ධන බලය දේශපාලන භූමියෙහි ආයෝජනය කරමින් ප‍්‍රථමයෙන් ඔහු දේශපාලනයට පිවිසෙන්නේ විවෘත ආර්ථික ක‍්‍රමය රටට හඳුන්වා දුන් එක්සත් ජාතික පක්ෂයේ ප‍්‍රාදේශීය දේශපාලන නායකයෙකු ලෙසිනි. සමගාමීව ඔහුගේ සහෝදරයා වන රෙනෝ සිල්වා ධනය ආයෝජනය කරන්නේ ජනමාධ්‍ය භූමියෙහිය. ඒ, වර්තමානයේ ‘හිරු’ නමින් ප‍්‍රකට විද්්‍යුත් නාලිකා මාධ්‍ය ජාලයේ අර්ථපතියා ලෙසිනි. එක්සත් ජාතික පක්ෂයේ තරුවක් ලෙසින් දේශපාලනයේ ඉදිරියට එමින් සිටි දුමින්ද සිල්වා අංශක 180ක හැරවුමක් ගනිමින් ‘රාජපක්ෂ දේශපාලනයට’ එක් වන්නේ සිය සහෝදරයා වන රෙනෝ සිල්වාගේ හිරු මාධ්‍යයට එරෙහිව රජය (රාජපක්ෂ පාලනය) ප‍්‍රවෘත්ති විකාශය කිරීමේ තහනමක් පැනවීමෙන් පසු තිරය පසුපස සිදුවූ ගනුදෙනුවක ප‍්‍රතිඵලයක් ලෙසිනි. තුන්වන ඊළාම් යුද සමයේ ආරක්ෂාවට අදාළ ප‍්‍රවෘත්තියක් වැරදි ලෙස වාර්තා කළේය යන චෝදනාව යටතේ රජය හිරු නාලිකාවට ප‍්‍රවෘත්ති විකාශනය තහනම් කිරීමෙන් පසු දුමින්ද සිල්වා එක්සත් ජාතික පක්ෂ දේශපාලනයෙන් සමුගෙන රාජපක්ෂ දේශපාලනයට එක්වූ අතර ඉන් පසු හිරු නාලිකාවට පනවා තිබුණු තහනමද රජය ඉවත් කර ගත්තේය. ඉක්බිති රාජපක්ෂ දේශපාලනය තුළ පාර්ලිමේන්තු මන්ත‍්‍රී ධුරයක්ද හිමිකර ගැනීමට සමත්වූ දුමින්ද සිල්වාගේ ඉහළම ක‍්‍රියාකාරීත්වය ප‍්‍රකට කෙරුණේ ඔහු ආරක්ෂක අමාත්‍යාංශයේ අධීක්ෂක මන්ත‍්‍රීවරයා ලෙස ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසුවය. රාජපක්ෂ දේශපාලනය තුළ දුමින්දට ඒ සා ඉහළ වටිනාකමක් ලැබෙන්නේ ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම් ධුරය දරන අවදියේය.

දුමින්ද සිල්වා සහ එවක ආරක්ෂක ලේකම්වරයා අතර පැවැති සමීප සම්බන්ධයේ තරම මනාව ප‍්‍රකට කෙරුණු අවස්ථාව වූයේ භාරත ලක්ෂමන් පේ‍්‍රමචන්ද්‍ර ඝාතන සිදුවීමය. 2011 වසරේ පැවැති මැතිවරණ ව්‍යාපාරය තුළදී දුමින්ද සිල්වාගේ ආරක්ෂාව භාරව සිටි කණ්ඩායමේ වෙඩි ප‍්‍රහාරයකින් අංගොඩදී ඝාතනයට ලක්වන විට භාරත ලක්ෂ්මන් ශ‍්‍රී ලංකා මහජන පක්ෂයේ නායකයා ද, රාජපක්ෂ ආණ්ඩුවේ වෘත්තීය සමිති සංවිධායකවරයාද විය. දෙපාර්ශ්වය අතර සිදුව තිබූ වෙඩි හුවමාරුවෙන් වැඩි වේලාවක් යන්නට පෙර භාරත ලක්ෂ්මන්ගේ මරණය වාර්තා වුවද, දුමින්ද සිල්වාට සිදුවූ දේ පිළිබඳ නිසි තොරතුරක් වාර්තා නොවීය. දුමින්ද සිල්වාටද වෙඩි වැදී අසාධ්‍යව ජයවර්ධනපුර රෝහලට ඇතුළත් කොට ඇති බව තහවුරු කෙරුණේ එදින සන්ධ්‍යාවේය. ඒ, ඔහු රෝහලට ගෙන ඒමත් සමග රෝහලට විශේෂ ආරක්ෂාවක් සලසා, මාධ්‍යවේදීන්ට පවා එහි ඇතුළුවීම අවහිර කොට තිබීමත්, රෝහල් කාර්ය මණ්ඩලය හෝ වෛද්‍යවරුන් දුමින්ද සිල්වාගේ තත්ත්වය ගැන කටින් කෙළ බිඳක් හෝ නොහෙළීමට පරෙස්සම්වීමත් නිසාය. දුමින්ද සිල්වාට අසාධ්‍යය බවට වන පුවතත්, වැඩිදුර ප‍්‍රතිකාර සඳහා ඔහු ගුවන් මගින් සිංගප්පූරුවේ රෝහලකට ගෙන ගිය බවට වන පුවතත්, රෝහල් අධිකාරිය නිල වශයෙන් ප‍්‍රකාශයට පත් කිරීමෙන් පසු දුමින්ද සිල්වා සැලකිය යුතු කාලයකට දර්ශන තලයෙන් සැඟව ගියේය.

අර්ධ වශයෙන් සුව වූ බව පවසමින් ඔහු නැවත පැමිණෙන්නේ භාරත ලක්ෂමන් ඝාතනයේ උණුසුම නිවී ගොස් ඒ පිළිබඳව නඩු කටයුත්ත පමණක් ශේෂවූ පසුවය. භාරත සහ ඔහුගේ ආරක්ෂාවට සිටි පොලිස් නිලධාරීන් ඝාතනයට එරෙහිව දුමින්ද සිල්වාගේ ආරක්ෂකයන් වූ සංවිධානාත්මක අපරාධ කල්ලි සාමාජිකයන්ට එරෙහිව නීතිපතිවරයා නඩු පවරා තිබුණද එම කල්ලියට නායකත්වය දෙමින් කටයුතු කළ දුමින්ද සිල්වා විත්තිකරුවෙකු කොට නොතිබිණ. ඔහුව සලකා තිබුණේ අපරාධයට සම්බන්ධ අයෙකු ලෙස නොව වින්දිතයෙකු ලෙසටය. මේ සා බලවත් නොනිල රාජ්‍ය අනුග‍්‍රහයක් දුමින්ද සිල්වාට ලැබීම පසුපස ක‍්‍රියාත්මක වූ අදිසි හස්තය ආරක්ෂක ලේකම්වරයා බවට වන ප‍්‍රසිද්ධ රහස තහවුරු වූයේ 2015 ජනවාරි 08 ජනාධිපතිවරණයෙන් මහින්ද රාජපක්ෂ බලයෙන් පහවී රාජපක්ෂ පාලනය බිඳ වැටීමෙන් පසුවය. දුමින්ද සිල්වා භාරත ලක්ෂ්මන් ඝාතන නඩුවේ විත්තිකරුවෙකු බවට නම් කෙරෙන්නේත්, නඩු විභාගය අවසානයේ ඔහුටත් ඔහුගේ සගයන්ටත් මරණීය දණ්ඩනය හිමිවන්නේත්, ඉහළ අධිකරණ මගින් එම දඬුවම ස්ථිර කෙරෙන්නේත් ඉක්බිතිවය.

2015දී රාජපක්ෂලාගෙන් ගිලිහී ගිය රාජ්‍ය බලය 2019 වසරේදි යළි ඔවුන් විසින් අත්පත් කරගන්නා විට ජනාධිපති ධුරයට පත්වන්නේ භාරත ලක්ෂ්මන් ඝාතනය සිදුවන අවස්ථාවේ ආරක්ෂක ලේකම් ධුරය දරමින් සිටි සිය කුළුපග හිතමිතුරාය. මිත‍්‍රත්වය මතම සිය ධුරයේ බලය යොදාගනිමින් ජනාධිපති සමාව දීම නොහොඹිනා බැවින් දෝ දුමින්ද සිල්වාට ජනාධිපති සමාව දීම යුක්තිසහගත යැයි ප‍්‍රකට කෙරෙන පසුබිමක් සකස් කිරීමේ පුළුල් ව්‍යාපෘතියක් පසුගිය වසරක පමණ කාලය පුරා ක‍්‍රියාවට නැගුණේ එතැන් සිටය. දුමින්ද නිදහස් කරන ලෙසින් ජනාධිපතිවරයාගෙන් ඉල්ලා ඊනියා මහා සංඝරත්නය කරන ඉල්ලීම්, පුරවැසි සංවිධානවල උද්ඝෝෂණ, ජනමාධ්‍ය මගින් කෙරෙන අනාවරණ සහ විශ්ලේෂණ, තීන්දුව දුන් විනිසුරුවරුන්ගේ දෝෂ දැක්වීම් ඇතුළුව ජනාධිපති සමාව ප‍්‍රදානය සඳහා වන සියලූ අවශ්‍යතා මේ වනවිට සම්පූර්ණ කොට ඇතත්, අනපේක්ෂිත කරුණක් හමුවේ එය ක‍්‍රියාවට නැගීමේ දුෂ්කරතාවකට මේ වන විට ජනාධිපතිවරයා මුහුණ පා සිටින බව දැකගත හැකිය. ඒ, මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා විශ‍්‍රාම යාමට දින කිහිපයකට පෙර, මරණ දඬුවමට නියමව සිටි පුද්ගලයකුට ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීමට එරෙහිව සිවිල් සංවිධානයක් විසින් පවරන ලද නඩුවක් විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය තීරණය කොට තිබීම හේතුවෙනි. ඉකුත් ජනවාරි 19 වෙනි දින එම නඩුව කැඳවූ අවස්ථාවේදී හිටපු ජනාධිපතිවරයාද, වගඋත්තරකරුවෙකු ලෙසින් නම් කරන්නට ශ්‍රේෂ්ඨාධිකරණයේ අවසරය ලැබුණු අතර නඩුව ජුනි මස 10 වෙනිදා නැවත කැඳවීමට නියමිතය. එය පවරනු ලැබ ඇත්තේ ‘කාන්තාව සහ මාධ්‍ය’ නමැති පුරවැසි සංවිධානය විසිනි.

ඉවොන් ජොන්සන් නමැති ස්වීඩන් ජාතික 18 හැවිරිදි තරුණියක රාජගිරය රෝයල් පාර්ක් නිවාස සංකීරණයේදී අබිරහස් ලෙස ඝාතනයට ලක්වන්නේ 2005 වසරේදී ය. ඊට සැකපිට අත්අඩංගුවට ගැනුණේ කොල්ලූපිටියේ පදිංචි නීල් ජයමහ නමැති ප‍්‍රසිද්ධ ව්‍යාපාරිකයෙකුගේ පුත‍්‍රයෙකු වූ ජූඞ් ශ‍්‍රමන්ත ඇන්තනි ජයමහ නමැති තරුණයෙකි. ඔහු ඝාතනයට ලක්වූ ඉවොන්ගේ නැගණිය සමග පේ‍්‍රම සම්බන්ධයක් පවත්වාගෙන ගිය අයෙකි. ඝාතනයෙන් පසු සාක්ෂි ඉතිරි නොකොට සූක්ෂ්ම ලෙසින් පලා ගොස් සිටි සැකකාර තරුණයා කොටු කරගෙන තිබුණේ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ ප‍්‍රකට රහස් පරීක්ෂකයෙකු වූ ශානි අබේසේකරය. තරුණයා කොටුවූ මොහොතේ සිටම ඔහු නිදහස් කරගැනීමට ක‍්‍රියාත්මක වූ ව්‍යාපාරික පියාගේ ධන බලය අබිබවා පර්වේෂණීය සාක්ෂි පදනම්ව සැකකරුට එරෙහිව මහාධිකරණයේ කරුණු දැක්වීමට ශානි අබේසේකර ප‍්‍රමුඛ අපරාධ පරීක්ෂක කණ්ඩායම දක්ෂවී තිබිණ. ලඝු නොවන නඩු විභාගයකින් තොරව ඍජුවම මහාධිකරණයේ විභාගයට ගෙන ඇති මෙම නඩුවේ තීන්දුව වී ඇත්තේ තරුණයා මිනීමැරීමේ චෝදනාවකට වරදකරු නොවන බවත්, සාවද්‍ය මනුෂ්‍ය ඝාතනයකට පමණක් වරදකරු වන බවත්ය. ඒ අනුව වසර 12ක සිරදඬුවමක් සහ රුපියල් ලක්ෂ තුනක දඩයකට දඬුවම සීමා කොට තිබිණ.

එහෙත් පසුව මහාධිකරණයේ තීන්දුවට එරෙහිව අභියාචනාධිකරණයට ඇපෑලක් ඉදිරිපත් කරමින් නීතිපතිවරයා ඉල්ලා ඇත්තේ මෙය මිනීමැරීමේ වරදක් බැවින් මහාධිකරණයේ තීන්දුව අහෝසි කරන ලෙසටය. 2012 වසරේ අභියාචනාධිකරණය සිය තීන්දුව ප‍්‍රකාශයට පත් කරමින් මහාධිකරණයේ තීන්දුව අහෝසි කොට සැකකරුට මරණීය දණ්ඩනය නියම කරන ලද අතර මෙරට ඉතිහාසයේ අභියාචනාධිකරණය විසින් මරණ දඬුවම පැනවූ මුල්ම සහ එකම අවස්ථාව වශයෙන් එය ඉතිහාසයට එක්ව තිබේ. අභියාචනාධිකරණයේ තීන්දුවට එරෙහිව විත්තිකරු ශ්‍රේෂ්ඨාධිකරණයට අභියාචනා කර ඇතත් 2013 ඔක්තෝබර් 22 වෙනි දින ප‍්‍රකාශිත ශ්‍රේෂ්ඨාධිකරණ තීන්දුව මගින්ද අභියාචනාධිකරණයේ නියෝගය නැවත තහවුරු කොට තිබේ.

මෛත‍්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයා ධුරයෙන් විශ‍්‍රාම යාමට දින කිහිපයකට පෙර කඩිමුඩියේ ජනාධිපති සමාව ප‍්‍රදානය කරන්නේ මෙලෙසින් මරණ දඬුවම නියමව සිටි ඉවොන් ජොන්සන් ඝාතකයාටය. ඊට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක් ඉදිරිපත් කරන කාන්තා සංවිධානය පවසන්නේ මෙම සමාව ප‍්‍රදානය කිරීම ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවෙන් ජනාධිපතිවරයාට හිමිව ඇති සිරකරුවන්ට සමාව දීමේ ක‍්‍රියාපටිපාටියෙන් බැහැරව සිදුව ඇති බැවින් එය අහෝසි කර නැවත ජූඞ් ශ‍්‍රමන්තට පනවා තිබූ මරණ දඬුවම බලාත්මක කරන ලෙසටය. ශ්‍රේෂ්ඨාධිකරණය එම ඉල්ලීම පිළිගනිමින් ඉදිරියේදී තීන්දුවක් ප‍්‍රකාශ කළහොත් හිටපු ජනාධිපතිවරයා ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් දෙවන වතාවටත් වරදකරු වන්නේය. පළමු වතාවට එලෙස ඔහු වරදකරු කරනු ලැබුවේ ‘ඔක්තෝබර් 28’ කුමන්ත‍්‍රණය සම්බන්ධයෙනි.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් කරුණු දක්වන ජනාධිපති නීතිඥ සංජීව ජයවර්ධන පවසන්නේ මරණීය දණ්ඩනය නියම වූ අපරාධකරුවෙකුට ජනාධිපති සමාව ප‍්‍රදානය කරන්නේ නම් ඊට පෙර නඩුවේ තීන්දුව දුන් විනිසුරුවරයාගෙන්/විනිසුරු මඬුල්ලෙන්, අධිකරණ ඇමතිවරයාගෙන් සහ නීතිපතිවරයාගෙන් ඊට අදාළව කරුණු විමසා අනුමැතියක් ලබාගත යුතුව ඇති බවය. එහෙත් සිරිසේන ජනාධිපතිවරයා ජූඞ් ශ‍්‍රමන්තට සමාව දී ඇත්තේ එලෙස විමසීමකින් හෝ අනුමැතිය ගැනීමකින් තොරවය. කඩිමුඩියේය. එම සමාව ප‍්‍රදානය කළ අවස්ථාවේ මතුවූ සංවාදයට සිරිසේන ජනාධිපතිවරයා වෙනුවෙන් ප‍්‍රතිචාර දක්වමින් ජනාධිපති මාධ්‍ය අංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ ඊනියා මහා සංඝරත්නය, සිවිල් සමාජ සංවිධාන සහ කීර්තිමත් පුද්ගලයන්ගේ ඉල්ලීම් සැලකිල්ලට ගෙන එම සමාව ප‍්‍රදානය සිදුවූ බවය. එහෙත් එහි නම් සඳහන් ආගමික නායකයන් අතරින් ඇතැමෙක් මෙම මාධ්‍ය නිවේදනය සාවද්‍ය බවට නිවේදන නිකුත් කොට තිබුණු ආකාරයද දැකගත හැකිවිය. මෙම සමාව දීම යට තිබෙන්නේ රුපියල් කෝටි අටක ගනුදෙනුවක් බවත්, සිරිසේන ජනාධිපතිවරයා සමග දේශපාලනයෙහි නිරත භික්ෂුවක් එම මුදල් ලබාගෙන ඇති බවත් මාධ්‍ය හමුවකදී ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කොට තිබුණේ රන්ජන් රාමනායකය. එය සත්‍යයක් නම් මේ වන විට අපරාධකරුවන්ට ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීම ජනාධිපතිවරුන්ගේ ධන නිධානයක් බවට පත්ව ඇති සෙයකි. එය ගැඹුරින් විමසා බැලිය යුතු, අතිශයින් බරපතළ තත්ත්වයකි.

තම කුළුපග මිතුරාට ජනාධිපති සමාව ප‍්‍රදානය සම්බන්ධයෙන් ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිවරයා මුහුණ පා සිටින දුෂ්කරතාව බව පෙනෙන්නේ ඉහත තත්ත්වයයි. කවර ව්‍යාපෘති දියත් කළද දුමින්ද සිල්වාට ජනාධිපති සමාව ප‍්‍රදානය කිරීමට පෙර ඊට අදාළව නඩුව විමසූ විනිසුරුවරුන්ගේ, අධිකරණ ඇමතිවරයාගේ සහ නීතිපතිවරයාගේ අනුමැතිය ලබාගත යුතුව ඇත. එසේ නොකොට සමාව ප‍්‍රදානය කළහොත් අද සිරිසේන ජනාධිපතිවරයාට මෙන්ම අනාගතයේදී තමන්ටද එරෙහිව මූලික අයිතිවාසිකම් නඩුවක් පැවරෙනු ඇති බව ජනාධිපතිවරයා දනියි. තමන් විසින්ම පත් කරගන්නා ලද හිතවතා බැවින් අධිකරණ ඇමතිවරයාගේ කැමැත්ත සහ නීතිපතිවරයාගේ කැමත්ත ලබාගැනීම ගැටලූවක් නොවූවද, භාරත ලක්ෂ්මන් ඝාතන නඩුව විභාග කළ විනිසුරු මඬුල්ලේ නිර්දේශ ලබාගැනීම දුෂ්කර වනු ඇති බව පෙනෙයි. ‘කෙක්කෙන් බැරි නම් කොක්කෙන්’ න්‍යාය පදනම්ව ජනාධිපති සමාවෙන් බැරි නම් ජනාධිපති කොමිසමේ නිර්දේශ මගින් හෝ මිතුරා නිදහස් කරගැනීමට උත්සාහ දරන්නේ එබැවින් විය යුතුය.

මේ පිළිබඳ අදහස් දක්වමින් විවෘත විශ්වවිද්‍යාලයේ සමාජ විද්‍යා අංශයේ හිටපු අංශ ප‍්‍රධානී, පාර්ලිමේන්තු මන්ත‍්‍රී හරිනි අමරසූරිය පැවසුවේ නීතිය තුළින් පුරවැසියන්ට සිදුවන අසාධාරණයන් නිවැරදි කිරීමට සිරකරුවන් නිදහස් කිරීමේ බලය ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව මගින් ජනාධිපතිවරයාට ලබාදී ඇතත් ජනාධිපතිවරු මේ වන විට එම බලය අවභාවිත කරමින් සිටින බවය. සිරිසේන ජනාධිපතිවරයා විසින් ජූඞ් ශ‍්‍රමන්තට ජනාධිපති සමාව ප‍්‍රදානය ඒ සඳහා වන ආසන්නතම සහ අවලක්ෂණම නිදසුන ලෙසින් සැලකිය හැකිය. ඉදිරියේදී මීටත් වඩා අවලක්ෂණ දේ සිදුවිය හැකි බැවින් එම තත්ත්වයන් වළක්වා ගැනීම සඳහා ජනාධිපති ධුරය සතු, සිරකරුවන් නිදහස් කිරීමේ බලය නැවත විමසා බලා කඩිනමින් සංශෝධනයට ලක් කළ යුතුය. නව ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය ගැන සාකච්ඡුාවෙමින් පවතින මේ අවස්ථාව ඒ සඳහා වඩාත් යෝග්‍යය ය.